ගන්න ගන්න පෙජරෝ, මොන්ටෙරෝ, ලැම්බෝගිනී, කැමෙරෝ….. ලාබයි ලාබයි…. ගොඩම දහයයි…….

අපේ ජනාධිපති තුමා නම් මාර පොරකි, ලෝක අණ්ඩයෙකි, තුන්කල් දක්නා නුවණ ඇති මහා පණ්ඩිතයෙකි….. මම මෙහෙම කියන්නේ හේතු කීපයක් මතයි. හැමතැනම ජනාධිපතිතුමා, ජනාධිපතිතුමා, ජනාධිපතිතුමා කිය කිය ලියන්න බැරි නිසා ඇමරිකාවෙ පිළිවෙලට මම හැමෝගෙම මුල් නම් වලින් කතා කරනවා. බලධාරියා මාව කපන එකක් නෑකියලා හිතනවා

මුලින්ම මහින්ද කළේ චන්ද්‍රිකාට ගේම දීමය.. ඒ ගේමේ හැටි කියලා වැඩක් නැති අතර චන්ද්‍රිකාට අන්තිමට වුනේ රනිල්ගේ පණ නැති නැට්ටේ එල්ලෙන්නටය…

ඊලඟට මහින්ද කළ අණ්ඩපාල වැඩෙන් අමාරුවේ වැටුනේ අසරණ ප්‍රභාය. මහින්ද, පොරට මිලියන ගානක් දී (පත්තරවල තිබුණෙ.. මාව අල්ලගන්න එපා ඇත්ත නැත්ත හොයන්න) රනිල්ට ලැබෙන්න තිබුණ දෙමළ ඡන්ද ටිකට ගේම දුන්නේය… ඉන් පසු කරුණාගේ අයියා ලවා මාවිල් ආරු ටැප් එක වැස්සුවේය…. අන්තිමට ප්‍රභා නන්දිකඩාල් කලපුවේ පොරව පාර කනවිට අසා තිබුණේද ” කව්ද යකෝ මාවිල් ආරුව වැහැව්වේ ?” කියලා ය කියා අහල පහල සිටි කොමාන්ඩෝ විරුවෙක් කාටද කියා තිබුනේය…

ඊලඟට මහින්ද කළේ ජනතා විමුක්ති ‍පෙරමුණ දන්තාමුක්ත කිරීමය. විමල්  සහ නන්දන වින්දන මහින්දගේ සාක්කුවේය. Till-Win  කවදා හෝ දිනන තුරු බොතල් මූඩි ගලවමින් සිටී…. සෝමවංශ අංකල් සහෝදරයා මොනවා වුනාදැයි සිතමින් නන්නත්තාරව ඇත. ඉඳලා හිටලා අක්කාගේ ස්පොට් එක පැත්තේ යන බව කවුදෝ දැක ඇත. ඉස්සර තිබුණ බොළඳ දාර්ශනික අදහස් ජවිපේ දැන් නැත. ඒ වෙනුවට ඇත්තේ “පොන‍්සේකාට කළ වැඩය නිසා වැස්ස වලාහක දෙවිඳුන්  කෝප වී ඇත” යනාදී සුපිරි දාර්ශනික අදහස් පමණි, රෝහණ විජේවීර ජීවත්ව සිටියා නම් මේවා දැක සියතින්ම වෙඩි තබාගෙන බොරැල්ලේ ආදාහනාගාරයට පනින බව මට හොඳටෝම සහතිකය .

ඒ අතරම  මහින්ද ජනරාල් පොන්සේකා ඉල්ලාගෙන කන තැනට වැඩ සැලැස්වීමද කිරීමට අමතක කළේ නැත… අන්තිමට දෙවන නිදහස සමරන විට පොන්සේකා කොහේද නැත… ඒ ජවනිකා පෙළ තවමත් දිග හැරෙන අතර, නීතිමය තත්ත්‍වයන් නිසා ඒ පිළිබඳ වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැක… මහින්දගේ ඊලඟ පරපුරද වැඩට බැස ඇත.. නාමල් මල්ලී සංගක්කාරගේ සෙලිබ්‍රිටි ටීම් එකටත් ගැහුවාය කියා ආරංචියක් ඇත……

මෙන්න මේ හේතු නිසා අපේ මහින්ද ජනාධිපති තුමා මාර පොරකි, ලෝක අණ්ඩයෙකි. තුන්කල් දක්නා නුවණ ඇති මහා පණ්ඩිතයෙකි.

මෙතුමා අපි සැමට ලඟදී දීපු ගේම අයින්ස්ටයින්ට වඩා unit 16 ක් පහලින් IQ එකක් ඇති මගේ ටිකිරි මොලේටත් මීටර් වුනේ සතියක් ඉක්ම ගිය පසුය.. අපේ ජනාධිපතිතුමාගේ වැඩ අන්න එහෙමය…අද මගේ ලිපියේ නිමිත්ත එයය…. මේ මගේ ටිකිරි මොළයට හිතෙන හැටිය…

මුලින්ම රජය කළ දේට ප්‍රශංසා කළ යුතුමය… නවක මන්ත්‍රීතුමන්ලාට පාර්ලිමේන්තුවට පැමිණීම වස් අළුත් වාහන ගැනීම පිණිස වාහන සඳහා ණය ගැනීමේ සීමාව $ 35,000 සිට $50,000 දක්වා වැඩි කරගත්තේය. වඩාත් ප්‍රශංසා කළ යුත්තේ අන් සියළු දේටම විරුද්ධ විපක්‍ෂය මේ කරුණ සම්බන්ධයෙන් රජය සමඟ අත්වැල් බැඳ ගැනීමයි…. අනේ…. අනිත් දේවලටත් ඔහොම වෙනව නම් කොච්චර ෂෝක්ද ? ඒත්, පළමු වතාවෙ පත්වෙච්ච මන්ත්‍රීවරු රුපියල්  මිලියන 5 ක් කොහෙන් කියලා හොයන්නද ඔය ණය බේරන්න ? මාසෙකට ලක්‍ෂය ගානෙ පඩියක් ලැබිලා ඒ ඔක්කොම ඉතිරි කරත් අවුරුදු 4යි මාස දෙකක් යනවා ණය ගෙවලා ඉවර කරන්න…. ඒ මදිවට 18% ක බද්දකුත් දාලා ඒ අසරණ මිනිස්සුන්ට..

ඔන්න ඔය අතරෙ තමයි මහින්ද මහත්තයට ගණදෙවි නුවණ පහල වෙන්නේ. දඩිබිඩියේ වාහන බද්ද අඩු කළා තුන්සිය ගානෙන් එකසිය ගානට.. මෙන්න තියෙනවා විස්තරේ…

බදු පහළ දැමූ හැටි

දැන් මේ බදු අඩුකිරීමෙන් වෙන්නේ මොනවාද ? සාමාන්‍යයෙන් රුපියල් මිලියන 5 ක වාහනයක මිල මිලියන 3 කට විතර අඩු වෙනවා. එතකොට ඉස්සර මිලියන 7ක් පමණ වෙච්චි වාහනයක් දැන් මිලියන 5 කට ගන්න පුළුවන් වෙනවා.. එහෙම නේද ?ඒ කියන්නේ නාමල් මල්ලිට දැනට තියෙන කැමිරෝ බම්බල් බී එක වෙනුවට ලැම්බෝගිනී මර්සිලාගෝඑකක් සාමාන්‍ය මුදලට ගන්න පුළුවන් වෙන එක නේද ? අන්න… තුන්කල් දක්නා නුවණ.

මෙන්න මෙහෙම කටකතාවක් යනවා රට පුරාම.. මේ බදු අඩුකිරීම කරලා තියෙන්නේ ලබන අයවැය තෙක් පමණයි කියලා. ඒ නිසා ගෙදර උගස් තියලා හරි වාහනයක් ගන්න… නැත්නම් මේ කපේදී ආයෙ වාහනයක් ගන්නවා බොරු… හැබැයි මම අද කතාකරනේනේ මේ එක මගුලක්වත් ගැන නොවෙයි… මේ බදු අඩුකිරීම රටට බලපාන්නේ කෙසේද කියලා…

ලංකාවෙ පාරවල් පොහොම පටුයි. පටු අදහස් ඇති සුද්දා හදපු පාරවල් වල තාර දදා හිටපු පාලකයො හිතුවෙත් නෑ පාරවල් පුළුල් කරන්න. එහෙම කළාම ඡන්ද ටික අඩු වෙන නිසා හිතුනත් කළේ නෑ. කරන්න හදපු එකෙකුට කරන්න දුන්නෙත් නෑ. මේ නිසාම උතුමාණන් වහනසේගෙ විවෘත ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඉන්දීය සාගරේ මුතු ඇටේ ආසියාවෙ ජන්ක් යාඩ් එක බවට පත් වුනා.  පටු පාරවල් වල හැටට හැටේ යනකොට වටපිට ඉන්න මහජනතාව ‍ඒ වාහනවල ඇමිණිලා නොමිලේම නිවන් ගිය අවස්ථා ඕන තරම් මේ රටෙන් වාර්තා වෙලා තියෙනවා.

ඒ වගේම අද කොයි වෙලෙත් පාරෙ වාහන තදබදය,  පාරෙ යන්න බෑ කබල් වාහනවල දුම, අපරාදෙ කියන්න බෑ සිගරැට් බොන්න වියදම් කරන්නේ නැතුවම පෙනහළු පිළිකා හදාගන්න පුළුවන්. ඒ වගේම උදේ 8.00 ට වැඩට ඉන්න නම් අවම වශයෙන් උදේ 6.00 ට වත් ගෙදරින් යන්න ඕන. හැතැක්ම 20ක් යන්න අවම වශයෙන් පැය දෙකක් වත් ගත වෙනවා. මේ නිසාම සහ ආණ්ඩුවේ අසූකෙළක් වූ ඇමතිවරු, බිරින්දෑන්, ළමා ලපටි, නිලධාරීන් ආදිය පෝෂණය කරන්න වාහනවලට ඇති බද්ද 350% ක් පමණ ඉහල ගියා. මේ නිසා වාහන වල මිල ඉහල ගිය අතර මිල මුදල් යහතින් ඇති අය වාහන මිලදී ගත්තා. හැබැයි වැඩේ කියන්නේ මේ බොහොමයක් වාහන ජපානයේ පට්ට ගහලා ලංකාවට එවපු වාහන.. කර්මාන්තශාලාවෙන් උණුඋණුවේ එළියට දාපු වාහනයක් ගන්න සාමාන්‍ය මනුස්සයෙකුට බෑ . ඒ වුනාට දැන් ඉන්දියාවෙ නිෂ්පාදිත මරුටියක බද්ද 183% සිට 90% දක්වා අඩු කරලා. මෙය එක අතකට ඉහල මධ්‍යම පාන්තිකයන්ට වාහනයක් හිමිකරගන්න අවස්ථාවක්… ඒ එක පැත්තක්……

‍අනෙක් කාරණය තමයි වාහන වැඩි වෙන්න වෙන්න පිච්චෙන ඉන්ධන ප්‍රමාණයත් අනුලෝමව ඉහළ යනවා. මෙහිදී පිච්චෙනවා කිව්වේ පරිභොජනයට අමතරව. ලංකාවෙ ඉන්ධන පරිභෝජනයෙන් සෑහෙන ප්‍රමාණයක් වාහන තදබදය නිසා අපතේ යනවා. මෙන්න මේ තත්ත්‍වය අඩු කළේ නැත්තම් කොපමණ බදු අඩු කළත් රටට ඉන් සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ වගේම පරණ වාහන ඉන්ධන පරිභෝජනය අතින් ඉතාම අවාසිදායකයි. මේ වාහන එක්කෝ පාරවල් වලින් අයින් කිරීම හෝ නව වාහන වලට මාරුකිරීමේ ක්‍රමයක් ගෙන ආ යුතුයි. මා මෙම බදු අඩුකිරීමේ සටහනේ දුටු එක අඩුපාඩුවක් වන්නේ Electric වාහන හෝ Hybrid වාහන වලට සුවිශේෂ බදු සහන ඉදිරිපත් කර නොමැති වීම. Electric වාහන වලට ලබා දී ඇති සහනය 20% යි. මෙය ඉතා මෝඩ ක්‍රියාවක්. ඒ වාහන පරිසර දූෂණය අවම ඉතා ලාභදායී වාහන. මේවා දීර්ඝකාලීනව වාසි ගෙනදෙන ඒවා. මෙවන් වාහන ගෙන්වීම දිරිමත් කළ යුතුමයි. අනෙක් කාරණය Hybrid වාහන. සාමාන්‍යයෙන් Hybrid වාහනයක් පැයට සැතැප්ම 40කට අඩු වේගයක් රඳවාගෙන ධාවනය කරන විට ඉන්ධන පරිභෝජනය  අවමයි. ලංකාවේ සාමාන්‍ය වේග සීමා බොහොමයක් මීට වඩා අඩුයි. එසේ නම් Hybrid වාහන ගෙන්වීම දිරිමත් කිරීම ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ද ලාභදායකයි. මෙම බදු සහන සටහන පිළියෙල කළ පුද්ගලයා ඒ ගැන දන්නේ නැති හැඩයි.

ඒ වගේම විද්‍යුත් උපකරණ වල බදු සහනය කාලෝචිත පියවරක්. මේ මගින් විදුලිය පිරිමැහෙන නව උපකරණ රට තුළට ගෙන්වීම සිදු වෙනවා. ඒ වගේම ඉවත දමන උපකරණ ප්‍රතිචක්‍රීකරණයත් කළ යුතුයි. ඒ උපකරණවල පරිසරයට හානිදායක ලෝහවර්ග අඩංගුයි. මේවා නිසිලෙස ඉවත් නොකළ හොත් ඒ ද්‍රව්‍ය පරිසරයට එක් විය හැකියි. එසේම මෙම නව විදුලි උපකරණ නිසා ඇති වන විදුලිබල ඉල්ලුම සපුරාලීමට පරිසරයට හිතකර ලාභදායී විදුලි ප්‍රභවයන් කෙරෙහි අවධානය රජය යොමු කළ යුතුයි….

අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

1 thoughts on “ගන්න ගන්න පෙජරෝ, මොන්ටෙරෝ, ලැම්බෝගිනී, කැමෙරෝ….. ලාබයි ලාබයි…. ගොඩම දහයයි…….

Mee වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න