ගෙදර වසන නිහඬ අනතුර………..ඊයම් විෂ වීම හෙවත් සිංහලෙන් කියනවා නම් Lead Poisoning……….

නිහඬ අනතුර...... ඊයම්...

ඊයම් විෂ වීම යනු ශරීරයේ ඊයම් ‍නොහොත් Lead නම් මූලද්‍රව්‍යයේ සාන්‍ද්‍රණය අධික වීමෙන් සෑදෙන රෝගී තත්ත්‍වයකි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Plumbism, saturnium, Devon Colic, Colica Pictonium, හෝ Painter’s Colic (පින්තාරුකරුවාගේ බඩ රුදාව) නමින් හඳුන්වයි. ඊයම් ඉතා බර ලෝහයකි. ශරීරයේ ඊයම් සාන්‍ද්‍රණය වැඩි වීමෙන් බොහෝ ඉන්‍ද්‍රියයන්ට සහ ඒවායේ ක්‍රියාකාරිත්‍වයට හානි පැමිණිය හැකියි. මෙසේ හානි පැමිණිය හැක්කේ හෘදය, අස්ථී, ආහාර මාර්ගය, වකුගඩු, ස්නායු පද්ධතිය, සහ ප්‍රජනන පද්ධති ආදියටය. එහෙත් මෙය ප්‍රධාන වශයෙන්ම ස්නායු පද්ධතියට බලපාන අතර විශේෂයෙන්ම අවුරුදු 6 ට වඩා අඩු කුඩා දරුවන්ට විෂ සහිතය. එයින්  ඔවුන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය, අධ්‍යාපනික වර්ධනය සහ චර්යාත්මක වෙනස්වීම ආදියට කෙළින්ම අහිතකර ලෙස බලපායි. ඊයම් වැනි බර ලෝහ ශරීරයේ විවිධ අවයව තුල කලක් තිස්සේ එකතු වනු ලැබේ. එය වසර ගණනාවක් තුළ ඔබට නොදැනීම සිදුවිය හැක්කක්. මෙය විශේෂයෙන්ම පැරණි ගොඩනැඟිලිවල ආලේපිත තීන්ත, ජලය, පස, ආහාර, වාතය, සහ පාරිභෝගික නිෂ්පාදන හරහා කාලයක් තිස්සේ ශරීරයට එක්විය හැකිය. යම් යම් ද්‍රව්‍ය ශරීරයට අහිතකර වීමේ අවම අගයයන් ප්‍රකාශයට පත් කර තිබුනද, ඊයම් සඳහා මෙසේ අවම අගයයක් පළ වී නැත, ඉතා කුඩා ප්‍රමාණයක් වුවත් අහිතකර බවයි ඉන් හැ‍ඟේ.

ශරීර පටකවල සහ රුධිරයේ ඊයම් ප්‍රමාණය මැනීමෙන් ඊයම් විෂවීම මැනිය හැකිය. ඊයම් විෂවීම දෙආකාරයකින් සිදු විය හැකිය. ඒ සුළු ප්‍රමාණවලින් දීර්ඝ කාලීන නිරාවරණය (Chronic Exposure) හෝ ඊයම් විශාල ප්‍රමාණයකට ක්‍ෂණික නිරාවරණය සිදු වීම  (Acute Exposure) ලෙස. එසේ වුවත් මුලින් සඳහන් කළ දීර්ඝ කාලීන නිරාවරණය සුලභය. උදාහරණයක් වශයෙන් ඊයම් අඩංගු තීන්ත වර්ගයක් ආලේප කළ නිවැසියන් දීර්ඝ කාළයක් තිස්සේ මෙසේ ඊයම් වලට නිරාවරණය වනු ලැබේ. මේ නිසා ඔවුන්ගේ ශරීර තුළ ඊයම් තැන්පත් වීම සිදු වේ. කාලයක් ගත වූ පසු මෙම ලෝහ ඉතා සුළු ප්‍රමාණවලින් අප ශරීර වලින් ඉවත් විය හැකි වුවද, නිතර නිතර නිරාවරණය වූ විට රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ස්ථිර වූ ඉහල ම්ටමක පවතී. එසේ තැන්පත් වූ ලෝහ සාන්‍ද්‍රණය වැඩි වූ පසු රෝග ලක්‍ෂණ පහල වේ.

ඊයම් විෂ වූ දරුවකුගේ අස්ථි - සුදු පැහැ අධික ස්ථානවල ඊයම් තැන්පත් වී ඇත.

ඊයම් විෂවීම ප්‍රධාන වශයෙන් නිර්ණය කළ හැක්කේ රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය මැන බැලීමෙනි. එය මනිනු ලබන්නේ රුධිරය ඩෙසි ලීටරයකට ඊයම් මයික්‍රොග්‍රෑම් (μg/dL)කොපමණ තිබෙනවාද කියා ගණනය කිරීමෙනි. අමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත වලට අනුව රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම අන්තරායකාරී තත්ත්‍වයක් වේ.  අමෙරිකානු ළමා රෝග අධ්‍යයන ආයතනය සඳහන් කරන අන්දමට රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම ඊයම් විෂවීම (Lead Poisoning) ලෙස නම් කරයි. අමෙරිකාවේ පමණක් දල වශයෙන් අවුරුදු 1-5 අතර දරුවන් 250,000 – 310,000 කගේ රුධිර ඊයම් සාන්‍ද්‍රණය 10 μg/dL ට වඩා ඇති බව අමෙරිකානු රෝග නිවාරණ කේන්‍ද්‍රය සඳහන් කරයි.

ඊයම් භාවිතය සහ විෂවීම පිළිබඳ පසුබිම

ඊයම් විෂවීම ඉතාමත් ඈත අතීතයේ පවා පාරිසරික අන්තරායක් ලෙසින් හඳුන්වා දී ඇත. ලෝකයේ මුලින්ම සොයාගත් ලෝහ වර්ග අතුරින් එකක් වන්නේ ඊයම් ය. ක්‍රිස්තු පූර්ව 6500 දී පමණ ආසියාවෙන් සොයාගන්නා ලද ලෝහයක් ලෙස පොතපතේ සඳහන් වේ. එසේම රෝම අධිරාජ්‍යයේ ඉතා සුලභ ලෙස ඊයම් භාවිතා වී ඇති බවත් රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමට පවා ඊයම් විෂවීම බලපා ඇති බවත් යම් යම් වාර්තාවල සඳහන් වී ඇත. ‍එසේ මුත් එම කරුණ හරියටම සනාථ කිරීමට ප්‍රමාණවත් සාධක හමුවී නැත.

ඊයම් විෂවීම පිළිබඳ ජුලියස් සීසර් අධිරාජ්‍යයාගේ ඉංජිනේරුවා පවා සටහන් තබා ඇති බව වාර්තා වේ. ඊයම් ජලනල වලින් සපයන ජලයට වඩා මැටියෙන් තැනූ ජලනල වලින් සපයන ජලය ගුණදායක බව ඔහු සඳහන් කර තිබේ. ඊයම් වලින් සෑදෙන්නේ යැයි අනුමාන කරන Gout නම් ‍රෝගය රෝමයේ බහුලව ව්‍යාප්තව තිබීම මේ වාර්තා තවදුරටත් සනාථ කරන සාධක වේ.

17 වන සියවසේ එබර්හාර්ඩ් ගොකෙල් (Eberhard Gockel) නම් ජර්මන් වෛද්‍යවරයා විසින් ඊයම් මිශ්‍රිත වයින් පානයෙන් අසාමාන්‍ය බඩ රිදීමක් සෑදෙන බව සොයාගන්නා ලදී. වයින් පානය කළ පූජකයන්ට වඩා පානය නොකළ පූජකයන් මනා සෞඛ්‍ය තත්ත්‍වයෙන් පසුවන බවත් වයින් පදම් කිරීම සඳහා ඊයම් සංයෝගයක් වන ලෙඩ් ඇසිටේට් පාවිච්චි කරන බව ඔහු සොයාගැනීමෙන් අනතුරුව එහි ආදිපාදවරයා විසින් වයින් පදම් කිරීම සඳහා එම සංයෝග භාවිතය තහනම් කළ බවත් වාර්තාවල සඳහන්. එහෙත් 18 සහ 19 වන ශතවර්ෂ වලදී වයින් රසකාරකයක් ලෙස නීතිවිරෝධීව ඊයම් එකතු කිරීම සිදුවී තිබේ. ඉතා දැඩි වයින් පානය කරන්නෙක් වූ සංගීතඥ බීතෝවන්, රුධිර ඊයම් සාන්‍ද්‍රණය වැඩි වීමෙන් පීඩා විඳි බව සඳහන්. පසු කළෙක ඔහුගේ හිසකෙස් යොදාගෙන කළ පරීක්‍ෂණයකින් මේ බව තවත් සනාථ වී ඇත.

කාර්මික විප්ලවයට පසු වැඩබිම් ආශ්‍රිත ඊයම් විෂවීම ඉතා සුලභ කාරණයක් බවට පත් වී ඇත. 19 වන සියවසේ ගෘහ අලංකරණය සඳහා තීන්ත භාවිතය කිරීමට පටන් ගැනීමත් සමඟ කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීම වැඩි වශයෙන් දක්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් වූයේ 1897 දී ඔස්ට්‍රියාවෙන් වාර්තා වුනු කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීමයි. ඒ නිසාම 1909 දී ප්‍රංශය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව ඊයම් යෙදූ සුදු තීන්ත නිෂ්පාදනය තහනම් කරනු ලැබීය. 20 වන සියවසේ වූ කාර්මීකරණයත් සමඟ සිදුවූ අධික ලෝහ භාවිතය නිසා ඊයම් වලට නිරාවරණය වීම ඒ හා සමඟ වැඩි විය. 1920 දශකයේදී ඇරඹි ඉන්ධන වලට ඊයම් මුසුකිරීමත් සමඟ වැඩි වශයෙන් වාතයට සහ ජලයට ඊයම් මුසු වීමට පටන් ගැණුනි. කෙසේ නමුත් මේ පිළිබඳ දැනුවත් වීම සහ ඒ සම්බන්ධයෙන්  මනා ලෙස ආරක්‍ෂණ ක්‍රියාමාර්ග ගැනීම නිසා ඊයම් විෂවීම අවම තත්ත්‍වයේ පවත්වා ගැනීමට දියුණු රටවල් ක්‍රියාකර තිබේ. එසේ වී මුත් තුන්වන ලෝකයේ රටවල් තවමත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන බවක් පෙන්නුම් කර නොමැත.

ඊයම් ශරීරගත වියහැකි ආකාර

ඔබ නොදන්නා මුත් ඊයම් පරිසර දූෂකයකි. පරිසරයට ඊයම් එකතුවන්නේ කාර්මික නිෂ්පාදන වලින් (බැටරි නිෂ්පාදනය), රථවාහන ඉන්ධන, ඊයම් කම්බි/වයර්, ආලේපන තීන්ත ආදියෙනි. එනිසාම ඊයම් අඩංගු සංයෝග පරිසරයේ සෑමතැනකම වාගේ දැකිය හැක. පරිසරයට ඊයම් එකතුවන මාර්ග අවම කරගැනීමෙන් ‍මෙම අනතුර පහසුවෙන් වලක්වා ගත හැක.

එය ශරීරගත වියහැකි ආකාර කිහිපයකි.

1. ඊයම් වලට නිරාවරණය වන ආකාරයේ රැකියාවක නියුක්ත වීම

වැඩිහිටියන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන ක්‍රමය වන්නේ ඒ ආශ්‍රිත රැකියාවක නියුක්ත වීමෙනි. මෙම රැකියා වනුයේ බොහෝ විට මෙම දෑ තනන කර්මාන්තශාලා වල රැකියාවල නියුක්තවන්නන් වේ. විකිරණ වලින් ආරක්‍ෂාවීමේ ඊයම් ලෝහ ආවරණ, ජීව උණ්ඩ, සමහර ශල්‍ය උපකරණ, විවිධ විදුලි උපකරණ, විදුලි පරිපථ, ජෙට් ඇන්ජින්, සෙරැමික් ඔපදමන ග්ලේස් යනාදිය නිපදවන පිරිස, රථවාහන හසුරවන නිලධාරීන් මෙම අන්තරායට කෙළින්ම මුහුණදෙන අය වේ. තවද, ඊයම් පතල් කම්කරුවන්, ඊයම් ලෝකුරුවන්, ජලනල සවිකරන්නන්, වීදුරු නිපදවන්නන්, ගොඩනැඟිලි තනන්නන්, බැටරි ආශ්‍රිත රැකියා කරන අය, සහ ප්ලාසිටික් භාණ්ඩ නිපදවන්නන් ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති රැකියා කරන පිරිසට අයත් වේ. මීට අමතරව, පෑස්සුම්කරුවන්, රබර් භාණ්ඩ, තීන්ත වර්ග නිෂ්පාදකයන්, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, ආදී වෘත්තීන් වල නියැලෙන්නන් ද මෙම අන්තරායකාරී පිරිසට අයත්ය. එසේම එම වැඩිහිටි පිරිස නිවෙස්වලට පැමිණෙන විට ඇඳුම්වල ද මෙම ඊයම් අඩංගු සංයෝග, දුහුවිලි ආදිය තැවරීම නිසා දරුවන් ද ඊයම් වලට නිරාවරණය වීමේ අවස්ථා වැඩි වේ.

2. තීන්ත

ගෘහාලේපිත තීන්ත වර්ග සහ ක්‍රීඩාභාණ්ඩ වර්ණ ගන්වන තීන්ත කුඩා දරුවන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන හේතු සාධකය වේ. තද පැහැති සහ දීප්තිමත් තීන්ත වර්ගවල මෙම ඊයම් සාන්‍ද්‍රණය වැඩිපුර පැවතිය හැකිය. ආලේපනයෙන් පසු කල්ගතවන විට මෙම තීන්ත ඉතා භයානක ලෙස ඊයම් පරිසරයට මුදාහැරිය හැකි වේ.  මෙසේ කල්ගතවන තීන්ත දිගුකාලීන ලෙස සුළු වශයෙන් හෝ විශාල ප්‍රමාණයක් එක්වර ඊයම් පරිසරයට හෝ දුහුවිලි ලෙස පසට මුදා හැරීම සිදු වේ. බොහෝ කුඩා දරුවන් නොයෙක් නොයෙක් දෑ මුවට දමා ගනිති. මෙසේ දමා ගන්නා දේ අතර ඇති බිත්තියකින් ගැලවුන කුඩා තීන්ත පතුරක සමහර විට මිලිග්‍රෑම් සියයක් පමණ ඊයම් පැවතිය හැකිය. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රමයෙන් කුඩා දරුවන්ට ඊයම් ශරීරගත වීම දුහුවිල්ලෙන් ශරීරගතවීමට වඩා වැඩිය.

ළදරුවෝ හැම දේම හැපීමට දක්‍ෂයන්ය....

3. පසෙන්

රථවාහන ඉන්ධන වලින් සහ තීන්ත වලින් නිකුත්වන ඊයම් අංශූන් පසේ තැන්පත් වී වසර ගණනක් පැවතිය හැකිය. මෙසේ ඊයම් වලින් දූෂිත පස් මහාමාර්ග අවට සහ ජනාකීර්ණ පෙදෙස්වල ඊයම් තර්ජනය ඇති කරන ප්‍රධාන හේතුකාරකයක් වේ.

4. ජලයෙන්

ඊයම් ජලනල, පිත්තල ජලනල, ඊයම් වලින් පෑස්සූ තඹ ජලනල සහ උපාංග මෙසේ ඊයම් ජලයට මුසු කරන ප්‍රධාන මාර්ග වේ. එසේම පසේ ඇති ඊයම් ජලයට මුසු වීමෙන් පානීය ජලය දූෂණය වීම ද සිදුවේ. ජලය පිරිපහදුවට යොදන ක්ලෝරීන් අඩංගු සංයෝග ලෝහ ජලනල විඛාදනය කරන බැවින් ඊයම් පානීය ජලයට මුසු වීම වර්ධනය කරයි. එහෙත් වර්තමානයේ පීවීසී ජලනල භාවිතා කරන හෙයින් මෙම අන්තරාව අවම කරගැනීමට සමත් වී ඇත.

5. ඊයම් අඩංගු නිෂ්පාදන භාවිතයෙන්.

විවිධ රූපලාවන ආලේපන, ඩයි වර්ග, විවිධ පෙරදිග බෙහෙත් වර්ග ඊයම් සාන්‍ද්‍රණය ඉහල පාරිභෝගික නිෂ්පාදන වේ. මීට අමතරව ඊයම් වලින් දූෂිත වූ ආහාර පරිභෝජනය ඊයම් විෂවීම සිදු කළ හැකි එක් ප්‍රධාන හේතුවකි. ආහාර දාමයේ ඉහල පුරුක්වල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් මෙසේ ඊයම්, ආසනික්, රසදිය වැනි බරලෝහ ශරීරයේ එකතු වීමට ඇති අවස්ථා වැඩි වේ. විශේෂයෙන්ම ගර්භණී මව්වරු මාංශභක්‍ෂක මාළුන් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු වන්නේ මෙම හේතුව නිසාය. මා කළින් සඳහන් කළ ආකාරයට, ඉතා විශාල බර ලෝහ ප්‍රමාණයක් ආහාර දාමයේ ඉහල පුරුක්වල එකතු වේ. අපේ ශරීර වල පවා ඒවා එකතු වනවා මිස බැහැර කෙරෙන්නේ නැත. තවමත් සමහර රටවල ටින් කෑම නිෂ්පාදනය කිරීමේ දී ටින් පෑස්සීමට ඊයම් අඩංගු පෑස්සුම් ද්‍රව්‍ය යොදා ගනී. මෙසේ ටින් කෑම වලටත් ඊයම් එකතු විය හැක. එමෙන්ම ඊයම් උණ්ඩ යොදා දඩයම් කළ සතුන්ගේ ශරීර තුළ ඊයම් අංශු තැන්පත් වී තිබිය හැක.

රෝග ලක්‍ෂණ

මූලික අවස්ථාවේ ඊයම් විෂවීම රුධිර පරීක්‍ෂාවකින් තොරව නිර්ණය කිරීම අපහසු වේ. සාමාන්‍යයෙන් නිරෝගී ලෙස ජීවත්වන පුද්ගලයන්ගේ ශරීර තුළ පවා ඉතා ඉහල සාන්‍ද්‍රණ වලින් ඊයම් පැවතිය හැකිය. රෝග ලක්‍ෂණ පහල වන්නේ ඉතා අන්තරායකාරී ලෙස ඊයම් සාන්‍ද්‍රණය ඉහල ගිය පසුය. මෙය ශරීරයේ සෑම කොටසකටම පාහේ බල පෑ හැකි නමුදු, ප්‍රධාන වශයෙන් ඉලක්ක කරනුයේ රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කරන රතු රුධිරාණු වල අඩංගු හිමෝග්ලෝබීන් නම් ප්‍රෝටීනයයි. ඉන් පසුව එය ස්නායු පද්ධතිය ආක්‍රමණය කරයි.

‍ඊයම් විෂවීම මඟින් කුඩා දරුවන් තුල පහත සඳහන් ‍රෝග ලක්‍ෂණ පහලවිය හැකිය. කුඩා දරුවන්ට රුධිරයේ ඊයම් ප්‍රමාණය 10 μg/dL ට වඩා අඩු අගයක තිබුණද රෝග ලක්‍ෂණ පහල විය හැක.

  • කේන්ති යාම අධික වීම

  • කෑම අරුචිය

  • බර අඩුවීම

  • තෙහෙට්ටුව

  • බඩේ රුදාව

  • වමනය

  • මලබද්ධය

  • අසාමාන්‍ය සුදුමැලිවීම හෝ රක්තහීනතාවය

  • හිසරදය

තවද පහත සඳහන් රෝග ලක්‍ෂණ ද ඇතැම්විට පහලවිය හැකිය.

  • වකුගඩු අකර්මණ්‍යතාව

  • ශ්‍රවණ දුර්වලතාවන්

  • චර්යාත්මක වෙනස්වීම්

  • ඉගෙනීමේ දී අළුත් දෑ ග්‍රහණය කරගැනීමේ දුබලතා

  • නිදිමත ගතිය/ කම්මැලි බව

  • වර්ධනය අඩුවීම

ගර්භණී මවක් අධික ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වුවහොත් කුසතුළ සිටින කළලයේ වර්ධනය අඩුවීම, ගබ්සාවීම්, හෝ කල් අසම්පූර්ණ දරු උපත් (Premature child births) ඇතිවිය හැක. උපදින දරුවාද අඩු වර්ධනයක් පෙන්වීම හෝ ඉගෙනීමට දුර්වල විය හැක.

වැඩිහිටියන් ඊයම් නිරාවරණයට තරමක ප්‍රතිරෝධයක් පෙන්වුවද අධිකව නිරාවරණය වූ අවස්ථාවක පහත දැක්වෙන රෝග ලක්‍ෂණ මතු විය හැක. මෙම රෝග ලක්‍ෂණ පහල වීම රුධිරයේ ඊයම් 40 μg/dL ට වඩා  වැඩියෙන් ඇති විට සිදු වියහැකි වුවත් රුධිරයේ ඊයම් 50-60 μg/dL ට වඩා ඇති විට ප්‍රබලව පෙන්නුම් කරයි.

  • ඇඟ රිදුම, හිරිවැටීම

  • මාංශපේෂි දුබලතා

  • හිසරදය

  • බඩ රුදාව

  • අමතකවීම

  • මානසික ආතතිය හා ඉක්මනින් කේන්ති යාම

  • ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීම සහ/හෝ විකෘති ශුක්‍රාණු නිපදවීම

  • ගබ්සාවීම් හෝ කල් අසම්පූර්ණ දරු උපත්

  • තෙහෙට්ටුව

ඊයම් විෂවීම වැලැක්වීම

බොහෝ අවස්ථාවල ඊයම් විෂවීම වැලැක්වීම සිදුකළ හැකිය.  එය සිදු කළ යුත්තේ ඊයම්වලට නිරාවරණය වීම වැලැක්වීමෙනි. මෙන්ම ඒ ක්‍රියාකාරකම් බොහෝදුරට නිරාවරණයට භාජනය වන කණ්ඩායම හෝ පුද්ගලයා අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් නිවසක ඊයම් නිරාවරණය වැලැක්වීම කළ හැක්කේ ඊයම් බඳුන්, උපකරණ භාවිතා නොකිරීමෙන්, නිවස හොඳින් පිරිසිදුව තබා ගැණීමෙන් සහ ඊයම් මිශ්‍ර තීන්ත වර්ග භාවිතය වැලැක්වීමෙන්; තවද නිවසේ ජලනල පද්ධතිය ලෝහ නල භාවිතයෙන් ඉවත් කිරීම වැනි ක්‍රියාවලින් ජලය මඟින් සිදුවන ඊයම් නිරාවරණය වලක්වාගත හැක. රථ වාහන පාලනය කරන නිලධාරීන් ඊයම් වලට නිරාවරණය වැලැක්විය හැක්කේ දුම ආඝ්‍රාණය කිරීම වැලැක්වීමට ආරක්‍ෂාකාරී මුව ආවරණ පැළඳීම වැනි දේ මඟිනි.

ඊයම් නිරාවරණය වීමක් සිදුව ඇති යැයි හැ‍ඟේනම් එය පරික්‍ෂා කරවා ගැනීම සිදු කළ යුතුය.  මේ සඳහා සරළ රුධිර පරීක්‍ෂාවක් කළ හැකිය. එසේම නිවස තුළ ඊයම් නිරාවරණය වීමේ අනතුරක් ඇත්ද යන්න පරීක්‍ෂාව සඳහා කුඩා පරික්‍ෂණ කට්ටල වෙළඳපොලෙන් පවා මිලදී ගත හැකිය. (ශ්‍රී ලංකාවේ මෙම උපකරණ කට්ටල විකිණීමට ඇත්දැයි මම නොදනිමි)

ඊයම් වලට නිරාවරණය වැලැක්වීම ජාතික මට්ටමෙන් සහ නාගරික මට්ටමින් සිදුකිරීම රජයේ වගකීමකි. විශේෂයෙන් තීන්ත වර්ගවලට ප්‍රමිතීන් පැනවීම සහ ක්‍රියාකිරීම, ඉන්ධන වර්ගවල ඊයම් ප්‍රමාණය පාලනය වැනි ජාතික මට්ටමේ කර්තව්‍යයන් රජයට හැර අන් කිසි ආයතනයක් යටතට අයත් නොවන විෂය කාරණා වේ. එසේම නාගරික මට්ටමින් පරිසරයේ ඊයම් ප්‍රමාණය පිළිගත් කාල පරාසයන් තුළ මැන බැලීම සහ ඒවාට නිසි පිළියම් යෙදීම අදාල නාගරික අධිකාරිය යටතට අයත් වේ.

ඊයම් විෂවීමට ප්‍රතිකාර

සාමාන්‍ය ප්‍රතිකාර වනුයේ ඊයම් විෂවීමට බඳුන් වූ පුද්ගලයා නැවත නැවතත් නිරාවරණය වීම වැලැක්වීමට ක්‍රියා කිරීම සහ රුධිරයෙන් ඊයම් ඉවත් කිරීමයි. මේ සඳහා කීලේෂන් තෙරපි (නඛර චිකිත්සාව / Chelation therapy) නම් වූ ප්‍රතිකාරය කරනු ලබයි. එහිදී සිදු කරන්නේ ඊයම් සමඟ ප්‍රබල ස්ථායී සංයෝගයක් තනන ශරීරයට හිතකර රසායන ද්‍රව්‍යයක් වන EDTA (එතිලීන් ඩයි ඇමීන් ටෙට්‍රාඇසිටික් ඇසිඩ්) නම් රසායනිකයේ සෝඩියම්-කැල්සියම් සංයෝගයක් (CaNa2EDTA) ‍රෝගියාට එන්නතක් මඟින් ලබා දීමයි. EDTA ශරීරයේ ඇති ඊයම් පරමාණු සමඟ ශරීරයට අහිතකර නොවන ස්ථායී සංයෝගයක් තනන අතර මෙම සංයෝගය මුත්‍රා සමඟ ශරීරයෙන් පහව යයි.

ලෙඩ්-එතිලීන් ඩයිඇමීන් ටෙට්‍රාඇසිටික් ඇසිඩ් සංයෝගය

මෙසේ එන්නත් කරන තවත් සංයෝගයක් වන්නේ “ඩයිමර් කැප්‍රෝල්” නම් සල්ෆර් අඩංගු සංයෝගයකි. මෙයද ඊයම් පරමාණු සමඟ ප්‍රබලව බද්ධ වී ශරීරයෙන් පහව යයි. මීට අමතරව “සක්සිමර්” සහ “ඩී-පෙනිසිලැමීන්” මුඛ මාර්ගයෙන් ලබා දෙන තවත් සංයෝග දෙකකි. කෙසේ වෙතත් මෙම කීලේෂන් ප්‍රතිකාරය ලබාදෙන්නේ විශේෂයෙන්ම හදිසියේ දැඩි ලෙස ඊයම් වලට නිරාවරණය වූ (Acute Lead Exposure) පුද්ගලයන්ටය. එසේම ඔවුන්ගේ රුධිර ඊයම් සාන්‍ද්‍රණය 25 μg/dL ට වඩා  වැඩියෙන් තිබිය යුතු වේ.

දිගු කලක් සුළු සාන්‍ද්‍රණ වලින් ඊයම් වලට නිරාවරණය වූ පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ලබා දෙන්නේ නැත. මක් නිසාද යත් ප්‍රතිකාරය නිමවූ පසු නැවත රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ඉහල යාමක් සිදුවන නිසාය.

එය සිදු වන්නේ අස්ථි තුළ තැන්පත් වී ඇති ඊයම් නැවත රුධිරයට පැමිණීමෙනි. මේ නිසා දිගු කලක් සුළු සාන්‍ද්‍රණ වලින් ඊයම් වලට නිරාවරණය වූ  (Chronic Exposure) පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ඉතා දිගු කලක් කළ යුතුය. නමුත් කීලේෂන් ප්‍රතිකාරය නිසා ශරීරයට අවශ්‍ය අනෙක් ලෝහ වර්ගවල ද අඩු වීමක් විය හැකිය. මීට අමතරව දිගුකාලීන කීලේෂන් ප්‍රතිකාර නිසා ආහාර මාර්ගය හරහා ශරීරයට ඊයම් අවශෝෂණය වීම වැඩි විය හැකිය. මේ කරුණු නිසා දිගුකාලීනව කීලේෂන් ප්‍රතිකාරය භාවිතා කරන්නේ නැත.

වගුව : රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ඉහල තත්ත්‍වයක ඇති දරුවන් කළමණාකරණය පිළිබඳ අමෙරිකානු ‍රෝග නිවාරණ කේන්‍ද්‍රය ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙල

රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය (μg/dL)

ප්‍රතිකාරය

10 – 14

දැනුවත් කිරීම, නැවතත් පරීක්‍ෂාකිරීම

15 – 19

නැවතත් පරීක්‍ෂාකිරීම, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

20 – 44

වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

45 – 69

වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

>69

වහා රෝහල්ගත කිරීම, ක්‍ෂණික කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

ශ්‍රී ලංකාවේ තත්ත්‍වය

පසුගිය දා ද නේෂන් පුවත්පතේ පළ වූ වාර්තාවක කියා තිබුණේ පාරිසරික නීති කේන්‍ද්‍රයේ (Center for Environmental Justice) ප්‍රධානී හේමන්ත විතානගේ මහතා කළ ප්‍රකාශයකට අනුව ලංකාවේ භාවිතාවන බොහොමයක් තීන්ත වර්ගවල ඊයම් සාන්‍ද්‍රණය පිළිබඳ කිසිදු ප්‍රමිතියක් නීතියක් පනවා නොමැති බවයි. ඒ මහතාට අනුව හිටපු පාරිසරික අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පවා දන්වා යැවූ මුත් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැත.

එයටත් වඩා භයානක කරුණ වන්නේ මේ පිළිබඳ කිසිදු නීතියක් සම්මතයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමය. තීන්ත සමාගම් වල මව් සමාගම් අදාල රටෙහි ප්‍රමිති තත්ත්‍වයනට අනුව තීන්ත නිපදවන නමුත් මෙරට නිපදවන  තීන්තවල එම ප්‍රමිතීන් නොමැති බව විතානගේ මහතා පවසා ඇත. මේ බව සනාථ වී ඇත්තේ අප රටේ නිපදවන තීන්තවල ඊයම් සාන්‍ද්‍රණය පිටරටකදී මැන බැලීමෙන් පසුවය.

මේ පිළිබඳව ජාතික ප්‍රමිති කාර්යාංශයේ සභාපති ආචාර්ය ඒ.ආර්.එල්. විජේසේකර මහතාගෙන් නේෂන් පුවත්පතේ වාර්තාකරු විමසූවිට ඔහු උපහාසාත්මකව පවසා තිබුණේ “ඔබ කුමක් කරන්නද ?” කියායි. එවිට වාර්තාකරු “මට කරන්නට කිසිවක් නැත” යි පැවසූ විට විජේසේකර මහතා පවසා ඇත්තේ එය මෝඩ ප්‍රශ්නයක් බවයි. එවන් උසස් නිලධාරියෙකු මෙවන් බැරෑරුම් කරුණක් එසේ සැහැල්ලුවෙන් ඉවතලන විට අපේ රටේ ප්‍රමිතීන්ට යන කල දසාව ඔබටම සිතාගත හැක.

අප රටේ බොහොමයක් කරුණු කාරණා සිද්ධවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තැබීමේ සම්ප්‍රදාය අනුවය. පසුගියදා කොළඹ ප්‍රදේශය ජලයෙන් යට වූ විට සියළු අනවසර ගොඩකිරීම් ඉවත් කරන්නට ජනපති නියෝගයක් ලැබෙන තෙක් අපේ නිලධාරීන් වසර දහයක් පමණ සිටියේ තද නින්දේය. ඔවුහු දේශපාලන වාසි හෝ රැකියාවේ සුරක්‍ෂිතභාවය තකා වැල යන අතට මැස්ස ගසාගෙන ඇස් කණ් පියා සිටිති. මා සිතන අන්දමට අප ‍රටේ ඉන්ධන වලට තවමත් ඊයම් යම් ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. මේ නිසා අප කෙතරම් ආරක්‍ෂා වුවත්, මඟ තොට යන එන විට ඊයම් මුසු දුමාරයට නිරාවරණය වීම වලකන්න අපහසුය. ඒ සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතුය. නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක එවැනි දෑ සිදුකිරීම තරමක් අපහසුය. රථවාහන හසුරවන නිලධාරීන්, ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ජීවත් වන හෝ රැකියා කරන උදවිය මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ගර්භණී මව්වරුන් රුධිරගත ඊයම් සාන්‍ද්‍රණය සඳහා පරීක්‍ෂා කළ යුතුය. එපමණක් නොව සේවක ආරක්‍ෂණ පනතද ඊයම් ආශ්‍රිත රැකියා කරන සේවකයන් ඊයම් වලට නිරාවරණය උපරිම සීමාවකට යටත්කර සංශෝධනය කළ යුතු ‍වේ. අප රටේ බොහොමයක් තීන්ත සමාගම් සිය සේවකයන් ඊයම් විෂවීම සඳහා රුධිර පරීක්‍ෂා කරනවා දැයි සැක සහිතය. ‍මම අවසන් වරට ශ්‍රී ලංකාවේ සිටි 1999 වසරේ එක්තරා ප්‍රසිද්ධ තීන්ත නිෂ්පාදන සමාගමක කණිෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස කෙටි කලක්  සේවය කළෙමි. ඒ කාළය තුළ මා දන්නා අන්දමට ඊයම් නිරාවරණය පිළිබඳ කිසිදු සේවකයෙකු හෝ කිසිදු විධායක නිලධාරියෙකු මොනයම් හෝ සඳහනක් කළ බව මට මතක නොමැත.

අප රටේ දරුවන් මෙසේ ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය හැකි වී මුත් රෝග ලක්‍ෂණ පහල නොවන්නේ ඇතැම් විට අප නිවාසවල පවතින මනා වාතාශ්‍රය නිසා බව විය හැක. දියුණු රටවල බොහෝ නිවාස වල වාතාශ්‍රය පාලනය කරනු ලබන්නේ වායු සමන යන්ත්‍ර ආදිය මගිනි. එමෙන්ම බොහෝ නිවෙස්වල ජනෙල් දොරවල් වසා තිබේ. ඒ නිසා සෑම විටම නිවස සංවෘත පද්ධතියක් සේ ක්‍රියා කරයි. නමුත් ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ මනා වාතාශ්‍රයක් ඇති බැවින් මෙසේ පරිසරයට එකතු වන ඊයම් ප්‍රමාණය නිවෙස් තුළ රැඳීම අවම විය හැක. මේ නිසාම අප දරුවන් ඊයම් වලට නිරාවරණය වීම අඩුවිය හැක. එසේ වූ පමණින් මේ පිළිබඳ ක්‍රියා කිරීම නවතා දැමීම කළ නොහැක.

දැන් කළයුතුව ඇත්තේ ජාතික ප්‍රමිති කාර්යංශය, විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ඊයම්, රසදිය වැනි අන්තරායකාරී රසායන ද්‍රව්‍ය පිළිබඳ පනත් කෙටුම්පතක් සම්පාදනය කර (දැනට එසේ කර නොමැති නම්) එය නිසි පරිදි ක්‍රියාවට නැංවීමය. ගෘහ ආලේපන තීන්ත වර්ගයන්හී ඊයම් මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් මෙය කදිමට ඇරඹිය හැක. එසේම රථවාහන ඉන්ධන වර්ගවල ඊයම් ප්‍රතිශතය අවම කිරීමට (දැනටමත් එසේ කර නැත්නම්) වහා පියවර ගත යුතුය. එසේ නොවුවහොත් ආසියාවේ ආශ්චර්යය කිරීමට බලා සිටින ශ්‍රී ලංකාව ආසියාවේ රෝහල බවට පත්වීම නොවැලැක්විය හැක. මේ අප නොසලකා හරින්නේ අපේ අනාගතයයි.

මේ ලිපියේ අඩංගු වෛද්‍ය විද්‍යාත්මක වදන් පරිවර්තනය කිරීමට සහය වූ  වෛද්‍ය ජනක අමරවීර සහ වෛද්‍ය චන්න යහතුගොඩ මහත්වරුන්ට මගේ ස්තුතිය…

මේ පිළිවඳව තවත් කියවන්න

ඊයම් විෂවීම

3 thoughts on “ගෙදර වසන නිහඬ අනතුර………..ඊයම් විෂ වීම හෙවත් සිංහලෙන් කියනවා නම් Lead Poisoning……….

  1. හොදම කෑල්ල:

    ‘මේ පිළිබඳව ජාතික ප්‍රමිති කාර්යාංශයේ සභාපති ආචාර්ය ඒ.ආර්.එල්. විජේසේකර මහතාගෙන් නේෂන් පුවත්පතේ වාර්තාකරු විමසූවිට ඔහු උපහාසාත්මකව පවසා තිබුණේ “ඔබ කුමක් කරන්නද ?” කියායි. එවිට වාර්තාකරු “මට කරන්නට කිසිවක් නැත” යි පැවසූ විට විජේසේකර මහතා පවසා ඇත්තේ එය මෝඩ ප්‍රශ්නයක් බවයි.”

    මේ තමා අපේ ප්‍රමිති – ලෝක විහිලු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )