Private Universities in Sri Lanka,….A Crime or an Investment ? | ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අකැප ද ?

මේ පිළිබඳ නදීගේ සිතුවිලි බ්ලොග් අඩවියෙත් සවිස්තරාත්මක වාර්තාවක් පළවෙලා තියෙනව. මම මේ සටහන ලියන්න පටන් ගත්තෙ දින කිහිපයක සිට. ඉතින් ඒ පිළිබඳ මගේ ආකල්පය මේ.

නව උසස් අධ්‍යාපන ඇමති තුමා පත්වීමත් සමඟම පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ කතිකාවත නැවත කරලියට පැමිණ තිබේ. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මේ පිළිබඳ නැගූ අදහස් අනුව සමහරුන් එතුමා ද ලෝක බැංකු ඒජන්තයෙක් යැයි හංවඩු ගැසීමට තරම් මෙය ප්‍රශ්නයක් වී ඇත….

ඇත්තටම….. ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අකැප ද ?

මෙය ඉතා විවෘත මනසකින් බැලිය යුතු පුළුල් පරාසයකින් යුත් කාරණයකි. අද ලෝකයේ බොහෝදෙනා යම් කාරණයක් දෙස බලන්නේ රේඛීයවයි (linear). එනම් ඒ ප්‍රශ්ණයෙන් සෘජුව පැණනඟින දේ පමණි. ප්‍රශ්නයකට බොහෝ පැති තිබේ.

ලංකාවේ මේ වන විට ප්‍රධාන විශ්ව විද්‍යාල 15 ක් ඇතත්, අ.පො.ස. උසස් පෙළ සමත්වන බොහොමයකට විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ නැහැ. මෙය උසස් පෙළ සිසුන් කළකිරීමටත් දෙමවුපියන් ආතතියටත් සමහර දේශපාලන පක්‍ෂවලට හොද්ද බොර වීමටත් හේතුපාදක වෙනවා. මෙසේ වන්නේ ඇයි ? ලංකාවේ උසස් පෙළ සමත්වන සියළුම දෙනා විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගත නොහැකිද ? නොහැකියි, එසේ ඇතුලත් කරගත හොත්  බොහෝ ප්‍රශ්න ඇතිවිය හැකියි. ඒ හේතු කිහිපයක් නිසා.

පළමුවැන්න, ලංකාවේ බහුතර උපාධිධරයන්ගේ ආකල්පය වන්නේ රජය නිදහස් අධ්‍යාපනය දුන්නා සේම ඔවුනට රැකියා ද සොයා දිය යුතු බව. විශ්ව විද්‍යාලයට යන බහුතරයක් කරන්නේ එයින් උපාධියක් ලබාගනු විනා තමන්ට දැනුම ලබාගෙන තවතවත් විමර්ශනය කර සමාජයේ ඉහලට යාමට උත්සාහ කිරීම නොවේ. ඔවුන් විශ්ව විද්‍යාල දේශන වලට අමතරව ඉංග්‍රිසි, පරිගණක දැනුම වැනි දේ ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කරනවාද යන්න සැක සහිතයි.

වර්තමාන රැකියා වෙළඳපල (පෞද්ගලික අංශයේ) ඉතා තීරණාත්මක තරඟකාරී එකක්. එයින් ඉදිරියට යාමට නම් අනෙක් අයට වඩා තමන් නිතරම ඉදිරියෙන් සිටිය යුතු වෙනවා. එසේ ඉදිරියට යා හැක්කේ අන් අයට වඩා ඔබ සතුව නිපුණතා ගොන්නක් (Skill Set) තිබුණහොත් පමණයි. විශ්ව විද්‍යාලයේ දේශන වලින් පමණක් මෙය ලබා ගන්නට බැහැ.  රාජ්‍ය අංශය (අවාසනාවකට) මෙසේ නැහැ. එය පළමුව දේශපාලනඥයින්ගේ හෙංචයියන්ට පළමුතැන ලබා දී දෙවනුව දක්‍ෂයාට තැන ලබා දෙන්නක්. එයින් සාම්ප්‍රදායික අලසයින් ගොන්නක් රාජ්‍ය අංශයට ලබා දෙනවා පමණක් නොවෙයි ඔවුන් කාර්යක්‍ෂමතාවයෙනුත් අන්තිම පහල අඩියක සිටින්නට සලස්වනවා. ඉතින් පහසු මාර්ගයේ යන්න වලිකන “සාමාන්‍ය සරසවි සිසුවා” මෙසේ අමතර නිපුණතා ලබා නොගෙන රජයෙන් රැකියා දෙනතෙක් ලිප්ටන් වටරවුම ඉදිරිපිට උද්ගෝෂණ කරනවා. මෙන්න මේකයි සත්‍යය.

දෙවැන්න මෙසේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධරයන්ට රැකියා දීමට රජයට ඇති අපහසුතාවය. දැනටමත් ලංකාවට මහත් බරක් වී ඇති අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තව තවත් සෙවකයන් ඇතුළු කළහොත් එය රජයට මහත් අසහනයක්. ඔවුනට වේතන ගෙවීමට සාමාන්‍ය ජනතාවගෙන් බදු අයකිරීම වැඩි කිරීමට සිදුවෙනවා. මෙවන් කාරණා නිසා රජයෙන් උපාධිධාරීන් බිහි කිරීම සීමා කර තිබෙනවා.

එසේම කාර්යක්‍ෂමතාව සහ පළදායීතාවය පෙරදැරි කරගත් පෞද්ගලික අංශය මේ අකාර්යක්‍ෂම උපාධිධරයන් බඳවා ගැනීමත් සීමාකර තිබෙනවා. මෙයට පෞද්ගලික අංශයට දොස් පවරා වැඩක් නැහැ. ඔවුන්ගේ පරමාර්ථය ලාභ ඉපයීම. ඒ සඳහා අදක්‍ෂයන් පෙරටුකොට ගෙන ඉදිරියට යන්න අපහසුයි. මේ නිසා ඔවුන් සෑම අතින්ම දක්‍ෂ කිහිපදෙනෙක් තෝරාගන්නවා.

එසේම දැන් පෞද්ගලික අධ්‍යාපන ආයතන බොහොමයක් තිබෙනවා. වරලත් ගණකාධිකාරී ආයතනය, විවෘත විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා රසායන විද්‍යායතනය, NIBM, CIMA,  ආදී වශයෙන් විශාල සංඛ්‍යාවක්. මේ බොහොමයක් ආයතනවල ඉගැන්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙන්ම පෞද්ගලික අංශයට ගැලපෙන විදියේ පාඨමාලා. ඒ නිසා පෞද්ගලික අංශයට දේශපාලනිකව කුරුවල් නොවුන, ඉංග්‍රීසි – පරිඝණක හැසිරවීම හොඳින් දන්නා ඒ සිසුන් බඳවා ගැනීම “සාමාන්‍ය සරසවි සිසුවන්” බඳවා ගැණීමට වඩා පහසුයි. ඒ විතරක් නොවෙයි විවිධ විදේශ විශ්ව විද්‍යාල අනුබද්ධිත පෞද්ගලික අධ්‍යාපන ආයතන ද දැන් පවතිනවා. මේවායින් පිටවන සිසුන් ද සාමාන්‍ය සරසවි සිසුවන් ට වඩා ඉදිරියෙන් සිටිනවා.

අද ලංකාවේ යමක් කමක් ඇති දෙමවුපියන් කරන්නේ කෙසේ හෝ තම දරුවනට ඉහල අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කිරීමයි. මේ සඳහා ලංකාවේ පෞද්ගලික ආයතන නොමැති නම්, පිටරටකට යවා හෝ අධ්‍යාපනය ලබා දෑමට ඔවුන් පසුබට වන්නේ නැහැ. එවිට ඔවුන් අමෙරිකාවේ, එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල කරා ඇදෙනවා. මෙම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය අපේ රටේ මෙන් නොමිලේ දෙන්නේ නැහැ. අවුරුද්දකට රුපියල් ලක්‍ෂ 10 ක් වත් අවම වශයෙන් වැය වෙනවා පාසල් ගාස්තු වශයෙන්. ඊට අමතරව ආහාර, ඇඳුම් පැලඳුම්, ප්‍රවාහන ගාස්තු ආදී මෙකී නොකී සියළුම වියදම් සමඟ වසරකට රුපියල් ලක්‍ෂ 15 කට වඩා එක් දරුවකු වෙනුවෙන් වසර දෙකක් හෝ වසර හතරක් වියදමු දැරිය යුතු වෙනවා. මේ පිටරටට ඇදී යන්නේ අපේම සල්ලි… එක ශිෂ්‍යයෙකු වෙනුවෙන් අවම වශයෙන් රු: ලක්‍ෂ 15 ගණනේ විදේශයන්හි ඉගෙන ගන්නා අපේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන්  වැඩිකර බැලුව හොත් පිට රටට ඇදීයන මුදල් සම්භාරය අති විශාල පුමාණයක්.

එසේම මේ ශිෂ්‍යයන් නැවත ලංකාවට පැමිණිය හොත් ඔවුන්ට රැකියා ලැබීමේ සම්භාවිතාවය දේශීයව උසස් අධ්‍යාපනය හැදැරූ අය‍ට වඩා වැඩියි. ඒ විදේශීයව ඉගෙනගත් සිසුන් තුළ ඉහත සඳහන් කළ නිපුණතාවන් සහ පෞද්ගලික අංශයට සරිලන කුසලතාවයන්, ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ඉහල මට්ටමින් පැවතීම නිසා.

මේ තත්ත්‍වය මඟහරවා ගැනීමට ලංකාවේ බලධාරීන්ට උපාය මාර්ග කිහිපයක් ගත හැකියි. නව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා කියන පරිදි වහාම අපේ උසස් අධ්‍යාපනය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම අනිවාර්යය කටයුත්තක්. එසේම විශ්ව විද්‍යාල විෂය මාලා නව්‍යකරණයට ලක්කර යුතුව තිබෙනවා. එමඟින් සිසුන් ඉංග්‍රීසි දැනුමින් සන්නද්ධ වනවා පමණක් නොව පෞද්ගලික අංශය බලාපොරොත්තු වන එක් සුදුසුකමකුත් සම්පූර්ණ වෙනවා.

දෙවැන්න නම් රජ‍යේ අධීක්‍ෂණයෙන් සහ පෞද්ගලික ආයතනවල ආයෝජනයෙන් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම. මේ සඳහා විශේෂ නීතිරීති ගෙන ආ යුතු අතර විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැණීමේදී TOEFL, SAT, IELTS,  වැනි තරඟ විභාග වලින් ඉහලින් සමත්වීම අනිවාර්ය කළ යුතුව තිබෙනවා. මේ සඳහා පිළිගත් ක්‍රියා පටිපාටියක් ඇතිකළ යුතුයි. එසේම මේවායේ ඉගැන්වීමට සුදුසුකම් ලත් පිරිසක යෙදවීම මගින් ගුණාත්මක භාවය වැඩි කරගත හැකියි. කොහොමත් පෞද්ගලික අංශය මී කඩන්නේ අත ලෙවකන්න නොවෙයිනේ. ඒ නිසා කොතරම් මුදල් හදල් ඇති බලපුළුවන් කාරයෙක් වුනත් අදක්‍ෂයෙක් නම් ඔවුන්ගේ ආයතන වලට සිසුවෙක් හෝ සේවකයෙක් ලෙස  බඳවාගන්න අවකාශයක් නැහැ. මක් නිසාද යත්, එම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ කීර්තිනාමය තිබුණොත් පමණයි ඉදිරියට යා හැක්කේ . විශ්ව විද්‍යලයක තත්ත්‍වය මනින්නේ එයින් පිටතට පැමිණෙන සිසුන්ගේ ගුණාත්මක භාවයෙන්, ගුරුවරුන්ගේ සුදුසුකම් සහ කීර්තියෙන්, පළකරන පර්යේෂණාත්මක ලිපි (research papers) වල ගුණාත්මක භාවය වැනි කරුණු පදනම් කරගෙනයි.

පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ක්‍ෂණිකව ඇතිකළ හැක්කක් නොවෙයි. වසර 10ක් වත් ක්‍රම ක්‍රමයෙන් එහි කීර්ති නාමය ගොඩ නඟා ගතයුතු ආයතනයක්.  එනිසා මේ කර්තව්‍යය තවත් අවුරුදු 10 ක් වත් ඉදිරිය බලා දැන්ම පටන් ගතයුතු දෙයක්. එහෙත් ඒ වෙනුවට දැනට පවතින පෞද්ගලික ආයතන වැඩිදියුණු කිරීමට පහසුකම් සැලසුවොත්  එය ඊට වඩා ඉක්මන් වේවි.

ඉතින් මම කියන්නෙ නම් තේ කෝප්පෙ කිඹුල්ලු දකින්නෙ නැතිව මේ අනාගත ආයෝජනය දැන්ම කළොත් අපේ ඉදිරිය හොඳ වේවි.  ලංකාවෙ තවම රසායන විද්‍යා ආචාර්ය උපාධිධරයෙකුට තමන්ගෙ විෂයපථයට අනුව රැකියාවක් කළ හැකි පෞද්ගලික ආයතනයක් නැහැ. ලංකාවෙ ඇත්ත තත්ත්‍වය මෙයයි. මා දන්න බොහෝ දෙනෙක් නැවත ලංකාවේ පදිංචියට පැමිණෙන්න සූදානම් නමුත් ඔවුනට සරිලන රැකියාවක් නොමැති නිසා එය අතහැරදමා තිබෙනවා..

පෞද්ගලික විශ්ව විද්‍යාල යනු අනාගතය වෙනුවෙන් කරන මහා ආයෝජනයක්. මම හිතන්නේ එහෙමයි….

5 thoughts on “Private Universities in Sri Lanka,….A Crime or an Investment ? | ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අකැප ද ?

  1. ඔබේ අදහස් බොහොමයකට මා එකඟයි.

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් පමණක් ලබාදීමට මම එකඟ නෑ. ස්ව භාෂාවෙන් ඉගෙනගන්න පහසුකම් ඇති කරනවා මිස ආශ්‍රිත ග්‍රන්ථ ඉංග්‍රීසියෙන් ඇතැයි කියා ඉංග්‍රීසියෙන් පමණක් ඉගැන්වීම සුදුසු නෑ. විද්‍යා පාඨමාලා පවා සිංහලෙන් ඉගැන්විය හැකිනම් හොඳයි. (ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න කැමති නම් ඒ පසහුකමද දිය යුතුයි.) එහෙත් සිසුන්ට ඉංග්‍රීසි දැනුමද නොඅඩුව ලබා දිය යුතුයි නවීන දැනුම ලබාගැනීමට.

    විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමේදී තරඟ විභාගයකට මුහුණදීමට නැත්නම් වඩාත් හොඳයි. තරඟ විභාගයක් සිසුන්ගේ හැකියාවන් මැනීමට යොදාගත හැකි හොඳම විදිය නෙවෙයි. තරඟ විභාලග අවශ්‍යමනම් ඇයි පිටරට විභාග කරන්න කියන්නේ?

    අමතක නොකළ යුතු තවත් කරුණක් තමා විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයයෙන් කළ යුත්තේ උපාධිධාරියෙක් රැකියාවකට සූදානම් කිරීම පමණක් නොවන වග. විශ්ව විද්‍යාලයක් කියන්නේ තාක්ෂණික පාසලක් නෙවෙයි. දැනුම උපදවන තැනක්. උපාධිධාරීනුටත් නවීන ලෝකයේ දැනුම උකහාගනිමින් දැනුම් නිර්මාණයට හැකියාව තිබිය යුතුයි. වෙනත් විදියටක කිව්වොත් නිර්මාණශීලී වියු යුතුයි.

    පෞද්ගලික ආයතන දේශීය උපාධීධාරීන් වෙනුවට විදේශීය උපාධිධාරීන් තෝරාගන්නේ ඔවුන්ගේ විෂය දැනුම, නිපුණතාවය, ඉංග්‍රීසි හෝ පරිගණක දැනුම වැඩි නිසා නොව ආකල්පමය ලෙසින් ඉදිරියෙන් සිටින නිසා බව (පෞද්ගලික ආයතනයක සේවය කිරීමේ) අත්දැකීමෙන් මම දන්නවා. (දේශීය වි.වි. වල සිසුන්ගේ හැකියාවන් දන්නා නිසා ඔවුන් කෙරෙහි විශ්වාසය තබන ව්‍යවසායකයන්ද ඉන්නවා.) දේශීය විශ්ව විද්‍යාලවල විෂයමාලා, පාඨමාලාව පවත්වන භාෂාව ආදිය වෙනස් කිරීමට ප්‍රථම කළ යුතුතේ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි.

  2. නදී,
    මම ඔබගේ සමහර අදහස් වලට එකඟයි. නමුත් විද්‍යා පාඨමාලා සිංහලෙන් කිරීම වැනිදේ ප්‍රායෝගිකව ගැලපෙන්නේ නැහැ නේද ? ආචාර්ය උපාධිය වැනි වැඩිදුර අධ්‍යාපනය කරන්න බලාපොරොත්තු වන සිසුන්ට ඒක බාධාවක්. අනෙක් කාරණය තමයි පර්යේෂණ ආශ්‍රිත කරුණු (research papers- journals) සියල්ලම පාහේ ලියැවිලා තියෙන්නේ ඒ වගේ ම පර්යේෂණ ප්‍රසිද්ධ කළ යුත්තේ ඉංග්‍රිසි භාෂාවෙන්. මම දැකලා තියෙනවා ලංකාවේ වෛද්‍යවරු, වෛද්‍ය ශීෂ්‍යයෝ කොතරම් ඉංග්‍රීසි භාෂාව මරනවද කියලා. සමහරුන්ට සුළු වචනයක් වත් වරද්දන්නේ නැතිව ලියාගන්න බැහැ. එහෙම කරගන්න බැරි අය කොහොමද ඔවුන් තමන්ගේ අදහස් සොයාගැනීම ලෝකයට සන්නිවේදනය කරන්නේ ? ඔවුන්ට උසස් අධ්‍යාපනය ඉංග්‍රිසියෙන් ලබා දුන්නොත් ඒවා පරිහරණය කරලා ඔවුන් ඉගෙන ගනීවි. ඉංග්‍රීසි ඉගැන්වීමයි, ඉංග්‍රිසියෙන් ඉගැන්වීමයි දෙකක්.
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ පමණක් නොවෙයි හැම ශිෂ්‍යයෙකුගේම නිර්මාණශීලී හැකියාව නර්තමාන තරඟකාරීත්‍වය විසින් මොට කරලා හමාරයි. එයට වර්තමාන රූපවාහිනී නාලික වලින් ද ලොකු සේවයක් කරනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඒත් මම මේ සම්බන්ධයෙන් ඔබත් එක්ක එකඟයි. විශ්ව විද්‍යාලයක් කියන්නේ දැනුව උපදවන කෙතක්. ඒත් දැන් එය නිකම්ම නිකන් අධ්‍යාපන ආයතනයක් බවට පත් වෙලා. සිසුන්ට සිතන්න බැහැ. එසේ හිතන්න උගන්වන ගුරුවරයා ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්නේ නැහැ. තවත් දෙයක් තමයි ආචාර්ය උපාධියක් ගත්ත පමණින්, විශ්ව විද්‍යාලයේ පත්වීමක් ලැබුන පමණින් යමෙක් හොඳ ගුරුවරයෙක් වෙන්නේ නැහැ. ගුරුවරයා සිසුන්ගේ මානසික මට්ටම හඳුනා නොගෙන උගන්වන විට එය ප්‍රියජනක වන්නේත් කාර්යක්‍ෂම ඉගැන්වීමක වන්නේත් නැහැ. අමෙරිකනෙු විශ්ව විද්‍යාලවල ඇති වාරාවසානයේ ගුරුවරුන් ඇගැයීමේ ක්‍රමය (teacher evaluation) වැනි ක්‍රමයක් සමස්ථ රාජ්‍ය අංශයටම හඳුන්වා දිය යුතුයි. එවිට ගුරුවරුන්ගේ දුර්වලතා හඳුනාගෙන ඔවුන් හැඩගැසිය හැකියි.

    තෙවානි කාරණය වන ආකල්පමය වෙනස වා සමහර පෞද්ගලික ආයතනවලත් දුටුවා. ලංකාවේ ඇති වෘත්තීය සමිති තම අයිතිවාසිකම් ගැන කතා කරනවා විනා තම යුතුකම් ගැන තකන්නේ නැහැ. රාජ්‍ය අංශය අකාර්යක්‍ෂම වී ඇත්තේ තමන් මොනවා කළත් තමන්ගේ රැකියාව සුරක්‍ෂිත බවත් තමන්ගේ වෘත්තීය සමිතිය තමන්ව බේරාගන්නා බව රාජ්‍ය අංශ සේවකයන් දන්නා නිසා. මේ තත්ත්‍වය වහා වෙනස් නොකළොත් මොන රජයක් ආවත් අපි එතැනමයි…

    අපි අපේ පරපුරවත් ආකල්පමය වශයෙන් යහපත් පරපුරක් පිරීමට වෙහෙසිය යුතුයි….

    ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

  3. පිළිගන්නවා, ඒත් ඒ රටවල් සියල්ල අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින රටවල්. ඒවගේම ඒ රටවල තාක්‍ෂණය යටිතල පහසුකම් “දේශපාලඥයන්ගේ සාමාන්‍ය බුද්ධිය” ලංකාවට වඩා ඉහල මට්ටමක පවතිනවා.

    ඒ රටවල අධ්‍යාපනය නොමිලේ ලබා දෙනවාද ? මම නම් දන්නේ නැහැ….

    මේ හිටියට මමත් ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ නිශ්පාදනයක්. මම විශ්ව විද්‍යාලවල සිටි මගේ මිතුරන්ට වඩා ඉදිරියෙන් හිටියා. ඒ මගේ ධනාත්මක ආකල්ප සහ මහන්සි වී වැඩ කිරීම නිසා. ඒත් මම ඒ ආකල්ප දැන් පරපුරේ දකින්නේ නැහැ.

    මම කියන්නේ සෑම දේටම තරඟයක් තිබිය යුතුයි. රජයේ විශ්ව විද්‍යාල හා තරඟයට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තිබුනොත් ඒ අයට සිදු වෙනවා තරඟයට මුහුණ දෙන්න. දැන් තියෙන්නේ තනි අශ්වයාගේ රේස් එකක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )