ගෝඨා තවත් කුණු වැඩකට අතගහයි…..! රාජපක්‍ෂ සමාගමට ජයවේවා……!

ලංකාවේ කුණු කසළ ප්‍රශ්නය හැමදාමත් ගඳ ගහන අප්‍රසන්න ප්‍රශ්නයකි. කුණු බක්කියට එක නිලධාරියා ගානේ හිටියත් උන් එකෙකුගේ වත් නහයක් නැත්තා සේය…. සමහර පලාතවලින් ගමන් කළ නොහැක… එතරම් ගඳය…. ඒ මදිවාට කොළඹ නගර සභාවෙන් මුදල් අරගෙන පෞද්ගලික සමාගම් අපේ කුණු අපිටම ලබා දේ…. ආසියාවේ අයිස්-චර්යයේ හැටි එහෙමය…. ආණ්ඩු දහයක් ආවත් නගරාධිපතිලා විසිපහක් පත් වුනත්, කොළඹ  නගර සභාව සමාගමක් කළත්, කුණුගොඩවල් කවදාවත් අයින් වුනේ නැත..

ඒ වුනාට දැන් අපටම කියා රජෙක් ඇත. ඒ රජාටම හරියන සහෝදර කැළක් ඇත. සමහරු ඒකට රාජපක්‍ෂ සමාගම කියා කියති. ඒ මේ රටේ ‍බොහොමයක් වැදගත් ස්ථානවල රාජපක්‍ෂ වරුන් රජකරන නිසාය… සමහරු ඒකට කැමතිය: තවත් සමහරු අම්බානට ඉරිසියාය… ඇල්කෙමියාට ඒ දෙකම නැත… රාජපක්‍ෂ වරුන් කරන හරි දේට ඇල්කෙමියා කැමතිය… වැරදි දෙයක් කළොත් ඒකත් විවේචනය කරන්න පුළුවන…

මෑත කාළයේ ගෝඨා, සැබෑවටම දසමහා යෝධයෙකු සේ ත්‍රස්තවාදීන් සමූලඝාතන මෙහෙයුම සම්බන්ධීකරණය කෙළේය… ගෝඨා ලංකාවට නොඑන්නට, පොන්සේකා අද විශ්‍රාමික ජනරාල් වී පිටරටක තානාපති නිලධාරියෙකු ලෙස සැප විඳින්නට හැකි විය ඇතිව තිබුණි. පොන්සේකාගේ හැටි දැන දැනත්, ගෝඨා පොන්සේකාව හමුදාපති කළේ ඒ කටයුත්ත කළ හැකි එකම එකා පොන්සේකා බව ගෝඨා දැන සිටි නිසාය… ඒ ගෝඨාගේ ඉවයි… වැඩ බැරි සමහරු ගෝඨා තම බලය ඉක්මවා කටයුතු කරන්නේ යැයි කෙඳිරි ගෑවත්, ගෝඨා වැනි පොරවල් තව තවත් අප රටට අවශ්‍යය… ඒ ඔහු මහින්දගේ සහෝ නිසා නොව, කරන කියන දේ අම්මා මුත්තාට වුවත් කෙළින් කියන නිසාය…

දැන් ගෝඨා අතගසා සිටින්නේ ත්‍රස්තවාදය තුරන් කළා සේම තවත් අසීරු කාර්යයකටය. මෙවර ඔහුට හරහට සිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාව නොව, කුණු ගොඩවලින් හම්බකරන් කන පාතාලයේ මැර කල්ලි සහ  පඩි අරන් නිදා ගන්නා නිලධාරී ප්‍රජාවය… ප්‍රභාකරන්ට වැඩේ දුන් ගෝඨාට මොවුන්ටද වැඩේ දීමට හැකි යැයි අපි තරයේ විශ්වාස කරමු.

කොළඹ කුණු ප්‍රශ්නය ගෝඨා අතට අරගෙන තිබේ. මෙච්චර කල් බෑ බෑ කියූ කොන්ත්‍රාත් කාරයින්ට අම්මා මුත්තා මතක් වෙන්නට ගෝඨා දෙසා බා තිබේ.. ජයවේවා… එසේම කිසිම වග විභාගයක් නැතිව තැන් තැන්වල කුණු කසළ දමන අමනයින්ට ද පාඩමක් උගන්වා තිබේ… අනේ සාදු, උන් අල්ලා දඬුකඳේ ගැසිය යුතුය… නැත්නම් මර්වින් සිල්වා කිවුවා සේ කුණු ගොඩ අසළ ලයිට් කණුවක බැඳ තැබිය යුතුය…. මෙය මෙතැනින් නැවතිය යුතු නැත… මුළු ලංකාව පුරාවටම සිදු කළ යුත්තකි…

ලංකාවේ ජීවත්වන බොහොමයක් අසමජ්ජාති එවුන් අනුන් ගැන හිතන්නේ නැත. උන් කජු ගොට්ටක් කෑවොත් කොළේ මහමඟ දමා යති. චුවින්ගම් එකක් කෑවොත් ඒක බස් එකේ සීට් එකේ අළවා යති.. බුලත් විටක් කෑවොත් හතරවටේ කෙළ ගසති… බස් එකේ සීට් එකේ තමන්ගේ නම ලියා යති… ප්‍රසිද්ධ වැසිකිළියේ කුණුහරුප ලියා යති… ඒ අපේ කට්ටියගේ හැටිය… සිංහලද දෙමළද මුස්ලිම්ද කියා බේදයක් නැත. ශ්‍රී ලාංකිකයා පොදුවේ කිසි කමකට නැත… ඒ වුනාට පිටරටකට ගියොත් ඒ රටේ හැටියට හැඩ ගැසෙන්නට මහ වෙලාවක් යන්නේ නැත.. මාස දෙකකට පමණ පසු සිංහලත් අමතකය…

මේ කුණු ප්‍රශ්නය නිවසේ දීම විසඳාගත හැකි සරළ ප්‍රශ්නයකි.. එසේ කිරීමට බැරිව ඇත්තේ අපේම කම්මැලි කම සහ අමන කම නිසාය.. නිවසේ එකතු වන කුණු වර්ග කිහිපයකි. ඉවත ලන හෝ නරක් වූ ආහාරමය ද්‍රව්‍ය, කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු, ඉලෙක්ට්‍රොනික උපාංග, ලෝහමය ද්‍රව්‍ය. මෙයින් ඉවතලන හෝ නරක් වූ ආහාර ද්‍රව්‍ය හැරුනුකොට අන් සියල්ල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වේ. එනම්, අප බැහැර කරන ද්‍රව්‍ය වලින් 90% ක්ම ප්‍රතිචක්‍රීකරණයට භාජනය කළ හැකි, සත්තකින්ම කුණු බක්කියට නොයැවිය යුතු දේ වෙයි. එසේම යමෙකු නිවසේ කොම්පෝස්ට් පොහොර වලක් තනාගෙන ඇත්නම්, ඉතිරිවන 10 % ද එයට එක් කිරීමෙන් අමතර පොහොර තනාගත හැකි වනවා පමණක් නොව කසළ ප්‍රශ්ණයට ද යම් පිළිතුරක් සැපයිය හැක.. මෙය කීමට පහසු නමුත් කිරීමට අපහසුය… මක් නිසාද යත් මෙහි බාධක ගණනාවක් ඇති බැවිනි. පළමුවැන්න නාගරිකයා සතු සීමිත ඉඩ ප්‍රමාණය ප්‍රතිචක්‍රීකරණ බඳුන් කිහිපයක් තබා ගැනීමට හෝ කොම්පෝස්ට් වලක් තැනීමට ප්‍රමාණවත් නොවීමයි. දෙවැන්න සිරි ලංකා රජය විසින් සිය ජනතාව ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි උනන්දු නොකිරීම සහ දැනුවත් නොකිරීමයි. තෙවැන්න තමන් ප්‍රතිචක්‍රීකරණය කළද, ඒ දෑ ලබා දෙන්නට නිසි තැනක් නොමැති වීමයි. පෙර කාළයේ මෙසේ පුවත්පත් සහ බෝතල් එකතු කළ බෝතල් පත්තර කාරයින් ද දැන් දැන් වඳවී යන සත්ත්‍ව කොට්ඨාසයට අයත් වී ඇත…

එසේ වුවද මෙම උදාර කර්තව්‍යය තරමකට හෝ කරගෙන යන උදවිය නැතුවාම නොවේ. පසුගිය මසක පුවත්පතක එක්තරා තරුණයෙකු කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්තශාලාවක් පටන්ගෙන ඇති බවට ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. ඔහුට කඩදාසි ලබා දෙන මෙන් එහි ඉල්ලීමක් ද කර තිබුණි. රාජ්‍ය කඩදාසි කර්මාන්ත ශාලාවද 30% ක් වත් ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි නිපදවිය හැකි තත්ත්‍වයට පත් කළ හැකි නම් ඉන් පරිසරය සුරැකෙනවා පමණක් නොව අඩු මිලට කඩදාසි සැපයීම ද කළ හැක. රාජ්‍ය ආයතන වල කඩදාසි සැපයුම මෙසේ ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි වලින් කෙරේ නම්, විශාල මුදල් සම්ශාරයක් ඉතිරි වනවා පමණක් නොව මේ කසළ ප්‍රශ්ණයට ද යම් විසඳුමක් ලැබෙනවා නොඅනුමානය.  රත්මලානේ වීදුරු කර්මාන්තශාලාව වීදුරු ප්‍රතිචක්‍රීකරණය කරන්නේ දැයි මම නොදනිමි. එසේ නොකරන්නේ නම්, ඒගැන සිතා බැලීමට කාළය දැනටමත් පහු වී ඇත… ඔබ නොදන්නවාට, කොකා කෝලා කෑන් එකක්  අළුතින් නිපදවන්නේ නැතිව ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය මගින් නිපදවුවහොත්, එයින් ඉතිරි කරගන්නා විදුලිබලය  ලැප්ටොප් පරිඝණකයක්  පැයක් ක්‍රියාකරවීමට යන විදුලිබලය හා සමාන යැයි ගණන් බලා තිබේ.

කිව යුතු දෑ බොහොමයකි… ලිපියේ දිග කියවීමේ රුචිකත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වන බැවින් මෙතැනින් නවතිමි….

පසු වදන………….

ප්‍රතිචක්‍රීකරණයේ වාසි බොහොමයකි. එය මූල්‍යමය වටිනාකමක් ඇතිවා සේම අනාගතය කෙරෙහි අප කරන ආයෝජනයක් ද වෙයි… මුත්තා සිය මුණුබුරන්ට අඹ කන්නට අඹ ගසක් පැළ කළාසේම අපි ද අපේ දූ දරුවන්ට සිටින්නට ලෝකයක් ඉතිරි කර යා යුතුය. කසළ ප්‍රශ්නය අතට ගත් ගෝඨා මේ ගැනත් සිතා බලා සිරි ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය  ද ප්‍රචලිත කරනු ඇතැයි  පරිසරයට ලැදි ඇල්කෙමියා බලාපොරොත්තු වේ……….

4 thoughts on “ගෝඨා තවත් කුණු වැඩකට අතගහයි…..! රාජපක්‍ෂ සමාගමට ජයවේවා……!

  1. මෑතකදි දුටු දෙයක් මෙතන සටහන් කළ යුතුයි කියා සිතුණා.

    දිනය, සතියේ දවසක්.
    වේලාව හවස හයට පමණ ඇති.
    ස්ථානය, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ආසිරි රෝහලට මදක් ඔබ්බෙන්. (මෙතන පාර අයිනෙම තියෙනව තරමක් ගඳගහන කුණුගොඩක්)

    තුන්රෝද රියක් ඇවිත එකවරම නැවැත්තුවේ කුණුගොඩ අයිනෙන්ම. ඉන් එළියට බැස්සේ පාසල් නිළ ඇඳුමින් සැරසුණු පොඩි කොල්ලෙක්… පෙනුම අනුව නම් වයස අවුරුදු 8ක් පමණ ඇති. පොඩි එකා දඟකාර ලෙස සිනාසෙමින් තුන්රෝද රිය ඇතුළෙ තිබුණු බෑග් කිහිපයක් කුණුගොඩට වීසි කළා. ඌට ඒක සෙල්ලමක්…. ආතල් එකක්.

    “ලංකාවේ ජීවත්වන බොහොමයක් අසමජ්ජාති එවුන්” ගේ ගතිලක්ෂණ පරම්පරාගත වන හැටි!

    1. ඇත්තටම ළමයි නරක් කරන්නේ උන්ගේ දෙමව්පියෝ…..
      අපි සමාජය හදන්න නම් මුලින්ම මේ කාරණය වටහා ගන්න ඕන….
      වෙන්නේ නැත්තෙත් ඕකම තමයි….

      ප්‍රතිචාරයට ස්තුතියි…

  2. “”ශ්‍රී ලාංකිකයා පොදුවේ කිසි කමකට නැත”” දහස් වරක් එකග වෙමි. තම බස් ටිකට් එක නිසි ලෙස බැහැර කරන්නේ කීයෙන් කීයද? ඉතින් මේ හැත්තනේ ආසියාවේ ආශ්චර්යය ගැන කියන්නේ . . . .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )