මදුරුවන්ට අපි බය නෑ…….. ඒත්… අපේ ඩෙංගු අපිටම ගහනවා….

මදුරුවන්ට අපි බය නෑ.. බය නං අපි එන්නෙත් නෑ ” මතකද එහෙම කිය කියා අපි බිග් මැච් බලපු කාලේ ?

ඒත් මේ ලිපිය ලියන්නේ බිග් මැච් ගැන නම් නොවෙයි. මම මේ ළඟදි පුවත්පතක දැක්කා ලංකාවේ ඩෙංගු මරණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහල ගොස් ඇති බව. ඒක කාටත් සුභදායී ආරංචියක්. ඉතින් මේ තත්ත්ව‍ය මෙසේ පාලනය කරගෙන තව දුරටත් මරණ සංඛ්‍යාව අවම කර‍ගෙන  යා හැකිනම් අනාගතය ඉතාම සුබදායකයි.

නමුත් අපට සිද්ධවන ඉතාම අවාසනාවන්ත දේ තමයි සෑම දෙයක්ම ඉතා ඉක්මනින් අමතක වී යාම. ඩෙංගු පිළිබඳ මතකයන් කෙමෙන් කෙමෙන් ඈත් වන විට, අප ඒ කෙරෙහි දක්වන සැලකිල්ලත් අඩු වෙනවා. ඉන් පසු නැවත අපටත් හොරා ඩෙංගු අපව බිලි ගන්නවා. අන්න එතනොට තමයි ඔබටත් බලධාරීන්ටත් ඇස් ඇරෙන්නේ. ඒත් ඒ වෙනකොට වටිනා ජීවිත කිහිපයක් අපෙන් සමුගෙන අවසන්. කළ යුත්තේ ඩෙංගු අපට ගහන්න පෙර අප ඒ සඳහා සූදානම් වීමයි.

ඉතින් අප සූදානම් විය යුත්තේ කෙසේද ? ඔබ දැනටමත් රූපවාහිනිය, පුවත්පත්, කටකතා මාර්ගයෙන් බොහෝ දෑ දැනගෙන ඇති. මේ ලිපිය, ඒ දැනුමට අමතරව ඔබගේ අකල්ප වලට ආමන්ත්‍රණය කරන්නක් වෙනුවෙන් ලියවුනක්…..

පසුබිම

ඩෙංගු උණ රෝගය ලොව පුරා බිලියන 2.5 කට වැළඳීමේ අවදානම ඇති ඉතා භයානක රෝගයක්. එසේම මිලියන 50 ක් ඩෙංගු රෝගීන් සෑම වසරකම ලොව පුරාම වාර්තා වෙනවා. මෙය ලොව පුරා උෂ්ණ දේශගුණ තත්‍වයක් ඇති රටවල් 50ක ව්‍යාප්ත වී තිබෙනවා. මෙම ‍රෝගය වැළඳෙන්නේ Aedis aegypti නම් වූ මදුරු විශේෂය රැගෙන යන ‍ඩෙංගු වෛරසය මාර්ගයෙන්. ‍ඩෙංගු මදුරුවා ඔබට දෂ්ට කරන්නේ දහවල් කාළයේ. ඒ අනුව ‍ඩෙංගු මදුරුවාගෙන් ආරක්‍ෂා විය යුත්තේ දහවල් කාලයේ බව ඔබ දන්නවා ඇති.

ඩෙංගු යන වචනය කෙසේ සැදුනක්ද යන්න පිළිබඳ විවිධ මත පවතී. එය ස්වාහිලි භාෂාවේ “Ka-dinga pepo” හෙවත් නපුරු ආත්මය යන්නෙන් බිඳී ආවක් ද, එසේත් නැත්නම් ස්පාඤ භාෂාවෙන් Dinga  යන වචනය එනම් පරිස්සම් වීම ස්වහිලි භාෂාවට පෙරැලී බිඳී යාමක්ද යන්න විය හැකි බවක් සඳහන් වේ. මෙම ඩෙංගු උණ පිළිබඳ මුලින්ම වාර්තා වන්නේ චීනයේ “ජින් පෙළපතේ” (ක්‍රි.පූ 265-420) වෛද්‍ය විශ්වකෝෂයක සඳහන් වන පියාඹන කෘමීන් සම්බන්ධ “ජලය විෂවීම” යන රෝග ලක්‍ෂණ සබැඳි වාර්තාවකිනි.  නමුත් පිළිගත හැකි පළමු වාර්තාව 1789 දී බෙන්ජමින් රෂ් විසින් වාර්තා කළ Breakbone Fever  නමින් කළ වර්තාවයි.

රෝග ලක්‍ෂණ

මෙම රෝගයේ ලක්‍ෂණ වන්නේ දැඩි හිස රිදුම, ඇඟ රිදීම සහ සන්ධි රුදාව, උණ සහ ශරීරයේ තැන් තැන්වල ලප මතු වීම. මෙම ලප අත්පා සහ පපුව/උදරය පෙදෙසේ මතුවීම බහුලව දැක ගත හැකියි. තව සමහර රෝගීන්ට ගැස්ට්‍රයිටිස් තත්‍වයන්, උදරයේ වේදනාව, වමනය සහ බඩයාම ද ඇතිවිය හැකියි. කෙසේ වෙතත් සමහර රෝගීන්ගේ රෝග ලක්‍ෂණ දැඩි ලෙස නොපෙන්වන නිසා එය සාමාන්‍ය උණ ‍සේ වැරදි ලෙස වටහාගෙන ප්‍රතිකාර කිරීමෙන් බරපතල තත්‍වයන් ඇතිවිය හැකියි. සාමාන්‍ය ඩෙංගු උණ දින 2 සිට දින 7 ක් දක්වා පැවතිය හැකියි. නමුත් එය ඩෙගු රක්තපාත උණ (Dengue Hemorrhagic Fever) බවට පත්වීම තරමක අන්තරායකාරී තත්‍වයක්.

ඩෙංගු වෛරසය

ඩෙංගු වෛරසය (කළු පැහැති තිත් සමුහයක් ලෙස)

ඩෙංගු උණ රෝගය ඇති කරන්නේ ඩෙංගු වෛරසය මගින්. එය මදුරුවන්ගෙන් පැති

රෙන වෛරසයක්. මෙය RNA වෛරසයක් වන අතර ප්‍රභේද 4කින් යුක්තයි. එහි ජිනෝමයේ භෂ්ම යුගල 11000 ක් ඇති අතර ඒවා සංවිධානාත්මක ප්‍රෝටීන (Structural Proteins) 3 ක් C, prM, E ; සහ සංවිධානාත්මක නොවන ප්‍රෝටීන (Nonstructural Proteins) 7 ක් NS1, NS2a, NS2b, NS3, NS4a, NS4b, NS5 නිර්මාණය කරයි.

රෝග නිවාරණය

ඩෙංගු මදුරුවාගේ වාසනාවට සහ අපේ අවාසනාවට මේ සඳහා තවමත් එන්නතක් සොයගෙන නැහැ. බොහෝ රටවල විවිධ පර්යේෂණ කණ්ඩායම් නොයෙක් අයුරින් පර්යේෂණ කළත් ඒ සැම එකක්ම තවමත් පවතින්නේ පර්යේෂණ තත්‍වයේ.

මදුරුවන් බෝවීම පාලනය  දැනට ඇති එක් සාර්ථක ප්‍රාථමිකව පාලන ක්‍රමයක් ලෙස සැලකෙනවා. එය දෙවැදෑරුම්. මදුරු කීටයා විනාශ කිරීම සහ මදුරුවා පාලනය. ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ අප ගෙවල්වල භාවිතා කරන භාජන වල නිසා අපට ඔවුන් පාලනය පහසුවෙන්ම කළහැකි දෙයක්. නමුත් අප නොකරන්නේත් ඒ පහසුවෙන් කළ හැකි දේ මයි. ඉතින් ඔබට ඔබේ ගේ අවට ඇති ජලය එකතු වන ස්ථාන නැති කළ හැකි නම්, ඔබ ඩෙංගු මර්ධනයේ පළමු පියවර තබා අවසන්. ඔබ නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට බැණ බැණ ඉන්නේ නැතිව, ඔබ අවට ඇති  කසළගොඩවල් පිරිසිදු කර, නැවත කසළ එකතු වීම වැලැක්වුවොත් ඔබට ඇති ඩෙංගු තර්ජනයෙන් 80% ක් අඩු වී අවසන්.

මදුරු කීට මර්ධනය අපට තනිවම කළ හැක්කක් නොවෙයි. ඒ සඳහා උසස් තාක්‍ෂණය අවශ්‍යයි. රජය මගින් ඒ සඳහා පියවර ගෙන ඇතැයි පැවසුවත්, අදාල BLT බැක්ටීරියාව ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතැයි ද දැනගන්නට ලැබෙනවා. එයත් එතරම් හොඳ තත්‍වයක් නොවෙයි. ජනතාව හිටපු සෞඛ්‍ය ඇමති තුමාව මනාප වැඩිම ප්‍රමාණයකින් නැවත පාර්ලිමේන්තුවට පත්කළේ ඔහු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට කළ සේවයට කළගුණ සැලකීමට නම්, ඔහුගේ කාර්යය විය යුත්තේ ජනතාව මෙම ඩෙංගු තර්ජනයෙන් මුදවා ගැනීමට ක්‍රියා කිරීමයි. එය අප නව සෞඛ්‍ය ඇමති යටතේ වත් සිදු වේ යැයි ප්‍රාර්ථනා කරමු. කෙසේ වෙතත්, අනුන් කරන තෙක් බලා නොසිට, තමන් අවට ඇති පරිසරය පිරිසිදු කර ගැනීමෙන් මෙම ඩෙංගු තර්ජනය බොහෝදුරට අඩුකරගන්න හැකිබව ඔබට නැවත නැවතත් අවධාරණය කළ යුතුමයි.

ක්‍වීන්ස්ලන්ත විශ්ව විද්‍යලයේ පර්යේෂණයකට අනුව වාහක මදුරුවන් Wolbachia නම් බැක්ටීරියා විශේෂය මදුරු කළලයන්ට එන්නත් කිරීමෙන් ඊළඟ මදුරු පරමිපරාවේ ජීවිත කාළය අඩකින් කෙටි කළ හැකි බව සොයාගෙන තිබෙනවා. ඔවුන් මෙම පර්යේෂණයේ මහා පරිමාණ මුදාහැරීම් කටයුතු තව වසර තුනකින් වියට්නාමයේදී සිදුකිරීමට ඔවුන් කටයුතු කරමින් පවතිනවා. ගැටළු ඇති නොවුනහොත් පස් වසරක් තුළ එය  සම්පූර්ණයෙන්ම ක්‍රියාවේ යෙදවීමට ඔවුන් බලාපොරොත්තු වෙන‍වා.

තවත් සැලකිය යුතු කරුණක් වන්නේ මෙම ඩෙංගු වෛරසය අයත් වන්නේ ද හෙපටයිටිස් සී (Hepatitis C) වෙස්ට් නයිල් සහ කහ උණ (සෙංගමාලය) වෛරස අයත් ෆ්ලැවිවිරිඩේ (Flaviviridae) පවු‍ලටයි. කහ උණ එන්නත වෙනස් කර ඩෙංගු වෛරසය සඳහා ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබඳවද දැනට පර්යේෂණ කරගෙන යනු ලබයි. 2006 දී ආර්ජන්ටිනා පර්යේෂක කණ්ඩායමක් වෛරසයේ අණුක ප්‍රතිජනන යාන්ත්‍රණය (Molecular Replication Mechanism) සොයාගත් අතර මෙමඟින් වෛරසයේ RNA Polymerase ක්‍රියාකාරීත්‍වය අවහිර කිරීමෙන් එය පුනර්ජනනය නැවතිය හැකියැයි මතයක් ද පවතී.

කෙසේ වෙතත් මෙබඳු රෝග පාලනයේ වැඩි වගකීම අප අපටම පවරාගෙන අවට පරිසරය පිරිසිදුව, පිළිවෙලට තබාගෙන ඩෙංගු වාහක මදුරුවන් බෝවීම අවම කරගතහොත් පසුතැවිලි වීමද අවම කරගත හැකියි…මෙය සමහර වි‍ට අපට පරිසරයට ආදරය කරන්නැයි පරිසරය විසින් නොකියා කියන පණිවුඩයක් විය හැකියි.

ඉතින්, අපි අපේ යුතුකම් ඉටු කරමු. අවට පරිසරය පිරිසිදුව, පිළිවෙලට තබා ගනිමු. ඩෙංගු මදුරු වාසස්ථාන අවම කර නිරෝගීව ජීවත් වෙමු.

3 thoughts on “මදුරුවන්ට අපි බය නෑ…….. ඒත්… අපේ ඩෙංගු අපිටම ගහනවා….

  1. ඇල්කැමියාට ස්තූතියි. නියමෙට ලියලා තියනවා. මට නං ගොනාට වගේ තේරුණා.

    පුරස්නයක්! ඔය වගේ කෘතීම වයිරස් පාවිච්චි කලොත්, ඒවායින් පරිසරයට අයහපත් අතුරුපල ඇතිවීමට පුළුවන්ද?

    1. නැහැ.මේ BLT බැක්ටීරියාව මදුරු කීටයන්ට පමණක් අහිතකර බැක්ටීරියාවක්. දැනට කියුබාවේ සාර්ථක ලෙස භාවිතා වෙනවා. ඒ රටේ ඩෙංගු සාර්ථක ලෙස මර්ධනය කර තිබෙනවා. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )