පිස්සු හැදෙන සඳ…. උසස් පෙළ විෂය නිර්දේශය, විභාගය පාසල් සිසුන්ට අමාරුලු….එහෙම කියන්නේ උසස් පෙළ ගුරුවරයෙක්….

ඔන්න Daily Mirror පත්තරේ මරු Joke එකක් දාලා, ඕන නම් සබැඳුම ඔස්සේ ගිහින් බලන්න… ඒ ලිපියේ එක කොටසක මෙන්න මෙහෙම තියෙනවා.

” Economics Teacher Herath Banda said that there is a perception among students that his subject is a difficult one today.

Mr. Banda who works at Sumana Balika Vidyalaya, Ratnapura pointed out that the syllabus is also advanced for the students.”

බණ්ඩා මහත්තයා හිතන් ඉන්නේ සිරි ලංකාව තවම තියෙන්නේ එකදාස් නවසිය බර ගණන් වල කියලා. ලෝකය බොහෝ දුර ඉදිරියට ගිහින්. වෙනත් රටවල දෙකේ පන්තියෙ පොඩි එවුන් තමන්ගෙම අදහස් අනුව පින්තූර, වීඩියෝ ආදිය හදලා පන්තියේ ව්‍යාපෘති වලට ඉදිරිපත් කරන කාළයක් මේ. පහේ පන්තියේ පොඩි එවුන් නැනෝතාක්‍ෂණය ඉගෙන ගන්න කාළයක් මේ. මට හිතෙන විදියට පාසලේ ළමයින්ට නොවෙයි, බණ්ඩා මහතාටයි විෂය නිර්දේශයේ කරුණු තේරුම්ගන්න බැරි වෙලා තියෙන්නේ.මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි අද මගේ ලියමනේ නිමිත්ත.

ඇත්තටම අද අපේ උසස් පෙළ ළමයින්ට විෂයයන් අමාරුද ? දශක ගණනාවක් තිස්සේ උසස් පෙළට තිබුණ විෂයයන් 4  ‍මෑතකදී අඩු වුනා 3 කට. මේ නිසා ළමයින්ට පාඩම් කළ යුතු ප්‍රමාණයේ අඩුවීමක් වුනාද කියලා කියන්න මම නම් දන්නේ නැහැ. ඒත් එය මානසිකව විෂයයන් 3 කට අඩු වීම නම් සෑහෙන දුරට සහනයක් වෙන්න ඇති. ඒත් මටනම් බණ්ඩා මහතා එක්ක එකඟ වෙන්න බොහොම අමාරුයි…. ඒ හේතු කීපයක් මත…

විෂය නිර්දේශ හෝ විභාග පහසුයි කියලා කිසිම ශිෂ්‍යයෙක් කවමදාකවත් කියන්නේ නැහැ. ඒ වගේම විෂය නිර්දේශය පහසු වෙලා විභාගයත් පහසු වෙනකොට විශ්ව විද්‍යාල පිවිසුම්  කඩඉම් ලකුණු කීයක් වෙයිද ? එමෙන්ම, විභාග අපහසු නම් මෙපමණ ප්‍රමාණයක් සිසුන් විභාග සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් අහිමි වෙන කී දෙනෙක් ඉන්නවද ? විභාග අපහසු නම් සිසුන් විශාල සංඛ්‍යාවක් විභාගය අසමත් වෙලා විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු මට්ටම අඩු කරන්න වෙනවා නේද ?

මම නම් හිතන්නේ විභාග අමාරු නැති බවයි. එසේම මගේ මතය නම්, දැනට පවතින විෂය නිර්දේශ අළුත් කරුණු අනුව සංශෝධනය විය යුතුයි. අප සිටින්නේ 2010 වසරේ.. ලෝකය ඉදිරියට යනවා විනා පසුපසට යන්නේ නැහැ. ඒ නිසා අළුත් දේ ඉගෙනීම බොහොම වටිනවා. ඒ වගේමයි මූලික උපාධිය හදාරලා උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන සිසුන්ට  හෝ පෞද්ගලික අංශයේ රැකියා සඳහා යන අයට බණ්ඩා මහතා ඉගෙනගත් පරණ විෂය නිර්දේශයෙන් වැඩක් තියේද කියලා ඒ මහතාටම හිතන්න වෙනවා.

සිසුන්ට විභාග අමාරු නම් කොහොමද විශ්ව විද්‍යාල ප්‍රවේශයට මේ තරම් තරගයක් ? එසේ නම් ඇයි කඩඉම් ලකුණු සංඛ්‍යාව හැම වසරේම ඉහල යන්නේ ? විශ්ව විද්‍යාලවලට සිසුන් අඩු වුනා කියලා කවදාවත් අහලා තියෙනවාද ? බණ්ඩා මහතා ගැන මට ඇත්තටම දුකයි. ඒ මහතාගේ තර්කය බොහොම බොළඳ තර්කයක්.

විය යුත්තේ ගුරුවරයා දැනුවත් වීමයි. ගුරුවරු කරන්නේ හැමදාම තමන් උගන්වන දේ පන්තියට ඇවිත් repeat කරන එකයි. කිසිම අළුත් දැනුමක් ලබා ගන්න වෙහෙසෙන්නේ නැහැ. එමෙන්ම රජයෙන් ගුරුවරු දැනුවත් කරන පාඨමාලා කෙරෙනවත් අඩුයි. මෙන්න මේ නිසා ගුරුවරයාගේ දැනුම එකතැන පල් වෙනවා. ඒ නිසාම ශිෂ්‍යයාත් අළුතෙන් යමක් ඉගෙන ගන්නේ නැහැ. මේ තත්ත්‍වය ලංකාවේ පාසල් වලට පමණක් නොවෙයි, විශ්ව විද්‍යාලවලට පවා පොදුයි. මේ දෙගොල්ලොම ගමන් දන්නදේ දෙසාබානවා මිසක් ශිෂ්‍යයා පාඩමට සම්බන්ධ කරගැනීම කෙරෙනවා හරිම අඩුයි. එමෙන්ම ශිෂ්‍යයාත් නොතේරෙන තැන ගුරුවරයාගෙන් අහනවා අඩුයි. මොකද කියනවා නම් සමහර ගුරුවරු ඇඟට කඩන් පනින නිසාත් ගුරු-සිසු සම්බන්ධය ගැන ගුරුවරයා කෙරෙහි සිසුවා තුළ ඇති ආකල්පය බිස මුසු ආකල්පයක් නිසාත් යන කරුණු නිසා. මේ නිසා සිසුවා පෞද්ගලික පන්තියේ ගුරුවරයාට ඉතා සමීපයි. ඔහු විහිළුවෙන් හෝ වෙනයම් ක්‍රමයකින් (එහෙමත් නැත්නම් මුදල් ගෙවලා ඉගෙන ගන්න නිසා) සිසුවාගේ අවධානය කෙසේ හෝ පාඩමට යොමු කරවා ගන්නවා. ඒ වුනත් මෙහිදී ද සිසුවා පාඩම කෙරෙහි සක්‍රීය සහභාගීත්‍වයක් දරනවා හරි අඩුයි.

ලංකාවෙ ගුරුවරුන්ට නවතම ඉගැන්වීමේ ක්‍රම වලට නිරාවරණය වීමේ අවස්ථා හරි අඩුයි. මෙයට ප්‍රධාන හේතුව අධ්‍යාපන බලධාරීන්ගේ නොදැනුවත්කම. බොහොමයක් අධ්‍යාපන නිලධාරීන් දේශපාලන බලපුළුවන්කාරකම් වලින් ඒ තැන්වලට ආ උදවිය. ඒ අය නවතම අධ්‍යාපන ක්‍රම ගැන නොවෙයි අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා වත් හරියට නොදන්න අය. ඉතින් කොහොමද අධ්‍යාපනේ ගොඩගන්නේ ?

ප්‍රශ්න පදනම්කරගත් ඉගෙනීම, එහෙමත් නැත්තම් සිංහලෙන් කියන විදියට Problem Based Learning අද ලෝකයේ සාර්ථක අධ්‍යාපන රටාවක්. මෙය හැම විටම කරන්න බැරි වුනත් සිසුන් පාඩමට සක්‍රීයව සහභාගි කරවා ගැනීමට, ගුරුවරයාට සිසුන්ගේ දැනුම මට්ටම උරගා බැලීමට පාවිච්චි කළ හැකි කදිම ක්‍රමයක්. මා හිතන අන්දමට ලංකාවේ කොතැනකවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ හෝ අත්හදා බැලෙන්නේ නැහැ. මට හිතෙන විදියට ගුරුවරුන්ට පඩි සහිතව දෙන පාසල් නිවාඩුව ගෙවල්වල ළමයි බලාගන්නවට වඩා වැදගත් වැඩකට යොදා ගන්නවා නම් මෙහෙම ප්‍රශ්න ඇති වන්නේ නැහැ. ඒ වැදගත් වැඩය නම්, ගුරුවරු නව පාසල් වාරයට, නව වසරට නව දැනුමින් සන්නද්ධ කිරීම. එහෙම වෙනකොට ගුරුවරුන්ටත් නවතාවයක්, තමන් නැවතත් යමක් ඉගෙන ගන්නවා කියලා හැඟෙනවා.

Problem Based Learning Process

අනෙක් කාරණය තමයි ලංකාවටම බලපාන “වගකීම් නොගැනීමේ ‍රෝගය”… ලංකාවෙ ජනාධිපතිගෙ ඉඳලා කසළ ශෝධකයා දක්වා රාජ්‍ය සේවයේ නියැලෙන කිසිම කෙනෙක් තමන්ගේ ක්‍රියා වලට වගකීමක් දරන්නේ නැහැ. වෛද්‍යවරුන් ‍තම අත්වැරැද්දකින් රෝගියෙකු අනතුරට පත් වුනොත් හෝ මියගියොත් වැරැද්ද වෙනුවෙන් වගකීමක් දරන්න සූදානම් නැහැ. හෙදියෝ රෑට රන් දෙපැය බලනකොට සූත්‍රිකාගාරයේ වැසිකිළියේ ගර්භණී අම්මලා දරුවන් ප්‍රසූත කරනවා. ගිලන් රථයෙන් අමාරු රෝගියෙක් වෙනත් රෝහලකට රැගෙන යන විට, ඒ රථයේ රියැදුරා සහ හෙදියෝ තේ බොන්න කඩවල් ගානේ යනවා, ගිහින් එනකොට ලෙඩා මැරිලා…. මෙන්න මේ වගේ වැඩ ලංකාවෙ සිද්ධ වෙන්නේ….

මෙන්න මේ දේවල් නවත්වන්න, සියළුම රාජ්‍ය සේවකයන් තම සේවාව ලබා ගන්නා අය අතින් අඛණ්ඩ ඇගයීමකට ලක් විය යුතුයි. උදාහරණයක් හැටියට: හෙදියක් නම්, ඇය සත්කාර කරන රෝගියා සුව වී නිවස බලා යන අවස්ථාවේ පිරවීමට ඇගයීම් පෝරමයක් ලබා දිය යුතුයි. එම ඇගයීම්, එම හෙදියගේ ඊලඟ වැටුප් වර්ධකය හෝ උසස්වීම ලබාදීමේදී සැලකිල්ලට ගත යුතුයි. මෙසේම පාසල් සිසුන්ටද වාරය අවසානයේ ගුරුවරුන්ගේ ඉගැන්වීම ආශ්‍රිත ඇගැයීමක් පිරවීම සඳහා බා දිය යුතුයි. මෙවැනි ඇගයීම් අමෙරිකානු විශ්ව විද්‍යාලවල ගුරු සහායකයින් (Teaching Assistants) හට පවා සිදු කෙරෙනවා. මෙය මහා වියදම් යන කාරණයක් නොවෙයි. එසේ වියදම් ගියත්, ඉන් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා ලාභදායකයි.

ලංකාවෙ සිසුන්ට විභාග අමාරුයි කියලා ප්‍රශ්න වලින් ගැලවෙන්න නොවෙයි, ප්‍රශ්නයට පිළියම් හොයන එකයි වැදගත්, ටියුෂන් ගුරුවරයෙක් වෙලා හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාටත් මේ අධ්‍යාපන ක්‍රමය ගොඩ දාන්න බැරි නම්, සක්කරයගේ පුතා වයිමාට තමයි මේ අවනඩුව කියන්න වෙන්නේ……

4 thoughts on “පිස්සු හැදෙන සඳ…. උසස් පෙළ විෂය නිර්දේශය, විභාගය පාසල් සිසුන්ට අමාරුලු….එහෙම කියන්නේ උසස් පෙළ ගුරුවරයෙක්….

  1. කතාව ඇත්ත. අපි ළමයින්ට ලේසි වෙන්න කියලා විෂය නිර්දේශය අඩු කළොත් හරි විභාග ලේසි කළොත් අන්තිමට දෙමව්පියන්ගෙයි ගුරුවරුන්ගෙයි උවමනාවට තමයි විභාග තියන්න වෙන්නේ. එතකොට දක්ෂ ළමයට අසාධාරනයක් වෙනවා. කිසිම වැඩක් නොකර ඉදලාත් විභාග පාස්වෙන් තරමට එයි. එතකොට මහන්සි වෙලා ඉගෙනගෙන විතරක් නෙවෙයි බාහිර ක්‍රියාකාරකම් වල පවා උනන්දුවෙන් යෙදෙන් ළමයින්ට සම්පූර්ණ අසාධාරණයක් වෙනවා.

    මම නම් හිතන්නේ පාලකයින් කවුරුන් හෝ මුලින්ම කළ යුත්තේ ගුරුවරුන්ගේ මානසික තත්වය නැංවීමයි. මොකද 70% ක් ම ගුරුවරු බලන්නේ කොහොම හරි විෂය නිර්දේශය ඉවර කරන්න. ඒක තමන්ට හෝ ළමයින්ට හොදින් වැටහෙනවද කියලවත් ‍ඒ අය දන්නේ නැහැ.

    මම දන්න ගුරුවරියක් ඉන්නවා, මම හිතන්නේ පත්වීම ගත්තේ දැනට අවුරුදු 3 කට විතර කළින්. මම දන්න විදිහට ඇයට වෙනත් රැකියාවකට වුනත් සුදුසුකම් තියෙනවා. (Charted Accountancy). ඉතින් මම ඇහුවා ඇයි මේ රැකියාව තොරගත්තේ කියලා. කියපු හේතුව තමයි නිවාඩු තිබීම, සවස 2 න් පසුව ගෙදර ගිහිල්ලා තමන්ගේ වැඩ කර ගැනීමේ පහසුව සහ අවුරුද්දට මාස 3 ක් තනිකරම නිවාඩු තිබීම.

    මේ ළගදි ඇයට පොඩි අවස්ථාවක් ලැබුනා පරිගනක ආධාරක ඉගැන්වුම් සදහා පුහුණුවීමකට මා සේවය කරන ආයතනයේ. ඇය ගත් කටටම කිව්වේ අනේ මට නම් එන්න වෙන්නේ නැහැ, සෙනසුරාදා දවස එයාගේ නිවාඩු දවසක් නිසා කියල.

    ඉතින් නිකමට හිතන්න මෙයාගෙන් ඉගෙන ගන්න ළමයින්ට මොනවා වෙයිද?

  2. ඔබ දෙදෙනාගේම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. මේක තමයි ලංකාවෙ ඇත්ත තත්ත්‍වය.. මේ හැමෝම කරන්නේ ඇඟ බේරගන්න එකයි… .බොහොමයක් ගුරුවරු ඔබ කියපු අන්දමේ අය වුනත් ඇත්තටම උගන්වන්න හැකියාවක් උවමනාවක් ඇති අය නැතුවාම නොවෙයි…
    ගුරුවරුන්ගේ මානසික තත්ත්‍වය නංවනවා කියලා තවත් මොනවද කළ හැක්කේ? ඔවුන්ට මාස තුනක් පඩි සහිත නිවාඩුත් පැය 8 ක් වෙනුවට පැය 6 ක වැඩ දිනයකුත් දීලා තියෙනවා. එකම වෙනස අතිකාල දීමනා නැති එකයි.
    මීට වඩා incentives දෙන්න ගියොත් අනික් සේවකයො පාරට බහිනවා… ඒ මදිවම ගුරුවරුන් දැන් strike කරන්නත් පටන් අරන්… මගේ දෙමවුපියෝ සහ නෑදෑයෝ බොහොමයක් ගුරුවරු තමයි. ඒත් මම වුනත් ඔවුන් සමහරක්ගේ ඉගැන්වීම සහ attitude එක අනුමත කරන්නේ නැහැ….

    1. ගුරුවරුන්ගේ මානසිකත්වය නැංවීම කියල මම අදහස් කළේ දීමනා හෝ නිවාඩු වැඩි කිරීම නෙවෙයි. මෙතනදි විය යුත්තේ ආකලුප වර්ධනයක්. ඔවුන් ගුරු වෘත්තියට පැමිණිය යුත්තේ ඒ තුලින් දරුවන්ට ඉගැන්වීම තුලින් තමන්ට තෘප්තියක් ලැබීමට හැකිනම් යන ආකල්පය ඇති කළ යුතුයි.

      මම කළින් කිව් ආකාරයේ නොවන බොහොම කැපවීමෙන් උගන්වන ගුරුවරුන්ද සිටින බවට මාත් එකගයි. මම මෙතන ගුරුවරුන් සමග තරහක් පිරිමසා ගන්නවා නොවෙයි, මොකද මගේ මවත් පියාත් දෙදෙනාම විශ්‍රාමික ගුරුවරු.

      නමුත් මීට අවුරුදු 10-15 එපිට සිටි ගුරුවරුන්ට වඩා දැන් ගුරුවරුන්ගේ කැපවීම සහ වගකීමකින් කටයුතු කිරීමේ හැකියාව අඩුයි කියල මම නම් හිතනවා.

      ගුරුවරුන් ස්ට්‍රයික් කිරීම නම් මම කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. වමට සිග්නල් දාලා දකුණට හරවන ජෙප්පෝ තමයි මේක පිටිපස්සේ නම් ඉන්නේ. උන්ට ඕනෙ දුප්පත් අහිංසක මිනිසුන්ගේ දරුවන්ට තියෙන නොමිලේ ඉගෙනගැනීමේ අයිකියත් තමන්ගේ පටු දේශපාලන පැවැත්ම සදහා යොදාගැනීමට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )