ගෑවුනොත් විස, කෑමට රස, ජෙලිෆිෂ් ගැන දැනගන්න…

තම්බපන්නිගේ අඩවියේ තිබුණ ජෙලිෆිෂ් විෂවීම දුටු මට, ඔබව ඒ පිළිබඳ දැනුවත් කරන්න සිතුනා.

ජෙලිෆිෂ් යනු කුමක්ද ?

ජෙලිෆිෂ් යනු ඉතා සුන්දර එහෙත් විෂ සහිත ජීවියෙකි

ජෙලිෆිෂ් යනු කිසිදු අස්ථියක් නොමැති (අපෘෂ්ඨවංශී), මුහුදේ පාවෙන, විවිධාකාර වර්ණ ගන්නා, පුදුමාකාර, එමෙන්ම විෂ සහිත සත්ත්‍ව විශේෂයක්. ඔවුන් මේ ලෝකයේ වැඩිම කලක් ජීවත් වූ සත්ත්‍ව කොටසක්; එනම් වසර මිලියන 650 කට වඩා පැරණි ඉතිහාසයක් ඔවුන් සතුයි. සිරුරෙන් 95% ක්ම ජලය ඇති ඔවුන් අයත් වන්නේ Cnidaria ගණයටයි. එහි තේරුම කහඹිලියා වැන්නට සමාන Stinging Nettle යන්නයි. එනම් ජෙලිෆිෂ් ස්පර්ෂ වුන ස්ථානයේ දැවිල්ලක් හටගෙන පලුදැමීමක් සිදු වන බවයි. ජෙලි ‍ෆිෂ් විශේෂ 2000 ක් පමණ ලොව පුරා විසිර පවතී: මෙඩුසා යනු වැඩිහිටි බවට පත් වූ ජෙලිෆිෂ් හඳුන්වන තවත් නාමයකි. මොවුන් ලෝකයේ සෑම මුහුදකම, සමුද්‍රයකම දැකිය හැකි වන අතර මිරිදියේ ද ජීවත්වේ. සමුද්‍ර විද්‍යාඥයින් ලෝකයේ සමුද්‍ර පද්ධතියේ තත්ත්‍වය මනින  මිම්මක් ලෙස ජෙලිෆිෂ් යොදාගනී. සමුද්‍ර පරිසර පද්ධතිය අන්තරායදායක තත්ත්‍වයකට පත් වී ඇති විට, ජෙලිෆිෂ් ප්‍රමාණය ඉහල යන බව මොවුන් අත්දැකීමෙන්ම දනිති. මිරිදිය වසන ජෙලිෆිෂ් විෂ සහිත නොවන අවර්ණ ජීවියෙකු වන අතර ප්‍රමාණයෙන් අඟලකට වඩා විශාල නොවේ. මෙම ජෙලිෆිෂ් සමූහයක් වශයෙන් ජීවත් වන සත්ත්‍ව කොට්ඨාසයකි. සමහර විට ඔවුන්ගේ මෙම හැසිරීම නැව් ගමනාගමනයට පවා බාධා ඇති කරයි. දැනට හමු වූ විශාලතම ජෙලිෆිෂ් මැසෙචුසෙට්ස් හිදී හමුවූ මීටර 2.3 ක විශ්කම්භයක් ඇති මීටර 36.5 ක් දිගු වූ අඬු සහිත සිංහ කේශර ජෙලිෆිෂ් (Lion’s Mane Jellyfish) නම් වූ විශේෂයයි.

ජෙලිෆිෂ් හරස්කඩ

ඔවුන් සතුව වෙන්වෙන්ව සැකසුනු ආහාර මාර්ග පද්ධතියක් වැනි ව්‍යුහයක් ඇතත් මොළයක් නොමැත. (ලංකාවෙ දේශපාලනඥයෙක් වගේ). ස්නායු පද්ධතිය සහ ස්නායු ආවේග ලබාගන්නා ස්නායු තන්තු වැනි ඒකක ආධාරයෙන් ඔවුහු ආලෝකය, උණුසුම, වැනි බාහිර සංවේදන කෙරෙහි ප්‍රතික්‍රියා දක්වති.  ඔවුන් ආහාර ජීර්ණය කරන්නේ ජීර්ණ කුහරය හා සම්බන්ධිත, සමක් වැනි පටකයක් මාර්ගයෙනි. ඔවුන් ශ්වසනය කරන්නේද සම මාර්ගයෙන් බැවින් ඔවුනට වර්ධනය වූ ශ්වසන පද්ධතියක අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් චලනය වනුයේ සිය ශරීරය සංකෝචනය සහ ප්‍රසාරණය කිරීමෙන් ලබා ගන්නා බලයෙනි. එසේම දිගු වූ අඬු වැනි අවයව වලින් ගමන පාලනය කෙරේ. එසේ නමුත් බොහෝවිට මුහුදේ රළ බලය ආධාරයෙන් ජලය මත පාවෙමින් සිටිති. ජෙලිෆිෂ්  ප්‍රධාන සමමිතික අක්‍ෂය කේන්‍ද්‍රකරගත් ඉතා උසස් සමමිතියක් ඇති සත්ත්‍වයෙකි. මේ නිසා සෑම දිශාවකින්ම පැමිණෙන උවදුරු වලට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මෙන්ම ආහාර සොයා ගැනීමේ පහසුවද සහිතය. සමුද්‍ර විද්‍යාඥයන් පවසන අන්දමට  හරිතාගාර ආචරණය හේතුවෙන් සහ ගෝලීය උණුසුම වැඩිවීම නිසා ‍ජෙලිෆිෂ් විශේෂවල වර්ධනය වැඩි වී තිබෙනවා. ඒ නිසාම ඔවුන් මුහුදුවෙරළ වෙත පැමිණීම වැඩිවෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් උණුසුම් කාළයේ ගොදුරු සොයා ගැනීමේ පහසුව ආදී හේතු නිසා වෙරළට ජෙලිෆිෂ් පැමිණීම වැඩිවන අතර මුහුදේ ඔක්සිජන් සාන්‍ද්‍රණය, ආහාර, දියවැල්, ආදියත් ජෙලිෆිෂ් සංක්‍රමණයට හේතු සාධක වෙනවා.  මේ නිසා මිනිසුන් ජෙලිෆිෂ් විශවීම් වලට භාජනය වීම ද  පසුගිය වසරවල දී වැඩි වී තිබෙනවා.

ජෙලිෆිෂ් මිනිසාට ප්‍රයෝජනවත් නොමැති සත්ත්‍ව විශේෂයක් නොවේ. ඔවුන්ගෙන් බොහෝ ප්‍රයෝජන තිබේ. විශේෂයෙන්ම විද්‍යාත්මක වශයෙන් ජෙලිෆිෂ් ඉතාම වැදගත් වේ. රාත්‍රියේදී දිලිසෙන ජෙලිෆිෂ්ගේ ජාන වලින් ජාන සළකුණක් (Gene Marker) සකසා තිබෙනවා. මෙයින් එම ජාන ක්‍රියාකාරීත්‍වය අධ්‍යයනයෙන් විවිධ පර්යේෂණ සිදු කළ හැකියි. උදාහරණයක් ලෙස එසේ කරන ලද පර්යේෂණයකට අනුව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් උක් වගාවෙන් සෞඛ්‍යාරක්‍ෂිත සීනි ප්‍රමාණය වැඩියෙන් ලබාගැනීමට උක් ශාකය ජානමය වශයෙන් වෙනස් කිරීමට සමත්ව තිබෙනවා. එසේම ඔවුන්ගේ ජාන සළකුණු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පාවිච්චියට ගතහැකි වීම තවත් වැදගත්කමක් ලෙස සළකනවා. 1961 වසරේ සිටම මෙසේ ජෙලිෆිෂ් ජීවතාක්‍ෂණිකව වැදගත් වී තිබෙනවා. විශේෂයෙන්ම මුහුදු පරිසර පද්ධතීන් අධ්‍යයනයට පරිසර විද්‍යාඥයින් මොවුන් යොදා ගන්නවා. ඒ අතරම ආහාර සඳහා ද මොවුන් වැදගත් වනවා. Cannon Ball නම් වූ ජෙලිෆිෂ් මිනිසුන්ට විෂ රහිත නිසා සහ ප්‍රමාණයෙන් විශාල නිසා අමෙරිකාවේ රසවත් මුහුදු ආහාරයක් ලෙස සැලකෙනවා.

ජෙලිෆිෂ් විෂවන්නේ කෙසේද ?

සියළුම ජෙලිෆිෂ් වර්ග සිය සතුරාට හෝ ගොදුරට පහර දෙන්නේ නෙමටෝසිස්ට් (Nematocysts) නම් වූ කුඩා විෂ සහිත සෛල ආධාරයෙන්. ජෙලිෆිෂ් අඬු, මිනිස් ශරීරයේ ස්පර්ශ වූ විට, මෙම විෂ සහිත ඒකක මිලියන ගණනක් සම සිදුරු කරගෙන සමට ඇතුළුවීමට පුළුවන්. මෙම ඒකක ජෙලිෆිෂ්ගේ අඬුවලින් නිකුත් වන්නේ ඒ අඬු තුළ වර්ග අඟලට රාත්තල් 2000 ක පමණ පීඩනයක් ඇතිවීමෙන්. එසේ නිකුත්වන සෛල වලින් ශරීරය පසාරු වූ පසු විෂ නිකුත් කෙරෙනවා. සමහර ජෙලිෆිෂ් විශේෂ මඳ විෂ හෝ විෂ රහිත වුනත්, සමහරු ඉතා විෂ සහිතයි. ඒ විෂ අධික වේදනාවක් ඇති කරන අතර, සමහර විට රෝගියා මිය යාමට පවා පුළුවන්. මෙසේ වන්නේ රෝගියා ආසාත්මිකතාවයකට පත් වී කම්පනයට පත්වීමෙන් (anaphylexis).  මෙසේ වූ විට රෝගියා වහාම ජලයෙන් ඉවතට ගෙන ප්‍රතිවිෂ ඖෂධ ලබා දිය යුතුයි. මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ජෙලිෆිෂ්ගේ ජෙලි වැනි ශරීරය ස්පර්ෂ වීමෙන් විෂ ශරීරගත නොවන බවත් ඔවුන්ගේ අඬු ස්පර්ශවීමෙන්  විෂ ශරීරගත වන බව යන කරුණයි.

ජෙලිෆිෂ්ගේ විෂ සෛල

ප්‍රතිකාර

ජෙලිෆිෂ් විෂවීමකදී කළ යුතු දෑ තුන් වැදෑරුම් වේ.

1. රෝගියා බේරාගැනීමට ජලයට බසින අය ජෙලිෆිෂ් ස්පර්ශ වීමෙන් වැළකීම……..

2. නෙමටෝසිස් සෛල අක්‍රිය කිරීම සහ

3. රෝගියාට ඇණී ඇති ජෙලිෆිෂ් අඬු ඉවත් කිරීම.

අත් බෙහෙත් ලෙස 3% – 10% විනාකිරි වලින් ස්පර්ශ වූ ස්ථාන සේදීමෙන් විෂ පැතිරීම අඩු කරගත හැකියි. විනාකිරි නැතිනම් ලුණු වතුර ද එකසේ කාර්යක්‍ෂමතාවයක් දක්වනවා. එසේම මුහුදු ජෙලිෆිෂ් ආක්‍රමණයක් සිදු වූ විට මිරිදියෙන් සේදුව හොත් විෂ පැතිරීම වැඩි විය හැකියි. මද්‍යසාර, ඇමෝනියා, හෝ මුත්‍ර ආදියද සමහර ජෙලිෆිෂ් විෂ පැතිරවීමට දායක විය හැකියි. මේ නිසා විෂ වූයේ කුමන වර්ගයේ ජෙලිෆිෂ් විශේෂයක් දැයි නොදැන මෙම ද්‍රව්‍ය වලින් සේදීම රෝගියා තවත් විපතේ හෙලීමක් විය හැකියි.

අඬු ඉවත් කිරීමෙන් ‍විෂ සහිත නෙමටෝසිස් සෛල ඉවත් කළ හැකියි.  මේ සඳහා පිහියක්, ක්‍රෙඩිට් කාඩ් පතක් වැනි ඝනකම ඇති තලයක් සහිත උපකරණයකින්  අනතුරට පත් ස්ථානය සූරා දැමිය හැකියි. සමහරු වැල්ලේ වැවෙන බිංතඹුරු පැලෑටියේ කොළ කොටා අනතුරට පත් ස්ථානයේ ගල්වනවා. මේ සියල්ලෙන්ම සිදු කෙරෙන්නේ විෂ පැතිරීම අඩු කිරීමත්, ජෙලිෆිෂ් අඬු සහ නෙමටෝසිස් සෛල  ඉවත් කිරීමත් යන කරුණුයි.

රෝගියා ආසාත්මිකතා ලක්‍ෂණ පෙන්වයි නම්, පිරිටන්, බෙනඩ්‍රිල් හෝ සර්ටෙක් වැනි ප්‍රතිහිස්ටැමීන් (antihistamine) ‍ඖෂධ ලබා දීමෙන් රෝගියා කම්පනයට පත් වීම වලකා ගත හැකියි. තවදුරටත් විෂ පාලනයට අනතුරට පත් ස්ථානය බේකිං සෝඩා පැලැස්තරයක් සේ තනා එම ස්ථානය ආවරණය කිරීමෙන් කළ හැකියි. මේ අතරම රෝගියා ‍රෝහලක් වෙත ගෙනයාමේ කර්තව්‍යය අමතක කරන්නත් එපා. මක් නිසාද යත්  කුමන ජෙලිෆිෂ් වර්ගයක ආක්‍රමණයක් සිදු වීදැයි ඔබ නොදන්නා නිසා. බොහෝ විට Ephinephrine වැනි තරමක් ක්‍රියාකාරී ආසාත්මිකතා දුරලන ඖෂධ ලබා දිය හැක්කේ රෝහලකදී පමණක් බැවින්  එසේ කිරීම කාගේත් ඇඟට ගුණයි.

අවසාන වශයෙන් කිවයුත්තේ ජෙලිෆිෂ් යනු පන්න පන්නා පහර දෙන සත්ත්‍වයෙක් නොවන බවත්, ඔවුන්ගේ අඬු මිනිස් ශරීරයේ ස්පර්ෂ වුනොත් පමණක් විෂ ශරීරගත විය හැකි බවත්ය. එසේම සෑම ජෙලිෆිෂ් වර්ගයක්ම විෂ සහිත නොවන බවත් මතක තබා ගන්න. සමහර ජෙලිෆිෂ් වර්ග වඳවී යන සත්ත්‍ව කොට්ඨාස ලෙස සලකනු ලබනවා. කෙසේ වුවත් ඔබ ජෙලිෆිෂ් වැනි නොදන්නා සත්ත්‍වයෙක් සමඟ ගැටීමට, ඇල්ලීමට යාම නුසුදුසුයි. මක් නිසාද යත් ඔවුන් විෂ සහිතද විෂ රහිතද යන්න අප කවුරුත් නොදන්නා නිසා.

ඉතින් වැරදිලාවත් ජෙලිෆිෂ් විෂ ශරීරගත වුනොත්, ඉහත දැක්වූ දේ පිළිපදින්න…. අත්දුටුවයි සත්තයි… පණ පිටින් හිටියොත් කොමෙන්ටුවක් දාන්න…. දන්න දන්න අත් බොහෙත් තියෙනවා නම් ඒ බවත් මෙතන ලියන්න… එක මිනිහෙක් හරි මරණයෙන් බේර ගන්න පුළුවන් නම්.. ඒක හැමෝටම හොඳයිනේ…….

මෙහෙම කිවුවයි කියලා මුහුදට බහින්නේ නැතිව ඉන්න එපා….

3 thoughts on “ගෑවුනොත් විස, කෑමට රස, ජෙලිෆිෂ් ගැන දැනගන්න…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )