සිරගත වන, නව යොවුන් ප්‍රේමය

නව යොවුන් ප්‍රේමය සුන්දරය, හැම අතින්ම සුන්දරය….. නිවැරදි කිරීම: සුන්දර විය.(ඒ මම දැන් නව යොවුන් වියේ නැති නිසාය)……. ඇගේ නෙතු අගින් හෙලන සියුම් බැල්මක් හසුකර ගන්නට වෙර දැරූ  මගේ නෙත්…. ඇගේ මඳහසක් මුවඟ ඇඳෙන තුරු නොඉවසිලිමත් මගේ වූ සිත….. ඇයට ප්‍රේමය ප්‍රකාශ කරන්නට ගොස් අමාරුවේ වැටුනු අවස්ථා…. ඇයට ප්‍රේමය ප්‍රකාශ කරගත නොහී මගේ සිත සුසුම් ලෑ අවස්ථා,  ආදිය සිහි වන විට යළිදු ම’සිත ඒ සුන්දර අතීතයට මා රැගෙන යයි. ඒ මගේ  යොවුන් ප්‍රේමයයි. ඈ දැන් වෛද්‍යවරියකි, දෙදරු මවකි. මා ආචාර්ය උපාධිධර රසායනඥයෙකි. වැරදිලා හෝ අප දෙදෙන ආදරයෙන් බැඳුනි නම්, අප දෙදෙනම මෙසේ දෙපළක හෝ සතුටින් සිටිය නොහැකිව තිබුණි.  අප දෙදෙනාගේම  අධ්‍යාපනය සාර්ථකව නිම නොවිය හැකිව තිබුණි.  අපේ ප්‍රේමය අපේ හිත්වලම වැලලී ගියේ අප දෙනොගේම වාසනාවට විය හැක. (සමහර මිදි තිත්තය….) ඇයත් ඇගේ සැමියාත් තවමත් මගේ මිතුරන්ය.. ඇය ඉන්නේ මූණු පොතේය……..  ඒ “පෙමින්” පසු වෙනත් සාර්ථක ප්‍රේම පුරාණ මගේ ලොවේ තිබුණද…. ඇයට නොව, ඒ සුන්දර ප්‍රේමයට තවමත් මම ආදරය කරමි. ඈ නොදන්නා මුත් මා කවියෙකු කළේ ඈය. ඈට ලියූ කව් වෙනත් පෙම්වතියන්ටද Recycle කළේ ඈට තිබූ ආදරය නිසාමය…….. ඇය මෙය කියවනවා නම් මේ ජේදය ලිව්වේ ඇයටය… ඒ බව ඈ දනී….

දැන් කාලයේ කොල්ලන් කෙල්ලන් එසේ ප්‍රේම කරනවා දැයි මම නොදනිමි. එසේ වුවත් සෙල්ෆෝන් ප්‍රේමය වඩා පහසු බව මගේම ඥාති සොයුරියක් මෑතදී මා සමඟ පැවසුවාය. පෙර කාලයේ මෙන් නොව, SMS එකකින් ආදරය ප්‍රකාශ කිරීමත් SMS එකකින් ආදරයෙන් මිදීමත් දැන් ඉතා පහසු, ලාභදායී, සහ හිත නොරිදෙන කාර්යයක් බවට පත් වී තිබේ. ආදරයේ තිබූ සුන්දරත්‍වය, චමත්කාරජනක බව වෙළඳ ප්‍රයෝග ඔස්සේ වෙනත් මාර්ග කරා ඇදී ගොස් ඇත….ප්‍රේමය රාගයෙන් තොර වන්නේ ගීත වලට පමණි. වසර 20 කට පෙර බස් නැවතුම් පොළේ කතා කිරීමත් මහා ලොකු දෙයක් වූ කළ, හෝටලයකට රිංගීම පවා සාමාන්‍ය දෙයක් බවට අද පත් වී ඇත්තේ සමාජ පරිහාණියේ තරම මොනවට කියාපාමිනි.

ලංකාවේ කුරුණෑගල සහ මාතර සිදු කළ “වැටලීම්” වලින් නව යොවුන් වියේ පසු වන “ජෝඩු” 350 ක් පොලීසියෙන් “ඇල්ලූ” බව BBC  පුවත් සේවයේ වාර්තාවක සඳහන් වේ. ලංකාවේ ඇති නීතියක් අනුව ලංකාවේ අපිට පොදු ස්ථානවල සිප වැළඳ ගැනීම තහනම් ය. අපි පස් පවු නොකරන සාරධර්ම අකුරට පිළිපදින ලෝකයේ ඇති සදාචාරාත්මක බවින් අනූන එකම රට හැටියට මෙම නීතිය අතිශයින්ම සාධාරණය. ලංකාවට එන සුද්දන්ට හික්කඩුවේ වැල්ලේ හෙළුවැල්ලෙන් ඇවිදීමට තහනමක් නැත්තේ උන් විදේශ විනිමය අපට ගෙන එන නිසාය. රාජකීය විද්‍යාලයේ Stag Nite එකට හෙළුවෙන් නටන ගෑණු ගෙන ආ හැක්කේ ඔවුන් රාජකීය විද්‍යාලයේ නිසාය… කොළඹ හන්දියෙන් හන්දියට කාමර කුළියට දෙන තැන් ඇත්තේ මෙසේ ප්‍රසිද්ධියේ සිප වැළඳගන්නා පෙම්වතුන්ට ඒවා පෞද්ගලිකව කරගැනීමටය.

පාසල් යන එවුන් ප්‍රේම කළ යුතු නැත… උන්ට තියෙන්නේ ඉගෙන ගැනීමම විතරය. ප්‍රේම කර අහුවුන එකා දඬුකඳේ ගැසිය යුතුය… මමද එයට එකඟය… ඒත් ඉතිං හැඟීම් කියන ජාතිය යටකරන් ඉන්න පුළුවන් දෙයක් නොවෙයිනේ. ඒ මදිවට TV එකේ පෙන්නන්නෙම ලව් කරන ඒවයි ලව් කැඩෙන ඒවයි මිසක් වැදගත් දෙයක් නොවෙයිනේ. ඉතිං කාගෙද වැරැද්ද ? පෙම් කෙළින නව යෞවනයින්ද ? ඒවට මඟ පාදන අනේකවිධ විච්චූරණ ද ?

නව යොවුන් වියේ ප්‍රේමාන්විත හැඟීම් ඉතා සාමාන්‍ය සංසිද්ධියකි. වැඩිවියට පත්වන යෞවන යෞවනියන්ගේ හෝමෝන වෙනස්වීම් සහ කායික වෙනස්වීම් අනුව විරුද්ධ ලිංගිකයනට ආකර්ෂණය වීම සාමාන්‍ය තත්ත්‍වයක් ලෙස සැළකේ. ඔවුන්ගේ ශරීර තුළ සිදුවන රසායනික විපර්යාස සමාජයීය සීමාවන් නොදනී. ශරීර තුළ සිදු වන්නේ ඊළඟ පරම්පරාව බිහිකිරීම සඳහා සිරුර සකස් කිරීමේ ක්‍රියාවලියයි. එය මිනිසා කුමන සමාජ තත්ත්‍වයේ හෝ මානසික තත්ත්‍වයේ හෝ සිටී දැයි නොදනී. එය පාලනය කළ යුත්තේ ඉහල මානසික තත්ත්‍වයක් ඇති කිරීමෙන් පමණි.

මේ ඉහළ මානසික තත්ත්‍වය ඇතිකළ හැක්කේ කෙසේද ?

පාසල් වියේ ප්‍රේමය, ලිංගිකත්‍වය, සමීප සම්බන්ධතා ආදිය ලංකාවේ විවෘතව කතා බහ නොකෙරෙන (Taboo) විෂයයන්වේ. මේ නිසාම දරුවන් ඒ පිළිබඳ දැනගන්නේ මිතුරන් මාර්ගයෙන් හෝ අසහනයෙන් පෙළෙන, මොනවා හෝ ලියා මුදල් උපයා ගැනීමට වෙර දරන පත්තර කාරයෙකුගේ පත්තරයක් මාර්ගයෙනි. ලංකාවේ කිසිම වයස් සීමාවක් සඳහා ලිංගික අධ්‍යාපනය හෝ අවම වශයෙන් එසේ දැනුවත් කිරීමක හෝ නොමැත. එසේ කිරීමට අපේ සාරධර්ම රකින සමාජය ඉඩ දෙන්නේ ද නැත. දෙමවුපියෝ ඒවා දරුවන් සමඟ කතා කිරීමට ලැජ්ජය. දරුවෝ දෙමව්පියන්ගෙන් ඒවා ඇසීමට බයය. මෙවිට දෙපාර්ශවයම හොරගල් අහුලමින් සිටී. දරුවා අමාරුවේ වැටුන විට ඔලුවේ අත ගසාගෙන දරුවා මරාගෙන කන්න හදති… ලංකාවේ බොහොමයක් දෙමවුපියෝ එහෙමය…. ගුරුවරු ඊට වඩා අන්තය… ඔවුහු ළමයා දෙස බලන්නේ නිතරම සැකයෙන්ය…. 11 වසරේ විද්‍යාව උගන්වන්නේ ගුරුවරියක් නම් ශාක ප්‍රජනනය උගන්වා සත්ත්‍ව ප්‍රජනනය ළමයින්ට කියවා තේරුම් ගන්න සලස්වයි. එක අතකට ඔවුන්ට වැරැද්දක් කීමට ද නොහැක.. ‍මක් නිසාද යත් අපේ කොලු තාත්තලා අනං මනං අසා ගුරුතුමිය ගර්භණී කිරීමට තරම් ඒ පිළිබඳ කෙල පැමිණි අය නිසාය….

ලංකාවේ ඇති තවත් කරුණක් නම්, රූපවාහිනී චැනල 22 කින් පමණ සතියක් තිස්සේ පෙන්වනු ලබන හැට හුටහමාරක් ටෙලි නාට්‍යවල කිසිදු ප්‍රමිතියක් නොමැති වීමයි. පවුලේ කිරි දරුවා පටන් හෙට මැරෙන්න ඉන්න සීයා ආච්චී දක්වා සියළුම දෙනා රූප පෙට්ටිය ඉදිරියට වී ඒවායේ පෙන්නන හැම දේම තළු මර මර බලති. සමහර ජවනිකා බලන් ඉන්න බැරි තරමට හිරිකිතය… ඒත් හැමෝම බලති… පොඩි එවුන් කට ඇරගෙන බලති… සීයලා හූල්ලමින් බලති… කිසිදු වාරණයකින් තොරව.. හැමෝම හැමදේම බලති… මත්පැන් බොන, සිප ගැනීමක් වන, දුම්පානයක් වන තැනක ලොකු කොටු දමති….  ලංකාවේ වාරණය එහෙමය….වෙනත් රටවල නම් විවිධ තේමා යටතේ වැඩසටහන් විවිධ වාරණයන්ට ලක් කර තිබේ. උදාහරණයක් හැටියට යම් වැඩසටහනක් වයස 15 ට වඩා වැඩි අයට සුදුසු නම් ඒබව වැඩසටහන ඇරඹීමේ දීත් සෑම වෙළඳ දැන්වීමකට පසුව වැඩසටහන පටන් ගැනීමේදීත් දර්ශනය කරනු ‍ලැබේ. එසේම එම වාරණය කුමන කරුණක් නිසාද යන්නත් පැහැදිලිව ප්‍රචාරය කෙරේ. ලංකාවේ හැම දෙයක්ම හැමෝටම සුදුසුය….. ඒ එක පැත්තකි.

බොහොමයක් නාලිකාවල පෙන්වන පිටරට වැඩසටහන් අපේ නව යෞවනයා ගෙඩි පිටින් ඇද බාති. ඔවුන් සිතන්නේ රූප පෙට්ටියේ පෙන්නන අමෙරිකාව හැබෑ ජීවිතයේද එසේම වන බවයි. එහි 25% ක පමණ සත්‍යයක් තිබුණද, ලංකාවේ ටෙලිනාට්‍ය මෙන් අමෙරිකානු ටෙලිනාට්‍ය සෑම විටම සැබෑ ජීවිත ප්‍රතිනිර්මාණය නොකරයි. මේවා බලන ලාංකීය යෞවනයා අමෙරිකානු වීමට එසේ වෙර දරයි.  තවත් සමහරු විභාග කඩාකප්පල් කරගෙන සුපිරි තරු හීනය පස්සේ දුවන්නට පටන් ගනී. දුවලා නිම වන විට වෙන්න ඕන දේ වී හමාරය…

පාසල් දරුවන් පිළිබඳ දෙමව්පියෝ නිතරම අවධානයෙන් සිටිය යුතුය. වර්තමානයේ පවතින තාක්‍ෂණය සහ නොයෙකුත් දෑ වලට පහසුවෙන් නිරාවරණය වීම ආදිය සළකා බලන විට, දරුවන් හා නිරන්තරව සෙවිල්ලෙන් පසුවීම සිදුකළ යුතුම දෙයකි. අද සමාජයේ සිද්ධ නොවන්නේ ද මෙයමය. පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස, අද මවත් පියාත් රැකියාවක නියුක්ත වීම අනිවාර්ය වී තිබේ. එසේ වූ විට දරුවන් හැදෙන්නේ එක්කෝ සීයා ආච්චී සමඟ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ සෙවනේයි. දෙමව්පියෝ නිවසට පැමිණෙන විට රාත්‍රී ආහාරය ගත් දරුවෝ රූපවාහිනී නරඹමින් සිටිති, එසේ නැතහොත් නින්දට ගොස් සිටිති. මහන්සි වී නිවසට පැමිණෙන දෙමාපියන්ට දරුවන් හා කතා කිරීමට වෙලාවක් නොමැත. මෙසේ දෙමාපිය දූදරු සම්බන්ධතාවය බිඳ වැටේ.  දරුවාට ආදරයක් ලැබීමට වෙලාවක් නොමැති අතර දෙමව්පියෝ සිතන්නේ මුදල් දී පාසලට, පෞද්ගලික පන්තියට යැවීම ආදරය බවය.   මිතුරන් විසින් ඇති කරන පීඩනය (peer pressure) මේ වයසේ දරුවන්ගේ අනාගතය තීරණය කරන වැදගත් සාධකයකි. දරුවාගේ මිතුරන් කව්දැයි නිතර සොයාබැලිය යුත්තේ මේ හේතුව නිසාය. මෙම පීඩනය දරුවා දෙමව්පියන්ගෙන් ඈත් කිරීමට තරම් ප්‍රබලය. මෙසේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා ඈත්වන දරුවාගේ සිතේ ඇතිවන හිදැස පිරවෙන්නේ යොවුන් ප්‍රේමයේ සිහිලස මඟිනි. දෙමවුපියන් ඔව්න් පිළිබඳ නොසොයන බව දන්නා දරුවන් තම අධ්‍යාපන කටයුතු පසෙක ලා ප්‍රේමයේ චමත්කාරය රස විඳීමට මුහුදු වෙරළට, උද්‍යානවලට, හෝ යහමින් සල්ලි ඇති අය හෝටලයකටද ඇදෙති. සමහරු බස් නැවතු‍ම්පලේ පවා හැසිරෙන්නේ අවට කිසිවකු නොමැති ආකාරයෙනි. මේ කාරණා දැරිය නොහැකි වැඩිහිටි පරපුර ලංකාවේ දූෂිතම ආයතනයට ඒ බව සැළ කරති. ඒ ආයතනයේ සිටින දූෂිතම පොලිස් නිලධාරීන්ගෙන් එක් අයෙකු වැඩේ අකුරටම ඉටුකර ජෝඩු 200ක් පොලිසියට ගාල් කරයි. පහුවදා මේ ජෝඩු 200 යේ දෙමාපියන් ඒ ඒ ජෝඩුවල හුන් තම දරුවන්ට මොනවා කරන්නදැයි හිතාගත නොහැකිව ලතැවෙති….. අද ලංකාවේ තත්ත්‍වය මෙයයි.

මේවාට පිළියම් නොමැතිද ? එසේ නැත්නම් වැල යන අතට මැස්ස ගසා බස් නැවතුම් පොළවල පවා උපත්පාලන අවශ්‍යතා සපුරාලන vending machine සවිකරමුද ? වර්තමාන උසස් අධ්‍යාපන ඇමති චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සිටි කාලයේ හෝ රනිල්ගේ ආණ්ඩුවේ සිටි කාලයේ තරුණ තරුණියන්ට පෙම් කෙළීම සඳහා තරුණ උද්‍යානයක් තැනීමට සැලසුම් කර සිටියා මට තවම මතකයි. මමත් ඒකට දවසක් ‍හෝ ගිහින් එන්න පෙරුම් පිරුවා ද මතකයි. ඒත්…. ඒකත් මගේ සිහිනයක් වූ බවත් තවම මතකයි.

මට සිතෙන හැටියට මේ ප්‍රශ්නයට පිළියම් යෙදිය යුත්තේ නිවෙස, පවුල ආශ්‍රිතව සිදු කෙරෙන ආකල්පමය සංශෝධනයක් මාර්ගයෙන්. දෙමවුපිය දූ දරු සබඳතාවයන් මීට වඩා ශක්තිමත් විය යුතුව තිබෙනවා. දෙමාපියන් දරුවන් කෙරෙහි මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා. තවද දෙමාපිය දූ දරු සංවාදයන් ශක්තිමත් විය යුතුව තිබෙනවා. මෙසේ කිරීමෙන් දරුවන් දෙමාපියන් කෙරෙහි ඇති බැඳීම බැඩි වෙනවා. ඒ මඟින් ඔවුන’තර ඇති වන ගැටළු නිරාකරණය කර ගැනීමේ පහසුව ඇති වෙන අතර කතා කිරීමට තරමක් අපහසු යොවුන් ප්‍රේමය, ලිංගිකත්‍වය වැනි මාතෘකා සංවාදයට භාජනය වීම මඟින් දරුවන් මෙන්ම දෙමාපියන් ද අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනඟා ගන්නවා. එසේම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්තියක් රජයෙන් ඉදිරිපත් විය යුතුයි. මත්පැන් දුම්වැටි සඳහා කොටු දැමීම වැනි මෝඩ චූන් වැඩ නොකර, කාර්යක්‍ෂම වාරණ ක්‍රියාවලියක් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිනම් තම නාලිකා වලින් ප්‍රචාරය කරන දෑ පිළිබඳ ස්වයං වාරණයක් ඒ ඒ විද්‍යුත් නාලිකා වලින්ම පනවා ගත යුතුයි.

කොළඹ නගරයේ පමණක් දිනකට ගබ්සා කිරීම් 500 කට වඩා වන බවත්, ඒවායින් හරි අඩක් පමණ වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන් සඳහා සිදු කරන බවත් මෑතක දී පුවත්පතක අනාවරණය කර තිබුණා. මේ සිදු වන්නේ මහා මිනිස් සංහාරයක්. එක් අතකින් උපදින්නට සිටින දරුවන් අකාලයේ මරා දමන අතර අනෙක් අතින් සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහිකළ හැකි තරුණියන්ගේ තරුණ භාවය සෞඛ්‍යය අකාලයේ විනාශ කර දමනවා. මෙය නැවැත්වීමට නම් අවම වශයෙන් ක්‍රමවත් උපත් පාලන ක්‍රම සහ ලිංගික අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතුමයි. මේ විනාශ වන්නේ අපේ අනාගතයයි. මෙය තවදුරටත් බෞද්ධ රටක් යැයි කියා මේ කරුණු සැඟවීමෙන් සිදු වන්නේ අනාගත පරපුර ශාරීරිකව, මානසිකව සහ සංස්කෘතික වශයෙන් අගාධයට යැවීමයි…..

අයාලේ යන පෙම්වතුන් පොලීසියට ගෙනගොස් දෙමාපියන් කැඳවීමෙන් ඔවුන්ගේ ප්‍රේම කිරීම නතර කර නොහැක. එසේ වුවත් ඔවුන් ප්‍රසිද්ධියේ නොමනා ලෙස හැසිරීම තරමක් පාලනය කළ ‍හැක. එය එසේ වුවත්, මේ හොරා පොලිස් සෙල්ලම දෙගොල්ලොන්ටම එපා වෙන දිනයක් එනු ඇත. ප්‍රේමවන්තයින්ට කෙසේ වෙතත් පොලීසියට නම් එය ඉක්මනින්ම එපා විය හැක. මේ නිසා අපේ රටේ ප්‍රශ්නවලට දමන මෙවැනි පැලැස්තර විසඳුම් වලින් අප ඈත් විය යුතු කාළය එළැඹ තිබේ. යුද්ධය නිමය. ඒ නිසා යටපත්ව තිබූ වෙනත් ප්‍රශ්නවල බැරෑරුම් බව වෙනදාට වඩා සැමටම පෙනෙන  කාළය උදා වී ඇත. රජයට ද දැන් හැම දේම ප්‍රභාකරන් මත දමා ඇඟ බේරා ගැනීමේ අවස්ථාව ගිළිහී ඇත. යමක් කළ යුතුය…

නිදා සිටීමෙන් අප විනාශ කර දමන්නේ අපේ අනාගතයයි….. අපේ රට අනාගත ආශ්චර්යය බවට පත් කරනවාද, අනාගත්ත ආශ්චර්යය බවට පත් කරනවාද යන්න අප සැමගේ හිස මත ඇති වගකීමකි…. එය රජයට තනිව කළ හැක්කක් නොවේ… අප, අපගේ ආකල්ප වෙනස් කර ගත යුතු කාළය පැමිණ තිබේ……


2 thoughts on “සිරගත වන, නව යොවුන් ප්‍රේමය

  1. නියම අදහස් ටිකක්….කියපුවා ඔක්කෝම වගේ ඇත්ත..මම හිතන්නෙ ත් රාගයෙන් තොර ආදරයක් නෑ කියලා. අපේ ජීවිතවල එක එක කාල වල දී අපි වෙනස් විදියට ඔය ස්ත්‍රී පුරුෂ ප්‍රේමය දකින්නේ සහ විඳින්නේ..ඒ වින්දනය ලබන්නේ එක එක සීමාවන්ට යටත්වෙලා..පොඩි කාලෙ දී අපිට කෙල්ලෙක් දිහා හොරැහෙන් බැලුව ම ඒ හොඳට ම ඇති..ටික කාලෙක දි කථා බහ කරන්න තිඹුණ ම ඇති කියලා හිතනෝ…ඔහොම ගිහින් අන්තිමට ම කායික ඇසුරක් දක්වා අපි එනෝ..අපි පොඩි කාලේ කරපුවා දැන් මතක් වෙද්දී හිතනෝ ඒවා මොන බොලඳ වැඩද කියලා..ඒ බොලඳ වැඩ ඒ කාලේ නොකරානම් බොහෝ විට අපි අදට ත් දන්නේ නෑ, අපිට හිතෙන්නේ නෑ ඒක බොලඳ වැඩක් කියලා..අපි දැන් කරන ඒවා ත් පසුකාලීනව අපිට හිතේවි මොනතරම් බොලඳ වැඩ ද කියලා..
    අපි ආධ්‍යාත්මිකව දියුණුවෙනකොට තමා තේරුම් ගන්නේ අපි කරපු දේවල්වල යථාර්තය.අද තියෙන ගැටළු බොහොමයකට ම හේතුව අපි ආධ්‍යාත්මිකව පිරිහීම..ලියුවා වැඩිද මන්දා..ලිපිය කියෙව්වාම අදහස් ගලාගෙන ආවා..
    ජයවේවා!!

  2. අවංක ආදරේ කියන්නේ තමන්ගෙ කෙල්ලව ආරක්ෂා කරන එක. ඇත්තටම ආදරේ කරනවානම් කවාදාවත් කෙල්ලෙක්ගෙන් ඒ ව‍ගේ දෙයක් ඉල්ලන්නත් බැහැ. මොනාවුනත් කතාව ඇත්ත. නියම අදහස් ටික.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )