සමහරුන්ට කසන, සමහරුන්ට ඇඟපතේ පළු දමන, තව සමහරු මියයන,…… කවුරුත් නොසිතන දේ…. ආසාත්මිකතාවයන් නොහොත් Allergies

අසාත්මිකතාවයන්

සමහර උදවියට යමක් ආහාරයට ගත් පසු කැසීමක්, පළු දැමීමක් හෝ උගුර හිරවීමක් වැනි රෝග තත්ත්‍වයක් ඇති වූ විට බොහෝ දෙනා පවසන්නේ ඒ පුද්ගලයාට යමක් ඇලජික් වී ඇති බවයි. සාමාන්‍ය ගැමි වහරේ යෙදෙන මේ ඇලජික් යන්න ඉංගිරිසියේ Allergies යන්න ඍජු පරිවර්තනයට ලක් කිරීමෙන් සාදාගත් ආසාත්මිකතාවය යන තත්ත්‍වය හැඟවීමට සරළව යොදාගන්නා  පදයයි. මේ ආසාත්මිකතාවයන් ඇති වන්නේ යම් යම් දෑ වලට ශරීරය දක්වන අධිසංවේදීතාවය නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය දක්වන ප්‍රතික්‍රියා හේතුවෙනි. මේ ආසාත්මිකතාවයන් ඇති කරන ද්‍රව්‍ය ඉංගිරිසියෙන් Allergens කියා හඳුන්වනු ලැබේ. මේවා විවිධ පුද්ගලයනට ආසාත්මික වන්නේ විවිධාකාරයෙනි. සමහරුන්ට මුහුදු ආහාර, මස් වර්ග, උෂ්ණාධික එළවළු-පළතුරු වර්ග, ආදී ආහාර ආසාත්මික වන අතර, සමහරුන්ට මල්වල රේණු, සතුන්ගේ ලොම්, ආදිය ආසාත්මික වේ. සමහර අවස්ථාවල තවත් සමහරුන්ට සුවඳ විලවුන් වර්ග, විවිධ පරිසර පද්ධතීන්, මීමැස්සන් – කූඩැල්ලන් දෂ්ඨ කිරීම් ආදිය මාරාන්තිකව ආසාත්මික වන අවස්ථාද ඇත. මේ සියළුම දෑ ඒ ඒ ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය වලට ශරීරය දක්වන ප්‍රතික්‍රියාවල ප්‍රබලතාව අනුව සිදුවන්නකි.

Allergy යන්න මුලින්ම හඳුන්වා දී ඇත්තේ වියානාවේ ළමාරෝග වෛද්‍යවරයෙක් වූ Clemens von Pirquet විසින් 1906 දී. ඔහුගේ රෝගීන් සමහරක් දූවිලි සහ මල්රේණු වලට දක්වන ආසාත්මිකතා හේතුවෙන්  කිරීමට සිදු වූ අමතර වැඩ නිසා, ඔහු විසින් ග්‍රීක ශබ්ධකෝෂයේ වූ Allos (වෙනත්) Ergon (වැඩ) ලෙස මෙය හඳුන්වා තිබෙනවා.

ආසාත්මිකතා ඇති වීමට හේතු.

හේතු දෙවර්ගයකි.

  1. අදාල පුද්ගලයාගේ ජානමය සහ පාරම්පරික හේතු.

  2. පාරිසරික සාධක

සමහරුන්ට පාරම්පරිකව උරුම වන රෝගාබාධ ලෙස මේ ආසාත්මිකතා උරුම වෙනවා. ඇදුම රෝගීන් ඇති දෙමාපියන් ඇති පවුලක දරුවන් විවිධ ද්‍රව්‍ය වලට ආසාත්මිකතාවයන් ඇති වීම බොහෝ සුලභ දසුනක්. එසේ වී මුත් දැන් දැන් වැඩි වන ආසාත්මිකතාවයන් පාරම්පරික ලක්‍ෂණ නිසාම ඇති වන ඒවා නොවෙයි. පසුගිය වසර 10 ක ඇතුලත ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වන ආසාත්මිකතා රෝගීන් ප්‍රමාණය 10% කින් ඉහල ගොස් තිබෙනවා. මේ බොහොමයකට හේතු වශයෙන් දක්වා ඇත්කේ පාරිසරික සාධක සහ වැරදි ආහාර පුරුදුයි….

ආහාර ආසාත්මිකතා.

කෑම වර්ග අාසාත්මික විය හැකියි

සමහරු මස් වර්ගවලට, මුහුදු ආහාර වලට අන්නාසි වැනි පළතුරු වලට දැඩි සංවේදීතාවයක් දක්වනවා. මේ හැරෙන්න බොහෝ මරණ සංඛ්‍යාවකට දායක වී ඇත්තේ රටකජුයි (Peanuts) බොහෝ රටකජු ආසාත්මිකතා මාරාන්තිකයි. රටකජු කෑ පෙම්වතා දෙතොල සිපගත් පෙම්වතියක් ක්‍ෂණිකව මරු වැළඳගැනීමේ සිද්ධියක් ආරංචි වුනේ මෑතකදී. එය ඒ තරම් ප්‍රබලයි. අමෙරිකාවේ බොහෝ ප්‍රාථමික පාසල් ඇට වර්ගවලින් තොර (Nut Free Schools) කර ඇත්තේ මේ ඇට වර්ගවලට කුඩා දරුවන්ගේ ඇති සංවේදීත්වය මනාව කියා පාමින්. එසේම තවත් සමහරුන් විවිධ  ප්‍රෝටීන අධික ආහාරවලට සංවේදීතාවයන් දක්වනවා. කිරි, බිත්තර, කිරි ආහාර, මාළු,  මෙන්ම ආහාරවලට දමන විවිධ රසායනික රසකාරක, වර්ණක ආදියටත් සමහරු සංවේදීතාවයක් දක්වනවා. බිත්තර, කිරි ආදියට සංවේදීතාවයක් දක්වන කුඩා දරුවන්ගෙන් 50%ක් පමණම අවුරුදු 5 වනවිට ඒවාට හුරු වීමත් දක්නට ලැබෙනවා.

ආහාර නොවන ආසාත්මිකතා.

මල් හිතන තරම් සුන්දර නෑ

සමහරු විවිධ ඖෂධ වර්ග වලට, පෙර සඳහන් කළ පාරිසරික තත්ත්‍ව වලට මෙන්ම විවිධ කෘත්‍රිම ද්‍රව්‍ය වලටද ආසාත්මිකතාවයන් දක්වනවා. පෙනිසිලින් වැනි දේ වලට සංවේදීතාවයන් දක්වන පුද්ගලයන් ප්‍රමාණය තරමක වැඩිකමක් දක්වනවා. එසේම තවත් සමහරු ලේටෙක්ස් (Latex) වලින් තැනූ ද්‍රව්‍ය වලට සංවේදීයි. මගේ මිතුරියක් ටෙට්‍රාහයිඩ්‍රෝ ෆියුරෑන් (Tetrahydrofuran- THF) නම් රසායන ද්‍රව්‍යයට සංවේදී වීම හේතුවෙන් ඇගේ රසායන විද්‍යා ආවාර්ය උපාධිය අත්හැරීමට සිදුවුනා. තවත් මිතුරියක් ලේටෙක්ස් වලට සංවේදීවීම හේතුවෙන් ජීවිත කාලයටම ලේටෙක්ස් වලින් තැනූ කිසිම දෙයක් ස්පර්ශ වීම අකැපයි. කොටින්ම  කිසිවෙකු උපත් පාලන කොපුවක් පැළඳ ඈ හා එක් වුව හොත් ඈ එතැනම මරණයට පත්වන්නට තරම් ඇගේ සංවේදීතාවය ප්‍රබලයි. හදිසියේවත් රෝහල්ගත කළහොත් වෛද්‍ය වරුන් පවා ලේටෙක්ස් අත්වැසුම් පාවිච්චියෙන් වැලකිය යුතුයි.

කහඹිලියා, දළඹුවන් ස්පර්ශ වීම නිසා ඇතිවන කැසීම,   මීමැස්සන් ඇණීම, කූඩැල්ලන් කෑම ආදිය  නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ද අයත් වන්නේ ආහාරමය නොවන ආසාත්මිකතා වර්ගයටයි. එසේම සතුන්ගේ ලොම් නිසා සමහරුන්ට ඇති වන ප්‍රතික්‍රියා ද මේ ගණයටම අයත් වෙනවා.

අනෙකුත් සාධක

බොහෝ යුරෝපීය රටවල්, අමෙරිකාව වැනි කාර්මීකරණය වූ දියුණු රටවල ආසාත්මිකතා රෝග ලක්‍ෂණ දක්වන්න් ප්‍රමාණය ආසියානු සහ අප්‍රිකානු රටවල රෝගීනට වඩා වැඩියි. ඒ විශේෂයෙන්ම ඒවා දියුණු වීමත්, පෞද්ගලික සනීපාරක්‍ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඩු වීමත් නිසා බවයි වෛද්‍ය මතය. දියුණු වන රටවල් බොහොමයක් කෘෂිකාර්මික වීම නිසා ඔවුන් ඒ ඒ ආසාත්මිකතා සාධක වලට නිරාවරණය වීමේ අවස්ථා වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ ශරීර ඒ ඒ ද්‍රව්‍ය වලට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්තයි. එසේම ආසියානු රටවලින් සංක්‍රමණය වූ අය යුරෝපීය සහ අමෙරිකානු රටවලදී ඒ ඒ ද්‍රව්‍ය වලට සංවේදීතාවයන් පෙන්වනවා. ඒ ඔවුන් ආසාත්මිකතා සාධක වලට නිරාවරණය නොවීම නිසායි.

රෝගලක්‍ෂණ.

මල් ෙර්ණු

දූවිලි වලින් සහ මල්රේණු වැනි සුළඟ උපයෝගී කරගෙන සංසරණය වන්නාවූ ආසාත්මිකතා ද්‍රව්‍ය නිසා සෑදෙන ආසාත්මිකතාවන් ශරීරයේ ඒ ඒ ස්ථාන ඉලක්ක කරගනී. උදාහරණ වශයෙන් සමහරුන්ට අධික කඳුළු ගැලීම්, සොටු බේරීම වැනි බාහිර ප්‍රතික්‍රියා දක්වන්නේ ඉහත කී ද්‍රව්‍ය මඟිනි. එසේම ආශ්වස කිරීම මඟින් පෙනහළු වලට ඇතුළුවන දේ වලින් ඇතිවන ආසාත්මිකතාවයන් පිටතට පෙනෙනුයේ ඇදුම, හතිය වැනි රෝග ලක්‍ෂණ මඟිනි. ආහාර, මුඛ මාර්ගයෙන් ගන්නා බෙහෙත් වර්ග ආදියේ ආසාත්මිකතා රෝගලක්‍ෂණ බඩ රිදුම, වමනය, පාචනය වැනි දෑ වලින් මෙන්ම කැසීම, පළු දැමීම වැනි දේ වලින් පිටතට පෙන්නුම් කරනු ලබනවා. ඒ ඒ දෑ ඉතාම අධික ලෙස ආසාත්මික වූ කල්හි හුස්ම හිරවීම, මරණය වැනි අතිශයින් භයානක ප්‍රතිඵල ද මේ ආසාත්මිකතාවයන් නිසා ඇතිවන බව කණගාටුවෙන් වුවද පැවසිය යුතු වෙනවා. පසුගිය කාළයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්නත් දීමෙන් පසු බාලිකාවියන් කිහිපදෙනෙකු මිය යාමේ සිද්ධීන් පිටුපසත් මේ ආසාත්මිකතාවයන් ඇති බවට ඇලකෙමියාගේ හැඟීමක් තිබෙනවා.

මේ රෝග ලක්‍ෂණ දෙආකාරයි. ක්‍ෂණික ප්‍රතිචාර සහ පසුව දක්වන ප්‍රතික්‍රියා වශයෙන්. ක්‍ෂණික ප්‍රතිචාර ඇතිවන්නේ යමෙකු ඒ ආසාත්මිකතා සාධකයට නිරාවරණය වූ වහාම දක්වන ක්‍ෂණික ප්‍රතික්‍රියාව මඟින්. මෙය කැසීම, පළු දැමීම ආදී සුළු ප්‍රතිචාරයක සිට හුස්ම සිරවීම හෝ මරණය වැනි භයානක තත්ත්‍වයක් දක්වා වෙනස් වන්නට පුළුවන්. පසුව දක්වන ප්‍රතිචාර වලට මුහුණ දීම තරමක් ලෙහෙසියි, ඒ නිරාවරණයේ සිට පැය 2 ත් 24ත් අතර කාළයක් තුළ ප්‍රතික්‍රියා දක්වන නිසායි. මෙසේ වන සංවේදීතාවයන්ට අත්බෙහෙත් මඟින් ප්‍රතිකාර කළ හැකි වන අතර ඒවා මරණයෙන් කෙළවර වන්නේ ඉතාම කලාතුරකින්.

රෝගය හඳුනාගැනීම.

පැච් පරීක‍ණෂය

සමහර ආසාත්මිකතා හඳුනාගැනීම පහසු වන අතර සමහර දෑ හඳුනා ගැනීම ඉතාම අපහසු වෙනවා. මස් වර්ග, කිරි, වැනි ආහාර වලට දක්වන සංවේදීතාවයන් ඒ ඒ ආහාර ගත් පසු දක්වන ප්‍රතික්‍රියා මාර්ගයෙන් හඳුනාගතහැකි වනවා. ඒවා බොහෝ දුරට කාලයාගේ ඇවෑමෙන් මඟහැරී යන අතර තවත් සමහරක් ඒ ඒ ආහාර ස්වල්ප වශයෙන් ගැනීම මඟින් ශරීරය ඒ සඳහා පුරුදු කරවාගෙන මඟහරවාගත හැකියි. නමුත් සමහර ආසාත්මිකතාවයන් එසේ සරළව හඳුනාගත නොහැකියි. ඒ සඳහා වෛද්‍ය සහාය පැතිය යුතුයි. පිළිගත් ආසාත්මිකතා පරීක්‍ෂණ ලෙස සම ආශ්‍රිත ආසාත්මිකතා පරීක්‍ෂණ වන ආසාත්මික දෑ කටු ඇණීමක් මඟින් සමට ඇතුළු කර නිරීක්‍ෂණය කරන Prick Test සහ අදාල ද්‍රව්‍ය පැලැස්තරයක් සම මත අලවා නිරීක්‍ෂණය කරන Patch Test යන ක්‍රම දෙක ප්‍රවලිතයි. මීට අමතරව රුධිර පරීක්‍ෂණ, ආහාර මාර්ගයේ ඇතුලත කැමරාවක් මගින් රූපගත කරන Endoscopy පරීක්‍ෂණ සහ අදාල ආහාර කෑමට ලබාදී වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කරන පරීක්‍ෂණ ද ආසාත්මිකතාවයන් නිර්ණය කරන පරීක්‍ෂණ වලට ඇතුලත්. ලංකාවේ අයට ආසාත්මිකතා ඉතා සරළ දෙයක් වුවත් සමහරක් ආසාත්මිකතා මරණයෙන් කෙළවර වන බැවින්, බොහෝ රටවල මේ පරීක්‍ෂණ ඉතා බැරෑරුම් ලෙස සළකා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ කරනු ලබනවා.

ප්‍රතිකාර විධි.

ලොව දියුණු රටවල් වැඩිපුර මෙයින් බැටකන නිසාදෝ මේ ගැන ඉතා ඉහළ ලෙස පර්යේෂණ පැවැත්වීම හේතුවෙන් බොහොමයක් ආසාත්මිකතාවයන් පාලනය කර තිබෙනවා. ආසාත්මිකතාවයන් පාලනය කිරීමේ මූලික කටයුත්ත ඇරඹෙන්නේ ඒ මගින් ඇති වන ක්‍ෂණික කම්පනය (Anaphylaxis) පාලනයෙන්. සරළ තත්ත්‍වයන්  බෙහෙත් මගින් පාලනය කෙරෙනවා. ප්‍රතිහිස්ටැමීන්, ග්ලූකොකෝර්ටිකොයිඩ, ඇඩ්‍රිනලින්, තියෝෆිලීන් ආදිය මේවාට අයත්. ඖෂධීය නාමයෙන් වඩාත් ප්‍රචලිත බෙනඩ්‍රිල්, සර්ටෙක්, සහ එෆිනෙෆ්රින් මේවාට අයත් ඖෂධ වෙනවා. එසේම ඒ ඒ ආසාත්මිකතා සාධක ක්‍රමාණුකූලව ශරීරයට එන්නත් කිරීම මඟින් ස්වභාවික ප්‍රතිශක්තියක් ශරීරය තුළින්ම ගොඩනැංවීමේ Immunothrapy ප්‍රතිකාර ක්‍රමය දැන් දැන් වැඩි වශයෙන් අත්හදා බැලෙනවා. මෙමඟින් ඒ ඒ ද්‍රව්‍ය වලට ඇති අධිසංවේදීතාවය අවම කිරීම හෝ නැත්තටම නැති කිරීමට පුළුවන්.

ඉතින් මෙසේ ඇතිවන ආසාත්මිකතා සමහර විට ගණන් නොගෙන සිටීමෙන් මඟහැරී යාමට හැකිවාක් මෙන්ම ගණන් නොගැනීම මරණය පවා ලං කර දෙන්නක් විය හැකියි. විශේෂයෙන් රටකජු වැනි දේ වලට ඇති ආසාත්මිකතාවයන් ඉතා භයානක වන්නට පුළුවන්. සාමාන්‍යෙයන් වෛද්‍යවරු බෙනඩ්‍රිල්, සර්ටෙක් වැනි බෙහෙත් නියම කරන්නේ ඒවා සරළ ආසාත්මිකතා සුවකරන නිසාවෙන්.

ඒ වගේම සමහරු නිතරම එෆිනෙෆ්රින් අඩංගු එන්නතක් ළඟ තබාගන්නේ ඔවුන් සමහර ද්‍රව්‍යයනට දක්වන දැඩි සංවේදීතාවය නිසා. මේ නිසා කවදාවත් කිසිකෙනෙකුට නොඅසා කෑමක් දෙන්නට යන්න එපා. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ඇල්කෙමි පැටියා. ඒකා බිත්තර, මාළු, කිරි, ආහාර වර්ණක, රටකජු ආදී ඇට වර්ග,සහ තිරිඟු පිටි ආහාර වලට ආසාත්මිකතා පෙන්වනවා. අප ලංකාවට පැමිණි එක් වතාවක අපේ ඥාති සොයුරියක් ඇල්කෙමි පැටියාට ඇඟිලි පුරුකක් තරම් පොඩි කේක් කැබැල්ලක් මගෙන් නොඅසා කන්නට දුන්නා.  ඔහු බිත්තර සහ ආහාර වර්ණක වලට ආසාත්මික යැයි මා පැවසුවත් ඇය ඒ බව ගණන් නොගත්තේ ලංකාවේ එවන් දෑ අසා නුපුරුදු බැවින් වන්නට ඇති. කෙසේ වුවත් සිදු වූ කරුණ මා දන්නා නිසා මා ඇල්කෙමි පැටියාට බෙනඩ්‍රිල් හැන්දක් දී මිතුරකු ගේ මගුල් ගෙදරකට එක්කරගෙන ගියා. පැයක් පමණ යනවිට ඇල්කෙමි පැටියා සිහිනොමැතිව ඇඟ නිල්පැහැ ගැන්වී සිටියා. මා හැකි පමණින් ඔහුව අවදි කර එවේලේම සැර වැඩි සර්ටෙක් හැන්දක් පෙව්වා… ඒ සමඟම මගේ ඇඟ පුරාවටම වමනය දමා ඔහු පියවි සිහියට පැමිණියා. මා නැවත අමෙරිකාවට ආ විගස ඔහුගේ ආසාත්මිකතා විශේෂඥ වෛද්‍යවරයා හමුවී එෆිනෙෆ්රින් එන්නතක් ඉල්ලාගත්තේ නැවතත් එවන් අකරතැබ්බයකට මුහුණදුනහොත් වහා පාවිච්චි කිරීමට. එදා මා මගේ ජීවිතයේ වැඩියෙන්ම කලබල වූ එහෙත් දැඩිව පාලනය කරගෙන ඒ හමුවේ ක්‍රියාකළ අවස්ථාව ලෙස තවමත් මගේ සිතේ තිබෙනවා. ඒ නිසයි මා මේ ලිපිය ලියුවෙත්….

ආසාත්මිකතා විහිළුවෙන් බැහැර කළ යුත්තක් නොවෙයි. ඒ පිළිබඳ අවදියෙන් සිටින්න… සමහරවිට ඔබටත් වෙනකෙකුගේ ජීවිතයක් බේරාගන්න මේ ලිපිය ආධාරයක් වේවි….

කලකට පස්සෙයි වෙලකට බැස්සේ……………..

ආයුබෝවන් ළමයිනේ….. පහුගිය දොහේ බොහොම වැඩ අධික වෙලා හිටියේ. අළුතෙන් පර්යේෂයක් පටන් ගත්තා. ඒ ගැන පස්සේ කියන්නම්. ඒ මදිවට රසායනාගාරයට අළුතෙන්  බඩු භාණ්ඩ බොහොමයක් ගෙනාවා. රසායනාගාරයේ ඉන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා හැටියට මට තමයි වැඩ ටික පොඩි එවුන්ට පවරලා කරවගන්න තිබුනේ. ඒ නිසාම උන් මට නමකුත් දාලා Delegator  කියලා.

මගේ මහාචාරියා අළුතෙන් පටන් ගන්න පාසල් වාරයට ලක ලෑස්ති වෙනවා. ඒ නිසා මම තමයි මේ දවස්වල වැඩේ රන් කරන්නේ. ඒ මදිවට පොර අමෙරිකානු රසායන සංගමයේ (ACS) සැසියට බොස්ටන් ගිහින්…. ඒ නිසා පොරගෙ වැඩත් මටයි කරන්න වෙලා තියෙන්නේ. එක අතකට මට හොඳ අත්දැකීමක්. ඒ නිසාම කරනවා. කරගත්තොත් මටනේ….

ඉතිං ලිපි කිහිපයක්ම ලියන එක අතපසු වුනා. ඒත් රසායන විද්‍යාව පැත්තට කෙරුණ දායකත්‍වෙයන් අඩුවක් කළේ නැහැ. විද්‍යාව.කොම් එකට රසායන විද්‍යා ලිපි කිහිපයක්ම ලියුවා. මෙතැනින් බලන්න… ඒක බොහොම වැදගත් කටයුත්තක්.. ඒ නිසාම හැමදාම උදේ නැගිටපු ගමන්ම ලිපියක කොටසක් ලියන්න අමතක කළේ නැහැ. ඉදිරියට බර බර රසායන විද්‍යා පාඩම් ලියැවේවි. ඒ අපේ අනාගත පරම්පරාවට මගෙන් කෙරෙන්න ඕන වැඩ කොටස කරන්නයි එහෙම කරන්නේ.

මැද පිළිවෙත තුමාටත් පුංචි පිළිතුරක් ලියන්න මට ඕන වෙලා තියෙනවා. ඒ මහතා කිව්වා වාගේම අපි අතරේ කිසිම අමනාපකමක් නැහැ. ඒත් මගේ ලිපියේ තිබූ සමහර කරුණු පිළිබඳ පුංචි පැහැදිලිකිරීමක් කළ යුතුව ඇතැයි සිතුනා. ඒ සියල්ල අතපසු වුනේ මගේ පරිඝණකයට අළුතෙන් Windows 7 ස්ථාපනය කළ නිසා සියළුම දේ අළුතෙන් ස්ථාපනය කරන්න සිදුවුන නිසයි.. ඒ ඔක්කොම දැන් හරි. දැන් ඉතින් සුපුරුදු පරිදි වැඩ අරඹන්න පුළුවන්.

විශේෂයෙන්ම අද කියන්න තියෙන්නේ අමෙරිකානු විශ්ව විද්‍යාලවල 2011 වසරට ආචාර්ය උපාධි හදාරන්න අයදුම්පත්‍ර භාරගැනීම මේ මාසයේ පටන් ඇරඹෙනවා කියලයි… දැන්ම පටන් ගත්තොත් අයදුම්පත්‍ර සලකා බැලීම ඇරඹෙන නොවැම්බර මාසය වනවිට ඒවා නියමිත පරිදි සම්පූර්ණ කරගන්න පුළුවන් වේවි… ඒ නිසා ඒ කටයුත්ත දැන්ම පටන් ගන්න…. උදව් ඕන නම් කියන්න… අපි ඉන්නේ ඒවට තමයි…

වල්පල් ලිව්වා මිසක වැදගත් යමක් කිව්වේ නැහැනේ…. අද නම් ලියන්නත් වෙලාවක් නැහැ…. ළඟදිම දිග ලිපියක් දාන්නම්…..

සෙස්ස පස්සට…

ඇල්කෙමියා.

පිළිතුර ලැබුනා පිළිතුරු පසුව එවමි – මෙයට, ඇල්කෙමියා…..

ආචාර්ය මැදපිළිවෙත තුමා වෙත,

ඔබ එවූ පිළිතුර ලැබුණා. එයට තුති… මේ දවස්වල හරිම බිසී… සතියක් කල් දෙන්න… ඔබතුමාට පිළිතුරක් එවන්නම්….

සියළු දෙනා හොඳින් ඇතැයි සිතමි….

සෙස්ස පස්සට,

ඔබට බුදු සරණයි.

මීට

ඇල්කෙමියා.

නරියකු‍ගේ තප්පුලෑම හරහා සිදුවන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට විරුද්ධවීමේ මූලික පියවරද ?

ජුලි මස 29 වනදා සිරස ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තලය වූයේ පන්සලක පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකි. එහි මූලික අරමුණ වූයේ උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවීමේ අවදානමක් ඇතැයි කියාපෑමය.

මා දන්නා පරිදි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ සරළ පසුබිම වනුයේ පසුගිය අවුරුදු කිහිපය තුළම උසස් පෙළ සිසුන්ටත් ගුරුවරුන්ටත් උසස් පෙළ ඉලක්ක කරගෙන පැවුත්වූ රසායන විද්‍යා සම්මන්ත්‍රණ පෙළ නිසා රසායන විද්‍යාව විකුණාගෙන කන “සමහරක්” රසායන විද්‍යා කඩ කාරයින්ගේ බඩට  වැදීමත්, අදාල ප්‍රවෘත්තියට පසුබිම් වූ මහාචාර්ය එස් පී දැරණියගල මහතා සමඟ කාගේ හෝ ඇති පෞද්ගලික අමනාපකමකුත් කල දුටු කල වල ඉහ ගැනීමේ දේශපාලන න්‍යාය මත පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට විරෝධය දැක්වීම හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ රජයේ ප්‍රයත්නයට වි‍රෝධය දැක්වීමේ මූලික ක්‍රියා පටිපාටිය ඇරඹීමේ අවස්ථාවාදී කටයුත්තක් ලෙසය.

Adamantane House – රසායන විද්‍යා ආයතනය

1972 වසරේ ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය (Institute of Chemistry, Ceylon) ඇරඹුනේ ලංකා රසායන විද්‍යා සංගමයේ උරුමය තවදුරටත් ඉදිරියට ගෙනයාමේ මූලික අඩිතාලමක් ලෙසිනි. සිසුන් සිවු දෙනෙකුගෙන් ඇරඹි රසායන විද්‍යා උපාධි පාඨමාලාවෙන් මේ වන විට උපාධිධාරීන් හයසියයකට ආසන්න හෝ ඊට වැඩි ප්‍රමාණයක් රසායන විද්‍යා උපාධිය සාර්ථකව හදාරා ඉන් පිටව ගොස් ඇත. මෙයින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ රසායනාගාර, කර්මාන්තශාලා, සමහර රජයේ රසායනාගාර ආදියේ සේවය කරන අතර කිහිප දෙනෙකු තමන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යති. මෑතදී ඇති වූ ප්‍රවණතාවයක් නම් අධ්‍යාපනය උසස් ලෙස නිම කළ සිසුන් (ප්‍රථම පංතියේ, දෙවන පංතියේ ගෞරව උපාධි ලද සිසුන්) ආචාර්ය උපාධිය සඳහා විදේශගත වීමයි. එසේ විදේශගත වූ සිසුන් පණහක් පමණ මේ වන විට විවිධ රටවල ආචාර්ය උපාධිය හදාරා  අවසන් කර හෝ හදාරමින් සිටිති.

රසායන විද්‍යා උපාධිය මුදල් ඇති පමණින් කළ හැක්කක් නොවේ; ඒ සඳහා උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් සමත්ව, සම්මුඛ පරීක්‍ෂණයකින් අනතුරුව සිදු කෙරෙන තෝරාගැනීමකින් සමත් විය යුතු වේ. රසායන විද්‍යා උපාධි පාඨමාලාවන්හි විෂය නිර්දේශය රජයේ විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා විශේෂ උපාධි පාඨමාලාවන්ට සමගාමී වන අතර නිරන්තරව අදට ගැලපෙන අයුරින් සංශෝධනය කෙරෙන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුමය.

අද ලංකාවේ විශ්ව විද්‍යාල රාශියක් තිබුණද, රසායන විද්‍යාවේ  උන්නතිය වෙනුවෙන් කැපවුන එකම  ආයතනය රසායන විද්‍යා ආයතනයයි. එය  මේ පුද්ගලයා පවසන පරිදි හුදෙක් උසස් පෙළ සඳහා පන්ති පවත්වන ස්ථානයක් නොවේ. මෙමඟින් විවිධ රසායනඥයන් පුහුණු කිරීම, පුහුණු සැසි පැවැත්වීම, Chemtech 2007  වැනි අන්තර්ජාතික රසායන විද්‍යා  සමුළු පැවැත්වීම වැනි දැවැන්ත ක්‍රියාදාමයකට උර දී ඇති ආයතනයකි. මහාචාර්ය දැරණියගල යනු ඒ දැවැන්ත ක්‍රියාවලිය මේ වසරකට මෙහෙයවන පුද්ගලයා පමණි. ඒ මහතා ඊලඟ නිලවරණයෙන් පසු සභාපතිකමින් ඉවත් වේ. හැරත්, මා දන්නා පරිදි රසායන විද්‍යා උපාධි පාඨමාලාවේ දේශන කරනු ලබන සියළුම මහාචාර්ය වරු කිනම් හෝ  විශ්ව විද්‍යාලයකට සම්බන්ධ රසායන විද්‍යාවෙහි කෙළ පැමිණි නම් දැරූ පුද්ගලයෝ වෙති. ඒ අය, ප්‍රශ්ණ පත්‍රයක ගැටළු පිටකිරීම වැනි සුළු කාරණයක් උදෙසා තම කීර්තිනාමය කෙළෙසා ගැනීමට තරම් අය නෙවෙති. එපමණක් නොව, ඔවුන් ප්‍රශ්න පත්‍ර සැකසීමේ කාර්යය කරනුයේ  අද ඊයේ සිට නොවේ, ඔවුන් ඒ සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් ඇති ඒවායේ සියළු නීති රීති දන්නා පුද්ගලයො වෙති. දශක ගණනාවක් මුළුල්ලේ උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසූ මහාචාර්ය JNO ප්‍රනාන්දු මහතා මේ ස්ථානයේ වැඩිම කලක් දේශන කළ, රසායන විද්‍යා ආයතනයේ නිර්මාතෘවරයායි. ඒ මහතා රසායන විද්‍යා ආයතනයේ දේශන කරමින් උ. පෙ. රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන සැකසුම්කරු වන විට මේ අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් හිටියේ නිදාගෙනද ?

මොහුගේ මෙම මුග්ධ ක්‍රියාවට නිසි පිළිතුර ලබා දී ඇත්තේ විභාග කොමසාරිස්තුමා විසිනි. ඒ මහතා පවසා ඇත්තේ යම් අකටයුත්තක් වේ නම්, ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන ලෙසයි. ලංකාවේ සිදුවන්නේ මෙවැනි විහිළුය… නිසි ක්‍රියාමාර්ගය නොගෙන දඩි බිඩියේ මාධ්‍ය සාකච්ඡා පවත්වා වැඩේ අනාගැනීමය……

ඇල්කෙමියාට පෙනෙන පරිදි මෙම හිඟන මාධ්‍ය සාකච්ඡාව මහාචාර්ය දැරණියගල මහතාට එරෙහිව කරන ලද පෞද්ගලික ප්‍රහාරයකි. යන එන මං නැතිව සිටින විශ්‍රාමික ටියුෂන් ගුරුවරයෙකුද මේ සාකච්ඡාවට සහභාගිවීමෙන් පෙනී යන්නේ ඔවුනටද බරපතල ලෙස පහර වැදී ඇති බවය…

බොහෝ දෙනා රසායන විද්‍යා ආයතනයේ ඇත්ත තත්ත්‍වය නොදනී. එය පිටතට කුඩාවට පෙනුනද, ඇතුළතින් දළු ලා වැඩුන සුවිසල් වෘක්ෂ්‍යයකි. ඒ හා සම්බන්ධව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ රසායන විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් එතෙක් මෙතෙක් කැප වී කටයුතු කළ, කරන, උසස් චින්තනයකින් හෙබි බුද්ධිමත් ගුරු කැළකි. එය සිය දහස් ගණනක් සිසුනට උසස් අධ්‍යාපනයේ මංපෙත හෙළි කළ පින්බිමකි. එය අදටත් හෙටටත් අනාගතයේත් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිය ජාතික මෙහෙවර කරනු ඇත……