ආචාර්ය උපාධියක් ලබා ගන්නේ කොහොමද ? දෙවන කොටස………දැන් වැඩ පටන්ගන්න කාළය හරි…..

මම මීට මාසයකට පමණ පෙර ආචාර්ය උපාධියක් ලබාගන්න බලාපොරොත්තු වෙන අයට මූලික අඩිතාලම පිළිබඳ සරළ විග්‍රහයක් කළා. දැන් අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීෂ්ම කාළයයි. මේ වන විට විශ්ව විද්‍යාල සියල්ලම පාහේ සිය උපාධි ප්‍රදානෝත්සව හමාර කරලා ඊලඟ අධ්‍යාපන වර්ෂයට සැරසෙන කාළයයි. එමෙන්ම විශ්ව විද්‍යාලවල අවසාන වසරේ සිසුන් ද තම අනාගත උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ තවදුරටත් සැලසුම් කරන කාළයයි.

Sky is the Limit

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක අය-වැය සකසන්නේ මනා සැලසුමක් අනුවයි. ඊලඟ වසරට ඇතුලත් කරගන්නා සිසුන් සංඛ්‍යාව, ඔවුනට වැය කරන මුදල් ප්‍රමාණය, බඳවා ගන්නා නව ආචාර්ය වරුන් සංඛ්‍යාව වැනි සියල්ල හොඳින් සලකා බලා සකසන මෙම ලියවිලි අනුව කටයුතු කිරීමට සෑම අංශ ප්‍රධානියෙක් මෙන්ම සෑම සේවකයෙක්ම බැඳී සිටිනවා. ඒ නිසාම ඔවුන් කල් යල් බලා සැලසුම් ඉදිරිපත් කරනවා. මේ අනුව 2011 අගෝස්තු/සැප්තැම්බර් මසින් ඇරඹෙන නව පාසල් වසරට බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව දැනටමත් ගණනය කර අවසන්. විශේෂයෙන්ම ආචාර්ය උපාධි අපේක්‍ෂකයන් සඳහා වේතනයක් ඒ ඒ අධ්‍යයනාංශය මගින් ගෙවන නිසා ඔවුන් අපේක්‍ෂකයන් කීදෙනෙකු බඳවා ගන්නවා දැයි දැනටමත් තීරණය කර අවසන්. මේ අපේක්‍ෂකයන් අතරට යම් ප්‍රමාණයක් විදේශීය සිසුනුත් ඇතුලත්. ඔබ අයත් වන්නේ මේ විදේශීය සිසු කුලකයටයි.

මේ විදේශීය සිසු කුලකය ඉතා පුළුල් පරාසයකට විහිදෙනවා. ඉන්දීය සහ චීන සිසුන් මේ තරඟයේ ඉතාම ඉදිරියෙන් සිටිනවා. ඔවුන් ඉගෙනීමේදී ඉතා තරඟකාරී සිසුන් කොට්ඨාසයක්. ඉන්දීය සිසුන්ගේ ඉංග්‍රීසි දැනුමද ඉතාම ඉහල මට්ටමක තිබෙනවා. ඔබ තරඟ කරන්නේ මෙන්න මෙවන් සිසු කණ්ඩායමක් සමඟ. ඔබ විදේශීය විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිය සඳහා තේරීමට නම් මේ සිසුන් අතරේ ඔබ ඉදිරියෙන්ම සිටිය යුතු වෙනවා.

ආචාර්ය උපාධියක් හැදෑරීමේදී බොහෝ විෂයධාරාවන්හි සිසුන්හට වියදමට සරිලන වේතනයක් ලබා දෙනු ලබනවා. විද්‍යා විෂයයන්හි මෙය ඉතා ඉහළ මුදලක් වන අතර අනෙක් විෂයයන් සඳහා එම මුදල අඩු වුවත් වෙනත් ආකාරයෙන් සිසුන්ට ජීවත්වීමට සරිලන මුදලක් ලබා දීමට සෑම විශ්ව විද්‍යාලයක්ම බැඳී සිටිනවා. මේ වෙනුවෙන් සිසුන් එක්කෝ මේ හේතුව නිසා බොහෝ විදේශීය සිසුන් අමෙරිකානු උසස් අධ්‍යාපනය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා. එසේම අමෙරිකානු ආචාර්ය උපාධිය වසර 4-6 දක්වා කාළයක් ගතවන කටයුත්තක්. එක්සත් රාජධානියේ මේ සඳහා ගතවන කාළය මීට වඩා අඩු වුවත් ඉගෙන ගන්නා දේ වල සහ ක්‍රමයේ සුවිශාල වෙනස්කම් තිබෙනවා.

අමෙරිකානු විශ්ව විද්‍යාලවලට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවීම අරඹන්නේ ඊට පෙර වසරේ අගෝස්තු-සැප්තැම්බර් මාසවල සිටයි. එනම් 2011 දී බඳවා ගන්නා සිසුන් 2010 අගෝස්තුවල සිට අයැදුම් කළ යුතු වෙනවා. බොහොමයක් විශ්ව විද්‍යාල කටයුතු පරිගණක ගත කර ඇති නිසා ඒ ඒ අධ්‍යයනාංශ වල සහ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවි වලින් අදාල අයදුම්පත බාගත හැකි වනවා. එමෙන්ම ඒ සමඟම ඊට අදාල උපදෙස් මාලාව අඩංගු විස්තරයද බාගත කිරීමට අමතක කරන්න එපා. මක් නිසාද යත් අසම්පූර්ණ අයදුම්පතක් යැවීම යනු ඔබේ අයදුම්පත ප්‍රතික්‍ෂේප කිරීමට ඔබ ඔවුනට පළමු අවස්ථාව ලබාදීමයි.

ඔබ අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන විෂයධාරාව අනුව සහ විශ්ව විද්‍යාලයේ අවශ්‍යතා අනුව ඔබ කළයුතු කඩඉම් විභාග වෙනස් වනවා. මා දන්නා අයුරින් විද්‍යා විෂයයන් ගෙන් ආචාර්ය උපාධිය හැදෑරීමට ඔබ අනිවාර්යයෙන් TOEFL සහ GRE යන විභාග දෙක ඉහලින් සමත්විය යුතුයි. එක් එක් විශ්ව විද්‍යාලයේ මට්ටම අනුව එම විභාගවලින් ඔවුන් බලාපොරොත්තු වන ලකුණු වෙනස් වනවා, තවත් සමහර විශ්ව විද්‍යාල වලට GRE Subject Test  සහ  TSE යන විභාග පවා උවමනායි.  මේ විභාග ආවට ගියාට සමත් වන්න බැහැ. එක විභාගයකට සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් 120 ක් පමණ උවමනායි. එමෙන්ම මාස ගණනාවක පුහුණුවක් අවශ්‍යයි. මේ සඳහා පුහුණු පන්ති Royal Institute සහ American College of Higher Education යන ආයතනවල පැවැත්වෙනවා. ඒවාට සහභාගීවී හොඳින් සූදානම් වී විභාගවලට මුහුණ දීමෙන්, නැවත නැවතත් එම විභාගයන්ට ලිවීමේ අවශ්‍යතාවය නැතිව යනවා. TOEFL නම් වලංගු වන්නේ වසර දෙකකට පමණයි. GRE  එක වරක් කළ පසු එය ශාස්ත්‍රපති (MSc) සහ ආචාර්ය උපාධිය (Ph.D.) යන දෙකටම වලංගු වෙනවා.

මෙම විභාග වලට සූදානම් වන අවස්ථාව වන විට ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන පාඨමාලාව, විශ්ව විද්‍යාලය ආදිය පිළිබඳ හොඳ අවබෝධයක් ඉලක්කයක් ලබා සිටිය යුතුයි. එමෙන්ම එම විශ්ව විද්‍යාලවලට අයැදුම්පත් යවා හෝ යැවීමට සූදානම්කර හෝ තිබිය යුතුයි. ඒ මෙන්න මේ හේතුව නිසා. GRE සහ TOEFL විභාග අවසානයේ ඔබට කැමති විශ්වවිද්‍යාල 4 කට ඔබේ ලකුණු නොමිලේ යැවීමේ අවස්ථාව උදා වෙනවා. එසේ නොවුව හොත් ඔබ එම ලකුණු යවන සෑම අවස්ථාවකම  ඒ සඳහා මුදල් ගෙවිය යුතුව තිබෙනවා. ඒ නිසා මේ නොමිලේ ලැබෙන අවස්ථාව පැහැර හරින්න එපා.

මා පෙර ලිපියේ සඳහන් කළ පරිදි, ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා තරමක ඉහල ලකුණු මට්ටමක් සහිතව ඔබ මූලික උපාධිය සමත් විය යුතුයි. ප්‍රථම පන්තියේ හෝ දෙවන පන්තියේ ඉහල සාමාර්ථයක් සහිත නම් ඔබට වඩා පහසුයි. එසේ නොමැති නම් ඔබ ‍බොහෝ දුරට ශාස්ත්‍රපති උපාධියක් (MSc) කළ යුතුව තිබෙනවා.

ඒ සඳහා ඔබ සූදානම් විය යුත්තේ මෙහෙමයි. ඔබ දන්නා අඳුනන කෙනෙක් ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන විෂයධාරාවෙන් ආචාර්ය උපාධියක් කරනවා නම් ඔහු/ඇය ගෙන් තොරතුරු ලබා ගන්න. එසේ නැතිනම් Google භාවිතයෙන් ඔබ කැමති විෂයධාරාව පිළිබඳ මනා අධ්‍යයනයක යෙදෙන්න. එසේ කළ පසු ඔබට ඒ සඳහා හොඳ යැයි හැඟෙන විශ්ව විද්‍යාල කිහිපයක් සොයා ගැනීමට අපහසු වන්නේ නැහැ. ‍  අමෙරිකානු විශ්ව විද්‍යාල කාර්තු කිහිපයකට වෙන්කර තිබෙනවා. ඒ වර්ග කිරීම මෙතැනින් බලන්න. පළමු කාර්තුවේ ඇති විශ්ව විද්‍යාල වනුයේ Harvard, MIT, UCLA, Princeton, Yale, UC-Berkley, Stanford, වැනි ඉහල ගණයේ විශ්ව විද්‍යාලයි. මේවාට ඇතුළු වීමට ඉතා ඉහළ මට්ටමේ මූලික උපාධියක් සහ සියයට සියයක්  ආසන්නයේ GRE , TOEFL ලකුණු අවශ්‍යයි. ඉතින් ඔබ මේ තත්ත්‍වයේ සිසුවෙක්/සිසුවියක් නම් පළමු කාර්තුවේ විශ්ව විද්‍යාලවලට අයැදුම් කරන්න… බඳවා ගැනීමේ සම්භාවිතාවය නම් ඉතාම අඩුයි. බැරිවෙලාවත් ලැබුනොත් ඔබේ වාසනාව… හොඳින් වැඩ කරගෙන යන්න, ලැබුන අවස්ථාව පැහැර හරින්න එපා.

එසේ විශ්ව විද්‍යාල කිහිපයක් තෝරාගත් පසු ඒ ඒ අධ්‍යයනාංශයට අදාල වෙබ් අඩවියෙන් ඔබ ආචාර්ය උපාධිය හැදෑරීමට කැමති විෂය ක්‍ෂෙත්‍රයට අදාල මහාචාර්යවරුන්ගේ වෙබ් අඩවි හොඳින් හදාරන්න. ඔබ යමෙකු යටතේ පර්යේෂණ කිරීමට රුචි නම් ඒ බව ඔහුට/ඇයට දන්වා විද්‍යුත් තැපැල් මගින් සම්බන්ධ වන්න, ඔවුන්ට ඔබ කවුදැයි හඳුන්වා දී ඔබේ ජීව දත්ත සටහනක්, ඔබ කිරීමට බලාපොරොත්තු වන විෂයයන් ආදිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සමඟින් ඔවුන්ට ලියන්න. මෙසේ ලියන විට හැකි තරම්  නිවැරදිව, වෘත්තීය මට්ටමින් ලියන්න. පිළිතුරු පමාවුවත් කලබල වෙන්න එපා, බොහොමයක් දෙනා අධික වැඩ රාජකාරි ඇති උදවිය. සතියක් පමණ කල් දී නැවත ලියන්න. සමහර විට ඒ ඒ අංශයේ ලේකම් තනතුර දරන පුද්ගලයා හෝ Graduate Students Director සම්බන්ධ කරගත හැකියි. එවිට ඔබට ඇති සියළු ප්‍රශ්න, නොතේරෙන තැන් ආදිය එම පුද්ගලයාගෙන් දැනගත හැකියි. මේ සියල්ල නිරාකරණය කරගෙන අයදුම්පත නිවැරදිව හැකිතරම් අංග සම්පූර්ණව පුරවන්න. GRE TOEFL ලකුණු විභාගය කළ පසු කෙළින්ම ලැබෙන්න සලස්වන බව ඔවුනට දන්වන්න.

මෙම අයදුම්පත් පිරවීමේදී ඔබට පෞද්ගලික විස්තරයක් (Personal Statement) ලියන්න සිදු වනවා. මෙය ඔබේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව, ඔබගේ අනාගත බලාපොරොත්තු, ඔබේ සංවිධාන ශක්තිය ආදී නොයෙක් පරාමිතීන් උරගා බලන ලියවිල්ලක්. මෙය හොඳින් ලියන තරමට ඔබේ අයදුම්පත පිළිගැනීමේ සම්භාවිතාවය වැඩියි. මේ නිසා මෙය හොඳින් ලියා හොඳින් ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නා පුද්ගලයෙකු ලවා නිවැරදි කරගැනීම ඉතා යෝග්‍යයි.

එසේම ඔබට දන්නා හඳුනන පුද්ගලයන් තිදෙනෙක්ගෙන් ඔබ පිළිබඳ ලිපි තුනක් (Reference letters) අදාල විශ්ව විද්‍යාලවලට යැවීමට සිදු වෙනවා. මේ සඳහා ඔබ ඉගෙනගත් මහාචාර්යවරු තිදෙනෙක් ඔබට තෝරාගත යුතුයි. මේ තිදෙනා ඔබ හොඳින් දන්නා, එසේම ඔබ සමඟ මනා සම්බන්ධතාවයක් ඇති අය වීම ඉතා යෝග්‍යයි. එසේම ඔවුන් ඔබ වෙනුවෙන් ලිපියක්/ලිපි කිහිපයක් ලිවීමට තරම් ඔබට සමීප අය විය යුතුයි.

මෙසේ ඔබේ අයදුම්පත සම්පූර්ණ කළ පසු එය තැපෑලේ යැවිය හැකියි. එසේම, සමහර විශ්ව විද්‍යාලවල අයදුම්පතේ මූලික කොටස් වෙබ් අඩවියේම පුරවා (Online submission) ඉදිරිපත් කළ හැකියි. එසේ හැකි නම් එය වඩාත් පහසු මෙන්ම ඉක්මන් කර්තව්‍යයක් ද වෙනවා. එවිට ඔබ සම්පූර්ණ කළයුත් ලිපි ලේඛණ පිළිබඳ ඔවුන් දන්වා එවීමටත් යුහුසුළු වෙන අතරම ඔබේ අයදුම්පත ඇත්තේ කොතැනද යන්න බලාගැනීමටත් හැකියි. ‍මතක තබා ගතයුතු තවත් කාරණාවක් වන්නේ බොහෝ විශ්ව විද්‍යාල මෙම අයදුම්පත් සළකාබැලීමේ ක්‍රියාවලිය සඳහා ඩොලර් 35-75 අතර මුදලක් අය කරනු ලබනවා. ඒ නිසා ඔබ හොඳින් සලකා බලා ඔබට යාමට හැකි, ඔබට යාමට අවශ්‍ය විශ්ව විද්‍යාල කිහිපයක් සඳහා එකවර අයැදුම් කිරීම කළ යුතුයි. මක් නිසාද යත් ඔබ ඉල්ලුම් කරන පළමු විශ්ව විද්‍යාලයෙන්ම ඔබව බඳවා ගැනීම කරාවි යැයි සිතන්න අපහසු නිසා.

මෙ‍සේ අයදුම්පත සම්පූර්ණ කරන අතරතුර ඔබට පළමු මාස කිහිපයේ මූල්‍යමය පහසුකම් සපයාගැනීමට අවශ්‍ය මුදල් ඔබ සතුව ඇතැයි සනාථ කිරීමට Financial Statement එකක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. මේ සඳහා ඔබ මාස කිහිපයකට පෙර අවම වශයෙන් රු: ලක්‍ෂ 5 ක් ($ 5000) සමාන මුදලක් බැංකුවක තැන්පත් කර තබා බැංකුවෙන් සහතිකයක් ලබා ගෙන ඉදිරිපත් කළ යුතුයි.

මෙසේ සියල්ල සම්පූර්ණ කරන අතරතුර හොඳින් GRE සහ TOEFL සමත් වී ඒ ලකුණු අදාල විශ්ව විද්‍යාලවලට යැවීමට කටයුතු කරන්න. මේ අතරතුර අදාල විශ්ව විද්‍යාලවල ඔබ පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන මහාචාර්යවරු සමඟ දිගින් දිගටම සම්බන්ධය පවත්වාගන්න. මෙය එක අතකින් ඔබේ අයදුම්පත පිළිගැනීමේ සම්භාවිතාවය වැඩි කරන අතර සමහර මහාචාර්යවරු කෙළින්ම ඔබව බඳවා ගැනීමට කැමැත්ත පළ කර අධ්‍යයනාංශයට ඒ බව දන්වා ඔබේ බඳවා ගැනීම ඉක්මන් කරනවා. මේ සියළු කටයුතු අගෝස්තු-නොවැම්බර් වන විට නිමකළ හැකි නම් ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා. බොහෝ අධ්‍යයනාංශ ඊලඟ වසරට ආචාර්ය උපාධි අපේක්‍ෂකයන් බඳවාගැනීම සඳහා සාකච්ඡා කෙරෙන පළමු හමුවීම්  වටය පවත්වන්නේ නොවැම්බර් මාසයේදී, එසේම ඊලඟ වසරේ පෙබරවාරි වන විට සියල්ල සම්පූර්ණ කර අවසන්….

මෙසේ සියල්ල සම්පූර්ණ වූ පසු ඔබ බඳවා ගතහොත් ඔබට  I-20 නම් ලියවිල්ලක් එවනු ලබනවා. ඔබ එය අත්සන් කර යවන තෙක් ඔබේ ශිෂ්‍යභාවය වලංගු වන්නේ නැහැ. ඔබට I-20 කිහිපයක් විශ්ව විද්‍යාල කිහිපයකින් ලැබුන හොත් හෝ ඔබව විශ්ව විද්‍යාල කිහිපයකින් ඇතුලත් කරගැනීමටහැකි බව දන්වා එවුව හොත් ඉන් ඔබ වඩා යෝග්‍ය විශ්ව විද්‍යාලය තෝරාගෙන, අනෙක් විශ්ව විද්‍යාලවලට ඔබ නොඑන බව දන්වා යැවීමට තරම් කාරුණික විය යුතුයි. මක් නිසාද යත් ඔබේ අයදුම්පත එම විශ්ව විද්‍යාලයට ලැබුන දා සිට ඔබ වෙනුවෙන් බොහෝ දෙනෙකු මහන්සි වන නිසා. එසේම ඔබ සමඟ ගණුදෙනු කළ පුද්ගලයන්ට ඔබේ තීරණය දන්වා ඔවුනට ස්තුති කරන්නත් අමතක කරන්න එපා.

මෙසේ ඔබේ බඳවා ගැනීම සම්පූර්ණ වූ පසු ඔබට වීසා ලබා ගැනීමට අමෙරිකානු තානාපති කාර්යාලයට යා යුතුයි. ඒ පිළිබඳ සියළු තතු මෙතනින් ලබාගන්න

ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම මෙතැන් සිට ඔබට බාරයි. ඔබ යන්නේ වෙනත් රටකට, ඒ රටවල් අනුව හැඩගැසී ඔබේ අනන්‍යතාවය තබාගෙන ඉගෙනීම සාර්ථක කරගන්න…

Happy Graduates

ඔබට ජය..

නොතේරෙන යමක් තිබේ නම් අපි සාකච්ඡා කරමු……

8 thoughts on “ආචාර්ය උපාධියක් ලබා ගන්නේ කොහොමද ? දෙවන කොටස………දැන් වැඩ පටන්ගන්න කාළය හරි…..

  1. Hi,

    A nice follow up to the previous article. Very detailed indeed.

    I contacted you earlier too, hope you recall. I was just wandering if you would be willing to post these two articles (in sinhalese of course) in the website we created to assist students in their graduate admission procedures (link below).

    http://www.beyondbachelors.com

    Or else, with your permission, I would like to post this article in the website as a guide for future applicants, with a link and a reference to your original article. Please let me know if it is OK to do that.

    Thanks and keep up the good work.

Alchemiya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න