ගෙදර වසන නිහඬ අනතුර………..ඊයම් විෂ වීම හෙවත් සිංහලෙන් කියනවා නම් Lead Poisoning……….

නිහඬ අනතුර...... ඊයම්...

ඊයම් විෂ වීම යනු ශරීරයේ ඊයම් ‍නොහොත් Lead නම් මූලද්‍රව්‍යයේ සාන්‍ද්‍රණය අධික වීමෙන් සෑදෙන රෝගී තත්ත්‍වයකි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Plumbism, saturnium, Devon Colic, Colica Pictonium, හෝ Painter’s Colic (පින්තාරුකරුවාගේ බඩ රුදාව) නමින් හඳුන්වයි. ඊයම් ඉතා බර ලෝහයකි. ශරීරයේ ඊයම් සාන්‍ද්‍රණය වැඩි වීමෙන් බොහෝ ඉන්‍ද්‍රියයන්ට සහ ඒවායේ ක්‍රියාකාරිත්‍වයට හානි පැමිණිය හැකියි. මෙසේ හානි පැමිණිය හැක්කේ හෘදය, අස්ථී, ආහාර මාර්ගය, වකුගඩු, ස්නායු පද්ධතිය, සහ ප්‍රජනන පද්ධති ආදියටය. එහෙත් මෙය ප්‍රධාන වශයෙන්ම ස්නායු පද්ධතියට බලපාන අතර විශේෂයෙන්ම අවුරුදු 6 ට වඩා අඩු කුඩා දරුවන්ට විෂ සහිතය. එයින්  ඔවුන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය, අධ්‍යාපනික වර්ධනය සහ චර්යාත්මක වෙනස්වීම ආදියට කෙළින්ම අහිතකර ලෙස බලපායි. ඊයම් වැනි බර ලෝහ ශරීරයේ විවිධ අවයව තුල කලක් තිස්සේ එකතු වනු ලැබේ. එය වසර ගණනාවක් තුළ ඔබට නොදැනීම සිදුවිය හැක්කක්. මෙය විශේෂයෙන්ම පැරණි ගොඩනැඟිලිවල ආලේපිත තීන්ත, ජලය, පස, ආහාර, වාතය, සහ පාරිභෝගික නිෂ්පාදන හරහා කාලයක් තිස්සේ ශරීරයට එක්විය හැකිය. යම් යම් ද්‍රව්‍ය ශරීරයට අහිතකර වීමේ අවම අගයයන් ප්‍රකාශයට පත් කර තිබුනද, ඊයම් සඳහා මෙසේ අවම අගයයක් පළ වී නැත, ඉතා කුඩා ප්‍රමාණයක් වුවත් අහිතකර බවයි ඉන් හැ‍ඟේ.

ශරීර පටකවල සහ රුධිරයේ ඊයම් ප්‍රමාණය මැනීමෙන් ඊයම් විෂවීම මැනිය හැකිය. ඊයම් විෂවීම දෙආකාරයකින් සිදු විය හැකිය. ඒ සුළු ප්‍රමාණවලින් දීර්ඝ කාලීන නිරාවරණය (Chronic Exposure) හෝ ඊයම් විශාල ප්‍රමාණයකට ක්‍ෂණික නිරාවරණය සිදු වීම  (Acute Exposure) ලෙස. එසේ වුවත් මුලින් සඳහන් කළ දීර්ඝ කාලීන නිරාවරණය සුලභය. උදාහරණයක් වශයෙන් ඊයම් අඩංගු තීන්ත වර්ගයක් ආලේප කළ නිවැසියන් දීර්ඝ කාළයක් තිස්සේ මෙසේ ඊයම් වලට නිරාවරණය වනු ලැබේ. මේ නිසා ඔවුන්ගේ ශරීර තුළ ඊයම් තැන්පත් වීම සිදු වේ. කාලයක් ගත වූ පසු මෙම ලෝහ ඉතා සුළු ප්‍රමාණවලින් අප ශරීර වලින් ඉවත් විය හැකි වුවද, නිතර නිතර නිරාවරණය වූ විට රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ස්ථිර වූ ඉහල ම්ටමක පවතී. එසේ තැන්පත් වූ ලෝහ සාන්‍ද්‍රණය වැඩි වූ පසු රෝග ලක්‍ෂණ පහල වේ.

ඊයම් විෂ වූ දරුවකුගේ අස්ථි - සුදු පැහැ අධික ස්ථානවල ඊයම් තැන්පත් වී ඇත.

ඊයම් විෂවීම ප්‍රධාන වශයෙන් නිර්ණය කළ හැක්කේ රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය මැන බැලීමෙනි. එය මනිනු ලබන්නේ රුධිරය ඩෙසි ලීටරයකට ඊයම් මයික්‍රොග්‍රෑම් (μg/dL)කොපමණ තිබෙනවාද කියා ගණනය කිරීමෙනි. අමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත වලට අනුව රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම අන්තරායකාරී තත්ත්‍වයක් වේ.  අමෙරිකානු ළමා රෝග අධ්‍යයන ආයතනය සඳහන් කරන අන්දමට රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම ඊයම් විෂවීම (Lead Poisoning) ලෙස නම් කරයි. අමෙරිකාවේ පමණක් දල වශයෙන් අවුරුදු 1-5 අතර දරුවන් 250,000 – 310,000 කගේ රුධිර ඊයම් සාන්‍ද්‍රණය 10 μg/dL ට වඩා ඇති බව අමෙරිකානු රෝග නිවාරණ කේන්‍ද්‍රය සඳහන් කරයි.

ඊයම් භාවිතය සහ විෂවීම පිළිබඳ පසුබිම

ඊයම් විෂවීම ඉතාමත් ඈත අතීතයේ පවා පාරිසරික අන්තරායක් ලෙසින් හඳුන්වා දී ඇත. ලෝකයේ මුලින්ම සොයාගත් ලෝහ වර්ග අතුරින් එකක් වන්නේ ඊයම් ය. ක්‍රිස්තු පූර්ව 6500 දී පමණ ආසියාවෙන් සොයාගන්නා ලද ලෝහයක් ලෙස පොතපතේ සඳහන් වේ. එසේම රෝම අධිරාජ්‍යයේ ඉතා සුලභ ලෙස ඊයම් භාවිතා වී ඇති බවත් රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමට පවා ඊයම් විෂවීම බලපා ඇති බවත් යම් යම් වාර්තාවල සඳහන් වී ඇත. ‍එසේ මුත් එම කරුණ හරියටම සනාථ කිරීමට ප්‍රමාණවත් සාධක හමුවී නැත.

ඊයම් විෂවීම පිළිබඳ ජුලියස් සීසර් අධිරාජ්‍යයාගේ ඉංජිනේරුවා පවා සටහන් තබා ඇති බව වාර්තා වේ. ඊයම් ජලනල වලින් සපයන ජලයට වඩා මැටියෙන් තැනූ ජලනල වලින් සපයන ජලය ගුණදායක බව ඔහු සඳහන් කර තිබේ. ඊයම් වලින් සෑදෙන්නේ යැයි අනුමාන කරන Gout නම් ‍රෝගය රෝමයේ බහුලව ව්‍යාප්තව තිබීම මේ වාර්තා තවදුරටත් සනාථ කරන සාධක වේ.

17 වන සියවසේ එබර්හාර්ඩ් ගොකෙල් (Eberhard Gockel) නම් ජර්මන් වෛද්‍යවරයා විසින් ඊයම් මිශ්‍රිත වයින් පානයෙන් අසාමාන්‍ය බඩ රිදීමක් සෑදෙන බව සොයාගන්නා ලදී. වයින් පානය කළ පූජකයන්ට වඩා පානය නොකළ පූජකයන් මනා සෞඛ්‍ය තත්ත්‍වයෙන් පසුවන බවත් වයින් පදම් කිරීම සඳහා ඊයම් සංයෝගයක් වන ලෙඩ් ඇසිටේට් පාවිච්චි කරන බව ඔහු සොයාගැනීමෙන් අනතුරුව එහි ආදිපාදවරයා විසින් වයින් පදම් කිරීම සඳහා එම සංයෝග භාවිතය තහනම් කළ බවත් වාර්තාවල සඳහන්. එහෙත් 18 සහ 19 වන ශතවර්ෂ වලදී වයින් රසකාරකයක් ලෙස නීතිවිරෝධීව ඊයම් එකතු කිරීම සිදුවී තිබේ. ඉතා දැඩි වයින් පානය කරන්නෙක් වූ සංගීතඥ බීතෝවන්, රුධිර ඊයම් සාන්‍ද්‍රණය වැඩි වීමෙන් පීඩා විඳි බව සඳහන්. පසු කළෙක ඔහුගේ හිසකෙස් යොදාගෙන කළ පරීක්‍ෂණයකින් මේ බව තවත් සනාථ වී ඇත.

කාර්මික විප්ලවයට පසු වැඩබිම් ආශ්‍රිත ඊයම් විෂවීම ඉතා සුලභ කාරණයක් බවට පත් වී ඇත. 19 වන සියවසේ ගෘහ අලංකරණය සඳහා තීන්ත භාවිතය කිරීමට පටන් ගැනීමත් සමඟ කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීම වැඩි වශයෙන් දක්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් වූයේ 1897 දී ඔස්ට්‍රියාවෙන් වාර්තා වුනු කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීමයි. ඒ නිසාම 1909 දී ප්‍රංශය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව ඊයම් යෙදූ සුදු තීන්ත නිෂ්පාදනය තහනම් කරනු ලැබීය. 20 වන සියවසේ වූ කාර්මීකරණයත් සමඟ සිදුවූ අධික ලෝහ භාවිතය නිසා ඊයම් වලට නිරාවරණය වීම ඒ හා සමඟ වැඩි විය. 1920 දශකයේදී ඇරඹි ඉන්ධන වලට ඊයම් මුසුකිරීමත් සමඟ වැඩි වශයෙන් වාතයට සහ ජලයට ඊයම් මුසු වීමට පටන් ගැණුනි. කෙසේ නමුත් මේ පිළිබඳ දැනුවත් වීම සහ ඒ සම්බන්ධයෙන්  මනා ලෙස ආරක්‍ෂණ ක්‍රියාමාර්ග ගැනීම නිසා ඊයම් විෂවීම අවම තත්ත්‍වයේ පවත්වා ගැනීමට දියුණු රටවල් ක්‍රියාකර තිබේ. එසේ වී මුත් තුන්වන ලෝකයේ රටවල් තවමත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන බවක් පෙන්නුම් කර නොමැත.

ඊයම් ශරීරගත වියහැකි ආකාර

ඔබ නොදන්නා මුත් ඊයම් පරිසර දූෂකයකි. පරිසරයට ඊයම් එකතුවන්නේ කාර්මික නිෂ්පාදන වලින් (බැටරි නිෂ්පාදනය), රථවාහන ඉන්ධන, ඊයම් කම්බි/වයර්, ආලේපන තීන්ත ආදියෙනි. එනිසාම ඊයම් අඩංගු සංයෝග පරිසරයේ සෑමතැනකම වාගේ දැකිය හැක. පරිසරයට ඊයම් එකතුවන මාර්ග අවම කරගැනීමෙන් ‍මෙම අනතුර පහසුවෙන් වලක්වා ගත හැක.

එය ශරීරගත වියහැකි ආකාර කිහිපයකි.

1. ඊයම් වලට නිරාවරණය වන ආකාරයේ රැකියාවක නියුක්ත වීම

වැඩිහිටියන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන ක්‍රමය වන්නේ ඒ ආශ්‍රිත රැකියාවක නියුක්ත වීමෙනි. මෙම රැකියා වනුයේ බොහෝ විට මෙම දෑ තනන කර්මාන්තශාලා වල රැකියාවල නියුක්තවන්නන් වේ. විකිරණ වලින් ආරක්‍ෂාවීමේ ඊයම් ලෝහ ආවරණ, ජීව උණ්ඩ, සමහර ශල්‍ය උපකරණ, විවිධ විදුලි උපකරණ, විදුලි පරිපථ, ජෙට් ඇන්ජින්, සෙරැමික් ඔපදමන ග්ලේස් යනාදිය නිපදවන පිරිස, රථවාහන හසුරවන නිලධාරීන් මෙම අන්තරායට කෙළින්ම මුහුණදෙන අය වේ. තවද, ඊයම් පතල් කම්කරුවන්, ඊයම් ලෝකුරුවන්, ජලනල සවිකරන්නන්, වීදුරු නිපදවන්නන්, ගොඩනැඟිලි තනන්නන්, බැටරි ආශ්‍රිත රැකියා කරන අය, සහ ප්ලාසිටික් භාණ්ඩ නිපදවන්නන් ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති රැකියා කරන පිරිසට අයත් වේ. මීට අමතරව, පෑස්සුම්කරුවන්, රබර් භාණ්ඩ, තීන්ත වර්ග නිෂ්පාදකයන්, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, ආදී වෘත්තීන් වල නියැලෙන්නන් ද මෙම අන්තරායකාරී පිරිසට අයත්ය. එසේම එම වැඩිහිටි පිරිස නිවෙස්වලට පැමිණෙන විට ඇඳුම්වල ද මෙම ඊයම් අඩංගු සංයෝග, දුහුවිලි ආදිය තැවරීම නිසා දරුවන් ද ඊයම් වලට නිරාවරණය වීමේ අවස්ථා වැඩි වේ.

2. තීන්ත

ගෘහාලේපිත තීන්ත වර්ග සහ ක්‍රීඩාභාණ්ඩ වර්ණ ගන්වන තීන්ත කුඩා දරුවන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන හේතු සාධකය වේ. තද පැහැති සහ දීප්තිමත් තීන්ත වර්ගවල මෙම ඊයම් සාන්‍ද්‍රණය වැඩිපුර පැවතිය හැකිය. ආලේපනයෙන් පසු කල්ගතවන විට මෙම තීන්ත ඉතා භයානක ලෙස ඊයම් පරිසරයට මුදාහැරිය හැකි වේ.  මෙසේ කල්ගතවන තීන්ත දිගුකාලීන ලෙස සුළු වශයෙන් හෝ විශාල ප්‍රමාණයක් එක්වර ඊයම් පරිසරයට හෝ දුහුවිලි ලෙස පසට මුදා හැරීම සිදු වේ. බොහෝ කුඩා දරුවන් නොයෙක් නොයෙක් දෑ මුවට දමා ගනිති. මෙසේ දමා ගන්නා දේ අතර ඇති බිත්තියකින් ගැලවුන කුඩා තීන්ත පතුරක සමහර විට මිලිග්‍රෑම් සියයක් පමණ ඊයම් පැවතිය හැකිය. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රමයෙන් කුඩා දරුවන්ට ඊයම් ශරීරගත වීම දුහුවිල්ලෙන් ශරීරගතවීමට වඩා වැඩිය.

ළදරුවෝ හැම දේම හැපීමට දක්‍ෂයන්ය....

3. පසෙන්

රථවාහන ඉන්ධන වලින් සහ තීන්ත වලින් නිකුත්වන ඊයම් අංශූන් පසේ තැන්පත් වී වසර ගණනක් පැවතිය හැකිය. මෙසේ ඊයම් වලින් දූෂිත පස් මහාමාර්ග අවට සහ ජනාකීර්ණ පෙදෙස්වල ඊයම් තර්ජනය ඇති කරන ප්‍රධාන හේතුකාරකයක් වේ.

4. ජලයෙන්

ඊයම් ජලනල, පිත්තල ජලනල, ඊයම් වලින් පෑස්සූ තඹ ජලනල සහ උපාංග මෙසේ ඊයම් ජලයට මුසු කරන ප්‍රධාන මාර්ග වේ. එසේම පසේ ඇති ඊයම් ජලයට මුසු වීමෙන් පානීය ජලය දූෂණය වීම ද සිදුවේ. ජලය පිරිපහදුවට යොදන ක්ලෝරීන් අඩංගු සංයෝග ලෝහ ජලනල විඛාදනය කරන බැවින් ඊයම් පානීය ජලයට මුසු වීම වර්ධනය කරයි. එහෙත් වර්තමානයේ පීවීසී ජලනල භාවිතා කරන හෙයින් මෙම අන්තරාව අවම කරගැනීමට සමත් වී ඇත.

5. ඊයම් අඩංගු නිෂ්පාදන භාවිතයෙන්.

විවිධ රූපලාවන ආලේපන, ඩයි වර්ග, විවිධ පෙරදිග බෙහෙත් වර්ග ඊයම් සාන්‍ද්‍රණය ඉහල පාරිභෝගික නිෂ්පාදන වේ. මීට අමතරව ඊයම් වලින් දූෂිත වූ ආහාර පරිභෝජනය ඊයම් විෂවීම සිදු කළ හැකි එක් ප්‍රධාන හේතුවකි. ආහාර දාමයේ ඉහල පුරුක්වල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් මෙසේ ඊයම්, ආසනික්, රසදිය වැනි බරලෝහ ශරීරයේ එකතු වීමට ඇති අවස්ථා වැඩි වේ. විශේෂයෙන්ම ගර්භණී මව්වරු මාංශභක්‍ෂක මාළුන් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු වන්නේ මෙම හේතුව නිසාය. මා කළින් සඳහන් කළ ආකාරයට, ඉතා විශාල බර ලෝහ ප්‍රමාණයක් ආහාර දාමයේ ඉහල පුරුක්වල එකතු වේ. අපේ ශරීර වල පවා ඒවා එකතු වනවා මිස බැහැර කෙරෙන්නේ නැත. තවමත් සමහර රටවල ටින් කෑම නිෂ්පාදනය කිරීමේ දී ටින් පෑස්සීමට ඊයම් අඩංගු පෑස්සුම් ද්‍රව්‍ය යොදා ගනී. මෙසේ ටින් කෑම වලටත් ඊයම් එකතු විය හැක. එමෙන්ම ඊයම් උණ්ඩ යොදා දඩයම් කළ සතුන්ගේ ශරීර තුළ ඊයම් අංශු තැන්පත් වී තිබිය හැක.

රෝග ලක්‍ෂණ

මූලික අවස්ථාවේ ඊයම් විෂවීම රුධිර පරීක්‍ෂාවකින් තොරව නිර්ණය කිරීම අපහසු වේ. සාමාන්‍යයෙන් නිරෝගී ලෙස ජීවත්වන පුද්ගලයන්ගේ ශරීර තුළ පවා ඉතා ඉහල සාන්‍ද්‍රණ වලින් ඊයම් පැවතිය හැකිය. රෝග ලක්‍ෂණ පහල වන්නේ ඉතා අන්තරායකාරී ලෙස ඊයම් සාන්‍ද්‍රණය ඉහල ගිය පසුය. මෙය ශරීරයේ සෑම කොටසකටම පාහේ බල පෑ හැකි නමුදු, ප්‍රධාන වශයෙන් ඉලක්ක කරනුයේ රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කරන රතු රුධිරාණු වල අඩංගු හිමෝග්ලෝබීන් නම් ප්‍රෝටීනයයි. ඉන් පසුව එය ස්නායු පද්ධතිය ආක්‍රමණය කරයි.

‍ඊයම් විෂවීම මඟින් කුඩා දරුවන් තුල පහත සඳහන් ‍රෝග ලක්‍ෂණ පහලවිය හැකිය. කුඩා දරුවන්ට රුධිරයේ ඊයම් ප්‍රමාණය 10 μg/dL ට වඩා අඩු අගයක තිබුණද රෝග ලක්‍ෂණ පහල විය හැක.

  • කේන්ති යාම අධික වීම

  • කෑම අරුචිය

  • බර අඩුවීම

  • තෙහෙට්ටුව

  • බඩේ රුදාව

  • වමනය

  • මලබද්ධය

  • අසාමාන්‍ය සුදුමැලිවීම හෝ රක්තහීනතාවය

  • හිසරදය

තවද පහත සඳහන් රෝග ලක්‍ෂණ ද ඇතැම්විට පහලවිය හැකිය.

  • වකුගඩු අකර්මණ්‍යතාව

  • ශ්‍රවණ දුර්වලතාවන්

  • චර්යාත්මක වෙනස්වීම්

  • ඉගෙනීමේ දී අළුත් දෑ ග්‍රහණය කරගැනීමේ දුබලතා

  • නිදිමත ගතිය/ කම්මැලි බව

  • වර්ධනය අඩුවීම

ගර්භණී මවක් අධික ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වුවහොත් කුසතුළ සිටින කළලයේ වර්ධනය අඩුවීම, ගබ්සාවීම්, හෝ කල් අසම්පූර්ණ දරු උපත් (Premature child births) ඇතිවිය හැක. උපදින දරුවාද අඩු වර්ධනයක් පෙන්වීම හෝ ඉගෙනීමට දුර්වල විය හැක.

වැඩිහිටියන් ඊයම් නිරාවරණයට තරමක ප්‍රතිරෝධයක් පෙන්වුවද අධිකව නිරාවරණය වූ අවස්ථාවක පහත දැක්වෙන රෝග ලක්‍ෂණ මතු විය හැක. මෙම රෝග ලක්‍ෂණ පහල වීම රුධිරයේ ඊයම් 40 μg/dL ට වඩා  වැඩියෙන් ඇති විට සිදු වියහැකි වුවත් රුධිරයේ ඊයම් 50-60 μg/dL ට වඩා ඇති විට ප්‍රබලව පෙන්නුම් කරයි.

  • ඇඟ රිදුම, හිරිවැටීම

  • මාංශපේෂි දුබලතා

  • හිසරදය

  • බඩ රුදාව

  • අමතකවීම

  • මානසික ආතතිය හා ඉක්මනින් කේන්ති යාම

  • ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීම සහ/හෝ විකෘති ශුක්‍රාණු නිපදවීම

  • ගබ්සාවීම් හෝ කල් අසම්පූර්ණ දරු උපත්

  • තෙහෙට්ටුව

ඊයම් විෂවීම වැලැක්වීම

බොහෝ අවස්ථාවල ඊයම් විෂවීම වැලැක්වීම සිදුකළ හැකිය.  එය සිදු කළ යුත්තේ ඊයම්වලට නිරාවරණය වීම වැලැක්වීමෙනි. මෙන්ම ඒ ක්‍රියාකාරකම් බොහෝදුරට නිරාවරණයට භාජනය වන කණ්ඩායම හෝ පුද්ගලයා අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් නිවසක ඊයම් නිරාවරණය වැලැක්වීම කළ හැක්කේ ඊයම් බඳුන්, උපකරණ භාවිතා නොකිරීමෙන්, නිවස හොඳින් පිරිසිදුව තබා ගැණීමෙන් සහ ඊයම් මිශ්‍ර තීන්ත වර්ග භාවිතය වැලැක්වීමෙන්; තවද නිවසේ ජලනල පද්ධතිය ලෝහ නල භාවිතයෙන් ඉවත් කිරීම වැනි ක්‍රියාවලින් ජලය මඟින් සිදුවන ඊයම් නිරාවරණය වලක්වාගත හැක. රථ වාහන පාලනය කරන නිලධාරීන් ඊයම් වලට නිරාවරණය වැලැක්විය හැක්කේ දුම ආඝ්‍රාණය කිරීම වැලැක්වීමට ආරක්‍ෂාකාරී මුව ආවරණ පැළඳීම වැනි දේ මඟිනි.

ඊයම් නිරාවරණය වීමක් සිදුව ඇති යැයි හැ‍ඟේනම් එය පරික්‍ෂා කරවා ගැනීම සිදු කළ යුතුය.  මේ සඳහා සරළ රුධිර පරීක්‍ෂාවක් කළ හැකිය. එසේම නිවස තුළ ඊයම් නිරාවරණය වීමේ අනතුරක් ඇත්ද යන්න පරීක්‍ෂාව සඳහා කුඩා පරික්‍ෂණ කට්ටල වෙළඳපොලෙන් පවා මිලදී ගත හැකිය. (ශ්‍රී ලංකාවේ මෙම උපකරණ කට්ටල විකිණීමට ඇත්දැයි මම නොදනිමි)

ඊයම් වලට නිරාවරණය වැලැක්වීම ජාතික මට්ටමෙන් සහ නාගරික මට්ටමින් සිදුකිරීම රජයේ වගකීමකි. විශේෂයෙන් තීන්ත වර්ගවලට ප්‍රමිතීන් පැනවීම සහ ක්‍රියාකිරීම, ඉන්ධන වර්ගවල ඊයම් ප්‍රමාණය පාලනය වැනි ජාතික මට්ටමේ කර්තව්‍යයන් රජයට හැර අන් කිසි ආයතනයක් යටතට අයත් නොවන විෂය කාරණා වේ. එසේම නාගරික මට්ටමින් පරිසරයේ ඊයම් ප්‍රමාණය පිළිගත් කාල පරාසයන් තුළ මැන බැලීම සහ ඒවාට නිසි පිළියම් යෙදීම අදාල නාගරික අධිකාරිය යටතට අයත් වේ.

ඊයම් විෂවීමට ප්‍රතිකාර

සාමාන්‍ය ප්‍රතිකාර වනුයේ ඊයම් විෂවීමට බඳුන් වූ පුද්ගලයා නැවත නැවතත් නිරාවරණය වීම වැලැක්වීමට ක්‍රියා කිරීම සහ රුධිරයෙන් ඊයම් ඉවත් කිරීමයි. මේ සඳහා කීලේෂන් තෙරපි (නඛර චිකිත්සාව / Chelation therapy) නම් වූ ප්‍රතිකාරය කරනු ලබයි. එහිදී සිදු කරන්නේ ඊයම් සමඟ ප්‍රබල ස්ථායී සංයෝගයක් තනන ශරීරයට හිතකර රසායන ද්‍රව්‍යයක් වන EDTA (එතිලීන් ඩයි ඇමීන් ටෙට්‍රාඇසිටික් ඇසිඩ්) නම් රසායනිකයේ සෝඩියම්-කැල්සියම් සංයෝගයක් (CaNa2EDTA) ‍රෝගියාට එන්නතක් මඟින් ලබා දීමයි. EDTA ශරීරයේ ඇති ඊයම් පරමාණු සමඟ ශරීරයට අහිතකර නොවන ස්ථායී සංයෝගයක් තනන අතර මෙම සංයෝගය මුත්‍රා සමඟ ශරීරයෙන් පහව යයි.

ලෙඩ්-එතිලීන් ඩයිඇමීන් ටෙට්‍රාඇසිටික් ඇසිඩ් සංයෝගය

මෙසේ එන්නත් කරන තවත් සංයෝගයක් වන්නේ “ඩයිමර් කැප්‍රෝල්” නම් සල්ෆර් අඩංගු සංයෝගයකි. මෙයද ඊයම් පරමාණු සමඟ ප්‍රබලව බද්ධ වී ශරීරයෙන් පහව යයි. මීට අමතරව “සක්සිමර්” සහ “ඩී-පෙනිසිලැමීන්” මුඛ මාර්ගයෙන් ලබා දෙන තවත් සංයෝග දෙකකි. කෙසේ වෙතත් මෙම කීලේෂන් ප්‍රතිකාරය ලබාදෙන්නේ විශේෂයෙන්ම හදිසියේ දැඩි ලෙස ඊයම් වලට නිරාවරණය වූ (Acute Lead Exposure) පුද්ගලයන්ටය. එසේම ඔවුන්ගේ රුධිර ඊයම් සාන්‍ද්‍රණය 25 μg/dL ට වඩා  වැඩියෙන් තිබිය යුතු වේ.

දිගු කලක් සුළු සාන්‍ද්‍රණ වලින් ඊයම් වලට නිරාවරණය වූ පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ලබා දෙන්නේ නැත. මක් නිසාද යත් ප්‍රතිකාරය නිමවූ පසු නැවත රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ඉහල යාමක් සිදුවන නිසාය.

එය සිදු වන්නේ අස්ථි තුළ තැන්පත් වී ඇති ඊයම් නැවත රුධිරයට පැමිණීමෙනි. මේ නිසා දිගු කලක් සුළු සාන්‍ද්‍රණ වලින් ඊයම් වලට නිරාවරණය වූ  (Chronic Exposure) පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ඉතා දිගු කලක් කළ යුතුය. නමුත් කීලේෂන් ප්‍රතිකාරය නිසා ශරීරයට අවශ්‍ය අනෙක් ලෝහ වර්ගවල ද අඩු වීමක් විය හැකිය. මීට අමතරව දිගුකාලීන කීලේෂන් ප්‍රතිකාර නිසා ආහාර මාර්ගය හරහා ශරීරයට ඊයම් අවශෝෂණය වීම වැඩි විය හැකිය. මේ කරුණු නිසා දිගුකාලීනව කීලේෂන් ප්‍රතිකාරය භාවිතා කරන්නේ නැත.

වගුව : රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ඉහල තත්ත්‍වයක ඇති දරුවන් කළමණාකරණය පිළිබඳ අමෙරිකානු ‍රෝග නිවාරණ කේන්‍ද්‍රය ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙල

රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය (μg/dL)

ප්‍රතිකාරය

10 – 14

දැනුවත් කිරීම, නැවතත් පරීක්‍ෂාකිරීම

15 – 19

නැවතත් පරීක්‍ෂාකිරීම, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

20 – 44

වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

45 – 69

වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

>69

වහා රෝහල්ගත කිරීම, ක්‍ෂණික කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

ශ්‍රී ලංකාවේ තත්ත්‍වය

පසුගිය දා ද නේෂන් පුවත්පතේ පළ වූ වාර්තාවක කියා තිබුණේ පාරිසරික නීති කේන්‍ද්‍රයේ (Center for Environmental Justice) ප්‍රධානී හේමන්ත විතානගේ මහතා කළ ප්‍රකාශයකට අනුව ලංකාවේ භාවිතාවන බොහොමයක් තීන්ත වර්ගවල ඊයම් සාන්‍ද්‍රණය පිළිබඳ කිසිදු ප්‍රමිතියක් නීතියක් පනවා නොමැති බවයි. ඒ මහතාට අනුව හිටපු පාරිසරික අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පවා දන්වා යැවූ මුත් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැත.

එයටත් වඩා භයානක කරුණ වන්නේ මේ පිළිබඳ කිසිදු නීතියක් සම්මතයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමය. තීන්ත සමාගම් වල මව් සමාගම් අදාල රටෙහි ප්‍රමිති තත්ත්‍වයනට අනුව තීන්ත නිපදවන නමුත් මෙරට නිපදවන  තීන්තවල එම ප්‍රමිතීන් නොමැති බව විතානගේ මහතා පවසා ඇත. මේ බව සනාථ වී ඇත්තේ අප රටේ නිපදවන තීන්තවල ඊයම් සාන්‍ද්‍රණය පිටරටකදී මැන බැලීමෙන් පසුවය.

මේ පිළිබඳව ජාතික ප්‍රමිති කාර්යාංශයේ සභාපති ආචාර්ය ඒ.ආර්.එල්. විජේසේකර මහතාගෙන් නේෂන් පුවත්පතේ වාර්තාකරු විමසූවිට ඔහු උපහාසාත්මකව පවසා තිබුණේ “ඔබ කුමක් කරන්නද ?” කියායි. එවිට වාර්තාකරු “මට කරන්නට කිසිවක් නැත” යි පැවසූ විට විජේසේකර මහතා පවසා ඇත්තේ එය මෝඩ ප්‍රශ්නයක් බවයි. එවන් උසස් නිලධාරියෙකු මෙවන් බැරෑරුම් කරුණක් එසේ සැහැල්ලුවෙන් ඉවතලන විට අපේ රටේ ප්‍රමිතීන්ට යන කල දසාව ඔබටම සිතාගත හැක.

අප රටේ බොහොමයක් කරුණු කාරණා සිද්ධවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තැබීමේ සම්ප්‍රදාය අනුවය. පසුගියදා කොළඹ ප්‍රදේශය ජලයෙන් යට වූ විට සියළු අනවසර ගොඩකිරීම් ඉවත් කරන්නට ජනපති නියෝගයක් ලැබෙන තෙක් අපේ නිලධාරීන් වසර දහයක් පමණ සිටියේ තද නින්දේය. ඔවුහු දේශපාලන වාසි හෝ රැකියාවේ සුරක්‍ෂිතභාවය තකා වැල යන අතට මැස්ස ගසාගෙන ඇස් කණ් පියා සිටිති. මා සිතන අන්දමට අප ‍රටේ ඉන්ධන වලට තවමත් ඊයම් යම් ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. මේ නිසා අප කෙතරම් ආරක්‍ෂා වුවත්, මඟ තොට යන එන විට ඊයම් මුසු දුමාරයට නිරාවරණය වීම වලකන්න අපහසුය. ඒ සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතුය. නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක එවැනි දෑ සිදුකිරීම තරමක් අපහසුය. රථවාහන හසුරවන නිලධාරීන්, ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ජීවත් වන හෝ රැකියා කරන උදවිය මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ගර්භණී මව්වරුන් රුධිරගත ඊයම් සාන්‍ද්‍රණය සඳහා පරීක්‍ෂා කළ යුතුය. එපමණක් නොව සේවක ආරක්‍ෂණ පනතද ඊයම් ආශ්‍රිත රැකියා කරන සේවකයන් ඊයම් වලට නිරාවරණය උපරිම සීමාවකට යටත්කර සංශෝධනය කළ යුතු ‍වේ. අප රටේ බොහොමයක් තීන්ත සමාගම් සිය සේවකයන් ඊයම් විෂවීම සඳහා රුධිර පරීක්‍ෂා කරනවා දැයි සැක සහිතය. ‍මම අවසන් වරට ශ්‍රී ලංකාවේ සිටි 1999 වසරේ එක්තරා ප්‍රසිද්ධ තීන්ත නිෂ්පාදන සමාගමක කණිෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස කෙටි කලක්  සේවය කළෙමි. ඒ කාළය තුළ මා දන්නා අන්දමට ඊයම් නිරාවරණය පිළිබඳ කිසිදු සේවකයෙකු හෝ කිසිදු විධායක නිලධාරියෙකු මොනයම් හෝ සඳහනක් කළ බව මට මතක නොමැත.

අප රටේ දරුවන් මෙසේ ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය හැකි වී මුත් රෝග ලක්‍ෂණ පහල නොවන්නේ ඇතැම් විට අප නිවාසවල පවතින මනා වාතාශ්‍රය නිසා බව විය හැක. දියුණු රටවල බොහෝ නිවාස වල වාතාශ්‍රය පාලනය කරනු ලබන්නේ වායු සමන යන්ත්‍ර ආදිය මගිනි. එමෙන්ම බොහෝ නිවෙස්වල ජනෙල් දොරවල් වසා තිබේ. ඒ නිසා සෑම විටම නිවස සංවෘත පද්ධතියක් සේ ක්‍රියා කරයි. නමුත් ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ මනා වාතාශ්‍රයක් ඇති බැවින් මෙසේ පරිසරයට එකතු වන ඊයම් ප්‍රමාණය නිවෙස් තුළ රැඳීම අවම විය හැක. මේ නිසාම අප දරුවන් ඊයම් වලට නිරාවරණය වීම අඩුවිය හැක. එසේ වූ පමණින් මේ පිළිබඳ ක්‍රියා කිරීම නවතා දැමීම කළ නොහැක.

දැන් කළයුතුව ඇත්තේ ජාතික ප්‍රමිති කාර්යංශය, විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ඊයම්, රසදිය වැනි අන්තරායකාරී රසායන ද්‍රව්‍ය පිළිබඳ පනත් කෙටුම්පතක් සම්පාදනය කර (දැනට එසේ කර නොමැති නම්) එය නිසි පරිදි ක්‍රියාවට නැංවීමය. ගෘහ ආලේපන තීන්ත වර්ගයන්හී ඊයම් මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් මෙය කදිමට ඇරඹිය හැක. එසේම රථවාහන ඉන්ධන වර්ගවල ඊයම් ප්‍රතිශතය අවම කිරීමට (දැනටමත් එසේ කර නැත්නම්) වහා පියවර ගත යුතුය. එසේ නොවුවහොත් ආසියාවේ ආශ්චර්යය කිරීමට බලා සිටින ශ්‍රී ලංකාව ආසියාවේ රෝහල බවට පත්වීම නොවැලැක්විය හැක. මේ අප නොසලකා හරින්නේ අපේ අනාගතයයි.

මේ ලිපියේ අඩංගු වෛද්‍ය විද්‍යාත්මක වදන් පරිවර්තනය කිරීමට සහය වූ  වෛද්‍ය ජනක අමරවීර සහ වෛද්‍ය චන්න යහතුගොඩ මහත්වරුන්ට මගේ ස්තුතිය…

මේ පිළිවඳව තවත් කියවන්න

ඊයම් විෂවීම

Advertisements

අපි වවමු.. අපිම හැදෙමු……

පසුගිය දවස් ටිකේම වැඩ ටිකක් වැඩි වුනා… ඒ නිසා කිසිවක් අකුරුකරන්න නොහැකි වුනා…..

ඔන්න ඉතින් යැංකියගේ රටේ වටපිට රත් වෙන්න ගන්නවා…

මගේ අසල්වාසීන් නම් කරන්නේ මල් හිටවන එක…මට ඒක වැඩිපුර අල්ලලා යන කාරණාවක් නොවෙයි…

අපේ සීයලා දෙන්නාම ගොවියෝ වෙච්චි නිසාත් අපේ තාත්තාගේ උප ප්‍රධාන රැකියාව සහ විශ්‍රාම ගැනීමෙන් පසු ප්‍රධාන රැකියාව වගාකිරීම නිසාත්, තවමත් මගේ ඇඟේ ගොවිකම තිබෙන නිසාත්, දෙයියනේ කියලා පිරිසිදුව යමක් කමක් කන්න පුළුවන් නිසාත්, හිතටත් ඇඟටත් හොඳ නිසාත් ආදී මෙකී නොකී සියළුම කරුණු නිසා මමත් ඇති සුළු ඉඩප්‍රමාණයේ සහ සුළු විවේකයේ එළවළු වගාවට හැම ග්‍රීෂ්ම සෘතුවෙදිම (summer) අවධානය යොමු කරනවා.

මේ වැඩෙන් කරුණු කාරණා බොහොමයක් සිද්ධ වෙනවා.

පළමුවැන්න තමයි හිත පිරිසිදු වීම…. පැළයක් ගහක් වෙලා මල් හටගෙන පළදරනවා කියන්නේ හරියට දරුවෙක් ලොකුමහත් වෙන එක fast forward වෙනවා වගේ දෙයක්. ඒකෙ වඩාත් හොඳම දේ එළවළු පැල දරුවොන්ට වඩා කියනදේ අහන එක.. උන් ඉස්කෝලෙ යවන්න ඕනෙත් නෑ… සෙල්ලම් බඩු ඉල්ලනනෙත් නෑ.. ඒ විතරක් නොවෙයි ඒකාකාරී ජීවන රටාවකට හුරුවෙලා ඉන්න අයගේ ඒකාකාරීත්‍වය එයින් මඟහැරීමත් මෙයින් සිදු වෙනවා.

Bell Pepper

තවත් දෙයක් තමයි ගෙදර වියදම සුළු ප්‍රමාණයකින් හෝ අඩු වීම. පහුගිය ග්‍රීස්ම සෘතු බොහොමයකම අපේ නිවසේ වැඩිපුර ආහාරයට ගැනුණේ මගේ පුංචි ගෙවත්තේ පළ දැරූ එළවළු… ඒ විතරක් නොවෙයි වැඩිහරිය මිතුරන් අතරේ බෙදා දීමත් වුනා…

ඉතින් ඔබටත් මෙසේ කුඩා ගෙවත්තක හිමිකාරයෙක් වන්නට පුළුවන්……..

අනේ අපට කොයින්ද ඕවට වෙලාව….. අපට කොයින්ද ඕවට ඉඩ……  ඊට වඩා හොඳයි ඕන දහ ජරාවක් කඩෙන් ගෙනත් කන එක…. නිකම් මහන්සි වෙනවට වඩා……. නේද ?

ඔන්න ඕක තමයි බොහොමයක් කම්මැලියන්ගේ ගති ලීලාව (attitude)

අපි කම්මැලිකම් මඳකට ඉවත දමා කුඩා ගෙවත්තක් හදා ගනිමු…. මෙන්න මෙහෙම…..

ඔබ ජීවත් වන වටපිටාව පිළිබඳ මුලින්ම සිතා බැලිය යුතු වෙනවා. ඔබ ජීවත් වන්නේ ඔබේම නිවසක නම් ඔබට අභිමත අයුරින් ගෙවත්ත පාලනය කළ හැකියි.

එසේ නම් ඇරඹුමක් වශයෙන් ඔබට ගෙවත්තේ ඉඩ ඇති අයුරින් කුඩා ඉඩ ප්‍රමාණයක (අඩි 4 x 6) පස බුරුල් කර කුඩා පාත්තියක් සාදාගත හැකියි. මෙය වැඩිපුර වෙ‍හෙස මහන්සියත් යන ක්‍රියාවක් නොවෙයි. එසේ  සාදා ගත් පාත්තියට කොම්පෝසට් පොහොර හෝ ‍ගෙවතු වගා සඳහා යොදන පස් යම් ප්‍රමාණයක් කවලම් කිරීමෙන් පසේ සංයුතිය වගාව සඳහා යෝග්‍ය තත්ත්‍වයකට ගෙන ආ හැකියි.

ඔබ ජීවත් වන්නේ කුලී ‍නිවසක හෝ තට්ටු නිවසක නම් තත්ත්‍වය තරමක් සංකීර්ණයි. ඒ සඳහා කළ හැක්කේ පෝච්චි යොදාගෙන වගාව ඇරඹීමයි. මෙමඟින් ඔබේ වගා කටයුතු තරමක් සීමා වෙනවා.  මේ සඳහා තරමක් විශාල පෝච්චි (අඟල් 9 -12) භාවිතාව යෝග්‍යයි. තක්කාලි වැනි උසට වැවෙන ශාක සඳහා ලොකු පෝච්චිත්, මිරිස් වැනි ශාක සඳහා තරමක කුඩා පෝච්චිත් යෝග්‍ය වෙනවා. නමුත් ඔබ කාල්පනික ශක්තිය ඇති කෙනෙකු (imaginative) නම් ඔබේ අභිමතය අනුව සුන්දර දේ කිරීමේ හැකියාව ඔබ සතුව පවතිනවා. ඉවත ලන භාජන, ප්ලාස්ටික් පෙට්ටි, බෝතල් ආදියට ඔබේ ගෙවත්තේ ඉඩක් වෙන්කර ගැනීමේ හොඳ අවස්ථාවක් තිබෙනවා මෙන්ම, පෝච්චි වලට යන වියදමත් ඉන් පිරිමැහෙනවා.

මුකුණුවැන්න

ඔබේ ගෙවත්තේ වගා කළ යුතු සහ වගා කළ හැකි දෑ ගැන ඔබට යම් දැනීමක් තිබිය යුතුයි. පෝච්චි වල වගා කරන ගෙවත්තකට සරිලන්නේ තක්කාලි, මිරිස් වර්ග, මුකුණුවැන්න, ගොටුකොළ, පාස්ලි වර්ග, වැනි කුඩා ශාක වර්ග වන අතර බිම වගාකරන ගෙවත්තකට ඇති තෝරාගැනීමේ පරාසය ඉතා විශාලයි.

එළවළු පැල හෝ බීජ පැල කර ලැබෙන පැල මඟින් ඔබට වගාව ඇරඹිය හැකියි. බීජ තවාන් දැමීම තරමක කල් යන ක්‍රියාවක් මෙන්ම වැඩ වැඩි කර ගැනීමක්. ඔබට කෙළින්ම පැල ලබා ගැනීමේ හැකියාවක් ඇත්නම් එය ඉතා ඉක්මන් පහසු කටයුත්තක් වෙනවා. මෙසේ ලබාගත් පැල පෝච්චිවල හෝ ගෙවත්තේ සිටුවීමෙන් ඔබේ ගෙවත්ත තැනීමේ කටයුත්තේ ලොකුම වැඩ කොටස අවසන් වෙනවා.

සෑම ගසකටම දිනකට එක වතාවක් හෝ ජලය වත් කිරීම අවශ්‍යයි. මේ සඳහා ඔබේ නිවසේ පාවිච්චි කර ඉවත දමන ජලය හොදා ගැනීමෙන් ඔබ ලොවට මහත් සෙතක් සිදු කරනවා. ඒ ගැනත් සිතා බලන්න. එළවළු පැල මුල් ඇදගත් පසු එයට පොහොර අවශ්‍ය වෙනවා. ඔබ කාබනික (Organic) ගෙවත්තකට කැමත්තක් දක්වන්නේ නම් කොම්පෝස්ට් පොහොර පාවිච්චි කළ හැකියි. නිවසේ දීම කොම්පෝස්ට් පොහොර තනාගත හැකි වුවත් එය තරමක කල්ගතවන කටයුත්තක්.

ඵලදාව

ඉන්පසු ඔබට පැමිණෙන්නේ ඔබ වැපිරූ දේවල ඵල නෙලා ගැනීමේ වාරයයි. මෙය කියන්න පහසු වුවත් සමහර එළවළු වලට පළිබෝධකයන්ගේ ආකර්ෂණයත් ඇතිබව අමතක කරන්න එපා. ඒ සඳහා කෘත්‍රිම (synthetic) පළිබොධනාශක වෙනුවට අළු, සබන් වතුර වැනි ස්වභාවික පළිබෝධ නාශක යොදා ගැනීම ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යෝග්‍ය බව නොකියාම බැහැ. එසේම හටගන්නා ඵල ආවරණය කිරීමෙන් පළිබෝධකයන්ගෙන් බේරාගත හැකියි. තවද තක්කාලි වැනි උසට වැඩෙන සමහර  ශාක වලට ආධාරක සවිකිරීමද සිදුකළ යුතු වෙනවා.

ඉතින් මෙසේ වගාකරගත් ගෙවත්ත දිගුකල් පවත්වාගෙන යාම ඔබට බාරයි. එය තවත් දියුණු කරගන්නවාද නව භෝගවර්ග අත්හදා බලනවාද ආදිය ඔබේ අභිමතය අනුව කළ හැකියි. ඇරඹීම කරගතහොත් ඔබටම එයින් ලැබෙන තෘප්තිය මගින් ඔබ තව තවත් වගාවට නැඹුරු වන බව සහතික විය හැකියි… එය එතරම්ම තෘප්තිමත් කටයුත්තක්…..

වෙනසක් ඇතිවිය යුත්තේ ඔබෙන්…. ඔබේ සිතුවිලිවලින්…. ඉතින්…. කම්මැලිකම අතහැරලා සිතත් ගතත් පිරිසිදු වෙන්න පුංචි ගෙවත්තක් අරඹන්න…. සමහර විට එය ඔබේ අමතර ආදායම් මාර්ගය වන්නත් බැරිකමක් නැහැ………

ඔබට ජය………………

Private Universities in Sri Lanka,….A Crime or an Investment ? | ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අකැප ද ?

මේ පිළිබඳ නදීගේ සිතුවිලි බ්ලොග් අඩවියෙත් සවිස්තරාත්මක වාර්තාවක් පළවෙලා තියෙනව. මම මේ සටහන ලියන්න පටන් ගත්තෙ දින කිහිපයක සිට. ඉතින් ඒ පිළිබඳ මගේ ආකල්පය මේ.

නව උසස් අධ්‍යාපන ඇමති තුමා පත්වීමත් සමඟම පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ කතිකාවත නැවත කරලියට පැමිණ තිබේ. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මේ පිළිබඳ නැගූ අදහස් අනුව සමහරුන් එතුමා ද ලෝක බැංකු ඒජන්තයෙක් යැයි හංවඩු ගැසීමට තරම් මෙය ප්‍රශ්නයක් වී ඇත….

ඇත්තටම….. ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අකැප ද ?

මෙය ඉතා විවෘත මනසකින් බැලිය යුතු පුළුල් පරාසයකින් යුත් කාරණයකි. අද ලෝකයේ බොහෝදෙනා යම් කාරණයක් දෙස බලන්නේ රේඛීයවයි (linear). එනම් ඒ ප්‍රශ්ණයෙන් සෘජුව පැණනඟින දේ පමණි. ප්‍රශ්නයකට බොහෝ පැති තිබේ.

ලංකාවේ මේ වන විට ප්‍රධාන විශ්ව විද්‍යාල 15 ක් ඇතත්, අ.පො.ස. උසස් පෙළ සමත්වන බොහොමයකට විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ නැහැ. මෙය උසස් පෙළ සිසුන් කළකිරීමටත් දෙමවුපියන් ආතතියටත් සමහර දේශපාලන පක්‍ෂවලට හොද්ද බොර වීමටත් හේතුපාදක වෙනවා. මෙසේ වන්නේ ඇයි ? ලංකාවේ උසස් පෙළ සමත්වන සියළුම දෙනා විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගත නොහැකිද ? නොහැකියි, එසේ ඇතුලත් කරගත හොත්  බොහෝ ප්‍රශ්න ඇතිවිය හැකියි. ඒ හේතු කිහිපයක් නිසා.

පළමුවැන්න, ලංකාවේ බහුතර උපාධිධරයන්ගේ ආකල්පය වන්නේ රජය නිදහස් අධ්‍යාපනය දුන්නා සේම ඔවුනට රැකියා ද සොයා දිය යුතු බව. විශ්ව විද්‍යාලයට යන බහුතරයක් කරන්නේ එයින් උපාධියක් ලබාගනු විනා තමන්ට දැනුම ලබාගෙන තවතවත් විමර්ශනය කර සමාජයේ ඉහලට යාමට උත්සාහ කිරීම නොවේ. ඔවුන් විශ්ව විද්‍යාල දේශන වලට අමතරව ඉංග්‍රිසි, පරිගණක දැනුම වැනි දේ ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කරනවාද යන්න සැක සහිතයි.

වර්තමාන රැකියා වෙළඳපල (පෞද්ගලික අංශයේ) ඉතා තීරණාත්මක තරඟකාරී එකක්. එයින් ඉදිරියට යාමට නම් අනෙක් අයට වඩා තමන් නිතරම ඉදිරියෙන් සිටිය යුතු වෙනවා. එසේ ඉදිරියට යා හැක්කේ අන් අයට වඩා ඔබ සතුව නිපුණතා ගොන්නක් (Skill Set) තිබුණහොත් පමණයි. විශ්ව විද්‍යාලයේ දේශන වලින් පමණක් මෙය ලබා ගන්නට බැහැ.  රාජ්‍ය අංශය (අවාසනාවකට) මෙසේ නැහැ. එය පළමුව දේශපාලනඥයින්ගේ හෙංචයියන්ට පළමුතැන ලබා දී දෙවනුව දක්‍ෂයාට තැන ලබා දෙන්නක්. එයින් සාම්ප්‍රදායික අලසයින් ගොන්නක් රාජ්‍ය අංශයට ලබා දෙනවා පමණක් නොවෙයි ඔවුන් කාර්යක්‍ෂමතාවයෙනුත් අන්තිම පහල අඩියක සිටින්නට සලස්වනවා. ඉතින් පහසු මාර්ගයේ යන්න වලිකන “සාමාන්‍ය සරසවි සිසුවා” මෙසේ අමතර නිපුණතා ලබා නොගෙන රජයෙන් රැකියා දෙනතෙක් ලිප්ටන් වටරවුම ඉදිරිපිට උද්ගෝෂණ කරනවා. මෙන්න මේකයි සත්‍යය.

දෙවැන්න මෙසේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධරයන්ට රැකියා දීමට රජයට ඇති අපහසුතාවය. දැනටමත් ලංකාවට මහත් බරක් වී ඇති අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තව තවත් සෙවකයන් ඇතුළු කළහොත් එය රජයට මහත් අසහනයක්. ඔවුනට වේතන ගෙවීමට සාමාන්‍ය ජනතාවගෙන් බදු අයකිරීම වැඩි කිරීමට සිදුවෙනවා. මෙවන් කාරණා නිසා රජයෙන් උපාධිධාරීන් බිහි කිරීම සීමා කර තිබෙනවා.

එසේම කාර්යක්‍ෂමතාව සහ පළදායීතාවය පෙරදැරි කරගත් පෞද්ගලික අංශය මේ අකාර්යක්‍ෂම උපාධිධරයන් බඳවා ගැනීමත් සීමාකර තිබෙනවා. මෙයට පෞද්ගලික අංශයට දොස් පවරා වැඩක් නැහැ. ඔවුන්ගේ පරමාර්ථය ලාභ ඉපයීම. ඒ සඳහා අදක්‍ෂයන් පෙරටුකොට ගෙන ඉදිරියට යන්න අපහසුයි. මේ නිසා ඔවුන් සෑම අතින්ම දක්‍ෂ කිහිපදෙනෙක් තෝරාගන්නවා.

එසේම දැන් පෞද්ගලික අධ්‍යාපන ආයතන බොහොමයක් තිබෙනවා. වරලත් ගණකාධිකාරී ආයතනය, විවෘත විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා රසායන විද්‍යායතනය, NIBM, CIMA,  ආදී වශයෙන් විශාල සංඛ්‍යාවක්. මේ බොහොමයක් ආයතනවල ඉගැන්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙන්ම පෞද්ගලික අංශයට ගැලපෙන විදියේ පාඨමාලා. ඒ නිසා පෞද්ගලික අංශයට දේශපාලනිකව කුරුවල් නොවුන, ඉංග්‍රීසි – පරිඝණක හැසිරවීම හොඳින් දන්නා ඒ සිසුන් බඳවා ගැනීම “සාමාන්‍ය සරසවි සිසුවන්” බඳවා ගැණීමට වඩා පහසුයි. ඒ විතරක් නොවෙයි විවිධ විදේශ විශ්ව විද්‍යාල අනුබද්ධිත පෞද්ගලික අධ්‍යාපන ආයතන ද දැන් පවතිනවා. මේවායින් පිටවන සිසුන් ද සාමාන්‍ය සරසවි සිසුවන් ට වඩා ඉදිරියෙන් සිටිනවා.

අද ලංකාවේ යමක් කමක් ඇති දෙමවුපියන් කරන්නේ කෙසේ හෝ තම දරුවනට ඉහල අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කිරීමයි. මේ සඳහා ලංකාවේ පෞද්ගලික ආයතන නොමැති නම්, පිටරටකට යවා හෝ අධ්‍යාපනය ලබා දෑමට ඔවුන් පසුබට වන්නේ නැහැ. එවිට ඔවුන් අමෙරිකාවේ, එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල කරා ඇදෙනවා. මෙම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය අපේ රටේ මෙන් නොමිලේ දෙන්නේ නැහැ. අවුරුද්දකට රුපියල් ලක්‍ෂ 10 ක් වත් අවම වශයෙන් වැය වෙනවා පාසල් ගාස්තු වශයෙන්. ඊට අමතරව ආහාර, ඇඳුම් පැලඳුම්, ප්‍රවාහන ගාස්තු ආදී මෙකී නොකී සියළුම වියදම් සමඟ වසරකට රුපියල් ලක්‍ෂ 15 කට වඩා එක් දරුවකු වෙනුවෙන් වසර දෙකක් හෝ වසර හතරක් වියදමු දැරිය යුතු වෙනවා. මේ පිටරටට ඇදී යන්නේ අපේම සල්ලි… එක ශිෂ්‍යයෙකු වෙනුවෙන් අවම වශයෙන් රු: ලක්‍ෂ 15 ගණනේ විදේශයන්හි ඉගෙන ගන්නා අපේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන්  වැඩිකර බැලුව හොත් පිට රටට ඇදීයන මුදල් සම්භාරය අති විශාල පුමාණයක්.

එසේම මේ ශිෂ්‍යයන් නැවත ලංකාවට පැමිණිය හොත් ඔවුන්ට රැකියා ලැබීමේ සම්භාවිතාවය දේශීයව උසස් අධ්‍යාපනය හැදැරූ අය‍ට වඩා වැඩියි. ඒ විදේශීයව ඉගෙනගත් සිසුන් තුළ ඉහත සඳහන් කළ නිපුණතාවන් සහ පෞද්ගලික අංශයට සරිලන කුසලතාවයන්, ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ඉහල මට්ටමින් පැවතීම නිසා.

මේ තත්ත්‍වය මඟහරවා ගැනීමට ලංකාවේ බලධාරීන්ට උපාය මාර්ග කිහිපයක් ගත හැකියි. නව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා කියන පරිදි වහාම අපේ උසස් අධ්‍යාපනය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම අනිවාර්යය කටයුත්තක්. එසේම විශ්ව විද්‍යාල විෂය මාලා නව්‍යකරණයට ලක්කර යුතුව තිබෙනවා. එමඟින් සිසුන් ඉංග්‍රීසි දැනුමින් සන්නද්ධ වනවා පමණක් නොව පෞද්ගලික අංශය බලාපොරොත්තු වන එක් සුදුසුකමකුත් සම්පූර්ණ වෙනවා.

දෙවැන්න නම් රජ‍යේ අධීක්‍ෂණයෙන් සහ පෞද්ගලික ආයතනවල ආයෝජනයෙන් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම. මේ සඳහා විශේෂ නීතිරීති ගෙන ආ යුතු අතර විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැණීමේදී TOEFL, SAT, IELTS,  වැනි තරඟ විභාග වලින් ඉහලින් සමත්වීම අනිවාර්ය කළ යුතුව තිබෙනවා. මේ සඳහා පිළිගත් ක්‍රියා පටිපාටියක් ඇතිකළ යුතුයි. එසේම මේවායේ ඉගැන්වීමට සුදුසුකම් ලත් පිරිසක යෙදවීම මගින් ගුණාත්මක භාවය වැඩි කරගත හැකියි. කොහොමත් පෞද්ගලික අංශය මී කඩන්නේ අත ලෙවකන්න නොවෙයිනේ. ඒ නිසා කොතරම් මුදල් හදල් ඇති බලපුළුවන් කාරයෙක් වුනත් අදක්‍ෂයෙක් නම් ඔවුන්ගේ ආයතන වලට සිසුවෙක් හෝ සේවකයෙක් ලෙස  බඳවාගන්න අවකාශයක් නැහැ. මක් නිසාද යත්, එම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ කීර්තිනාමය තිබුණොත් පමණයි ඉදිරියට යා හැක්කේ . විශ්ව විද්‍යලයක තත්ත්‍වය මනින්නේ එයින් පිටතට පැමිණෙන සිසුන්ගේ ගුණාත්මක භාවයෙන්, ගුරුවරුන්ගේ සුදුසුකම් සහ කීර්තියෙන්, පළකරන පර්යේෂණාත්මක ලිපි (research papers) වල ගුණාත්මක භාවය වැනි කරුණු පදනම් කරගෙනයි.

පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ක්‍ෂණිකව ඇතිකළ හැක්කක් නොවෙයි. වසර 10ක් වත් ක්‍රම ක්‍රමයෙන් එහි කීර්ති නාමය ගොඩ නඟා ගතයුතු ආයතනයක්.  එනිසා මේ කර්තව්‍යය තවත් අවුරුදු 10 ක් වත් ඉදිරිය බලා දැන්ම පටන් ගතයුතු දෙයක්. එහෙත් ඒ වෙනුවට දැනට පවතින පෞද්ගලික ආයතන වැඩිදියුණු කිරීමට පහසුකම් සැලසුවොත්  එය ඊට වඩා ඉක්මන් වේවි.

ඉතින් මම කියන්නෙ නම් තේ කෝප්පෙ කිඹුල්ලු දකින්නෙ නැතිව මේ අනාගත ආයෝජනය දැන්ම කළොත් අපේ ඉදිරිය හොඳ වේවි.  ලංකාවෙ තවම රසායන විද්‍යා ආචාර්ය උපාධිධරයෙකුට තමන්ගෙ විෂයපථයට අනුව රැකියාවක් කළ හැකි පෞද්ගලික ආයතනයක් නැහැ. ලංකාවෙ ඇත්ත තත්ත්‍වය මෙයයි. මා දන්න බොහෝ දෙනෙක් නැවත ලංකාවේ පදිංචියට පැමිණෙන්න සූදානම් නමුත් ඔවුනට සරිලන රැකියාවක් නොමැති නිසා එය අතහැරදමා තිබෙනවා..

පෞද්ගලික විශ්ව විද්‍යාල යනු අනාගතය වෙනුවෙන් කරන මහා ආයෝජනයක්. මම හිතන්නේ එහෙමයි….

අර්ජුන රූකාන්ත සහ දුමාල් වර්ණකුලසූරිය අතර වෙනස……අකුරු සාස්තරේ ඉගෙන ගත්තාම විතරක්ම ඇතිද ?

ඔබ හැමෝම දන්නවනේ සිරස සුපර් ස්ටර් තරඟයේ වුන දේ….. සංගීතය කෙළ පැමිණි, පණ්ඩිත් අමරදේවගේ හෙවනැල්ල වගේ ඉඳගෙන සිංදු කියපු දුමාල් වර්ණකුලසූරිය කැපිලා ගිහින් වේදිකාව පාලනය කරගෙන ප්‍රේක්‍ෂකයාව ඇද බැඳ තබාගත් අර්ජුන රූකාන්ත අවසාන වටයට “ජනතා පරමාධිපත්‍යයෙන්” තේරී පත් වුනා. ඉතින් මමත් පෘත:ජනයෙක් විදියට ඇමරිකාවෙ හිටියත් මේ දිහා බලාන උන්නා.  එක අතකට “ජනතා පරමාධිපත්‍යය” හරියි කියලා තේරුණේ අර්ජුන විසින් ප්‍රේක්‍ෂකාගාරය පාලනය කළ ආකාරය දැකලා. දුමාල් දක්‍ෂයි තමයි ඒත් ප්‍රසාංගික බව අතින් අර්ජුන ඉන්නේ සෑහෙන්න ඉදිරියෙන්.. ඉතින් මේ අණ්ඩර දෙමලයයි ඉගෙන ගැනීමයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා කවුරුහරි ගොබිලෙක් අහන්න පුළුවන්…

පසුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ දී මම කාලෙකින් ලංකාවට ගියා. එහිදී මගේ පාසල් මිතු‍රෝබොහොම දෙනෙක් මට හමු වුනා. ඒ බොහොමයක් දැන් උසස් තැන්වල රැකියා කරන උදවිය වගේම ආදිශිෂ්‍ය සංගමයේ බැහැලා වැඩකරන අය. සමහරුන්ට තමන්ගේම සමාගම් තිබෙනවා, සමහරක් වෛද්‍යවරු, ඉංජිනේරු වරු, තවත් සමහරු දේශපාලනය කරනවා (මම ඒ අයට කිවුවා මම දේශපාලනඥයන් සම්බන්ධයෙන් දක්වන්නේ ප්‍රසාදාත්මක ආකල්පයක් නොවන බව – ඒ මිතුරෝ දන්නවා මම දේශපාලනික සත්ත්‍වයෙක් නොවන බවත් එල්ටීටීඊ එක වුනත් කරන හරි දේ හරියැයි කියන බව – ඒ වෙනම කතාවක්).

ඉතින් ඒ මිතුරුහමුවෙදි අපේ ආගිය තොරතුරු බොහොමයක් කතා වුනා මද්‍යසාර බෝතල කිහිපයක් අවසන් වන තෙක්. (තිතට මත) එහිදී මතු වුන ප්‍රධාන කාරණයක් තමයි මේ අපේ පාසාලේ බාහිර කටයුතු සඳහා සිසුන්ගේ සහභාගි‍ත්‍වයේ මඳකම. ඒ අනුව පාසලේ විදුහල්පති තුමා‍ගේ සහ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධානාචාර්ය නැසීගිය නිමල් ගමගේ මහතා‍ගේ මූලිකත්‍වයෙන් ම’විසින් පැයක පමණ දෙසුමක් උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් හට පවත්වනු ලැබුවා. මේ ඒ දෙසුමේ සාරාංශයක් සහ මට හිතෙන දේ…..

අපි ඉපදුන දවසේ ඉඳලා මැරෙන තෙක් ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ ඉගෙන ගන්නා දේ ජීවිතය හැඩගස්වා ගන්න උපකාරී කරගන්නවා. ඉතින් ඉගෙන ගන්න ඕන කියන දේ ගැන මගේ කිසිම විවාදයක් නැහැ. ඉගෙන ගන්නෙ නැති එවුන්ට කණට ගහලා ඉගෙන ගන්න යවන්න මම පසුබට වෙන්නෙත් නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ…… පොත්පත් වල දේ ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිහින්, උපාධියක් ගත්තාම කෙනෙක් සම්පූර්ණ වෙනවද ? කියන එක…..

අද ලංකාවෙ හැමෝටම ආතතිය, මැතිවරණ කොමසාරිස්ගෙ ඉඳලා මොන්ටිසෝරි යන පොඩිඑකා දක්වා හැමෝම ආතතියෙන් තමයි ජීවත් වෙන්නේ.. ඇයි මේ ?

මෙයට ප්‍රධාන හේතුව අද සමාජයෙ ඇති තරඟය.. හැමෝම දන්නවා ඉගෙන ගත්තේ නැත්නම් ජනප්‍රිය පාසලකට යන්න බැහැ. හැමෝටම මන්ත්‍රීවරුන්ගේ හිතවත්කම් නැහැනේ. ඉතින් ඉගෙන ගන්න ඕන. හැමෝම උත්සාහ කරන්නේ එක්කෝවෛද්‍යවරයෙක් වෙන්න නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න. මම ඒ උත්සාහය පහත දමා කතා කරනවා නෙවෙයි, ඒත් ඒ කීයෙන් කී දෙනාද වෛද්‍ය විද්‍යාලයට, ඉංජිනේරු පීඨයට යන්නේ ? මෙන්න මෙතනයි ප්‍රශ්නේ…. ඒ විතරක් නොවෙයි, දක්‍ෂයන් කී දෙනෙකුට විශ්ව විද්‍යාලයට යන්න තියෙන අවස්ථාව අහිමි වෙනවාද ?

ඊට පස්සේ මොකද කරන්නේ ? වාසනාවකට දැන් ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා.

NIBM, Charted Accountancy, CIMA, Charted Engineering, Institute of Chemistry, NDT, HNDA, ආදීවශයෙන් ඒත් මේ පාඨමාලා හදාරන්න මුදල් ඇත්තේ කීයෙන් කී දෙනාටද ? මේ දේවල් හදාරන්න මුදල් හදල් නැති අය කුමක් හෝ රැකියාවකට යනවා. ඔබ වෛද්‍ය‍වරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෙනයම් ක්‍ෂෙත්‍රයකට ගියත් මේ රැකියා පෝලිමේ ඉන්න ඔබ සම්මුඛ පරීක්‍ෂණ කිහිපයකට මුහුණ පානවා. ඔන්න ඔතනදී තමයි පොතපතේ එල්ලිලා හිටපු අය ඇණගන්නේ.

සමාවෙන්න – මම කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි.

දැන් බලන්න සම්මුඛ පරීක්‍ෂණයකදි හොයන ප්‍රධාන කාරණයක් තමයි පළපුරුද්ද (Experience) සහ නායකත්‍වය සහ කණ්ඩායම් ක්‍රියා (leadership and team work). පළපුරුද්ද එන්න නම් වැඩක් කරලා, කණ්ඩායමක් එක්ක හැසිරිලා  නායකත්වයක් දරලා පුරුද්දක් තියෙන්න ඕනා. එසේනම් පාසලේදී කණ්ඩායම් ක්‍රීඩා කරලා තිබීම අවශ්‍යයයි.

පන්තියේ නායකයා වුනා කියලා නායකත්‍වය පිළිබඳ අත්දැකීම් එන‍්නේ නැහැ. කළු ලෑල්ල මකන්නයි නාමලේඛණය ගේන්නයි ඇරෙන්න පන්ති නායක කමින් ගන්න පළපුරුද්දක් නැහැ. ඉතින් මේ නායකත්‍වය ලබාගත යුත්තේ විවිධ සමිති සමාගම්වල නිලතල දරලා හෝ නිවාස නායක උපනායක තනතුරු හෝ විද්‍යාලයීය ශිෂ්‍ය නායක තනතුරක් දැරීමෙන්. ඒ තනතුරු නාමිකව දරලත් වැඩක් නැහැ. ක්‍රියාකාරීව අවශ්‍ය අයුරින් වැඩ කරලා අනෙක් අය මෙහෙයවලා, යමක් හරියට සාර්ථකව කළ හැක්කේ කළ යුත්තේ කෙසේද කියලා තමන් විසින්ම අත් දැකීම ලබාගැණීමයි කළ යුත්තේ.

නවතම සම්මුඛ පරීක්‍ෂණ ක්‍රම අනුව සුදුස්සා තෝරනු ලබන්නේ චර්යාමය සම්මුඛ පරීක්‍ෂණයක් (Behavioral Interview) මාර්ගයෙන්. මෙහිදී උපකල්පිත අවස්ථාවක් පිළිබඳ අයදුම්කරුගෙන් විමසනවා.

උදා: ඔබට යම් වැඩක් කරගෙන යාමේදී බාධකයක් පැන නැඟුනහොත් මොකද කරන්නේ ? කියා සම්මුඛ පරීක්‍ෂණ මඬුල්ලේ කෙනෙක් ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්…

එවිට ඔබ සාමාන්‍ය ලෙස “මම එම බාධකය මැඬගෙන හෝ මඟහරවාගෙන වැඩ කරනවා යැයි පැවසුවොත් ඔබේ ගමන එතැනම නවතිනවා. මේ සඳහා පිළිතුරු දිය යුත්තේ STAR  ක්‍රමය උපයෝගී කරගෙනයි. මොකක්ද මේ STAR ක්‍රමය ?

Situation එම බාධකය පැණ නැඟුන අවස්ථාව

Task ඒ සඳහා ඔබ කළ හැකි යුතුව තිබුණ දේ

Action  එම බාධකය මඟහරවා ගැණීමට ඔබ කළ දේ

Result බාධකය මඟහැරුණ පසු අත්වූ ප්‍රතිඵලය

මේ ආකාරයට පිළිතුරු දීමට නම් අවම වශයෙන් ඔබ මෙවන් අවස්ථාවකට එක වතාවක් හෝ මුහුණදී තිබිය යුත් වෙනවා. පොත්පත් කියවලා මේ අත්දැකීම ලබාගන්න බැහැ. එසේ නම් ඔබ පාසලේ හෝ වෙනත් ආයතනයක බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වීමෙන් මෙම අත්දැකීම් ලබාගතයුතුව ති‍බෙනවා.

පාසල් විෂයමාලා තුළ කණ්ඩායම් ක්‍රීඩා, නිවාසාන්තර ක්‍රීඩා තරඟ, විවිධ සමිති සමාගම්, ආදී දේ ඇතුලත් කර ඇත්තේ මෙම කණ්ඩායම් හැඟීම, නායකත්‍ව ගුණාංග,ජය පරාජය විඳගැණීමට පුරුදු කිරීම ආදී කරුණු පෙරදැරි කරගෙනයි. ඉතින් ඒ දේ වලින් ප්‍රයෝජන ලබාගැණීම ඔබ සතු අයිතියක් මෙන්ම යුතුකමක් ද වෙනවා.

එමෙන්ම මෙසේ බාහිර ක්‍රියාකාරකම්වල නියැලීම නිසා සිසුන්ගේ මනස සමබර වෙනවා. එවිට ඔවුන්ගේ අධ්‍යාපන හැකියාවන් වර්ධනය වෙනවා. එමගින් ඔවුන් හැම දෙනාම අධ්‍යාපනය අතින් සාර්ථක නොවුනත් සමාජයේ සමබර පුද්ගලයන් වෙනවා. සුළු දේකටත් ගහ මරා ගන්නේ නැතිව ජය පරාජය සමව දරාගෙන වැඩදායක අයුරින් ජීවත් වෙනවා.

ඒත්, හැම දෙමවුපියෙක්ගේම උත්සාහය තම දරුවා සමාජයේ ඉහලම තැනක‍ට යවන්න. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් නීතීඥයෙක් හෝ ඉංජිනේරුවෙක් කරන්නයි. ඉතින්, ඔවුන්ගේ අභිප්‍රායන් ඉටු කරන්න ඔබ අප සියළුම දෙනා උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. ඒ අතරම, තමන් උගත්, ඉගෙන ගන්නා පාසලට තම යුතුකම් ඉටු කරන්නත් අමතක කරන්න එපා. පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වන්න, ශිෂ්‍ය නායක මණ්ඩලයට, නිවාසාන්තර ක්‍රීඩා සංවිධානයට සහභාගි වන්න. ඒ දේ වලින් ඔබට අළුත් අත්දැකීම ලැබෙනවා විනා අවැඩක් සිදු වන්නේ නැහැ.

මම පෙර කියූ මගේ මිතුරන් සියල්ල මෙසේ බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා ආදියට සහභාගී වී බොහෝ අත්දැකීම් ලබාගෙන ඒවා තම වෘත්තීය ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයටත් රුකුලක් කරගෙන සාර්ථකව ජීවත්වෙන අය. ඔබ වෛද්‍ය වරයෙක් වුනත් හරියට රෝගීන්ව හසුරවා ගන්න, ඔවුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න නොහැකි අයෙක් වුනොත් ඔබ සාර්ථක වෛද්‍යවරයෙක් වන්නේ නැහැ. ඔබ මේ රටේ වෛද්‍යවරු දහසක් අතර තවත් එක අයෙක් පමණක් වෙනවා. එසේ නොවී දහසක් අතරින් කැපී පෙනෙන එක් අයෙක් වෙන්න ඔබේ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න.

ඉතින් මට පෙනෙන හැටියට අර්ජුන රූකාන්ත මෙන්න මේ බාහිර ක්‍රියාකාරකම් වලින් සහ ඔහුට අන් අයගෙන් ලැබෙන උපදෙස් හොඳින් පිළිපදිමින් ඒ අත්දැකීම් වලින් ඉගෙනගෙන ක්‍රියා කරන කෙනෙක්. දුමාල්ට පෙර වතාවලදී වේදිකාවේ හැසිරීම පිළිබඳ අවවාද ලැබුණත්, ඔහු ඒ අත්දකීම් අවසාන පූර්ව තරඟයේදී යොදාගත්තේ හරිම අඩුවෙන්. මම හිතන්නේ ඒ නිසයි ඔහු තරඟයෙන් ඉවත් වුනේ. නමුත් ඔහුගේ හැකියාවන් ඔහු පෙරට ගෙන යන බවට කිසිම සැකයක් නැහැ.

මම අද මේලෙස සමාජයේ ජීවත්වන්නේ, මහා සභාවන් මැද බය නැතිව දේශන පවත්වන්නේ ඒ කුඩාකළ ලබාගත් අත්දැකීම් සම්භාරය හේතුවෙන්. මේ රටේ බොහොමයක් ප්‍රසිද්ධ, සාර්ථක පුද්ගලයන් සියල්ල පොත පතට සීමා වෙලා වැඩකරපු අය නොවෙයි. ඒ සියළුම දෙනා පොතපතට අමතරව වෙනත් දේ වල නියැළුන උදවිය…..

එහෙමනම් ඔබටත් සමාජයේ සමබර, සාර්ථක පුද්ගලයෙකු වීමට උවමනා නම්, පොත් පත් වැඩ කරන අතරතුර, සමාජයීය වැඩකටයුතු හෝ පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට පොඩ්ඩක් සහභාගී වී අත්දැකීම් ලබාගන්න….. කවදාවත් වරදින්නේ නැහැ…….