සී අයි ඒ Covert Affairs, සිරි ලංකාව, Tourism සහ අමෙරිකානු රූපවාහිනිය..

අමෙරිකානු රූපවාහිනී නාට්‍ය මාලා සිරි ලංකාවේ බොහෝ ටෙලි නාට්‍ය වලට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තකි. ලංකාවේ ටෙලි නාට්‍යයකට කියා කටක් ඇරලා මට බැලිය හැක්කේ අතේ ඇඟිලි වලටත් වඩා ස්වල්ප ප්‍රමාණයකි. කවුරු කො‍හොම කිව්වත් තවමත් ලංකාවේ ටෙලි නාට්‍යවලින් හොඳම නාට්‍ය දෙක වන්නේ ජයන්ත චන්ද්‍රසිරි උන්නැහේගේ වෙදහාමිනේ සහ දඬුබස්නාමානය යන නාට්‍ය දෙකයි… එයට අමතරව යශෝරාවය තරමක උසස් තත්ත්‍වයක ඇති අතර අනෙකුත් ටෙලිනාට්‍ය ගෙදර දොරේ එදිනෙදා සිදුවන දෑ රූපවාහිනියෙන් බලාගැනීම හැරෙන්න ගතයුත්තක් නොමැත. ලංකාවේ නාට්‍ය බලෙන් ප්‍රේක්‍ෂකයාගේ ඇඟේ ගහයි. බැලුවත් නැතත්, ටෙලිනාට්‍ය මාලාව අවසන් වෙනතුරු එය රූපවාහිනිය මත සතිපතා දිගහැරෙයි. අමෙරිකානු රූපවාහිනී නාට්‍ය විකාශය වන්නේ ප්‍රෙක්‍ෂකයාගේ රුචිය (Ratings) අනුවය. සති කිහිපයක් එය නරඹන ප්‍රේක්‍ෂක සංඛ්‍යාවේ අඩුවක් වූ විට කෙතරම් මුදල් ගෙවා නිමකරන ලද්දක් වුවත් නොදැනීම ගැලවී යයි. හොඳ ප්‍රතිචාර ඇත්නම් වසර කිහිපයක් දක්වා ඇදී යයි.  24, Lost, Heroes, Gray’s Anatomy, ER, එවැනි ටෙලිනාට්‍ය මාලා කිහිපයකි. මේවා විවිධ තේමාවන් ඔස්සේ ප්‍රේක්‍ෂකයා ආමන්ත්‍රණය කරන නාට්‍ය වේ. මේ නිසා ප්‍රේක්‍ෂකයා ඒ පිළිබඳ රුචියකින් නරඹයි.

බොහොමයක් නාට්‍ය වලට පිටරටවල රූගත කළ දර්ශන ඇතුලත් වේ.  කෙසේ වුවත්, සිරි ලංකාව වැනි දුර බැහැර රටක දර්ශනයක් අමෙරිකානු රූපවාහිනියට ඇතුලත් වීම කලාතුරකින් සිදුවන්නකි. පසුගියදා USA network චැනලයේ ඇරඹුණු Covert Affairs නම් සී අයි ඒ සංවිධානය පසුබිම් කරගත් නාට්‍යයේ ආරම්භක ජවනිකා පෙළ ශ්‍රී ලංකාව සම්බන්ධ ජවනිකා පෙළක් වීම මගේ අමන්දානන්දයට හේතුවිය. මෙයට පෙර ද කිහිප විටක් ශ්‍රී ලංකාව ගැන විවිධ නාට්‍යවල සඳහන් වුවද මෙපමණ වෙලාවක් සහ කිහිප විටක්ම ඒ පිළිබඳ සඳහන් වූ ප්‍රථම අවස්ථාව මෙය විය හැක. අනාගතයේදීද මෙම නාටකයේ සිරි ලංකාව පිළිබඳ සඳහන් වීමේ ලකුණු තිබේ.  සුද්දන් සිංහල දෙබස් කියන විට හිනා ගියත් එය පිළිබඳ තරමක ආඩම්බරයක් දැණුනි.  මෙයට පෙර Harrison Ford විසින් Indiana Jones චිත්‍රපටයේ සිංහල දෙබසක් කිව්වා මට හොඳින් මතකය…

කෙසේ වෙතත් මේ ජවනිකා පෙළ දිගහැරෙන්නේ ලංකාවේ මුහුදු වෙරළක  ඇමරිකානු කෙල්ලක් හා ලංකාවේ ඉංග්‍රීසි උගන්වන විදේශිකයෙකු  පෙම් සුව විඳින දර්ශනයකිනි. සිප්පි කටු මාල විකුණන කුඩා දරුවකුගෙන් මාල දෙකක් ගන්නා ඈ සිංහලෙන් කතා කරයි. අවාසනාවකට අර සිංහ‍ල දරුවාට හරියට සිංහල උච්චාරණය කරගත නොහැක… එක්කෝ ඌ ඉන්දියානුවෙකි. නැතහොත් ඇමරිකාවේ ජීවත් වන සිංහල කතා කරගත නොහැකි පර සිංහලයෙකි. ඌට බැනලා වැඩක් නැත… බැණිය යුත්තේ නාට්‍යය හදපු එකාටය. ඌ සිහලයෙකු නම් උගේ දෙමව්පියන්ටය… තවද ඒකා වැල්ලේ හැදෙන නාටු කොල්ලෙකු නොව හැම් බේකන් කා හැදුන පුෂ්ඨිමත් කොල්ලෙකි. මේ නාට්‍යයට අනුව සුද්දන්ට ලංකාවේ අඩ නිරුවතින් මුහුදු වැල්ලේ නැටීමට සහ අමු හෙළුවෙන් වැල්ලේ ලිංගික කටයුතුවල යෙදීමට කිසිදු බාධාවක් නැත.. ඔවුන් අල්ලාගෙන ගොස් පොලීසියේ කූඩුවල දමන්නේ ද නැත… වෙලාවට අපේ සංස්කෘතික පොලීසිය මේවා බලන්නේ නැත. බැලුවා නම් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹනවා ඇත…

අපේ ටෙලි නාට්‍ය කලාව එදිනෙදා ගෙදර දොර සිදුවන සාමාන්‍ය දෑ වලින් ඔබ්බට ගෙන යාමට කාලය පැමිණ ඇත. ඇත්ත වශයෙන්ම නිෂ්පාදකයා සහ නිර්මාපකයා ඒ පිළිබඳ සිතිය යුතුව තිබුනේ මෙයට දශකයකට පමණ පෙරය. මිනිසුන්ට දකින්නට නව මානයක් ඔවුහු ගොඩනැංවිය යුතුය. එසේම කිසිදු හරයක් නැති හොර මැරකම් වලින් සපිරි ටෙලි නාට්‍ය වාරණයට හෝ අවම වශයෙන් නැරඹීමට සුදුසු වයස් කාණ්ඩ අනුව වර්ග කිරීමකට හෝ ලක් කිරීම කළ යුතුය. අපේ ළමා පරපුර සංස්කෘතිකව විනාශ වෙනවා යැයි හූල්ල හූල්ල ඉන්නවාට වඩා, දැන්ම ඒ ගැන දෑස් ඇර කටයුතු කළ හොත්, අර කියන ආසියාවේ අයිස් චර්යය වන්නට අපට බැරිකමක් නැත.

කෙසේ වුනත් දැන් දැන් අප රට පිළිබඳ තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ පිටරටවල උදවියට දැනගන්නට ලැබේ. සංචාරක කර්මාන්තය අතින් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයකි. මෙය  ඵලදායීව යොදා ගැනීම අදාල නිලධාරීන්ගේ වගකීමකි. සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු කාර්යක්‍ෂමව නිවැරදි සහ කාරුණික ලෙස සැපයීමෙන් අප රට කෙරෙහි පැහැදිලි චිත්‍රයක්  ඔවුනට පෙන්වීම කළ හැක…. එමෙන්ම අර බ්‍රිතාන්‍ය දැරියක අපහරණයට ලක් කළ හෝටල් කාරයා වැන්නවුන්ට නැවත එවන් දෙයක් නොකරන්නට අරාබියේ දඬුවම් ලබා දිය යුතුය….

ලංකාව පාරාදීසයක් කිරීමට ඇති තරම් අවස්ථාව අපට ලැබී තිබේ.. එය හරියට පාවිච්චි කිචීම අප හැමගේම වගකීමකි……..

One thought on “සී අයි ඒ Covert Affairs, සිරි ලංකාව, Tourism සහ අමෙරිකානු රූපවාහිනිය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )