jump to navigation

අප කන හැටි ඩොකා දනී (ද ?) ඩොකා තියා මොකා වත් නොදනීද ? 2010 ඔක්තෝබර් 29

Posted by Alchemiya in ඔබට හිතන්න යමක්.
Tags: , , ,
2 comments

ධනවත් සහ ඉහළ පැලැන්තියේ අයට පමණක් සීමාවුන දියවැඩියාව සහ අධික රුධිර පීඩනයට ගොදුරු වන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව දිවයින පත්‍රයේ මෙසේ පළවෙලා තිබෙනවා. ඒ කියන්නේ අපේ ජනතාව ධනවත් වෙලා කියන එකද, එහෙමත් නැත්නම් සෞඛ්‍යය අතින් පිරිහිලා කියන එකද යන ප්‍රශ්නය ඇසුවොත් හැමෝම දන්නවා අපි ධනවත් වෙලා නැහැ කියලා. එසේ නම් ඇයි මේ ශ්‍රී ලාංකිකයා සෞඛ්‍යය අතින් මෙසේ පිරිහෙන්න හේතුව ? එදා අපේ මුතුන්මිත්තෝ ගස් ගල් පෙරළලා, පොළව සමඟ සටන් වැදිලා මහා සමුද්‍රය පරදවන මහා වැව් අමුණු, විහාර දාගැබ් තැනීමට තරම් හයිය හත්තිය ඇති මිනිස්සු කොට්ඨාසයක් වුනත්, අද ශ්‍රී ලාංකිකයා මෙසේ සෞඛ්‍යය පිරිහුණු පුද්ගලයෙක් බවට පත් වී ඇත්තේ ඇයි ?

මම මීට පෙරත් මේ ගැන කිහිප තැනක මෙන්න මෙහෙම ලියලා තියෙනවා. මෙසේ වන්නට හේතු මොනවා ද ? යන්න තවදුරටත් විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

දියුණු වන පුද්ගලයින් හැටියට අප සමාජයත් සමඟ පෙරට යායුතුය, අන් අයට වඩා ඉදිරියෙන් සිටිය යුතුය යන මතයේ පිහිටා සිටයි අප සියළුමදෙනා ක්‍රියාකරන්නේ. මොන්ටිසෝරි යන පොඩි එකා හවසට එලකියුෂන් ක්ලාස් යවන අම්මලාගේ සිතේ තිබෙන්නේ  තමන්ට වඩා තමන්ගේ පොඩි එකා ඉංගිරිසියෙන් කතා කරාවි නේද ? යන අහිංසක  බලාපොරොත්තුවයි. පන්තියේ මුල් ස්ථාන පහ අතර තමන්ගේ දරුවා නොසිටියොත් ඉඳලා වැඩක් නැති නිසා පොඩි එකා තුන වසරේ සිටම අමතර පන්ති වලටද යැවිය යුතුය. පහේ ශිෂ්‍යත්‍වය හරියට කරගෙන ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගැනීම හෝ ජනප්‍රිය පාසලක සිටිය ද අනෙක් අයට උජාරුවට පෙන්වීමට පොඩි එකාව පහේ ශිෂ්‍යත්‍වයට නිදි වර්ජිතව පාඩම් කරවයි. ඉන්පසු සාමාන්‍ය ‍පෙළ සඳහා හය වසරේ සිටම පුරුදු කරවන දරුවාට අමතර ක්‍රීඩාවක් සමිති සමාජයක් හෝ වෙනයම් කිසිවක් තහනම් වන අතර උදෑසන සිට රාත්‍රීය දක්වාම ඉගැනීමේ යෙදිය යුතුය. සාමාන්‍ය පෙළ සමත් දරුවා උසස් පෙළ සමත්කරගෙන වෛද්‍ය විද්‍යාලයට, ඉංජිනේරු පීඨයට හෝ වෙනයම් උසස් පාඨමාලාවකට ඇතුළත් කර ගැනීම ඊළඟ කඩ ඉමයි. මේ සියල්ලෙන් සමත්ව දරුවා බුද්ධියෙන් අනූනව රැකියාවකට පියමැන හොඳ පඩියක් ගෙන සතුටින් ජීවත් වෙයි. දරුවා ඊලඟට කරන්නේ ද තම දෙමාපියන් තමන්ට කළ සහ තමන් වෙනුවෙන් කළ යුද්ධය තම දරුවන් වෙනුවෙන් ඊටත් වඩා හොඳින් ඉදිරියට ගෙන යාමය. මා දන්නා තරමට සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ ජීවන චක්‍රය මෙයයි, වෙනසක් ඇතොත් කරුණාකර නිවැරදි කිරීමට පසුබට වන්නට එපා.

මෙන්න මේ කාර්යබහුලවත්‍වය නිසාම, මේ අතිධාවනකාරීත්‍වය නිසාම ශ්‍රී ලාංකිකයා තමන් පිළිබඳව සැළකිලිමත් වීම අතපසු කර තිබෙනවා. ගැමියා සිය සරළ කෘෂිකාර්මික ජිවන රටාවේ නියැළුනත්, නාගරික හෝ අර්ධ නාගරිකයා දිවි ගෙවන්නේ නිරන්තර ධාවනයේ යෙදෙමින්. මේ නිසා ඔවුනට විවේකයක්, නිදහසක්, හෝ තමන්ට කියා වේලාවක් වෙන්කර ගැනීම අපහසුයි, ඒ වගේම එසේ කරගන්නට උවමනාවක් ඇත්තෙත් නැහැ. “පැයක් හෝ වැඩියෙන් ඕවර්ටයිම් පාරක් දාගත්තොත් තමන්ට නේද ?” යන ආකල්පයේ ඇති අය බොහෙමයි.

මේ නිසා නාගරික සහ අර්ධ නාගරිකයා සිය ආහාර රටාව තම ජීවන රටාවට සරිලන ලෙස වෙනස් කරගෙන තිබෙනවා. එනම් උදෑසන ආහාර වේල ලෙස පාන් වැනි අධි සුඛෝපභෝගී ආහාරයක් හෝ දුවනගිරි හෝටලයකින් ගන්නා බනිසක්, මාළුපාන් එකක් හෝ වෙනත් කොට කෑමක් (short eats) ද; ගෙදරින් බැඳගෙන එන බත් මුලක්, අහල පහළ දුවනගිරියකින් ගන්නා බත් මුලක් හෝ ආයතනයෙන් කොන්ත්‍රාත්තු පදනමට ලබා ගන්නා කෑම පැකට්ටුවක් හෝ සමහරවිට ආයතනයෙන්ම සැකසූ බත් වේලක් සිය දිවා ආහාරය ලෙස ගිලදමයි. නැවත සිය කාර්යාල මේසයට යන ඔහු/ඇය සිය වැඩකටයුතු නිසි පරිදි සිදු කළ (මේ මගේ සිහිනයක් පමණක් විය හැක) සවස තේ පානයෙන් අනතුරුව නැවත සිය වැඩ කටයුතු නිම කර නිවෙස කරා යයි. වාහන ඇත්තෝ වාහන වලද, නැත්තෝ බස්වල හෝ ත්‍රීරෝද රථ වලද නැගී සිය නිවෙස් කරා රෑ බෝ වී ලඟා වෙයි. ගෙදර එන අතරමඟ දී ගෙදර එක්කෙනා ගෙන් රෑට කන්න මොනවා හරි ගේන්න යැයි එන විධානයෙන් ළඟම ඇති පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් හෝ මඟ පිහිටුවා ඇති ආප්ප-පිට්ටු-ඉඳිආප්ප කඩෙන් අරන් යන රාත්‍රී කෑමවේල රූපවාහිනිය ඉදිරිපිට සිට ගිලදමන ඔවුහු නැවතත් හෙට දවසේ යුද්ධය සඳහා සූදානම් වෙති. මේ සාමාන්‍ය නාගරික/ අර්ධ නාගරික ශ්‍රී ලාංකිකයාගේ සතියේ දිනවල ජීවන රටාවයි.

මේ ජිවන රටාව මැද වෙනත් දෙයක් ගැන හිත යොමු කිරීමට වෙලාවක් නැහැ. මේ නිසාම බොහොමයක් ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍යාරක්‍ෂිත බවින් අඩු ආහාර රටාවකට පුරුදු වෙලා සිටිනවා. මෙහිදී ඔවුන් සමබල ආහාර වේලක් ගැන තකන්නේම නැහැ. එපමණක් නොවෙයි McDonalds, KFC, Pizza hut වැනි සුපිරි (ලංකාවට) රසහල් කරා ඇදී යන්නත් ඔවුන් පෙළඹෙනවා.  ඔබ නොදන්නවාට  උදාහරණයක් වශයෙන් ගත්තොත්, Coca Cola කෑන් එකක සීනි ග්‍රෑම් 27 – 36 දක්වා ප්‍රමාණයක් අඩංගු වනවා. මෙයින් සිදු වන්නේ ශරීරයේ කොලෙස්ටරෝල් සහ සීනි තත්ත්‍ව ඉහළ යාමයි. හරි හැටි ව්‍යායාමයක් නොමැති ශරීරයකට මෙසේ අහිතකර ආහාර වැටෙන විට එහි බරපතලකම දෙගුණ තෙගුණ වෙනවා.

බොහොමයක් පෞද්ගලික අංශයේ සමාගම් වල දැන් දැන් සේවකයන්ට ව්‍යායාම් කිරීමට සහ ක්‍රීඩා කිරීමට පහසුකම් සළසා තිබෙනවා. එසේ නැතිනම් අවම වශයෙන් ශරීර සුවතා ව්‍යායාම් පහසුකම් සපයන ස්ථාන වලට යාමට මුදල් ලබා දෙනවා. මේ තත්ත්‍වය නිසා පෞද්ගලික සමාගම් වල සේවකයන් තරමක හෝ සෞඛ්‍ය සම්පන්නව සිටිනවා. නමුත් රාජ්‍ය අංශයේ මෙම තත්ත්‍වය දක්නට නැහැ. මේ නිසාම සේවකයන් ද ඒ පිළිබඳ සැළකිල්ලක් දන්වන්නේ නැහැ.

එසේමයි, කෙතරම් වෙලාව තිබුණත් ඉඩ පහසුකම් තිබුණත් තමන්ටම  කියා යමක් සිටවාගෙන ආහාරයට ගන්න සමහරු මැළිකමක් දක්වනවා. මෙය කෙතරම් හොඳ දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ග්‍රාමීය ජනතාව මේ දෙඅංශයෙන්ම තරමක් ඉදිරියෙන් සිටිනවා. ඹවුන් අවම වශයෙන් ව්‍යායාම නොකළත් තරමක් හෝ දුර පයින් ගමන් කිරීමෙන්, වත්තේ පිටියේ මහන්සි වී වැඩ කිරීමෙන් තමන් නොදැනීම වුවත්, සිය ව්‍යායාම අවශ්‍යතාවය සපුරා ගන්නවා. එසේම යමක් කමක් වවාගෙන කෑමෙන් අවම වශයෙන් සෞඛ්‍යාරක්‍ෂිතව යමක් ආහාරයට ගන්නවා.

පාන් වෙනුවට බත් කෑම මෙයට පිළියමක් වෙන්නේ නැහැ. එසේම වෛද්‍යවරුන්ගේ යුතුකමක් තිබෙනවා ඔවුන් වෙතට පැමිණෙන රෝගීන්ට යම උපදෙසක් දෙන්න. නමුත් ඔවුන් බලන්නෙත් කෙසේ හෝ තවත් රෝගියෙක් පරීක්‍ෂා කර තමන්ගේ ගණන වැඩි කර ගැනීමට.  මෙන්න මේ නිසා සමාජයේ ප්‍රජා සෞඛ්‍යා අංශයෙන් විශාල හිඩැසක් ඇතිවී තිබෙනවා.මෙවිට සිදු වන්නේ අපේ ජනතාව සෞඛ්‍ය අතින් පිරිහීමයි. සෞඛ්‍ය අතින් පිරිහුණු සමාජයක කාර්යක්‍ෂමතාවය පහළ යනවා, එවිට රටේ සංවර්ධනය අඩු වෙනවා.

මේ විදියට ගියොත්, ආසියාවේ ආශ්වර්යය ආසියාවේ රෝහල බවට පත් වෙන කාළය වැඩි ඈතක නොවන්න පුළුවන්.

රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2010 2010 ඔක්තෝබර් 26

Posted by Alchemiya in රසායන විද්‍යාව සබැඳි දේ.
Tags: , , , ,
add a comment

රසායනඥයෙක් හැටියට ඔක්තෝබර් 5 වෙනිදා මගේ ජීවිතයේ වැදගත් දවසක්…. ඒ අපේ එකෙකුට නොබෙල් ත්‍යාගය ලැබුන නිසා… අපේ එකෙක් කිවුවේ අපේ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාංශයේ හිටපු මහාචාර්ය රිචර්ඩ් හෙක් (Richard Heck). ඒක අපට ලැබුනා හා සමානයි… දකින දකින හැම කෙනාම සිනාමුසු මුහුණින්…. රටක් දිනුවා වගේ හැඟෙන්නේ…. මතට පොඩ්ඩක් තිත තියලා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ හවස පොඩි ෂැම්පේන් පාටියකුත් තිබුණා….. රසායනඥයො හැටියට අපි හැමෝගෙම බලාපොරොත්තුව ලෝකයට දැනෙන යමක් කරන්නයි. සමහරු පිළිකා ආදී භයානක රෝග වලා ඖෂධ හොයනවා. තවත් සමහරු ලෝකයේ පැවැත්ම තහවුරු කරන්න අනාගතයේ ඇති විය හැකි පාරිසරික සාධක දුරලන්න පර්යේෂණ කරනවා. තවත් සමහරු විද්‍යාව හොඳින් අවබෝධ කරගන්න හැකි වෙන්න විවිධ ප්‍රශ්න වලට හේතු, පිළියම් සොයනවා. අපි හැමෝම හදන්නේ ලෝකයට යමක් එක් කරන්නයි. ඒ අපි හැමෝගෙම ජීවන දර්ශනය… හරිම සුන්දරයි. ඒත්,…….. ඒ මතුපිට පෙනෙන සුන්දරත්‍වය යමක් කිරීමේදී නැහැ. අනේකවිධ බාධක, නොසිතන පරිදි පැමිණෙන ගැටළු, අපේ න්‍යායාත්මක සිතුවිළි සැබෑ පර්යේෂණ තත්ත්‍ව හා එකඟ නොවීම්, යම් යම් සංයෝග අස්ථායී වීම නිසා ඇතිවන ගැටළු වැනි මෙකී නොකී සියල්ල අප අභිමුවට එනවා. ඒත්…. යම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබූවිට දැනෙන සතුට ඒ සියළු දුක් කරදර අභිබවා යනවා… ඒ සියල්ල කැටි කර යම් සඟරාවක තමන්ගේ නමින් පළ කිරීම ඊටත් වඩා සතුටක්…

නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ යම් කෙනෙකු ලැබිය හැකි ඉහළම ත්‍යාගයයි. ඔබාමාට සාම ත්‍යාගය දීම වැනි සමහර අවස්ථාවල එය දේශපාලනීකරණය වුව ද, බොහෝ දුරට නොබෙල් ත්‍යාගය ඉතාම සාධාරණ ලෙස විනිශ්චය කෙරෙන්නක් බවට හැමෝගෙම අදහසයි. එසේම එය සත්‍යයක්. නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ ලෝකයට දැනෙන යමක් කළ පුද්ගලයෙකුට හෝ සමූහයකට. මේ අනුව මෙවර රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේ ඇමරිකානු රසායන විද්‍යාඥ රිචර්ඩ් හෙක්, සහ ජපන් ජාතික රසායන විද්‍යාඥයන් දෙදෙනක් වන අකිරා සුසුකි සහ ඉයි-ඉචි නෙගිෂි (Richard Heck, Akira Suzuki, Ei-Ichi Negishi) යන තිදෙනාටයි.

රිචර්ඩ් හෙක්

ඉයි-ඉචි නෙගිෂි

අකිරා සුසුකි

මේ තිදෙනා වෙන වෙනම නමුත් එකම කරුණක් අරභයා පර්යේෂණ කළ තිදෙනෙක්.  මේ ලෝකයට ඔවුන්ගේ සම්මාදම වන්නේ පැලේඩියම් Pd සංයෝග උපයෝගී කරගෙන, කාබන් – කාබන් බන්ධන තැනීමට උදව් වන උත්ප්‍රේරක තැනීමයි. ඒ සඳහා ඔවුන්ගේ නමින්ම විවිධ ප්‍රතික්‍රියා තිබෙනවා. Heck-coupling, Suzuki coupling, Negishi coupling යනු මේ ප්‍රතික්‍රියා තුනයි. මේ නිසා පෙර කළ කිරීමට ඉතාම අපහසු වූ C – C බැඳුම් ප්‍රතික්‍රියා සරළව සිදු කර ලෝකයාට අවශ්‍ය බොහෝ දෑ ඉක්මනින් නිපදවාගත හැකි තත්ත්‍වයට රසායන විද්‍යාව පත්  වුනා. ඒ විතරක් නොවෙයි මෙයින් වඩාත්ම වාසි ලැබුවේ ඖෂධ නිෂ්පාදන අංශයයි. මේ නිසා මේ තුන් දෙනාට නොබෙල් ත්‍යාගය දෙන්නට මෙවර කටයුතු සිදු වුනා.

මේ ලිපිය ලියාන්නට අරඹා සති තුනක් පමණ ගත වුනේ කාර්ය බහුලත්‍වය නිසයි….. වැඩි විස්තර අවශ්‍ය නම් අනේ අන්තර්ජාලය පීරලා බලන්න..

න්‍යෂ්ඨික බලාගාරයක පැවැත්ම කෙරෙහි ශ්‍රී ලාංකික ආකල්ප බලපාන අයුරු. 2010 ඔක්තෝබර් 4

Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, මම නොදන්න දේශපාලනය, රසායන විද්‍යාව සබැඳි දේ.
Tags: , ,
8 comments

මේ මහින්දගේ න්‍යෂ්ඨික සිහිනය ලිපි පෙළේ අවසාන ලිපියයි. පළමු ලිපිය මෙතැනින් බැලිය හැකියි. කුමක් හෝ හේතුවක් නිසා දෙවන ලිපිය බැලිය නොහැකි තත්ත්‍වයක් ඇතිවී ඇතත්, එය ඇල්කෙමියාගේ රසායනාගාරයේ මුල පිටුවෙන් කියවිය හැකියි.  මෙයට අමතරව ආචාර්ය මුදිතත් න්‍යෂ්ඨික බලය අපට සුදුසු ද ? යනුවෙන් ඉතා අගනා ලිපියක් මේ ගැන පළ කරලා තිබුනා.

අද මේ අවසාන කොටසින් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ න්‍යෂ්ඨික බලාගාරයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලාංකිකයගේ ආකල්ප බලපාන්නේ කෙසේ ද කියලා. අපට කෙතරම් දැනුම, මුදල්, සම්පත් යනාදිය මොනවා  තිබුනත්,  යහපත් ආකල්ප සහ ගතිගුණ නැතිනම්, මේ සියල්ල විනාශ වන්නට ගත වන්නේ ඉතා සුළු කාළයක්. න්‍යෂ්ඨික බලාගාරයක් යනු සාමාන්‍ය විදුලි බලාගාරයක් නොවේ. එයට දැඩි කැපවීමක් ඇති ඉහළ දැනුමක් ඇති සහ න්‍යෂ්ඨික බලාගාරයක් පවත්වාගෙන යාම කෙරෙහි විශේෂ ප්‍රගුන්‍යයක් ඇති සේවක පිරිසක් අවශ්‍ය වෙනවා. දැනට ලංකාවේ ආයතන වල සේවකයන්ගේ ගති ප්‍රභාවය (Attitude)  දෙස බැලූ විට කිසිවකුගෙන් මෙම කැපවීම දැකිය නොහැකියි. අවම වශයෙන් උතුම් වෘත්තීන් ලෙස සැලකෙන වෛද්‍ය වෘත්තිය සහ ගුරු වෘත්තියත් දැඩි ගුණාත්මක සෝදාපාළුවකට ලක් වෙලා. පොඩි සිදුවීමකට පවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ වර්ජන කරා යන ගතියකට මේ උතුම් වෘත්තීන් පවා පත් වෙලා. මෙවන් තත්ත්‍වයක් න්‍යෂ්ඨික බලාගාරයක ඇති වීමට බැහැ. එසේ වුවහොත් එය අවසන් විය හැක්කේ දකුණු ආසියාවටම බලපාන ඛෙදවාචකයකින්.

ඒ වගේමයි රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයම වෙලාගෙන ඇති වෘත්තීය සමිති මාෆියාව. මේ නිසා ඇති විය හැකි සුළු කඩාකප්පල්කාරී ක්‍රියාවකින් මුළු ශ්‍රී ලංකාවේම අනාගතය තීරණය කරන්න න්‍යෂ්ඨික බලාගාරයකට හැකියි. අපේ බොහොමයක් වෘත්තීය සමිති නිතරම කල්පනා කරන්නේ තම අයිතිවාසිකම් දිනා ගැනීම පමණයි. තමන් කළ යුතු වූ යුතුකම් සිය සාමාජිකයන්ගෙන් එම සේවා ස්ථානවලට, රටට සිදු වනවාද කියා කිසිම වෘත්තීය සමිතියකින් එළිදැක්වෙනවා මා ජීවිතයේ කිසිම අවස්ථාවක දැක නැහැ. හොඳම උදාහරණය තමයි පෞද්ගලික බස් මාෆියාව. ඔවුන් තම ගාස්තු ඉහළ නැංවීමට සෑම විටම කටයුතු කළත්, බස් මගියාට හොඳ සේවයක්, ආරක්‍ෂාකාරී ගමනක් ලබාදෙන බවට කවදාවත් සහතික වන්නේ නැහැ. එයට අමතරව බේබදු රියදුරන් අශීලාචාර කොන්දොස්තරවරුන් පවා ආරක්‍ෂා කිරීමට ඔවුන් යුහුසුළුව කටයුතු කරනවා. වෛද්‍යවරුනුත් හෙදියනුත් (සමහර බෝදිසත්ව වෛද්‍යවරුනුත් හෙදියනුත් අප අතරේ නැතුවා නොවෙයි) කටයුතු කරන්නේ මාෆියාවක් ආකාරයටම තමයි. ඔවුන්ට යම් මදිපුංචිකමක් වූ විට පාරට බහින්න සූදානම් වුවත්, ඔවුන්ගේම එකෙකුගෙන් අතපසුවීමක් හෝ නොසැලකිළිමත් කම නිසා අමාරුවේ වැටුන රෝගියෙකුට හෝ මියගිය රෝගියෙකුගේ ඥාතීන්ට ඔවුන්ගෙන් ඒ සාධාරණය ඉටු වන්නේ නැහැ.

ඒ එක පැත්තක්. අනෙක් පැත්ත තමයි රාජ්‍ය අංශයේ අකාර්යක්‍ෂමතාවය. අපි මේ ගැන හැමදාම කතාකළත් එය එකතැන පල්වෙන, ගඳ ගහන නරා වලක් බවට පත් වෙලා. රාජ්‍ය අංශයේ ඉහලම සේවකයා වන ලලිත් වීරතුංග මහතාගේ සිහිනය වන යහපාලනය එතුමා අනුගමනය කළත්, අන් අයට ඒ ගතිගුණය කාවද්දන්න එතුමා පවා අසමත් වී තිබෙනවා. (මා ඒ මහතාට එසේ ආමන්ත්‍රණය කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලලිත් වීරතුංග මහතා මහත්මයෙක් බව මා පෞද්ගලිකව දන්නා නිසායි) මෙයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දේශපාලනඥයොන්ගේ හෙංචයියෝ හැමතැනටම රිංගාගෙන සහ රිංගවාගෙන සිටීම. මේ හෙංචය්යෝ වැඩි දෙනෙක් ඒ ඒ තනතුරු වලට සරිලන අධ්‍යාපන සුදුසුකම් සපුරාලූ අය නොවෙයි. මෑතකදී සිදු වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්න පත්‍ර අවුල ආදී බරපතල ප්‍රශ්න වලට මූලික වගකීම මේ දේශපාලන හෙංචයියෝ මත වැටෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය, ගමනාගමන මණ්ඩලය, රාජ්‍ය ඛණිජතෙල් නීතිගත සංස්ථාව වගේ රාජ්‍ය ආයතන වල ඇති සේවක අතිරික්තයත් මේ දේශපාලන හෙංචයියෝ නිසාම සිදු වන්නක්. මේ බත් බැලයොන්ට පඩි ගෙවන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය ලාංකීය ජනතාවගේ බදු මුදල් වලින් වීම ඊටත් වඩා මහා පාපයක්. ඉතින් න්‍යෂ්ඨික බලාගාරයක් පටන් ගත්තත් අපේ දේශපාලනඥයෝ කරන්නේ මේ ටිකම තමයි. කිසිම සුදුසුකමක් නැති තමන්ට කඹුරන බත් බැලයෝ ටිකක් එතනට ඇතුලත් කරාවි… ඊට පස්සේ ඉතිං ඉතිරි ටික ඒ අයම බලාගනීවි…..

ඒ වගේමයි අපේ රටේ තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවන වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්‍ෂණ කටයුතු (Occupational Health and Safety) පිළිබඳ කිසිවකුගේ අවධානයක් නොමැති කම. පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා වල මේ ආරක්‍ෂාව සම්බන්ධ දැඩි නීති රීති තිබුනත්, රාජ්‍ය අංශය මේ අතින් ඉතාම දුර්වලයි. උදාහරණයක් වන්නේ රජයේ රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ මීට වසර කිහිපයකට පෙර වූ ඛෙදවාචකයක්. එහි සේවය කළ අනුෂා නම් ගැබිණි මවක් අත්බෝම්බයක් විශලේෂණය කිරීමේ දී පුපුරාගොස් ඇයත් ඇය කුස තුළ වැඩෙමින් තිබූ මෙලොව එළිය දකින්නට ආසන්නව තුබූ කළලයත් එතැනම මිය යාම වැනි අවාසනාවන්ත සිද්ධීන්. එසේම රජයේ විකිරණශීලී තාක්‍ෂණවේදීන් (X-ray technicians) කිහිප දෙනෙකු පසුගිය කාළයේ පිළිකා රෝගයට ගොදුරු වීමත් මේ කාළකන්නි තත්ත්‍වයේම තවත් කොටසක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විකිරණශීලීත්‍වය වලක්වන ඇඳුම් ලබා දුන්නත්, ඔවුන් ඒවා ඇඳීම ප්‍රතික්‍ෂේප කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ කවුරු කෙසේ කීවත්, සේවක ආරක්‍ෂණය යන්න ශ්‍රී ලංකාවේ දී සේව්‍ය-සේවක දෙපාර්ශවය විසින්ම දැඩි ලෙස අවතකසේරුවට ලක් කර ඇති අංශයක්. මෙවන් වාතාවරණයක් මත න්‍යෂ්ඨික බලාගාරයකට මෙවන් ආකල්ප ඇති පුද්ගලයන් පත් වුවහොත් ඇති විය හැකි හානිය කෙතෙක් දැයි ඔබටම වැටහෙනවා ඇති.

ඊලඟ දේ තමයි කොළඹ නගරයේ සහ ප්‍රධාන නගරවල කසළ ප්‍රශ්නයට තවමත් හරිහැටි විසඳුමක් සොයාගෙන නැතිව න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කිරීම කරන්නේ කෙසේද යන ප්‍රශ්නය. නමුත් මේ සඳහා න්‍යෂ්ඨික ඉන්ධන සපයනවා යැයි කියූ රුසියාවෙන්ම විසඳුමක් ලබා දී තිබෙනවා. එනම්, ඔවුන් ඒ අපද්‍රව්‍ය නැවත භාරගන්නවා යැයි කියන කාරණය. මේ කරුණ අපි දෙගොල්ලොන්ටම වාසි සහගතයි. ඇමරිකාව වැනි සංවර්ධිත රටවල් පවා තවමත් න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රශ්නයට හරිහැටි විසඳුමක් සොයාගෙන නැති අතර අපට ඒ ගැන සිතිමට වත් බැරිවුවත් රුසියාව ස්වේච්ඡාවෙන්ම ඒ කටයුත්ත භාරගැනීම අපට ඉතා ලාභදායී වීම සහ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයෙන් නැවත න්‍යෂ්ඨික ඉන්ධන විශාල ප්‍රමාණයක් නැවත රුසියාවට නිපදවාගත හැකි වීම. මේ නිසා දීර්ඝකාලීන අපද්‍රව්‍ය ප්‍රශ්නය අපට ප්‍රශ්නයක් නැති වුවත් ප්‍රතිකාරකයෙන් ඉවත් කරන අපද්‍රව්‍ය අවම වශයෙන් වසර 5 ක් වත් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ  සිසිලනය වීමට ඉඩ හැරීම නම් අපගේ වගකීමක්. යුද්ධය නිම වූවත් මෙවන් දෑ කෙරෙහි බොහෝ දෙනා ඇස ගසා සිටින බැවින් ආරක්‍ෂා කර ගැනීම ඉතා සුදුසුයි. ඒ වගේම අපේ රටේ අනාගතයේ තනන ප්‍රතිකාරකයක ඉන්ධන වර්ගය තෝරියම් ලෙස සළකා බලා තිබීම නිසා මේ අවදානම ටිකක් අඩු වී තිබෙනවා.

වඩාත්ම වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙම යෝජිත බලාගාරය පිහිටුවන ස්ථානය කොතැනදැයි යන්නයි. බොහෝ සංවර්ධිත රටවල න්‍යෂ්ඨික ප්‍රතිකාරක ජනශුන්‍ය මෙන්ම නාගරික ප්‍රදේශ වලට ආසන්නව පිහිටවා ඇති වුවත්, ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එවැනි අවදානමක් ගත හැකිද යන ප්‍රශ්නය නිරන්තරයෙන් පැන නඟිනවා. හදිසියේ වත් පිපිරුමක් සිදු වුවහොත් ලංකාවේම ජනගහනය සුළු කාළයක් ඇතුලත ඉවත් කළ යුතු වෙනවා මෙන්ම අසල් රටවලට ද සුළඟ මඟින් එම අහිතකර දෑ පැතිරීමේ අවදානමද අප දැරිය යුතු වෙනවා. එසේ වුවත්, නව තාක්‍ෂණය සහ නවීන ක්‍රම එකතු කරගෙන ආරක්‍ෂාකාරී න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමේ හැකියාව කොයි කවුරුත් සතුව තිබෙනවා.

මෙම න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමේ මූල්‍ය වියදම ඩොලර් බිලියන 6 ත් 10 ත් අතර ගණනක්. අනාගත ශ්‍රී ලංකාව සංවර්ධන ඉලක්ක කරා වේගයෙන් ගොස් විදේශ ණය පුමාණය අඩු කරගෙන ජනතාවට බරක් නොදෙන අයුරින් ආධාර ලෙස හෝ ත්‍යාගයක් ලෙස මෙම න්‍යෂ්ඨික බලාගාරය ඉදිකරගත හැකි නම්, එය ඉතා අගනා කටයුත්තක්. එසේ නැතිව සම්පූර්ණයෙන්ම අපේ වියදමෙන් මෙම කටයුත්ත කෙරෙනවා නම්, මීට වඩා අඩු අවදානමක් ඇති විදුලිබල ජනන ක්‍රමයකට අප යනවා නම් හොඳ යැයි යන්න මගේ හැඟීමයි.

ඉතින් මේ පිළිබඳ පක්‍ෂ භේදයෙන් තොරව කල්පනා කිරීමත් ඉතා වැදගත්. එක් රජයක් ගත් ණය තවත් රජයක් ගෙවා නොදමන බවට වහසි බස් දෙඩීම වැනි මුග්ධ ක්‍රියා වලින් වැලකී රටක් වශයෙන් ඉදිරියට යා හැකි ලෙස දැන් අප සිතිය යුතු කාළය එළැඹිලා. න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම යනු දේශපාලන හෙංචයියෝ දමා නොගෙන, සුදුස්සාට සුදුසු තැන ලබා දී, නිවැරදි ශක්‍යතා අධ්‍යයන, අනතුරු පිළිබඳ නිවැරදි තක්සේරුවක් (Risk assessment)  ආදිය සිදු කර දීර්ඝ කාලීන සැළසුමක් ඇතිව කළ යුතු ඉතාමත් බැරෑරුම් කටයුත්තක්. එය හරිහැටි කර අපට ලාභදායී අන්දමට අදාල ගිවිසුම් මඟින් ඒ ඒ රටවලින් ආධාර ලබාගෙන රටට බරක් නොවී එය අපට ලැබෙනවා නම් ඉතා අගෙයි….

එය එසේ වේවායි අප සැවොම පතමු….. එසේ නොවුවහොත් පිටරටක ජීවත් විය හැකි ලෙස පුරවැසිභාවය දැන්ම ලබාගෙන තිබීම කාටත් සිතා බැලිය යුතු කටයුත්තක් වේවි….

මේ ලිපි පෙළ කියවා අදහස් දැක්වූ සැමදෙනාටම තුති……

මෙයට.

ඇල්කෙමියා….

මහින්දගේ න්‍යෂ්ඨික සිහිනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය 2010 ඔක්තෝබර් 2

Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, මම නොදන්න දේශපාලනය, රසායන විද්‍යාව සබැඳි දේ.
Tags: ,
add a comment

මහින්දගේ න්‍යෂ්ඨික සිහිනය ලිපියේ දෙවන අදියර වන්නේ මේ යෝජිත න්‍යෂ්ඨික බලාගාරය ශ්‍රී ලංකාවට උචිතද නැද්ද යන්න සහ සාමාන්‍ය ජන ජීවිතයට එය බලපාන්නේ කෙසේද කියලයි. සමහර පාඨකයො මෙම ලිපිය තරමක් පටලවාගෙන තිබුණා.

මෙම ලිපිය මුලින් පින්තූර සහිතව පළ කළත්, කුමක් හෝ හේතුවක් මත එය “සොයාගත නොහැක“ කියා පණිවුඩයක් දෙන නිසා පින්තූර රහිතව මෙසේ පළ කරනවා.

ශ්‍රි ලංකාව සහ විකල්ප බලශක්තිය

ශ්‍රී ලංකාව සතුව විශාල සමුද්‍ර කලාපයක්  ඇති අතර රට පිහිටා ඇත්තේ සමකයට අංශක 6 ක් උතුරෙනි. මෙම පිහිටීම නිසා බොහෝ අවස්ථාවල සුළං හැමීම සිදු වන අතර, වැසිබර දිනවල හැර සූර්යාලෝකය අවම වශයෙන් පැය 10 ක් වත් පතිතවන වාසනාවන්ත රටකි. සූර්යාලෝකය නිරන්තරව පතිත නොවන බොහෝ රටවල් සූර්ය කෝෂ වලින් විදුලි ජනනය සිදු කළද, තවමත් එහි ඇති අධික මූලික වියදම නිසා සහ සූර්ය කෝෂවල කාර්යක්‍ෂමතාවය අඩු නිසා තරමක් පසුබෑමකට ලක්ව තිබෙනවා. එසේම තනි තනි නිවාස මඟින් සිය විදුලි බල අවශ්‍යතා සූර්ය කෝෂ මඟින් සපුරාගෙන දිවාකාළයේ වැඩිපුර නිපදවෙන විදුලිය ජාතික පද්ධතියට එක් කෙරෙන ශුද්ධ මාපක විදුලි සැපයුම් පද්ධතියක් (Net Metering System) ශ්‍රී ලංකාවේ ඇති කිරීමට සැලසුම් කර ඇති බව මෑතකදී විදුලිබල ඇමති ප්‍රකාෂ කර තිබුනා.

නමුත් මෙහි ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මූලික වියදමයි. තනි තනි නිවාසවල අයිතිකරුවනට ඒ සඳහා වත්කමක් නැති අතර ණය ලබාගෙන සූර්යකෝෂ සවිකරගන්න තරම් පරිසරය පිළිබඳ කැක්කුමක් අපේ රටේ ජනතාවට නැහැ. එසේම එම ආයෝජනයේ ලාභ ලැබෙන්නට අවම වශයෙන් වසර 15-20 ක් ගතවන නිසා එය එතරම් ඇඟට වදින්නේ නැති යෝජනාවක් වෙනවා.

නමුත් විශාල සමාගම් සහ ආයෝජකයනට මෙයින් හොඳ ආයෝජනයක් කළ හැකියි. මෙහිදී මූල්‍ය වියදම හැරුන විට නඩත්තුව සඳහා වැය වන්නේ අවම මුදලක්. එසේම අමුද්‍රව්‍ය නොමිලයේම ලැබෙනවා. දැන් දැන් චීනය වැනි ආසියාතික රටවල් සූර්ය කෝෂ නිෂ්පාදනයට වැඩිපුර නැඹුරු වී ඇති නිසාත් එම නිෂ්පාදනවල මිල ගණන් යුරෝපීය සහ ඇමරිකානු නිෂ්පාදනවලට වඩා අඩු නිසාත් එමඟින් හොඳ ආයෝජනයක් කිරීමට කෙනෙකුට හැකි වුවත් මා දන්නා තරමට එවන් කටයුත්තක් තවම ලංකාවේ සිදු වන්නේ නැහැ. (වෙනවා නම් දන්නා කෙනෙක් අපව දැනුවත් කරන්න). සූර්ය ශක්තියෙන් අවශ්‍ය ප්‍රමාණයට විදුලි බලය සැපයෙන්නේ නැතැයි කිසිවෙකුට තර්ක කිරීමට බැහැ.හොඳම උදාහරණය තමයි පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පොකනෝ (Pocono) හි පිහිටවා ඇති NASCAR රේස් ධාවන පථය. එහි 100% විදුලිය ජනනය කෙරෙන්නේ සූර්ය කෝෂ පද්ධතියකින් වන අතර ධාවන පථයේ වැඩ කටයුතු සිදු නොවන අවස්ථාවල ජනනය කරන විදුලිය ජාතික පද්ධතියට විකුණා එම ආයතනය මුදල් උපයාගන්නවා.

පෙර කී පරිදි ලංකාවේ ප්‍රධාන වශයෙන් සෑම තැනකම පාහේ මුහුදු සුළං හැමීම සිදු වෙනවා. මෙය සැලකිය යුතු වේගයකින් සිදු වන අතර සුලං බලයෙන් ක්‍රියාත්මක වන ටර්බයින මඟින් පහසුවෙන් විදුලිය නිපදවා ගැනීමට හැකියි. මේ ක්‍රමයද තරමක් අධික මූලික වියදම් යන්නක් වුවත් ලාංකීය තාක්‍ෂණය මුසු කිරීමෙන් මෙය මිල අඩු ව්‍යාපෘතියක් බවට පත් කරගත හැකියි. කළකට පෙර මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් ග්‍රාමීය ජල විදුලි බලාගාර තැනීමට ටර්බයින නිෂ්පාදනය කළ බව ඔබට මතක ඇති. එසේම නිකරුනේ නාස්ති වන තරුණ ජීවිත වලට යම් ප්‍රමාණයක රැකියා අවස්ථා කිහිපයක් හෝ බිහි කර ගැනීමට මෙවන් ව්‍යාපෘතියක් ඉවහල් වේවි. මා අසා ඇති පරිදි එක්තරා සමාගමක් පුත්තලම ප්‍රදේශයේ සුලං බල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක්. මෙවන් කටයුතු වලට බදු සහන, ව්‍යාපෘති ආරම්භක ණය ආධාර වැනි සහන ලබා දීමෙන් දේශීය ආයෝජකයා පවා දිරිමත් කර ඔවුන් සංවර්ධන ක්‍රියාදාමයට හවුල් කරගත හැකියි.  එසේම රට මධ්‍යයේ ද සමහර ස්ථානවල දැඩි සුළං තත්ත්‍වයන් නිතර පවතිනවා එවන් ස්ථාන සිතියම් ගතකර, නිවැරදි ශක්‍යතා අධ්‍යයනයකින් පසු සුළං ටර්බයින කලාපයක් ඇති කළහොත් නිකරුනේ රට තුළින් ඇදී යන සුලං වලින් ප්‍රයෝජනයක් ගත හැකියි.

විදුලිබල ඇමතිතුමාගේ ප්‍රධාන තර්කයක් වන්නේ මේ ක්‍රම දෙකම ඒකාකාර නොවන බවයි. එනම් සෑම අවස්ථාවකදීම ඒකාකාර විදුලි සැපයුමක් මේ ක්‍රම දෙක මඟින් සිදු නොවන බවයි. එම කාරණය සත්‍ය නමුත් මේ කරුණ කාර්යක්‍ෂම විදුලි පද්ධතියක් ඇති කිරීමෙන් මඟහරවාගත හැකියි. සූර්ය කෝෂ පද්ධතියකින් සහ සුළං ටර්බයින පද්ධතියකින් උපරිම කාර්ක්‍ෂමතාවයෙන් විදුලි සැපයුම ඇති අවස්ථාවලදී ගල් අඟුරු සහ ඩීසල් විදුලි බලාගාරවල නිෂ්පාදනය පාලනය කරගත හැකි ආකාරයේ පද්ධතියක් සැලසුම් කිරීමෙන් නිකරුනේ නිපදවෙන මිල අධික විදුලි ජනනය වලක්වාගත හැකියි.

දැනට යෝජිත සහ ඉදිවෙමින් පවතින තාප බලාගාර මෙම ප්‍රශ්නයට පැහැදිළි විසඳුමක් නොවන හේතු රාශයක් තිබෙනවා. ගල් අඟුරු මිල අඩු ඉන්ධනයක් වුවත් ලංකාවේ විදුලිබල සැපයුමට වසරකට අවම වශයෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියනයක් අවශ්‍ය බව ගණන් බලා තිබෙනවා. මේ ගල් අඟුරු නිපදවන්නේ අපේ රටේ නොවෙයි. ආධාර වශයෙන් ලැබුණත්, අපි ඒ සඳහා යම් මුදලක්, ප්‍රවාහන වියදම් ආදිය දැරිය යුතු වෙනවා. අනාගතයේදී වැඩිවන මිලගණන් වලට (ඛණිජ තෙල් වලට වුනා වගේම) ගල් අඟුරු වල වියදමත් ඉහල යනවා. ඒ අමුද්‍රව්‍ය සැපයුම පිළිබඳ ප්‍රශ්නය. තවත් ප්‍රශ්නයක් වන්නේ ගල් අඟුරු දහනයෙන් පිටවන අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයයි. ලංකාව හරිත රටක් වීමට සහ කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු යොදන මේ අවස්ථාවේ ගල් අඟුරු බලාගාරයකින් වන්නේ වසරක් තුළ ඒ තත්ත්‍වය අපට අහිමි වීමයි. එසේම බොහෝ දෙනා නොදන්නවාට ගල් අඟුරු බලාගාරයකින් ඉවත ලන අපදුව්‍ය විකිරණශීලී බවින් තරමක ඉහළ අගයක් ගන්නවා. දැනට ලංකාවේ ඉහළ යන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවට තවත් එකතුවක් මෙමඟින් ඇති වෙන බව හොඳටම පැහැදිලි කරුණක්. මේ නිසා ගල් අඟුැු බලාගාරයක් වුවත් පාලනය කළ යුත්තේ ඉතා පරිස්සමින්.

වෙනත් බලශක්ති ජනන ක්‍රම ලෙස දැනට හඳුනාගෙන ඇති උදම් බලය (සයුරේ රළ බලයෙන් ) ඇසුරෙන් ක්‍රියාකරන ටර්බයින ආදිය ඇතත්, ඒවයේ අකාර්යක්‍ෂම බව නිසා වැඩි අවධානයක් නැහැ. නමුත් මෑතකදී ලැබුන ආරංචියකට අනුව කොළඹ නගරයේ එකතු වන කුණු දහනයෙන් බලශක්තිය ජනනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙය එක ගලකින් කුරුල්ලෝ දෙදෙනෙකු මරාගැනීමක්, කොළඹ නගරයේ අපද්‍රව්‍ය ප්‍රශ්නයට යම් පිළියමක් සේම එය බලශක්ති අර්බුධයටත් යම් පිළියමක් වෙනවා. මෙය රට පුරාම ඇති කුණු භාවිතයෙන් කිරීම දක්වා පුළුල් කළ හැකි නම් එය ඉතා අගනා කටයුත්තක් වෙනවා.

අනාගත තත්ත්‍වය.

විදුලිබල ඇමති තුමාගේ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවය 8% කින් පමණ ඉහළ යන බව මෑතදී ප්‍රකාෂ වී තිබුණා. යුද්ධය නිම වීමෙන් පසු ආයෝජන පුමාණය ඉහළ යාම නිසා ඇති වන නව කර්මාන්තශාලා නිසාත්, උතුරු- නැගෙනහිර ප්‍රදේශවල සිදු වන විධිමත් පදිංචි කිරීම් නිසාත් මේ අවශ්‍යතාවය ඉහළ ගොස් තිබෙනවා. මේ අවශ්‍යතාවලට සැපයුම සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. දැනට විදුලිය විසන්ධි වීමක් නොමැති වුවත්, අනාගතයේ වැඩිවන ඉල්ලුමට සරිලන සැපයුමක් දැනට පවතින විදුලිබල නිෂ්පාදනයෙන් කළ නොහැකි බවයි පැවසෙන්නේ. එසේ නම්, කළ යුත්තේ කුමක්ද ?

නිර්දේශිත සැලසුම්.

අප රට වටා ඇති දසතින් සුළං හමන මහසයුරේ රටට ආසන්න බොහෝ ප්‍රදේශ තරමක් නොගැඹුරු ප්‍රදේශ වෙනවා. මේ තැන් නිසි ලෙස සුලං රටා අධ්‍යයනයකට ලක් කර සුලං ගොවිපොළ (Wind Farms)  ඇති කිරීමෙන් නොමිලයේ විදුලිබලය ජනනය කිරීමේ හැකියාවක් අප සතුව පවතිනවා. මෙම තත්ත්‍වය තවමත් හරිහැටි අධ්‍යයනය කරලා දැයි දැනගන්නට නැහැ. එසේම අප රටට දිවා රෑ දෙකේම හොඳ සුළං තත්ත්‍වයක් පවතින නිසා රාත්‍රී කාළයේ වුවද තරමක හෝ විදුලි ජනනයක් මෙමඟින් සිදු වෙනවා. ජල විදුලිබල නිෂ්පාදනයේ උපරිමයට අප ලඟා වී ඇති නමුත්, සුළං බල නිපැයුම් හැකියාවෙන් සියයට එකක් වත් අප සිදු කර නැහැ. එසේම මෙය ඉතාම පරිසර හිතකාමී පසුකාලීනව ලාභ ඉපැයිය හැකි ආයෝජනයක් වෙනවා.

ලෝකයේ සූර්ය විදුලි බල ශක්තිය ජනනය තවමත් මධ්‍යස්ථ අවධියක තිබුනත්, ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රාථමික මට්ටමක. සූර්යකෝෂ මිල අධික වීමත්, සූර්යාලෝක පතනය සීමා සහිත වීමත් නිසා මෙම ක්‍රමය භාවිතා කිරීම  කෙරෙහි බොහෝ දෙනාගේ  පසුගාමීත්‍වයක් දක්නට ලැබෙනවා. මෙය ලංකාවේ මෙසේ වුවත්, බොහෝ රටවල සූර්ය කෝෂ භාවිතා කර විදුලිය නිපදවන්නන්ට බදු සහන වැනි දේ සැපයීමෙන් දිරිමත් කරනවා. බොහෝ රටවල මුඩුබිම් යොදාගෙන සූර්යකෝෂ ගොවිපොළවල් (Solar Farms) ඇති කිරීමෙන් මෙගාවොට් සියගණනක විදුලිබල ජනනයක් ඇති කරනවා. ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් වසර පුරාම ඒකාකාර සූර්යාලෝකය පතිත වීමක් තිබෙනවා. මේ නිසා සූර්ය ශක්තියෙන් හොඳ ප්‍රයෝජනයක් ගත හැකි වුවත් දැනට ඒ උපරිම හැකියාවෙන් 10% ක් වත් සිදු වන්නේ නැහැ.

ගල් අඟුරු බලාගාර මඟින් පහසුවෙන් සහ ඩීසල් බලාගාර වලට වඩා අඩු මිලට විදුලිය ජනනය කළ හැකි නමුත්, අපරටේ ගල් අඟුරු කැණීමක් සිදු වන්නේ නැහැ. මේ නිසා අමුද්‍රව්‍ය ලබා ගැනීමට අන් රටවල් කරා යොමු විය යුතුව තිබෙනවා. ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල උච්චාවචනය වන සෑම විටම අපට ඒ මත අපේ කටයුතු වෙනස් කිරීමට සිදු වෙනවා. ඒ ආර්ථික පැත්ත. පාරිසරික පැත්තෙන් බැලූ විට, නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් පුමාණය සහ විකිරණශීලී විය හැකි අපද්‍රව්‍ය පරිසරයට එක් වීම ගල් අඟුරු බලාගාරයකින් නිතිපතා සිදු වෙනවා. මේ නිසා ඒ අවට ජන ජීවිත වලට දැඩි හානියක් වෙනවා. මෙය බලධාරීන් විසින් වසන් කරනු ලැබුවත්, අනාගතයේදී මෙහි පළවිපාක පෙනෙන්නට පටන් ගනීවි.

ලිපිය නැවත දිග වැඩි වෙනවා. න්‍යෂ්ඨික බලාගාරයක පැවැත්ම කෙරෙහි ශ්‍රී ලාංකික ආකල්ප බලපාන අයුරු මීලඟ කොටසින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

Follow

Get every new post delivered to your Inbox.

Join 784 other followers

%d bloggers like this: