සමහරුන්ට කසන, සමහරුන්ට ඇඟපතේ පළු දමන, තව සමහරු මියයන,…… කවුරුත් නොසිතන දේ…. ආසාත්මිකතාවයන් නොහොත් Allergies

අසාත්මිකතාවයන්

සමහර උදවියට යමක් ආහාරයට ගත් පසු කැසීමක්, පළු දැමීමක් හෝ උගුර හිරවීමක් වැනි රෝග තත්ත්‍වයක් ඇති වූ විට බොහෝ දෙනා පවසන්නේ ඒ පුද්ගලයාට යමක් ඇලජික් වී ඇති බවයි. සාමාන්‍ය ගැමි වහරේ යෙදෙන මේ ඇලජික් යන්න ඉංගිරිසියේ Allergies යන්න ඍජු පරිවර්තනයට ලක් කිරීමෙන් සාදාගත් ආසාත්මිකතාවය යන තත්ත්‍වය හැඟවීමට සරළව යොදාගන්නා  පදයයි. මේ ආසාත්මිකතාවයන් ඇති වන්නේ යම් යම් දෑ වලට ශරීරය දක්වන අධිසංවේදීතාවය නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය දක්වන ප්‍රතික්‍රියා හේතුවෙනි. මේ ආසාත්මිකතාවයන් ඇති කරන ද්‍රව්‍ය ඉංගිරිසියෙන් Allergens කියා හඳුන්වනු ලැබේ. මේවා විවිධ පුද්ගලයනට ආසාත්මික වන්නේ විවිධාකාරයෙනි. සමහරුන්ට මුහුදු ආහාර, මස් වර්ග, උෂ්ණාධික එළවළු-පළතුරු වර්ග, ආදී ආහාර ආසාත්මික වන අතර, සමහරුන්ට මල්වල රේණු, සතුන්ගේ ලොම්, ආදිය ආසාත්මික වේ. සමහර අවස්ථාවල තවත් සමහරුන්ට සුවඳ විලවුන් වර්ග, විවිධ පරිසර පද්ධතීන්, මීමැස්සන් – කූඩැල්ලන් දෂ්ඨ කිරීම් ආදිය මාරාන්තිකව ආසාත්මික වන අවස්ථාද ඇත. මේ සියළුම දෑ ඒ ඒ ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය වලට ශරීරය දක්වන ප්‍රතික්‍රියාවල ප්‍රබලතාව අනුව සිදුවන්නකි.

Allergy යන්න මුලින්ම හඳුන්වා දී ඇත්තේ වියානාවේ ළමාරෝග වෛද්‍යවරයෙක් වූ Clemens von Pirquet විසින් 1906 දී. ඔහුගේ රෝගීන් සමහරක් දූවිලි සහ මල්රේණු වලට දක්වන ආසාත්මිකතා හේතුවෙන්  කිරීමට සිදු වූ අමතර වැඩ නිසා, ඔහු විසින් ග්‍රීක ශබ්ධකෝෂයේ වූ Allos (වෙනත්) Ergon (වැඩ) ලෙස මෙය හඳුන්වා තිබෙනවා.

ආසාත්මිකතා ඇති වීමට හේතු.

හේතු දෙවර්ගයකි.

  1. අදාල පුද්ගලයාගේ ජානමය සහ පාරම්පරික හේතු.

  2. පාරිසරික සාධක

සමහරුන්ට පාරම්පරිකව උරුම වන රෝගාබාධ ලෙස මේ ආසාත්මිකතා උරුම වෙනවා. ඇදුම රෝගීන් ඇති දෙමාපියන් ඇති පවුලක දරුවන් විවිධ ද්‍රව්‍ය වලට ආසාත්මිකතාවයන් ඇති වීම බොහෝ සුලභ දසුනක්. එසේ වී මුත් දැන් දැන් වැඩි වන ආසාත්මිකතාවයන් පාරම්පරික ලක්‍ෂණ නිසාම ඇති වන ඒවා නොවෙයි. පසුගිය වසර 10 ක ඇතුලත ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වන ආසාත්මිකතා රෝගීන් ප්‍රමාණය 10% කින් ඉහල ගොස් තිබෙනවා. මේ බොහොමයකට හේතු වශයෙන් දක්වා ඇත්කේ පාරිසරික සාධක සහ වැරදි ආහාර පුරුදුයි….

ආහාර ආසාත්මිකතා.

කෑම වර්ග අාසාත්මික විය හැකියි

සමහරු මස් වර්ගවලට, මුහුදු ආහාර වලට අන්නාසි වැනි පළතුරු වලට දැඩි සංවේදීතාවයක් දක්වනවා. මේ හැරෙන්න බොහෝ මරණ සංඛ්‍යාවකට දායක වී ඇත්තේ රටකජුයි (Peanuts) බොහෝ රටකජු ආසාත්මිකතා මාරාන්තිකයි. රටකජු කෑ පෙම්වතා දෙතොල සිපගත් පෙම්වතියක් ක්‍ෂණිකව මරු වැළඳගැනීමේ සිද්ධියක් ආරංචි වුනේ මෑතකදී. එය ඒ තරම් ප්‍රබලයි. අමෙරිකාවේ බොහෝ ප්‍රාථමික පාසල් ඇට වර්ගවලින් තොර (Nut Free Schools) කර ඇත්තේ මේ ඇට වර්ගවලට කුඩා දරුවන්ගේ ඇති සංවේදීත්වය මනාව කියා පාමින්. එසේම තවත් සමහරුන් විවිධ  ප්‍රෝටීන අධික ආහාරවලට සංවේදීතාවයන් දක්වනවා. කිරි, බිත්තර, කිරි ආහාර, මාළු,  මෙන්ම ආහාරවලට දමන විවිධ රසායනික රසකාරක, වර්ණක ආදියටත් සමහරු සංවේදීතාවයක් දක්වනවා. බිත්තර, කිරි ආදියට සංවේදීතාවයක් දක්වන කුඩා දරුවන්ගෙන් 50%ක් පමණම අවුරුදු 5 වනවිට ඒවාට හුරු වීමත් දක්නට ලැබෙනවා.

ආහාර නොවන ආසාත්මිකතා.

මල් හිතන තරම් සුන්දර නෑ

සමහරු විවිධ ඖෂධ වර්ග වලට, පෙර සඳහන් කළ පාරිසරික තත්ත්‍ව වලට මෙන්ම විවිධ කෘත්‍රිම ද්‍රව්‍ය වලටද ආසාත්මිකතාවයන් දක්වනවා. පෙනිසිලින් වැනි දේ වලට සංවේදීතාවයන් දක්වන පුද්ගලයන් ප්‍රමාණය තරමක වැඩිකමක් දක්වනවා. එසේම තවත් සමහරු ලේටෙක්ස් (Latex) වලින් තැනූ ද්‍රව්‍ය වලට සංවේදීයි. මගේ මිතුරියක් ටෙට්‍රාහයිඩ්‍රෝ ෆියුරෑන් (Tetrahydrofuran- THF) නම් රසායන ද්‍රව්‍යයට සංවේදී වීම හේතුවෙන් ඇගේ රසායන විද්‍යා ආවාර්ය උපාධිය අත්හැරීමට සිදුවුනා. තවත් මිතුරියක් ලේටෙක්ස් වලට සංවේදීවීම හේතුවෙන් ජීවිත කාලයටම ලේටෙක්ස් වලින් තැනූ කිසිම දෙයක් ස්පර්ශ වීම අකැපයි. කොටින්ම  කිසිවෙකු උපත් පාලන කොපුවක් පැළඳ ඈ හා එක් වුව හොත් ඈ එතැනම මරණයට පත්වන්නට තරම් ඇගේ සංවේදීතාවය ප්‍රබලයි. හදිසියේවත් රෝහල්ගත කළහොත් වෛද්‍ය වරුන් පවා ලේටෙක්ස් අත්වැසුම් පාවිච්චියෙන් වැලකිය යුතුයි.

කහඹිලියා, දළඹුවන් ස්පර්ශ වීම නිසා ඇතිවන කැසීම,   මීමැස්සන් ඇණීම, කූඩැල්ලන් කෑම ආදිය  නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ද අයත් වන්නේ ආහාරමය නොවන ආසාත්මිකතා වර්ගයටයි. එසේම සතුන්ගේ ලොම් නිසා සමහරුන්ට ඇති වන ප්‍රතික්‍රියා ද මේ ගණයටම අයත් වෙනවා.

අනෙකුත් සාධක

බොහෝ යුරෝපීය රටවල්, අමෙරිකාව වැනි කාර්මීකරණය වූ දියුණු රටවල ආසාත්මිකතා රෝග ලක්‍ෂණ දක්වන්න් ප්‍රමාණය ආසියානු සහ අප්‍රිකානු රටවල රෝගීනට වඩා වැඩියි. ඒ විශේෂයෙන්ම ඒවා දියුණු වීමත්, පෞද්ගලික සනීපාරක්‍ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඩු වීමත් නිසා බවයි වෛද්‍ය මතය. දියුණු වන රටවල් බොහොමයක් කෘෂිකාර්මික වීම නිසා ඔවුන් ඒ ඒ ආසාත්මිකතා සාධක වලට නිරාවරණය වීමේ අවස්ථා වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ ශරීර ඒ ඒ ද්‍රව්‍ය වලට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්තයි. එසේම ආසියානු රටවලින් සංක්‍රමණය වූ අය යුරෝපීය සහ අමෙරිකානු රටවලදී ඒ ඒ ද්‍රව්‍ය වලට සංවේදීතාවයන් පෙන්වනවා. ඒ ඔවුන් ආසාත්මිකතා සාධක වලට නිරාවරණය නොවීම නිසායි.

රෝගලක්‍ෂණ.

මල් ෙර්ණු

දූවිලි වලින් සහ මල්රේණු වැනි සුළඟ උපයෝගී කරගෙන සංසරණය වන්නාවූ ආසාත්මිකතා ද්‍රව්‍ය නිසා සෑදෙන ආසාත්මිකතාවන් ශරීරයේ ඒ ඒ ස්ථාන ඉලක්ක කරගනී. උදාහරණ වශයෙන් සමහරුන්ට අධික කඳුළු ගැලීම්, සොටු බේරීම වැනි බාහිර ප්‍රතික්‍රියා දක්වන්නේ ඉහත කී ද්‍රව්‍ය මඟිනි. එසේම ආශ්වස කිරීම මඟින් පෙනහළු වලට ඇතුළුවන දේ වලින් ඇතිවන ආසාත්මිකතාවයන් පිටතට පෙනෙනුයේ ඇදුම, හතිය වැනි රෝග ලක්‍ෂණ මඟිනි. ආහාර, මුඛ මාර්ගයෙන් ගන්නා බෙහෙත් වර්ග ආදියේ ආසාත්මිකතා රෝගලක්‍ෂණ බඩ රිදුම, වමනය, පාචනය වැනි දෑ වලින් මෙන්ම කැසීම, පළු දැමීම වැනි දේ වලින් පිටතට පෙන්නුම් කරනු ලබනවා. ඒ ඒ දෑ ඉතාම අධික ලෙස ආසාත්මික වූ කල්හි හුස්ම හිරවීම, මරණය වැනි අතිශයින් භයානක ප්‍රතිඵල ද මේ ආසාත්මිකතාවයන් නිසා ඇතිවන බව කණගාටුවෙන් වුවද පැවසිය යුතු වෙනවා. පසුගිය කාළයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්නත් දීමෙන් පසු බාලිකාවියන් කිහිපදෙනෙකු මිය යාමේ සිද්ධීන් පිටුපසත් මේ ආසාත්මිකතාවයන් ඇති බවට ඇලකෙමියාගේ හැඟීමක් තිබෙනවා.

මේ රෝග ලක්‍ෂණ දෙආකාරයි. ක්‍ෂණික ප්‍රතිචාර සහ පසුව දක්වන ප්‍රතික්‍රියා වශයෙන්. ක්‍ෂණික ප්‍රතිචාර ඇතිවන්නේ යමෙකු ඒ ආසාත්මිකතා සාධකයට නිරාවරණය වූ වහාම දක්වන ක්‍ෂණික ප්‍රතික්‍රියාව මඟින්. මෙය කැසීම, පළු දැමීම ආදී සුළු ප්‍රතිචාරයක සිට හුස්ම සිරවීම හෝ මරණය වැනි භයානක තත්ත්‍වයක් දක්වා වෙනස් වන්නට පුළුවන්. පසුව දක්වන ප්‍රතිචාර වලට මුහුණ දීම තරමක් ලෙහෙසියි, ඒ නිරාවරණයේ සිට පැය 2 ත් 24ත් අතර කාළයක් තුළ ප්‍රතික්‍රියා දක්වන නිසායි. මෙසේ වන සංවේදීතාවයන්ට අත්බෙහෙත් මඟින් ප්‍රතිකාර කළ හැකි වන අතර ඒවා මරණයෙන් කෙළවර වන්නේ ඉතාම කලාතුරකින්.

රෝගය හඳුනාගැනීම.

පැච් පරීක‍ණෂය

සමහර ආසාත්මිකතා හඳුනාගැනීම පහසු වන අතර සමහර දෑ හඳුනා ගැනීම ඉතාම අපහසු වෙනවා. මස් වර්ග, කිරි, වැනි ආහාර වලට දක්වන සංවේදීතාවයන් ඒ ඒ ආහාර ගත් පසු දක්වන ප්‍රතික්‍රියා මාර්ගයෙන් හඳුනාගතහැකි වනවා. ඒවා බොහෝ දුරට කාලයාගේ ඇවෑමෙන් මඟහැරී යන අතර තවත් සමහරක් ඒ ඒ ආහාර ස්වල්ප වශයෙන් ගැනීම මඟින් ශරීරය ඒ සඳහා පුරුදු කරවාගෙන මඟහරවාගත හැකියි. නමුත් සමහර ආසාත්මිකතාවයන් එසේ සරළව හඳුනාගත නොහැකියි. ඒ සඳහා වෛද්‍ය සහාය පැතිය යුතුයි. පිළිගත් ආසාත්මිකතා පරීක්‍ෂණ ලෙස සම ආශ්‍රිත ආසාත්මිකතා පරීක්‍ෂණ වන ආසාත්මික දෑ කටු ඇණීමක් මඟින් සමට ඇතුළු කර නිරීක්‍ෂණය කරන Prick Test සහ අදාල ද්‍රව්‍ය පැලැස්තරයක් සම මත අලවා නිරීක්‍ෂණය කරන Patch Test යන ක්‍රම දෙක ප්‍රවලිතයි. මීට අමතරව රුධිර පරීක්‍ෂණ, ආහාර මාර්ගයේ ඇතුලත කැමරාවක් මගින් රූපගත කරන Endoscopy පරීක්‍ෂණ සහ අදාල ආහාර කෑමට ලබාදී වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කරන පරීක්‍ෂණ ද ආසාත්මිකතාවයන් නිර්ණය කරන පරීක්‍ෂණ වලට ඇතුලත්. ලංකාවේ අයට ආසාත්මිකතා ඉතා සරළ දෙයක් වුවත් සමහරක් ආසාත්මිකතා මරණයෙන් කෙළවර වන බැවින්, බොහෝ රටවල මේ පරීක්‍ෂණ ඉතා බැරෑරුම් ලෙස සළකා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ කරනු ලබනවා.

ප්‍රතිකාර විධි.

ලොව දියුණු රටවල් වැඩිපුර මෙයින් බැටකන නිසාදෝ මේ ගැන ඉතා ඉහළ ලෙස පර්යේෂණ පැවැත්වීම හේතුවෙන් බොහොමයක් ආසාත්මිකතාවයන් පාලනය කර තිබෙනවා. ආසාත්මිකතාවයන් පාලනය කිරීමේ මූලික කටයුත්ත ඇරඹෙන්නේ ඒ මගින් ඇති වන ක්‍ෂණික කම්පනය (Anaphylaxis) පාලනයෙන්. සරළ තත්ත්‍වයන්  බෙහෙත් මගින් පාලනය කෙරෙනවා. ප්‍රතිහිස්ටැමීන්, ග්ලූකොකෝර්ටිකොයිඩ, ඇඩ්‍රිනලින්, තියෝෆිලීන් ආදිය මේවාට අයත්. ඖෂධීය නාමයෙන් වඩාත් ප්‍රචලිත බෙනඩ්‍රිල්, සර්ටෙක්, සහ එෆිනෙෆ්රින් මේවාට අයත් ඖෂධ වෙනවා. එසේම ඒ ඒ ආසාත්මිකතා සාධක ක්‍රමාණුකූලව ශරීරයට එන්නත් කිරීම මඟින් ස්වභාවික ප්‍රතිශක්තියක් ශරීරය තුළින්ම ගොඩනැංවීමේ Immunothrapy ප්‍රතිකාර ක්‍රමය දැන් දැන් වැඩි වශයෙන් අත්හදා බැලෙනවා. මෙමඟින් ඒ ඒ ද්‍රව්‍ය වලට ඇති අධිසංවේදීතාවය අවම කිරීම හෝ නැත්තටම නැති කිරීමට පුළුවන්.

ඉතින් මෙසේ ඇතිවන ආසාත්මිකතා සමහර විට ගණන් නොගෙන සිටීමෙන් මඟහැරී යාමට හැකිවාක් මෙන්ම ගණන් නොගැනීම මරණය පවා ලං කර දෙන්නක් විය හැකියි. විශේෂයෙන් රටකජු වැනි දේ වලට ඇති ආසාත්මිකතාවයන් ඉතා භයානක වන්නට පුළුවන්. සාමාන්‍යෙයන් වෛද්‍යවරු බෙනඩ්‍රිල්, සර්ටෙක් වැනි බෙහෙත් නියම කරන්නේ ඒවා සරළ ආසාත්මිකතා සුවකරන නිසාවෙන්.

ඒ වගේම සමහරු නිතරම එෆිනෙෆ්රින් අඩංගු එන්නතක් ළඟ තබාගන්නේ ඔවුන් සමහර ද්‍රව්‍යයනට දක්වන දැඩි සංවේදීතාවය නිසා. මේ නිසා කවදාවත් කිසිකෙනෙකුට නොඅසා කෑමක් දෙන්නට යන්න එපා. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ඇල්කෙමි පැටියා. ඒකා බිත්තර, මාළු, කිරි, ආහාර වර්ණක, රටකජු ආදී ඇට වර්ග,සහ තිරිඟු පිටි ආහාර වලට ආසාත්මිකතා පෙන්වනවා. අප ලංකාවට පැමිණි එක් වතාවක අපේ ඥාති සොයුරියක් ඇල්කෙමි පැටියාට ඇඟිලි පුරුකක් තරම් පොඩි කේක් කැබැල්ලක් මගෙන් නොඅසා කන්නට දුන්නා.  ඔහු බිත්තර සහ ආහාර වර්ණක වලට ආසාත්මික යැයි මා පැවසුවත් ඇය ඒ බව ගණන් නොගත්තේ ලංකාවේ එවන් දෑ අසා නුපුරුදු බැවින් වන්නට ඇති. කෙසේ වුවත් සිදු වූ කරුණ මා දන්නා නිසා මා ඇල්කෙමි පැටියාට බෙනඩ්‍රිල් හැන්දක් දී මිතුරකු ගේ මගුල් ගෙදරකට එක්කරගෙන ගියා. පැයක් පමණ යනවිට ඇල්කෙමි පැටියා සිහිනොමැතිව ඇඟ නිල්පැහැ ගැන්වී සිටියා. මා හැකි පමණින් ඔහුව අවදි කර එවේලේම සැර වැඩි සර්ටෙක් හැන්දක් පෙව්වා… ඒ සමඟම මගේ ඇඟ පුරාවටම වමනය දමා ඔහු පියවි සිහියට පැමිණියා. මා නැවත අමෙරිකාවට ආ විගස ඔහුගේ ආසාත්මිකතා විශේෂඥ වෛද්‍යවරයා හමුවී එෆිනෙෆ්රින් එන්නතක් ඉල්ලාගත්තේ නැවතත් එවන් අකරතැබ්බයකට මුහුණදුනහොත් වහා පාවිච්චි කිරීමට. එදා මා මගේ ජීවිතයේ වැඩියෙන්ම කලබල වූ එහෙත් දැඩිව පාලනය කරගෙන ඒ හමුවේ ක්‍රියාකළ අවස්ථාව ලෙස තවමත් මගේ සිතේ තිබෙනවා. ඒ නිසයි මා මේ ලිපිය ලියුවෙත්….

ආසාත්මිකතා විහිළුවෙන් බැහැර කළ යුත්තක් නොවෙයි. ඒ පිළිබඳ අවදියෙන් සිටින්න… සමහරවිට ඔබටත් වෙනකෙකුගේ ජීවිතයක් බේරාගන්න මේ ලිපිය ආධාරයක් වේවි….

8 thoughts on “සමහරුන්ට කසන, සමහරුන්ට ඇඟපතේ පළු දමන, තව සමහරු මියයන,…… කවුරුත් නොසිතන දේ…. ආසාත්මිකතාවයන් නොහොත් Allergies

  1. සමහර බෙහෙත් වර්ග වලට ආසාත්මිකථාවයන් ඇතිවෙනවා. උදා: මම පෙනිසිලිංවලට ආසාත්මිකයි. ඉතිං දොස්තරගාවට ගියහාම මතක් කරලා ඒක කියන්න අමතක කරන්නේ නැහැ. ඉතාමත් හොඳ සටහනක්.
    මට හිතෙනවා අපේ රටේ පීනසේ කියලා කියන්නෙත් පාරිසරික ආසත්මිකථාවයන්ට කියලා. මේකත් අත්දැකිම් නිසා හිතුන දෙයක්. හරිද කියලානම් දන්නේ නැහැ.

    1. සමහර විට පීනසේ කියන්නේ ආසාත්මිකතාවයක් වෙන්නත් ඇති. මොකද කියනව නම් පීනස් අමාරුව හැදෙන්නේ සීතල උදෑසනවලදීනේ (මට මතක හැටියට) ඒ වගේම ලංකාවේ මේවා ගැන හරිහැටි විද්‍යාත්මකව පර්යේෂණ කේරෙනවා අඩුයි. මේ නිසාම බොහෝ රෝග වරදවා Diagnose කරනවා….

      ප්‍රතිචාරයට බොහෝම ඉස්තුතියි…

  2. Super post aiya. Very informative and probably an eye-opener to some. People should be really careful with food if they are allergic. Poor Alchemi patiya, lucky he had a dad like you.

    This makes me think of my mom. She is allergic to beef, pork and some other meat items but not chicken. Strangely she only developed this allergy all of a sudden and only around 10 – 15 years ago. How or why does that happen? Do you think maybe she could get ‘used’ to eating these food eventually if she try eating small quantities – under a doctor’s supervision? Because, when she eats them, most of her body swells and she finds it extremely hard to breathe (Probably cuz the throat muscles swell as well?). And eventually faints. I do not want to think beyond that. We have had to rush her to hospital couple of times and she HAS to be given medication.

    1. I also have beef allergy like your mom, I also get chest congestion after consuming beef. What I do is, I keep Benedryl or Zirtec (any allergy medicine will be fine) and drink a TSP of that if I feel a discomfort.
      I don’t say that you should try that, but it’s worth trying,…. up to you.
      Eating under doctor’s supervision will be a long shot for her since she is older.
      The reason for passing out is that her lungs get congested and the brain doesn’t get enough Oxygen supply, which is dangerous, better avoid those foods than being sorry.
      I completely avoided eating beef or anything touched with beef, and that’s what your mom has to do until she gets some real doctor advice (not a Ph.D. doctor like me😉 )
      Sometimes people develop allergies when they grow old too,.. it’s all because of a a protein in beef, and its adverse reactions with our immune system…

      Ask her not to eat beef and pork till she gets a good check up and advise,.. that’s the best to do…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )