මහින්දගේ න්‍යෂ්ඨික සිහිනය……..2025 දී ශ්‍රී ලංකාවට න්‍යෂ්ඨික විදුලිබලාගාරයක්…………………..

මහින්දට විටින් විට හොඳ හොඳ  සිහින පෙනේ. සමහර සිහින රටට හිතකරය. ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ පොරව පහරකින් මියයනවා දුටු සිහිනය, හම්බන්තොට වරාය, සහ නොයෙකුත්  සංවර්ධන ක්‍රියාදාමයන් එවැනි සුභ සිහින කිහිපයකි. සමහර සිහින රටට හැනිදායකය. තමන්ගේම නමින් පාඩු පිට දුවන ගුවන් සේවයක් පටන් ගැනීම එවැනි සිහිනයකි. මේ සිහින වල අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් සිහිනය සැබෑ කරගැනීම මහින්දගේ එක් හොඳ ගුණාංගයකි.

මහින්ද කාලයක පටන් සිය Role model එක හැටියට තියාගෙන ඉන්නේ යකෙකුටවත් බය නැති ඉරානයේ අහමඩිනෙජාඩ් ලොකු අයියාය. මල්ලීට තෙල් නැති වුන විට තෙල් බෙදන්නේත්, තේ විකුණගන්න බැරි වන විට තේ ගන්නේත් අහමඩිනෙජාඩ් ලොකු අයියාය. මහින්ද මල්ලී අයියාගෙන් ඉගෙනගත් හොඳ පාඩම් ද නැතුවා නොවේ. සුද්දාට නොනැවී තම කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට ඉගෙන ගැනීම අයියාගෙන් ඉගෙන ගත් ඉතා හොඳ පාඩමකි. අහමඩිනෙජාඩ් අයියා හමු වූ කිහිප අවස්ථාවකම අයියාගෙන් මහින්ද මල්ලී ඇසුවේ හැමෝම කතාකරනා න්‍යෂ්ඨික ප්‍රශ්නය ගැනයි.

මෙසේ හමු වූ වෙලාවක අයියා මල්ලීට කිව්වේ, “ ආඩවනේ මයින්ද තමිබී පලාන් ඉන්නේ නැතුව න්‍යෂ්ඨික ප්‍රතිකාරකයක් දාන්නකෝ අප්පා…. දැන් ඇමෝම දානවා ඒන් මේන්…… පය වෙන්ට එපා අප්පා….. “ කියාය… මහින්ද මල්ලී මේ කතාවෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගියේ ලංකාවට තවත් දෙයක් නිකංම ලැබෙන නිසා පමණක් නොව සිරි ලංකා වාසීන් හැමෝමට තමන්ගේ ගානේ නොමිලේ විදුලි බලය සපයා,  විදුලිබලය නැති අසල්වාසී තමිල්නාඩුවටත් විදුලිය export කර ගානක් හොයාගෙන රටේ ඇති විදේශ ණය සියල්ලම ගෙවා දමා සිරි ලංකාව සංවර්ධිත රටවල හිනිපෙත්තටම යැවීමේ ඒකායන ප්‍රාර්ථනයද දැඩිව හිතට අරගෙනය.

එසේම සිරි ලංකාවට වැඩියෙන්ම ආධාර සපයන, ලෝකයේ අංක එකේ නිෂ්පාදකයා වන චීනය 2030 වන විට න්‍යෂ්ඨික ප්‍රතිකාරක 30 ක් සිය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කිරීම නිසා අපටත් එකක් හෝ ඕනෑ යැයි මහින්ද සිතුවා විය හැකිය.

ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය.

2008 වසරේ ඇස්තමේන්තු අනුව ලංකාවේ විදුලිබල නිෂ්පාදනය කිලෝවොට් පැය බිලියන 9.9  කි. පරිභෝජනය 8.4කි (පරිවර්තනය හරි නම් එය ගිගාවොට් පැය 9900 ක් සහ 8400 කි). මෙයින් 48.3 % ක් පමණ ජල විදුලිබලාගාර වලින්ද, 51.7 % ක් පමණ ඩීසල් විදුලි බලාගාර වලින් ද සැපයෙන අතර ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් දැනට ඉතා සුළු වශයෙන් ක්‍රියාත්මක වන සූර්ය කෝෂ වලින් සැපයේ. ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය වැඩි දිනපතා වැඩි වන බවත් එයට සරිලන සැපයීමක් සිදු විය යුතු බවත් සංවර්ධනය වන රටක් හැටියට අප සැවොම පිළිගතයුතු සහ ක්‍රියාත්මක විය යුතු කරුණකි.  කෙළවරපිටිය තාප විදුලි බලාගාරය (300MW), මොරගහකන්ද විදුලි බලාගාරය (150 MW) වැනි දැවැන්ත පද්ධතීන් ද අනාගතයේදී මෙම සැපයුමට එක් වීමට නියමිතය. විශේෂයෙන්ම ෆොසිල ඉන්ධන වල මිල සහ ගල් අඟුරුවල මිල ක්‍රමක්‍රමයෙන් වැඩි වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (Renewable Energy Sources) වන ජල විදුලි බලය, සූර්ය බල ශක්තිය, සුලං බලය වැනි ක්‍රම වල අවශ්‍යතාවය දැඩිව දැනේ. ලංකාවේ ජල විදුලිබලාගාර පිහිටුවීමේ උපරිමයට දැන් ලඟා වී ඇති බවත් මොරගහකන්ද ජල විදුලි බලාගාරය ලංකාවේ අවසන් ජල විදුලි බලාගාරය බවත් දැනගන්නට ලැබී තිබේ. පුත්තලම (300MW) සහ සාම්පූර් හි (500MW) තවත් තාප විදුලි බලාගාර  ඉදිකිරීමට සැරසෙන බවත් පුවත්පත් වල පළ වී තිබුනි. මේ අතරට එක් වීමට නියමිත අළුතින්ම සැලසුම් කරන ලද විදුලි සැපයුම වන්නේ න්‍යෂ්ඨික බලාගාරයකි. ගිගා වොට් 1 (1000MW) ක් වන එය වසර 2025 දී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව දැනට ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

විකල්ප බලශක්ති ප්‍රභව.

ලංකාවේ ප්‍රධානතම විදුලිබල ප්‍රභවය වන ජල විදුලි බලයට අමතරව අනෙක් පිළිගත් සහ ප්‍රධානම ප්‍රභවය වන්නේ ඩීසල් විදුලිබලාගාර වලින් නිපදවන විදුලියයි. රජය පෞද්ගලික බලාගාර වලින් පාඩු පිට මිලදී ගන්නා මෙම විදුලි ඒකක අළෙවි වන්නේ පාරිභෝගිකයාටද දැරිය නොහැකි මිලකටයි . මේ නිසාම රජය වඩා මිල අඩු ගල් අඟුරු තාප බලාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. දැන් දැන් හරිත බලශක්ති  (Green Energy Sources ) ප්‍රභව වන සූර්ය ශක්තිය සහ සුලං බලය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතත්, ඒවායේ අකාර්යක්‍ෂම බව සහ ඒකාකාරී නොවන සැපයුම නිසා ඒවා කෙරෙහි සම්පූර්ණ බලාපොරොත්තු තබා ගත නොහැක. එසේම තවමත් මූලික වියදම අධික ශක්ති ප්‍රභව දෙකක් නිසා මේ කෙරෙහි ඇති අවධානය අඩු බවක් දක්නට ලැබේ. එසේම ඩීසල් සහ ගල් අඟුරු විදුලි බලාගාර වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ්  නිසා මේ ක්‍රම දෙකම අනාගත ලෝකයේ පැවැත්ම කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල කරන ක්‍රම දෙකක් බවට පත් වී ඇත. දැනටමත් ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 390 ppm (කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 390 ක්) වනවා. ෆොසිල ඉන්ධන පාවිච්චිය මේ අයුරින්ම සිදු වුව හොත් 2050 වන විට මේ අගය 550 – 750  ppm වීමට හැකි බව ගණන් බලා තිබෙනවා. මෙය ඉතා බැරෑරුම් වැඩි වීමක්. මේ නිසා බොහෝ රටවල් දැන් දැන් න්‍යෂ්ඨික බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපය මේ සම්බන්ධයෙන් ඉතාම ඉදිරියෙන් සිටියත් අමෙරිකා එක්සත් ජනපදය පසු වන්නේ බොහෝ පිටුපසින්. ඒ නිසාම අමෙරිකාව වසර 2030 වන විට නව න්‍යෂ්ඨික බලාගාර 30ක් සිය පද්ධතියට එකතු කරන්න සැරසෙනවා. මෙමඟින් පාරිභෝගිකයාට අඩු මිලට විදුලිය සැපයීමටත්, හරිතාගාර වායු පිටකිරීම අවම කිරීමටත් අමෙරිකානු රජය සලසුම් කර තිබෙනවා.

ලෝකයේ න්‍යෂ්ඨික බලශක්ති පාවිච්චිය

ඉතින් අපට න්‍යෂ්ඨික බලාගාරයක් අවශ්‍යමද ? එයින් ඇති වන හිතකර / අහිතකර ප්‍රතිඵල මොනවා දැයි මට හිතෙන හැටියට ලියා මේ ලිපිය කියවන සීයක් පමණ දෙනා දැනුවත් කරන්නයි බලාපොරොත්තුව. මුලින් ම කියන්න ඕනෑ මේ ලිපිය බොහෝ දිග නීරස එකක් වන බව.. කැමති අය බලත්වා…… න්‍යෂ්ඨික බලශක්තිය ගැන සරළව ලියන එක වචන 100 කින් ලියලා ඉවර කරන්න පුළුවන් එකක් නොවෙයිනේ….

න්‍යෂ්ඨික විදුලි බලය.

න්‍යෂ්ඨික විදුලි බලය යනු විකිරණශීලී පරමාණුවල න්‍යෂ්ඨීන් පාලනය කරන ලද විඛණ්ඩනයකට (Controlled nuclear fission) භාජනය කර ලබා ගන්නා තාප ශක්තිය මගින් ජලය රත් කර ලබා ගන්නා ජලවාෂ්පය භාවිතයෙන් මෙහෙයවනු ලබන ටර්බයින මගින් ජනනය කරන විදුලි බලයයි.දැනට ලෝකයේ විදුලිබල සැපයුමෙන් 13 – 14 % සපයනු ලබන්නේත් ලෝකයේ නාවික යාත්‍රා 150 කට අධික සංඛ්‍යාවකට බලය සපයන්නේත් න්‍යෂ්ඨික බලශක්තිය මඟිනි. න්‍යෂ්ඨික බලය හරිහැටි ක්‍රමාණුකූලව  සහ ආරක්‍ෂාකාරීව පාවිච්චිකර විදුලි බලය ලබාගතහොත් දැනට ලොව ඇති ලාභම විදුලි ජනන ක්‍රමයයි.

න්‍යෂ්ඨික බලය ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ න්‍යෂ්ඨික විඛණ්ඩණයයි. මෙහිදී  ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ යුරේනියම් නම් විකිරණශීලී මූලද්‍රව්‍යයයි. ස්වභාවයේ පවත්නා යුරේනියම් සමස්ථානික තුනෙන් (238-U -99.28%; 235-U – 0.71 %; සහ 234-U – 0.0053%) න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා සඳහා යොදා ගන්නේ 235U න්‍යෂ්ඨියයි. එහිදී  සිදු වන්නේ විකිරණශීලී පරමාණුවක් වන යුරේනියම් 235 පරමාණුවේ න්‍යෂ්ඨියට සෙමින් චලනය වන නියුට්‍රෝණයක් උරාගැනීමට සලස්වා එය අස්ථායී කිරීමයි. එවිට එම අස්ථායී න්‍යෂ්ඨිය ස්වයං විඛණ්ඩණයකට භාජනය වී ක්‍රිප්ටෝන් සහ බේරියම් පරමාණු දෙකක් (89Kr & 144Ba) ජනනය වන අතර නියුට්‍රෝණ තුනක් සහ ගැමා කිරණ පිටකරයි . මෙම නියුට්‍රෝණ ආලෝකයේ ප්‍රවේගය මෙන් 7% ක වේගයකින් ගමන්කරයි.  මෙම නියුට්‍රෝණ මඟින් එම යුරේනියම් සාම්පලයේ ඇති අනෙක් 235U න්‍යෂ්ඨිවලට පහර දී නැවත නැවතත් ක්‍රිප්ටෝන් සහ බේරියම් පරමාණු දෙකක් සහ නියුට්‍රෝණ තුනක්  බැගින් පිටකරයි.

න්‍යෂ්ඨික විඛණ්ඩනය

මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වන විට එය න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියාවක් හෙවත් Nuclear Chain Reaction යනුවෙන් හඳුන්වයි. න්‍යෂ්ඨික බෝම්බයක් පිපිරීමේදී සිදු වන ක්‍රියාවලිය වන්නේ මෙයයි. එහෙත් න්‍යෂ්ඨික ප්‍රතිකාරකයක් තුළ දී මෙම ක්‍රියාවලිය දැඩිව පාලනය කර, එක් වරකට පිටවන නියුට්‍රෝණ තුනෙන් දෙකක් බෝරෝන් පරමාණුවලට උරාගැනීමට සලස්වා න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියාව වලකා ලනු ලබයි. මෙසේ පිටවන නියුක්ලියෝන වලට අමතරව මෙම න්‍යෂ්ඨික විඛණ්ඩනය නිසා අධික තාපයක් පිට වනු ලබයි. මෙම තාපය විශාල ජල ටැංකියක ඇති ජලය රත් කිරීමට සලස්වා එයින් ඇතිවන හුමාලය විශාල ටර්බයිනයක් කැරකීමට යොදාගනු ලැබේ. එම ටර්බයිනටයෙන් ජනනය කරන විදුලි බලය බෙදාහරීමේ මධ්‍යස්ථාන හරහා පාරිභොගිකයාට ලැබීමට සලස්වයි. ටර්බයිනය කැරකීමෙන් පසුව ඉතිරිවන හුමාලය නැවත ඝණීභවනය කර පෙර කී ජලටැංකියට යවා නැවත භාවිතයට ගන්නා අතර සිසිලනයට යොදාගන්නා ජලයෙන්ද ටර්බයින කැරකැවීමට සලස්වා තාපහානිය අවම කර, උපරිම බලශක්තියක් ජනනය කිරීම සිදු කරගනු ලබයි.

න්‍යෂ්ඨික විදුලිබලයේ වාසි සහ අවාසි

ප්‍රධානතම වාසිය වන්නේ න්‍යෂ්ඨික බලය ෆොසිල ඉන්ධන මත යැපෙන බලශක්තියක් නොවීමයි. ගල් අඟුරු සහ ඩීසල් බලාගාර තනිකරම ෆොසිල ඉන්ධන මත යැපෙන අතර විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදාහරී.  එසේම න්‍යෂ්ඨික බලාගාරයකින් පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතාම අවම වේ. න්‍යෂ්ඨික බලශක්ති ආයතනය පවසන පරිදි ලොව පුරාම ක්‍රියාත්මක වන න්‍යෂ්ඨික විදුලිබලාගාර නිසා වසරකට මෙට්‍රික් ටොන් බිලියන 2 ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැලකෙනවා. එසේම මනාව පාලනය කරන න්‍යෂ්ඨික විදුලි බලාගාරයකින් පිටවන විකිරණ ප්‍රමාණය ගල් අඟුරු බලාගාරයකින් පිටවනවිකිරණ ප්‍රමාණයට වඩා ඉතා අඩු අගයක් ගන්නවා.  ඔව්…. ගල් අඟුරු වලිනුත් විකිරණ පිටවෙනවා…. ආණ්ඩුව කිව්වෙ නැති වුනාට…

න්‍යෂ්ඨික විදුලිබල ජනනයේ අවසාන ජවනිකාව පරිසර“හිතකාමී“ වුනාට, ඒ හා සම්බන්ධ බොහෝ දේ සළකා බැලිය යුතු වෙනවා….. යුරේනියම් හෝ තෝරියම් හෝ ප්ලුටෝනියම් න්‍යෂ්ඨික ඉන්ධන පොළවෙන් ඉවත් කිරීමේදී  සෑහෙන විකිරණ ප්‍රමාණයක් පිටවෙනවා. ඒවා ප්‍රවාහණය ඉතා පරිස්සමින්, විකිරණ පිට නොවන ආකාරයට කළ යුතුයි. ගබඩා කිරීම පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. විදුලි බලාගාරයේ පාවිච්චියට පෙර ඒ න්‍යෂ්ඨික ඉන්ධන දැඩි විකිරණශීලයි. එසේම වැරදී හෝ න්‍යෂ්ඨික බලාගාරයෙන් කාන්දුවීමක් සිදු වුවහොත් ලංකාවේ මිලියන 22 ක අවසානය උදාවෙනවා… විකිරණශීල අපද්‍රව්‍ය ක්‍රමාණුකූලව ඉවත් කළ යුතුයි. ඒවා දැඩි තත්ත්‍ව යටතේ ගබඩාකර තැබීම කළ යුතුයි.

න්‍යෂ්ඨික බලාගාරයේ කාර්යයන් සඳහා දැඩි කැපවීමකින් යුතු විනයගරුක සේවක පිරිසක් පුහුණුකළ යුතුයි. ආණ්ඩුව මාරු වන විට මාරු වන දේශපාලන හෙංචයියොත් එක්ක න්‍යෂ්ඨික බලාගාරයක් ගෙන යාමට බැහැ. මීලඟ ප්‍රශ්නය තමයි න්‍යෂ්ඨික ඉන්ධන සැපයුම. දැනට න්‍යෂ්ඨික ඉන්ධන වන විකිරණශීලී මූලද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ එටවල් අතලොස්සක් පමණයි. මේ අතරින් රුසියාව සහ ඉරාණය ඉදිරියෙන් සිටිනවා. දැනට ඇති ආරංචි අනුව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමේ සූදානමක් ඇති අතර තෝරියම් කැණීම මඟින් අපටම අපේ න්‍යෂ්ඨික ඉන්ධන සපයා ගැනීමට හැකියාව පවතිනවා. මේ පිළිබඳ පසුව කතා කරමු. කෙසේ වුවත් මේ විකිරණශීලී මූලද්‍රව්‍ය මිල අධිකයි. එනමුත් විදුලිබල ජනනය අතින් බොහෝ ලාභදායකයි.

න්‍යෂ්ඨික අපද්‍රව්‍ය. (Nuclear Waste)

මේ න්‍යෂ්ඨික බලශක්තියේ හොඳ පැත්තයි. මෙසේ න්‍යෂ්ඨික බලය ජනනය කිරීමට යොදාගන්නා යුරේනියම් සාම්පලයේ (Uranium Rod) සැබෑවටම ප්‍රතික්‍රියාවේ යෙදෙන්නේ 5% ක පමණ ප්‍රමාණයකි ඉන් පසු අදාල යුරේනියම් සාම්පලයේ ඇති සියළුම දේ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය (Nuclear Waste)  ලෙස හැඳින්වේ.  එහි වැඩි වශයෙන්ම ඇත්තේ ප්ලුටෝනියම් Pu සහ කියුරියම් Cm වන අතර එසේම 3% පමණ ප්‍රමාණයක් විඛණ්ඩන ඵල (Fission Products) වන ක්‍රිප්ටෝන් බේරියම් ආදී ද්‍රව්‍ය ඇතුලත් වේ. එකසේ වුවද, මේ සියල්ලම කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව විකිරණ පිටකරනු ලබයි. 1GW (1000 MW) ප්‍රතිකාරකයක් සාමාන්‍යයෙන් වසරක් තුළ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ටොන් 27ක් පමණ පරිසරයට එකතු කරනු ලබයි. එහෙත් මෙම අපද්‍රව්‍ය නැවත සකස් කළහොත් සැබෑම වශයෙන් අපද්‍රව්‍ය ලෙස ඉවත දැමිය හැක්කේ ටොන් 2 ක් වැනි සුළු ප්‍රමාණයකි. උදාහරණයක් ලෙස ගතහොත් මෙතුවක් කල් අමෙරිකා එක්සත් ජනපදයේ එක්රැස් වූ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය සියළුම ප්‍රමාණය  වන ටොන් 50,000 ක්ට අධික ප්‍රමාණය නැවත සකස් කළ විට ඉතිරි වන්නේ ඝන මීටර 1500 ක පමණ සුළු ප්‍රමාණයකි. එසේ වුවද ඇමරිකා එක්සත් ජනපදයට පවා ඇති ප්‍රශ්නයක් වන්නේ මෙම අපද්‍රව්‍ය නැවත සකස් කිරීම සහ අපද්‍රව්‍ය තැන්පත් කිරීමයි. දැනට නෙවාඩා ප්‍රාන්තයෙහි යුකා කඳුයාය, න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස සකස් කර ඇති වුව ද, මේ ගැන බොහෝ වාද විවාද ඇති අතර එය විශාල දේශපාලන ප්‍රශ්නයක් බවටද පත්ව ඇත.

න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ඉතා විකිරණශීලී වන අතර හැසිරවීම ඉතාම පරිස්සමින් ක්‍රමාණුකූලව සිදු කළ යුතුය. සුළු හෝ අත්වැරදීමක් බොහෝ දෙනෙකුට දීර්ඝකාලීන අහිතකර පලවිපාක ලබාදිය හැකි සිදුවීමකි. සාමාන්‍යයෙන් ප්‍රතිකාරකයකින් ඉවත් කළ අවුරුදු 10,000 ක් යනතුරු න්‍යෂ්ඨික අපද්‍රව්‍යවල විකිරණ පිටවන බව ගණන් බලා ඇත. ඉවත් කර වසර 40 කදී විකිරණශීලීතාවය 99.9% ක්ම ඉවත් වුවත්, වසර දහස් ගණනක් යනතුරු ඉතිරිය පවතින බව කියැවේ. න්‍යෂ්ඨික ප්‍රතිකාරකයකින් ඉවත් කළ වහාම මේ භාවිතාකළ ඉන්ධන දඬු (fuel rods) වසර 5 ක් පමණ කාලයක් ආවරණය කළ ජල තටාකවල බහාතැබීම සිදු කරනු ලබයි. මෙසේ කල් ගතවන්නේ එම දඬු සිසිලනය වීමට සහ ඒ වනවිටත් පිටකරන විකිරණ නිරාවරණය වලක්වාලීම සඳහායි. මෙසේ කල්ගත වූ පසු, එම දඬු වියලි අපද්‍රව්‍ය තැන්පත් කරන ලෝහ සහ කොන්ක්‍රීට් වලින් තැනූ බහාලුම්වල තැන්පත් කෙරේ. බොහොමයක් න්‍යෂ්ඨික ප්‍රතිකාරක වල අපද්‍රව්‍ය ඒ ස්ථානවලම තැන්පත් කර ඇති අතර අමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටක් පවා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ බැරෑරුම් ප්‍රශ්නයට මැදිව සිටින රටක් බව නැවතත් කිව යුතු වෙනවා.

එසේ වුවත් මෙම න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රමාණය සාම්ප්‍රදායික ගල් අඟුරු බලාගාරයකින් නිකුත් කරන අපද්‍රව්‍ය ප්‍රමාණයට වඩා බොහෝ අඩුයි. කාර්මීකරණය වූ රටවල කර්මාන්තශාලා වලින් නිකුත් කරන විෂ සහිත රසායනික අපද්‍රව්‍ය පුමාණය මීට වඩා වැඩි වුවත් න්‍යෂ්ඨික අපද්‍රව්‍ය වල තිබෙන බැරෑරුම්කම නිසාම සහ නිහඬව සිදු කරන දීර්ඝකාලීන හානිය නිසා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය අන්තරාදායක බව අතින් ඉදිරියෙන් සිටිනවා.

ලිපිය දිග වැඩි වෙනවා…. න්‍යෂ්ඨික බලය ලංකාවේ ආර්ථිකයට, සමාජයට, සහ මහජනයාට බලපාන අයුරු මීලඟ කොටසෙන් සාකච්ඡා කරන්නම්…

ඔබේ අදහස් සඟවාගෙන ඉන්න එපා… ඔබ මේ ගැන හිතන්නේ මොකද කියලාත් කියන්න….

11 thoughts on “මහින්දගේ න්‍යෂ්ඨික සිහිනය……..2025 දී ශ්‍රී ලංකාවට න්‍යෂ්ඨික විදුලිබලාගාරයක්…………………..

  1. සංවර්ධනය වෙමින් පවතින රටක ජනාතවක් විදියට මේ ගැන දැනගැනීම වැදගත්. වටිනා ලිපියක්! මට හිතෙන විදියටනම් න්‍යෂ්ටික බලාගාර හොදයි. හැබැයි අර කිව්වා වගේ 100% හොඳ සූදානමක් ඇතිව කරනවනම් ඉතා හොදයි! මොකද මම අහලා තියෙන විදියට කිසිදු වැරැද්දකින් තොරව සිදුවුණු සංවර්ධන ව්‍යාපෘතියක් ලංකාවේ නෑ.

  2. the qstn waht ive is if thr z any accnt in the reactor all the ares surrounding it will be radioactive n hv to evacuate the people out from that area for long time – cz ive seen the Russian cities near the Chernobyl are all ghost cities now – n the ares is some waht close to the sq. area of Sri Lanka. so if smthn happens do we have that kind of a space to mark as a hazardous area ?????????

  3. Lankawe nam 2050 wenakotawath Nuclear Power Plant ekak danna bari wei mata nam hithenne…Mokada,
    01. Lankawe viyawasthawe prathipaththi wenas kirimata thiyana nidahasa…Meka Ena ena aya wenas karanna giyama nathi wiyadam athi wenawa.samaharawita wahala dannath puluwan

    02.Lankawe cabinet eke kawda path karanne???Okkoma ekai…Kisima vagakeemak nathi minissu…Hadissiye wath mokak hari unoth eyala hamoma rata yai…Anthimata mehe enna minissu one ae paw kara gahanna….

    03.Nuclear waste transportation…mae gana kumana kathada???Mekama athi kotinta goda enna….

    Anywy gud wrk piyal ayye!!!
    keep up da gud wrk

  4. මම දන්න තරමින් අපේ රටට ඉදිරියේදී විශාල මුහුදු කලාපයක් ලැබෙන්න තියෙනවා. ඒ කලාපයෙන් ප්‍රයෝජනයක් ගෙන අවදානම තරමක් අඩුකරගන්න බැරිද සර් ?

  5. ඉතාම වැදගත් ලිපියක්…ඔන්න මං මූණු පොතෙත් share කලා…හැබයි මට තියෙන ප්‍රශ්නෙ…න්‍යෂ්ටික බලය පාවිච්චි කරන්න කලින් අනෙක් විකල්ප සියල්ලම අපේ රජය කල්පනාවට ගත්තද කියන එක. මම දන්න විදිහට අවුරුද්ද පුරාවටම සැලකිය යුතු ප්‍රමානයෙන් තද සුලං තියෙන ප්‍රදේශ ලංකාවේ තියෙනවා…මේ ප්‍රදේශ වල ග්‍රාමීය මට්ටමෙන් හරි පෞද්ගලික ආයෝජකයින්ට අවස්ථාව සලසා දීමෙන් හරි සුලං ට්ර්‍බයින් ඉදිකිරීම ආරම්භ කිරීම ගැන සලකා බැලීම වැදගත් කියලයි මට හිතෙන්නෙ…වෙලාවක් තියේ නං “Age of Stupid” කියන වාර්තාමය චිත්‍රපටය හොයාගෙන බලන්ට කියලත් ඉල්ලීමක් කරන ගමන්…ඕං මං නැවතුනා.

  6. ප්‍රතිචාර වලට හැමෝටම බොහොම ස්තුතියි….
    මම දෙවැනි කොටසෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ අපට ඇති විකල්ප සහ ලංකාවට මෙය බලපාන්නේ කොහොමද කියලා…..
    ඉක්මනටම ලියලා පළ කරන්නම්….

    සාගර කලාපය ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා…

  7. මම නම් මේකේ වැරද්දක් දකින්නෙ නෑ. අවධානමක් තියෙනවා ඒත් උසස් මට්ටමකින් පවත්වාගෙන යන්න ඕන.
    According to Wiki, 31 countries operate nuclear power stations.
    India has 19 nuclear reactors (more to come), Bangladesh, Vietnam and Thailand are planning their nuclear power stations, Taiwan has 6 reactors. I think we should follow the Taiwan.

    more info: http://en.wikipedia.org/wiki/Nuclear_power_by_country

  8. ලිපිය නම් ගොඩක් හොදයි න්‍යශ්ටික බලයගැන ගොඩක් දෙවල් දැන ගත්තා.ලංකවෙ මේ බලාගාර පිහිටුවන්න පෙර ඒ ගැන තවටිකක හිතුවොත් හොදයි කියලයි මට හිතෙන්නෙ,මොකද ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට දේශපාලනේ තමා හැමදේටමා වැඩියෙ ලොකු,ඒ වගේම ලංකාව ගොඩක් පොඩි රටක් හින්ද අපද්‍රව්‍ය බැහැර කිරීමෙදී ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් ඒක හින්ද මේදෙවල් ගැනත් හොදට හිතල මෙ බලාගාර හැදුවොත් තමා හොද.න්‍යශ්ටික බලාගාර වෙනුවට ලංකාවට ගැලපෙන පරිසර හිතකාමී සහ අඩු වියදමින් විදුලිය නිපදවන්න පුලුවන් වෙන විකල්ප ක්‍රමයක් ගැන තවදුරටත් හොයල බැලුවොත් තමා හොද

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )