ආචාර්ය උපාධියක් ලබාගන්නේ කොහොමද ? මූලික අඩිතාලම………

අපේ රටේ ඕනෑ තරම් ආචාර්යවරු සිටිති. මහාචාර්යවරු ද සිටිති. මහාචාර්ය වරයෙකු වීමට ආචාර්ය කෙනෙකු වී කප් සුවහස්  කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳිය යුතු වේ. ආචාර්ය වරයෙකු වීමට ද එසේමය. ආචාර්ය කෙනෙකු නොවී මහාචාර්ය කෙනෙකු විය නොහැක. මහාචාර්ය පට්ටම රැඳී පවතින්නේ විශ්ව විද්‍යාලයකට සම්බන්ධ තාක් කල් පමණක් වුවද, ශ්‍රී ලංකාවේ මහාචාර්යවරු ගෙදර නිදාගන්න විටද පට්ටම ඔලුවේ ගසා‍‍ගෙන සිටිති. ලංකාවේ හැටි එහෙමය, හරිම අපූරුය……

‍පින්තූර අනුග්‍රහය Lankanewspapers.com

එසේ වුවද, මේ පට්ටම් ගසාගත් පසු බොහෝ දෑ කළ හැක, කරගත හැක, කර දිය හැක.

මේ ආචාර්ය මහාචාර්ය වරු සිව් වැදෑරුම් වේ.

1. පළමුව පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලබා, දෙවනුව වසර 3-4 (එංගලන්තය වැනි රටවල) හෝ වසර 5-7 ක් (අමෙරිකාව වැනි රටවල) දහදුක් විඳ “උපයා ගන්නා ආචාර්ය උපාධිය (Earned Doctorate)”. උදා. මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නවුන්….

2. තම ක්‍ෂෙත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙයක් කර, එම ‍ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමෙන් විශ්වවිද්‍යාලයක් මඟින් දෙනු ලබන සම්මානනීය ගෞරව ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය තිස්ස අබේසේකර වැන්නවුන්….

3. නොදී බැරිකමට හේතුවක් හොයාගෙන තම පැවැත්ම සඳහා රටේ නායකයන්ට දෙනු ලබන ආචාර්ය උපාධිය. ආචාර්ය මහින්ද රාජපක්‍ෂ, ආචාර්ය ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන්….

4. කොහේ හෝ අටවාගත් අධ්‍යාපන කඩයකින් මුදලට හෝ බයට ලබා දෙන ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය මර්වින් සිල්වා වැන්වුන්….

සෑම දෙනාටම ආචාර්ය උපාධියක් ලැබිය නොහැක. එය දුක් විඳිය යුතු, එහෙත් ඒ දුකෙහි අග්‍රඵලය ප්‍රණීතය. එය ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතු ක්‍රියාදාමයකි.  එමෙන්ම සෑම දෙනාටම තම ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමට ද නොහැක. එසේම අපට බයට හෝ මුදලට ආචාර්ය උපාධි දෙන කඩවල් ද නැත. එසේ නම් අප ආචාර්ය උපාධියක් ලබා ගන්නේ කෙසේ ද ?

මම වැඩිපුරම දන්නේ අමෙරිකානු විශ්ව විද්‍යාලවල බඳවා ගැනීමේ ක්‍රියා පිළිවෙතයි. ඒ නිසා මම මෙම ලිපියෙන් අදහස් දක්වන්නේ ඒ ගැන පමණයි.

මුලින්ම පිළිගත් විශ්ව විද්‍යාලයකින් අවුරුදු 4 ක (විශේෂ උපාධියක්) ලබා ගැණීම අත්‍යාවශ්‍ය කාරණයක්. අවුරුදු 4 ක උපාධියක් නැතිනම් අවුරුදු 3 ක සාමාන්‍ය උපාධියක් හොඳින් සමත් වී ශාස්ත්‍රපති (MSc.) උපාධියක් තිබීම අනිවාර්ය සුදුසුකමක්. මේ දෙකම නැත්නම් එයින් එහාට ඒ ගැන සිතලා වැඩක් නැහැ.

ඒ නිසා මම දෙන පළමු අවවාදය තමයි විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිටම හරියට වැඩ කරන්න කියන එක. පළමු වසර අවසානයේ විභාගයේ මට්ටමින් ඔබ විශේෂ උපාධිය කරනවා ද, සාමාන්‍ය උපාධිය කරනවාද යන්න තීරණය වෙනවා. අමෙරිකානු විශ්ව විද්‍යාලවල ක්‍රමය අනුව ලකුණු මට්ටම් සහ බඳවා ගැණීමේ අවම මට්ටම තීරණය කරනු ලබන්නේ GPA (Grade Point Average) අනුව. එය ගණන් හදනු ලබන්නේ යම් විෂයයක්  සතියකට උගන්වනු ලබන පැය ගණන සිසුවා ලබා ගන්නා අවසාන සාමාර්ථයෙන් වැඩිකිරීමෙන් (A – 4, B – 3, C – 2, D – 1, F – 0) ලබන අගය සතියේ ඉගෙන ගන්නා මුළු පැය ගණනින් බෙදීමෙන්

උදාහරණයක් වශයෙන් යම් සිසුවෙකු සතියකට

පැය 3ක්  ජීව විද්‍යාව, පැය 3ක් රසායන විද්‍යාව, පැය 1 ක් ඉංග්‍රීසි, සහ පැය 3ක් ගණිතය ඉගෙන ගෙන පිළිවෙලින්  A, B, C, F  සාමාර්ථ ගත්තේ නම්

(3 x 4) + (3 x 3) + (1 x 2) + (3 x 0) = 23

ඉගෙන ගත් මුළු පැය ගණන = 10

GPA = 23/10 = 2.3

කෙසේ වෙතත් මා දන්නා තරමින් ලංකාවේ විශ්ව විද්‍යාලවල (මොරටුව විශ්ව විද්‍යාලයේ හැර) මෙම ක්‍රමය නොමැති නිසා ඔබ අයදුම් කරන විදේශීය විශ්ව විද්‍යාල සමහරක් ඔවුන්ගේම ක්‍රමයකින් මෙය ගණනය කරන අතර සමහරක් එය ඔබ විසින් කර සහතික කර ගත යුතු බවට ඔබට දන්වා එවිය හැකියි.

කෙසේ වෙතත් අමෙරිකානු විශ්ව විද්‍යාලවලට ආචාර්ය උපාධි (Ph.D) හෝ ශාස්ත්‍රපති උපාධි (MSc) අපේක්‍ෂකයන් ඇතුලත් කර ගැණීමේ අවම GPA මට්ටම 3.0 බව සලකන්න.

එසේ GPA මට්ටම 3.0 වලට වඩා ඉහළ තත්ත්‍වයක තබා ගැණීම වැඩියෙන් A, B,සහ අඩු C සාමාර්ථ ප්‍රමාණයක් ලබාගැනීමෙන් සිදුකළ හැක. එනම් හොඳින් විභාග සමත් වීම කළ යුතුය.

සාමාන්‍ය තත්ත්‍වයේ අමෙරිකානු විශ්ව විද්‍යාලයක එක් දෙපාර්තමේන්තුවකට ආචාර්ය උපාධි අපේක්‍ෂකත්‍වය සඳහා ඉල්ලුම්පත් 500ත් 1000 ත් අතර ප්‍රමාණයක් ලැබේ. Harvard, MIT, Berkley, Yale, වැනි ඉහළ තත්ත්‍වයේ විශ්ව විද්‍යාලවල අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට ලංකාවේ පළමු පන්තියේ විශේෂ උපාධිධාරීන්ට පවා තරමක් අපහසු කාර්යයකි.

එහෙත් මෙම විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමේ තරඟය වැඩි නිසාම බොහෝ විශ්ව විද්‍යාලවල මෙම අවම මට්ටම ඉහළ දමා තිබෙනවා. එසේ නැතහොත් තෝරාගැණීමේදී ඔවුන් අවම මට්ටමේ ඇති ඉල්ලුම පත් ඉවත දමනවා.

ඒ පළමු කඩඉම…….

දෙවැන්න තමයි විදේශික සිසුන් සියළු දෙනාම ඉංග්‍රීසි සුදුසුකම් සපුරාලන TOEFL විභාගය සමත් වී සිටිය යුතුය. මෙහිදී ඔබ තරඟ කරන්නේ චීන සහ ඉන්දියානු සිසුන් සමඟ බව මතක තබාගෙන විභාගයට සූදානම් වෙන්න. ඔවුහු මෙම විභාග දෙක ඉතාමත් හොඳින් කරන කොට්ඨාස දෙකක්. ඔබ ලංකාවේ උපාධියෙන් පසු වහාම ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීමට සූදානම් වන්නේ නම් අවසාන වසරේ විභාගය නිම වූ වහාම TOEFL කිරීමට සූදානම් වීම ගුණදායකයි.

තෙවැන්න GRE (Graduate Recognition Examination) මෙය ආචාර්ය උපාධි අපේක්‍ෂක අයදුම්කරුවන් සියල්ලට අනිවාර්ය විභාගයක්. විවිධ විෂය ක්‍ෂෙත්‍ර අනුව මෙය GRE, GMAT, ආදී වශයෙන් වෙනස් වන අතර, බොහොමයක් දෙපාර්තමේන්තුවල වෙබ් පිටුවල අවශ්‍ය විභාග මොනවාදැයි සඳහන් කර තිබෙනවා. සමහර විශ්ව විද්‍යාල GRE General සහ GRE subject විභාග දෙකම සුදුසුකම් ලෙස ඉල්ලා සිටිනවා. GRE විභාගයේ වඩාත්ම වැදගත් කොටස් දෙක වනුයේ  Verbal සහ Maths කොටස් දෙකයි. ඒ දෙක සඳහා අවම වශයෙන් ලකුණු 1100ක් සහ Verbal සඳහා අවම වශයෙන් 400 ක් වත් තිබිය යුතුයි.

GRE සහ TOEFL විභාගවලට ඔබ ලියන අවස්ථාවේ ඔබේ ලකුණු විශ්ව විද්‍යාල 4 කට නොමිලේ යැවීමට අවස්ථාව තිබෙනවා. ඒ අවස්ථාව පැහැර හරින්න එපා. ඒ සඳහා කළ යුත්තේ ඔබ  GRE සහ TOEFL වලට ලියන අවස්ථාව වන විට ඔබ ඇතුලත් වීමට සිතා සිටින විශ්ව විද්‍යාල 4 කට අයදුම්පත් යවා තිබීමයි. බොහෝ විශ්ව විද්‍යාලවල අයදුම්පත් කැඳවීම අගෝස්තු මාසයේ ඇරඹෙනවා. ඒ බොහොමයක අවසාන ලයිස්තු දෙසැම්බර්/ජනවාරි වනවිට නිම කර අවසන්. ඒ නිසා ඉල්ලුම් කිරීමට හොඳම කාළය අගෝස්තු මාසයයි. ඒ මක් නිසාද යත් ඉල්ලුම්පත්‍රවල යම් අඩුපාඩුවක් ඇතොත් ජනවාරි වන විට ඒ සියල්ල සම්පූර්ණ කරගැණීමට කාළය ඇති නිසායි.

මේ ඉල්ලුම්පත්‍රවල ප්‍රධාන අංගයක් වන්නේ ඔබේ ගුරුවරුන්ගෙන් ලබාගන්නා ඔබ පිළිබඳ ලියැවුන ලිපි (Reference Letters) මේ ලිපි ඔබේ අයදුම්පතේ ඉතාම වැදගත් අංගයක්. කෙතරම් හොඳ අයදුම්පතක් වුනත් හොඳ reference letter එකක් නැත්නම් අනුමත නොවන්න පුළුවන්. ඒ නිසා තමන්ට හිතවත් හොඳ නමක් ඇති මහාචාර්ය වරුන්ගේ හිත දිනාගෙන ඉන්න එකත් මේ කටයුත්තේ තවත් වැදගත් අංගයක්. කොහොම වුනත්, ඔබ හොඳින් ඉගෙන ගතහොත් ඔවුන් ඔබට හිමි ‍ගෞරවය ඉබේ ම ලබා දෙනවා.

තවත් වැදගත් අංගයක් නම් ඔබ විසින් ලියනු ලබන ඔබේ අනාගත අරමුණු ඇතුලත් “Statement of Purpose”.  මෙය ඉතා පරිස්සමෙන් නිවැරදිව ලිවිය යුත්තක්. මේ සඳහා හොඳින් ඉංග්‍රිසි ව්‍යාකරණ දන්නා මෙම ලිපි පිළිබඳ පළපුරුද්දක් ඇති කෙනෙකුගේ උදවු ලබාගන්න.

මේ සියල්ල සම්පූර්ණ කරගෙන ඔබ විශ්ව විද්‍යාලයකට අයදුම් කළ පසු සමහර විශ්ව විද්‍යාල වලින් ඔබට පර්යේෂණ කටයුතු වලට උපදේශක මහාචාර්ය වරයෙකු සම්බන්ධ කරගන්න ලෙස හෝ සම්බන්ධ කර දෙනු ලබාවි. ඔහු/ඇය සමඟ ඔබ හොඳ සන්නිවේදනයක් තබි ගැණීම ඉතා වැදගත්. එමෙන්ම එය සම්පූර්ණයෙන්ම වැදගත් වෘත්තීය (Professional level) මට්ටමේ සංවාදයන් වීමෙන් ඔබ පිළිබඳ ඔවුන් තුළ හොඳ ආකල්පයක් ඇතිකිරීමට හැකියි.

ඔබ විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගතහොත් හෝ නැතහොත් ඔවුන් ඒබව දන්වා එවාවි. එවිට ඔබට I-20 නම් ලිපිය සමඟ බොහෝ ලේඛණ එවාවි. ඒවා හොඳින් කියවා නිසි පරිදි ක්‍රියාකර/අත්සන් කර නියමිත අයුරින් නැවත යවන්න. විශ්ව විද්‍යාල දෙක තුනකින් ඔබට බඳවා ගැනීම් ලිපි ලැබුනහොත් වඩා හොඳ විශ්ව විද්‍යාලය තෝරාගෙන අනෙත් ඒවාටත් ඔබගේ තීරණය  දන්වා යවන්න. එය ඔබේ විශ්වාසවන්ත බව විදහා පාන ලක්‍ෂණයක්.

ඉන් පසු ඔබ හමුවේ ඇත්තේ Visa ලබා ගැණීමේ අභියෝගයයි. එය අදාල මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් විස්තර ලබාගෙන සිදුකරගත හැකියි.

මේ දැක්වූවේ ඔබට ආචාර්ය උපාධියක් ලබා ගැණීම සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන අයුරුයි. විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ පසු ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම ඔබ සතු යුතුකමක්.

ඔබට මූලික උපාධියෙන් පසු කෙළින්ම ආචාර්ය උපාධියකට යාමට තරම් සුදුසුකම් නැත්නම්, මුලින් කුඩා විශ්ව විද්‍යාලයකින් ශාස්ත්‍රපති උපාධිය (MS)  හදාරා, පසුව ආචාර්ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ද ඇත. ඒ සඳහා ඔබට අවුරුදු 2- 3 ක් අතර කාළයක් වැය කිරීමට සිදුවන නමුත් ඔබ ඉන් ලබන අත්දැකීම් සම්භාරය ආචාර්ය උපාධියේදී ඉතා වැදගත් වනු ඇත.

ඔබට වැඩි විස්තර විශ්ව විද්‍යාලවල වෙබ් අඩවි වලින් සහ කොළඹ  Fullbright Commission ආයතනයෙන් සහ American Center එකෙන් ලබාගත හැකියි….

ප්‍රශ්න තිබේනම් අපි මෙතැනම කතාකරමු……

24 thoughts on “ආචාර්ය උපාධියක් ලබාගන්නේ කොහොමද ? මූලික අඩිතාලම………

  1. Its commendable that someone took the time to write all of this up and post it for others to use. However the entire procedure might not be valid for all courses. For example I’ve come across university’s which do not require GRE scores. So, before anyone goes and does any exam I think it they should first check with the university for their requirements. I have found that its always best to first talk with the person in charge of the program that one hopes to entire, a good relationship with the key person always helps in the long run. I’m sure Prof Nalin de Silva would have had some great comments if he read all of this!

    1. දැන් බොහෝ උසස් අධ්‍යාපන ආයතනවල GPA තියෙනවා. ඒ පාඨමාලා සකසා තියෙන්නේ විදේශ අධ්‍යාපන ආයතන වලට උසස් අධ්‍යාපනයට ළමුන්ට යාමට අවකාශ ඇති කරන විදියට….
      මම දන්න ආයතනවල විසතර තමයි ලිවුවේ.
      ප්‍රතිචාරයට ස්තුතියි.

  2. මහත්මයානනි,
    විශ්ව විද්‍යාලයකට යා ගන්න බැරි උන කෙනෙක් සැලකුවොත්, එයා chemistry institute වගේ ආයතනයක පිහිට පැතුවොත්, ඉන් එහාට එයාට doctor/ prof. කෙනෙක් වෙන්න පුලුවනිද/බැරිද?
    පිං සිද්ධ වේවා!

    1. සරළව කිව්වොත් ඔව්. නමුත් පිළිතුර බොහොම සංකීර්ණයි.
      රසායන විද්‍යා ආයතනයට ගියත් වෙනත් කොතැනක ගියත් පසු කළෙක ආචාර්ය උපාධියක් ලබා ගන්න නම් විභාග වලින් කෙනෙකු ඉහළම ලකුණු ගත යුතුයි. බොහෝ විශ්ව විද්‍යාල දැන් දැන් සිය අවශ්‍යතා ඉතා ඉහල දමා තියෙනවා. ඒ නිසා හොඳ ලකුණු නැතිව චීන සහ ඉන්දියානු ශිෂ්‍යයන් සමග ඇතුළුවීමටවත් තරඟ කරන්නට අමාරුයි.
      ඉතින් ඔබ ආචාර්ය උපාධියක් ගන්න උත්සාහ කරනවා නම් මුලින්ම කළ යුත්තේ එවැනි ආයතනයකට බැඳී හොඳින් ඉගෙනීමයි. ඉහළම ලකුණු ලබා ගනිමින් විභාග සමත් වුවොත් ඔබටත් ඔබගේ සිහිනය සැබෑ කරගන්නට පුළුවනි.
      වෙනත් උපදෙස් අවශ්‍ය නම් විමසන්න මම උදව් කරන්නම්….

  3. ඔබගේ ප්‍රතිචාරය කියෙව්වා මහත්මයා! (සහ ඒ අනුව මම තාම මැරිල නෑ කියල හිතෙනවා!). මම මේ ලඟදියි A/L කලේ, මට සමහර වෙලාවට හිතෙනවා chemistry තරමක් අමාරුයි කියල! මේ තත්ව යටතේ chemistry institute එකට ඇතුලුවීම ගැටලු ඇති කරාවි ද? එය එසේ නම් bio වැනි විෂයයන් සම්බන්ධව chemistry institute ට සමරෑපී වන ආයතන ලංකාව තුල පවතිනවාද?
    අනන්ත වාරයක් ස්තූතියි

    1. රසායන විද්‍යාව කියන්නේ ලේසි විෂයයක් නෙවෙයි. ඒ වගේමයි අනෙත් විෂයයන්. කිසිම දෙයක් ලේසි නැහැ, ඒත් හරියට උනන්දුවෙන් අවබෝධයෙන් කළොත් හැම දේම ලේසියෙන් කරගන්න පුළුවන්.

      දෙවන ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මෙතැන තියෙනවාද කියලා බලන්න.
      http://studentlanka.com/

  4. මහත්මයාණනි!
    ඉහත comment කලේ මමය, මෑතකදී වැඩි දුර අදහස් දැනගැනීමට මගේ රසායන විද්‍යා ගරුවරයා හමු වීමට තැත් කල මුත් එමුවිය නොහැකි විය(ප්‍රතිචාරය ප්‍රමාද වූයේ එබැවින් ය). නමුත් වෙනත් ගුරුවරයෙකු විසින් විවෘත විශ්වවිද්‍යාලයේ biochemistry පාඨමාලාව කරන ලෙස උපදෙස් ලදිමි. මේ ගැන ඔබතුමාගේ අදහස දැන ගැනීමට කැමැත්තෙමි! ස්තූතියි

    1. විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාව හදාරා ආචාර්ය උපාධියක් කරා යාමට හැකි දැයි නම් මම දන්නේ නැහැ. නමුත් මූලික උපාධියක් ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාවේ වැරැද්දක් මම දකින්නෙත් නැහැ. ඉතින් කරන දෙයක් හොඳට කළොත්, ඒ වගේම මූලික උපාධිය හදාරා MSc එකක් වගේ දෙයක් කළොත්, සමහර විට උපටත් ආචාර්ය උපාධියක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ.
      ඒ වගේමයි මූලික සුදුසුකම් සපුරා ගත්තොත් ඔබට අවශ්‍ය ඕනම තැනකට යන්න පුළුවනි.
      අවශ්‍ය ඕනම වෙලාවක වැඩි විස්තර අහන්න පසුබට වෙන්න එපා… පුළුවන් විදියට මම උදව් කරන්නම්…
      ජය !

  5. ඔබතුමාට ගොඩක් ස්තූතියි! මගේ ගුරුතුමා හමු වී සාකච්චා කල පසු අවසාන තීරණය දැනුම් දෙන්නම්! එතුමා මේ දිනවල පිලිතුරු පත් පරීක්ෂාවට ගොස් අැති බව පාසලෙන් මට දැනුම් දුන්නා -තෙරුවන් සරණයි!

  6. මහත්මයාණනි,
    අද උදෑසන මගේ ගුරුවරයා හමු වූ අතර රසායන විද්‍යාව පිලිබඳ අායතනයට අැතුලත් වීමට තැත් කිරීම ගැටලුවක් අැති නොකරන බව දැනුම් දෙන ලදී, එබැවින් ප්‍රතිඵල පැමිණි විට( පවතින තත්ව ද සලකා බලා) එලෙස කරන බව ද දන්වන අතර, මෙතෙක් කල උපකාර සම්බන්ධයෙන් බොහෝ සේ ස්තූතිවන්ත වෙමි,
    තෙරුවන් සරණයි!

  7. බ්‍රිතාන්‍යයේ ගොඩක් ප්‍රථම උපාධි අවුරුදු 3යි මම හිතන්නේ , ඒ අය ඒ නිසා අවුරුදු තුනක උපාධියේ පලමු පෙල සමාර්ථයක්ද කොහෙද තමයි ඉල්ලන්නේ . සැහෙන වැදගත් ලිපියක් , කලින් කියවපු බවක් මතකයේ නැ , පලාමල්ලෙ ලිපියක් හරහා තමයි ආවේ

  8. වෙනත් කරුණක් සඳහා අන්තර්ජාලයේ කළ සෙවුමකදී මේ ලිපිය හමුවිය. මෙහි ඇති සාවද්‍ය වැකි දෙකක් නිවරදි කිරීමට අවශ්‍යයි. දැන් ඔබ ඉන්නේ ලංකාවේ නිසා මේ බව ඔබම දන්නවා විය යුතුයි.

    1. /* ආචාර්ය කෙනෙකු නොවී මහාචාර්ය කෙනෙකු විය නොහැක. */

    සහාය මහාචාර්ය / මහාචාර්ය / ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යනු (ලංකාවේ) විශ්ව විද්‍යාලවල තතනුරු වේ. ඒවට පත්වීමට ක්‍රමවේද දෙකක් ඇත. එකක් සුදුකම් සහ පර්යේෂණ ප්‍රකාශන මතය, අනෙක ජ්‍යෙඃ්ටත්වය මතය. කවරාකාරයකට වුවද, ඒ සඳහා ආචාර්ය උපාධියක් තිබීම අත්‍යාවශ්‍ය නොවේ.

    ආචාර්ය උපාධි නැති මහාචාර්යවරු, එනම් ඒ තනතුරු දරන්නෝ, ලංකාවේ විශ්ව විද්‍යාලවල එමට සිටිති.

    2. /* මහාචාර්ය පට්ටම රැඳී පවතින්නේ විශ්ව විද්‍යාලයකට සම්බන්ධ තාක් කල් පමණක් වුවද, ශ්‍රී ලංකාවේ මහාචාර්යවරු ගෙදර නිදාගන්න විටද පට්ටම ඔලුවේ ගසා‍‍ගෙන සිටිති. */

    පැන්ෂන් ගිය පසු මහාචාර්ය ලෙස ඇමතිය යුත්තේ විශ්‍රාම යෑමේ දී විශ්ව විද්‍යාලයෙන් සම්මාන මහාචාර්යකම් ලබා දුන් අය පමණි.

    මේ ගැන ආචාර්ය නලින් ද සිල්වා මෙසේ ලියා ඇත.

    “මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යනවිට අවසන් විය.

    එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක් වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ නම් එක් නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩුම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක් දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නොවන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදුවූයේ අවුරුදු හතක් පමණ ය.

    කෙසේ වුවත් අවුරුදු අටක් මහාචාර්ය ධුරය නොදැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවද්‍යාලයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක් නොකරන බව මම දනිමි. ”

    http://www1.kalaya.org/2014/02/blog-post_12.html

  9. වෙනත් කරුණක් සඳහා අන්තර්ජාලයේ කළ සෙවුමකදී මේ ලිපිය හමුවිය. මෙහි ඇති සාවද්‍ය වැකි දෙකක් නිවරදි කිරීමට අවශ්‍යයි. දැන් ඔබ ඉන්නේ ලංකාවේ නිසා මේ බව ඔබම දන්නවා විය යුතුයි.

    1. /* ආචාර්ය කෙනෙකු නොවී මහාචාර්ය කෙනෙකු විය නොහැක. */

    සහාය මහාචාර්ය / මහාචාර්ය / ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යනු (ලංකාවේ) විශ්ව විද්‍යාලවල තතනුරු වේ. ඒවට පත්වීමට ක්‍රමවේද දෙකක් ඇත. එකක් සුදුකම් සහ පර්යේෂණ ප්‍රකාශන මතය, අනෙක ජ්‍යෙඃ්ටත්වය මතය. කවරාකාරයකට වුවද, ඒ සඳහා ආචාර්ය උපාධියක් තිබීම අත්‍යාවශ්‍ය නොවේ.

    ආචාර්ය උපාධි නැති මහාචාර්යවරු, එනම් ඒ තනතුරු දරන්නෝ, ලංකාවේ විශ්ව විද්‍යාලවල එමට සිටිති.

    2. /* මහාචාර්ය පට්ටම රැඳී පවතින්නේ විශ්ව විද්‍යාලයකට සම්බන්ධ තාක් කල් පමණක් වුවද, ශ්‍රී ලංකාවේ මහාචාර්යවරු ගෙදර නිදාගන්න විටද පට්ටම ඔලුවේ ගසා‍‍ගෙන සිටිති. */

    පැන්ෂන් ගිය පසු මහාචාර්ය ලෙස ඇමතිය යුත්තේ විශ්‍රාම යෑමේ දී විශ්ව විද්‍යාලයෙන් සම්මාන මහාචාර්යකම් ලබා දුන් අය පමණි.

    මේ ගැන ආචාර්ය නලින් ද සිල්වා මෙසේ ලියා ඇත.

    “මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යනවිට අවසන් විය.

    එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක් වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ නම් එක් නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩුම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක් දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නොවන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදුවූයේ අවුරුදු හතක් පමණ ය.

    කෙසේ වුවත් අවුරුදු අටක් මහාචාර්ය ධුරය නොදැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවද්‍යාලයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක් නොකරන බව මම දනිමි. “

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )