සිසි වන වුවන රිය සකවන් පුළුලුකුල….. මේකප් දමා ඇති, බර වැඩි ගැහැණු බල

සෙනසුරාදා දිවයින පත්තරේ මෙන්න මෙහෙම තියෙනවා…

“මෙරට වයස අවුරුදු 15-49 වයස්‌ කාණ්‌ඩයට අයත් කාන්තාවන්ගෙන්  31.2% ක්‌ තරබාරු තත්ත්වයේ පසුවන බව මෑතකදී සිදුකරන ලද ජන ව්‍යාප්තිය හා සෞඛ්‍ය සමීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

නාගරික ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 11-19 වයස්‌ කාණ්‌ඩයේ පසුවන යෞවනයන්ගෙන් සියයට 7.6 ක්‌ ද තරබාරු තත්ත්වයේ පසුවන බව හෙළිවී තිබේ. මෙම තරබාරු තත්ත්වය දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග හා ඇතැම් පිළිකා වර්ග ඇති කිරීමේ අවදානම වැඩි කරන්නක්‌ බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

තෙල්, සීනි, පිෂ්ඨය අඩංගු ආහාර වැඩි වශයෙන් අනුභව කිරීම ඇතුළු වැරැදි ආහාර පුරුදු, ශාරීරික ව්‍යායාම අඩුවීම, ක්‍රියාශීලී බව, අඩු ජීවන රටාවකට හුරුවීම, මානසික ආතතිය වැනි කරුණු මෙම තරබාරු තත්ත්වයට හේතු වී තිබේ.”

ඉහත කී තත්ත්‍වයන්ට හේතු වී ඇත්තේ මොනවාද ? සහ ඉන් අපේ  තරබාරු ගැහැණු සංහතිය මුදවා ගත හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

ආහාර රටා.

මෙම ප්‍රවෘත්තියේ ඉලක්ක කාණ්ඩය වන්නේ නාගරික සහ අර්ධ නාගරික කාන්තාවන් වේ. මෙම කාණ්ඩයට අයත් වන්නේ බොහොමයක් වෘත්තික , විශ්ව විද්‍යාලවලට හෝ වෙනත් වෘත්තීය අධ්‍යාපනයක් ලබන කාර්ය බහුල කතුන් සහ ගෘහනියන් වේ. කය වෙහෙසා වැඩ කරන, එළවළු-පළතුරු ආදිය බහුලව ආහාරයට ගන්නා ග්‍රාමීය කතුන් අතර මෙම ස්ථුලතාවයක් දැකිය හැකි නොවේ. බොහෝ නාගරික කතුන්ගේ ආහාර රටාව ඒකාකාරී වන අතර එහි සමබලතාවයක් නොමැත. බොහෝවිට පෝෂ්‍යදායී ආහාර වේලක රස බලනුයේ අන්තයක දී පමණි. පෝෂණය අධික රතු හාලේ බතක් කැවෙන්නේ ඉතා කලාතුරකිනි. සුදු හාලේ බත්, බිත්තරයක් හෝ කකුළුමස් කැබැල්ලක් සහිත බත් වේලකින් බලාපොරොත්තු වන පෝෂණය ලැබිය නොහැක. එසේම, කාර්යබහුල බව නිසාම බොහෝ නාගරික පවුල් රාත්‍රී ආහාරය ලෙස දුවනගිරි හෝටලයකින් ගෙන ආ ආප්ප, ඉඳිආප්ප හෝ කොත්තු රොටි වේලකින් කුස පුරවාගැනීමට පුරුදු ව සිටිති. මේවා  ආහාරයට ගැනීම ශරීරයට අහිතකර අතර නිසි පෝෂණයක් ද  නොලැබේ.  එසේ මෙන්ම ලංකාවේ මෙවන් ස්ථානවල ආහාරවල අඩංගු දෑ හෝ ඒවායේ අඩංගු කැලරි ප්‍රමාණය පිළිබඳ කිසිදු තැකීමක් නොකරයි. එසේම දැන් දැන් හතු පිපෙන්නා සේ විවෘත වන McDonalds, KFC, Pizza Hut, වැනි ක්‍ෂණික ආහාර අලෙවිසල් වලින් ආහාර මිලදී ගන්නා පිරිස බලන කල, තවත් අවුරුදු 10 ක් වන විට ලංකාවේ අධිස්ථුලතාවයට පත්වන පිරිස පිළිබඳ දළ නිගමනයකට එළඹිය හැකිය. තවද තන්තුමය ආහාර මඳ බවින් ඔවුනට ආහාර මාර්ගයේ රෝගාබාධ සහ පිළිකා ආදිය පවා වැළඳීමට ඉඩ තිබේ. මෙය නාගරික ජීවිතයක් ගෙවන නිසි පරිදි ආහාර පිළිබඳ සැලකිල්ලක් නොදක්වන සියළුදෙනාට පොදු කාරණයකි.

සමබල ආහාර වේලක අඩංගු විය යුතු දෑ

ව්‍යායාම.

ග්‍රාමීය කාන්තාව බොහෝවිට පයින් ගමන් කරන, තරමක් හෝ කය වෙහෙසා වැඩෙහි යෙදෙන, ගෙවත්තෙන් නෙලාගත් පලාවර්ගයක්, කොස්, දෙල් වැනි යමක් ආදී දේ සමඟ  මිශ්‍ර කෑම වේලක් ලබාගන්නා පිරිසක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මන්දපෝෂණය විනා ස්ථුලතාවය නොවේ. මේ නිසා ඔවුන’තර ඉතා සුළු පිරිසකගේ ස්ථුලතාවයක් දැකිය හැකි වුවත් ඒ ජානමය සාධක මත රැඳුනක්. නාගරික කාන්තාවට ව්‍යායාම කිරීමට හෝ අවම වශයෙන් දිගු දුරක් ඇවිදීමට හෝ වෙලාවක් සහ ක්‍රමයක් නැහැ. ඔවුන් බොහෝ විට බසයේ, සේවා ස්ථානයේ නැතිනම් ගෙදර දූ දරුවන්ගේ වැඩක්. ඒ විතරක් නොවෙයි, සමාජමය සහ සංස්කෘතික සාධකත් මෙයට බලපානවා. තම ශරීරය පිළිබඳ සැලකිළිමත් වන නාගරික වැඩවසම් තරුණියකට කොට කලිසමක් ඇඳගෙන පාරේ හෝ පිට්ටනියක දුවන්නට නොහැකියි. ඇය විවිධ අයගේ උපහාසයට ලක්වන්නට පුළුවන්. විවිධ කායවර්ධන හෝ ශරීර සුවතා මධ්‍යස්ථාන (Fitness centers) තිබුණත් සාමාන්‍ය තරුණියකට ඒ සඳහා වැයකිරීමට මුදලක් හෝ කාලයක් නැහැ. මා දන්නා අන්දමට සමහර පෞද්ගලික සේවා ස්ථාන තම සේවකයන්ට එම ආයතනයේ වියදමින් ශරීර සුවතා මධ්‍යස්ථානවල සාමාජිකත්‍වය ලබාගෙන තම සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට පහසුකම් සලසා තිබුණත් අවම වශයෙන් පුරුෂ පක්‍ෂයේ සේවකයන් වත් එය හරිහැටි ප්‍රයෝජනයට නොගන්නා බවයි දැනෙන්නේ. වෙනත් රටවල රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් බොහෝ සේවා ස්ථානවල Fitness Center එකක් අනිවාර්යයෙන්ම තිබෙනවා. එසේ කිරීමෙන් තම සේවකයාගේ ශරීර සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය ද මනාලෙස පැවතීමෙන් කාර්යක්‍ෂමතාවය වැඩිකර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. සතුටින සිටින සේවකයා මනා සේවයක් කරන බව ඔවුන් දන්නවා.

කාර්ය බහුලත්‍වය.

ග්‍රාමීය ජනයා මෙන් නොව නාගරිකයා නිතරම තරඟයක යෙදෙන්නෙකි. මුදල් සෙවීමට, සමාජ තත්ත්‍වය ආරක්‍ෂා කිරීමට, ඉදිරියට යාමට, ආදී නොයෙකුත් සාධක නිසා ඔවුන් තර ශරීර සෞඛ්‍යය රැක ගැනීම පසෙක ලා ඒ ගමනේ යෙදී සිටිති. පාසල් යන වයසේ තරුණ පිරිස දැන් දැන් විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්වී පොතපතේ ම එල්බීගෙන අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෙහෙසෙති. යමක් කමක් ඇති අය ගෙදරටම ගුරුවරුන් ගෙන්වාගෙන ඉගෙන ගනිතත්, ඇඟ වෙහෙසා ක්‍රීඩාවන් කිරීමට මැළිවෙති. ඒ වෙනුවට වීඩියෝ ක්‍රීඩා කිරීම හෝ පරිගණක ක්‍රීඩා කිරීමට ඔවුන් රුචිකත්‍වයක් දක්වති. මේ නිසා පාසල් යන දරුවන් අතරද ස්ථුලතාවය මතු වේ.

හෝමෝන ක්‍රියාකාරීත්‍වය.

කාන්තාවන් උපතින්ම වෙනස්වන සුළු හෝමෝන ක්‍රියාකාරීත්‍වයක් ඇති අය වේ. වයස 10-11 පමණ සිටම ඔවුන්ගේ ශරීරය සිය වර්ගයා බෝකිරීමේ මූලික කර්තව්‍යය සඳහා සූදානම් වේ. මෙවිට විවිධ අවස්ථාවලදී ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ට්‍රෝන්, සහ FSH, LH, ආදී හෝමෝන ශරීරය තුළ විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. මේ අතරින් ඊස්ට්‍රජන් කාන්තාවන්ගේ ශරීරයේ (විශේෂයෙන් උදරයේ) මේද තැන්පත් කිරීමේ ප්‍රධාන වගකීම දැරිය යුතු හෝමෝනය වේ. පුරුෂයන් ද මෙම හෝමෝනය ශ්‍රාවය කරන අතර ඔවුන්ගේ ද  නෙරා ආ උදරයට වගකිව යුත්තේ මෙම හෝමෝනයයි. මෙම හෝමෝනය ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝනයක් වන බැවින් හෝමෝන පාලනය කිරීම සමහර විට අනිසි ප්‍රතිඵල දිය හැකි කරුණක් විය හැක.

මානසික ආතතිය සහ වෙනත් මානසික තත්ත්‍ව.

මානසික ආතතිය ස්ථුල බව වැඩිකිරීමට බලපෑ හැකි සේම ස්ථුල බව ද මානසික ආතතිය ඇති කිරීමට හේතු වනවා. මෙය හරියට චක්‍රයක් සේ ක්‍රියාත්මක විය හැකියි. සමහර අය මානසිකව වැටුන අවස්ථා වලදී වැඩිපුර ආහාර ගැනීමෙන් මෙම තත්ත්‍වය ඇති විය හැකියි. කෙසේ වෙතත් ලංකාවේ සමහර කාන්තාවන් කෙතරම් තර වුවත් එය ගණනකටවත් නොගන්නා නිසා ඔවුන් ඒ අතින් නම් මානසික ආතතියට පත් වන්නේ නැහැ.

මෙම තත්ත්‍වය තරමක අවදානම් තත්ත්‍වයක්. ඒ මක් නිසාද යත් ස්වභාවයෙන්ම කාන්තාවන්  මහත් වීමට බොහෝ ඉඩකඩ ඇතිවාක් මෙන්ම ඔවුන්ගේ බර අඩුවීම ද සිදු වන්නේ ඉතා සෙමින්. මේ නිසා ඔවුන් සිය සිරුර මනා ලෙස පවත්වා ගැනීම පිළිබඳ උනන්දු විය යුතුයි. දැන් කාලේ තරුණියන් විවාහයට පෙර තම සිරුර මනා ලෙස පවත්වා ගැනීම පිළිබඳ සැලකිළිමත් වුවත් සමහරු විවාහයෙන් පසුව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙය සිරුරටත් විවාහ ජීවිතයටත් යන දෙකටම අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ස්ථුලතාවය විවිධ රෝග රැසක මූලිකත්‍වය ගෙන කටයුතු කරන දෙයක්. අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, ලිංගික දුබලතා, ආදිය ප්‍රධාන ස්ථානයක් ගන්නවා.

කෙසේ වෙතත් සිය සිරුර පිළිබඳ මනා අවධානයෙන් සිට, මනා සෞඛ්‍ය තත්ත්‍වයෙන් ජීවිතය පවත්වාගෙන යාම තමන්ටත්, තමන්ගෙන් යැපෙන්නන්ටත් තමන් අවට සිටින්නන්ටත් ආදී සියල්ලන්ටම හොඳ කටයුත්තක්. තමන් ආහාරයට ගන්නා දේ පිළිබඳ සැලකිළිමත් වී, නිසි පරිදි හැකි පමණින් ව්‍යායාම කර නිරෝගීව සිටිය හොත් අවම වශයෙන් තමන්ගේ මුණුබුරු මිණිබිරියන්ගේ මුහුණවත් බලා මිය යන්න පුළුවන්… එසේ නොකර අලස කමින් කකා බිබී හිටියොත් ඉතා ඉක්මනින් වල පල්ලටත් යන්න පුළුවන්… මේකෙන් කොයික තෝරගන්නවද කියලා ඔබම හිතා බලන්න…….

One thought on “සිසි වන වුවන රිය සකවන් පුළුලුකුල….. මේකප් දමා ඇති, බර වැඩි ගැහැණු බල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )