මල කෙළි 7 යි….. GSP+ නො‍හෙත් මරණීය බදු සහනය අහෝසියි….. අපි කන්න නැතුව මැරෙයිද ?

යුරෝපා සංගමයෙ සාදර අනුග්‍රහයෙන් සුනාමි කාලෙ ඉඳලා විකාශය වුන මෙගා ටෙලි නාට්ටිය , GSP+ එක අගෝස්තුවෙ ඉඳලා නැති කරන්න යනවලු. ඒකට හේතුව අපි හරියට මානව හිමිකම් රකින්නෙ නැතිලු. රටේ හරි පාලනයක් නැතිලු. ජනරාල් ෆොන්සේකා හිරේ දාලා ලු. රනිල්ට රට බාර දෙන්නෙ නැති ලු. ඒ ගොල්ල කියන දේ මහින්ද අහන්නෙ නැතිලු. හදිසි නීතිය අයින් කරන්නෙ නැතිලු. ජනමාධ්‍යවේදීන් හෙවත් පත්තර කාරයොන්ට ගහනවලු. කොටි සැකකරුවො නිරපරාදෙ හිරකරගෙන ඉන්නවලු. ඉතිං ඒක නිසා GSP+ දෙන්නෙ නැහැලු….. කාල හමාරයි….බෙන්ස් එකක් තල්ලු කරගෙන ගෙදර ගිහින් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ.(ඇයි තල්ලු කරන්යන්නේ කියලා එහෙම අහන්න එපා).. මහින්දට මේවයේ ගාණක් නැහැයි ලු. පොර යුරෝපා සංගමයෙ උන්ට තග දානවලු ” තොපේ මගුල් GSP+ එක අපිට එපා ඩෝ…. ගහ ගනිල්ලා ඕක තොගේ පස්ස පැත්තේ” කියලා…. අන්න අදහන්න වටින නායකයො…. කාක්කෙකුට වත් ඔළුවට උඩින් පියාඹන්නවත් දෙන්නෙ නෑ.. පියෑඹුවෙත් අල්ලලා කූඩුවෙ දානවා.. ජය වේවා මහ රජතුමනි….

දැන් ඉතින් දෙකේ පන්තියෙ පොඩි එකාගෙ පටන් හෙට මැරෙන්න ඉන්න ආච්චි කෙනෙක් දක්වා රටේ හැම දෙනාම මේ GSP+ එක ගැන දැන් අතැඹුලක් සේ දන්න නිසා මේ ලියන දේ සමහරුන්ට Boring වෙයිද දන්නෙ නැහැ. ඒත් ඉතිං මමත් මොනව හරි දන්නව කියලා පෙන්නන්න මේ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා… මේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ මගුලක් දන්නෙ නැති ආණ්ඩුවට කඩේ යන ඇල්කෙමියා “මරණීය බදු සහනය” (ලිවුවා හරිද මන්දා..) ගැන හිතන දෙවල්…

මේ GSP+  සහනය කියන්නේ 2005 දි හඳුන්වා දීපු බදු සහනයක්. මේකෙන් වෙන්නේ  යුරෝපා සංගමයට අයත් රටවල් 27 තුලට අපි වගේ දුප්පත් රටවල් වලින් තීරුබදු රහිකව භාණ්ඩ අපනයනය කිරීමට හැකි වීමයි. ඒත් ඉතිං මී කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ… යුරෝපා සංගමය මේක දෙන්නේ ඒගොල්ලොන්ගේ හිත යට තිබෙන අභිප්‍රායන් ඉෂ්ඨ කරවගන්න මේ සහනය අතකොළුවක් ලෙස තබාගෙන. සුනාමිය ආව කාලෙ ‍අපේ චන්ද්‍රිකා මැඩම්ට මේ මරාලෙ කව්ද ඔලුවට දාලා. මැඩම් ඉතිං දුරදිග බලන එකක් යෑ.. අහිංසක මනුස්සයාගේ එක ඇහැක් පේන්නෙත් නෑ.. අනේ ඔන්න ඔහේ නිකං දෙන බලු බෙට්ට නේ දෙන්න කියලා අරගෙන.. සුද්දො කට්ටිය තග දාල එක එක වැඩ කරව ගන්න කොට තමයි අපේ කට්ටියට තරු පෙනිලා තියෙන්නේ.

මේ GSP+ එකට දන්න හැටියට දුප්පත්ම රටවලිනුත් රටවල් 5 යි ලු මේ අටමගලෙට  ඉල්ලුම් කරලා තියෙන්නේ. අනෙක් රටවල් 176 ක්ම යුරෝපා සංගමය තුළට භාණ්ඩ අපනයනය කරන්නේ 10% ක සාමාන්‍ය බද්දක් ගෙවලාලු… ඒ අයට මේ මොන කොන්දේසියක් වත් නැතිලු. ඒ වගේම ලෝකයේ දුප්පත්ම දුප්පත් රටවල් 49ක් තීරු බදු නොමැතිවම භාණ්ඩ අපනයනය කරනවලු ඒ අයටත් කිසිම කොන්දේසියක් නැතිලු. මේ අපිට තමයි හැමෝම තග දාන්නේ. ඉතිං මේ “මරණීය බදු සහනය” ලැබෙන්න ඉස්සර අපේ ලංකාවත් යුරෝපයට භාණ්ඩ අපනයනය කළේ මේ 10% සාමාන්‍ය බද්ද යටතේ.

ඕක දෙන්න ඉස්සෙල්ල අපි කාල ඇඳලා හිටියෙ නැද්ද ? ඕක නැත්තං අපි මැරෙනවද ? කියලා සමහරු අහන්න පුළුවං. මමත් ඕක ගැන හිතුවා.. ඒත් ඔය සිද්ධියේ පැති බොහොමයක් තියෙනවා. ඒක අපේ කම්මැලි ජීවන රටාවටත්, අහිංසක ගාමන්ට් සොයුරියන්ටත්, උන්ගේ ලේ දහඩිය උරාගෙන බොන ෆැක්ටරි අයිතිකා‍රයොන්ටත්, මොළේ කළඳක් නැති දේශපාලනඥයොන්ටත්, බුද්ධිමත් විපක්‍ෂයේ හැමදෙනාටමත් සම්බන්ධ, මහා සංකීර්ණ ප්‍රශ්නයක්. Airtel වගේ Simple Plan එකක් නෙවෙයි….

මුලින්ම බලන්න ඕන මේ GSP+  නැති වීමෙන් රටට වන වාසි සහ අවාසි මොනවාද යන්න.. එටට වන මූලිකම අවාසිය තමයි තීරුබදු රහිතව යුරෝපයට අපනයනය කළ ඇඟළුම් වලට තීරු බද්දක් වැටීම. මෙහෙම වුනොත් යුරෝපය අපෙන් භාණ්ඩ මිලදී ගන්න එක නතර කරාවිද ? මම නම් හිතන්නේ එහෙම කරන එකක් නැහැ. හේතුව තමයි අපේ භාණ්ඩ වල ගුණාත්මක භාවය ඉතාම ඉහලයි. ඒ වගේම උසස් නිමාවතින් යුක්තයි මේ නිසා අපේ භාණ්ඩ වලට තත්ත්‍වය අතින් නම් බරපතල තරඟයක් නැහැ. මිල අතින් වුනත් විශාල වෙනසක් දකින්න වෙන්නේ නැහැ. මේ නිසා තරමක පසුබෑමක් වුනත්,  විශාල වශයෙන් කර්මාන්තශාලා වැසීමක් වන එකක් නැහැ කියලයි මගේ හැඟීම… මේ නිසා කර්මාන්ත ශාලා වල සේවය කරන අය සමහරකට රැකියා අහිමි වීමේ අවදානමක් තිබුනත්, මෑතකදී මා දුටු ප්‍රවෘත්තියක් අනුව බොහෝ කර්මාන්ත ශාලාවල සේවක හිඟයක් ඇති බව පැවසීමෙන් පෙනීයන්නේ එවන් තත්ත්‍වයක් ඇති වුනත් පුහුණු ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් ඇතිවි නොහැකි බවයි. මෙයින් ඇති ප්‍රධාන වාසිය ඇත්තටම ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවට නොවෙයි: රජයටයි. ඔවුනට යුරෝපා සංගමයෙන් ඇති බලපෑම අඩු වෙනවා. එසේ වුනාට අනෙක් රටවලින් රජයට වෙන බලපෑම නැති වෙන්නෙවත් යු‍රෝපා සංගමයේ සාමාජික රටවල වෙන් වෙන් බලපෑම නැති වෙන්නෙවත් නෑ. මේ නිසා රජයට කියන්න බෑ අපි GSP+ එපා කිව්වා, දැන් අපි ස්වාධීනයි කියලා…. බටහිර රටවල් කුමක් හෝ හේතුවක් හොයාගෙන අපට බලපෑම් කරන එක රනිල් වික්‍රමසිංහට ඇරෙන්න වෙන කාටවත් නවත්වන්න අමාරුයි.

ඊලඟට තියෙන කාරණාව තමයි  අපිට මේ ඇඟළුම් කර්මාන්ත ශාලා වලට වෙනත් සහන ගන්න බැරිද කියන ප්‍රශ්නේ… මේකට හොඳ උත්තරයක් Brandix සමාගම අපට දීලා තියෙනවා. දැන් හැම රටක්ම පරිසර හිතකාමී කාබනික (Organic) හෝ පුනර්ජනනීය බලශක්තිය ආදී දේ පාවිච්චි කරලා තම නිෂ්පාදන වල අගය වැඩි කරගන්නවා. මේ නිසා බොහෝ රටවලින් මෙබඳු නිෂ්පාදන වලට ලැබෙන මිල තරමක් ඉහලයි. ඒ වගේම විවිධ තත්ත්‍ව සහතික ආදිය ලැබීම නිසා පිළිගැණීමත් වැඩියි. අපේ රටේ බොහොමයක් ඇඟළුම් කර්මාන්ත ශාලා පාලනය වන්නේ විදේශිකයන් අතින්. මොවුන්ට ඇත්ත වශයෙන්ම මෙවැනි දේ සමහර විට අනවශ්‍යයි. ඔවුන්ගේ මූලිත අභිප්‍රාය ලාභ ඉපැයීම. Victoria’s Secret ඇඟළුමක සාමාන්‍ය මිල ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවකගේ දිනක වැටුපෙන් බාගයක් හෝ ආසන්න ප්‍රමාණයක්. ඇය එවන් ඇඟළුම් කීයක් දිනකට මසා නිම කරනවාද ? එහෙත් ඒ ඇඟළුමේ මිල තීරණය වන්නේ තවත් සාධක කිහිපයක් මත: එහි තත්ත්‍ව පරීක්‍ෂාව, ඇසුරුම, අපනයන බදු, සේවක වැටුප්, අමුද්‍රව්‍ය ආදියෙහි මිල මත… එවිට එහි මූලික අගය වැඩි වනවා…. මෙන්න මේ නිසා අප රටින් අපනයනය කරන භාණ්ඩ වල මිල වෙනත් තුන්වන ලෝකයේ කම්කරු ශ්‍රමය අවම රටවල් සමඟ සැසැඳීමේ දී තරමක ඉහළ අගයක් ගන්නවා. මේ නිසා අපෙන් භාණ්ඩ මිල දී ගන්නවාට වඩා සමහර විට ඒ රටවලින් මිලදී ගැනීම වෙළෙන්දාට ලාභදායකයි…. මේ තත්ත්‍වය සැලකිල්ලට අරගෙන කර්මාන්ත ශාලාවල පිරිවැය අඩුකර භාණ්ඩ ලාභදායී මිලකට යුරෝපීය වෙළඳපලට යැවිය හැකි නම් මෙසේ GSP+ බද්ද 10% ක් වුවත් අපට තරඟකාරී තත්ත්‍වයකට පැමිණීමට පුළුවන්…

අනෙක් කාරණය තමයි අපට බැරිද මේ යටත්විජතවාදී මානසිකත්‍වයෙන් ඔබ්බට ගිහින් අපේම කියලා වෙළඳපොලක් හදා ගන්න… අපේම කියලා නිෂ්පාදන පෙළක් විදේශීය වෙළඳපලට ඉදිරිපත් කරන්න ? වැඩේ ටිකක් අමාරුයි, ඒත් උත්සාහ කළොත් අමාරු වෙන්නේ නැහැ. දකුණු ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් ආහාර සම්බන්ධ වෙළඳපල ආක්‍රමණය කරලා තියෙන්නේ එහෙමයි. විශේෂයෙන්ම පැකට් කරන ලද එළවළු පළතුරු ආදිය  සම්බන්ධයෙන් විදේශීය වෙළඳපලේ වැඩි කොටසක් දරන්නේ මේ රටවල්. ඉස්සර අංක එකේ තිබුණ අපේ තේ නිෂ්පාදනයත් දැන් දැන් පහළ වැටීගෙන යනවා. මේකට හේතු මොනවා ද ? ජාත්‍යන්නර වෙළඳ පොළ ැපේ නිෂ්පාදන වර්ජනය කිරීමක් කරනවා කියලා හිතන්න අමාරුයි. ඒත් දැනට පවතින් ආර්ථික අර්බුධය මේ සම්බන්ධව තරමක වගකිව යුත්තෙක් වෙනවා. ඒ අතරම අපේ නිෂ්පාදන වල තත්ත්‍වයේ බාල වීමක් දකින්න පුළුවන්. කසළ තේ කවලම් කිරීම නිසා ඇති වූ අර්බුධය සමහරුන්ට අමතකත් ඇති. මෙවන් කාරණා නිසි අපේ භාණ්ඩවල කීර්තිනාමය පළුදු වෙනවා. එසේ වූ පසු එය නැවත ගොඩනඟා ගැනීම සිතන තරම් පහසු නැහැ.

මේවාට පිළියම් මොනවාද ?

අප කරන රාජකාරිය සැම දෙනාම හරියට කරන්න පුරුදු වෙනවා නම් මේ ඍණාත්මක දේවල් බොහොමයක් නැති කරගන්න පුළුවන්. අනෙක් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකර, තමන් විසින් නව නිපැයුම් ඉදිරිපත් කිරීමත් කළ යුතුයි. දේශපාලනඥයන් තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය ගැන නොහිතා තමන් විසින් රටට කළ යුතු දේ පිළිබඳ කටයුතු කරනවා නම් මේ අර්බුධ බොහොමයකින් රටට ගොඩ එන්න පුළුවන්. මම නම් හිතන්නේ මහින්ද මොකක් හරි දහංගැටයක් ගහලා මේක ගනියි…. ඒත් ඒක ගන්නවට වඩා දෙපයින් නැගිටින එක වටිනවා කියලා මම කියනවා. එතකොට අපි ටිකක් හරි කෙළින් නැගිටලා කොන්ද කෙළින් ඉන්න පුළුවන් ජාතියක් කියලා ලෝකයට පෙන්නන්න පුළුවන්.

අපට තියෙනවා මහාර්ඝ සම්පත් රාශියක්. ලංකාව වටේටම තියෙන සාගරයෙන් ලැ‍බෙන මත්ස්‍ය සම්පත හරියට කළමණාකරණය කරගෙන වැඩ ගත්තොත් අපට සෑහෙන වාසි ලබන්න පුළුවන්.. ඒත් මම දැක්කා මේ ළඟදි පත්තරේක තියෙනවා ලංකාවෙ මාළු මිලගණන් පාලනය කරන්නේ මාෆියා සංවිධාන කියලා. ත්‍රස්තවාදය නැති කළ රජයකට මේක පාලනය කරන එක මහ වැඩක් නෙවෙයි. ඒ වගේම එටට අහිතකර ගිවිසුම වලින් අප ඉවත් විය යුතුයි. උදාහරණයක් වන්නේ සාමාන්‍ය වැලි ටොන් එකක් රුපියල් 6000 යි ලු මිල කළ නොහැකි වටිනාකමකින් යුත් පුල්මුඩේ ඉල්මනයිට් අමු වැලි ටොන් එකක් රු: 4000 ට ජපානයට විකුණනවලු.. අපේ රටේ ඕන තරම් මේ වගේ අවාසිදායක ගිවිසුම් තියෙනවා… අපේ රටේ තියෙන සම්පත් හරියට පරිහරණය කරලා සංචාරක කර්මාන්තය නිසි ලෙස සංවර්ධනය කරලා වැඩ කළොත් අර කියන ආසියාවේ ආශ්චර්යය වන්නට අපට බැරිකමක් නැහැ.. එය සිදු විය යුත්තේ අප හැමෝගෙම දායකත්‍වය මගින්……….  ආණ්ඩුව කරලා දෙනකල් හැමදේම බලා හිටියොත් අපිට හැමදාම ඉන්න වෙන්න උඩ බලාගෙන….

රටෙන් අපට සිදු විය යුත්තේ කුමක්ද කියලා නොහිතා, පළමුව අපෙන් රටට විය යුත්තේ කුමක්ද කියලා හිතන්න කාළය ඇවිත්……. අපට මීටත් වඩා හොඳ අවස්ථාවක් නැවත හම්බවෙන්නේ නැහැ…. ඒ නිසා අපි අවස්ථාවාදී වෙමු.

One thought on “මල කෙළි 7 යි….. GSP+ නො‍හෙත් මරණීය බදු සහනය අහෝසියි….. අපි කන්න නැතුව මැරෙයිද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )