සුදු කොඩි….Wikileaks….අමෙරිකාව…. සහ… ශ්‍රී ලංකාව……

බජාර් එකේ චන්ඩියා වී හැමෝටම තග දමාගෙන හැමදාම කාටවත් ජීවත් වීමට නොහැකිය… ගෝනවල සුනිල් ආ ගිය අතක් නැත..ප්‍රේමදාස රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකව සිටි සොත්ති උපාලි ද මිය ගියේය… වෙනකක් තියා යුධ ශිල්පයේ කෙළ පැමිණි ප්‍රභාකරන්, සදාම් හුසේන් පමණක් නොව ලොක්කන්ට තග දමා අසරණයන්ට පිහිට වූ රොබින් හුඩ් ද මිය ගියේය…. මේ නිසා “හැමදාම පොර වී ලෝකයේ සිටිය නොහැකිය” යන්න පැහැදිළිව කිව හැකි ධර්මතාවයක් බවට පත් වී ඇත.

ඒ සංසිද්ධියට මුහුණ පාන්නට වූ නවතම චන්ඩියා ඇමරිකා එක්සත් ජනපදයයි. යැංකියා හැම රටටම හොට දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රට කරන හැටි කියා දෙන්න ලොව වටා යයි. එහෙම නොකරන එවුන්ගේ බොටුවෙන් ඇද ඒත් මෙල්ල නොවුන හොත් ලෝකයටම පේන්න ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තරම් යැංකියා ප්‍රජාතත්ත්‍රවාදීය.. සදාම් කාරයාගේ මහා පරිමාණ අවි හොයන්නට ගොස් පුක බිම ඇණ ගත් බුෂා ඒ මරගාතය ඔබාමාට බාර දී මාරු වුනේය… ඔබාමා රට ගන්නට පෙර කිව්වේ යුද්දේ ඉවර කරනවාය කියාය… දැන් ඒක මතක නැත…

හිලරියස් නෝනා තමන්ගේ රෙද්ද පල්ලේ ඇති කක්ක බෙට්ට බලාගන්නේ නැතිව අනුන්ගේ කකුස්සිවල පිරිසිදුකම බලන්න යන්නීය. ලංකාවට මානව හිමිකම් රකින්න යැයි කියමින් පකිස්ථානයේ ගම් පිටින් බිමට සමතලා කරයි.. ඊට පස්සේ අනේ සොරි කියා ශේප් වෙයි… ඒ යැංකියාගේ මානව හිමිකම් රැකිල්ලයි.  උන්ට මෙච්චර තාක්‍ෂණය තිබිලා අවුරුදු ගාණක් ගිහිල්ලත් අර රැවුල්කාරයාගේ මයිල් ගහකට අත තියන්න බැරි වුනා. . අපේ හමුදාව කොටි හපුවාට ගේම දුන්නට යැංකියාට කාලා ඉන්න අමාරුයි..  උන් සුදුකොඩි කතාව ඇදගෙන අපේ යුද වීරයොන්ට ගේම දෙන්නයි දතකට මැදගෙන ඉන්නේ… අපේ අයියලත් උගේ බහට රැවටිලා මෙන්න කියලා උඩ පැනලා දෙනවා…..

යැංකියා ඇවිල්ලා හරිම දෙපිට කාට්ටුවා. උන් ලෝකෙම ඉන්න ආයුධ හදන එවුන්ගෙන් පළවෙනි පස්දෙනා අතරේ ඉන්නේ.. එහෙම ඉන්න ගමන් අනික් අයට කියනවා යුද්ධ කරන්න එපා කියලා.. එහෙම කියලා යටින් ආයුධ දෙනවා දෙපැත්තටම..

Wikileak එකේ බුවා

ඒ වුනාට Wikileak කාරයා යැංකියාට මේ පාර දීලා තියෙනවා මදි නොකියන්න… ඒකා ඇෆ්ගනිස්ථානයේ යුද්ධය සම්බන්ධ ලිපි ලේඛණ අම්බානක් එළියට දාලා තියෙනවා යැංකියාට ඇපත් නැති වෙන්න.. ඒවයේ තියෙනවා කියන්නේ බුද්ධිමය තොරතුරු ලබාගන්න උන් කරපු දෙවල්, දේශපාලුවොත් එක්ක කරපු කතාබහ ආදී නොයෙක් දෑ…. කියන විදියට නම් ලියුම් අනූදාහකට වඩා එළියට දාලයි කියලයි කියන්නේ. මේවා බොහොමයක් යුධ රහස් කියලයි යැංකියා නම් කියන්නේ. එක අතකට මේක විය යුත්තකුත් නොවෙයි. මේකෙන් අසරණ වෙන්නේ සල්ලිවලට යුද්ධ කරන අසරණ සොල්දාදුවො මිස යුද්දේ බලෙන් පටවපු දේශපාලුවො නොවෙයි…

හැබැයි බැරි වෙලාවත් සිරි ලංකාවෙ මෙහෙම දෙයක් වුනා නම් මෙලහකට Wikileak කාරයාගේ හත් මුතු පරම්පරාවේ එකෙක්ගෙවත් කෑලිවත් හොයාගන්න බැරි වෙන්න වැඩේ හම්බුවලා… ඒ අතින් යැංකියා ටිකක් සදාචාර සම්පන්නයි…

කොහොම වුනත් යැංකියා බලාපොරොත්තු නොවුන මේ ගේම නම් මෑත දී යැංකියාට දීපු ලොකු කණේ පාරක් කියලයි දේශපාලනේ නොදන්න ඇල්කෙමියාට හැඟෙන්නේ…. අනේ මම වැරදි නම් නිවැරදි කරන්න… .

Advertisements

අගනුවර ක්‍රිකට් තරඟාවලිය – ලංකාවෙ නෙවෙයි මෙයා…. ඇමරිකාවෙ….

වොෂිංටන්  ඩී සී හි කට්ටියක් සංවිධානය කරන මහා ක්‍රිකට් තරඟාවලිය ජූලි මස 31 වන සෙනසුරාදා උදෑසන 7.00 සිට ( දන්නවනේ ලංකාවෙ අයගෙ වෙලාව… අටට විතර ප‍ටන් ගනීවි) වර්ජිනියාහි ලේක් ෆෙයාෆැක්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත..

ක්‍රිකට් කණ්ඩායම් 16 ක් සහභාගි වෙන මෙම තරඟාවලියේ කණ්ඩායම් දැනටමත් තෝරා අවසන් බැවින් නව කණ්ඩායම් වලට අළුතින් සහභාගි වීමේ අවස්ථාවක් නොමැත…

සහභාගි වන කණ්ඩායම් මෙසේයි.

1. New York Eagles
2. SPCOBUWDC -A
3. SPCOBUWDC -B
4. Kurumbas
5. Kabaragoyas
6. Lakmithuro
7. Achcharuwa
8. Royal College -A
9. Unicorn
10. Lanka Lions
11. K9
12. Trinity Blue
13 Trinity Gold
14. Dharmarja College
15 Royal College B
16. Old Ben’s

මෙන්න විස්තර ඉංගිරිසියෙන්

Tournament Details
Date: July 31, 2010

Time: 7:00 AM onwards

Venue: Lake Fairfax Park, VA

Directions: Lake Fairfax Park may be reached by taking  Beltway Exit 47A which is Route 7 or Lees burg  Pike west to a left on Baron Cameron Avenue  to the second left on Lake Fairfax Drive.  Games will be played at the park Cricket Fields.

මම ගහන්නේ අච්චාරුවට…. එහෙනම් හෙනහුරාදා මුලිච්චි වෙමු….

කව්රු නෑ කිව්වත් එස්. බී. කියන්නේ පොරක්…. සිරාම සිරා පොරක්…..

ඇල්කෙමියා දේශපාලනයට අකමැතිය. දේශපාලුවන්ට අකමැතිය… එහෙත් උන් පට්ට ගසමින් උන්ගේ ගුණදොස් ලිවීමට කැමතිය… ඇල්කෙමියාගේ දර්ශනයට අනුව බුදු හාමුදුරුවෝ දේශපාලනයට වැඩියත්, උන් වහන්සේත් corrupt වෙන තරමට දේශපාලනය නින්දිතය… ඒත් දේශපාලුවන් නැතුව රටක් පාලනය කළ නොහැක… මොළයක් ඇති දේශපාලුවන් රටකට සම්පතකි..

එස් බී අමුතුම විදිහේ දේශපාලුවෙකි. මතක ඇති කාළයේ සිට හෙබවූ ඇමතිකම් වලින් සහ තනතුරු වලින් ඔහු වැඩ පෙන්වූ කෙනෙකි. ඒ නිසා එස් බී රටේ තරමක පොරකි. සමෘද්ධි ඇමති කාළයේ තමන්ටම කියා ඉන්න හිටින්න ගෙයක් හදා ගත්ත එක ඇත්තය… නමුත් සමෘද්ධි ව්‍යාපාරය කෙසේ හෝ කරගෙන ගියේය… සුසන්තිකාගේ කරගැටයක් කැඩූ බව ඇත්තය… නමුත් සුසන්තිකා ඔලිම්පික් රිදී පදක්කමක් ගෙන එන තැන දක්වා ගෙන ගියේ එස් බී නැතුව සුසන්තිකාගේ මනුස්සයා නොවේය… චන්ද්‍රිකාගේ ඡන්ද දිනන මැෂිම වුනේ එස් බී ය. එසේම චන්ද්‍රකාගේ රජය පෙරළුවේද එස් බීය.. මේ නිසා එස් බී රටේ දේශපාලනයේ තරමක පොරකි.

දැන් එස් බීට ලැබී තිබෙන්නේ රටේ ඉතාම වැදගත් තනතුරකි. නිකංම නිකං අධ්‍යාපන ඇමති නොව උසස් අධ්‍යාපන ඇමති තනතුරයි. මෙය රටේ අනාගතය හැඩගස්වන තනතුරකි. හරිගියොත්  ගොඩ සේම වැරදුනොත් සොරි ‍වන්නකි. වැඩේ තියෙන්නේ ගොඩ යන තරමට වඩා සොරි වීමේ සම්භාවිතාවය වැඩි වීමයි.

එස් බීගේ අභිප්‍රාය වන්නේ රටේ උසස් අධ්‍යාපනය උසස් තැනකට රැගෙන යාමයි. ඒ අනුව මුලින්ම රැග් කරන එවුන් දඬු කඳේ ගැසීමට නීති ගෙන ආ යුතු බව ප්‍රකාෂ කළේය… ඇත්තටම එය කාලෝචිත පියවරකි. හඳුනාගැනීම මරණයෙන් පවා කෙළවර වන පීඩාකාමුක සීනියර් උත්තමයන්ට අළුත් නැවේ බඩු සෙට් කරගැනීමටත් තම දේශපාලන පක්‍ෂයට නවක සාමාජිකයන් බඳවා ගැනීමත් හැරුණුකොට නවක වදයෙන් ගොඩ ආ කෙනෙක් නම් නැති. එසේම දිගුකලෙක සිට අවශ්‍යතාවයක් වූ එහෙත් කිසිවෙකු අත නොගැසීමට වග බලාගත් පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පය නැවත කරළියට ගෙන ආ එස් බී දැන් කරන්න යන දේ ඉතා ප්‍රශංසනීයය…

මෙතෙක් කල් දෙකේ කොළයට දමා තිබූ, එහෙත් රටේ ඉතාම වැදගත් පුද්ගල කොට්ඨාශයකට හිමි තැන ලබා දීම හේතුවෙන් එස් බී නැවත වතාවක් පොරක් වී තිබේ… පෞද්ගලික අංශයේ උසස් ආයතනයක කම්කරුවෙකුට වඩා අඩු පඩියක් ගන්නා, එහෙත් සිය ජීවිතයම අනුන් වෙනුවෙන් කැපකළ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වේතනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට කළ යෝජනාවම එස් බී පොරක් වීමට සුදුසු යැයි ඇල්කෙමියා යෝජනා කරයි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සිය ආචාර්ය උපාධිය ලබා ගන්නේ ජීවිතයේ නොවිඳිනා දුක් කන්දරාවක් විඳගෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. සිය ආචාර්ය උපාධි සමයේ, හරිහැටි කෑමක් බීමක් නොමැතිව හරි හැටි නින්දක් නොමැතිව සිය දෙමාපිය දූදරු ඥාති මිත්‍රාදීන්ගෙන් වෙන්ව දුරු රටක දුක් විඳ ගන්නා මේ ආචාර්ය උපාධිය සිය රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් අඩු තක්සේරුවකට පිදූ මේ මහාර්ඝ පිරිසගේ නිසි ඇගයීම ලබා දීම එස් බී කළ මහත් පිනකි.

මෙය මෙතැනින් නැවැත්විය යුත්තක් නොවේ. රටේ අනාගතය හැඩගස්වන මේ මහා බුද්ධිමය කෙතේ අස්වැන්න ඔවුනට මුදල් දීමෙන් වැඩිකරගැනීම කළ හැක්කක් නොවේ. ඔවුන් වපුරන බීජ හරි හැටි පොහොර දමා ඒ ගස් වඳ පීදීමට ඉඩ නොදීමත් එස් බී සතු යුතු කමකි. ඒ අනුව විශ්ව විද්‍යාල විෂය පාඨමාලා අනාගතයට සහ රටේ දියුණුවට, පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස සකස් කළ යුතුය. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පර්යේෂණ වලට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන වැඩි කිරීමෙන් ඔවුන් තව තවත් ඒ කටයුතු වලට උනන්දු වී රටට අවශ්‍ය පර්යේෂණ සිදු කරනු ඇත.. කුමරතුඟු මුනිදසුන් පැවසූ අයුරින් ” අළුත් අළුත් දෑ තනන ජාතියක්” බවට සිරි ලක පත් කිරීමට එස් බීට මහඟු අවස්ථාවක් උදා වී තිබේ.

පෞද්ගලික විශ්ව විද්‍යාල අපට අවශ්‍යය.. එය නැතැයි කීම කෝච්චියට හසු වී මිනිසුන් මිය යන නිසා දුම්රිය ගමනාගමනය නැවැත්විය යුතු යැයි කීම හා සමාන දෙයකි. එසේම මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල මනා ප්‍රමිතියකින් ද පවත්වාගෙන යාම කළ යුත්තකි. ඒවාට බඳවා ගැනීම නිසි ක්‍රියා පටිපාටියකින් යුතුව කළ යුතුතකි…..එසේ නැතහොත් මුදලට උපාධි විකිණීම  නෙහොත් උපාධිය ගණිකා වෘත්තියේ යෙදවීම වැලකිය නොහැකි වනු ඇත.  රජයේ විශ්ව විද්‍යාලවලට තේරුණු, යහමින් මුදල් ඇති  සිසුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වෙත යාමෙන් තවත් තරුණ පිරිසකට රජයේ විශ්ව විද්‍යාල වල දොර හැරීම ද වනු ඇත. එසේම රජයේ විශ්ව විද්‍යාලවල ඇති පුරප්පාඩු නිසි ලෙස පුරවා, ඒවායේ තත්ත්‍වයන් නඟා සිටුවීම මඟින්, අළුතින් ඇතිකරන පෞද්ගලික විශ්ව විද්‍යාලවලට තරඟයක් දීමෙන් ඒ දෙකෙහිම තත්ත්‍වය ඉහළ නැංවෙනවා ඇත………

ඇල්කෙමිච්චිත් දැන් ආචාරිනියක්…. ! පුද්ගලිකයි, ඒත් රහසිගත නම් නෑ………..

ඇල්කෙමියා සාමාන්‍යයෙන් පුද්ගලික කතන්දර රසායනාගාරයේ පළ කරන්නේ නෑ. ඒත් මේක ලියන්නම ඕන කියලා හිතුනේ ලංකාවේ බොහොමයක් පවුල් වලට මේ අවස්ථාව නොලැබෙන නිසා දැනුන සියුම් ආඩම්බරයත් එක්කයි… ඒ විතරක් නෙවෙයි… ඇල්කෙමියාගේ රසායනාගාරයට ලිපි බලන්න එන රසායන විද්‍යා ආයතනයේ පැටික්කියෝ ටිකක් ඉල්ලීමක් කරලා තිබුණා ඇල්කෙමියයි ඇල්කෙමිච්චියි ගේ පෙම් පලහිලව්ව ඒගොල්ලන්ටත් දැනගන්න කියන්න කියලා.. (ඔක්කොම නම් කියන්න බැහැ…. සමහර දේවල් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ) මේක ඉතින් ඒ පෙම් පලහිලව්වම නොවුනත් ටිකක් විතර අඩංගුයි…. ඒ වුනාට වැඩි විස්තර දන්න අය හිස්තැන් පුරවනව එහෙම නොවෙයි හරිද ? අපිත් ඉතින් සමාජයේ ජීවත් වෙන්න ඕන නේ.

මේක විශේෂයෙන්ම ලියන්න හිතුනේ ඇල්කෙමිච්චි ආචාරිනියක් වෙන්න කරපු මහන්සිය දැකලයි. සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම සාර්ථක ගැහැණියක ඇත කියන කියමන ඇල්කෙමිච්චි මොනවට පැහැදිළි කළා. ඇල්කෙමියාගේ සාර්ථකත්‍වයෙන් 80% ක වගකීම භාර ගන්න ඕනේ ඇල්කෙමිච්චි.. ඈ ඒතරම් සහයෝගයක් ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි ඈත් ඒ මඟම කෙතරම් බාධක තිබුණත් කෙසේ හෝ ගමන් කරනවා.

ඇල්කෙමියාට ඇල්කෙමිච්චි ඇහැ ගැහුනේ ගල්කිස්සේ සාන්ත තෝමස් එකේ පැවැත්වුන රසායන විද්‍යා ආයතනයේ දේශන වලදි… ඇල්කෙමියා යාළුවොත් එක්ක පයින් යද්දි ඇල්කෙමිච්චි ආවෙ බර බර ගාන පරණ වෝල්ක්ස්වැගන් එකක තාත්තත් එක්ක.., වැඩිය විසිකුරුත්තං නැති කොණ්ඩෙ දිගට ගොතාපු ඇල්කෙමිච්චි පිළිබඳ මොකක්දෝ හේතුවකට ඇල්කෙමියාට හිතක් පහළ වුනා… තවමත් ඇයි කියලා හිතා ගන්න බැහැ.. දෛවය වෙන්න ඇති. ඇල්කෙමියාගේ රසිකත්‍වය ගැන දන්න පරණ යාළු මිත්‍රයෝ මේ තේරීම ගැන පුදුම වුනා. මොකද ඇල්කෙමියා ගියේම සුදට සුදේ බැබලෙන ගැටිස්සියෝ පස්සේ… ඒ වුනාට ඇල්කෙමිච්චි ඒ එකෙක් වත් තරම් සුදු නැහැ.

ඇල්කෙමිච්චිත් වැඩිය බර බරයක් නැතුවම ටික ටික කැමති වුනා… දැන් අපි දෙන්නා අඳුනගෙන අවුරුදු 17ක් වෙනවා… ඇල්කෙමියා එක්ක අවුරුදු 17 ක් ඉඳපු එකම ඇති ඇල්කෙමිච්චිට ආචාර්ය උපාධියක් දෙන්න… රසායන විද්‍යා ආයතනයේ ඇල්කෙමියයි ඇල්කෙමිච්චියි දෙන්නා හරි හරි වැඩ කළා. ඒ දෙන්නට ඉහළින් මැස්සෙක් වත් ගියේ නෑ. ඉගෙන ගන්නකොට වුනත් එහෙමයි… ඒකටම හරි යන්න යාළුවො Set එකකුත් හිටියා ඇල්කෙමියයි ඇල්කෙමිච්චියි ට අමතරව HIV, Coil, Pinky සහ බරී.. රණාත් ඉඳලා හිටලා සෙට් වුනා.. ලයිබ්‍රරි එකේ හේමපාල උන්නැහේ හැමදාම බයිට් එකට ගන්නවා…. දැන් නම් පව් කියලත් හිතෙනවා… ඒ මදිවට Lecturer කෙනෙක් ආවෙ නැති වුන ගමන්ම යන්නේ Beach එකට.. ගිහින් Cricket ගහනවා… දවසක් කොටාගේ ගෙදර දානෙකට මෙඩිකල් රෙපාගෙ කාර් එකේ 15 දෙනෙක් ගිහින් ඉතුරු වෙච්චි කිරි මුට්ටියකුත් අරන් සෙට් එකම ආවා Class එකට…. එනකොට ග්‍රැන්විල් ධර්මවර්ධන උන්නැහේ බලන් ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා…..  ඔන්න ඔය වගේ වැඩ තමයි අපි කළේ…

Part I එකේ ඇල්කෙමියා Batch top, ඇල්කෙමිච්චි Batch second;  Part II වලදි ඇල්කෙමිච්චි Batch Top, ඇල්කෙමියා Batch second.  අන්තිමට දෙන්නා  Second upper  දෙකකුත් අරන් තමයි රසායන විද්‍යා ආයතනයෙන් පිටවුනේ… ඔහොම යනකොට ගෙවල් වලටත් ආරංචි වුනා මෙ පලහිලව්ව… ගෙවල් දෙකෙන්ම කතා කරලා මේ වැඩ එකලාසයක් කරලා දාන්න කියලා දෙන්නව බන්දලා දැම්මා 2000 අගෝස්තු අන්තිමේ.. ගල්කිස්සේ මහ හෝටලේ තිබ්බ ඒ මඟුලට බොහොමයක් යාළුවො ආවා. රසායන විද්‍යාව උගන්නපු දෙව්රුවන් සර්රුයි මහාචාර්ය JNO ප්‍රනාන්දුයි තමයි දෙන්නව බන්දලා දැම්මේ.

ඊට මාස තුනකට පස්සේ ඇල්කෙමියයි ඇල්කෙමිච්චියි යැංකියගේ රට බලා නැව් නැංගේ Masters උපාධිය කරන්න ලුයිසියානාවට… මළකෙළියයි කියන්නේ මෙච්චර කල් අම්මලා ගාව හැදුන ඇල්කෙමියටයි ඇල්කෙමිච්චිටයි දැන් වෙනම ගෙදරක් අරන් ජීවත් වෙන්න වෙච්චි එක… ටික දවසක් යනකොට වැඩේ කොහොමහරි අල්ලගත්තා.. දෙන්නාම කළේ අකාබනික රසායනය… වැඩේ නැගලා ගියා….ඒ උපාධියත් දෙන්නා එකටම ඉවර කරලා 2003 දි ආචාරියෙක් වෙන්න හිතාගෙන ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට ඇතුළු වුනා.. ඇල්කෙමියා කළේ අකාබනික රසායනය… ඇල්කෙමිච්චි ජීව රසායන විද්‍යාව පැත්තට මාරු වුනා.

කොහොමහරි ඔහොමින් ඔහොම යනකොට ගෙවල් වලින් බර බරේ දාන්න ගත්තා ඒ ගොල්ලන්ට ඇල්කෙමි පැටියෙක් ඕන කියලා.. ඒ වැඩෙත් ඉතිං  කොරලා දෙන්න කියලා ඇල්කෙමි පැටියෙකුත් හදා ගත්තා 2005 අගභාගයේ… ඒ අලකලංචි ඔක්කොම කරගෙන ඇල්කෙමියා ආචාරියෙක් වුනා 2010 ජනවාරි වල… ඇල්කෙමිච්චිත් කොහොම හරි ජුලි මාසෙ වැඩේ ඉවර කර ගත්තා.. ඇල්කෙමි පැටියා ආවට පස්සේ කරපු යුද්දේ හැටියට ඔයින් ගියා හොඳටම ඇති…….

ඇල්කෙමිච්චි නොහිටින්න දැන් ඇල්කෙමියා කොහේ ඉන්නවද කියලා හිතා ගන්නත් බෑ…  එයා තමයි දැන් සීන් එක රන් කරන්නේ.. ඇල්කෙමියා කරන්නේ උදේට රසායනාගාරයට ගිහින් හවසට ගෙදර එන එක… ඒකත් ලේසි පාසු දෙයක් නෙවෙයි…. ඒත් ඉතිං අපිට කන්න ඔබාමා නිකං සල්ලි දෙනවායෑ…. ඔන්න ඔහොමයි ඇල්කෙමියගෙයි ඇල්කෙමිච්චිගෙයි ‍ප්‍රේම පුරාණයේ කියන්න පුළුවන් හරිය…..

ගෝඨා තවත් කුණු වැඩකට අතගහයි…..! රාජපක්‍ෂ සමාගමට ජයවේවා……!

ලංකාවේ කුණු කසළ ප්‍රශ්නය හැමදාමත් ගඳ ගහන අප්‍රසන්න ප්‍රශ්නයකි. කුණු බක්කියට එක නිලධාරියා ගානේ හිටියත් උන් එකෙකුගේ වත් නහයක් නැත්තා සේය…. සමහර පලාතවලින් ගමන් කළ නොහැක… එතරම් ගඳය…. ඒ මදිවාට කොළඹ නගර සභාවෙන් මුදල් අරගෙන පෞද්ගලික සමාගම් අපේ කුණු අපිටම ලබා දේ…. ආසියාවේ අයිස්-චර්යයේ හැටි එහෙමය…. ආණ්ඩු දහයක් ආවත් නගරාධිපතිලා විසිපහක් පත් වුනත්, කොළඹ  නගර සභාව සමාගමක් කළත්, කුණුගොඩවල් කවදාවත් අයින් වුනේ නැත..

ඒ වුනාට දැන් අපටම කියා රජෙක් ඇත. ඒ රජාටම හරියන සහෝදර කැළක් ඇත. සමහරු ඒකට රාජපක්‍ෂ සමාගම කියා කියති. ඒ මේ රටේ ‍බොහොමයක් වැදගත් ස්ථානවල රාජපක්‍ෂ වරුන් රජකරන නිසාය… සමහරු ඒකට කැමතිය: තවත් සමහරු අම්බානට ඉරිසියාය… ඇල්කෙමියාට ඒ දෙකම නැත… රාජපක්‍ෂ වරුන් කරන හරි දේට ඇල්කෙමියා කැමතිය… වැරදි දෙයක් කළොත් ඒකත් විවේචනය කරන්න පුළුවන…

මෑත කාළයේ ගෝඨා, සැබෑවටම දසමහා යෝධයෙකු සේ ත්‍රස්තවාදීන් සමූලඝාතන මෙහෙයුම සම්බන්ධීකරණය කෙළේය… ගෝඨා ලංකාවට නොඑන්නට, පොන්සේකා අද විශ්‍රාමික ජනරාල් වී පිටරටක තානාපති නිලධාරියෙකු ලෙස සැප විඳින්නට හැකි විය ඇතිව තිබුණි. පොන්සේකාගේ හැටි දැන දැනත්, ගෝඨා පොන්සේකාව හමුදාපති කළේ ඒ කටයුත්ත කළ හැකි එකම එකා පොන්සේකා බව ගෝඨා දැන සිටි නිසාය… ඒ ගෝඨාගේ ඉවයි… වැඩ බැරි සමහරු ගෝඨා තම බලය ඉක්මවා කටයුතු කරන්නේ යැයි කෙඳිරි ගෑවත්, ගෝඨා වැනි පොරවල් තව තවත් අප රටට අවශ්‍යය… ඒ ඔහු මහින්දගේ සහෝ නිසා නොව, කරන කියන දේ අම්මා මුත්තාට වුවත් කෙළින් කියන නිසාය…

දැන් ගෝඨා අතගසා සිටින්නේ ත්‍රස්තවාදය තුරන් කළා සේම තවත් අසීරු කාර්යයකටය. මෙවර ඔහුට හරහට සිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාව නොව, කුණු ගොඩවලින් හම්බකරන් කන පාතාලයේ මැර කල්ලි සහ  පඩි අරන් නිදා ගන්නා නිලධාරී ප්‍රජාවය… ප්‍රභාකරන්ට වැඩේ දුන් ගෝඨාට මොවුන්ටද වැඩේ දීමට හැකි යැයි අපි තරයේ විශ්වාස කරමු.

කොළඹ කුණු ප්‍රශ්නය ගෝඨා අතට අරගෙන තිබේ. මෙච්චර කල් බෑ බෑ කියූ කොන්ත්‍රාත් කාරයින්ට අම්මා මුත්තා මතක් වෙන්නට ගෝඨා දෙසා බා තිබේ.. ජයවේවා… එසේම කිසිම වග විභාගයක් නැතිව තැන් තැන්වල කුණු කසළ දමන අමනයින්ට ද පාඩමක් උගන්වා තිබේ… අනේ සාදු, උන් අල්ලා දඬුකඳේ ගැසිය යුතුය… නැත්නම් මර්වින් සිල්වා කිවුවා සේ කුණු ගොඩ අසළ ලයිට් කණුවක බැඳ තැබිය යුතුය…. මෙය මෙතැනින් නැවතිය යුතු නැත… මුළු ලංකාව පුරාවටම සිදු කළ යුත්තකි…

ලංකාවේ ජීවත්වන බොහොමයක් අසමජ්ජාති එවුන් අනුන් ගැන හිතන්නේ නැත. උන් කජු ගොට්ටක් කෑවොත් කොළේ මහමඟ දමා යති. චුවින්ගම් එකක් කෑවොත් ඒක බස් එකේ සීට් එකේ අළවා යති.. බුලත් විටක් කෑවොත් හතරවටේ කෙළ ගසති… බස් එකේ සීට් එකේ තමන්ගේ නම ලියා යති… ප්‍රසිද්ධ වැසිකිළියේ කුණුහරුප ලියා යති… ඒ අපේ කට්ටියගේ හැටිය… සිංහලද දෙමළද මුස්ලිම්ද කියා බේදයක් නැත. ශ්‍රී ලාංකිකයා පොදුවේ කිසි කමකට නැත… ඒ වුනාට පිටරටකට ගියොත් ඒ රටේ හැටියට හැඩ ගැසෙන්නට මහ වෙලාවක් යන්නේ නැත.. මාස දෙකකට පමණ පසු සිංහලත් අමතකය…

මේ කුණු ප්‍රශ්නය නිවසේ දීම විසඳාගත හැකි සරළ ප්‍රශ්නයකි.. එසේ කිරීමට බැරිව ඇත්තේ අපේම කම්මැලි කම සහ අමන කම නිසාය.. නිවසේ එකතු වන කුණු වර්ග කිහිපයකි. ඉවත ලන හෝ නරක් වූ ආහාරමය ද්‍රව්‍ය, කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු, ඉලෙක්ට්‍රොනික උපාංග, ලෝහමය ද්‍රව්‍ය. මෙයින් ඉවතලන හෝ නරක් වූ ආහාර ද්‍රව්‍ය හැරුනුකොට අන් සියල්ල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වේ. එනම්, අප බැහැර කරන ද්‍රව්‍ය වලින් 90% ක්ම ප්‍රතිචක්‍රීකරණයට භාජනය කළ හැකි, සත්තකින්ම කුණු බක්කියට නොයැවිය යුතු දේ වෙයි. එසේම යමෙකු නිවසේ කොම්පෝස්ට් පොහොර වලක් තනාගෙන ඇත්නම්, ඉතිරිවන 10 % ද එයට එක් කිරීමෙන් අමතර පොහොර තනාගත හැකි වනවා පමණක් නොව කසළ ප්‍රශ්ණයට ද යම් පිළිතුරක් සැපයිය හැක.. මෙය කීමට පහසු නමුත් කිරීමට අපහසුය… මක් නිසාද යත් මෙහි බාධක ගණනාවක් ඇති බැවිනි. පළමුවැන්න නාගරිකයා සතු සීමිත ඉඩ ප්‍රමාණය ප්‍රතිචක්‍රීකරණ බඳුන් කිහිපයක් තබා ගැනීමට හෝ කොම්පෝස්ට් වලක් තැනීමට ප්‍රමාණවත් නොවීමයි. දෙවැන්න සිරි ලංකා රජය විසින් සිය ජනතාව ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි උනන්දු නොකිරීම සහ දැනුවත් නොකිරීමයි. තෙවැන්න තමන් ප්‍රතිචක්‍රීකරණය කළද, ඒ දෑ ලබා දෙන්නට නිසි තැනක් නොමැති වීමයි. පෙර කාළයේ මෙසේ පුවත්පත් සහ බෝතල් එකතු කළ බෝතල් පත්තර කාරයින් ද දැන් දැන් වඳවී යන සත්ත්‍ව කොට්ඨාසයට අයත් වී ඇත…

එසේ වුවද මෙම උදාර කර්තව්‍යය තරමකට හෝ කරගෙන යන උදවිය නැතුවාම නොවේ. පසුගිය මසක පුවත්පතක එක්තරා තරුණයෙකු කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්තශාලාවක් පටන්ගෙන ඇති බවට ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. ඔහුට කඩදාසි ලබා දෙන මෙන් එහි ඉල්ලීමක් ද කර තිබුණි. රාජ්‍ය කඩදාසි කර්මාන්ත ශාලාවද 30% ක් වත් ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි නිපදවිය හැකි තත්ත්‍වයට පත් කළ හැකි නම් ඉන් පරිසරය සුරැකෙනවා පමණක් නොව අඩු මිලට කඩදාසි සැපයීම ද කළ හැක. රාජ්‍ය ආයතන වල කඩදාසි සැපයුම මෙසේ ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි වලින් කෙරේ නම්, විශාල මුදල් සම්ශාරයක් ඉතිරි වනවා පමණක් නොව මේ කසළ ප්‍රශ්ණයට ද යම් විසඳුමක් ලැබෙනවා නොඅනුමානය.  රත්මලානේ වීදුරු කර්මාන්තශාලාව වීදුරු ප්‍රතිචක්‍රීකරණය කරන්නේ දැයි මම නොදනිමි. එසේ නොකරන්නේ නම්, ඒගැන සිතා බැලීමට කාළය දැනටමත් පහු වී ඇත… ඔබ නොදන්නවාට, කොකා කෝලා කෑන් එකක්  අළුතින් නිපදවන්නේ නැතිව ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය මගින් නිපදවුවහොත්, එයින් ඉතිරි කරගන්නා විදුලිබලය  ලැප්ටොප් පරිඝණකයක්  පැයක් ක්‍රියාකරවීමට යන විදුලිබලය හා සමාන යැයි ගණන් බලා තිබේ.

කිව යුතු දෑ බොහොමයකි… ලිපියේ දිග කියවීමේ රුචිකත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වන බැවින් මෙතැනින් නවතිමි….

පසු වදන………….

ප්‍රතිචක්‍රීකරණයේ වාසි බොහොමයකි. එය මූල්‍යමය වටිනාකමක් ඇතිවා සේම අනාගතය කෙරෙහි අප කරන ආයෝජනයක් ද වෙයි… මුත්තා සිය මුණුබුරන්ට අඹ කන්නට අඹ ගසක් පැළ කළාසේම අපි ද අපේ දූ දරුවන්ට සිටින්නට ලෝකයක් ඉතිරි කර යා යුතුය. කසළ ප්‍රශ්නය අතට ගත් ගෝඨා මේ ගැනත් සිතා බලා සිරි ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය  ද ප්‍රචලිත කරනු ඇතැයි  පරිසරයට ලැදි ඇල්කෙමියා බලාපොරොත්තු වේ……….

සී අයි ඒ Covert Affairs, සිරි ලංකාව, Tourism සහ අමෙරිකානු රූපවාහිනිය..

අමෙරිකානු රූපවාහිනී නාට්‍ය මාලා සිරි ලංකාවේ බොහෝ ටෙලි නාට්‍ය වලට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තකි. ලංකාවේ ටෙලි නාට්‍යයකට කියා කටක් ඇරලා මට බැලිය හැක්කේ අතේ ඇඟිලි වලටත් වඩා ස්වල්ප ප්‍රමාණයකි. කවුරු කො‍හොම කිව්වත් තවමත් ලංකාවේ ටෙලි නාට්‍යවලින් හොඳම නාට්‍ය දෙක වන්නේ ජයන්ත චන්ද්‍රසිරි උන්නැහේගේ වෙදහාමිනේ සහ දඬුබස්නාමානය යන නාට්‍ය දෙකයි… එයට අමතරව යශෝරාවය තරමක උසස් තත්ත්‍වයක ඇති අතර අනෙකුත් ටෙලිනාට්‍ය ගෙදර දොරේ එදිනෙදා සිදුවන දෑ රූපවාහිනියෙන් බලාගැනීම හැරෙන්න ගතයුත්තක් නොමැත. ලංකාවේ නාට්‍ය බලෙන් ප්‍රේක්‍ෂකයාගේ ඇඟේ ගහයි. බැලුවත් නැතත්, ටෙලිනාට්‍ය මාලාව අවසන් වෙනතුරු එය රූපවාහිනිය මත සතිපතා දිගහැරෙයි. අමෙරිකානු රූපවාහිනී නාට්‍ය විකාශය වන්නේ ප්‍රෙක්‍ෂකයාගේ රුචිය (Ratings) අනුවය. සති කිහිපයක් එය නරඹන ප්‍රේක්‍ෂක සංඛ්‍යාවේ අඩුවක් වූ විට කෙතරම් මුදල් ගෙවා නිමකරන ලද්දක් වුවත් නොදැනීම ගැලවී යයි. හොඳ ප්‍රතිචාර ඇත්නම් වසර කිහිපයක් දක්වා ඇදී යයි.  24, Lost, Heroes, Gray’s Anatomy, ER, එවැනි ටෙලිනාට්‍ය මාලා කිහිපයකි. මේවා විවිධ තේමාවන් ඔස්සේ ප්‍රේක්‍ෂකයා ආමන්ත්‍රණය කරන නාට්‍ය වේ. මේ නිසා ප්‍රේක්‍ෂකයා ඒ පිළිබඳ රුචියකින් නරඹයි.

බොහොමයක් නාට්‍ය වලට පිටරටවල රූගත කළ දර්ශන ඇතුලත් වේ.  කෙසේ වුවත්, සිරි ලංකාව වැනි දුර බැහැර රටක දර්ශනයක් අමෙරිකානු රූපවාහිනියට ඇතුලත් වීම කලාතුරකින් සිදුවන්නකි. පසුගියදා USA network චැනලයේ ඇරඹුණු Covert Affairs නම් සී අයි ඒ සංවිධානය පසුබිම් කරගත් නාට්‍යයේ ආරම්භක ජවනිකා පෙළ ශ්‍රී ලංකාව සම්බන්ධ ජවනිකා පෙළක් වීම මගේ අමන්දානන්දයට හේතුවිය. මෙයට පෙර ද කිහිප විටක් ශ්‍රී ලංකාව ගැන විවිධ නාට්‍යවල සඳහන් වුවද මෙපමණ වෙලාවක් සහ කිහිප විටක්ම ඒ පිළිබඳ සඳහන් වූ ප්‍රථම අවස්ථාව මෙය විය හැක. අනාගතයේදීද මෙම නාටකයේ සිරි ලංකාව පිළිබඳ සඳහන් වීමේ ලකුණු තිබේ.  සුද්දන් සිංහල දෙබස් කියන විට හිනා ගියත් එය පිළිබඳ තරමක ආඩම්බරයක් දැණුනි.  මෙයට පෙර Harrison Ford විසින් Indiana Jones චිත්‍රපටයේ සිංහල දෙබසක් කිව්වා මට හොඳින් මතකය…

කෙසේ වෙතත් මේ ජවනිකා පෙළ දිගහැරෙන්නේ ලංකාවේ මුහුදු වෙරළක  ඇමරිකානු කෙල්ලක් හා ලංකාවේ ඉංග්‍රීසි උගන්වන විදේශිකයෙකු  පෙම් සුව විඳින දර්ශනයකිනි. සිප්පි කටු මාල විකුණන කුඩා දරුවකුගෙන් මාල දෙකක් ගන්නා ඈ සිංහලෙන් කතා කරයි. අවාසනාවකට අර සිංහ‍ල දරුවාට හරියට සිංහල උච්චාරණය කරගත නොහැක… එක්කෝ ඌ ඉන්දියානුවෙකි. නැතහොත් ඇමරිකාවේ ජීවත් වන සිංහල කතා කරගත නොහැකි පර සිංහලයෙකි. ඌට බැනලා වැඩක් නැත… බැණිය යුත්තේ නාට්‍යය හදපු එකාටය. ඌ සිහලයෙකු නම් උගේ දෙමව්පියන්ටය… තවද ඒකා වැල්ලේ හැදෙන නාටු කොල්ලෙකු නොව හැම් බේකන් කා හැදුන පුෂ්ඨිමත් කොල්ලෙකි. මේ නාට්‍යයට අනුව සුද්දන්ට ලංකාවේ අඩ නිරුවතින් මුහුදු වැල්ලේ නැටීමට සහ අමු හෙළුවෙන් වැල්ලේ ලිංගික කටයුතුවල යෙදීමට කිසිදු බාධාවක් නැත.. ඔවුන් අල්ලාගෙන ගොස් පොලීසියේ කූඩුවල දමන්නේ ද නැත… වෙලාවට අපේ සංස්කෘතික පොලීසිය මේවා බලන්නේ නැත. බැලුවා නම් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹනවා ඇත…

අපේ ටෙලි නාට්‍ය කලාව එදිනෙදා ගෙදර දොර සිදුවන සාමාන්‍ය දෑ වලින් ඔබ්බට ගෙන යාමට කාලය පැමිණ ඇත. ඇත්ත වශයෙන්ම නිෂ්පාදකයා සහ නිර්මාපකයා ඒ පිළිබඳ සිතිය යුතුව තිබුනේ මෙයට දශකයකට පමණ පෙරය. මිනිසුන්ට දකින්නට නව මානයක් ඔවුහු ගොඩනැංවිය යුතුය. එසේම කිසිදු හරයක් නැති හොර මැරකම් වලින් සපිරි ටෙලි නාට්‍ය වාරණයට හෝ අවම වශයෙන් නැරඹීමට සුදුසු වයස් කාණ්ඩ අනුව වර්ග කිරීමකට හෝ ලක් කිරීම කළ යුතුය. අපේ ළමා පරපුර සංස්කෘතිකව විනාශ වෙනවා යැයි හූල්ල හූල්ල ඉන්නවාට වඩා, දැන්ම ඒ ගැන දෑස් ඇර කටයුතු කළ හොත්, අර කියන ආසියාවේ අයිස් චර්යය වන්නට අපට බැරිකමක් නැත.

කෙසේ වුනත් දැන් දැන් අප රට පිළිබඳ තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ පිටරටවල උදවියට දැනගන්නට ලැබේ. සංචාරක කර්මාන්තය අතින් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයකි. මෙය  ඵලදායීව යොදා ගැනීම අදාල නිලධාරීන්ගේ වගකීමකි. සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු කාර්යක්‍ෂමව නිවැරදි සහ කාරුණික ලෙස සැපයීමෙන් අප රට කෙරෙහි පැහැදිලි චිත්‍රයක්  ඔවුනට පෙන්වීම කළ හැක…. එමෙන්ම අර බ්‍රිතාන්‍ය දැරියක අපහරණයට ලක් කළ හෝටල් කාරයා වැන්නවුන්ට නැවත එවන් දෙයක් නොකරන්නට අරාබියේ දඬුවම් ලබා දිය යුතුය….

ලංකාව පාරාදීසයක් කිරීමට ඇති තරම් අවස්ථාව අපට ලැබී තිබේ.. එය හරියට පාවිච්චි කිචීම අප හැමගේම වගකීමකි……..

නොමියෙමි : නව සංස්කරණය විමලසිරි ගම්ලත් ……………

විමලසිරි ගම්ලත් නැවත වතාවක් රට වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීමට ඉදිරිපත් වී තිබේ. සමහරු එය හෙළා දකිති; තවත් සමහරු එය පසසති. මා මේ දෙකටම නැත. එහෙත් එය විශ්ලේෂණය කරමි.

එපාකරපු ජරා සංවිධානයේ රූකඩ ලේකම් මන්කි බූන් වැඩ අනාගත්තේ අද ඊයේක නොවේ. ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ පදයට නැටීමට ගොස් මන්කියා වැඩ අනාගත් අවස්ථා එමටය… නමේ හැටියටම උන්දෑ ඒ මහලේකම් තනතුර මන්කියෙකුට අහු වූ දැල්ලක් සේ පාවිච්චි කරයි…. උන්දෑ හිතන්නේ තුන්වන ලෝකයේ රටවල් තවමත් අර ලොකු රටවල බූදලයක් කියා සිතාය. මම දන්න හැටියට නම් උන්දැට හිතෙන හිතෙන විදියට එක එක රටවල පුරස්න වලට කොමිසන් දාන්න උන්දැට අයිතියක් නැත. ඒකට ආරස්සක මණ්ඩලයේ අනුමැතිය තිබිය යුතුය….ඒත් ඇමරිකාවයි බ්‍රිතාන්‍යයයි කිව්වට පස්සේ නොකර කොහොමද ?කොමිසමට දාපු නෝනා මහත්තුන්ගේ පැටිකිරියත් මරේ මරු ලු… හරියට ලමා අපචාර කාරයෙකුට ලමා නිවාසයක මේට්‍රන් කම දුන්නා වගේ ලු…… කට්ටිය කියනවා.

දැන් විමලසිරි ගම්ලත් දිහා බලමු.. දවස් තුනක් ඒ මනුස්සයා රට වෙනුවෙන් උපවාසයේ ය… වතුර උගුරක් වත් නොබී රට වෙනුවෙන් උපවාසයේ ය… මේක අර බ්‍රිතාන්‍යයේ පොරක් බිග් මැක් කකා දවස් 24ක් ප්‍රභාකරන් වෙනුවෙන් කළ උපවාසයට වඩා වෙනස් ය. ඌ උපවාසය නිම කළ පසු හිටියාට වඩා සනීපෙන් ඇඳෙන් බැස්සේ ලු.. දැන් ඒකා මැක්ඩොනල්ඩ් එකේ ලොකු තැනක් දරනවාලු… විමලසිරි එහෙම නැත… නියමිත අරමුණක් තිබේ. එය දෙවැදෑරුම්ය.. පළමුවැන්න මන්කියාගේ අත්තනෝමතික කමිටුවට එරෙහිවයි. දෙවැන්න ජනතා විමුක්ති පෙරමුණ උපවාසය ඇරඹීමට පෙර වැඩේට බැසීමයි. තෙවැන්න, නැතිවී යන තම දේශපාලන ජනප්‍රියතාව සහ මහින්දගේ හොඳහිත මැරෙන්න ගොස් හෝ  නැවත ලබා ගැනීමයි. සිවවුවැන්න තම බර ටිකක් අඩු කර ගැනීමයි.. (පොඩ්ඩක් ගාණ වැරදුනා.. සමාවෙන්න)

එපාකරපු ජරා සංවිධානය එක්ක හැප්පෙන්න ගමේ සිරිසේනලට සුගතපාලලාට කමලාවතී ලාට බැරිය.. ඒකට හොඳ කටක්, ගටක්, තිබිය යුතුය….. විමලසිරි මේ කරුණු කාරණා සියල්ල සපිරූ කෙනෙකි.. ඔහු ජවිපේ කට ගලවාගෙන ආවේය. පොදු පෙරමුණේ ලොකු ලොක්කන් එක්ක හැප්පී ලොකු මනාප ප්‍රමාණයක් ගෙන බයිලාපොළට තේරුණේය. ඉංජිනේරු විද්‍යාව ගැන මෙලෝ මගුලක් නොදන්නාමුත්, ඉංජිනේරු ඇමතිකමත් ලැබුනේය… ඒ ඔහුගේ ගටය….

එතුමාගේ මරණයෙන් කෙළවර වන උපවාසය මිහිඳු බැහැදැකීමෙන් කෙළවර වී තිබේ. එය එක අතකට නොව බොහෝ අතකට හොඳය.. රජය විසින් පොලීසියට මේ සිද්ධියට ආරස්සාව දෙනවට ගෙවන අතිකාල දීමනා  නතර වී අම්බානට සල්ලි ඉතිරි වේ. ශෂී ඇතුළු ගම්ලත්ගේ පව්ලේ කට්ටියට නැවතත් ඔහු හා එක් විය හැක. ඔහුගේ දේශපාලන දිවියට නව පණක් ලැබේ. බර අඩු වේ. මහින්ද හොඳ මිණිහා වී රටත් එජා සංවිධානයත් විමලේත් බේරාගණියි.. එස්සත් ජාතික පස්සයේ කට්ටියට අනුව මේ උපවාසය බජට් එකේ වැරදි වහගන්නය….. (කියලා වැඩක් නැත) මාධ්‍ය වලට කතා කරන්න හොඳ මාතෘකාවක් ලැබී තිබේ….

හොඳ වෙලාවට විමලසිරි ගම්ලත් මළේ නැත…. මලා නම් මන්කියා මහා අපරාධකාරයෙක් වෙනවා ඇත.. එජා සංවිධානයේ ඔපීසිය ඇටමයිස් වෙනු ඇත… සියල්ලටම වඩා…. රට වෙනුවෙන් උපවාස කිරීමට එක දේශපාලනඥයෙකු හෝ අපට ඉතිරි නොවනු ඇත….. විමලසිරි තවමත් ජීවතුන් අතරය….

විමලසිරි…. ඔබ අපට ආලෝකයකි…. ජය වේවා….

මෙයට,

දේශපාලනය නොදන්නා,

ඇල්කෙමියා.

…..