නාථ දෙයියෝ ආසනික් හොයා ගත්තා වගේම වකුගඩු රෝගයත් සුව කරයි නේද ? 2011 ජූනි 29
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්.18 comments
පුංචි කාලේ පොත් කියවන්න අපි බොහෝ දෙනෙක් ආසයි. ඒ පොත්වල තියෙන ජනප්‍රවාද මතක ඇති ඔබටත්. ගමරාල දෙව්ලෝ ගිය හැටි, නරියා ලබු කිරිබත් කෑ හැටි, ආදී වශයෙන් අපි ඉගෙනගත් ජනප්‍රවාද බොහෙමයි. අද අළුතින්ම ඒ ගොන්නට එකතු වී ඇත්තේ නාථ දෙයියෝ ආසනික් සොයාගත් කතාවයි. හැබැයි මේ කතාව කතන්දරගේ කතාව වගේ රසවත් එකක් වත්, අරුණිගේ කතා වගේ සාරවත් එකක් වත් නොවෙන්න පුළුවනි. මම මේ කියන්නේ අපේ රටේ සමහරක් විශ්ව විද්‍යාලවල පීඨාධිපති සහ ජනාධිපති උපදේශක යැයි කියාගන්නා මිනිසුන්ගේ කතා ගැන. මට නම් මේ ගැන අවසානයේ කියන්න තියෙන්නේ ලංකාවට නාථ දෙවි පිහිටයි කියලා තමයි.
මේ නලින් සිල්වා මහතා දිවයින පත්තරයට සැපයූ සාකච්ඡාවේ උපුටා ගැනීමක්.
“රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක් කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික් ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්.”
ඒ වගේම මෙහෙමත් කියනවා
“ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක් ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක් දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක් නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික් තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා.”
නාථ දෙවියන් ඇසූ පිරූ ඇති දෙවියෙකු බව අප අමතක නොකළ යුතු කරුණක්.
“නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක් අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක් වැනි දෙයක් නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක් තිබෙනවා.”
ඒ අනුව නාථ දෙවියන් ආසනික් පමණක් නොව සම්පූර්ණ ආවර්තිතා වගුවම ගැන බොහෝ දැනුමක් ඇති දෙවියෙකු විය යුතුයි. ආසනික් මුලින්ම සොයා ගත්තේ ඩොමිනිකන් බිෂොප් වරයෙකු වූ (එයා කතෝලිකයෙක්, බටහිරයෙක්) ඇල්බර්ටස් මැග්නස් නම් පුද්ගලයා 1250 දී. නාථ දෙයියෝ මේ ලෝකෙ පහළ වුනේ මීට සැහෙන කළකට පෙර නේ…. එතකොට නාථ දෙයියො දැනගෙන ඉන්න ඕන මේ ආසනික් කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා….එහෙමත් නැත්නම් නාථ දෙයියෝ පොතපත කියවලා දැනගන්න ඕන ආසනික් කියලා දෙයක් තියෙනවාය, ඒක වකුගඩු රෝගයට හේතු සාධක වෙනවාය කියන දේ.
“ඔබ පසුගියදාක ප්‍රකාශ කළා මේ ප්‍රශ්නය ජනතා අධිකරණයට බාර දීල කියල. නමුත් ආහාරවල සහ පළිබෝධ නාශකවල ආසනික් තියෙනව කියන්නෙත් නැහැ කියන්නෙත් විද්‍යාඥයො. පර්යේෂණ අනුව විද්‍යාඥයන් ප්‍රකාශ කරන දෙයකට ජනතාව තීන්දුවක් දෙන්නෙ කොහොමද?
උසාවියකදී නඩුවකට තීන්දුවක් දෙන විනිසුරුවරයා විද්‍යාඥයෙක්‌ද? ඔහු සමහර විට පාලි හා බෞද්ධ අධ්‍යයනයක නිරත වූවෙක් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ චින්තනය ක්‍රිස්‌තියානි චින්තනයට වඩා හුඟක් ඉහළයි. මිනී මැරුම් නඩුවක තීන්දුව දෙන්නෙ කවුද? සාමාන්‍ය මිනිසුන්ගෙන් යුතු ජූරි සභාවකින්. මේ මිනිහ මිනිහෙක් මැරුවද නැද්ද කියල තීන්දු කරන්න අධිකරණ වෛද්‍ය විද්‍යාවේ හෝ වෙනත් විද්‍යාවක විශේෂඥයකු විය යුතු නැහැ. මේ වගේ දේවල්වලට තීන්දු දෙන්න ඕන ඒ ඒ ක්‍ෂේත්‍රවල විශේෂඥයො කියල හිතාගෙන ඉන්න එක මහා මිථ්‍යාවක්. මේවට තීන්දු දෙන්න හොඳම අය තමයි සාමාන්‍ය ජනතාව. දෙපැත්තම කරුණු ඉදිරිපත් කළාට පස්‌සෙ කවුද හරි කියල තීරණය කරන්න සාමාන්‍ය ජනතාවට පුළුවන්. දෙකෝටියකට වැඩි ජනගහනයක් ඉන්න අපේ රටේ මේ ආසනික් ගැන කෝටියක්‌වත් උනන්දු වෙනව ඇතිනේ. ඒ කෝටියම මේ ප්‍රශ්නයේ විනිශ්චයකරුවො. වඩා හරි එක්‌කෙනෙකුගෙ දෙන්නකුගෙ හරි එක ආයතනයක හරි නිගමනය ද නැත්නම් කෝටියකගෙ විනිශ්චයද?”
මේ කතාවට අනුව නලින් ද සිල්වා රෝගී වුනොත් දොස්තර (ආයුර්වේද හෝ බටහිර) කෙනෙකුගෙන් බෙහෙත් ගන්නවාට වඩා තමන් විසින්ම බෙහෙත් නියම කරගත යුතුයි.ඒ ඒ ක්‍ෂෙත්‍ර වල විශේෂඥයෝ අවශ්‍ය නැත්නම් කොහොමද දෙයියනේ මෙච්චර කාළයක් මේ මානව සංහතිය ඉදිරියට ගියේ ? එහෙනම් ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා දාලා එයාර් බස් දුවවන්න පුළුවන් නේ… ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ ? ඉස්කෝලවල ගුරුවරු දාලා කැම්පස් වල උගන්වන්න පුළුවන් නේ… ඇයි මේ මහාචාර්යවරු ඉන්නේ ?
මෙයට පෙර පර්යේෂක කණ්ඩායම් දෙකක් විසින් මේ පිළිබඳ කරන ලද පර්යේෂණ අනුව එක් කණ්ඩායමක් දරුණු ඇල්ගී වර්ගයකටත්, තවත් කණ්ඩායමක් ජලයේ ඇති කැඩ්මියම් වලටත් මේ වකුගඩු රෝගයේ බර පැටවූවා. එසේම 2007 වසරේ Chemtech 2007 රසායන විද්‍යා සම්මන්ත්‍රණයට දේශනයක් ඉදිරිපත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන මහතා පැවසූයේ උතුරු සහ උතුරුමැද පලාත්වල අධික පොහොර භාවිතය නිසා ජලයේ සහ පසේ ඇති නයිට්‍රේට සාන්‍ද්‍රණය අධික බවයි. මේ නයිට්‍රේට කිසිදු අයුරකින් ජලයෙන් ඉවත් කරන්නට බැහැ. මක් නිසාද යත් සියළුම නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වන නිසා. එය අයන හුවමාරු කරන රෙසිනයකින් වත් ඉවත් කිරීමට අපහසුයි. කෙසේ හෝ මේ තත්ත්‍ව දෙක තුනම මේ අවාසනාවන්ත සිද්ධියට දායක වෙන්නට පුළුවනි. ඒ වගේමයි අපට අමතක කරන්නට බැහැ රජරට ප්‍රදේශය පුරාවට පැතිර ඇති ඇපටයිට් නිධිය. මේ නිධියේ අධික ෆොස්ෆේට් සහ ෆ්ලුවොරයිඩ් සාන්‍ද්‍රණයක් තියෙනවා. රජරට දරුවන්ගේ දත් දිරා යාම අධික වන්නේත් මේ ෆ්ලුවොරයිඩ් සාන්‍ද්‍රණයේ අධික බව නිසා. මට පෙනෙන හැටියට නම් මේ සියල්ලම මේ වකුගඩු රෝගයට සාධක වෙනවා.
“ඊළඟ කාරණය ඔය අයගෙ රසායන විද්‍යාව කියන්නෙ සූප ශාස්‌ත්‍රයක්. මොනව හරි කෑමක් හදන කොට එකතු කරන ප්‍රමාණ තියෙනවනෙ. දෙහි මිලි ග්‍රෑම් 3 යි පිටි කිලෝ ග්‍රෑම් 1 වගේ. ඒක රසායන විද්‍යාව නෙමෙයි. සූප ශාස්‌ත්‍රය. මේ අය රසායන විද්‍යාව කරන්නෙත් එහෙමයි. නයිටි්‍රක් ඇසිඩ් මෙච්චරයි. අර භෂ්මය මෙච්චරයි. මේ උෂ්ණත්වයට රත් කරන්න ඕන. සුද්ද දීල තියෙන ඔය විධි ක්‍රමයට ආසනික් අහුවෙන්නෙ නෑ. සමහර ද්‍රව්‍යවල අහුවෙන්නෙ තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන්. කැලණි විශ්වවිද්‍යාලෙ කණ්‌ඩායම කළේ ඔය සුද්දගෙ පොතේ තියෙන ක්‍රමය සංශෝධනය කිරීමක්”
රසායන විද්‍යාව පහත් කරලා සලකන නලින් සිල්වා තමන්වම ප්‍රතිවාචනය කරමින් (contradict) මෙහෙමත් කියනවා.
“විද්‍යාත්මක ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළාට අපේ රටේ අධිපතිවාදී මතයක් තියෙනව විද්‍යාත්මක ක්‍රමය හරියි කියල. රෝම ලන්දේසි නීතිය මම පිළි නොගත්තට යම් දිනයක උසාවියකදී මට කරුණු ප්‍රකාශ කරන්නට වුණොත් මට රෝම ලන්දේසි නීතිය පිළිගන්නට වෙනව. අන්න ඒ වගේ විද්‍යාත්මක විධි ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළත් මහජනයා වෙනුවෙන් සිදුකළ මේ කාරණයේදී අපි කටයුතු කළේ සම්මත රසායන විද්‍යාවට අනුවයි. සම්මත රසායන විද්‍යාවේ නීති රීතිවලින් මූලික නියමවලින් බැහැර වන්නේ නෑ. අපි එහෙම කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය අද අපේ රටේ අධිපතිවාදය බවට පත්වෙලා තියෙන හින්දයි. මේ විද්‍යාත්මක ක්‍රමය මම දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. අධිරාජ්‍යවාදීන් මේ ගැටයෙන් අද අපේ බෙල්ල හිරකරලයි තියෙන්නේ. මම මේ විශ්වවිද්‍යාලෙ විද්‍යාපීඨ පීඨාධිපති තමයි. මම මෙතෙන ඉන්නෙ මේ බොරුකාරයන්ගෙ විද්‍යාව උගන්වන්න නෙමෙයි. මේ විද්‍යාවට විරුද්ධව ළමයින්ට කරුණු කියන්න. මම පඩි ගන්නෙ මට නියම කරල තියෙන වැඩේට විරුද්ධ වැඩක් කරලයි. ඒක සදාචාර නොවෙන්න පුළුවන්. නමුත් ඒක මගේ සදාචාරයට හරි. මගේ සදාචාරය තමයි රට. රටේ යහපත. මම බටහිර රසායන විද්‍යාව පිළිකෙව් කළත් මේ කාරණයේදී මම ක්‍රියාකරන්නෙ බටහිර රසායන විද්‍යාවට අනුවයි. මට මෙහි කිසි පටලැවිල්ලක් නෑ.”
ඒත් වැඩේ පටලවාගෙන බටහිර පිළිගත් ක්‍රමය වෙනස් කරමින් ජලයේ ආසනික් ඇති බව පවසනවා. ඇත්තෙන්ම ජලයේ ආසනික් ඇති. ඒත් ඒ බව සනාථ කළ යුත්තේ නිසි පරිදි දීප ව්‍යාප්ත පර්යේෂණයක් ආධාරයෙන්. සමහර විට රටේ අනෙකුත් ප්‍රදේශ වලත් මේ වගේම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නිසා ආසනික් මට්ටම ඉහළ අගයක ඇති. නමුත් ඒ පෙදෙස් වල ජනයාට මේ වකුගඩු රෝග ඇතිද යන්නත් සොයා බැලිය යුතු වෙනවා. එසේ නැතිනම් රජරටට ආවේනික මේ වකුගඩු රෝගයේ මූල බීජය ආසනික්ද නැතිනම් වෙනකක්ද යන්න සෙවිය යුතු වෙනවා.
“රජරට වකුගඩු රෝගය මේ ආසනික් නිසා සෑදෙන බව අපට සියයට අනූනවයක්‌ම විශ්වාසයි. අද රට පුරා පැතිරෙන මී උණත් ඔය පළිබෝධනාශක නිසා ඇතිවන ලෙඩක්. එහෙම නැතිව මී මුත්‍රා නිසා නෙමෙයි. මී උණ පැතිරෙන්නෙ දැනට අවුරුදු 25 ක විතර කාලෙක ඉඳන්. මීට අවුරුදු 25 කට කලින් හිටපු මීයො මුත්‍රා කළේ නැද්ද? මේ පළිබෝධනාශක නිසා කුඹුරුවලට වස විස ඇවිත් තියෙනව. හේතුව ඒකයි. මේකට තිබෙන විසඳුම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ගොවිතැනට නැවත යැමයි. ඊළඟට මේ වෙනුවට කාබනික පොහොර, හරිත පොහොර, කොම්පෝස්‌ට් පොහොර ආදී නම් වට්‌ටෝරුවක් තියෙනවා. ඒව නරකයි කියනව නෙමෙයි. නමුත් විසඳුම නෙමෙයි. ඒවත් බටහිරෙන් එන යෝජනා. ඊටත් වඩා පහසු ක්‍රියාත්මක කිරීමට ලේසි ක්‍රම තියෙනවා. අපේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි එකතු වෙලා මේ කිට්‌ටුව කුඹුරක් ඇස්‌වැද්දුව. අපි කෘමිනාශක පාවිච්චි කළේ නෑ. කැප්පෙටිය, නිදිකුම්බා වැනි කොළ වර්ග කිහිපයක් පමණයි යෙදුවේ. අපි කන්න ගණනාවක් එසේ වගා කළා.මේ වෙනස දවසින් දෙකෙන් කරන්න බෑ. ආණ්‌ඩුව මැදිහත් වුණොත් තව වසර පහක් ඇතුළත කෘෂි රසායන නැති ගොවිතැන් ක්‍රමයක් රටේ ඇති කරන්න පුළුවන්.“
කෘෂි රසායන භාවිතය ඉහළ ගොස් ඇති නිසා අපට බොහෝ දේ නැති වුන බව සැබැයි. ඉස්සර වෙලේ උඩ්ඩො, දංඩි වගේ මාළු අල්ලපු අපි, නියරේ වලවල් හාරපු කකුළුවො අල්ලපු අපි දැන් වෙලකට බහින්න බයයි. ඉස්සර දුරුත්ත කාලෙ රංචු ගණන් සිරීපාදෙ යන සමනල්ලු බෙහෙතකටවත් හොයාගන්න බෑ දැන්. අඩුම ගානේ රෑට කළාමැදිරි එළියක් දකින්නෙත් බොහොම කළාතුරකින්. මේ අපට කෘෂි රසායන ද්‍රව්‍ය දායාද කළ දේවල්. නමුත්, අපට දැන් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම වලට යන්න අමාරුයි. ඒ වගේම කෘෂි රසායන භාවිතයත් පාලනය කරන්න අවශ්‍යයි. මේ නිසා අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් සියල්ල කළ යුතුයි. බෙන්සීන් අණුවේ සම්ප්‍රයුක්තතාවය (resonance) සොයාගත් කෙකුලේ නම් විද්‍යාඥයා ඒ බව සොයා ගත්තේ සර්පයෙකු තමන්ගේම වලිගය ගිලිනු වැන්නක් සිහිනෙන් දුටු බව අනුසාරයෙන් බව පැවසෙනවා. අපට වුනත් කිසියම් කරුණක් දිගින් දිගටම සිතන විට ඒ පිළිබඳ නොයෙක් සිහින දකින්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් නිරන්තරයෙන් නාථ දෙවියන් හෝ වෙනයම් දෙවියෙක් පෙනී සිට මෙසේ පර්යේෂණ වලට අවශ්‍ය කරුණු සොයා දීම අසාමාන්‍ය දෙයක්. යම් දිනෙක මේ පර්යේෂණය නිබන්ධනයක් ලෙස ප්‍රසිද්ධ වූ විට සමහර විට කතෘ වරු වශයෙන් නාථ දෙවියන්ගේ නමත් ඇතුලත් වෙන්නට පුළුවනි. එසේ නැතහොත් අවසානයේ පිං පැමිණවීමක් වත් කළ යුතු වෙනවා. නමහරවිට දෙයියෝ කෝප වුනොත් ආයෙම පර්යේෂණ වලට සහාය නොදක්වන්නට පුළුවනි.
ඒ නිසා නිබන්ධනය අවසානයේ මෙසේ සඳහන් කරන්නැයි ආචාර්ය නලින් ද සිල්වා සහ මම කාබනික රසායනය උගත් ආචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. සිංහලෙන් ප්‍රසිද්ධ කළොත් නං,
“අපගේ පර්යේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් වෙත අපගේ අවධානය යොමු කළ නාථ දෙවියන් හට කතෘවරු වන අප පිං පමුණුවමු.”
ඉංගිරිසියෙන් නම් ඉතිං සුපුරුදු පරිදි,
” The authors would like to acknowledge God Natha by presenting merit for guiding us to the correct path at a critical time on this research”
කළ යුත්තේ දෙයියන් ගැන කියමින් තමන්ගේ පර්යේෂණය නිවැරදි බව හෝ වෙනත් පර්යේෂකයින් විසින් එය වැරදි බව සනාථ කිරීම නොව, සියල්ලන් එකමුතු වී පුළුල් සංවිධානාත්මක පදනමක් සිට මේ සියළු සාධක සලකා බලා නිවැරදි පර්යේෂණයක් සිදු කර හේතු සොයා ගැනීමයි. ඒ වගේමයි මේ හේතුව නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට බෙහෙතක් හෝ ජලයේ ඇති මේ අයහපත් සංඝඨක ඉවත් කර පානයට සුදුසු ජලය ලබා දෙන හැටිත් දෙයියො කියලා දෙයි කියලා ඇල්කෙමියා බලාපොරොත්තු වෙනවා…
නැත්තං ඉතිං ලංකාවට නාථ දෙයියන්ගේම සරණයි.
සාගර ජලය මදි හැඬුවා චම්පික රණවක හන්දා…. උදම් බලයෙන් බලශක්තිය නිපදවීම ලංකාවට උචිතද ? 2011 මැයි 15
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, පුනර්ජනනීය බලශක්තිය.Tags: උදම් බලය, Tidal Power
5 comments
අපේ විදුලිබල ඇමති තුමා අනෙක් ඇමැත්තන්ට වඩා වෙනස් මිනිහෙකි. ඉංජිනේරු උපාධිධරයෙක් වන ඔහු තවමත් අනෙක් ඇමැත්තන්ට සාපේක්‍ෂව මොළයක් ඇති මිනිසෙක් සේ පෙනේ… හරිත බලශක්තිය වැනි දීර්ඝකාලීන වාසි සහිත බලශක්ති ජනන ක්‍රම පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීම පැසසිය යුතු කටයුත්තකි. ඔහුගේ දේශපාලන දර්ශනය කුමක් වුවත්, ඔහුගේ බලශක්තිය පිළිබඳ දර්ශනය පිළිබඳ ප්‍රතිපත්තිය මා අගය කරන්නේ එබැවිනි. නමුත් ඔහුගේ න්‍යෂ්ඨික බලශක්ති යෝජනාවට නම් මා එකහෙලා විරුද්ධය. ඔහුගේ නවතම අදහස අනුව බල ශක්ති ජනනය සඳහා උදම් බලය හෙවත් සාගරයේ තරංගවල ඇති බලය යොදා ගැනීමට අදහස් කරයි. මෙහි දෙපැත්තක් ඇත. ඒ පිළිබඳ හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි.
බලශක්ති ජනනය සඳහා බොහෝ ක්‍රම ඇති බව අපි බොහෝ දෙනා දන්නා කරුණක්
- ඛණිජ තෙල්
- ගල් අඟුරු
- න්‍යෂ්ඨික බලය
- ජීව වායුව
- ජල විදුලිය
- සූර්ය බලශක්තිය
- සුලං බලය
- භූ තාපය
- උදම් බලය
මෙයින් සුලං බලය, සූර්ය බලශක්තිය, කෘෂිකාර්මික නිෂ්පාදනවලින් ජනනය කරන ජීව වායුව, ජල විදුලිය, භූ තාපය, සහ උදම් බලය යන ක්‍රම පුනර්ජනනීය බලශක්ති (renewable energy) යටතට ගැනෙනවා. මේ නිසාම මේ පිළිබඳ අවධානය වැඩි වැඩියෙන් දැන් දැන් යොමු වන්නේ මේ බලශක්ති ජනන ක්‍රම මගින් වායුගෝලයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන නිසායි. මේ අපද්‍රව්‍ය යනු කාබන් ඩයොක්සයිඩ් වැනි වායු පමණක්ම නොවෙයි. වාතයට තාපය සහ ජලවාෂ්ප එකතු වීමත් එක්තරා ආකාරයට අපද්‍රව්‍ය එකතු වීමක්.
උදම් බලය මගින් ශක්තිය නිපදවා ගන්නේ මුහුදු රළ මගින් ඇති කරන චාලක ශක්තිය ටර්බයින හරහා විදුලිබලය බවට හැරවීමෙන්. ලොව පළමු උදම් බලශක්ති බලාගාරය බලශක්ති ජනනය ඇරඹුවේ 1966 දීයි. එසේ වුවත් බොහෝ දෙනාගේ අවධානය වෙනත් ක්‍රම වලට යොමු වීම නිසා මෙහි ඇති වැදගත්කම අවධාරණය වුනේ නැහැ. නමුත් ඇත්තෙන්ම සුලං බලය හෝ සූර්ය ශක්තියට වඩා පැහැදිලි විශ්වාසවන්ත බවක් නොහොත් නියත ඒකාකාරී බවක් මේ උදම් බලයේ ඇති නිසා දැන් දැන් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් පවතිනවා. මෙහි ඇති අවාසි වන්නේ අධික ප්‍රාග්ධන පිරිවැය (Capital Cost) සහ උදම් බලය නිපදීමට අවශ්‍ය ප්‍රශස්ත වඩදිය-බාදිය ඇති ප්‍රදේශ අඩු වීම සහ එහි ඇති ප්‍රවේගයේ ඇති අනියත/අසංස්ථිතික (inconsistency) බවයි.
සඳුගේ ගුරුත්‍වාකර්ෂණ බලය අනුව ඇති වන වඩදිය-බාදිය වලින් සිදු වන මුහුදු මට්ටමේ වෙනස් වීම උපයෝගී කරගෙන උදම් බලශක්තිය නිපදවාගත හැක. ප්‍රාග්ධන පිරිවැය සාමාන්‍ය සූර්ය බලශක්ති ජනනයට වැයවන මුදල මෙන් හයගුණයක් පමණ වීම නිසා බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ නැහැ. එනමුත් වඩදිය-බාදිය ගැලීම සුලං හැමීමට වඩා නියත ලෙස සිදු වීමත්, සූර්ය ශක්තිය මෙන් නොව – රාත්‍රී කාලයේ පවා මෙමගින් බලශක්තිය ජනනය කිරීමට හැකි වීමත් යන කරුණු නිසා මෙහි වාසි නැතුවාමද නොවෙයි.
උදම් බලශක්ති ජනනය ක්‍රම තුනකට කළ හැක.
උදම් ප්‍රවාහ ජෙනරේටරය (Tidal Stream Generator) – උදම් රළෙහි චාලක ශක්තිය ජෙනරේටරයක් කරකැවීමට යොදාගැනීම මගින් ශක්තිය ජනනය කරවයි.
උදම් බාධක (Tidal Barrage) – වඩදිය සහ බාදිය වල ඇති රළෙහි විභව ශක්තිය (රළෙහි උසේ වෙනස)උපයෝගී කරගනී. වඩදියේදී වැඩි වන ජල මට්ටම නිසා ගංගාවක් තුළට පැමිණෙන ජලය වේලි සහ ගේට්ටු මගින් එකතු කරගෙන බාදිය අවස්ථාවේදී ටර්බයින හරහා පිට කිරීමෙන් බලශක්තිය ජනනය කරගනී.
ගතික උදම් බලය (Dynamic Tidal Power) – මෙය මහාපරිමාණ ව්‍යාපෘතියකි. සාමාන්‍යයෙන් මුහුදේ වෙරළට සමාන්තරව කිලෝ මීටර 30 -50 දිග විවෘත වේලි බැඳ, එමගින් ඇතිවන රළ උපයෝගී කරගෙන අඛණ්ඩව බලශක්තිය නිපදවීම මෙමගින් කෙරේ. විශාල මුහුදු තීරයක් හෝ සංචාරක ව්‍යාපාරය සිදු නොවන රටවලට මෙය යෝග්‍ය නමුත් අප රටට මෙය උචිත නොවේ.
දැනට සැලකිය යුතු ප්‍රමාණයක් මහාපරිමාණ උදම් බලාගාර ක්‍රියාකාරී තත්ත්‍වයේ පවතී
- ප්‍රංශයේ රෑන්ස් උදම් බලාගාරය – 240 MW
- උතුරු ඇමරිකාවේ -Bay of Fundy – ඇනාපොලිස් රාජකීය බලාගාරය – 20 MW
- චීනයේ ජිංගක්‍ෂියා බලාගාරය – 3.2 MW
- දකුණු කොරියාවේ Jindo Uldomok බලාගාරය – 1MW – 2013 වනවිට 90MW තෙක් පුළුල් කිරීමට අදහස් කර ඇත.
- උතුරු අයර්ලන්තයේ SeaGen බලාගාරය 1.2 MW
- දකුණු කොරියාවේ Sihwa Lake උදම් බලාගාරය 254 MW
- දකුණු කොරියාවේ Ganghwa Island හි තනන 812 MW උදම් බාධක වැටිය 2015 දී විවෘත කිරීමට නියමිතයි.
- දකුණු කොරියාවේම තැනීමට නියමිත 1320 MW බාධක වැටිය 2017 දී ගොඩ නැගීම ඇරඹීමට කටයුතු කරගෙන යයි.
- ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වසර 2012 දී 50 MW උදම් බලාගාරයක් තැනීම ආරම්භ කිරීමට නියමිතයි. මෙය දකුණු ආසියාවේ ප්‍රථම උදම් බලාගාරය වේ.
මේ අනුව බලන කල උදම් බලයට ඇති ඉල්ලුම කෙමෙන් කෙමෙන් වැඩි වන බවක් පෙනෙනවා. නමුත් එහි ඇති ප්‍රධාන බාධකය විදුලි ඒකකයකට ගෙවිය යුතු ප්‍රාග්ධන වියදමයි. ස්ථාපනය කළ පසු විදුලි ජනනයට මුදලක් වැය නොවීම වාසි සහගත වුවත්, දීර්ඝ කාලීනව මෙය සූර්ය ශක්තිය සහ සුලං බලයට වඩා වාසි සහගතද නැද්ද යන්න තීරණය ඔබටම භාර කරනවා.
කෙසේ වෙතත් මෙසේ පාරිසරික හානි අඩු, පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අවධානය යොමු වීම නම් පැසසිය යුත්තක්..
නාකි තිරිහන් කරන නිල් පාට පෙත්ත : ව්‍යාඝ්‍රා 2011 අප්‍රේල් 28
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, ප්‍රජා සෞඛ්‍යය, රසායන විද්‍යාව සබැඳි දේ.Tags: ලිංගික අප්‍රාණිකත්‍වය, ව්‍යාඝ්‍රා
10 comments
අරුණිගේ ගිණි නිවන හමුදාවේ බෙල්ලෝ උත්සවයෙන් බොහෝ දෙනාගේ අවධානය පොඩ්ඩක් “අර පැත්තට“ හැරිච්ච නිසා, ඒ පැත්තට සම්බන්ධ ලිපියකින් ඔබට දැනුවත්කරන්න හිතුවා. සමාජයේ හැම වයස් මට්ටමකම අය බලන නිසා මේ ලිපිය ඉතින් බර අඩු කරලා තමයි දාන්න වෙන්නේ… ඒ විතරක්ම නෙවෙයි, දැන් දැන් ඇල්කෙමියාගේ රසායනාගාරය ටිකක් රසායන විද්‍යාවට සම්බන්ධ එහෙත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගන්න පහසු ලිපි දාන්න හිතුවා. ආයමත් කියනවා, ඔබේ ඉල්ලීම් තියෙනවා නම්, අනේ ලියලා එවන්න… දන්න විදියට කියලා දෙන්නම්.
ව්‍යාඝ්‍රාවල ඉතිහාසය.
ව්‍යාඝ්‍රා වෙළඳ නමින් මෙසේ හැඳින්වුනත්, එහි නියම නාමය සිල්ඩෙනෆිල් සිට්‍රේට් (Sildenafil Citrate). මෙය මුලින්ම ෆයිසර් (Pfizer) නම් ඖෂධ සමාගමේ රසායන විද්‍යාඥයන් විසින් තැනුවේ අධික රුධිර පීඩනය සහ උරස් සම්බාධය (Angina Pectoris) යන රෝගී තත්ත්‍ව සඳහා ඖෂධයක් ලෙසයි. මුල් සායනික පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු අනුව මේ ඖෂධය හෘද රෝගවලට පෙන්වා ඇත්තේ අඩු ප්‍රතිචාරයක්, නමුත් එය පුරුෂ ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා හොඳ ඔසුවක් බවට පෙනී ගියා. මේ නිසා ෆයිසර් සමාගම ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා ඖෂධයක් ලෙස 1996 වසරේදී ව්‍යාඝ්‍රා නමින් පේටන්ට්ගත කළා. මුලින් මෙය වෛද්‍ය නියමයෙන් පමණක් මිලදීගත හැකි ඖෂධයක් වුවත්, දැන් දැන් සුළු ප්‍රශ්නාවලියකින් අනතුරුව අන්තර්ජාලයෙන් මිලදී ගත හැකි දෙයක් බවට පත් වී තිබෙනවා. දැන් දැන් මේ සඳහා විවිධ නම් වලින් යුත් තරඟකාරී ඖෂධ වෙළඳපොලේ ඇතත් 1999-2001 වසර කීපය ඇතුලත පමණක් ව්‍යාඝ්‍රා අලෙවිය ඩොලර් බිලියනය ඉක්මවා තිබෙනවා.
ව්‍යාඝ්‍රාවල රසායනය.
ව්‍යාඝ්‍රා රසායනිකව සිල්ඩෙනෆිල් සිට්‍රේට් (Sildenafil Citrate) නමින් හැඳින්වෙනවා. මෙය නිෂ්පාදනයෙහිලා ප්‍රධාන වශයෙන් පියවර 9 ක් වෙනවා. රසායනිකව මේ පියවර වනුයේ.
- 3-ප්‍රොපිල් පිරසෝල්-5- කාබොක්සිලික් මෙතිල් එස්ටරයට මෙතිල් කාණ්ඩ එකතු කිරීම (Methylation)
- සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ජලවිච්ඡේදනය (Hydrolysis)
- නයිට්‍රික් අම්ලය මගින් නයිට්‍රීකරණය (Nitration)
- තයොනයිල් ක්ලෝරයිඩ් (SOCl2) සහ ආමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් කාබොක්සැමයිඩ් තැනීම (Carboxamide formation)
- නයිට්‍රො කාණ්ඩය ඇමීනෝ කාණ්ඩයක් බවට ඔක්සිහරණය (Reduction)
- 2-එතොක්සිබෙන්සොයිල් ක්ලෝරයිඩ් මගින් ඇසිල් කාණ්ඩයක් එක් කිරීම (Acylation)
- දිගු දාම සංයෝග චක්‍රීය සංයෝග බවට පරිවර්තනය (Cyclization)
- ක්ලෝරොසල්ෆොනයිල් ව්‍යුත්පන්න බවට සල්ෆොනීකරණය (Sulfonation)
- 1-මෙතිල් පිපෙරසීන් සමඟ ඝණ කිරීම (Condensation)
බැලූ බැල්මට සරළ ප්‍රතික්‍රියා දාමයක් ලෙස පෙනුනත්, මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මෙවැනි ප්‍රතික්‍රියා දාමයක් සිදුවන විට එම ඵලයන්හි ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක පවත්වාගත යුතු වෙනවා, නැතිනම් එය ආර්ථිකව අවාසිදායකයි. මේ නිසාම මෙවැනි විශාල පියවර සංඛ්‍යාවක් ඇති ප්‍රතික්‍රියා උපරිම ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට වසර ගණනාවක් ගත වෙනවා. එසේම ඒ නිෂ්පාදනය වෙළඳපොලට ගෙන ඒම දක්වා වැයවන මිනිස් පැය ප්‍රමාණය අති විශාලයි. මේ නිසායි ඖෂධ සමාගම් නව ඖෂධයක් වෙළඳපොලට නිකුත් කරනවිට විශාල මුදලක් අය කරන්නේ. ඔවුන් ඒ ගණන් බලන්නේ සිය නිෂ්පාදනය සිතිවිල්ලක සිට වෙළඳපොලට යනතාක් කල් සිදු වූ දේවලට වටිනාකමක් දීමෙන්. එසේම වසර ගණනක් යනවිට එකම නිෂ්පාදනයේ වුවත් මිල අඩු වන්නේ ඒ සමාගමට අවශ්‍ය ලාභය උපදවා ගත් පසුවයි.
ව්‍යාඝ්‍රා නිපදවීම එසේ වුවත්, එහි ක්‍රියාකාරීත්‍වය ජෛව රසායනිකව සිදු වන්නක්. මෙහිදී සිදු වන්නේ පුරුෂ ලිංගයේ ඇති චක්‍රීය ගුවැනොසීන් මොනොපොස්ෆේට් (Cyclic Guanosine Moniophosphateල cGMP) නම් රසායනිකය හායනය (Degradation) වැලැක්වීමයි. රුධිරයේ ඇති නයිට්‍රික් ඔක්සයිඩ් (NO) ගුවැනිලේට් සයික්ලේස් (Guanylate Cyclase) නම් වූ එන්සයිමයේ ග්‍රාහකයන්ට (receptors) බැඳීමෙන් cGMP ප්‍රමාණය ඉහල යයි. මෙය පුරුෂ ලිංගයට සැපයෙන රුධිරය ප්‍රමාණය ඉහළ දැමීමට හේතු වෙයි. එවිට වැඩි කාලයක් දැඩි ලෙස එය ප්‍රාණවත්ව තබා ගැනීමට උපකාරී වෙයි. විවිධ රෝග තත්ත්‍ව නිසා හෝ අධික මත්පැන් පානය වැනි හේතු නිසා ඇතිවන ලිංගික ආබාධ ඇති අයට වෛද්‍ය උපදේශ මත මෙම ඖෂධය ලබා දුන්නත්, දැන් දැන් වෙළඳ පොලේ විවෘතව මිලදීගත හැකි මට්ටමට මෙය පැමිණ තිබේ.
ව්‍යාඝ්‍රා භාවිතය.
ව්‍යාඝ්‍රා විවිධ සෞඛ්‍ය තත්ත්‍ව සඳහා භාවිතා කරයි. දැන් ප්‍රධාන වශයෙන් ලිංගික අප්‍රාණිකත්‍වය නැති කිරීම පිණිස භාවිතා වුවත් මූලිකව පුප්ඵුසීය ධමනි ආශ්‍රිතව ඇතිවන අධික රුධිර පීඩනය නැති කිරීම පිණිස භාවිතා කරන ලද්දක්. එසේම කඳු නගින්නන් වැනි උස් ප්‍රදේශ හෝ උස් ස්ථානවලට ගමන් කිරීමේදී ඇතිවන පෙනහළුවල දියර එකතුවීමේ රෝග තත්ත්‍වයට ප්‍රතිකාරයක් ලෙස ද මෙය භාවිතා කර ඇත.
මෙය ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා භාවිතා කිරීමේදී මිලි ග්‍රෑම් 25 සිට 100 දක්වා ප්‍රමාණයක් ලිංගික එක්වීමටපෙර විනාඩි 30 ත් පැය 4ත් අතර කාළයකදී ලබාගැනීම සිදු කළ යුතුයි.
පුප්ඵුසීය ධමනි ආශ්‍රිතව ඇතිවන අධික රුධිර පීඩනය නැති කිරීම පිණිස භාවිතා කරන අවස්ථාවලදී මිලිග්‍රෑම් 20ක පෙත්තක් දිනකට තුන්වරක් ලබාගැනීම සිදු කළ යුතුයි.
අධික රුධිර පීඩනය ඇති අය වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙය ගැනීම නුසුදුසුයි. එසේම රුධිර පීඩනය පාලනයට නයිට්‍රේට් අඩංගු ඖෂධ ගන්නා අය විශේෂයෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. එසේම ලිංගික ප්‍රාණවත් බව පැය හතරකට වඩා වැඩිපුර පැවතිය හොත්, ලජ්ජාව පැත්තකින් තබා වෛද්‍ය උපදෙස් පැතීම යහපත් වන්නේ එය දුරදිග ගියහොත් එසේ වන අවසාන අවස්ථාව එය වියහැකි නිසායි.
ඕනෑම ඖෂධයක හොඳ පැත්ත මෙන්ම නරක පැත්තක්ද ඇත… මේ නිසා ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැති බව සිත්හි තබා ගන්න…
ලංකාවේ ඇති පෙනෙල කොළ කැඳක් සති පතා බීමෙන් මෙම ඖෂධයෙන්ම ලැබෙන ගුණාගුණ ලැබිය හැකි බව පැරැන්නෝ පැවසූ බව පුරාතණයේ පොත්පත්වල සඳහන් වී ඇත…
ගිණි අවි නැති ගිණිකෙළි…. රසායන විද්‍යාවේ චමත්කාරය…….. 2011 අප්‍රේල් 19
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, රසායන විද්‍යාව සබැඳි දේ.Tags: ගිණිකෙළි, fireworks
9 comments
ලොකු කුඩා අපි හැමෝම කැමතියි ගිණිකෙළි දකින්න.. සමහර මැති ඇමතිවරු සහ ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ නම් ගිණි අවිවලින් ගිණිකෙළි කරනවා. තවත් සමහර අහිංසකයෝ නිලාකූරු, අහස්කූරු ආදියෙන් ගිණිකෙළි කරනවා… මට මතකයි අවුරුදු කාලෙ අපේ නෑදෑයො රතිඤ්ඤා, නිලා කූරු, බමර චක්‍ර ආදිය ගෙනත් දෙනකොට අපට තියෙන ආසාව… ඒ වගේමයි සමහර විට නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථාවක ඇති ගිණිකෙළි සංදර්ශන ආදිය බලන්න පැය ගණන් කටු කාපු හැටි… ඒ ඔක්කෝම අපි කරන්නේ ගිණිකෙළි වලින් මැවෙන විවිධ වර්ණ රටා දකින්නට ඇති ආසාව නිසා… හොඳයි එහෙම නෙවෙයිද ?
මේ ගිණිකෙළිවල ප්‍රධාන අංග හතරක් තිබෙනවා. ශබ්ධය, ආලෝකය, දුම සහ පාවෙන ද්‍රව්‍ය ලෙසින්. මේවා විවිධ වර්ණ ලබා දෙන ලෙසට සකස් කර තිබෙන්නේ නරඹන්නන්ගේ අවධානය දිනාගනු පිණිසයි. ගිණිකෙළි මුලින්ම නිපදවනු ලැබුවේ ඈත පෙරදිග චීනයේදීයි. ඒ විවිධ භූත ආත්ම පළවාහැරීම සඳහායි. පෙරදිග චීනය වඩාත් ප්‍රසිද්ධ වන කාරණා හතරින් එක කාරණයක් වන්නේ වෙඩි බෙහෙත් නිපදවීම නිසා බව ඔබ සමහරවිට දන්නවා ඇති. අනෙක් කාරණා තුන වන්නේ කොම්පාසුව, කඩදාසි, සහ මුද්‍රණ කර්මාන්තයයි. චීනයේ වැදගත් අංග දෙකක් වන චීන අළුත් අවුරුද්ද සහ සැප්තැම්බර්/ඔක්තෝබර් මාසවල පැවැත්වෙන චන්ද්‍ර සැණකෙළිය (Moon Festival) වෙනුවෙන් පැවැත්වෙන ගිණිකෙළි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න දසුනක්. ලෝකයේ විශාලතම ගිණිකෙළි නිපදවන්නා හා අපනයනය කරන්නා වන්නේ චීනයයි. මේ නිසා චීනයේ සැදු වන බොහෝ උත්සව වල ගිණිකෙළි සංදර්ශන අනිවාර්ය අංගයක්. උදාහරණයක් වශයෙන් මගේ රසායනාගාරයේ ඉන්න චීන කෙලිපැංචිගේ පාසලේ සියවස් සැණකෙළියට පැයක් පුරා ගිණිකෙළි තිබුණා ලු… අමෙරිකාවේ නිදහස් දවස සමරන්නත් ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. සාමාන්‍ය නගරයක නම් විනාඩි 15 ක් පමණ පැවැත්වෙන අතර නිව්යෝක් වැනි තැනක පැය බාගයක්, පැයක් වැනි කාළයක් මේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. මේවා බලන්නට සෙනඟ උදේ පටන් පැමිණ තැන් වෙන්කරගෙන බලාගෙන ඉන්නවා.
ලේඛණවලට අනුව මුලින්ම ගිණිකෙළි පිළිබඳ සටහනක් ලැබෙන්නේ හත්වන සියවසේ චීනයේ භූත ආත්ම පළවා හැරීම සඳහා විශාල හඬක් නැගෙන පරිදි පිපිරවූ ගිණිකෙළි වේ. දාහතරවන සියවස වන තෙක්ම ගිණිකෙළි සංදර්ශන පැවැත්වූයේ රජපවුල සහ ධනවත් වංශාධිපතියන් සඳහා පමණි. මිං රජ පවුල මේ සම්ප්‍රදාය බිඳ දමා ගිණිකෙළි සෑම දෙනාටම උරුම වූ දෙයක් සහ ඕනෑම අවස්ථාවක පාවිච්චි කළ හැකි දෙයක් බවට පත් කරන ලදී…
ගිණිකෙළි සංදර්ශන වල ක්‍රමය වන්නේ බිම සිට උඩට යවන රොකට්ටුවක් වැනි දෙයකින් ඉහල අහසේ පිපිරීමක් සිදු කර ගිණිකෙළි දර්ශනය වන්නට සැලැස්වීමයි. මෙහිදී වඩාත්ම පොදු රොකට්ටු ක්‍රමය වන්නේ කඩදාසි හෝ කාඩ්බෝඩ් වැනි ඝණ ද්‍රව්‍යයකින් වටකළ පුපුරණ ද්‍රව්‍යවලින් තැනූ ගිණිකෙළි වේ. පෙරකළ යුද්ධවලදී භාවිතා කළ රොකට්ටු භාවිතාව තවමත් බහුලවම භාවිතා කරන ක්‍රමයයි.
මේ සඳහා ගිණිකෙළි ඉහළට යැවීමට පිපිරුමක් ඇති කළ යුතුයි. දෙවනුව අදාල පිපිරුම් (තරු) අඩංගු කොටස නිසි පරිදි අහසේ අදාල උසේදී පිපිරීමට ගිණි නූල (Fuse) සැකසිය යුතුයි. පිපිරුම් අඩංගු තරු ඇතුලත් කොටස පිපිරී ගිණිකෙළි පිටතට පැමිණිය යුතුයි.
ගිණිකෙළිවල වර්ණයන් ලබා ගන්න විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. එසේම ගිණිකෙළි තුල මූලිකවම ඇත්තේ රසායනික ද්‍රව්‍යයි. මේ ද්‍රව්‍ය විවිධාකාරයෙන් කටයුතු කරනවා.
- ගිණිකෙළි දහනය සඳහා ඉන්ධන
- ගිණි දැල්වීමට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සඳහා ඔක්සිකාරකයක්
- වර්ණ ගැන්වීම සඳහා රසායනිකයක්
- ගිණිකෙළි පිපිරීමේදී හෝ අහසට යැවීමේදී නොකැඩීම සඳහා බැඳුම් ද්‍රව්‍යයක්.
- ගිණිකෙළිවල වර්ණය පැහැදිලිව පෙන්වීමට ක්ලෝරීන් දායකයෙක්.
යන කාරණා සඳහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිතා කෙරෙනවා.
පහත දැක්වෙන්නේ විවිධ වර්ණ සහ ඒවා ලබාගැනීමට භාවිතා කරන විවිධ රසායන ද්‍රව්‍ය වේ. ඔබට පාසලේ විද්‍යාගාරයේදී සිදු කළ පහන්සිළු පරීක්‍ෂාව මතක නම්, ඒ ඒ වර්ණ ලබා ගැනීමට භාවිතා කළ විවිධ රසායන ද්‍රව්‍ය මතක් කරගන්නට පුළුවනි. මේ දැක්වෙන්නේ ඒ පැහැයන් ලබා ගැනීමට භාවිතා කරන රසායන ද්‍රව්‍ය වේ. මෙහිදී කාබනේට, ක්ලෝරයිඩ හෝ නයිට්‍රේට භාවිතා කරනුනේ ඒවායේ ඇති පහළ ද්‍රවාංක නිසායි.. එසේම ඒවායේ ඇති ඇනායන අවර්ණ වීම නිසා පහන්සිළු පරීක්‍ෂාවට බාධාවක් නොවීමත් හේතුවක්
රතු පැහැය – ස්ට්‍රොන්ටියම් – (තද රතු) ලිතියම් (ලා රතු) SrCO3 සහ Li2CO3
තැඹිලි පැහැය – කැල්සියම් – CaCl2
කහ පැහැය – සෝඩියම් – NaNO3
කොළ පැහැය – බේරියම් – BaCl2
නිල් පැහැය – කොපර් හේලයිඩ – CuCl2
ඉන්ඩිගෝ පැහැය – සීසියම් – CsNO3
දම් පැහැය – පොටෑසියම් – රුබීඩියම් (රතට හුරු දම්) – KNO3 , RbNO3
රන් පැහැය – අඟුරු – යකඩ පහන් දැලි
සුදු පැහැය – ටයිටේනියම්, ඇලුමිනම්, බෙරිලියම් හෝ මැග්නීසියම් පවුඩර්.
පහත දැක්වෙන්නේ විවිධ මූලද්‍රව්‍ය භාවිතාකර ගිණිකෙළි නිෂ්පාදනයේදී එක් එක් මූලද්‍රව්‍ය වලින් සිදුවන කාර්යය සහ වර්ණ පිළිබඳ සාරාංශයක්.
Al – ඇලුමිනම් – රිදී සහ සුදු පැහැය ලබා ගැනීමට භාවිතා වේ. එමෙන්ම දිලිසීම (sparkle) ඇති කිරීමට භාවිතා කරයි.
Ba – බේරියම් – කොළ පැහැය ඇති කරයි. එසේම වාශ්පශීලී ද්‍රව්‍ය ස්ථාවර කිරීමට ද භාවිතා වේ.
C – කාබන් – මෙය විශේෂයෙන්ම ඉන්ධනයක් ලෙස සහ ගිණිකෙළි අහස කරා රැගෙන යාමට ප්‍රචාලනය කිරීමට භාවිතා වන කළු කුඩෙහි අඩංගු වනවා.
Ca – කැල්සියම් – කැල්සියම් ලවණ තැඹිලි පැහැ ගිණිකෙළි ඇති කරන අතර අනෙකුත් වර්ණවල තදබව ඇති කිරීමටද භාවිතා වේ.
Cl – ක්ලෝරීන් – ගිණිකෙළි ඔක්සිකරණයේදී වැදගත් වේ, පහළ ද්‍රවාංකයක් ලබාදෙන අතර බොහෝ ලෝහ ක්ලෝරීන් සමඟ සංයෝග තනන නිසා ක්ලෝරීන් සංයෝග ගිණිකෙළි වලදී වැඩියෙන් භාවිතා වේ. එසේම වර්ණ තීවෘ කර පෙන්වීමට භාවිතා කරයි.
Cs – සීසියම් – ඉන්ඩිගෝ වර්ණය නිපදවන අතර ඔක්සිකරණයේදී වැදගත් වේ.
Cu – කොපර් – නිල්වන් කොළ පැහැය ඇති කරයි. කොපර් හේලයිඩ නිල් පැහැති ඡායාවක් ඇති කිරීම සඳහා භාවිතා කරයි.
Fe – අයන් – දිලිසීම් (Sparks) ඇති කිරීම සඳහා භාවිතා කරයි. ලෝහයේ උෂ්ණත්‍වය අනුව දිලිසීම්වල වර්ණය වෙනස් වේ.
K – පොටෑසියම් – පොටෑසියම් නයිට්‍රේට් (KNO3), පොටෑසියම් ක්ලෝරේට් (KClO3), සහ පොටෑසියම් පර්ක්ලෝරේට් (KClO4) , දහනයේදී ඔක්සිජන් සැපයීම මගින් අනෙකුත් ද්‍රව්‍ය ඔක්සිකරණයට උදවු කරයි. එසේම රෝසපැහැති දම් පැහැයක් ඇති දිලිසීම් ඇති කිරීමට ද භාවිතා වේ.
Li – ලිතියම් – රතු පැහැය ඇති කිරීම සඳහා භාවිතා කරයි. විශේෂයෙන්ම Li2CO3.
Mg – මැග්නීසියම් – දැඩි දීප්තියක් ඇතිව දැවේ. සුදු හෝ රිදී පැහැති දිලිසුම් ඇති කිරීම සඳහා භාවිතා වන අතර සමස්තයක් ලෙස ගිණිකෙළිවල දීප්තිය වැඩි කිරීම සඳහා යොදාගැනේ.
Na – සෝඩියම් – දීප්තිමත් කහ පැහැය ලබා දේ.. නමුත් දීප්තිය වැඩි නිසාම අනෙක් වර්ණ යටපත් කරයි.
O – ඔක්සිජන් – ඔක්සිකරණයේදී යොදාගැනේ. බොහෝවිට නයිට්‍රේට, ක්ලෝරේට, සහ පර්ක්ලෝරේට වශයෙන් භාවිතා වේ. සමහරවිට එකම සංයෝගය වර්ණ ලබාදීමට සහ ඔක්සිකරණය යන කරුණු දෙකටම භාවිතා කරයි.
P – පොස්ෆරස් – මෙම මූලද්‍රව්‍යය ස්වයංක්‍රීයව වාතයේදී දහනය වේ. එසේම අඳුරු තත්ත්‍ව නිර්මාණය කිරීමට භාවිතා වේ. ස්වයං දහනය ඇති නිසා ගිණිකෙළිවල ඉන්ධනයක් ලෙස භාවිතා වේ.
Ra – රේඩියම් – තද කොළ පැහැය ලබා දෙයි. භාවිතයට අනතුරු දායකයි.
Rb – රුබීඩියම් – ගිණිකෙළිවලට යොදාගන්නා විවිධ සංයෝග මිශ්‍රණ ඔක්සිකරණයට යොදාගනී. රතට හුරු දම් පැහැය ලබා දේ.
S – සල්ෆර් – ගිණිකෙළි අහසට යැවීමට භාවිතා කරන ඉන්ධන වල සංඝඨකයකි.
Sb – ඇන්ටිමනි - ගිණිකෙළි වල දීප්තිය/ කාන්තිය (glitter) ලබා දීමට භාවිතා කරයි.
Sr – ස්ට්‍රොන්ටියම් – විවිධ සංයෝග මිශ්‍රණ ස්ථායී කිරීමට යොදාගන්නා අතර රතු පැහැය ලබා දෙයි.
Ti -ටයිටේනියම්- රිදී පැහැය ලබා දේ
Zn – සින්ක් – ගිණිකෙළිවල දුම් ඇතිකිරීමට භාවිතා කරයි.
මේ විවිධ ගිණිකෙළි එකම විදියට පිපිරෙන්නේ නැහැ… ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කර විවිධාකාරයට පිපිරෙන්නට සලස්වනවා. පහත් දැක්වෙන්නේ ඒ ක්‍රම කිහිපයක්.
Peony - තරු ආකාරයට ගෝලාකාරව පිපිරීම – මෙහිදී වැටෙන ආලෝකයේ දීප්තිමත් වල්ගයක් වැනි ඉතිරියක් ඇති වන්නේ නැහැ.
Chrysanthemum – දිලිසුම් සමඟ දීප්තිමත් වල්ගයක් ඇති කෙරෙන Peony ආකාරයේ පිපිරීමක්
Dahlia – Peony ආකාරයේ සැකසුමක් වුවත් විශාල තාරකා සුළු පුමාණයකින් සමන්විතයි.
Willow – Chrysanthemum වලට සමාන නමුත් දිගුකාලයක් පවතින දිගු වලිගවලින් සමන්විත පිපිරුමක්. පිපිරෙන්නේ අර්ධ ගෝලාකාරවයි (Dome)
Ground Bloom Flower – බිම සිට විහිදෙන කුඩා ගිණිකෙළි. වර්ණය කිහිප වතාවක් වෙනස් කළ හැකියි.
Palm – තල් ගසක් වැනි ආකාරයට පිපිරෙන දිගු දිලිසීම් ඇති කෙරෙන පිපිරුම් ඇති කරයි.
Ring – වලල්ලක ආකාරයට පිපිරුමක්ඇති කරයි. සමහර අවස්ථා වල හදවත්, මුහුණු වැනි විශේෂ දසුන් ද ඇතිකළ හැක.
Diadem – Chrysanthemum හෝ Peony ආකාරයේ පිපිරුමක් මධ්‍යයේ ඇති කරන අතර, පිපිරෙන තාරකා වැඩිදුර චලනයක් නොවේ.
Kamuro – පිරිමි ලමුන්ගේ හිසකෙස් යන ජපාන වදනේ ආකාරයට දැඩිව එකළඟින් ඇසිරුණ දිගු වල්ගයක් ඇති පිපිරුමක්.
Crossette – කතිරයක් ආකාරයට දිගු වල්ගයක් සහිතව පිපිරෙන තරුවක්.
Spider – දැඩිව පිපිරෙන අඟුරු සහිත තරුවක්. මෙහි පිපිරීම වැඩි නිසා පිපිරෙන තරු රේඛීයව ගමන් කරයි. එය මකුළුවෙකු සේ දිස්වේ.
Horsetail – අශ්වයෙකුගේ වල්ගයක් සේ පිපිරෙන ගිණිකෙළි. සමහර අවස්ථාවල මෙය දිය ඇල්ලක් සේ දිස් වේ.
Time Rain - සෙමින් දිගු කාලයක් පවතින ගිණිකෙළි. මෙය වැස්සක් සේ දිස් වීමට සකසා ඇත.
Multi – Break Shells – පොකුරු ගිණිකෙළි. එකක් පිපිරී ඉන් තවත් කිහිපයක් පිපිරෙන ආකාරයට සකස් කර ඇත.
Fish - මසුන් පිහිනන්නාක් මෙන් දිස්වෙන ගිණිකෙළි.
Salute – දැඩි ශබ්ධයක් සහිතව පිපිරෙන ටයිටේනියම් කුඩු යොදා තැනූ ගිණිකෙළි. මේවා සාමාන්‍යයෙන් ගිණිකෙළි සංදර්ශනය අවසානයේ විශාල වශයෙන් පුපුරවයි.
Bengal Fire - ස්ථාවර දර්ශනීය නිල් පැහැති ආලෝකයක් සහිතව පිපිරේ.
Roman Candle – අවානක් ආකාරයට සැකසෙන නරඹන්නන්ට ඉතා සමීපව පිපිරෙන ගිණිකෙළි වේ.
ගිණිකෙළි වලින් වර්ණයක් ලබා දෙනවා සේම එහි ඇතිකෙරෙන ශබ්ධයද ඒ හා සමානවම වැදගත් වේ. මේ ශබ්ධ ආකාර කිහිපයක්.
Bangs and Report – මෙය වඩාත්ම පොදු ශබ්ධ ආකාරය වන අතර මෙහි ශබ්ධය තුවක්කුවක් පත්තු වන ශබ්ධය ගනී.
Crackle - “චර චර“ ශබ්ධය ගෙන එන ආකාරයයි.
Hummers - සිහින් මිමිණුමක් හෝ හ්ම් ශබ්ධය ගෙන එන ආකාරය.
Whistle - ඉහළ තාරතාවයක් ඇති විසිල් කරනවා වැනි ශබ්ධයක් ගෙන දේ. බොහෝ විට මෙය අවසානයේ ඉහළ පිපිරුමක් සහිතව දැඩි ශබ්ධයක් සමග මිශ්‍රකර භාවිතා කරයි.
මේ ගිණිකෙළි අවසානයේ දැවී සහ නොදැවී ඉතිරි වන දේ වලින් පරිසරය දූෂණයක් ද සිදු වේ. මේ නිසා බොහෝ රටවල් ජලයේ දියවන සහ එක්රැස් වීමක් නොවන සංයෝග යොදාගැනීම කෙරෙහි නැඹුරු වී තිබේ. මේ රටවල ගිණිකෙළි සඳහා විවිධ පරාමිතීන් පවා හඳුන්වා දී තිබෙනවා. විවිධ ආරක්‍ෂක විධි විධාන, නරඹන්නන් සිටිය යුතු දිශාව, දුර, ගිණිකෙළි පැවැත්විය යුතු ස්ථාන ආදිය දැඩි පාලනයකට යටත්ව සිදු කෙරෙනවා.
කෙසේ වුවත් මේ ගිණිකෙළි වැරදුනොත් ලොකු ගිණිකෙළියක් වෙලා නවතින බවත් සිහි තබාගත යුතුයි.. මේ නිසාම මහා පරිමාණයේ ගිණිකෙළි සංදර්ශනයන් සඳහා වෘත්තීයමය ගිණිකෙළි ප්‍රදර්ශකයන් භාවිතා කළ යුතුමයි… රතිඤ්ඤා වැනි සරළ ගිණිකෙළි වැඩිහිටියන් විසින් භාවිතා කළත්, කුඩි ළමුන්ට ඒවා භාවිතාව තරමක් අවදානම්. මේ නිසාම හැම අවුරුද්දකම වාගේ කිහිප දෙනෙක් මුහුණ අතපය තුවාල කරගන්නබව නොකියාම බැහැ….
මින්පසු ගිණිකෙළි සංදර්ශන නරඹන විට මොන වගේ ක්‍රමයටද පිපිරෙන්නේ, මොන වගේ ශබ්ධයක් ද ඇති වන්නේ කියන එක හිතා බලන්නත් අමතක කරන්න එපා………
ගිණිකෙළි සහ ඉන් ආරක්‍ෂා වීම ගැන දිවයිනේ ඇති මේ ලිපියත් කියවලා බලන්න
ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්‍රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාමය….. 2011 අප්‍රේල් 12
Posted by Alchemiya in ඇල්කෙමියාගේ දිනපොත, ඔබට හිතන්න යමක්, මම නොදන්න දේශපාලනය, රසායන විද්‍යාව සබැඳි දේ.Tags: ඇල්කෙමියාගේ දිනපොත, ඇල්කෙමියාගේ රසායනාගාරය
14 comments
ගිය අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා ඇල්කෙමියටත් කරන්න දෙයක් නැතිකමට බ්ලොග් එකක් පටන් ගත්තා… නමක් හොයන්න අමාරු වුනේ නැත්තේ ඇල්කෙමියා ඉස්සර ඉඳලම “ඇල්කෙමියා“ කියන නම බොහෝ දේට භාවිතා කරමින් තිබුණ නිසා.. ඉතින් මුලින් මුලින් රසායන විද්‍යාව සම්බන්ධ දේ පමණක් ලියන්න හිතාගෙන හිටියත්, සමහර වෙලාවට අරමුණෙන් අපගමනය වුනේ පුංචි පුංචි දේශපාලන කතා ලියැවිච්චි නිසා.
වසරක් ගතවෙද්දි ඇල්කෙමියගේ රසායනාගාරයට ගොඩ වැදිච්ච ගණන 11000 ක්. ලිපි නම් ලියැවුනේ පනස් අටයි. ජුලි මාසේ ඉඳලා ඇත්තම රසායනාගාරයේ වැඩ පටන් ගත්ත නිසා ලිපි සංඛ්‍යාව පොඩ්ඩක් අඩු වුනා. ජනවාරි මාසයේ ඉඳන් ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්ත නිසා නිතිපතා ඇල්කෙමියාගේ රසායනාගාරයට ලියන්නට බැරි වුනා. ඒ වුනත් ඉඳලා හිටලා කවුරු හරි මතක් කළාම ඔන්න ලිපියක් ලියන්න ගන්නවා.
මේ අතරේ තමයි ඇල්කෙමියා පාඨක ප්‍රතිචාර අහලා ලිපියක් ඉදිරිපත් කලේ. ඒ අනුව සමහර අයගේ ඉල්ලීම වුනේ නැනෝ තාක්‍ෂණය ගැන ලිපියක් පළ කරන්න කියලා… දන්න හැටියට ලියලා දාපු ඒ ලිපියට ලැබුන ප්‍රතිචාර අනුව නැනෝ යන්ත්‍ර ගැනත් ලියැවුනා.. මේ වගේ ලිපි තවදුරටත් ඉදිරියට ඉඩ ලැබෙන විදියට ලියැවේවි.. නිතරම බලන්නේ කාට හරි දැනුමක් එකතු කරගන්න පුළුවන් යමක් ලියන්නයි.
දිනපොතත්, රසායනාගාරයත් යන දෙකම ලියැවෙන නිසාත්, ඇල්කෙමියාගේ ඇත්තම රසායනාගාරයේ වැඩ අධික බව නිසාත් සතිපතා නම් ලිපි ලියැවෙන එකක් නැහැ. නමුත් ඇල්කෙමිච්චිවත් ශේප් එකේ තියාගෙන උදේට උදේට ඇහැ ඇරිලා සතියක් විතර ලියන ලිපියක් ඉඳහිට පළ කරන්නම්. මේ ලිපි ලියන නිසාම මගේ අමතර දැනුමත් ටිකක් වැඩි වුනා කිව්වොත් නිවැරදියි….
ඉතින් පාට පාට පාඨක ඔබ සැම මේ ඇල්කෙමියාගෙ රසායනාගාරයට ගොඩ වැදිලා යම් දැනුමක් ලබා ගන්නවා නම් ඒක ඇල්කෙමියට සතුටක්. ඇල්කෙමියා මේ රසායනාගාරයේ ලිපි පළ කරන්නේ පොරක් වෙන්න හිතාගෙන නෙවෙයි. ඇල්කෙමියට කවදාවත් පොරක් වෙන්න ඕනෙත් නෑ… හැබැයි කවුරු හරි ඇල්කෙමියා පොරක් කියලා කියනවා නම් ඒ ගැන තර්ක කරන්න යන්නෙත් නෑ…. අනිත් හැමෝටම වගේ ඇල්කෙමියටත් තියෙනවා දේශපාලන දර්ශනයක්. ඒක ආණ්ඩුවට පක්‍ෂද විපක්‍ෂද කියලා නෑ.. ඇල්කෙමියාට හරියි කියලා හිතෙන දේට හරියි කියනවා. එල්ටීටී එක වුනත් හරි දෙයක් කරනවා නම් ඒක හරි කියලා කියන්න ඇල්කෙමියා පසුබට වෙන්නෙත් නෑ… ආණ්ඩුව කරන හරි දේ අගය කරන්න වගේම වැරදි දේ විවේචනය කරන්නත් ඇල්කෙමියාට කොන්දක් තියෙනවා. සමහරු ඇල්කෙමියාගේ රසායනාගාරය දේශපාලන බ්ලොගයක් කියලා වරදවා වටහාගෙන තිබෙනවා ලු. ඒත් ලංකාවේ සිදුවන දේ ගැන විවේචනය කිරීමේදී සමහරුන්ට මේ බ්ලොගය දේශපාලනිකව පෙනෙනවා ඇති. නමුත් මේ සටහන්වල අරමුණ වන්නේ දැනුම බෙදාහැරීම පමණමයි…
ඉතින් සුපුරුදු පරිදි පුළු පුළුවන් වෙලාවට ඇල්කෙමියා මේ රසායනාගාරයට ගොඩ වැදිලා අළුත් යමක් ඔබට දේවි… ඇල්කෙමියා මේ රසායනාගාරය කරන්නේ හිට් ගණන බලාගෙනත් නෙවෙයි…. හැබැයි කවදාවත් මේක ඇල්කෙමිච්චි නං හැක් කරන්නේ නෑ කියන එකත් ඔය සමහර ඇත්තන්ට මතක් කරලා දෙන්න ඕන…..
එහෙනම් ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා… වැඩි වැඩියෙන් කියවන්න ලියන්න ලැබේවා…. !
නැවත වතාවක් කරන කතාවක්……… පරෙස්සම් වන්න…..ඊයම් විෂවීම භයානකයි….. 2011 අප්‍රේල් 10
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්.14 comments
ලංකාවේ තිබෙන ගෙදර දොර තීන්ත වර්ගවල තිබෙන ඊයම් ප්‍රමාණය නීතියෙන් නියමිත ප්‍රමාණවලට වඩා 1526 ගුණයක් වැඩියි ලු. ලංකාවේ ඇති නීති රීති හා ඒවා පිළිපැදීම් ගැන අපට තියෙන අත්දැකීම් එක්ක මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. වඩාත්ම අවාසනාවන්ත කාරණය තමයි මේ ගැන කතා කරන්න ලංකාවේ කිසිකෙනෙක් ඉදිරිපත් නොවීම. විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා මහාචාර්ය වරුන් සිය ගණනක් හිටියත් ඔවුන් මෙවැනි ප්‍රතිපත්ති පිළිබඳ (policy issues) කතා නොකිරීම ලොකු ගැටළුවක්.
ඊයම් විශ වීම යනු භයානක තත්ත්‍වයක්… මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් මම 2011 මැයි 27 වෙනිදා ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ කර තිබෙනවා… කැමති අය ගිහින් බලන්න….
මෙන්න මෙහෙම මම කිවුවේ 2010 මැයි 27 වෙනිදා
රෝගීන්ට සිදු වන අකටයුතුකම් ගැන, වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිළිමත් කම නිසා සිදු වන ජීවිත හානි ආදිය පිළිබඳ කතා කරන්න කවුරුවත් ඉදිරිපත් නොවුනත්, වෛද්‍ය වරයෙකුට නිය පිටින් පහරක් වැදුනත් වර්ජනය කරන්න නම් සූදානම්. ඒ වගේමයි, ලංකාවේ වසරකට 10,000 ක් පමණ රිය අනතුරු වලින් මිය යනවා, නමුත් ඩෙංගු නිසා මිය යන්නේ 500 ක් පමණ… අපි ඩෙංගු සහ ඒ පිළිබඳ කතා කරනවා (ඒක හොඳයි, නමුත්) අපි බීමත්ව රිය පැදවීමෙන් හෝ නොසැලකිළිමත්ව රිය පැදවීම නිසා අකාලයේ මිය යන මිනිසුන් ගැන කතා කරන්නේ නැහැ….
අපි මෙයට වඩා සැලකිළිමත් විය යුතුයි. දැනුමැති අය ප්‍රසිද්ධියේ මේ ගැන කතා කර ජනතාව දැනුවත් කළ යුතුයි… මේ ගැන පත්තරේකට ලිවුවත් පත්තර කන්තෝරුවල අය අපි අඳුනන්නේ නැති නිසා ඒවා පත්තර වල පළවන්නේ නෑ… මීට පෙර මා කාලගුණ විපර්යාස සහ මිනිස් සම්බන්ධතාවය පිළිබඳ දිවයින පත්තරේට ලිව්වත්, අවම වශයෙන් ඔවුන් එම ලිපිය ලැබුණා දැයි වත් මට දැන්වුවේ නැහැ… මේ නිසාම මම පත්තර වලට ලිවීම නතර කරලා බ්ලොග් ලිවීමට පටන් ගත්තේ අවම වශයෙන් දහ දෙනෙකුවත් කියවාවි යැයි කියන හැඟීමෙන්…
අනාගතයේ එක දවසක්…… නැනෝ යන්ත්‍ර Nano Machines / Molecular Machines සහ නැනෝ රොබෝ වරු…………. 2011 අප්‍රේල් 6
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, රසායන විද්‍යාව සබැඳි දේ.6 comments
පසුගිය ලිපියේ ප්‍රතිචාර වලින් බොහොමයක් වුනේ නැනෝ යන්ත්‍ර එහෙමත් නැතිනම් නැනෝ රොබෝවරුන්ගේ ක්‍රියාකාරිත්‍වය පැහැදිළි කරලා දෙන්න කියලයි. ඇත්තෙන්ම මේ නැනෝ යන්ත්‍ර කියන දේ තවමත් අත්හදා බැලීම් තත්ත්‍වයේ ඇති සංකල්ප පමණයි. ඒ වුනත් හැම සාර්ථක නිපැයුමක්ම මුලින් සංකල්පයක් වශයෙන් හටගෙන වැඩෙන නිසා වගේම, යම් යම් පර්යේෂණ වලින් මේ නැනෝ යන්ත්‍ර වල පැවතීම අනාගතයේදී ඇති විය හැකි බවට තහවුරු වීම නිසාම බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙතට යොමු වී තිබෙනවා.
මේ නැනෝ යන්ත්‍ර යනු, එක්කෝ කුඩා මිසෙල්ලාවක් සේ සැකසුන පරමාණු කිහිපයක් වන්නට හෝ, යම් යම් අණුක සැකැස්මකින් සමන්විත සරළ සංයෝගයක් වුවත් වන්නට පුළුවන්. මේ නැනෝ යන්ත්‍ර විවිධ ක්‍ෂෙත්‍රයන් හි ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ මේ යන්ත්‍රවලට විශාල වැඩ කොටසක් කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් සෛල වලට ඖෂධ බෙදාහැරීම (Drug Delivery) වැනි කටයුතු වලදී මේ යන්ත්‍ර යොදාගැනීමට පුළුවනි. සමහරවිට පිළිකා මර්ධනයේදී අදාල පිළිකා සෛල වලට එරෙහිව ඖෂධ සැපයීමේදී පිළිකා සෛල මෙන්ම නිරෝගී සෛල වලටද හානි පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක නැනෝයන්ත්‍රයකට ඈඳූ ඖෂධයක් පිළිකා සෛල වෙතට ඉලක්ක කර මුදාහැරීම කළ හැකියි. එම නැනෝ යන්ත්‍රය පිළිකා සෛල හඳුනාගෙන ඒ වෙතට ලඟා වු පසු ඖෂධ මුදා හැරීම කළ හැකියි. මෙහිදී විශේෂයෙන් සැළකිළිමත් විය යුතු කරුණ වන්නේ මේ නැනෝ යන්ත්‍ර මිනිස් ශරීරයට අහිතකර නොවීමට වග බලා ගැනීමයි. මේ නිසාම නැනෝ යන්ත්‍ර නිපදවීමට පර්යේෂණ කරන විද්‍යාඥයන්ට විශාල බාධකවලට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. ඒ තමයි නැනෝ යන්ත්‍ර ඖෂධ මුදාහැරීමට සකස් කළ හැකි යාන්ත්‍රණය සොයාගැනීම. ඒ නැනෝ යන්ත්‍ර නියමිත පරිදි පිළිකා සෛල වලට පමණක් ප්‍රතිචාර දැක්වීමට සකස් කිරීම. නැනෝ යන්ත්‍ර ශරීරයට අහිතකර නොවන සේ ශරීරයෙන් බැහැර කිරීමට හැකි වනලෙස සකස් කිරීම… මේ ආදී වශයෙන් නොදන්නා පරාමිතීන් (Unknown Parameters) විශාල සංඛ්‍යාවකට පිළිතුරු සපයන්නට විද්‍යාඥයන්ට සිදු වී තිබෙනවා. වෛද්‍ය ක්‍ෂෙත්‍රයේදී මෙන්ම ආරක්‍ෂක ඔත්තු සේවා වලටද මේ නැනෝ යන්ත්‍රවල උපයෝගීත්‍වය ප්‍රයෝජනවත් වෙනවා. අති සූක්‍ෂම ලෙස සැකසූ ඔත්තු බැලීමේ යන්ත්‍ර, කුඩා මයිකුෆෝන, කැමරා, ආදී දේ සැකසීමට කුඩා චිපයන්, කුඩා ඉලෙක්ට්‍රොණික උපාංග පිළයෙල කිරීම ආදියට නැනෝ තාක්‍ෂණය යොදාගන්නවා. Dan Brown ගේ පොතක් වන Deception Point හි විශේෂ ඇමරිකානු භට කණ්ඩායමක් උත්තරධ්‍රැවයේ ඔත්තු බැලීමක නිරත වෙන්නේ මෙන්න මේ නැනෝ යන්ත්‍රයක උපයෝගීත්‍වයෙන්. කුඩා මදුරුවෙකු වැනි යන්ත්‍රයක ආධාරයෙන් උත්තරධ්‍රැවයේ නාසා ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමෙහි ක්‍රියාකාරීත්‍වය නිරීක්‍ෂණය කරන ඔවුන්, සුවිශේෂ සොයාගැනීමක් කරන විද්‍යාඥයා ඝාතනය කරන්නේ එම යන්ත්‍රයම උපයෝගී කරගෙනයි… මෙවන් දෑ සංකල්ප ලෙස පැවතියත්, නාවික හමුදා පර්යේෂණායතනය වැනි අති රහස්‍ය අමෙරිකානු පර්යේෂණායතනවල මෙවන් පර්යේෂණ දැනටමත් සිදුකෙරෙමින් පවතිනවා. ඊට අමතරව නැනෝ තාක්‍ෂණය වැදගත් වන අනෙක් ක්‍ෂෙත්‍ර වන්නේ රසායන විද්‍යාවයි. Lab on Chip නම් සංකල්පය වන අති සූක්‍ෂම ලෙස සැකසූ විශ්ලේෂණයන් වලට යොදාගන්නා කුඩා උපකරණ මේවාට හොඳම උදාහරණයයි. මෙය වෛද්‍ය ක්‍ෂෙත්‍රයේදී ද උපයෝගී කරගත හැකියි. මෙමගින් අප භාවිතා කරන සාම්පලය මිලිග්‍රෑම් හෝ මයික්‍රෝග්‍රෑම් පුමාණයක් වැනි අතිශය සුළු ප්‍රමාණයකට සීමා වන අතරම නාස්තිය අවම වෙනවා. එසේම ප්‍රතිඵල ලබා දීමද ඉක්මනින්ම සිදු වෙනවා. එසේම සමහර හානිකර ද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය වැනි දෑ ද පහසුවෙන් ආරක්‍ෂා සහිතව විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. නැනෝ තාක්‍ෂණයේ තවත් ප්‍රයෝජනවත් ක්‍ෂෙත්‍රයක් වන Micro Electro Mechanical Systems (MEMS) සහ Nano Electro Mechanical Systems (NEMS) මෙම නැනෝ යන්ත්‍රවලට දිය හැකි සරළම උදාහරණයයි. මේවා විවිධ ක්‍ෂෙත්‍ර වල භාවිතා වන අතර මෙම විෂයය තවමත් සීඝ්‍ර ලෙස වර්ධනය වන පර්යේෂණ ක්‍ෂෙත්‍රයක්. මෙහි වඩාත්ම වැදගත් කොටස් වන්නේ Sensor හෙවත් සංවේදකවල භාවිතයයි. අප සැවොම දන්නා iPhone වැනි Smart Phone තාක්‍ෂණය ඇති ස්පර්ෂ සංවේදනය අනුව ක්‍රියාකරන මුහුණත් ඇති පරිඝණක තිර, දුරකථවන වැනි උපකරණවල සංවේදන ලබාගැනීමට, ඒවා වැටීමකට ලක්වන විට උපකරණ ඉබේම ක්‍රියාවිරහිත වන ලෙස සැකසීම, Nintendo, Wii වැනි ක්‍රීඩා උපකරණවල පාලක (controllers) වල වේගය, චලනය වැනි සංවේදන පාලනයට යොදාගන්නේ මෙවැනි තාක්‍ෂණයන් ය. ඉතින් මේ නැනෝ යන්ත්‍ර කියන ලේසියට හදන්නට බැහැ. මේවා තැනීමට බාධක එමටයි. මුලින්ම මේවායේ ප්‍රමාණය- පරමාණු කිහිපයකින් යන්ත්‍රයක හැකියාවක් ඇති දෙයක් තැනීමම බාධකයක්. එසේම ඒවාට පරමාණු ඇමිණීම පහසුවෙන් කළ හැක්කක් නොවෙයි, හරියට බොක්සිං අත්වැසුම් පැළඳගෙන ලෙගෝ වලින් යමක් තැනීම වැන්නක්… මෙම මූලික බාධකය ජයගතහොත් අනාගතයේ නැනෝ යන්ත්‍ර සෑදීමේ කටයුත්ත ඉක්මන් වන බවයි විද්‍යාඥයින් පවසන්නේ. මෙයින් වඩාම අවධානයට ලක් වුන කරුණ නම් CH3 ඛණ්ඩයේ හයිඩ්‍රජන් පරමාණු ඉවත් කර කාබන් පරමාණු එකිනෙක ඈඳාගනිමින් යන්ත්‍රයක් තැනීමට සැලසුම් කිරීමයි. නමුත් මෙහි ප්‍රධානතම බාධකය වන්නේ ඒ පරමාණු, අප ඉලක්ක කරන ස්ථානයට සවි නොවී වෙනත් ස්ථානවලට සවි වීම මගින් සිදු වන වෙනස්කම් පාලනයට තවමත් හැකියාවක් නොමැතිකමයි. අප දන්නා පරිදි කාබන් යනු ලෝකයේ වැඩිම සංයෝග සංඛ්‍යාවක් තැනීමට දායක වන මූලද්‍රව්‍යයයි. ඒ නිසාම මෙය සෑම පරමාණුවක් සමගම පාහේ සම්බන්ධ වීමට හැකියාවක් දරනවා. එසේම සමහර පරමාණු කාබන් පරමාණුව සමග තනන බන්ධන කැඩීමට අපහසුයි, මේ නිසා වැඩිපුර ශක්තියක් ඒ බන්ධන කැඩීමට යෙදවිය යුතු වෙනවා. නැනෝ යන්ත්‍ර තැනීමට කාබන් ඉතා යෝග්‍ය මූලද්‍රව්‍යයක් වුවත්, මෙවැනි බාධක නිසා එය තරමක් අපහසු වී තිබෙනවා. එසේම රසායනික සංකලනයට (Chemical Synthesis) පරිඝණක මගින් සැකසූ ආකෘති, විවිධ ගණනය කිරීම් ආශ්‍රයෙන් ලබා ගන්නා ආසන්නතම අගයයන් ආදිය උපයෝගී කරගෙන මේ යන්ත්‍රවල සිහිනය කවදා හෝ සැබෑ කරගැනීමට ලොව පුරා විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙනවා. එසේම මෙම නැනෝ යන්ත්‍රවල ඇති ප්‍රයෝජනවත් භාවය මෙන්ම එහි ඇති භයානක කමද මේවා තැනීමට බාධකයක් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ස්වයං ප්‍රතිවලිත වීමකට භාජනය වියහැකි (Self Replicate) නැනෝ යන්ත්‍රයක් තැනුවහොත්, එය සෑම විටම 2 ගුණාකාර වලින් ප්‍රතිවලිත වෙනවා. එවිට සෑම චක්‍රයක් අවසානයේදීම එය දෙගුණ වෙනවා. මෙවන් යන්ත්‍රයකට මිනිස් DNA හෝ යම් එන්සයිමයක කටයුතු වෙනස් කරන නැනෝ යන්ත්‍රයක් ඈඳා මුදාහැරියහොත් මිනිස් සංහතිය මෙලොවින් තුරන් වීමට වැඩි කාළයක් ගතවන්නේ නැහැ… මෙවැනි තාක්‍ෂණයක් ත්‍රස්තවාදීන් අතට පත් වුවහොත් සිදු විය හැකි විනාශය ගණනය කරන්නට බැහැ. කෙසේ වෙතත් ලෝකය බිහි වූ දා සිටම නැනෝ යන්ත්‍රවල අණසකට යටත් වී හමාරයි. අප දන්නා හොඳම නැනෝ යන්ත්‍රය වන්නේ සෛලයයි. එයට අභියෝග කිරීමට කිසිවකට බැහැ. එය තමන් විසින්ම ප්‍රතිවලිත වන, තමන්ටම ආවේණික කටයුතු කරන, තමන් විසින්ම පාලනය වන ස්වාධින ව්‍යුහයක්… ලොවේ කිසිම බලවතෙකුට මෙහි ක්‍රියාකාරීත්‍වය 100% ක් පාලනය කරන්නට බැහැ. මේ නිසාම නැනෝ යන්ත්‍ර කෙරෙහි අවධානය දක්වන බොහෝ දෙනා සෛලවල ක්‍රියාකාරීත්‍වය ගැන සැළකිළිමත් වන්නේ ඉන් උගතහැකි බොහෝ පාඩම් ඇති නිසායි…. ඉතින් අපි සැවොම මේ නැනෝ යන්ත්‍රවල ක්‍රියාකාරීත්‍වයට නතු වූ රොබෝවරුන් සමුහයක්… ඇත්තෙන්ම අහන්නට තියෙන්නේ කවුද ලොක්කා – Who’s the Boss ? කියන ප්‍රශ්නයයි. ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ ඉතින් මේ මම දන්න හැටියට නැනෝ යන්ත්‍ර/ නැනෝ රොබෝවරු ගැන සටහනක්… මෙයට යමක් එකතු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් කරුණාකර එකතු කරන්න…. මගේ කිසි අමනාපයක් නෑ,..
ලොවේ අනාගතය ඔපවත් කරවන නැනෝතාක්‍ෂණය ගැන සරළ හැඳින්වීමක්……………… 2011 මාර්තු 24
Posted by Alchemiya in රසායන විද්‍යාව සබැඳි දේ.11 comments
මේ ලිපිය ලියැවෙන්නේ මගේ ඉල්ලීමට ඔබ දැක්වූ ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් ලෙසයි… ඉතිරි ඉල්ලීම් කිහිපයත් වෙලාව ඇති විදියට සලකා බලන්නම්…
දැන් හැමෝම නැනෝතාක්‍ෂණය (Nanotechnology) පිළිබඳ කතා කරන්න පටන් අරන්. නැනෝතාක්‍ෂණය කියලා කියන්නේ පරමාණුක සහ අණුක පරිමාණයේදි (Atomic and Molecular Scale) ද්‍රව්‍ය හැසිරවීමයි. නැනෝතාක්‍ෂණයේදී ඒ ත්‍රිමාණ හෝ ද්වි මාන ද්‍රව්‍ය අවම වශයෙන් එක් මානයකදී හෝ නැනෝ මීටර 1ත් 100 ත් අතර පරිමාණයේ තිබීම වැදගත්. මෙහිදී පරිමාණය වැදගත් වන්නේ නැනෝද්‍රව්‍ය (Nanomaterials) වල ගුණ සියල්ල ඒ මත රඳා පවතින නිසා. ඒ කියන්නේ නැනෝ ද්‍රව්‍ය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ (Quantum Mechanics ) නියම වලට අනුව හැසිරෙන්නේ මෙම පරිමාණය තුළදියි. නැනෝද්‍රව්‍ය එම පරිමාණයෙන් පිටතට ගියවිට හැසිරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් උසස් යාන්ත්‍ර විද්‍යාත්මක (Classical Mechanics) නියම වලට අනුවයි. එවිට ඒවායේ ගුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැනටමත් නැනෝතාක්‍ෂණය මිනිස් ජීවිත විශාල පරිවර්තනයකට ලක් කර තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොණික උපකරණ, ජීව ද්‍රව්‍ය (Biomaterials) බලශක්ති ජනනය, උත්ප්‍රේරක, නව ප්ලාස්ටික්- පොලිමර් (බහුඅවයවික) ආදී විවිධ ක්‍ෂෙත්‍රවල දැනටමත් විශාල ආචරණයක් ඇති කිරීමට නැනෝද්‍රව්‍ය සමත් වී තිබෙනවා.
නැනෝතාක්‍ෂණය පිළිබඳ මුල්ම සිතිවිල්ල 1959 තරම් ඈතට දිවයනවා. කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේදී පැවති අමෙරිකානු භෞතික විද්‍යා සංගමයේ සැසිවාරයකදී භෞතික විද්‍යාඥ රිචර්ඩ් ෆෙයින්මන් විසින් කරන ලද “There’s Plenty of Room at the Bottom” නම් දේශනයේදී මුලින්ම මේ නැනෝ-තාක්‍ෂණය යන වදන ප්‍රකාශ වූ බවයි පැවසෙන්නේ. ඔහු එහිදී පැවසුවේ පරමාණු සහ අණු තනි තනිව හැසිරවීම මගින් ඒවායේ ගුණ පාලනය කර නව ද්‍රව්‍ය තැනිය හැකි බවයි. මේ පිළිබඳ වරින් වර විද්‍යාත්මක සමාජයේ විවිධ කතිකා ඇති වුනත් නැනෝතාක්‍ෂණය විශාල පිම්මක් පැන්නේ 1980 දශකයේ දී සිදු වූ සිදුවීම් කිහිපයක් මතයි. Cluster Science නම් වූ භෞතික විද්‍යාවේ නවතම අංශයක් ඇතිවීම සහ Scanning Tunneling Microscope – STM (සිංහලෙන් පරිලෝකන උමං අන්වීක්‍ෂය විය හැකියි) සොයාගැනීම නැනෝ තාක්‍ෂණය මෙතරම් දියුණු වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකයි. එය මීට පෙර දැකිය නොහැකිව තිබූ කුඩා ප්‍රමාණයේ ද්‍රව්‍ය නිරීක්‍ෂණය කිරීමේ වරම විද්‍යාඥයින්ට ලබා දුන්නා. ඒසමඟම වාගේ අමෙරිකාවේ රයිස් විශ්ව විද්‍යලයේ මහාචාර්ය රිචර්ඩ් ස්මෝලි විසින් 1985 දී සොයාගත් ෆුලරීන්, බකිබෝල්, සහ ඊට වසර කිහිපයකට පසු සොයාගත් කාබන් නැනෝටියුබ් ආදිය විද්‍යාත්මක කරලියට පැමිණියා. නැනෝ ස්ඵටික, ක්වොන්ටම් තිත්, Atomic Force Microscope (AFM – පරමාණුක බල අන්වීක්‍ෂය) ආදිය පැමිණීමත් සමඟ සෑම දෙනාම නැනෝතාක්‍ෂණය පිළිබඳ උනන්දු වන්නට පටන් ගත්තා. STM සොයාගත් ජර්මන් භෞතික විද්‍යාඥ ජර්ඩ් බිනින්ග් සහ ස්විස් විද්‍යාඥ හෙන්රිච් රෝරර් මෙන්ම ෆුලරීන් සොයාගත් අමෙරිකානු විද්‍යාඥ රිචර්ඩ් ස්මෝලි ද 1986 වසරේදී පිළිවෙලින් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.
නැනෝතාක්‍ෂණය සඳහා සංකල්ප දෙකක් උපයෝගී කරගන්නවා.
Top Down Approach: විශාල ඒකක කුඩා කරමින් අවසානයේ නැනෝමීටර පරිමාණය දක්වා කුඩා කිරීම මගින් තනාගන්නා නැනෝද්‍රව්‍ය නිපදවීමේ තාක්‍ෂණය සහ
Bottom up Approach : පරමාණුවල සිට නැනෝමීටර පරිමාණය දක්වා විශාල කිරීම මගින් තනාගන්නා ද්‍රව්‍ය නිපදවීමේ තාක්‍ෂණය ලෙසයි
ලංකාවෙත් නැනෝතාක්‍ෂණය මූලික පර්යේෂණ ආරම්භ කරලා ටිකක් කල්. බොහෝ දෙනෙක් නොදන්නවා වුනත් SLINTEC (Sri Lanka Institute of Nano TEChnology) කියලා හඳුන්වන ආයතනයේ මූලික පර්යේෂණ කෙරෙන්නේ මෙම නැනෝතාක්‍ෂණය සම්බන්ධ කරුණු පාදක කරගෙනයි. මෙය ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් මූල්‍ය දායකත්‍වයෙන් තැනුන ලංකාවේ සහ ලොව පුරා වෙසෙන ලාංකික විද්‍යාඥයින් බොහෝ දෙනෙකුගේ දායකත්‍වයෙන් සැදුම්ලත් තැනක්… අපේ බ්ලොග් අවකාශයේ ඉන්න මුදිත (මැද පිළිවෙත) දැන් සේවය කරන්නෙත් එතැන…
Scanning Tunneling Microscope – STM සහ Atomic Force Microscope – AFM සොයාගැනීම නැනෝ තාක්‍ෂණය මෙතරම් දියුණු වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකයි. එසේම මේ කරුණු මෙතරම් දියුණු වීම උදෙසා වෙනත් වෙනත් උපකරණ, තාක්‍ෂණ විධි මෙයට දායක වූනා… කෙසේ වෙතත් මේ ක්‍රම සහ විධි තවමත් පවතින්නේ තරමක වර්ධනය වන තත්ත්‍වයක. මේවායේ ක්‍රියාකාරිත්‍වය තවමත් බලාපොරොත්තු වන තරමට වේගවත් නැහැ.මේ නිසාම නැනෝ ලිතෝමුද්‍රණ ක්‍රම මගින් පරමාණු එකතු කර විශාල ව්‍යුහ සදාගන්න Bottom up approach මගින් තරමක සාර්ථකත්‍වයක් ලබා තිබෙනවා. මෙහිදී ඇත්තෙන්ම සිදු කරන්නේ නැනෝද්‍රව්‍ය /චිපයන් වැනි දෑ තනාගැනීමයි… නැනෝ වයර්, අර්ධ සන්නායක වැනි දෑ තැනීමට වෙනත් ක්‍රම භාවිතා වෙනවා. සියුම් පාරජම්බුල කිරණ වර්ණාවලීක්‍ෂ ලිතෝමුද්‍රණ ක්‍රම, ඉලෙක්ට්‍රෝණ කදම්භ ලිතෝමුද්‍රණ ක්‍රම, කේන්‍ද්‍රගත අයන කදම්භ යාන්ත්‍රණ ක්‍රම, පරමාණුක ස්ථර අවසාදනය, වාෂ්ප අවසාදනය වැනි ක්‍රම මගින් ත්‍රිමාණ ව්‍යුහයන් නිර්මාණය කිරීම කරගනු ලබනවා… එසේම ඉහත සඳහන් කළ අන්වීක්‍ෂ භාවිතයෙන් ඒ ඒ ව්‍යුහ සියුම්ව නිරීක්‍ෂණය කිරීම මගින්, මේ ව්‍යුහ නිර්මාණය ස්වයංක්‍රීයව නිරිමාණය වීමට සැලැස්වීම පවා කර තිබෙනවා…
නැනෝ තාක්‍ෂණය විවිධාකාර කටයුතු සඳහා උපයෝගී වෙනවා… නැනෝ අංශුවක සිට, මහා යන්ත්‍රයක ඇති කුඩා ඉලෙක්ට්‍රොණික චිපයක් දක්වා පරාසයක මෙය විහිදෙනවා… දැන් දැන් සෑම ක්‍ෂෙත්‍රයකම වාගේ නැනෝතාක්‍ෂණය උපයෝගී වනවා. ඉලෙක්ට්‍රොණිකව පමණක් නොවෙයි, ජීව විද්‍යාත්මකව, ප්ලාස්ටික්, තීන්ත, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේදී, මෙන්ම ආයුධ නිෂ්පාදනය ආදී බොහෝ ක්‍ෂෙත්‍රවල මෙසේ නැනෝතාක්‍ෂණය උපයෝගී වෙනවා. මෙය දැන් දැන් යුධ තාක්‍ෂණික සහ බුද්ධි අංශ තොරතුරු එක් රැස් කිරීමේදී භාවිතා කරන සියුම් උපකරණ තැනීමට වඩාත්ම වැදගත් වනවා. කාර්යක්‍ෂම සූර්ය බලශක්ති පද්ධති සැකසීමට නැනෝ අංශු එබ්බවූ සූර්යකෝෂ තැනීමත් තාක්‍ෂණයේ මහා පිම්මක් ලෙස සැලකිය හැකියි.
සෑම හොඳ දෙයකම අහිතකර පැත්තක් ද ඇති නිසාම, මෙයින් අහිතකර සෞඛ්‍ය සහ පාරිසරික තත්ත්‍වද ඇති වන්නට පුළුවනි. මෑතකදී සපත්තු-මේස්වල දුර්ගන්ධය දුරු කිරීම සඳහා නිපදවූ රිදී නැනෝඅංශු, පාදයේ දුර්ගන්ධය ඇති කරන අහිතකර බැක්ටීරියා මෙන්ම හිතකර බැක්ටීරියා ද වනසන බව සොයාගෙන තිබෙනවා. එසේම මේ නැනෝ අංශු ආඝ්‍රාණය කළ මීයන්ගේ මොළයේ සහ පෙනහළුවල ඒවා තැන්පත් වන බවත් එයින් ඔවුනට අහිතකර ආචරණ ලබා දෙන බවත් සොයාගෙන ඇති අතර සමහර අවස්ථාවල මේ නිසා මීයන්ගේ සම ඉක්මනින් වයසට යාමක් පෙන්නුම් කර ඇති බවත් සොයාගෙන තිබෙනවා. එසේම ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝඅංශු ආඝ්‍රාණය කළ මීයන්ගේ ඩීඑන්ඒ වලට සිදුවූ හානි නිසා පසු කලෙක පිළිකා, හෘද රෝග, ස්නායුගත රෝග සහ ඉක්මනින් වයසට යාම වැනි ලක්‍ෂණ පෙන්නුම් කර තිබෙනවා. ඒ වගේමයි නැනෝතාක්‍ෂණයේ මූලිකම ප්‍රචාරකයා වන කාබන් නැනෝටියුබ් ආඝ්‍රාණය කිරීමෙන් ඇස්බැස්ටෝස් ආඝ්‍රාණය කිරීමකට සමාන අහිතකර ප්‍රතිඵල ලබාදෙන බවත සොයාගෙන තිබෙනවා…. අපට ඉතාමත් වැදගත් වන නැනෝ තාක්‍ෂණයේත් අහිතකර පැත්තක් තියෙනවා.
නැනෝතාක්‍ෂණය කියන්නේ දිනෙන් දින, පැයෙන් පැය අළුත් වන ක්‍ෂෙත්‍රයක්… ඒ වගේමයි ඒ පිළිබඳ නිකුත් වන පුවත්, පළවන ලිපි තොරතුරු ආදිය නිරන්තරවම අළුත් වෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කරන උදවිය නම් නිතරම ඒ පිළිබඳ දැනුවත් වෙනවා… ඒ වගේමයි අනාගතයේ ඉතාම හොඳ රැකියා අවස්ථා, පර්යේෂණ මේ මගින් ඇති වන්නට පුළුවනි…
මේ ගැන මට වඩා දන්න බොහො දෙනා මේ අවකාශයේ ඉන්නට පුළුවනි.. ඔවුන්ටත් අදහස් දැක්වීමට මේ ලිපිය විවෘතයි….
ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩ වැදෙන ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි…. 2011 පෙබරවාරි 19
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්.16 comments
මෙතුවක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩවැදිලා ලිපි කියවලා කමෙන්ටු දැමූ ඔබ සැමට ස්තුතියි. මේ බ්ලොගය ඇල්කෙමියාගේ රසායනාගාරය ලෙස මුලින්ම නම් කළේ ඇත්තෙන්ම සාමාන්‍ය පාඨකයාට රසායන විද්‍යාත්මක අංශයෙන් යම් දැනුමක් ලබා දෙන්න වුනත්, යම් යම් දේශපාලන කරුණු, වෙනත් සමාජයීය කරුණු නිසා ලිපිවල අන්තර්ගතය රසායන විද්‍යාවෙන් අපගමනය වුනා….
මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි…
ඒ තමයි, ඔබ කියවන්න කැමති දැනගන්න අවශ්‍ය කරුණු කාරණා යමක් තියෙනවා නම් මෙහි සටහන් කරන්න…. මම පුළුවන් ප්‍රමාණයට ඒ පිළිබඳ ඔබව දැනුවත් කරන්නම්… එසේ කිරීමෙන් මා ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගැනීමේ අභිප්‍රාය ඉෂ්ඨ වෙනවා වගේම මේ බ්ලොගය පවත්වා ගෙන යාමට මට තව හේතුවකුත් ඇති වෙනවා..
ඔන්න අළුතෙන් ඇඳුමකුත් අන්දවලයි තියෙන්නේ……
ඉතින්, මොනවාද ඔබට දැනගන්න කැමති….. ?
අපි ඇත්තටම නිදහස් රටක් ද ? 2011 පෙබරවාරි 3
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, මම නොදන්න දේශපාලනය.6 comments
මම මේ ලිපිය ලියනවිට ශ්‍රී ලංකාවේ 63 වන නිදහස් උළෙල කතරගම නගරයේදී අභිමානයෙන් පැවැත්වෙනවා ඇති… ඒත් රටේ වන සිද්ධි දිහා බැළුවම ඇත්තටම ශ්‍රී ලාංකිකයා නිදහස් ද කියලා මට නම් දෙපාරක් තුන්පාරක් නෙවෙයි දහපාරක් වත් සිතන්න වෙනවා.
අද ශ්‍රී ලංකාව නම් දැනට වසර එකහමාරකට තිබුණාට වඩා සාමකාමියි, නිදහස්. ඒ රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය දිහා බැළුවාම…. උදේ ගෙදරින් වැඩට යන මනුස්සයා බෝම්බෙකින් මැරෙන්නේ නැතුව ආයේ ගෙදර ඒවි කියලා ගෙදර ඉන්න අයගේ හිත් සැනසීමෙන් ඉන්න පුළුවන් තත්ත්‍වයට රට නිදහස්….
නමුත්, ඇත්තටම අපි නිදහස් ද ? අපි සිතිවිලි වලින් නිදහස් ද ? ආර්ථික වශයෙන් ? දේශපාලනික වශයෙන් ? ආකල්පමය නිදහසක් ? තමන් කැමති කර්මාන්තයක් කප්පං නොදී කරගෙන යාමට නිදහසක් ? අල්ලස් නොදී වැඩක් කරවාගැනීමේ නිදහසක් අපට තියෙනවා ද ? කතා කිරීමට, රිසි ලෙස ලිවීමට, නිදහසක් තියෙනවාද ? ඉස්සරට වඩා දැන් නිදහස තියෙනවා නේද කියලා යමෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔව් 88-89 කාලෙට වඩා නම් දැන් දහගුණයක් හොඳයි.
දේශපාලනික නිදහස.
දේශපාලනිකව නම් මම පෞද්ගලිකව සිතන විදියට ටිකක් නිදහස අඩුයි. ආණ්ඩු පක්‍ෂයට ආවඩනවා නම් නිදහස උපරිමයි. නමුත් විපක්‍ෂයේ නම් නිදහස සීමිතයි. මර්වින් සිල්වාට ආයුධ අරගෙන රටේ ඕනෑම තැනක යන්න පුළුවන්, නමුත් අන්තරේ කැඳ හදන තරුණයා ආයුධ ඇතැයි සැකපිට අත්අඩංගුවට අරගෙන ආයුධ හොයාගෙන නැතුවත් තවම පරීක්‍ෂණ කරනවා. රටේ මැති ඇමති වරු වැහි වැහැලා, නමුත් රටේ ජීවන වියදම අහස උසට. ඇමතිවරුන්ට කෝටි ගණන් මුදල් වෙන් කෙරෙත්දී ගංවතුරෙන් අනාථ අයට වෙන් කෙරෙන්නේ සොච්චමයි. මේ ගැන ලංකාවේ ඉන්න අය මට වඩා හොඳට දන්නවා.
අධ්‍යාපනය.
අධ්‍යාපනය නම් තවමත් නිදහස්, නමුත් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන් ද? බොහොමයක් අධ්‍යාපන ලොක්කෝ අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් නොදන්න දේශපාලන හෙංචයියෝ. කරන තරමක් කරන්නේ මැටි වැඩ. සාමාන්‍ය පෙළ 51% ක් ගණිතය අසමත් කියලා ප්‍රශ්න පත්‍ර පහසු කරන්න යන ජාතියේ අධ්‍යාපනඥයෝ ඉන්න රටක් මේක. බොහොමයක් විෂය මාලා තවමත් පැරණි තත්ත්‍වයේ පවතින්නේ. අළුතෙන් දැනුමක් එකතු වෙන්නේම නැති තරම්. ඒ වගේමයි ගුරුවරුන්ගේ දැනුම ඇගයීමකට ලක් නොවෙන නිසා ගුරුවරුන් පරණ පුරුදු විදියටම උගන්වාගෙන යනවා. අළුත් අළුත් ඉගැන්වීම් ක්‍රම කෙරෙහි අවධානයක් යොමු වන්නේ නැහැ.
ආකල්පමය නිදහස.
ආකල්පමය වශයෙන් නම් අපූරුව නිදහසක් අපි භුක්ති විඳිනවා. පිටරටින් එන හැම කුණුගොඩම අපේ ආකල්පවලට එක් කරගන්න තරම් තරුණ පරපුර නිදහස්. ගිණි මද්දහනේ උණුසුම් කබා දාගෙන සින්දු කියන්න තරම් අපේ තරුණ ගායකයෝ නිදහස්. පවුල් අවුල්, හොරකම්, මැරකම්, වංචා දූෂණ සියල්ලන්ටම හෝයි ගාලා පෙන්නන්න තරම් අපේ විරූපවාහිනී නාලිකා නිදහස්. ඉගෙනගන්නවාට වඩා සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක ලේසියි කියලා කුඩා ළමයින්ට පවා ඇඟට දනවන්න තරම් රූපවාහිනී නාලිකා නිදහස්. ලියන්න කියන්න නම් තවමත් තරමක් නිදහසක් තියෙනවා. කවුරු කළාද කියලා නොදන්න නමුත් සමහර විකල්ප මාධ්‍යවලට ටිකක් නිදහස අඩුයි… සමහර විට ඔවුන්ම කරගන්නවාද දන්නෙත් නෑ… ලංකාවෙ කට්ටිය නේ.. නීතිය ගැන නම් කියන්න දෙයක් නෑනේ.. අත් අඩංගුවට ගන්න හොරා මාංචු දාලා ආයුද පෙන්නන්න ගෙනගියාම පොලීසියේ 10 කට විතර වෙඩි තියන්න ගිහින් ඔලුවටම වෙඩි වැදිලා මිය යනවා. දකුණු කකුලේ තුවාලයකට බෙහෙත් දාන්න රෝහලට ගියාම වම් කකුල නැතුව ගෙදර එන්න වෙන රෝගීන් ඉන්නවා. ඒ වුනාට දොස්තරලා නිදහසේ ඉන්නවා. රටේ බාලවයස්කාර දැරියන් 30,000 ක් මවුවරු වෙන්න තරම් ලිංගික නිදහසක් අපට තියෙනවා. නමුත් පෝස්ටරයක ගෑණියෙක්ගේ කකුලක් නිරාවරණය වෙලා තිබුණොත් විලිසංගේ නැති වෙනවා කියලා මොර දෙන්නත් නිදහස තියෙනවා..
අල්ලස දූෂණය නැතිව හරියට වැඩකරගෙන අවංකව රට දියුණු කරන්න උවමනාවකින් වැඩ කරන දේශපාලනඥයෝ 20 ක් ඉන්නවා නම් මේ රට හරි තැනකට ගන්න මහ කාළයක් වැය වෙන්නේ නැහැ. මේ අය කොච්චර හිටියත්, ඒ අයට නිදහසේ රට දියුණු කරන්න නිදහසක් ඇත්තෙත් නැහැ.මෙන්න මෙහෙමයි අපේ රටේ නිදහස මම දකින්නේ.
අර සුනිල් පෙරේරා කියනවා වගේ
“නිදහස නොදී අපට, සුද්දා හිටියා නම්, ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ“
මේ වෙන සින්දුවක්…..


































