ලංකාවේ 272,640 දෙනෙකුගෙන් 129,640 දෙනෙකුට වැරදුන තැන කුමක්ද ?

නෑ නෑ මේ කියන්නේ මනාප නැතුව ගෙදර ඉන්න වුන දේශපාලනඥයන් ප්‍රමාණය ගැන නොවෙයි.

පසුගිය දිනෙක අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණා. විභාගයට පෙනීසිටි සිසුන් 272,640 දෙනෙකුගෙන් 129,640 දෙනෙකු, එනම් 47 % ක් උසස් පෙළ සඳහා සුදුසුකම්  ලබා නැහැ. එය 2009 ප්‍රතිඵල වලට වඩා 3 % ක ඉහල යාමක්. එසේත් නැත්නම් සමත් ප්‍රතිශතය 2009 (56 %) සිට 2010 (53 %) දක්වා පහල වැටීමක්.

සියල්ල ඇතත්……..

ඉංග්‍රිසි විෂයය සමත් වූ ප්‍රතිශතය 28 % ක්. ගණිතය සමත් වූ ප්‍රතිශතය 51 % ක්. විද්‍යාව සමත් වූ ප්‍රතිශතය 45 % ක්. ඒ අතරම 2039 ක් සියළුම විෂයයන් වලට  A  සාමාර්ථ ද ලබා තිබේ. යම් විභාගයක සමත් ප්‍රතිශතය 50 % ක් යනු ඒ විභාගයේ කිසියම් හෝ තැනක වැරැද්දක් ඇති බවයි. ඒ වැරැද්ද විභාග දෙපාර්තමේන්තුවේද, විභාග අපේක්‍ෂක‍යන්ගේද, ගුරුවරුන්ගේද, එසේත් නැත්නම් මේ සියල්ලන්ටම සමව බෙදී යන වගකීමක් ද ? විභාහ කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා “පාසල්වල පන්ති මූලික කරගත් අධ්‍යාපන ක්‍රමය විවිධාංගීකරණය වූ සහ රටේ අවශ්‍යතාවලට ගැලපෙන ක්‍රමයක් නොවන බව” පවසා ඇති අතර ” රැකියා අරමුණු කරගත් විෂයයන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති වලට සහ විෂයමාලාවනට ඇතුලත් කරගතයුතු බව ” පවසා ඇත.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ඵලදායී සහ සංවර්ධිත අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම අවශ්‍ය බව පැවසේ. ඒ කෙසේ වෙතත් අපේ රටේ පසුගිය අවුරුද්දේ සිදුවූ සිදුවීම් කිහිපයක් අනුව අප රටේ අධ්‍යාපනඥයින් බොහොමයක් අවශ්‍ය සුදුසුකම් පවා සපුරා නොමැති දේශපාලන පත්වීම් මගින් පත් වූ හෙංචයියන් පිරිසක් බව ඔප්පු වී තිබේ. අපට ඵලදායී අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ මේ හෙංචයියන් ඉවත් කර සුදුසුකම් සපුරා ලූ දක්‍ෂ, නිර්මාණශීලී නිලධාරීන් සමූහයක් අවශ්‍ය තැන්වලට පත් කිරීමයි. එසේ නැතහොත් ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය අපේ රටේ ස්ථාපිත කළද එහි ඵලායීත්‍වයක් දැකිය නොහැකි වෙයි. නව අධ්‍යාපන ඇමතිතුමාට තම හැකියාව පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් කරගත හැකි අතර ඔහු (මා දේශපාලනඥන්ට විශේෂ ආමන්ත්‍රණ කිරීමට අකමැතිය) මෙම හෙංචයියන් දූරීභූත කර වැඩ කළ හැකි, වැඩ කර පුරුද්දක් හා වැඩක් කර පෙන්වූ නිලධාරීන් සමූහයක් පත් කර ගැනීම නොකළ හොත් තව දුරටත් අධ්‍යාපනය වල පල්ලට යනවා විනා ගොඩ ඒමක් නම් නැති.

ප්‍රමිතිකරණය

මගේ පියා, මාමාවරු, නැන්දනියන්, බොහෝතරුණ ඥාතීන් ගුරුවෘත්තියේ නියැළුණු හෝ තවමත් නියැලෙන අය වෙති. ඔවුහු උගැන්වූ ආකාරය ඉගැන්වීමට සූදානම් වූ අයුරු මම සියැසින් දුටුවෙමි. මගේ පියා සෑම රාත්‍රියකම, පසු දිනට අදාල පාඩම් ගුරු සටහන් පොතේ ලියනු සහ ඒ පාඩම් අවම වශයෙන් උඩින් පල්ලෙන් හෝ කියවන්නට වගබලාගත් අයුරුසහ නිතර පුවත්පත් සඟරා පරිශීලනය කර අවශ්‍ය තොරතුරු එක්රැස් කරගත් අයුරු මට තවමත් මතකය. එසේම, මගේ පුංචි අම්මා (ඇය දැන් කොළඔ ප්‍රසිද්ධ පාසලක උප විදුහල්පති තුමියයි) බොහෝකළක් එසේ කළද ඇය පරිපාලන පැත්තට බර වීමෙන් පසු එසේ දිනසටහන් ලියූ බවක් මතක නැත.  මගේ පියාගේ සිසුන් අවම වශයෙන් ඔහු ඉගැන්වූ විශයයෙන් හෝ ඉතා සාර්ථක සමත් ප්‍රතිශතයක් පවත්වාගෙන ගිය බවත් මට මතකය.

මේ ගුරුකමේ අන්ත දෙකකි.  මා උගත් පාසලේ ගුරුවරු පවා අමතර විෂය කරුණු පිළිබඳ හරිහැටි පරිශීලනය කර උගැන්වූ අයුරක් මට මතක නැත. වෙනස මෙයයි. ලෝකය අළුත් වෙයි. ඒ අයුරින්ම දැනුමද සීඝ්‍රයෙන් අළුත් වෙයි. ගුරුවරයා දැනුමෙන් සන්නද්ධ නොවුනහොත් ඔහු/ඇයගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයාද අළුතින් යමක් හිතන්නට නොනැමෙයි. ඉදින් අපේ අධ්‍යාපනයට යන කල කිම ?

ගුරුකම සේවයකි. ගුරුසේවය යැයි පවසන්නේ එබැවිනි. එසේනම් ශිෂ්‍යයා යනු ගුරුවරයාගේ සේවය ලබන්නායි (customer). පෞද්ගලික අංශයේ සේවා ස්ථානවල මූලික ආකල්පය තම සේවාදායකයාට සතුටුදායක ලෙස සේවාවක් ලබා දීමයි (customer satisfaction). ඔබම සිතා බලන්න, සතුටුදායක සේවයක් නොලැබෙන යම් සේවා ස්ථානයකට ඔබ නැවත වතාවක් ගොඩවීමට කැමත්තක් දක්වනවාද කියා ? පාසල් සිසුන්ට එම අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා, ගුරුවරයා හොඳ වුවත් නරක වුවත් ඔවුනට තම අදහස් ප්‍රකාෂකිරීමේ අවස්ථාව ගුරුවරයාගේ අසමසම ආධිපත්‍යය හමුවේ යටපත් වී තිබෙනවා. මෙය ඇත්තටම ඉතාම අවාසනාවන්ත තත්ත්‍වයක්. ගුරුවරයා යනු ‍වසරකට වැඩිපුරම නිවාඩු ඇති රාජ්‍ය සේවකයායි. එසේ නම් ඔවුනට එම නිවාඩු වලට සරිලන ඉලක්ක සැපයිය යුතුය. ඔවුන්ගේ නිවාඩු වලට සරිලන වැඩක් ඔවුන් වැඩ කරන කාලය තුළ දී ලබාගත යුතුය. ඵලදායීතාවය යනු එයයි.

ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල සෑම වාරයක් අවසානයේම ආචාර්යවරුන් සහ ගුරු සහායක සිසුන්ව ඔවුන් ඉගැන්වූ පන්ති/විෂයය ඉගෙනගත් සිසුන් විසින් ඇගැයීමකට ලක් කරනු ලබනවා. ඒ අනුව ඊලඟ වාරයට ලැබෙන පන්ති හෝ ඔවුන්ගේ උසස්වීම් තීරණය කරනු ලබනවා. මෙවන්  ක්‍රමයක් ගුරුසේවයට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයටම හඳුන්වාදිය හැකි නම් එය සේවා ලබන්නාගේ යහපතට වෙන්ම ඇල්මැරුණු රාජ්‍ය සේවයටද යහපතක් වනු නොඅනුමානයි. තවද ගුරුවරුන්ගේ දැනුම මනින කඩඉම් විභාග පැවැත්වීමෙන් සහ ඉන් උසස් අයුරින් සමත් වන්නන්ට දිරිදීමනා වැනි “ඇමක්” දීමෙන් ඔවුන් අවම වශයෙන් එදිනෙදා තොරතුරු සහ නවීන විෂය කරුණු පිළිබඳ මනා දැනීමක් වත් අවම වශයෙන් ඇතිකර ගැනීමට සමත් වනු ඇත. එමෙන්ම ගුරුවරුන්ගේ සාර්ථකත්‍වය විවිධ අංශ ඔස්සේ ඇගයීමකට ලක්කර, ඔවුන් සමත්කම් දක්වන සහ ලැදියාවක් දක්වන අංශ කෙරෙහි ඔවුන් යොමු කිරීමෙන් ගුරුසේවය හුදෙක් රැකියාවක් පමණක් නොව, උතුම් සේවයක් බවද ඔවුනට දැනෙන්නට සැලැස්වීමෙන් ඉහළ ඵලදායීතාවයක් ලබාගත හැක.

තවද, ගුරු සේවය ප්‍රමිතිගත කරණයට භාජනය කළ යුතුමය. පසුගිය වකවානු වල දේශපාලනඥයින්ගේ ලිපි වලට ගුරු පත්වීම් ලබාදුන් අවස්ථා කිහිපයක් මම සියැසින් දුටිමි. අවාසනාවකට ඒ කිහිප දෙනාම එකළ ගුරු වෘත්තියට සුදුසු දැනුමක් ඇති අය යැයි මට අවංකව පැවසිය හැකි තත්ත්‍වයක දැනුමක් ඇතිවුන් වූවෝ නොවූහ. මේ රටේ කිසිවෙකු තම රාජකාරියට වගකීමක් දරනනෝ නොවෙති. සිසුනගේ අසමත් වීම ගුරුවරුන්ගේ වගකීම පැහැර හැරීමක් ලෙස සැලකිය හැක. එහෙත් ගුරුවරයා සිසුන් පිට වරද පටවා අතසෝදා ගනී. මෙය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය. සිසුන්ගේ සමත්/අසමත් ප්‍රතිශතය ගුරුවරයාගේ සාර්ථකත්‍වයේ මිනුම් දණ්ඩක් වන අයුරින් චක්‍රලේඛ සකස් විය යුතුය.

ඒ….. ගුරුවරයා ප්‍රතිසංවිධානය කළ හැකි ක්‍රම කිහිපයක්. එමෙන්ම ශිෂ්‍යයාගේ ක්‍රියාකාරීත්‍වයද මෙහිදී සැලකිල්ලට ගත යුතුම කරුණක්. මන්ද යත් ඔවුහු මේ රටේ අනාගතයයි. අනාගතය බුද්ධිමත් විය යුතුමය. එසේ නැතහොත් අනාගතයට සිදුවන්නේ අනාගත්ත තත්ත්‍වයට පත් වීමටයි. මෙහිදී සිසුන් විසින් කළයුතු කාර්ය භාරය ගුරුවරුන්ගේ වගකීමට වඩා අතිමහත් වේ. මක් නිසාද යත් ඔවුන් ඔට්ටු අල්ලන්නේ තම තමන්ගේ අනාගතය සමඟ වීම නිසායි. පාසල් වැඩකටයුතු නිසි ලෙස ඉටු නොකිරීම, නිසි අවධානය යොමු නොකිරීම, අමතර කරුණු එක්රැස් නොකර ගුරුවරයා දෙන කරුණු පමණක් පාඩම් කිරීම ඉන් සමහරක්. එමෙන්ම සමාජයීය කරුණු, දරිද්‍රතාවය, දෙමාපියන්ගේ නොදැනුවත්කම ද මෙයට බලපායි.

තවද නූතන සිසුන් ශ්‍රවණ මූලික ඉගෙනීමට වඩා දෘශ්‍ය මූලික ඉගෙනීමට නැඹුරු වී ඇති සෙයක් පෙනේ. එයට ප්‍රධාන හේතුව ලෙස රූපවාහිනී මාධ්‍යයේ ප්‍රචලිත වීම දැක්විය හැක. දැනට ලංකාවේ ඇති රූපවාහිනී නාලිකා ගණන තව තවත් වැඩිවීම වැලැක්විය නොහැකි සේම ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමද වැලැක්විය නොහැක. 1984-86 වකවානුවේ රූපවාහිනී අධ්‍යාපන සේවය මගින් ප්‍රචාරණය කරන ලද දුරස්ථ අධ්‍යාපන සේවය, සිසුනට පාසල් නිවාඩුකාල වල නිවෙස්වල සිට තැපෑලෙන් ‍ගෙන්වාගත හැකි අභ්‍යාස පොත් මාර්ගයෙන් ඉගැන්වීම් කළා මට මතකය. ඒ සඳහා මා යොමු කළ මගේ මෑණියෝ ඇය එදා දුරදිග බලා කළ යහපත් ක්‍රියාවල ඵලයන් භුක්ති විඳින්නීය.

දෙමව්පියන්ගේ කාර්යභාරය දරුවන්ට ආදර්ශයක් දෙමින් ඔවුන් යහමඟ යැවීමයි. ඔව්හු රාජකාරිය නිමකර නිවසට පැමිණි පසු රූපවාහිනිය ඉදිරිපසට වී බලා සිටිනවා වෙනුවට, දරුවන්ගේ පාසල් වැඩකටයුතු පිළිබඳ සාකච්ජා කිරීමක් හෝ සොයා බැලීමක් කෙරෙනවා නම් ඔවුන්ද තරමක් හෝ උනන්දුවෙන් ක්‍රියාකර තම අධ්‍යාපන කටයුතු කෙරෙහි නැඹුරුවක් දක්වනු ඇත. තවද රූපවාහිනියේ බලපෑම නිසාදෝ වැඩිහිටි පරපුර (සහ බාල පරපුර)  පොත් / පුවත්පත් කියවීමෙන් ඈත්වී ඇති සෙයක් පෙනේ. කුඩා දරුවෝ ආදර්ශයට ගනු ලබන්නේ වැඩිහිටියන්ය. මෙසේ වැඩිහිටි පරපුර කියවීමෙන් ඈත්වෙද්දී බාල පරපුර අයාලේ යාම වැලැක්විය නොහැක.

විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපනඥයින්ට මෙහිලා ඉතා විශාල වගකීමක් පැවරී ඇත. වසර ගණනාවක් මෙසේ විභාග සමත් වන ප්‍රතිශතය 50 % ක මට්ටමක පැවතියද, එය සැලකිල්ලකට ගෙන ඇති බවක් නොපෙනේ. අවම වශයෙන් ඒ පිළිබඳ විද්වත් සංවාදයක්  අරඹා එයට විසඳුම් සෙවීමට පිළිවෙලක් යොදා ඇති බවක් අපට දැනගන්නට ලැබී නැත.

සිසුන්ට නොමිලේ පොත් ඇඳුම් සඳහා රෙදි රජය විසින් ලබා දෙනු ගබන බව ඇත්තය. එය පිණකි. එමඟින් කෙතරම් සිසුන් ප්‍රමාණයක් පාසැල් පැමිණීම සඳහා දිරිමත් වනවාද කියා ගණන් බැලිය නොහැක. ඒ නිසාම සහ රජයේ අප්‍රමාණ කැපවීම නිසාම අප රටේ සාක්‍ෂරතාවය අන් දකුණු ආසියානු රටවලට වඩා ඉහළ තත්ත්‍වයක පවතී. එසේ වීමුත් 50% ක් විභාග අසමත්වීමේ ඛෙදවාචකයට වහා පිළියම් යෙදිය යුතුය. මක් නිසාද යත් මෙසේ අසරණ වන තරුණ පරපුර තවත් “විප්ලවයක්” සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් නම්මවා ගැණීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත. ඔවුහු අවස්ථාවාදීය, ඔවුනට ජීවිතවල වටිනාකමක් නොමැත. ඔවුනට අවශ්‍ය දේශපාලනික පැවැත්ම පමණි. දේශපාලනඥයනට මුග්ධ ඡන්ද දායකයන් තරම් සම්පතක් තවත් නොමැත. ඔවුන් අවශ්‍ය පරිදි හැසිරවිය නිසාය.

රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බව සත්‍යයකි. නමුත් අ.පො.ස. සාමාන්‍ය පෙළ යනු සිසුන්ගේ මූලික දැනුම උරගාබලන විභාගයයි. එය රැකියා ඉලක්ක කර පැවැත්වීම යනු අපරටේ රැකියා වෙළඳපලට ඉතා නුපුහුණු ශ්‍රමිකයන් පිරිසක් එක් කිරීමයි. එසේ නැතිව සාමාන්‍ය පෙළ විශය මාලාව නව දැනුම සමඟ සංකලනය කර නවතම විෂය කරුණු ඇතුලත් කර, ගුරුවරුන් නිසි ලෙස මෙහෙයවා වැඩදායක සිසු පිරිසක් අ.පො.ස. උසස් පෙළ සඳහා යොමු කර, ඉන් අනතුරුව ඔවුන් විශේෂ විෂයමාලා අනුව වෙන් කිරීමෙන් වැඩදායක තරුණ පරපුරක් අනාගතයට දායාද කළ හැක..

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුව සඳහා අධ්‍යාපනඥයන් පමණක් නොව රටේ සියළුම ස්ථර වල සංයෝජනයක් යොදා ගැණිමෙන් සාමාන්‍ය ජනතාවගේ අදහස් ද සළකා බැලීමේ අවස්ථාවද උදා වේ. මන්ද යත් සමහර අධ්‍යාපනඥයන්ට වඩා ගමේ ගුරුතුමාට ළමුන්ගේ ප්‍රශ්ණ සහ අපහසුකම් හොඳින් තේරුම්ගත හැකි බැවිනි.

යුද්ධය අවසන්ය මැතිවරණ සියල්ලම පාහේ අවසන්ය. රජයට 2/3 ට ආසන්න බලයක් ලැබී ඇත. ප්‍රවීණ පෞද්ගලික පන්ති ගුරුවරයෙකු අධ්‍යාපන ඇමති ලෙස පත් වී ඇත. තවත් කුමට බලා ඉන්නද ? අධ්‍යාපනය ගොඩ දමනවා මිස..

ඔබේ අදහස් මට වටී. මා විවේචනය කරන්න. තව තවත් ලියන්න එය රුකුලක් වේවි……

3 thoughts on “ලංකාවේ 272,640 දෙනෙකුගෙන් 129,640 දෙනෙකුට වැරදුන තැන කුමක්ද ?

  1. සමත් වීමේ ප්‍රතිශතය අඩු ජනප්‍රිය නොවන පාසල්වලයි. මෙම පාසල්වල ළමයින් වැඩිපුර කරන්නේ පාසල්වල වැසිකිළි සේදීම, අතුපතුගෑම, මල් ඉන්දීම හා විදුහල්පතිලාට ලකුණු දමා ගැනීමට ඉවහල් වන වෙනත් වැඩයි. විවිධ සමාජ ගැටළු තිබෙන මෙම පාසල්වල ළමයින්ට ආදරය, කරුණාව හා හොඳ අධ්‍යාපනයක් මෙම පාසල්වලින් ලැබෙන්නේ නැහැ. විදුහල්පතිලාට ළමයින් විභාගවලින් සමත් කරන්නට අවශ්‍ය වන්නේ ද තමන්ට ලකුණු දමා ගැනීමට පමණයි. හොද දේ සියල්ල ජනප්‍රිය පාසල්වලටයි.

  2. Great post post boss. simple and effective, i hope you keep it that way.

    the next big menace that will destroy our country is not politicians but TUITION masters and unfortunately the education minister Bandula Gunawardane himself is a former top notch tuition master. Bandula Gunawardana may have the capability but i dont think he has the ability to implement new reforms which are student centered and the broader view of an educationists after all he has that tuition mentality.So this a very unhealthy for the people of the country (future and present ) .Amunugama would have been a better choice.

    I dont know whether you have watched this but checkout these videos if you’ve got time .Its on education and creativity a new perspective .(watch this if u haven’t , seriously its worth it.

    Looking forward for an article on the comparison of the of the Sri Lanka University Entrance system and the American system and how it impacts the student. ( your experience in the us would be a very helpful platform for this )

    Sorry for writing in English because it takes a long time to type in Sinhala.

    Good Luck with the blog and everything Boss

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )