බැසිල්ගේ බදු ඉන්වොයිසිය ගැන “මහ-ජනතාව” කියන දේ….

පසුගිය සතියේ මම පළකල බැසිල් රාජපක්‍ෂගේ බදු ඉන්වොයිසිය ගැන සමහරුන්ට තරහත් ගිහිල්ලා.. තවත් සමහරු මම කඩේ යනවා කියලා බැනලත් තිබුණා. ඉතිං මේ  ප්‍රශ්නය පිළිබඳ මධ්‍යස්ථ මතයක් ගොඩනැඟිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳන් මම ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගෙන් එකම ප්‍රශ්නය ඇහුවා. මම ඉතිං හුඟක් දෙනෙකුට කඩේ යන නිසා එක ටෙලිෆෝන් කෝල් එකෙන් ම ඒ අය සම්බන්ධ කරගන්න පුළුවන් වුනා…

ප්‍රශ්නය:

බැසිල් රාජපක්‍ෂ අමෙරිකා එක්සත් ජනපදයට බදු වශයෙන් ගෙවූ රුපියල් 473,000 පිළිබඳ ඔබ හිතන්නේ කුමක්ද ?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් මන්කි බූන් :

This is a gross human right violation on Tamil people in Sri Lanka,…. We should appoint a three person committee to investigate Basil’s tax payments.

සිරි ලංකා ජනපති මහින්ද රාජපක්‍ෂ :

මේක බං මහින්ද චින්තනයේ කොටසක්නේ. අපි මුලින් “තමාට පෙර රට” සංකල්පය හැඳින්වුවා. දැන් රට බේරගෙන ඉවරයි. දැන් තමා හැදෙන්න ඕන… ඔන්න ඔහේ ඕන එකෙකුට ඕන දෙයක් ලියන්න දීපං බං… ගෝඨට කියපංකෝ ලියපු එකාගෙ නම… ඒ ඇති.

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා:

I think,… this is a good thing… I personally don’t know this Basil Fellow, but folks, at this economy, any amount of money we get from a foreign country is welcome. Who’s this guy anyway ?

ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන්:

This is a big F***ing tax dollars folks,…

අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් :

I know this Basil guy. If he didn’t pay off the tax, it’s a human right violation…

ආරස්සක ලේකම් ගෝඨා:

එයා කොහෙමද එහෙම දෙයක් කරන්නේ ? ඒක අපේ ජාතික ආරස්සාවට තර්ජනයක්… මම ඕකව එල්ලලයි මරන්නේ…

යුවරජ නාමල්:

ඕක මොකක්ද සහෝදරයා, ඔය ලංකා ඊ නිවුස් එක නිව්යෝක් වලින් මට අරන් දීපු $ මිලියන හයේ කොන්ඩො එකට මම ඔයිට වඩා ටැක්ස් ගෙවනවා…. අනික ඉතිං… තාරුණ්‍යයට හෙටක් කියලා දෙයක් තියෙන්නත් එපායෑ හැමදාම තාරුණ්‍යය නැහැනේ.

විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. ඇල්පීරිස්:

මේ ඒකීය සංදර්භය තුළ බදු ගෙවීම වැනි සංකීර්ණ සමාජමය ප්‍රවණතා ඇතිවීම අප අගය කළ යුත්තක්. මෙයින් අප පෙන්නුම් කර තිබෙනවා , ඒකීය ස්වෛරී රාජ්‍යයක් වශයෙන් අපේ භෞමික අඛණ්ඩතාව මනා ලෙස ආරක්‍ෂා කරගෙන ඇමරිකානු ධනවාදී බදු ක්‍රමය පිළිබඳ මනා අවබෝධයකින් ද්වි පාර්ශ්වික සබඳතා ආරක්‍ෂා කරගෙන කටයුතු කරන බව.. මේ ඉතා හොඳ ප්‍රවණතාවයක්..

පාරිලිමේන්ත්‍ර මන්ත්‍රිනී පබාවතී මැටිමාලි:

බැසිල්ගෙ ටැක්ස් නේද ? ම් ම් ම් ම්.. (මොනවාදෝ කොළ වගයක් පෙරලන සද්දයක් ඇසේ)… ආ ඒක ව්‍යවස්ථාවට එකඟයි…. I mean… එයා බදු ගෙව්වට කමක් නෑ… ඒකට අපි එකඟයි… හි හි හි… මොකද්ද අහපු ප්‍රශ්නෙ ?

එ.ජා.ප. මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක:

මේක ඇත්තටම රටට ඉතාම වැදගත් ප්‍රශ්ණයක්. එළවලු මිල පාන් මිල හැමදේම ගණන් ගිහිල්ලා. රට අගාධයකට යන වෙලාවෙ රුපියල් ලක්‍ෂ පහක් ඇමරිකාවට ගෙවනවා කියන්නේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩන් වැටෙන්න පුළුවන් දෙයක්. අපි මේ ගැන රටේ ජනතාව දැනුවත් කරන්න ලිප්ටන් වටරවුම ඉස්සරහ නලා පිඹින උද්ඝෝෂණයක් කරනවා.

තවමත් එජාප නායක රනිල් වික්‍රමසිංහ:

මේ කාරණය ඇත්තටම ඉතා බරපතල කාරණයක්. අපි ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීමක් අපේක්‍ෂා කරනවා. ඒත්…..අපේ මුදල් මෙහෙම හරි අමෙරිකාවට යනව නම් අපි සතුටු විය යුතුයි.

ජවිපෙ ලේකම් Till-Win සිල්වා:

මේක දෙයියො බලලා කරපු දෙයක්. මේ ටැක්ස් ගෙවන්න වුනේ ජනරාල්  හිරේ දාපු එක ගැන ස්වභාව ධර්මයා කුපිත වෙලා බැසිල්ට කරපු දෙයක් නිසා. ධනපති පංතිය හැමදාම පීඩිත ජනතාව තලා පෙලාගෙන හිටපු දෙයක්. මේ ටැක්ස් ගෙවීමත් ධනපති පංතියේ වැඩක්. අපේ ආණ්ඩුවක් ආපු දාට අපි ඇමරිකාවට ගහපු ප්ලග් එක ගලවනවා.

විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා:

ඔය කළගුණ නොදත් ගුණමකු පාහර කලවැද්දා ලංකාවට ටැක්ස් ගෙවන්නෙ නැතුව ඇමරිකාවට ටැක්ස් ගෙවනවා. මගේ ග්‍රීන් කාඩ් එකත් නැති වෙලා. ඒ නිසා මට ටැක්ස් ගෙවන්න ඕන නෑ… මම මේ ගැන ඕනම යුධ අධිකරණයක සාක්කි දෙන්න සූදානම්.

එජාප මන්ත්‍රිනී ලෝක විවාහක “රෑ රැජින” ‍රෝසී සේනානායක:

මෙය සමස්ථ කාන්තා පරපුරම ලැබු Win එකක්, I mean, බැසිල් Pay කලේ එයාගෙ Tax එක විතරක් නෙවෙයිනේ. එයාගෙ Wife ගෙ tax එකත් pay කළා නේ.. So..බැසිල් එයාගෙ Wife ගෙ Tax එක pay කළ කියන්නේ ඒ ගොල්ලෝ කාන්තා පරපුරට ගරු කරනවා කියන එකනේ… Am I right ?…

මම ඉතිං බැසිල් රාජපක්‍ෂ ගෙනුත් මේ ගැන අන්තිමට ඇහැව්වා….

හෙහ් හෙහ් හෙහ්… මම හොයපු හරි ගාණ දාලා ටැක්ස් ෆෝම් එක යැව්වා නම් ලංකා ඊ නිවුස් කාරයාට කට උත්තර නැති වෙනවා… මම ගෙවන ටැක්ස් එකෙන් ඒකත් මට සල්ලි දීලා ගන්න පුළුවන්… දැන් බලන්න ස්වර්ණවාහිනිය මගේ, ලෝක වෙළඳ සංකීර්ණයෙන් බාගයක් මගේ, කුරුණෑගල තියෙන පොල්වතු වලින් 75 % ක් මගේ.. හම්බන්තොට ඉඩම් වලින් බාගෙකට වඩා මගේ.. මේ ඔයාල දන්න හරිය විතරයි… ඒ ඔක්කොම ගැන සඳහන් කරලා ටැක්ස් ගෙව්ව නම්… හෙහ් හෙහ් හෙහ්… හොඳ වෙලාවට අපේ කට්ටිය ඇමරිකාවත් අන්දලා වැඩේ දුන්නා……

ඔන්න ඔහොමයි මහ-ජනතාව ඒ ගැන කියන්නේ….

අපි ඔයාලට හිතෙන දේවල් නම් ඉතිං මෙතන දාන්න සුදුසු දේවල් නොවෙන්නත් පුළුවන්…. බලධාරියාගේ සංවර භාවයට අනුකූලව දාන්න දෙයක් තියෙනව නම් ඉතිං ලිවුවට කාරි නෑ ඕං……

Lanka E-News එකේ නා ගැනීම හෙවත් බැසිල්ගේ Tax Invoice එක……………. a.k.a. ජනමාධ්‍යයේ වල්බූරු නිදහස

ජනතාවගේ හද ගැස්ම හඳුනන Lanka E-News වෙබ් අඩවිය දන්නෙ නැති මගුලක් පළකරන්න ගිහිල්ලා මේ පාරත් අම්බානක නාගෙන. නාගෙන විතරක් නොවෙයි ලියපු එකාගෙ අම්මටත් හෙම්බිරිස්සාව හැදෙන තරමට පාඨකයාගෙන් බැණුම් අහගෙන. මේ පාර කරලා තියෙන්නේ අමෙරිකානු-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි, ජාතික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂගේ බදු සහතිකයේ පිටපතක් විශ්ලේෂණය කිරීම. මේක කරපු මෝඩයා නොදන්න දේවල් රාශියක් කියලා දෙන්නයි මේ ලිපිය ලියන්නේ. බැසිල් රාජපක්‍ෂ සල්ලි කීයක් ගහගත්තද, රටට මොනවා කරාද කියලා මට වැඩක් නැහැ, නමුත් ලංකාවෙ පත්තර කලාවෙ (හෝ මඩ පත්තර කලාව) යෙදෙන මේ වගේ උන්ට මාධ්‍යවේදියො කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ද කියන එක විතරක් මම අහන්න කැමතියි. ඒ වගේම මේ වෘෂභ රාජයා එක්ක මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්නත් මම කැමතියි.

මෙන්න ඒ බදු සහතික පිටපත්, උපුටා ගැනීම Lanka E-news.

බැසිල් රාජපක්‍ෂගේ බදු ගෙවුම් සහතිකය
ඉන්වොයිසිය

දන්නෙ නැත්නම් මෙන්න දැනගන්න

අමෙරිකානු ආදායම් බදු දෙපාර්තමේන්තුව (Internal Revenue Service- IRS) සතුව අපි සෑම කෙනෙකුගේම බදු ලිපිගොනුවක් තියෙනවා. සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව අමෙරිකාවට ඇතුළු වුන කෙනෙකුට ලැබෙන හැඳුනුම්පත් අංකය වන සමාජ ආරක්‍ෂණ අංකය හෙවත් (Social Security Number) මාර්ගයෙන් කෙනෙකුගේ සියළුම විස්තර ක්‍ෂණයකින් සොයාගත හැකි තත්ත්‍වයට අද අමෙරිකානු තාක්‍ෂණය, රාජ්‍ය අංශය, පත් වෙලා කිබෙනවා. (හරි පුදුමයි නේද ? ලංකාවෙ නම් ඒ වැඩේට අවම වශයෙන් මාස තුනක් වත් යාවි ) මේ නිසා අමෙරිකානු පුරවැසියන්ට වගේම නීත්‍යානුකූලව අමෙරිකාවට ඇතුළු වුන සෑම කෙනෙකුටම බදු ලිපිගොනුවක් තිබෙනවා.  තමන් වැඩ කරන සේවා ස්ථානයෙන් ගෙවන පඩිපතේ සිට තමන් ස්වයං රැකියාවක නිරත වෙනවා නම් ඉන් ලැබෙන ආදායම ඇතුළු සියළුම දේවල තොරතුරු මෙම IRS හි තැන්පත් වෙනවා. එසේම යම් කෙනෙකු රැකියාවක් ආරම්භ කරන විට ඔවුන් වෙනුවෙන් එම සේවා දායකයා බදු ලිපිගොනුවක් විවෘත කරනවා. ‍එහි, රජය විසින් හා/හෝ ප්‍රාන්තය විසින් මාසිකව පඩි පතෙන් කපාගත් බදු ප්‍රමාණය සටහන් වෙනවා. නව වසර ආරම්භයේ මෙම කරුණු අඩංගු W2 ෆෝරමය එම පුද්ගලයාට ලැබෙනවා. එවිට එම පුද්ගලයා එම වසරේ අප්‍රේල් 14 දින මධ්‍යම රාත්‍රියට පෙර තමන්ගේ බදු ලිපිගොනුව පුරවා IRS එකට යැවිය යුතු වෙනවා. එසේ නැතහොත් නීතියෙන් වරදකරුවෙකු බවට පත් වෙනවා. බදු වංචා සම්බන්ධ අපරාධ වලට ලැබෙන දඬුවම් ටිකක් තදයි.

මෙසේ බදු ලිපිගොනු සකස් කිරීම කිහිප ආකාරයකට සිදු කළ හැකියි. වෙළඳපොළේ විකිණීමට ඇති මෘදුකාංගයක් ආධාරයෙන් තමන් විසින්ම  සකස් කර අන්තර්ජලයෙන් යැවීම, බදු සැකසීම‍ට බලය ලත් ගණකාධිකාරී ආයතනයක් මාර්ගයෙන් යැවීම හෝ නොමිලේ  ලබා ගන්නා බදු පෝරමයක් පුරවා තැපැල් කිරීම යන විධික්‍රම වලින්. මෙයින් අන්තර්ජාලය හරහා බදු සැකසීම සහ යම් ආයතන මාර්ගයෙන් යැවීම වඩා ජනප්‍රිය ක්‍රම වන අතර මේ බදු ලිපිගොණු නියමිත පරිදි පුරවා යැවීමෙන් සමහර අයට IRS ආයතනයෙන් නැවත මුදල් ලබා ගැණිමට පවා හැකියි. උදාහරණ වශයෙන් යම් පුද්ගලයෙකුට යැපෙන්නන් කිහිප දෙනෙකු සිටී නම් ඒ පුද්ගලයාගෙන් අයකරගන්නා බදු මුදල් ප්‍රමාණය අවම වන්න පුළුවන්. මේ වැනි අවස්ථාවක ඔහුගේ පඩිපතෙන් වැඩිපුර බදු මුදල් අයකරගෙන තිබුණි නම් බදු ලිපිගොණුව සැකසීමේදී එය වාසියක් වන්නට පුළුවන්. එවිට ආණ්ඩුවෙන් ඔහුට වැඩියෙන් අයකරගත් මුදල නැවත ගෙවනු ලබනවා.  විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ලබා ගන්නා ණය මුදල්, පාසල් ගාස්තු ආදිය මෙසේ බද්දෙන් නිදහස් දේ අතරට අයත් වෙනවා. ඒ වගේම දරුවන් සිටින පවුල්, දරුවන් සමඟ මව හෝ පියා පමණක් සිටින පවුල් (Single parent families) ආදියට සුවිශේෂී බදු සහන ලැබෙනවා.එසේම අමෙරිකානු පුරවැසියන් හෝ ග්‍රීන් කාඩ්පත් හිමියන්  කොහේ සිටියත් තම ආදායම අනුව ඇමරිකානු ආණ්ඩුවට බදු ගෙවිය යුතු වෙනවා. ඒ විතරක් නොවෙයි තාවකාලික පදිංචි කරුවන් යම් වසරක ඇමරිකාවෙන් යම් ආදායමක් ලැබුවා නම් ඔහු හෝ ඇය ‍මොන රටේ හිටියත් ඊට පසු වසරේ ඒ වෙනුවෙන් බදු ලිපිගොණුව සැකසිය යුතු වෙනවා.

බැසිල් රාජපක්‍ෂගේ බදු ලිපි ගොනුව

Lanka E-News ප්‍රවෘත්තියට අනුව බැසිල් රාජපක්‍ෂ පවුල ඇ.ඩො. 4152.42 ක් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. මේ ගෙවා තිබෙන්නේ 2009 ආදායම වෙනුවෙන්. ඔහුට ඇ. ඩො. 267,851.00 ක වත්කම් අමෙරිකාවේ ඇති බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ කාරණා සැළකුව හොත් බැසිල් රාජපක්‍ෂ කියන්නේ අමෙරිකානු ප්‍රමිතීන් වලට අනුව මධ්‍යම පාන්තිකයෙක්. කැලිෆෝනියා ප්‍රාන්තයේ තත්ත්‍වයට අනුව කාමර දෙක තුනක් සහ සාලයක් පමණක් ඇති කුඩා ප්‍රමාණයේ ගෙවල් හිමියෙක්. කැලිෆෝනියාවේ තට්ටු දෙකක සාමාන්‍ය නිවසක් පවා අවම වශයෙන් ඇ.ඩො. 500,000 ක් වත් වෙනවා. මේ අනුව බැසිල් කියන්නේ අමෙරිකාවේ ජීවත් වන බොහොමයක් ලාංකිකයන්ගේ තත්ත්‍වයේ පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවෙක් වසරකට ඇ.ඩො. 100,000 කට වඩා උපයන අතර 35% ක් පමණ බද්දක්  නැවත රජයට ගෙවනවා. මා දන්නා එක්තරා මහාචාර්ය වරයෙක් සෑම වසරකම ඇ.‍ඩො. 20,000 ක් සිය පඩි පතෙන් කැපෙන 35%ට අමතරව රජයට ගෙවනවා.

මේ වාර්තාවේ ඉස්මතු කරලා තියෙන කාරණය තමයි බැසිල් ලංකාවේ මුදලින් අමෙරිකාවට බදු ගෙවනවාය යන්න. ඔහු ගෙවා ඇත්තේ රුපියල් ලක්‍ෂ 5ක් වැනි මුදලක්. ඒ මුදල අද ලංකාවෙ පෞද්ගලික අංශයේ උසස් නිලධාරියෙකුගේ මාසික වැටුපට ආසන්න මුදලක්. බැසිල් නොවෙයි ඔබාමා වුනත් නියමිත පරිදි ලෝකේ කොහේ සිටියත් බදු ගෙවිය යුතුයි. මෙය  Lanka E-News එකට අරුමයක් වුනාට සාමාන්‍යයෙන් අමෙරිකානු ක්‍රමය දන්නා අයට මහ කජ්ජක් නොවෙයි.

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදියා

ඉතිං මට මේ වාර්තාව ලියපු වෘෂභ රාජයාට කියන්න තියෙන්නේ ලියන මගුලක් හරිහැටි දැනගෙන ලියන්න කියලා. දන්නෙ නැති මගුල් වලට ගිහිල්ලා පෑන කඩා ගන්නේ නැතිව හරිහැටි හිතලා බලලා “මම ලියන දේ හරිද ? වැදගත් ද ?” කියලා හොයලා බලලා ලියන්න කියලා. Lanka E-News එකේ ප්‍රගීත් එක්නැලිගොඩටත් වෙන්න ඇත්තේ මේ සන්තෑසියම තමයි. මම නම් හිතන්නේ මිනිහා ස්වයං අතුරුදහන් වීමකට භාජනය වෙලා කියලා. මොකද කියනවා නම් මේ දවස්වල ජනමාධ්‍ය වේදියෝ කියලා කියාගන්න එවුන්ට හරි ජයයි. ආණ්ඩුවෙන් මරන්න එනවා කියලා පිටරටකට පැනගෙන සරණාගත තත්ත්‍වය ගත්තාම අවුරුදු ගාණක් යනකම් කකා බිබී ඉන්න පුළුවන්. පුරවැසිකම ගන්නත් ලේසියි. මම ළඟදි දැක්කා පත්තරේක එක මිනිහෙක් ඇමරිකාවේ සරණාගත තත්ත්‍වය ඉල්ලලා තිබුණා ඒ නපුංසකයා සමලිංගිකයෙක්ය, ලංකාවේ සමලිංගිකයන්ට අඩන්තේට්ටම් කරනවාය කියා.

ඉතිං මේ ඊනියා ජනමාධ්‍යවේදීන්ට මට කියන්න තියෙන්නේ එක දෙයයි. තමන් ලියන දේ ගණිකා වෘත්තියේ යොදවන්නේ නැතිව හරිහැටි ලියන්න කියලා….. මහ ලොකුවට ජනමාධ්‍යවේදියොන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. ඒ වුනාට  ජනමාධ්‍ය සදාචාරය (Ethics)  ගැන කතා කරන්න බල්ලෙක් වත් නෑ….  මේ වගේ එවුන්ට තලන්න ඕන මඩු වලිගෙකින්…

පහේ ශිෂ්‍යත්වය අසමත්ව, ජනප්‍රිය පාසලක් නොලැබ, ජීවිත කාලකන්නි කරගත් සගයනි…. ලිප්ටන් වටරවුමට එක්වව්…. නුඹලාගේ මානව අයිතිවාසිකම් රැකගනිව්….. !

ඔන්න බන්දුල ගුණවර්ධනගෙ මොලේ අරන් ගලේ ගහලා අපුල්ලලා ඇලේ දාලා හෝදන්න වටින වැඩක් කරන්න යනවා….Daily Mirror පත්තරේ කියන විදියට පහේ ශිෂ්‍යත්වෙ ප්‍රශ්න ළමයින්ට අමාරුයි කියලා ඒක ලේසි කරන්න යනවාලු… අනේ හොඳයි.. මෙහෙම ගියොත්, බැට් කරන්න අමාරුයි කියලා පන්දු යවන්නන්ට හෙමින් පන්දු යවන්න කියලා නීතියක් ඒවි. හොරුන්ට හොරකම් කරන්න අමාරුයි කියලා පොලීසියට සඳුදා බදාදා සිකුරාදා දවස් වල නිවාඩු ගන්න කියාවි.

එක්වව්.....

මේ වගේ මෝඩ තීරණ ගන්න තකතිරු නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නවා කියන එක පුදුම වෙන්න කාරණයක් නොවෙයි. ඒ මොකද කියනව නම් වැඩිහරියක් ඔය ඉහල පුටුවල ඉන්නේ හරිහැටි අධ්‍යාපනයක් නොලබපු ප්‍රායෝගිකව හිතන්න බැරි දේශපාලනඥයන්ගේ හෙංචයියෝ නිසා. පුදුම හිතෙන කාරණය නම් ටියුෂන් මුදලාලි කෙනෙක් වෙච්චි බන්දුල ගුණවර්ධනත් මේ වගේ මැටි කතා කියන එකයි.

බන්දුල ගුණවර්ධනගේ තර්කය වන්නේ මේ තීරණය ගත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය අමාරු නිසා දරුවන්ට නිදහසේ ළමා කාළය ගෙවලා ඒ අතරෙම ජනප්‍රිය පාසලකට තේරීමත් පහසුවෙන් කරගෙන දරුවන්ගේ මානසික ආතතිය අඩුකරන්න කරන යෝජනාවක් කියලා වෙන්න ඇති.  අදහස හොඳයි, නමුත් තර්කය පැහැදිලි මදි. මගේ ප්‍රශ්නය වන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගය පහසු කළත්, අපේ අම්මලා තාත්තලා දරුවන්ව ඉදිරියට තල්ලු කරන එක නවත්වයිද කියලා. අද රටේ බරපතලම තරඟ වලින් එකක් වන්නේ තම දරුවාව ජනප්‍රිය පාසලකට දමා ගැනීමේ තරඟයයි, මේක දෙවැනි වන්නේ සිරස සුපර් ස්ටාර් තරඟයට පමණයි. දෙමව්පියෝ ජනප්‍රිය පාසල් අසල පදිංචි වෙන්නේ, ආදිශිෂ්‍ය සංගමයේ ලොකු ලොකු නිලතල වලට පොරකන්නේ ළමයා පිළිසිඳ ගන්නටත් පෙර. එහෙව් එකේ විභාගය පහසු කළා කියලා දෙමවුපියෝ තමන්ගේ දරුවාගේ විභාගය ලේසියට ගනී කියලා බන්දුල ගුණවර්ධන හිතනවා නම්, ඒ තරම් මෝඩ සිතිවිල්ලක් තවත් නැහැ. ඒ වගේම විභාගය පහසු කළා කියලා දරුවන්ගේ දැනුම මට්ටම පහල යන්නේ නැහැ, මේ නිසා ඔවුන් උපරිම ලකුණු සංඛ්‍යාව ගනීවි. ඒ අනුව ජනප්‍රිය පාසල් වලට ඇතුළු කිරීමේ කඩඉම් ලකුණු මට්ටම තවත් වැඩි කළ යුතු වෙනවා. මෙය නැවතත් නොනවතින චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන ඉතා අසාර්ථක ‍යෝජනාවක්.

දරුවන් තරඟ විභාග වලට යොමු කිරීම මෙයට දෙවැනි නොවේ

කළ යුත්තේ එය නොවෙයි, පාසල්වල සහ විෂය නිර්දේශ වල ගුණාත්මක භාවය වැඩි දියුණු කර ජනප්‍රිය පාසල් සඳහා වන තරඟය අවම කිරීමයි. දරුවන් යාන්ත්‍රික නොකර හිතන්නට පුරුදු කිරීමයි. පාසල්වල ගුරුවරුන්ට මනා පුහුණුවක් ලබා දී ඔවුන් නව ලෝකයට ගැලපෙන විෂය කරුණු, තාක්‍ෂණය, ඉගැන්වීම් ක්‍රම වලින් සන්නද්ධ කිරීමයි. එවිට දරුවන් මනා අධ්‍යාපනයක්, නියම විෂය කරුණු, නව දැනුම ආදියෙන් පරිපූර්ණ වනවා. දරුවන් සමබර මනස් ඇති පිරිසක් බවට පත් වනවා. විෂය බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී කරවීම වැඩි කළ යුතුයි. මක් නිසාද යත්, කණ්ඩායම් හැඟීම්, ජය-පරාජය සමව දරා ගැනීම ආදිය මෙමඟින් පුරුදු පුහුණු කරවන නිසා. එවිට වතුර බෝතලයට මිනී මරාගන්නා දරුවන් බිහිවීම වැළකෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ මා වෙසෙන ප්‍රාන්තයේ පාසල් නැවත ඇරඹෙන්නේ අගෝස්තු මස 31 දා. නමුත් ගුරුවරුන් පාසලට පැමිණිය යුත්තේ අගෝ: 18 දා සිට. ඔවුන් 18 -31 දක්වා නව විෂය කරුණු, අධ්‍යාපන / ඉගැන්වීම් රටා, නව විෂය මාලාව ආදී කාරණා වෙනුවෙන් පුහුණු කරවනු ලබනවා. ඔවුන් තම පන්තියේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික වර්ධනය සහ මානසික වර්ධනය වෙනුවෙන් වගකිව යුතුයි. බොහොමයක් ගුරුවරු අධ්‍යාපනය පැත්තෙන් අවම වශයෙන් හෝ ශාස්ත්‍රපති උපාධියක් (MEd) ලබපු උදවිය. විද්‍යාව, ගණිතය වැනි විෂයයන් ඉගැන්වීමට ඒ ඒ විෂයයන් සඳහා ශාස්ත්‍රපති උපාධියක් (MSc) තිබිය යුතු වෙනවා.

ලංකාවේ මේ කිසිම දෙයක් සිදු වෙන්නේ වත් කිසිම කෙනෙක් කිසිම දෙයක් පිළිබඳ වගකීමක් භාරගන්නේ වත් නැහැ. මේ නිසා හැම දෙනාම තම වගකීමෙන් මිදී තම කාර්යය හරිහැටි සිදු නොකර වේතනය පමණක් ලබා ගැනීම සහ එය කෙසේ හෝ වැඩිකර ගැනීමේ සටනක නිරත වෙනවා. සමහර විට සිසුවාගේ දැනුම මට්ටම ගුරුවරයා අභිබවා යනවා. එවිට ගුරුවරයා කෙරෙහි ළමයා තුළ ඇති විශ්වාසය, ගෞරවය නැතිවෙනවා. මෙය සංවර්ධනය අපේක්‍ෂා කරන රටකට ගැලපෙන රටාවක් නොවෙයි. එක‍්කෝ රජයෙන් සම්මතයන් පැනවීම හෝ අවම වශයෙන් අදාල විදුහලේ ගුරු-දෙගුරු හෝ ආදි ශිෂ්‍ය සංගම්වලින් ගුරුවරුන් හට යම් බලපෑමක් කිරීම හෝ කළ යුතුව තිබෙනවා. මෙසේ නොකෙරෙන නිසාම දරුවන් ටියුෂන් පංති කෙරෙහි විශ්වාසය තැබීම ඉහල ගොස් තිබෙනවා.

මේ තීරණය නිසා පහේ ශිෂ්‍යත්‍ව විභාගය අසමත්ව ජනප්‍රිය පාසලකට යාගන්න බැරුව ජීවිත කාලකන්නි කරගත් බොහෝ දෙනාට ලොකු අසාධාරණයක් වෙනවා. බන්දුල ගුණවර්ධන ඒ කාලේ අධ්‍යාපන ඇමති වෙලා හිටියා නම් කොච්චර හොඳද කියලා කීදෙනෙකුට හිතෙයිද ? මේ නිසා මම යෝජනා කරන්නේ හැම දේටම කරනවා වගේ අපි මේ දේටත් විරෝධතාවයක් පැවැත්විය යුතුයි කියලා.

විභාගය පහසු කළා කියලා දරුවන් තරඟ විභාග වලට සූදානම් කිරීමේ යුද්ධයේ අඩුවක් දකින්න බැහැ. ඒ වගේම දරුවන්ගේ මානසික ආතතිය අඩුකරන්න එය හේතුවක් වෙන්නෙත් නැහැ. හිසරදයට කොට්ට මාරු නොකර ප්‍රශ්නයේ මූල බීජය බලා එයට පිළියම් කරන්නට අපේ අධ්‍යාපනික බලධාරීන්ට මොළය කවදා පෑදෙයිද ?…

සිසි වන වුවන රිය සකවන් පුළුලුකුල….. මේකප් දමා ඇති, බර වැඩි ගැහැණු බල

සෙනසුරාදා දිවයින පත්තරේ මෙන්න මෙහෙම තියෙනවා…

“මෙරට වයස අවුරුදු 15-49 වයස්‌ කාණ්‌ඩයට අයත් කාන්තාවන්ගෙන්  31.2% ක්‌ තරබාරු තත්ත්වයේ පසුවන බව මෑතකදී සිදුකරන ලද ජන ව්‍යාප්තිය හා සෞඛ්‍ය සමීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

නාගරික ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 11-19 වයස්‌ කාණ්‌ඩයේ පසුවන යෞවනයන්ගෙන් සියයට 7.6 ක්‌ ද තරබාරු තත්ත්වයේ පසුවන බව හෙළිවී තිබේ. මෙම තරබාරු තත්ත්වය දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග හා ඇතැම් පිළිකා වර්ග ඇති කිරීමේ අවදානම වැඩි කරන්නක්‌ බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

තෙල්, සීනි, පිෂ්ඨය අඩංගු ආහාර වැඩි වශයෙන් අනුභව කිරීම ඇතුළු වැරැදි ආහාර පුරුදු, ශාරීරික ව්‍යායාම අඩුවීම, ක්‍රියාශීලී බව, අඩු ජීවන රටාවකට හුරුවීම, මානසික ආතතිය වැනි කරුණු මෙම තරබාරු තත්ත්වයට හේතු වී තිබේ.”

ඉහත කී තත්ත්‍වයන්ට හේතු වී ඇත්තේ මොනවාද ? සහ ඉන් අපේ  තරබාරු ගැහැණු සංහතිය මුදවා ගත හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

ආහාර රටා.

මෙම ප්‍රවෘත්තියේ ඉලක්ක කාණ්ඩය වන්නේ නාගරික සහ අර්ධ නාගරික කාන්තාවන් වේ. මෙම කාණ්ඩයට අයත් වන්නේ බොහොමයක් වෘත්තික , විශ්ව විද්‍යාලවලට හෝ වෙනත් වෘත්තීය අධ්‍යාපනයක් ලබන කාර්ය බහුල කතුන් සහ ගෘහනියන් වේ. කය වෙහෙසා වැඩ කරන, එළවළු-පළතුරු ආදිය බහුලව ආහාරයට ගන්නා ග්‍රාමීය කතුන් අතර මෙම ස්ථුලතාවයක් දැකිය හැකි නොවේ. බොහෝ නාගරික කතුන්ගේ ආහාර රටාව ඒකාකාරී වන අතර එහි සමබලතාවයක් නොමැත. බොහෝවිට පෝෂ්‍යදායී ආහාර වේලක රස බලනුයේ අන්තයක දී පමණි. පෝෂණය අධික රතු හාලේ බතක් කැවෙන්නේ ඉතා කලාතුරකිනි. සුදු හාලේ බත්, බිත්තරයක් හෝ කකුළුමස් කැබැල්ලක් සහිත බත් වේලකින් බලාපොරොත්තු වන පෝෂණය ලැබිය නොහැක. එසේම, කාර්යබහුල බව නිසාම බොහෝ නාගරික පවුල් රාත්‍රී ආහාරය ලෙස දුවනගිරි හෝටලයකින් ගෙන ආ ආප්ප, ඉඳිආප්ප හෝ කොත්තු රොටි වේලකින් කුස පුරවාගැනීමට පුරුදු ව සිටිති. මේවා  ආහාරයට ගැනීම ශරීරයට අහිතකර අතර නිසි පෝෂණයක් ද  නොලැබේ.  එසේ මෙන්ම ලංකාවේ මෙවන් ස්ථානවල ආහාරවල අඩංගු දෑ හෝ ඒවායේ අඩංගු කැලරි ප්‍රමාණය පිළිබඳ කිසිදු තැකීමක් නොකරයි. එසේම දැන් දැන් හතු පිපෙන්නා සේ විවෘත වන McDonalds, KFC, Pizza Hut, වැනි ක්‍ෂණික ආහාර අලෙවිසල් වලින් ආහාර මිලදී ගන්නා පිරිස බලන කල, තවත් අවුරුදු 10 ක් වන විට ලංකාවේ අධිස්ථුලතාවයට පත්වන පිරිස පිළිබඳ දළ නිගමනයකට එළඹිය හැකිය. තවද තන්තුමය ආහාර මඳ බවින් ඔවුනට ආහාර මාර්ගයේ රෝගාබාධ සහ පිළිකා ආදිය පවා වැළඳීමට ඉඩ තිබේ. මෙය නාගරික ජීවිතයක් ගෙවන නිසි පරිදි ආහාර පිළිබඳ සැලකිල්ලක් නොදක්වන සියළුදෙනාට පොදු කාරණයකි.

සමබල ආහාර වේලක අඩංගු විය යුතු දෑ

ව්‍යායාම.

ග්‍රාමීය කාන්තාව බොහෝවිට පයින් ගමන් කරන, තරමක් හෝ කය වෙහෙසා වැඩෙහි යෙදෙන, ගෙවත්තෙන් නෙලාගත් පලාවර්ගයක්, කොස්, දෙල් වැනි යමක් ආදී දේ සමඟ  මිශ්‍ර කෑම වේලක් ලබාගන්නා පිරිසක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මන්දපෝෂණය විනා ස්ථුලතාවය නොවේ. මේ නිසා ඔවුන’තර ඉතා සුළු පිරිසකගේ ස්ථුලතාවයක් දැකිය හැකි වුවත් ඒ ජානමය සාධක මත රැඳුනක්. නාගරික කාන්තාවට ව්‍යායාම කිරීමට හෝ අවම වශයෙන් දිගු දුරක් ඇවිදීමට හෝ වෙලාවක් සහ ක්‍රමයක් නැහැ. ඔවුන් බොහෝ විට බසයේ, සේවා ස්ථානයේ නැතිනම් ගෙදර දූ දරුවන්ගේ වැඩක්. ඒ විතරක් නොවෙයි, සමාජමය සහ සංස්කෘතික සාධකත් මෙයට බලපානවා. තම ශරීරය පිළිබඳ සැලකිළිමත් වන නාගරික වැඩවසම් තරුණියකට කොට කලිසමක් ඇඳගෙන පාරේ හෝ පිට්ටනියක දුවන්නට නොහැකියි. ඇය විවිධ අයගේ උපහාසයට ලක්වන්නට පුළුවන්. විවිධ කායවර්ධන හෝ ශරීර සුවතා මධ්‍යස්ථාන (Fitness centers) තිබුණත් සාමාන්‍ය තරුණියකට ඒ සඳහා වැයකිරීමට මුදලක් හෝ කාලයක් නැහැ. මා දන්නා අන්දමට සමහර පෞද්ගලික සේවා ස්ථාන තම සේවකයන්ට එම ආයතනයේ වියදමින් ශරීර සුවතා මධ්‍යස්ථානවල සාමාජිකත්‍වය ලබාගෙන තම සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට පහසුකම් සලසා තිබුණත් අවම වශයෙන් පුරුෂ පක්‍ෂයේ සේවකයන් වත් එය හරිහැටි ප්‍රයෝජනයට නොගන්නා බවයි දැනෙන්නේ. වෙනත් රටවල රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් බොහෝ සේවා ස්ථානවල Fitness Center එකක් අනිවාර්යයෙන්ම තිබෙනවා. එසේ කිරීමෙන් තම සේවකයාගේ ශරීර සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය ද මනාලෙස පැවතීමෙන් කාර්යක්‍ෂමතාවය වැඩිකර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. සතුටින සිටින සේවකයා මනා සේවයක් කරන බව ඔවුන් දන්නවා.

කාර්ය බහුලත්‍වය.

ග්‍රාමීය ජනයා මෙන් නොව නාගරිකයා නිතරම තරඟයක යෙදෙන්නෙකි. මුදල් සෙවීමට, සමාජ තත්ත්‍වය ආරක්‍ෂා කිරීමට, ඉදිරියට යාමට, ආදී නොයෙකුත් සාධක නිසා ඔවුන් තර ශරීර සෞඛ්‍යය රැක ගැනීම පසෙක ලා ඒ ගමනේ යෙදී සිටිති. පාසල් යන වයසේ තරුණ පිරිස දැන් දැන් විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්වී පොතපතේ ම එල්බීගෙන අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෙහෙසෙති. යමක් කමක් ඇති අය ගෙදරටම ගුරුවරුන් ගෙන්වාගෙන ඉගෙන ගනිතත්, ඇඟ වෙහෙසා ක්‍රීඩාවන් කිරීමට මැළිවෙති. ඒ වෙනුවට වීඩියෝ ක්‍රීඩා කිරීම හෝ පරිගණක ක්‍රීඩා කිරීමට ඔවුන් රුචිකත්‍වයක් දක්වති. මේ නිසා පාසල් යන දරුවන් අතරද ස්ථුලතාවය මතු වේ.

හෝමෝන ක්‍රියාකාරීත්‍වය.

කාන්තාවන් උපතින්ම වෙනස්වන සුළු හෝමෝන ක්‍රියාකාරීත්‍වයක් ඇති අය වේ. වයස 10-11 පමණ සිටම ඔවුන්ගේ ශරීරය සිය වර්ගයා බෝකිරීමේ මූලික කර්තව්‍යය සඳහා සූදානම් වේ. මෙවිට විවිධ අවස්ථාවලදී ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ට්‍රෝන්, සහ FSH, LH, ආදී හෝමෝන ශරීරය තුළ විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. මේ අතරින් ඊස්ට්‍රජන් කාන්තාවන්ගේ ශරීරයේ (විශේෂයෙන් උදරයේ) මේද තැන්පත් කිරීමේ ප්‍රධාන වගකීම දැරිය යුතු හෝමෝනය වේ. පුරුෂයන් ද මෙම හෝමෝනය ශ්‍රාවය කරන අතර ඔවුන්ගේ ද  නෙරා ආ උදරයට වගකිව යුත්තේ මෙම හෝමෝනයයි. මෙම හෝමෝනය ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝනයක් වන බැවින් හෝමෝන පාලනය කිරීම සමහර විට අනිසි ප්‍රතිඵල දිය හැකි කරුණක් විය හැක.

මානසික ආතතිය සහ වෙනත් මානසික තත්ත්‍ව.

මානසික ආතතිය ස්ථුල බව වැඩිකිරීමට බලපෑ හැකි සේම ස්ථුල බව ද මානසික ආතතිය ඇති කිරීමට හේතු වනවා. මෙය හරියට චක්‍රයක් සේ ක්‍රියාත්මක විය හැකියි. සමහර අය මානසිකව වැටුන අවස්ථා වලදී වැඩිපුර ආහාර ගැනීමෙන් මෙම තත්ත්‍වය ඇති විය හැකියි. කෙසේ වෙතත් ලංකාවේ සමහර කාන්තාවන් කෙතරම් තර වුවත් එය ගණනකටවත් නොගන්නා නිසා ඔවුන් ඒ අතින් නම් මානසික ආතතියට පත් වන්නේ නැහැ.

මෙම තත්ත්‍වය තරමක අවදානම් තත්ත්‍වයක්. ඒ මක් නිසාද යත් ස්වභාවයෙන්ම කාන්තාවන්  මහත් වීමට බොහෝ ඉඩකඩ ඇතිවාක් මෙන්ම ඔවුන්ගේ බර අඩුවීම ද සිදු වන්නේ ඉතා සෙමින්. මේ නිසා ඔවුන් සිය සිරුර මනා ලෙස පවත්වා ගැනීම පිළිබඳ උනන්දු විය යුතුයි. දැන් කාලේ තරුණියන් විවාහයට පෙර තම සිරුර මනා ලෙස පවත්වා ගැනීම පිළිබඳ සැලකිළිමත් වුවත් සමහරු විවාහයෙන් පසුව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙය සිරුරටත් විවාහ ජීවිතයටත් යන දෙකටම අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ස්ථුලතාවය විවිධ රෝග රැසක මූලිකත්‍වය ගෙන කටයුතු කරන දෙයක්. අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, ලිංගික දුබලතා, ආදිය ප්‍රධාන ස්ථානයක් ගන්නවා.

කෙසේ වෙතත් සිය සිරුර පිළිබඳ මනා අවධානයෙන් සිට, මනා සෞඛ්‍ය තත්ත්‍වයෙන් ජීවිතය පවත්වාගෙන යාම තමන්ටත්, තමන්ගෙන් යැපෙන්නන්ටත් තමන් අවට සිටින්නන්ටත් ආදී සියල්ලන්ටම හොඳ කටයුත්තක්. තමන් ආහාරයට ගන්නා දේ පිළිබඳ සැලකිළිමත් වී, නිසි පරිදි හැකි පමණින් ව්‍යායාම කර නිරෝගීව සිටිය හොත් අවම වශයෙන් තමන්ගේ මුණුබුරු මිණිබිරියන්ගේ මුහුණවත් බලා මිය යන්න පුළුවන්… එසේ නොකර අලස කමින් කකා බිබී හිටියොත් ඉතා ඉක්මනින් වල පල්ලටත් යන්න පුළුවන්… මේකෙන් කොයික තෝරගන්නවද කියලා ඔබම හිතා බලන්න…….

සිරගත වන, නව යොවුන් ප්‍රේමය

නව යොවුන් ප්‍රේමය සුන්දරය, හැම අතින්ම සුන්දරය….. නිවැරදි කිරීම: සුන්දර විය.(ඒ මම දැන් නව යොවුන් වියේ නැති නිසාය)……. ඇගේ නෙතු අගින් හෙලන සියුම් බැල්මක් හසුකර ගන්නට වෙර දැරූ  මගේ නෙත්…. ඇගේ මඳහසක් මුවඟ ඇඳෙන තුරු නොඉවසිලිමත් මගේ වූ සිත….. ඇයට ප්‍රේමය ප්‍රකාශ කරන්නට ගොස් අමාරුවේ වැටුනු අවස්ථා…. ඇයට ප්‍රේමය ප්‍රකාශ කරගත නොහී මගේ සිත සුසුම් ලෑ අවස්ථා,  ආදිය සිහි වන විට යළිදු ම’සිත ඒ සුන්දර අතීතයට මා රැගෙන යයි. ඒ මගේ  යොවුන් ප්‍රේමයයි. ඈ දැන් වෛද්‍යවරියකි, දෙදරු මවකි. මා ආචාර්ය උපාධිධර රසායනඥයෙකි. වැරදිලා හෝ අප දෙදෙන ආදරයෙන් බැඳුනි නම්, අප දෙදෙනම මෙසේ දෙපළක හෝ සතුටින් සිටිය නොහැකිව තිබුණි.  අප දෙදෙනාගේම  අධ්‍යාපනය සාර්ථකව නිම නොවිය හැකිව තිබුණි.  අපේ ප්‍රේමය අපේ හිත්වලම වැලලී ගියේ අප දෙනොගේම වාසනාවට විය හැක. (සමහර මිදි තිත්තය….) ඇයත් ඇගේ සැමියාත් තවමත් මගේ මිතුරන්ය.. ඇය ඉන්නේ මූණු පොතේය……..  ඒ “පෙමින්” පසු වෙනත් සාර්ථක ප්‍රේම පුරාණ මගේ ලොවේ තිබුණද…. ඇයට නොව, ඒ සුන්දර ප්‍රේමයට තවමත් මම ආදරය කරමි. ඈ නොදන්නා මුත් මා කවියෙකු කළේ ඈය. ඈට ලියූ කව් වෙනත් පෙම්වතියන්ටද Recycle කළේ ඈට තිබූ ආදරය නිසාමය…….. ඇය මෙය කියවනවා නම් මේ ජේදය ලිව්වේ ඇයටය… ඒ බව ඈ දනී….

දැන් කාලයේ කොල්ලන් කෙල්ලන් එසේ ප්‍රේම කරනවා දැයි මම නොදනිමි. එසේ වුවත් සෙල්ෆෝන් ප්‍රේමය වඩා පහසු බව මගේම ඥාති සොයුරියක් මෑතදී මා සමඟ පැවසුවාය. පෙර කාලයේ මෙන් නොව, SMS එකකින් ආදරය ප්‍රකාශ කිරීමත් SMS එකකින් ආදරයෙන් මිදීමත් දැන් ඉතා පහසු, ලාභදායී, සහ හිත නොරිදෙන කාර්යයක් බවට පත් වී තිබේ. ආදරයේ තිබූ සුන්දරත්‍වය, චමත්කාරජනක බව වෙළඳ ප්‍රයෝග ඔස්සේ වෙනත් මාර්ග කරා ඇදී ගොස් ඇත….ප්‍රේමය රාගයෙන් තොර වන්නේ ගීත වලට පමණි. වසර 20 කට පෙර බස් නැවතුම් පොළේ කතා කිරීමත් මහා ලොකු දෙයක් වූ කළ, හෝටලයකට රිංගීම පවා සාමාන්‍ය දෙයක් බවට අද පත් වී ඇත්තේ සමාජ පරිහාණියේ තරම මොනවට කියාපාමිනි.

ලංකාවේ කුරුණෑගල සහ මාතර සිදු කළ “වැටලීම්” වලින් නව යොවුන් වියේ පසු වන “ජෝඩු” 350 ක් පොලීසියෙන් “ඇල්ලූ” බව BBC  පුවත් සේවයේ වාර්තාවක සඳහන් වේ. ලංකාවේ ඇති නීතියක් අනුව ලංකාවේ අපිට පොදු ස්ථානවල සිප වැළඳ ගැනීම තහනම් ය. අපි පස් පවු නොකරන සාරධර්ම අකුරට පිළිපදින ලෝකයේ ඇති සදාචාරාත්මක බවින් අනූන එකම රට හැටියට මෙම නීතිය අතිශයින්ම සාධාරණය. ලංකාවට එන සුද්දන්ට හික්කඩුවේ වැල්ලේ හෙළුවැල්ලෙන් ඇවිදීමට තහනමක් නැත්තේ උන් විදේශ විනිමය අපට ගෙන එන නිසාය. රාජකීය විද්‍යාලයේ Stag Nite එකට හෙළුවෙන් නටන ගෑණු ගෙන ආ හැක්කේ ඔවුන් රාජකීය විද්‍යාලයේ නිසාය… කොළඹ හන්දියෙන් හන්දියට කාමර කුළියට දෙන තැන් ඇත්තේ මෙසේ ප්‍රසිද්ධියේ සිප වැළඳගන්නා පෙම්වතුන්ට ඒවා පෞද්ගලිකව කරගැනීමටය.

පාසල් යන එවුන් ප්‍රේම කළ යුතු නැත… උන්ට තියෙන්නේ ඉගෙන ගැනීමම විතරය. ප්‍රේම කර අහුවුන එකා දඬුකඳේ ගැසිය යුතුය… මමද එයට එකඟය… ඒත් ඉතිං හැඟීම් කියන ජාතිය යටකරන් ඉන්න පුළුවන් දෙයක් නොවෙයිනේ. ඒ මදිවට TV එකේ පෙන්නන්නෙම ලව් කරන ඒවයි ලව් කැඩෙන ඒවයි මිසක් වැදගත් දෙයක් නොවෙයිනේ. ඉතිං කාගෙද වැරැද්ද ? පෙම් කෙළින නව යෞවනයින්ද ? ඒවට මඟ පාදන අනේකවිධ විච්චූරණ ද ?

නව යොවුන් වියේ ප්‍රේමාන්විත හැඟීම් ඉතා සාමාන්‍ය සංසිද්ධියකි. වැඩිවියට පත්වන යෞවන යෞවනියන්ගේ හෝමෝන වෙනස්වීම් සහ කායික වෙනස්වීම් අනුව විරුද්ධ ලිංගිකයනට ආකර්ෂණය වීම සාමාන්‍ය තත්ත්‍වයක් ලෙස සැළකේ. ඔවුන්ගේ ශරීර තුළ සිදුවන රසායනික විපර්යාස සමාජයීය සීමාවන් නොදනී. ශරීර තුළ සිදු වන්නේ ඊළඟ පරම්පරාව බිහිකිරීම සඳහා සිරුර සකස් කිරීමේ ක්‍රියාවලියයි. එය මිනිසා කුමන සමාජ තත්ත්‍වයේ හෝ මානසික තත්ත්‍වයේ හෝ සිටී දැයි නොදනී. එය පාලනය කළ යුත්තේ ඉහල මානසික තත්ත්‍වයක් ඇති කිරීමෙන් පමණි.

මේ ඉහළ මානසික තත්ත්‍වය ඇතිකළ හැක්කේ කෙසේද ?

පාසල් වියේ ප්‍රේමය, ලිංගිකත්‍වය, සමීප සම්බන්ධතා ආදිය ලංකාවේ විවෘතව කතා බහ නොකෙරෙන (Taboo) විෂයයන්වේ. මේ නිසාම දරුවන් ඒ පිළිබඳ දැනගන්නේ මිතුරන් මාර්ගයෙන් හෝ අසහනයෙන් පෙළෙන, මොනවා හෝ ලියා මුදල් උපයා ගැනීමට වෙර දරන පත්තර කාරයෙකුගේ පත්තරයක් මාර්ගයෙනි. ලංකාවේ කිසිම වයස් සීමාවක් සඳහා ලිංගික අධ්‍යාපනය හෝ අවම වශයෙන් එසේ දැනුවත් කිරීමක හෝ නොමැත. එසේ කිරීමට අපේ සාරධර්ම රකින සමාජය ඉඩ දෙන්නේ ද නැත. දෙමවුපියෝ ඒවා දරුවන් සමඟ කතා කිරීමට ලැජ්ජය. දරුවෝ දෙමව්පියන්ගෙන් ඒවා ඇසීමට බයය. මෙවිට දෙපාර්ශවයම හොරගල් අහුලමින් සිටී. දරුවා අමාරුවේ වැටුන විට ඔලුවේ අත ගසාගෙන දරුවා මරාගෙන කන්න හදති… ලංකාවේ බොහොමයක් දෙමවුපියෝ එහෙමය…. ගුරුවරු ඊට වඩා අන්තය… ඔවුහු ළමයා දෙස බලන්නේ නිතරම සැකයෙන්ය…. 11 වසරේ විද්‍යාව උගන්වන්නේ ගුරුවරියක් නම් ශාක ප්‍රජනනය උගන්වා සත්ත්‍ව ප්‍රජනනය ළමයින්ට කියවා තේරුම් ගන්න සලස්වයි. එක අතකට ඔවුන්ට වැරැද්දක් කීමට ද නොහැක.. ‍මක් නිසාද යත් අපේ කොලු තාත්තලා අනං මනං අසා ගුරුතුමිය ගර්භණී කිරීමට තරම් ඒ පිළිබඳ කෙල පැමිණි අය නිසාය….

ලංකාවේ ඇති තවත් කරුණක් නම්, රූපවාහිනී චැනල 22 කින් පමණ සතියක් තිස්සේ පෙන්වනු ලබන හැට හුටහමාරක් ටෙලි නාට්‍යවල කිසිදු ප්‍රමිතියක් නොමැති වීමයි. පවුලේ කිරි දරුවා පටන් හෙට මැරෙන්න ඉන්න සීයා ආච්චී දක්වා සියළුම දෙනා රූප පෙට්ටිය ඉදිරියට වී ඒවායේ පෙන්නන හැම දේම තළු මර මර බලති. සමහර ජවනිකා බලන් ඉන්න බැරි තරමට හිරිකිතය… ඒත් හැමෝම බලති… පොඩි එවුන් කට ඇරගෙන බලති… සීයලා හූල්ලමින් බලති… කිසිදු වාරණයකින් තොරව.. හැමෝම හැමදේම බලති… මත්පැන් බොන, සිප ගැනීමක් වන, දුම්පානයක් වන තැනක ලොකු කොටු දමති….  ලංකාවේ වාරණය එහෙමය….වෙනත් රටවල නම් විවිධ තේමා යටතේ වැඩසටහන් විවිධ වාරණයන්ට ලක් කර තිබේ. උදාහරණයක් හැටියට යම් වැඩසටහනක් වයස 15 ට වඩා වැඩි අයට සුදුසු නම් ඒබව වැඩසටහන ඇරඹීමේ දීත් සෑම වෙළඳ දැන්වීමකට පසුව වැඩසටහන පටන් ගැනීමේදීත් දර්ශනය කරනු ‍ලැබේ. එසේම එම වාරණය කුමන කරුණක් නිසාද යන්නත් පැහැදිලිව ප්‍රචාරය කෙරේ. ලංකාවේ හැම දෙයක්ම හැමෝටම සුදුසුය….. ඒ එක පැත්තකි.

බොහොමයක් නාලිකාවල පෙන්වන පිටරට වැඩසටහන් අපේ නව යෞවනයා ගෙඩි පිටින් ඇද බාති. ඔවුන් සිතන්නේ රූප පෙට්ටියේ පෙන්නන අමෙරිකාව හැබෑ ජීවිතයේද එසේම වන බවයි. එහි 25% ක පමණ සත්‍යයක් තිබුණද, ලංකාවේ ටෙලිනාට්‍ය මෙන් අමෙරිකානු ටෙලිනාට්‍ය සෑම විටම සැබෑ ජීවිත ප්‍රතිනිර්මාණය නොකරයි. මේවා බලන ලාංකීය යෞවනයා අමෙරිකානු වීමට එසේ වෙර දරයි.  තවත් සමහරු විභාග කඩාකප්පල් කරගෙන සුපිරි තරු හීනය පස්සේ දුවන්නට පටන් ගනී. දුවලා නිම වන විට වෙන්න ඕන දේ වී හමාරය…

පාසල් දරුවන් පිළිබඳ දෙමව්පියෝ නිතරම අවධානයෙන් සිටිය යුතුය. වර්තමානයේ පවතින තාක්‍ෂණය සහ නොයෙකුත් දෑ වලට පහසුවෙන් නිරාවරණය වීම ආදිය සළකා බලන විට, දරුවන් හා නිරන්තරව සෙවිල්ලෙන් පසුවීම සිදුකළ යුතුම දෙයකි. අද සමාජයේ සිද්ධ නොවන්නේ ද මෙයමය. පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස, අද මවත් පියාත් රැකියාවක නියුක්ත වීම අනිවාර්ය වී තිබේ. එසේ වූ විට දරුවන් හැදෙන්නේ එක්කෝ සීයා ආච්චී සමඟ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ සෙවනේයි. දෙමව්පියෝ නිවසට පැමිණෙන විට රාත්‍රී ආහාරය ගත් දරුවෝ රූපවාහිනී නරඹමින් සිටිති, එසේ නැතහොත් නින්දට ගොස් සිටිති. මහන්සි වී නිවසට පැමිණෙන දෙමාපියන්ට දරුවන් හා කතා කිරීමට වෙලාවක් නොමැත. මෙසේ දෙමාපිය දූදරු සම්බන්ධතාවය බිඳ වැටේ.  දරුවාට ආදරයක් ලැබීමට වෙලාවක් නොමැති අතර දෙමව්පියෝ සිතන්නේ මුදල් දී පාසලට, පෞද්ගලික පන්තියට යැවීම ආදරය බවය.   මිතුරන් විසින් ඇති කරන පීඩනය (peer pressure) මේ වයසේ දරුවන්ගේ අනාගතය තීරණය කරන වැදගත් සාධකයකි. දරුවාගේ මිතුරන් කව්දැයි නිතර සොයාබැලිය යුත්තේ මේ හේතුව නිසාය. මෙම පීඩනය දරුවා දෙමව්පියන්ගෙන් ඈත් කිරීමට තරම් ප්‍රබලය. මෙසේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා ඈත්වන දරුවාගේ සිතේ ඇතිවන හිදැස පිරවෙන්නේ යොවුන් ප්‍රේමයේ සිහිලස මඟිනි. දෙමවුපියන් ඔව්න් පිළිබඳ නොසොයන බව දන්නා දරුවන් තම අධ්‍යාපන කටයුතු පසෙක ලා ප්‍රේමයේ චමත්කාරය රස විඳීමට මුහුදු වෙරළට, උද්‍යානවලට, හෝ යහමින් සල්ලි ඇති අය හෝටලයකටද ඇදෙති. සමහරු බස් නැවතු‍ම්පලේ පවා හැසිරෙන්නේ අවට කිසිවකු නොමැති ආකාරයෙනි. මේ කාරණා දැරිය නොහැකි වැඩිහිටි පරපුර ලංකාවේ දූෂිතම ආයතනයට ඒ බව සැළ කරති. ඒ ආයතනයේ සිටින දූෂිතම පොලිස් නිලධාරීන්ගෙන් එක් අයෙකු වැඩේ අකුරටම ඉටුකර ජෝඩු 200ක් පොලිසියට ගාල් කරයි. පහුවදා මේ ජෝඩු 200 යේ දෙමාපියන් ඒ ඒ ජෝඩුවල හුන් තම දරුවන්ට මොනවා කරන්නදැයි හිතාගත නොහැකිව ලතැවෙති….. අද ලංකාවේ තත්ත්‍වය මෙයයි.

මේවාට පිළියම් නොමැතිද ? එසේ නැත්නම් වැල යන අතට මැස්ස ගසා බස් නැවතුම් පොළවල පවා උපත්පාලන අවශ්‍යතා සපුරාලන vending machine සවිකරමුද ? වර්තමාන උසස් අධ්‍යාපන ඇමති චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සිටි කාලයේ හෝ රනිල්ගේ ආණ්ඩුවේ සිටි කාලයේ තරුණ තරුණියන්ට පෙම් කෙළීම සඳහා තරුණ උද්‍යානයක් තැනීමට සැලසුම් කර සිටියා මට තවම මතකයි. මමත් ඒකට දවසක් ‍හෝ ගිහින් එන්න පෙරුම් පිරුවා ද මතකයි. ඒත්…. ඒකත් මගේ සිහිනයක් වූ බවත් තවම මතකයි.

මට සිතෙන හැටියට මේ ප්‍රශ්නයට පිළියම් යෙදිය යුත්තේ නිවෙස, පවුල ආශ්‍රිතව සිදු කෙරෙන ආකල්පමය සංශෝධනයක් මාර්ගයෙන්. දෙමවුපිය දූ දරු සබඳතාවයන් මීට වඩා ශක්තිමත් විය යුතුව තිබෙනවා. දෙමාපියන් දරුවන් කෙරෙහි මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා. තවද දෙමාපිය දූ දරු සංවාදයන් ශක්තිමත් විය යුතුව තිබෙනවා. මෙසේ කිරීමෙන් දරුවන් දෙමාපියන් කෙරෙහි ඇති බැඳීම බැඩි වෙනවා. ඒ මඟින් ඔවුන’තර ඇති වන ගැටළු නිරාකරණය කර ගැනීමේ පහසුව ඇති වෙන අතර කතා කිරීමට තරමක් අපහසු යොවුන් ප්‍රේමය, ලිංගිකත්‍වය වැනි මාතෘකා සංවාදයට භාජනය වීම මඟින් දරුවන් මෙන්ම දෙමාපියන් ද අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනඟා ගන්නවා. එසේම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්තියක් රජයෙන් ඉදිරිපත් විය යුතුයි. මත්පැන් දුම්වැටි සඳහා කොටු දැමීම වැනි මෝඩ චූන් වැඩ නොකර, කාර්යක්‍ෂම වාරණ ක්‍රියාවලියක් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිනම් තම නාලිකා වලින් ප්‍රචාරය කරන දෑ පිළිබඳ ස්වයං වාරණයක් ඒ ඒ විද්‍යුත් නාලිකා වලින්ම පනවා ගත යුතුයි.

කොළඹ නගරයේ පමණක් දිනකට ගබ්සා කිරීම් 500 කට වඩා වන බවත්, ඒවායින් හරි අඩක් පමණ වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන් සඳහා සිදු කරන බවත් මෑතක දී පුවත්පතක අනාවරණය කර තිබුණා. මේ සිදු වන්නේ මහා මිනිස් සංහාරයක්. එක් අතකින් උපදින්නට සිටින දරුවන් අකාලයේ මරා දමන අතර අනෙක් අතින් සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහිකළ හැකි තරුණියන්ගේ තරුණ භාවය සෞඛ්‍යය අකාලයේ විනාශ කර දමනවා. මෙය නැවැත්වීමට නම් අවම වශයෙන් ක්‍රමවත් උපත් පාලන ක්‍රම සහ ලිංගික අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතුමයි. මේ විනාශ වන්නේ අපේ අනාගතයයි. මෙය තවදුරටත් බෞද්ධ රටක් යැයි කියා මේ කරුණු සැඟවීමෙන් සිදු වන්නේ අනාගත පරපුර ශාරීරිකව, මානසිකව සහ සංස්කෘතික වශයෙන් අගාධයට යැවීමයි…..

අයාලේ යන පෙම්වතුන් පොලීසියට ගෙනගොස් දෙමාපියන් කැඳවීමෙන් ඔවුන්ගේ ප්‍රේම කිරීම නතර කර නොහැක. එසේ වුවත් ඔවුන් ප්‍රසිද්ධියේ නොමනා ලෙස හැසිරීම තරමක් පාලනය කළ ‍හැක. එය එසේ වුවත්, මේ හොරා පොලිස් සෙල්ලම දෙගොල්ලොන්ටම එපා වෙන දිනයක් එනු ඇත. ප්‍රේමවන්තයින්ට කෙසේ වෙතත් පොලීසියට නම් එය ඉක්මනින්ම එපා විය හැක. මේ නිසා අපේ රටේ ප්‍රශ්නවලට දමන මෙවැනි පැලැස්තර විසඳුම් වලින් අප ඈත් විය යුතු කාළය එළැඹ තිබේ. යුද්ධය නිමය. ඒ නිසා යටපත්ව තිබූ වෙනත් ප්‍රශ්නවල බැරෑරුම් බව වෙනදාට වඩා සැමටම පෙනෙන  කාළය උදා වී ඇත. රජයට ද දැන් හැම දේම ප්‍රභාකරන් මත දමා ඇඟ බේරා ගැනීමේ අවස්ථාව ගිළිහී ඇත. යමක් කළ යුතුය…

නිදා සිටීමෙන් අප විනාශ කර දමන්නේ අපේ අනාගතයයි….. අපේ රට අනාගත ආශ්චර්යය බවට පත් කරනවාද, අනාගත්ත ආශ්චර්යය බවට පත් කරනවාද යන්න අප සැමගේ හිස මත ඇති වගකීමකි…. එය රජයට තනිව කළ හැක්කක් නොවේ… අප, අපගේ ආකල්ප වෙනස් කර ගත යුතු කාළය පැමිණ තිබේ……


ගෑවුනොත් විස, කෑමට රස, ජෙලිෆිෂ් ගැන දැනගන්න…

තම්බපන්නිගේ අඩවියේ තිබුණ ජෙලිෆිෂ් විෂවීම දුටු මට, ඔබව ඒ පිළිබඳ දැනුවත් කරන්න සිතුනා.

ජෙලිෆිෂ් යනු කුමක්ද ?

ජෙලිෆිෂ් යනු ඉතා සුන්දර එහෙත් විෂ සහිත ජීවියෙකි

ජෙලිෆිෂ් යනු කිසිදු අස්ථියක් නොමැති (අපෘෂ්ඨවංශී), මුහුදේ පාවෙන, විවිධාකාර වර්ණ ගන්නා, පුදුමාකාර, එමෙන්ම විෂ සහිත සත්ත්‍ව විශේෂයක්. ඔවුන් මේ ලෝකයේ වැඩිම කලක් ජීවත් වූ සත්ත්‍ව කොටසක්; එනම් වසර මිලියන 650 කට වඩා පැරණි ඉතිහාසයක් ඔවුන් සතුයි. සිරුරෙන් 95% ක්ම ජලය ඇති ඔවුන් අයත් වන්නේ Cnidaria ගණයටයි. එහි තේරුම කහඹිලියා වැන්නට සමාන Stinging Nettle යන්නයි. එනම් ජෙලිෆිෂ් ස්පර්ෂ වුන ස්ථානයේ දැවිල්ලක් හටගෙන පලුදැමීමක් සිදු වන බවයි. ජෙලි ‍ෆිෂ් විශේෂ 2000 ක් පමණ ලොව පුරා විසිර පවතී: මෙඩුසා යනු වැඩිහිටි බවට පත් වූ ජෙලිෆිෂ් හඳුන්වන තවත් නාමයකි. මොවුන් ලෝකයේ සෑම මුහුදකම, සමුද්‍රයකම දැකිය හැකි වන අතර මිරිදියේ ද ජීවත්වේ. සමුද්‍ර විද්‍යාඥයින් ලෝකයේ සමුද්‍ර පද්ධතියේ තත්ත්‍වය මනින  මිම්මක් ලෙස ජෙලිෆිෂ් යොදාගනී. සමුද්‍ර පරිසර පද්ධතිය අන්තරායදායක තත්ත්‍වයකට පත් වී ඇති විට, ජෙලිෆිෂ් ප්‍රමාණය ඉහල යන බව මොවුන් අත්දැකීමෙන්ම දනිති. මිරිදිය වසන ජෙලිෆිෂ් විෂ සහිත නොවන අවර්ණ ජීවියෙකු වන අතර ප්‍රමාණයෙන් අඟලකට වඩා විශාල නොවේ. මෙම ජෙලිෆිෂ් සමූහයක් වශයෙන් ජීවත් වන සත්ත්‍ව කොට්ඨාසයකි. සමහර විට ඔවුන්ගේ මෙම හැසිරීම නැව් ගමනාගමනයට පවා බාධා ඇති කරයි. දැනට හමු වූ විශාලතම ජෙලිෆිෂ් මැසෙචුසෙට්ස් හිදී හමුවූ මීටර 2.3 ක විශ්කම්භයක් ඇති මීටර 36.5 ක් දිගු වූ අඬු සහිත සිංහ කේශර ජෙලිෆිෂ් (Lion’s Mane Jellyfish) නම් වූ විශේෂයයි.

ජෙලිෆිෂ් හරස්කඩ

ඔවුන් සතුව වෙන්වෙන්ව සැකසුනු ආහාර මාර්ග පද්ධතියක් වැනි ව්‍යුහයක් ඇතත් මොළයක් නොමැත. (ලංකාවෙ දේශපාලනඥයෙක් වගේ). ස්නායු පද්ධතිය සහ ස්නායු ආවේග ලබාගන්නා ස්නායු තන්තු වැනි ඒකක ආධාරයෙන් ඔවුහු ආලෝකය, උණුසුම, වැනි බාහිර සංවේදන කෙරෙහි ප්‍රතික්‍රියා දක්වති.  ඔවුන් ආහාර ජීර්ණය කරන්නේ ජීර්ණ කුහරය හා සම්බන්ධිත, සමක් වැනි පටකයක් මාර්ගයෙනි. ඔවුන් ශ්වසනය කරන්නේද සම මාර්ගයෙන් බැවින් ඔවුනට වර්ධනය වූ ශ්වසන පද්ධතියක අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් චලනය වනුයේ සිය ශරීරය සංකෝචනය සහ ප්‍රසාරණය කිරීමෙන් ලබා ගන්නා බලයෙනි. එසේම දිගු වූ අඬු වැනි අවයව වලින් ගමන පාලනය කෙරේ. එසේ නමුත් බොහෝවිට මුහුදේ රළ බලය ආධාරයෙන් ජලය මත පාවෙමින් සිටිති. ජෙලිෆිෂ්  ප්‍රධාන සමමිතික අක්‍ෂය කේන්‍ද්‍රකරගත් ඉතා උසස් සමමිතියක් ඇති සත්ත්‍වයෙකි. මේ නිසා සෑම දිශාවකින්ම පැමිණෙන උවදුරු වලට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මෙන්ම ආහාර සොයා ගැනීමේ පහසුවද සහිතය. සමුද්‍ර විද්‍යාඥයන් පවසන අන්දමට  හරිතාගාර ආචරණය හේතුවෙන් සහ ගෝලීය උණුසුම වැඩිවීම නිසා ‍ජෙලිෆිෂ් විශේෂවල වර්ධනය වැඩි වී තිබෙනවා. ඒ නිසාම ඔවුන් මුහුදුවෙරළ වෙත පැමිණීම වැඩිවෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් උණුසුම් කාළයේ ගොදුරු සොයා ගැනීමේ පහසුව ආදී හේතු නිසා වෙරළට ජෙලිෆිෂ් පැමිණීම වැඩිවන අතර මුහුදේ ඔක්සිජන් සාන්‍ද්‍රණය, ආහාර, දියවැල්, ආදියත් ජෙලිෆිෂ් සංක්‍රමණයට හේතු සාධක වෙනවා.  මේ නිසා මිනිසුන් ජෙලිෆිෂ් විශවීම් වලට භාජනය වීම ද  පසුගිය වසරවල දී වැඩි වී තිබෙනවා.

ජෙලිෆිෂ් මිනිසාට ප්‍රයෝජනවත් නොමැති සත්ත්‍ව විශේෂයක් නොවේ. ඔවුන්ගෙන් බොහෝ ප්‍රයෝජන තිබේ. විශේෂයෙන්ම විද්‍යාත්මක වශයෙන් ජෙලිෆිෂ් ඉතාම වැදගත් වේ. රාත්‍රියේදී දිලිසෙන ජෙලිෆිෂ්ගේ ජාන වලින් ජාන සළකුණක් (Gene Marker) සකසා තිබෙනවා. මෙයින් එම ජාන ක්‍රියාකාරීත්‍වය අධ්‍යයනයෙන් විවිධ පර්යේෂණ සිදු කළ හැකියි. උදාහරණයක් ලෙස එසේ කරන ලද පර්යේෂණයකට අනුව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් උක් වගාවෙන් සෞඛ්‍යාරක්‍ෂිත සීනි ප්‍රමාණය වැඩියෙන් ලබාගැනීමට උක් ශාකය ජානමය වශයෙන් වෙනස් කිරීමට සමත්ව තිබෙනවා. එසේම ඔවුන්ගේ ජාන සළකුණු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පාවිච්චියට ගතහැකි වීම තවත් වැදගත්කමක් ලෙස සළකනවා. 1961 වසරේ සිටම මෙසේ ජෙලිෆිෂ් ජීවතාක්‍ෂණිකව වැදගත් වී තිබෙනවා. විශේෂයෙන්ම මුහුදු පරිසර පද්ධතීන් අධ්‍යයනයට පරිසර විද්‍යාඥයින් මොවුන් යොදා ගන්නවා. ඒ අතරම ආහාර සඳහා ද මොවුන් වැදගත් වනවා. Cannon Ball නම් වූ ජෙලිෆිෂ් මිනිසුන්ට විෂ රහිත නිසා සහ ප්‍රමාණයෙන් විශාල නිසා අමෙරිකාවේ රසවත් මුහුදු ආහාරයක් ලෙස සැලකෙනවා.

ජෙලිෆිෂ් විෂවන්නේ කෙසේද ?

සියළුම ජෙලිෆිෂ් වර්ග සිය සතුරාට හෝ ගොදුරට පහර දෙන්නේ නෙමටෝසිස්ට් (Nematocysts) නම් වූ කුඩා විෂ සහිත සෛල ආධාරයෙන්. ජෙලිෆිෂ් අඬු, මිනිස් ශරීරයේ ස්පර්ශ වූ විට, මෙම විෂ සහිත ඒකක මිලියන ගණනක් සම සිදුරු කරගෙන සමට ඇතුළුවීමට පුළුවන්. මෙම ඒකක ජෙලිෆිෂ්ගේ අඬුවලින් නිකුත් වන්නේ ඒ අඬු තුළ වර්ග අඟලට රාත්තල් 2000 ක පමණ පීඩනයක් ඇතිවීමෙන්. එසේ නිකුත්වන සෛල වලින් ශරීරය පසාරු වූ පසු විෂ නිකුත් කෙරෙනවා. සමහර ජෙලිෆිෂ් විශේෂ මඳ විෂ හෝ විෂ රහිත වුනත්, සමහරු ඉතා විෂ සහිතයි. ඒ විෂ අධික වේදනාවක් ඇති කරන අතර, සමහර විට රෝගියා මිය යාමට පවා පුළුවන්. මෙසේ වන්නේ රෝගියා ආසාත්මිකතාවයකට පත් වී කම්පනයට පත්වීමෙන් (anaphylexis).  මෙසේ වූ විට රෝගියා වහාම ජලයෙන් ඉවතට ගෙන ප්‍රතිවිෂ ඖෂධ ලබා දිය යුතුයි. මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ජෙලිෆිෂ්ගේ ජෙලි වැනි ශරීරය ස්පර්ෂ වීමෙන් විෂ ශරීරගත නොවන බවත් ඔවුන්ගේ අඬු ස්පර්ශවීමෙන්  විෂ ශරීරගත වන බව යන කරුණයි.

ජෙලිෆිෂ්ගේ විෂ සෛල

ප්‍රතිකාර

ජෙලිෆිෂ් විෂවීමකදී කළ යුතු දෑ තුන් වැදෑරුම් වේ.

1. රෝගියා බේරාගැනීමට ජලයට බසින අය ජෙලිෆිෂ් ස්පර්ශ වීමෙන් වැළකීම……..

2. නෙමටෝසිස් සෛල අක්‍රිය කිරීම සහ

3. රෝගියාට ඇණී ඇති ජෙලිෆිෂ් අඬු ඉවත් කිරීම.

අත් බෙහෙත් ලෙස 3% – 10% විනාකිරි වලින් ස්පර්ශ වූ ස්ථාන සේදීමෙන් විෂ පැතිරීම අඩු කරගත හැකියි. විනාකිරි නැතිනම් ලුණු වතුර ද එකසේ කාර්යක්‍ෂමතාවයක් දක්වනවා. එසේම මුහුදු ජෙලිෆිෂ් ආක්‍රමණයක් සිදු වූ විට මිරිදියෙන් සේදුව හොත් විෂ පැතිරීම වැඩි විය හැකියි. මද්‍යසාර, ඇමෝනියා, හෝ මුත්‍ර ආදියද සමහර ජෙලිෆිෂ් විෂ පැතිරවීමට දායක විය හැකියි. මේ නිසා විෂ වූයේ කුමන වර්ගයේ ජෙලිෆිෂ් විශේෂයක් දැයි නොදැන මෙම ද්‍රව්‍ය වලින් සේදීම රෝගියා තවත් විපතේ හෙලීමක් විය හැකියි.

අඬු ඉවත් කිරීමෙන් ‍විෂ සහිත නෙමටෝසිස් සෛල ඉවත් කළ හැකියි.  මේ සඳහා පිහියක්, ක්‍රෙඩිට් කාඩ් පතක් වැනි ඝනකම ඇති තලයක් සහිත උපකරණයකින්  අනතුරට පත් ස්ථානය සූරා දැමිය හැකියි. සමහරු වැල්ලේ වැවෙන බිංතඹුරු පැලෑටියේ කොළ කොටා අනතුරට පත් ස්ථානයේ ගල්වනවා. මේ සියල්ලෙන්ම සිදු කෙරෙන්නේ විෂ පැතිරීම අඩු කිරීමත්, ජෙලිෆිෂ් අඬු සහ නෙමටෝසිස් සෛල  ඉවත් කිරීමත් යන කරුණුයි.

රෝගියා ආසාත්මිකතා ලක්‍ෂණ පෙන්වයි නම්, පිරිටන්, බෙනඩ්‍රිල් හෝ සර්ටෙක් වැනි ප්‍රතිහිස්ටැමීන් (antihistamine) ‍ඖෂධ ලබා දීමෙන් රෝගියා කම්පනයට පත් වීම වලකා ගත හැකියි. තවදුරටත් විෂ පාලනයට අනතුරට පත් ස්ථානය බේකිං සෝඩා පැලැස්තරයක් සේ තනා එම ස්ථානය ආවරණය කිරීමෙන් කළ හැකියි. මේ අතරම රෝගියා ‍රෝහලක් වෙත ගෙනයාමේ කර්තව්‍යය අමතක කරන්නත් එපා. මක් නිසාද යත්  කුමන ජෙලිෆිෂ් වර්ගයක ආක්‍රමණයක් සිදු වීදැයි ඔබ නොදන්නා නිසා. බොහෝ විට Ephinephrine වැනි තරමක් ක්‍රියාකාරී ආසාත්මිකතා දුරලන ඖෂධ ලබා දිය හැක්කේ රෝහලකදී පමණක් බැවින්  එසේ කිරීම කාගේත් ඇඟට ගුණයි.

අවසාන වශයෙන් කිවයුත්තේ ජෙලිෆිෂ් යනු පන්න පන්නා පහර දෙන සත්ත්‍වයෙක් නොවන බවත්, ඔවුන්ගේ අඬු මිනිස් ශරීරයේ ස්පර්ෂ වුනොත් පමණක් විෂ ශරීරගත විය හැකි බවත්ය. එසේම සෑම ජෙලිෆිෂ් වර්ගයක්ම විෂ සහිත නොවන බවත් මතක තබා ගන්න. සමහර ජෙලිෆිෂ් වර්ග වඳවී යන සත්ත්‍ව කොට්ඨාස ලෙස සලකනු ලබනවා. කෙසේ වුවත් ඔබ ජෙලිෆිෂ් වැනි නොදන්නා සත්ත්‍වයෙක් සමඟ ගැටීමට, ඇල්ලීමට යාම නුසුදුසුයි. මක් නිසාද යත් ඔවුන් විෂ සහිතද විෂ රහිතද යන්න අප කවුරුත් නොදන්නා නිසා.

ඉතින් වැරදිලාවත් ජෙලිෆිෂ් විෂ ශරීරගත වුනොත්, ඉහත දැක්වූ දේ පිළිපදින්න…. අත්දුටුවයි සත්තයි… පණ පිටින් හිටියොත් කොමෙන්ටුවක් දාන්න…. දන්න දන්න අත් බොහෙත් තියෙනවා නම් ඒ බවත් මෙතන ලියන්න… එක මිනිහෙක් හරි මරණයෙන් බේර ගන්න පුළුවන් නම්.. ඒක හැමෝටම හොඳයිනේ…….

මෙහෙම කිවුවයි කියලා මුහුදට බහින්නේ නැතිව ඉන්න එපා….

ගන්න ගන්න පෙජරෝ, මොන්ටෙරෝ, ලැම්බෝගිනී, කැමෙරෝ….. ලාබයි ලාබයි…. ගොඩම දහයයි…….

අපේ ජනාධිපති තුමා නම් මාර පොරකි, ලෝක අණ්ඩයෙකි, තුන්කල් දක්නා නුවණ ඇති මහා පණ්ඩිතයෙකි….. මම මෙහෙම කියන්නේ හේතු කීපයක් මතයි. හැමතැනම ජනාධිපතිතුමා, ජනාධිපතිතුමා, ජනාධිපතිතුමා කිය කිය ලියන්න බැරි නිසා ඇමරිකාවෙ පිළිවෙලට මම හැමෝගෙම මුල් නම් වලින් කතා කරනවා. බලධාරියා මාව කපන එකක් නෑකියලා හිතනවා

මුලින්ම මහින්ද කළේ චන්ද්‍රිකාට ගේම දීමය.. ඒ ගේමේ හැටි කියලා වැඩක් නැති අතර චන්ද්‍රිකාට අන්තිමට වුනේ රනිල්ගේ පණ නැති නැට්ටේ එල්ලෙන්නටය…

ඊලඟට මහින්ද කළ අණ්ඩපාල වැඩෙන් අමාරුවේ වැටුනේ අසරණ ප්‍රභාය. මහින්ද, පොරට මිලියන ගානක් දී (පත්තරවල තිබුණෙ.. මාව අල්ලගන්න එපා ඇත්ත නැත්ත හොයන්න) රනිල්ට ලැබෙන්න තිබුණ දෙමළ ඡන්ද ටිකට ගේම දුන්නේය… ඉන් පසු කරුණාගේ අයියා ලවා මාවිල් ආරු ටැප් එක වැස්සුවේය…. අන්තිමට ප්‍රභා නන්දිකඩාල් කලපුවේ පොරව පාර කනවිට අසා තිබුණේද ” කව්ද යකෝ මාවිල් ආරුව වැහැව්වේ ?” කියලා ය කියා අහල පහල සිටි කොමාන්ඩෝ විරුවෙක් කාටද කියා තිබුනේය…

ඊලඟට මහින්ද කළේ ජනතා විමුක්ති ‍පෙරමුණ දන්තාමුක්ත කිරීමය. විමල්  සහ නන්දන වින්දන මහින්දගේ සාක්කුවේය. Till-Win  කවදා හෝ දිනන තුරු බොතල් මූඩි ගලවමින් සිටී…. සෝමවංශ අංකල් සහෝදරයා මොනවා වුනාදැයි සිතමින් නන්නත්තාරව ඇත. ඉඳලා හිටලා අක්කාගේ ස්පොට් එක පැත්තේ යන බව කවුදෝ දැක ඇත. ඉස්සර තිබුණ බොළඳ දාර්ශනික අදහස් ජවිපේ දැන් නැත. ඒ වෙනුවට ඇත්තේ “පොන‍්සේකාට කළ වැඩය නිසා වැස්ස වලාහක දෙවිඳුන්  කෝප වී ඇත” යනාදී සුපිරි දාර්ශනික අදහස් පමණි, රෝහණ විජේවීර ජීවත්ව සිටියා නම් මේවා දැක සියතින්ම වෙඩි තබාගෙන බොරැල්ලේ ආදාහනාගාරයට පනින බව මට හොඳටෝම සහතිකය .

ඒ අතරම  මහින්ද ජනරාල් පොන්සේකා ඉල්ලාගෙන කන තැනට වැඩ සැලැස්වීමද කිරීමට අමතක කළේ නැත… අන්තිමට දෙවන නිදහස සමරන විට පොන්සේකා කොහේද නැත… ඒ ජවනිකා පෙළ තවමත් දිග හැරෙන අතර, නීතිමය තත්ත්‍වයන් නිසා ඒ පිළිබඳ වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැක… මහින්දගේ ඊලඟ පරපුරද වැඩට බැස ඇත.. නාමල් මල්ලී සංගක්කාරගේ සෙලිබ්‍රිටි ටීම් එකටත් ගැහුවාය කියා ආරංචියක් ඇත……

මෙන්න මේ හේතු නිසා අපේ මහින්ද ජනාධිපති තුමා මාර පොරකි, ලෝක අණ්ඩයෙකි. තුන්කල් දක්නා නුවණ ඇති මහා පණ්ඩිතයෙකි.

මෙතුමා අපි සැමට ලඟදී දීපු ගේම අයින්ස්ටයින්ට වඩා unit 16 ක් පහලින් IQ එකක් ඇති මගේ ටිකිරි මොලේටත් මීටර් වුනේ සතියක් ඉක්ම ගිය පසුය.. අපේ ජනාධිපතිතුමාගේ වැඩ අන්න එහෙමය…අද මගේ ලිපියේ නිමිත්ත එයය…. මේ මගේ ටිකිරි මොළයට හිතෙන හැටිය…

මුලින්ම රජය කළ දේට ප්‍රශංසා කළ යුතුමය… නවක මන්ත්‍රීතුමන්ලාට පාර්ලිමේන්තුවට පැමිණීම වස් අළුත් වාහන ගැනීම පිණිස වාහන සඳහා ණය ගැනීමේ සීමාව $ 35,000 සිට $50,000 දක්වා වැඩි කරගත්තේය. වඩාත් ප්‍රශංසා කළ යුත්තේ අන් සියළු දේටම විරුද්ධ විපක්‍ෂය මේ කරුණ සම්බන්ධයෙන් රජය සමඟ අත්වැල් බැඳ ගැනීමයි…. අනේ…. අනිත් දේවලටත් ඔහොම වෙනව නම් කොච්චර ෂෝක්ද ? ඒත්, පළමු වතාවෙ පත්වෙච්ච මන්ත්‍රීවරු රුපියල්  මිලියන 5 ක් කොහෙන් කියලා හොයන්නද ඔය ණය බේරන්න ? මාසෙකට ලක්‍ෂය ගානෙ පඩියක් ලැබිලා ඒ ඔක්කොම ඉතිරි කරත් අවුරුදු 4යි මාස දෙකක් යනවා ණය ගෙවලා ඉවර කරන්න…. ඒ මදිවට 18% ක බද්දකුත් දාලා ඒ අසරණ මිනිස්සුන්ට..

ඔන්න ඔය අතරෙ තමයි මහින්ද මහත්තයට ගණදෙවි නුවණ පහල වෙන්නේ. දඩිබිඩියේ වාහන බද්ද අඩු කළා තුන්සිය ගානෙන් එකසිය ගානට.. මෙන්න තියෙනවා විස්තරේ…

බදු පහළ දැමූ හැටි

දැන් මේ බදු අඩුකිරීමෙන් වෙන්නේ මොනවාද ? සාමාන්‍යයෙන් රුපියල් මිලියන 5 ක වාහනයක මිල මිලියන 3 කට විතර අඩු වෙනවා. එතකොට ඉස්සර මිලියන 7ක් පමණ වෙච්චි වාහනයක් දැන් මිලියන 5 කට ගන්න පුළුවන් වෙනවා.. එහෙම නේද ?ඒ කියන්නේ නාමල් මල්ලිට දැනට තියෙන කැමිරෝ බම්බල් බී එක වෙනුවට ලැම්බෝගිනී මර්සිලාගෝඑකක් සාමාන්‍ය මුදලට ගන්න පුළුවන් වෙන එක නේද ? අන්න… තුන්කල් දක්නා නුවණ.

මෙන්න මෙහෙම කටකතාවක් යනවා රට පුරාම.. මේ බදු අඩුකිරීම කරලා තියෙන්නේ ලබන අයවැය තෙක් පමණයි කියලා. ඒ නිසා ගෙදර උගස් තියලා හරි වාහනයක් ගන්න… නැත්නම් මේ කපේදී ආයෙ වාහනයක් ගන්නවා බොරු… හැබැයි මම අද කතාකරනේනේ මේ එක මගුලක්වත් ගැන නොවෙයි… මේ බදු අඩුකිරීම රටට බලපාන්නේ කෙසේද කියලා…

ලංකාවෙ පාරවල් පොහොම පටුයි. පටු අදහස් ඇති සුද්දා හදපු පාරවල් වල තාර දදා හිටපු පාලකයො හිතුවෙත් නෑ පාරවල් පුළුල් කරන්න. එහෙම කළාම ඡන්ද ටික අඩු වෙන නිසා හිතුනත් කළේ නෑ. කරන්න හදපු එකෙකුට කරන්න දුන්නෙත් නෑ. මේ නිසාම උතුමාණන් වහනසේගෙ විවෘත ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඉන්දීය සාගරේ මුතු ඇටේ ආසියාවෙ ජන්ක් යාඩ් එක බවට පත් වුනා.  පටු පාරවල් වල හැටට හැටේ යනකොට වටපිට ඉන්න මහජනතාව ‍ඒ වාහනවල ඇමිණිලා නොමිලේම නිවන් ගිය අවස්ථා ඕන තරම් මේ රටෙන් වාර්තා වෙලා තියෙනවා.

ඒ වගේම අද කොයි වෙලෙත් පාරෙ වාහන තදබදය,  පාරෙ යන්න බෑ කබල් වාහනවල දුම, අපරාදෙ කියන්න බෑ සිගරැට් බොන්න වියදම් කරන්නේ නැතුවම පෙනහළු පිළිකා හදාගන්න පුළුවන්. ඒ වගේම උදේ 8.00 ට වැඩට ඉන්න නම් අවම වශයෙන් උදේ 6.00 ට වත් ගෙදරින් යන්න ඕන. හැතැක්ම 20ක් යන්න අවම වශයෙන් පැය දෙකක් වත් ගත වෙනවා. මේ නිසාම සහ ආණ්ඩුවේ අසූකෙළක් වූ ඇමතිවරු, බිරින්දෑන්, ළමා ලපටි, නිලධාරීන් ආදිය පෝෂණය කරන්න වාහනවලට ඇති බද්ද 350% ක් පමණ ඉහල ගියා. මේ නිසා වාහන වල මිල ඉහල ගිය අතර මිල මුදල් යහතින් ඇති අය වාහන මිලදී ගත්තා. හැබැයි වැඩේ කියන්නේ මේ බොහොමයක් වාහන ජපානයේ පට්ට ගහලා ලංකාවට එවපු වාහන.. කර්මාන්තශාලාවෙන් උණුඋණුවේ එළියට දාපු වාහනයක් ගන්න සාමාන්‍ය මනුස්සයෙකුට බෑ . ඒ වුනාට දැන් ඉන්දියාවෙ නිෂ්පාදිත මරුටියක බද්ද 183% සිට 90% දක්වා අඩු කරලා. මෙය එක අතකට ඉහල මධ්‍යම පාන්තිකයන්ට වාහනයක් හිමිකරගන්න අවස්ථාවක්… ඒ එක පැත්තක්……

‍අනෙක් කාරණය තමයි වාහන වැඩි වෙන්න වෙන්න පිච්චෙන ඉන්ධන ප්‍රමාණයත් අනුලෝමව ඉහළ යනවා. මෙහිදී පිච්චෙනවා කිව්වේ පරිභොජනයට අමතරව. ලංකාවෙ ඉන්ධන පරිභෝජනයෙන් සෑහෙන ප්‍රමාණයක් වාහන තදබදය නිසා අපතේ යනවා. මෙන්න මේ තත්ත්‍වය අඩු කළේ නැත්තම් කොපමණ බදු අඩු කළත් රටට ඉන් සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ වගේම පරණ වාහන ඉන්ධන පරිභෝජනය අතින් ඉතාම අවාසිදායකයි. මේ වාහන එක්කෝ පාරවල් වලින් අයින් කිරීම හෝ නව වාහන වලට මාරුකිරීමේ ක්‍රමයක් ගෙන ආ යුතුයි. මා මෙම බදු අඩුකිරීමේ සටහනේ දුටු එක අඩුපාඩුවක් වන්නේ Electric වාහන හෝ Hybrid වාහන වලට සුවිශේෂ බදු සහන ඉදිරිපත් කර නොමැති වීම. Electric වාහන වලට ලබා දී ඇති සහනය 20% යි. මෙය ඉතා මෝඩ ක්‍රියාවක්. ඒ වාහන පරිසර දූෂණය අවම ඉතා ලාභදායී වාහන. මේවා දීර්ඝකාලීනව වාසි ගෙනදෙන ඒවා. මෙවන් වාහන ගෙන්වීම දිරිමත් කළ යුතුමයි. අනෙක් කාරණය Hybrid වාහන. සාමාන්‍යයෙන් Hybrid වාහනයක් පැයට සැතැප්ම 40කට අඩු වේගයක් රඳවාගෙන ධාවනය කරන විට ඉන්ධන පරිභෝජනය  අවමයි. ලංකාවේ සාමාන්‍ය වේග සීමා බොහොමයක් මීට වඩා අඩුයි. එසේ නම් Hybrid වාහන ගෙන්වීම දිරිමත් කිරීම ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ද ලාභදායකයි. මෙම බදු සහන සටහන පිළියෙල කළ පුද්ගලයා ඒ ගැන දන්නේ නැති හැඩයි.

ඒ වගේම විද්‍යුත් උපකරණ වල බදු සහනය කාලෝචිත පියවරක්. මේ මගින් විදුලිය පිරිමැහෙන නව උපකරණ රට තුළට ගෙන්වීම සිදු වෙනවා. ඒ වගේම ඉවත දමන උපකරණ ප්‍රතිචක්‍රීකරණයත් කළ යුතුයි. ඒ උපකරණවල පරිසරයට හානිදායක ලෝහවර්ග අඩංගුයි. මේවා නිසිලෙස ඉවත් නොකළ හොත් ඒ ද්‍රව්‍ය පරිසරයට එක් විය හැකියි. එසේම මෙම නව විදුලි උපකරණ නිසා ඇති වන විදුලිබල ඉල්ලුම සපුරාලීමට පරිසරයට හිතකර ලාභදායී විදුලි ප්‍රභවයන් කෙරෙහි අවධානය රජය යොමු කළ යුතුයි….

අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

ආචාර්ය උපාධියක් ලබා ගන්නේ කොහොමද ? දෙවන කොටස………දැන් වැඩ පටන්ගන්න කාළය හරි…..

මම මීට මාසයකට පමණ පෙර ආචාර්ය උපාධියක් ලබාගන්න බලාපොරොත්තු වෙන අයට මූලික අඩිතාලම පිළිබඳ සරළ විග්‍රහයක් කළා. දැන් අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීෂ්ම කාළයයි. මේ වන විට විශ්ව විද්‍යාල සියල්ලම පාහේ සිය උපාධි ප්‍රදානෝත්සව හමාර කරලා ඊලඟ අධ්‍යාපන වර්ෂයට සැරසෙන කාළයයි. එමෙන්ම විශ්ව විද්‍යාලවල අවසාන වසරේ සිසුන් ද තම අනාගත උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ තවදුරටත් සැලසුම් කරන කාළයයි.

Sky is the Limit

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක අය-වැය සකසන්නේ මනා සැලසුමක් අනුවයි. ඊලඟ වසරට ඇතුලත් කරගන්නා සිසුන් සංඛ්‍යාව, ඔවුනට වැය කරන මුදල් ප්‍රමාණය, බඳවා ගන්නා නව ආචාර්ය වරුන් සංඛ්‍යාව වැනි සියල්ල හොඳින් සලකා බලා සකසන මෙම ලියවිලි අනුව කටයුතු කිරීමට සෑම අංශ ප්‍රධානියෙක් මෙන්ම සෑම සේවකයෙක්ම බැඳී සිටිනවා. ඒ නිසාම ඔවුන් කල් යල් බලා සැලසුම් ඉදිරිපත් කරනවා. මේ අනුව 2011 අගෝස්තු/සැප්තැම්බර් මසින් ඇරඹෙන නව පාසල් වසරට බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව දැනටමත් ගණනය කර අවසන්. විශේෂයෙන්ම ආචාර්ය උපාධි අපේක්‍ෂකයන් සඳහා වේතනයක් ඒ ඒ අධ්‍යයනාංශය මගින් ගෙවන නිසා ඔවුන් අපේක්‍ෂකයන් කීදෙනෙකු බඳවා ගන්නවා දැයි දැනටමත් තීරණය කර අවසන්. මේ අපේක්‍ෂකයන් අතරට යම් ප්‍රමාණයක් විදේශීය සිසුනුත් ඇතුලත්. ඔබ අයත් වන්නේ මේ විදේශීය සිසු කුලකයටයි.

මේ විදේශීය සිසු කුලකය ඉතා පුළුල් පරාසයකට විහිදෙනවා. ඉන්දීය සහ චීන සිසුන් මේ තරඟයේ ඉතාම ඉදිරියෙන් සිටිනවා. ඔවුන් ඉගෙනීමේදී ඉතා තරඟකාරී සිසුන් කොට්ඨාසයක්. ඉන්දීය සිසුන්ගේ ඉංග්‍රීසි දැනුමද ඉතාම ඉහල මට්ටමක තිබෙනවා. ඔබ තරඟ කරන්නේ මෙන්න මෙවන් සිසු කණ්ඩායමක් සමඟ. ඔබ විදේශීය විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිය සඳහා තේරීමට නම් මේ සිසුන් අතරේ ඔබ ඉදිරියෙන්ම සිටිය යුතු වෙනවා.

ආචාර්ය උපාධියක් හැදෑරීමේදී බොහෝ විෂයධාරාවන්හි සිසුන්හට වියදමට සරිලන වේතනයක් ලබා දෙනු ලබනවා. විද්‍යා විෂයයන්හි මෙය ඉතා ඉහළ මුදලක් වන අතර අනෙක් විෂයයන් සඳහා එම මුදල අඩු වුවත් වෙනත් ආකාරයෙන් සිසුන්ට ජීවත්වීමට සරිලන මුදලක් ලබා දීමට සෑම විශ්ව විද්‍යාලයක්ම බැඳී සිටිනවා. මේ වෙනුවෙන් සිසුන් එක්කෝ මේ හේතුව නිසා බොහෝ විදේශීය සිසුන් අමෙරිකානු උසස් අධ්‍යාපනය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා. එසේම අමෙරිකානු ආචාර්ය උපාධිය වසර 4-6 දක්වා කාළයක් ගතවන කටයුත්තක්. එක්සත් රාජධානියේ මේ සඳහා ගතවන කාළය මීට වඩා අඩු වුවත් ඉගෙන ගන්නා දේ වල සහ ක්‍රමයේ සුවිශාල වෙනස්කම් තිබෙනවා.

අමෙරිකානු විශ්ව විද්‍යාලවලට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවීම අරඹන්නේ ඊට පෙර වසරේ අගෝස්තු-සැප්තැම්බර් මාසවල සිටයි. එනම් 2011 දී බඳවා ගන්නා සිසුන් 2010 අගෝස්තුවල සිට අයැදුම් කළ යුතු වෙනවා. බොහොමයක් විශ්ව විද්‍යාල කටයුතු පරිගණක ගත කර ඇති නිසා ඒ ඒ අධ්‍යයනාංශ වල සහ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවි වලින් අදාල අයදුම්පත බාගත හැකි වනවා. එමෙන්ම ඒ සමඟම ඊට අදාල උපදෙස් මාලාව අඩංගු විස්තරයද බාගත කිරීමට අමතක කරන්න එපා. මක් නිසාද යත් අසම්පූර්ණ අයදුම්පතක් යැවීම යනු ඔබේ අයදුම්පත ප්‍රතික්‍ෂේප කිරීමට ඔබ ඔවුනට පළමු අවස්ථාව ලබාදීමයි.

ඔබ අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන විෂයධාරාව අනුව සහ විශ්ව විද්‍යාලයේ අවශ්‍යතා අනුව ඔබ කළයුතු කඩඉම් විභාග වෙනස් වනවා. මා දන්නා අයුරින් විද්‍යා විෂයයන් ගෙන් ආචාර්ය උපාධිය හැදෑරීමට ඔබ අනිවාර්යයෙන් TOEFL සහ GRE යන විභාග දෙක ඉහලින් සමත්විය යුතුයි. එක් එක් විශ්ව විද්‍යාලයේ මට්ටම අනුව එම විභාගවලින් ඔවුන් බලාපොරොත්තු වන ලකුණු වෙනස් වනවා, තවත් සමහර විශ්ව විද්‍යාල වලට GRE Subject Test  සහ  TSE යන විභාග පවා උවමනායි.  මේ විභාග ආවට ගියාට සමත් වන්න බැහැ. එක විභාගයකට සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් 120 ක් පමණ උවමනායි. එමෙන්ම මාස ගණනාවක පුහුණුවක් අවශ්‍යයි. මේ සඳහා පුහුණු පන්ති Royal Institute සහ American College of Higher Education යන ආයතනවල පැවැත්වෙනවා. ඒවාට සහභාගීවී හොඳින් සූදානම් වී විභාගවලට මුහුණ දීමෙන්, නැවත නැවතත් එම විභාගයන්ට ලිවීමේ අවශ්‍යතාවය නැතිව යනවා. TOEFL නම් වලංගු වන්නේ වසර දෙකකට පමණයි. GRE  එක වරක් කළ පසු එය ශාස්ත්‍රපති (MSc) සහ ආචාර්ය උපාධිය (Ph.D.) යන දෙකටම වලංගු වෙනවා.

මෙම විභාග වලට සූදානම් වන අවස්ථාව වන විට ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන පාඨමාලාව, විශ්ව විද්‍යාලය ආදිය පිළිබඳ හොඳ අවබෝධයක් ඉලක්කයක් ලබා සිටිය යුතුයි. එමෙන්ම එම විශ්ව විද්‍යාලවලට අයැදුම්පත් යවා හෝ යැවීමට සූදානම්කර හෝ තිබිය යුතුයි. ඒ මෙන්න මේ හේතුව නිසා. GRE සහ TOEFL විභාග අවසානයේ ඔබට කැමති විශ්වවිද්‍යාල 4 කට ඔබේ ලකුණු නොමිලේ යැවීමේ අවස්ථාව උදා වෙනවා. එසේ නොවුව හොත් ඔබ එම ලකුණු යවන සෑම අවස්ථාවකම  ඒ සඳහා මුදල් ගෙවිය යුතුව තිබෙනවා. ඒ නිසා මේ නොමිලේ ලැබෙන අවස්ථාව පැහැර හරින්න එපා.

මා පෙර ලිපියේ සඳහන් කළ පරිදි, ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා තරමක ඉහල ලකුණු මට්ටමක් සහිතව ඔබ මූලික උපාධිය සමත් විය යුතුයි. ප්‍රථම පන්තියේ හෝ දෙවන පන්තියේ ඉහල සාමාර්ථයක් සහිත නම් ඔබට වඩා පහසුයි. එසේ නොමැති නම් ඔබ ‍බොහෝ දුරට ශාස්ත්‍රපති උපාධියක් (MSc) කළ යුතුව තිබෙනවා.

ඒ සඳහා ඔබ සූදානම් විය යුත්තේ මෙහෙමයි. ඔබ දන්නා අඳුනන කෙනෙක් ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන විෂයධාරාවෙන් ආචාර්ය උපාධියක් කරනවා නම් ඔහු/ඇය ගෙන් තොරතුරු ලබා ගන්න. එසේ නැතිනම් Google භාවිතයෙන් ඔබ කැමති විෂයධාරාව පිළිබඳ මනා අධ්‍යයනයක යෙදෙන්න. එසේ කළ පසු ඔබට ඒ සඳහා හොඳ යැයි හැඟෙන විශ්ව විද්‍යාල කිහිපයක් සොයා ගැනීමට අපහසු වන්නේ නැහැ. ‍  අමෙරිකානු විශ්ව විද්‍යාල කාර්තු කිහිපයකට වෙන්කර තිබෙනවා. ඒ වර්ග කිරීම මෙතැනින් බලන්න. පළමු කාර්තුවේ ඇති විශ්ව විද්‍යාල වනුයේ Harvard, MIT, UCLA, Princeton, Yale, UC-Berkley, Stanford, වැනි ඉහල ගණයේ විශ්ව විද්‍යාලයි. මේවාට ඇතුළු වීමට ඉතා ඉහළ මට්ටමේ මූලික උපාධියක් සහ සියයට සියයක්  ආසන්නයේ GRE , TOEFL ලකුණු අවශ්‍යයි. ඉතින් ඔබ මේ තත්ත්‍වයේ සිසුවෙක්/සිසුවියක් නම් පළමු කාර්තුවේ විශ්ව විද්‍යාලවලට අයැදුම් කරන්න… බඳවා ගැනීමේ සම්භාවිතාවය නම් ඉතාම අඩුයි. බැරිවෙලාවත් ලැබුනොත් ඔබේ වාසනාව… හොඳින් වැඩ කරගෙන යන්න, ලැබුන අවස්ථාව පැහැර හරින්න එපා.

එසේ විශ්ව විද්‍යාල කිහිපයක් තෝරාගත් පසු ඒ ඒ අධ්‍යයනාංශයට අදාල වෙබ් අඩවියෙන් ඔබ ආචාර්ය උපාධිය හැදෑරීමට කැමති විෂය ක්‍ෂෙත්‍රයට අදාල මහාචාර්යවරුන්ගේ වෙබ් අඩවි හොඳින් හදාරන්න. ඔබ යමෙකු යටතේ පර්යේෂණ කිරීමට රුචි නම් ඒ බව ඔහුට/ඇයට දන්වා විද්‍යුත් තැපැල් මගින් සම්බන්ධ වන්න, ඔවුන්ට ඔබ කවුදැයි හඳුන්වා දී ඔබේ ජීව දත්ත සටහනක්, ඔබ කිරීමට බලාපොරොත්තු වන විෂයයන් ආදිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සමඟින් ඔවුන්ට ලියන්න. මෙසේ ලියන විට හැකි තරම්  නිවැරදිව, වෘත්තීය මට්ටමින් ලියන්න. පිළිතුරු පමාවුවත් කලබල වෙන්න එපා, බොහොමයක් දෙනා අධික වැඩ රාජකාරි ඇති උදවිය. සතියක් පමණ කල් දී නැවත ලියන්න. සමහර විට ඒ ඒ අංශයේ ලේකම් තනතුර දරන පුද්ගලයා හෝ Graduate Students Director සම්බන්ධ කරගත හැකියි. එවිට ඔබට ඇති සියළු ප්‍රශ්න, නොතේරෙන තැන් ආදිය එම පුද්ගලයාගෙන් දැනගත හැකියි. මේ සියල්ල නිරාකරණය කරගෙන අයදුම්පත නිවැරදිව හැකිතරම් අංග සම්පූර්ණව පුරවන්න. GRE TOEFL ලකුණු විභාගය කළ පසු කෙළින්ම ලැබෙන්න සලස්වන බව ඔවුනට දන්වන්න.

මෙම අයදුම්පත් පිරවීමේදී ඔබට පෞද්ගලික විස්තරයක් (Personal Statement) ලියන්න සිදු වනවා. මෙය ඔබේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව, ඔබගේ අනාගත බලාපොරොත්තු, ඔබේ සංවිධාන ශක්තිය ආදී නොයෙක් පරාමිතීන් උරගා බලන ලියවිල්ලක්. මෙය හොඳින් ලියන තරමට ඔබේ අයදුම්පත පිළිගැනීමේ සම්භාවිතාවය වැඩියි. මේ නිසා මෙය හොඳින් ලියා හොඳින් ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නා පුද්ගලයෙකු ලවා නිවැරදි කරගැනීම ඉතා යෝග්‍යයි.

එසේම ඔබට දන්නා හඳුනන පුද්ගලයන් තිදෙනෙක්ගෙන් ඔබ පිළිබඳ ලිපි තුනක් (Reference letters) අදාල විශ්ව විද්‍යාලවලට යැවීමට සිදු වෙනවා. මේ සඳහා ඔබ ඉගෙනගත් මහාචාර්යවරු තිදෙනෙක් ඔබට තෝරාගත යුතුයි. මේ තිදෙනා ඔබ හොඳින් දන්නා, එසේම ඔබ සමඟ මනා සම්බන්ධතාවයක් ඇති අය වීම ඉතා යෝග්‍යයි. එසේම ඔවුන් ඔබ වෙනුවෙන් ලිපියක්/ලිපි කිහිපයක් ලිවීමට තරම් ඔබට සමීප අය විය යුතුයි.

මෙසේ ඔබේ අයදුම්පත සම්පූර්ණ කළ පසු එය තැපෑලේ යැවිය හැකියි. එසේම, සමහර විශ්ව විද්‍යාලවල අයදුම්පතේ මූලික කොටස් වෙබ් අඩවියේම පුරවා (Online submission) ඉදිරිපත් කළ හැකියි. එසේ හැකි නම් එය වඩාත් පහසු මෙන්ම ඉක්මන් කර්තව්‍යයක් ද වෙනවා. එවිට ඔබ සම්පූර්ණ කළයුත් ලිපි ලේඛණ පිළිබඳ ඔවුන් දන්වා එවීමටත් යුහුසුළු වෙන අතරම ඔබේ අයදුම්පත ඇත්තේ කොතැනද යන්න බලාගැනීමටත් හැකියි. ‍මතක තබා ගතයුතු තවත් කාරණාවක් වන්නේ බොහෝ විශ්ව විද්‍යාල මෙම අයදුම්පත් සළකාබැලීමේ ක්‍රියාවලිය සඳහා ඩොලර් 35-75 අතර මුදලක් අය කරනු ලබනවා. ඒ නිසා ඔබ හොඳින් සලකා බලා ඔබට යාමට හැකි, ඔබට යාමට අවශ්‍ය විශ්ව විද්‍යාල කිහිපයක් සඳහා එකවර අයැදුම් කිරීම කළ යුතුයි. මක් නිසාද යත් ඔබ ඉල්ලුම් කරන පළමු විශ්ව විද්‍යාලයෙන්ම ඔබව බඳවා ගැනීම කරාවි යැයි සිතන්න අපහසු නිසා.

මෙ‍සේ අයදුම්පත සම්පූර්ණ කරන අතරතුර ඔබට පළමු මාස කිහිපයේ මූල්‍යමය පහසුකම් සපයාගැනීමට අවශ්‍ය මුදල් ඔබ සතුව ඇතැයි සනාථ කිරීමට Financial Statement එකක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. මේ සඳහා ඔබ මාස කිහිපයකට පෙර අවම වශයෙන් රු: ලක්‍ෂ 5 ක් ($ 5000) සමාන මුදලක් බැංකුවක තැන්පත් කර තබා බැංකුවෙන් සහතිකයක් ලබා ගෙන ඉදිරිපත් කළ යුතුයි.

මෙසේ සියල්ල සම්පූර්ණ කරන අතරතුර හොඳින් GRE සහ TOEFL සමත් වී ඒ ලකුණු අදාල විශ්ව විද්‍යාලවලට යැවීමට කටයුතු කරන්න. මේ අතරතුර අදාල විශ්ව විද්‍යාලවල ඔබ පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන මහාචාර්යවරු සමඟ දිගින් දිගටම සම්බන්ධය පවත්වාගන්න. මෙය එක අතකින් ඔබේ අයදුම්පත පිළිගැනීමේ සම්භාවිතාවය වැඩි කරන අතර සමහර මහාචාර්යවරු කෙළින්ම ඔබව බඳවා ගැනීමට කැමැත්ත පළ කර අධ්‍යයනාංශයට ඒ බව දන්වා ඔබේ බඳවා ගැනීම ඉක්මන් කරනවා. මේ සියළු කටයුතු අගෝස්තු-නොවැම්බර් වන විට නිමකළ හැකි නම් ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා. බොහෝ අධ්‍යයනාංශ ඊලඟ වසරට ආචාර්ය උපාධි අපේක්‍ෂකයන් බඳවාගැනීම සඳහා සාකච්ඡා කෙරෙන පළමු හමුවීම්  වටය පවත්වන්නේ නොවැම්බර් මාසයේදී, එසේම ඊලඟ වසරේ පෙබරවාරි වන විට සියල්ල සම්පූර්ණ කර අවසන්….

මෙසේ සියල්ල සම්පූර්ණ වූ පසු ඔබ බඳවා ගතහොත් ඔබට  I-20 නම් ලියවිල්ලක් එවනු ලබනවා. ඔබ එය අත්සන් කර යවන තෙක් ඔබේ ශිෂ්‍යභාවය වලංගු වන්නේ නැහැ. ඔබට I-20 කිහිපයක් විශ්ව විද්‍යාල කිහිපයකින් ලැබුන හොත් හෝ ඔබව විශ්ව විද්‍යාල කිහිපයකින් ඇතුලත් කරගැනීමටහැකි බව දන්වා එවුව හොත් ඉන් ඔබ වඩා යෝග්‍ය විශ්ව විද්‍යාලය තෝරාගෙන, අනෙක් විශ්ව විද්‍යාලවලට ඔබ නොඑන බව දන්වා යැවීමට තරම් කාරුණික විය යුතුයි. මක් නිසාද යත් ඔබේ අයදුම්පත එම විශ්ව විද්‍යාලයට ලැබුන දා සිට ඔබ වෙනුවෙන් බොහෝ දෙනෙකු මහන්සි වන නිසා. එසේම ඔබ සමඟ ගණුදෙනු කළ පුද්ගලයන්ට ඔබේ තීරණය දන්වා ඔවුනට ස්තුති කරන්නත් අමතක කරන්න එපා.

මෙසේ ඔබේ බඳවා ගැනීම සම්පූර්ණ වූ පසු ඔබට වීසා ලබා ගැනීමට අමෙරිකානු තානාපති කාර්යාලයට යා යුතුයි. ඒ පිළිබඳ සියළු තතු මෙතනින් ලබාගන්න

ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම මෙතැන් සිට ඔබට බාරයි. ඔබ යන්නේ වෙනත් රටකට, ඒ රටවල් අනුව හැඩගැසී ඔබේ අනන්‍යතාවය තබාගෙන ඉගෙනීම සාර්ථක කරගන්න…

Happy Graduates

ඔබට ජය..

නොතේරෙන යමක් තිබේ නම් අපි සාකච්ඡා කරමු……

පිස්සු හැදෙන සඳ…. උසස් පෙළ විෂය නිර්දේශය, විභාගය පාසල් සිසුන්ට අමාරුලු….එහෙම කියන්නේ උසස් පෙළ ගුරුවරයෙක්….

ඔන්න Daily Mirror පත්තරේ මරු Joke එකක් දාලා, ඕන නම් සබැඳුම ඔස්සේ ගිහින් බලන්න… ඒ ලිපියේ එක කොටසක මෙන්න මෙහෙම තියෙනවා.

” Economics Teacher Herath Banda said that there is a perception among students that his subject is a difficult one today.

Mr. Banda who works at Sumana Balika Vidyalaya, Ratnapura pointed out that the syllabus is also advanced for the students.”

බණ්ඩා මහත්තයා හිතන් ඉන්නේ සිරි ලංකාව තවම තියෙන්නේ එකදාස් නවසිය බර ගණන් වල කියලා. ලෝකය බොහෝ දුර ඉදිරියට ගිහින්. වෙනත් රටවල දෙකේ පන්තියෙ පොඩි එවුන් තමන්ගෙම අදහස් අනුව පින්තූර, වීඩියෝ ආදිය හදලා පන්තියේ ව්‍යාපෘති වලට ඉදිරිපත් කරන කාළයක් මේ. පහේ පන්තියේ පොඩි එවුන් නැනෝතාක්‍ෂණය ඉගෙන ගන්න කාළයක් මේ. මට හිතෙන විදියට පාසලේ ළමයින්ට නොවෙයි, බණ්ඩා මහතාටයි විෂය නිර්දේශයේ කරුණු තේරුම්ගන්න බැරි වෙලා තියෙන්නේ.මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි අද මගේ ලියමනේ නිමිත්ත.

ඇත්තටම අද අපේ උසස් පෙළ ළමයින්ට විෂයයන් අමාරුද ? දශක ගණනාවක් තිස්සේ උසස් පෙළට තිබුණ විෂයයන් 4  ‍මෑතකදී අඩු වුනා 3 කට. මේ නිසා ළමයින්ට පාඩම් කළ යුතු ප්‍රමාණයේ අඩුවීමක් වුනාද කියලා කියන්න මම නම් දන්නේ නැහැ. ඒත් එය මානසිකව විෂයයන් 3 කට අඩු වීම නම් සෑහෙන දුරට සහනයක් වෙන්න ඇති. ඒත් මටනම් බණ්ඩා මහතා එක්ක එකඟ වෙන්න බොහොම අමාරුයි…. ඒ හේතු කීපයක් මත…

විෂය නිර්දේශ හෝ විභාග පහසුයි කියලා කිසිම ශිෂ්‍යයෙක් කවමදාකවත් කියන්නේ නැහැ. ඒ වගේම විෂය නිර්දේශය පහසු වෙලා විභාගයත් පහසු වෙනකොට විශ්ව විද්‍යාල පිවිසුම්  කඩඉම් ලකුණු කීයක් වෙයිද ? එමෙන්ම, විභාග අපහසු නම් මෙපමණ ප්‍රමාණයක් සිසුන් විභාග සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් අහිමි වෙන කී දෙනෙක් ඉන්නවද ? විභාග අපහසු නම් සිසුන් විශාල සංඛ්‍යාවක් විභාගය අසමත් වෙලා විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු මට්ටම අඩු කරන්න වෙනවා නේද ?

මම නම් හිතන්නේ විභාග අමාරු නැති බවයි. එසේම මගේ මතය නම්, දැනට පවතින විෂය නිර්දේශ අළුත් කරුණු අනුව සංශෝධනය විය යුතුයි. අප සිටින්නේ 2010 වසරේ.. ලෝකය ඉදිරියට යනවා විනා පසුපසට යන්නේ නැහැ. ඒ නිසා අළුත් දේ ඉගෙනීම බොහොම වටිනවා. ඒ වගේමයි මූලික උපාධිය හදාරලා උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන සිසුන්ට  හෝ පෞද්ගලික අංශයේ රැකියා සඳහා යන අයට බණ්ඩා මහතා ඉගෙනගත් පරණ විෂය නිර්දේශයෙන් වැඩක් තියේද කියලා ඒ මහතාටම හිතන්න වෙනවා.

සිසුන්ට විභාග අමාරු නම් කොහොමද විශ්ව විද්‍යාල ප්‍රවේශයට මේ තරම් තරගයක් ? එසේ නම් ඇයි කඩඉම් ලකුණු සංඛ්‍යාව හැම වසරේම ඉහල යන්නේ ? විශ්ව විද්‍යාලවලට සිසුන් අඩු වුනා කියලා කවදාවත් අහලා තියෙනවාද ? බණ්ඩා මහතා ගැන මට ඇත්තටම දුකයි. ඒ මහතාගේ තර්කය බොහොම බොළඳ තර්කයක්.

විය යුත්තේ ගුරුවරයා දැනුවත් වීමයි. ගුරුවරු කරන්නේ හැමදාම තමන් උගන්වන දේ පන්තියට ඇවිත් repeat කරන එකයි. කිසිම අළුත් දැනුමක් ලබා ගන්න වෙහෙසෙන්නේ නැහැ. එමෙන්ම රජයෙන් ගුරුවරු දැනුවත් කරන පාඨමාලා කෙරෙනවත් අඩුයි. මෙන්න මේ නිසා ගුරුවරයාගේ දැනුම එකතැන පල් වෙනවා. ඒ නිසාම ශිෂ්‍යයාත් අළුතෙන් යමක් ඉගෙන ගන්නේ නැහැ. මේ තත්ත්‍වය ලංකාවේ පාසල් වලට පමණක් නොවෙයි, විශ්ව විද්‍යාලවලට පවා පොදුයි. මේ දෙගොල්ලොම ගමන් දන්නදේ දෙසාබානවා මිසක් ශිෂ්‍යයා පාඩමට සම්බන්ධ කරගැනීම කෙරෙනවා හරිම අඩුයි. එමෙන්ම ශිෂ්‍යයාත් නොතේරෙන තැන ගුරුවරයාගෙන් අහනවා අඩුයි. මොකද කියනවා නම් සමහර ගුරුවරු ඇඟට කඩන් පනින නිසාත් ගුරු-සිසු සම්බන්ධය ගැන ගුරුවරයා කෙරෙහි සිසුවා තුළ ඇති ආකල්පය බිස මුසු ආකල්පයක් නිසාත් යන කරුණු නිසා. මේ නිසා සිසුවා පෞද්ගලික පන්තියේ ගුරුවරයාට ඉතා සමීපයි. ඔහු විහිළුවෙන් හෝ වෙනයම් ක්‍රමයකින් (එහෙමත් නැත්නම් මුදල් ගෙවලා ඉගෙන ගන්න නිසා) සිසුවාගේ අවධානය කෙසේ හෝ පාඩමට යොමු කරවා ගන්නවා. ඒ වුනත් මෙහිදී ද සිසුවා පාඩම කෙරෙහි සක්‍රීය සහභාගීත්‍වයක් දරනවා හරි අඩුයි.

ලංකාවෙ ගුරුවරුන්ට නවතම ඉගැන්වීමේ ක්‍රම වලට නිරාවරණය වීමේ අවස්ථා හරි අඩුයි. මෙයට ප්‍රධාන හේතුව අධ්‍යාපන බලධාරීන්ගේ නොදැනුවත්කම. බොහොමයක් අධ්‍යාපන නිලධාරීන් දේශපාලන බලපුළුවන්කාරකම් වලින් ඒ තැන්වලට ආ උදවිය. ඒ අය නවතම අධ්‍යාපන ක්‍රම ගැන නොවෙයි අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා වත් හරියට නොදන්න අය. ඉතින් කොහොමද අධ්‍යාපනේ ගොඩගන්නේ ?

ප්‍රශ්න පදනම්කරගත් ඉගෙනීම, එහෙමත් නැත්තම් සිංහලෙන් කියන විදියට Problem Based Learning අද ලෝකයේ සාර්ථක අධ්‍යාපන රටාවක්. මෙය හැම විටම කරන්න බැරි වුනත් සිසුන් පාඩමට සක්‍රීයව සහභාගි කරවා ගැනීමට, ගුරුවරයාට සිසුන්ගේ දැනුම මට්ටම උරගා බැලීමට පාවිච්චි කළ හැකි කදිම ක්‍රමයක්. මා හිතන අන්දමට ලංකාවේ කොතැනකවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ හෝ අත්හදා බැලෙන්නේ නැහැ. මට හිතෙන විදියට ගුරුවරුන්ට පඩි සහිතව දෙන පාසල් නිවාඩුව ගෙවල්වල ළමයි බලාගන්නවට වඩා වැදගත් වැඩකට යොදා ගන්නවා නම් මෙහෙම ප්‍රශ්න ඇති වන්නේ නැහැ. ඒ වැදගත් වැඩය නම්, ගුරුවරු නව පාසල් වාරයට, නව වසරට නව දැනුමින් සන්නද්ධ කිරීම. එහෙම වෙනකොට ගුරුවරුන්ටත් නවතාවයක්, තමන් නැවතත් යමක් ඉගෙන ගන්නවා කියලා හැඟෙනවා.

Problem Based Learning Process

අනෙක් කාරණය තමයි ලංකාවටම බලපාන “වගකීම් නොගැනීමේ ‍රෝගය”… ලංකාවෙ ජනාධිපතිගෙ ඉඳලා කසළ ශෝධකයා දක්වා රාජ්‍ය සේවයේ නියැලෙන කිසිම කෙනෙක් තමන්ගේ ක්‍රියා වලට වගකීමක් දරන්නේ නැහැ. වෛද්‍යවරුන් ‍තම අත්වැරැද්දකින් රෝගියෙකු අනතුරට පත් වුනොත් හෝ මියගියොත් වැරැද්ද වෙනුවෙන් වගකීමක් දරන්න සූදානම් නැහැ. හෙදියෝ රෑට රන් දෙපැය බලනකොට සූත්‍රිකාගාරයේ වැසිකිළියේ ගර්භණී අම්මලා දරුවන් ප්‍රසූත කරනවා. ගිලන් රථයෙන් අමාරු රෝගියෙක් වෙනත් රෝහලකට රැගෙන යන විට, ඒ රථයේ රියැදුරා සහ හෙදියෝ තේ බොන්න කඩවල් ගානේ යනවා, ගිහින් එනකොට ලෙඩා මැරිලා…. මෙන්න මේ වගේ වැඩ ලංකාවෙ සිද්ධ වෙන්නේ….

මෙන්න මේ දේවල් නවත්වන්න, සියළුම රාජ්‍ය සේවකයන් තම සේවාව ලබා ගන්නා අය අතින් අඛණ්ඩ ඇගයීමකට ලක් විය යුතුයි. උදාහරණයක් හැටියට: හෙදියක් නම්, ඇය සත්කාර කරන රෝගියා සුව වී නිවස බලා යන අවස්ථාවේ පිරවීමට ඇගයීම් පෝරමයක් ලබා දිය යුතුයි. එම ඇගයීම්, එම හෙදියගේ ඊලඟ වැටුප් වර්ධකය හෝ උසස්වීම ලබාදීමේදී සැලකිල්ලට ගත යුතුයි. මෙසේම පාසල් සිසුන්ටද වාරය අවසානයේ ගුරුවරුන්ගේ ඉගැන්වීම ආශ්‍රිත ඇගැයීමක් පිරවීම සඳහා බා දිය යුතුයි. මෙවැනි ඇගයීම් අමෙරිකානු විශ්ව විද්‍යාලවල ගුරු සහායකයින් (Teaching Assistants) හට පවා සිදු කෙරෙනවා. මෙය මහා වියදම් යන කාරණයක් නොවෙයි. එසේ වියදම් ගියත්, ඉන් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා ලාභදායකයි.

ලංකාවෙ සිසුන්ට විභාග අමාරුයි කියලා ප්‍රශ්න වලින් ගැලවෙන්න නොවෙයි, ප්‍රශ්නයට පිළියම් හොයන එකයි වැදගත්, ටියුෂන් ගුරුවරයෙක් වෙලා හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාටත් මේ අධ්‍යාපන ක්‍රමය ගොඩ දාන්න බැරි නම්, සක්කරයගේ පුතා වයිමාට තමයි මේ අවනඩුව කියන්න වෙන්නේ……