න්‍යෂ්ඨික බලාගාරයක පැවැත්ම කෙරෙහි ශ්‍රී ලාංකික ආකල්ප බලපාන අයුරු.

මේ මහින්දගේ න්‍යෂ්ඨික සිහිනය ලිපි පෙළේ අවසාන ලිපියයි. පළමු ලිපිය මෙතැනින් බැලිය හැකියි. කුමක් හෝ හේතුවක් නිසා දෙවන ලිපිය බැලිය නොහැකි තත්ත්‍වයක් ඇතිවී ඇතත්, එය ඇල්කෙමියාගේ රසායනාගාරයේ මුල පිටුවෙන් කියවිය හැකියි.  මෙයට අමතරව ආචාර්ය මුදිතත් න්‍යෂ්ඨික බලය අපට සුදුසු ද ? යනුවෙන් ඉතා අගනා ලිපියක් මේ ගැන පළ කරලා තිබුනා.

අද මේ අවසාන කොටසින් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ න්‍යෂ්ඨික බලාගාරයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලාංකිකයගේ ආකල්ප බලපාන්නේ කෙසේ ද කියලා. අපට කෙතරම් දැනුම, මුදල්, සම්පත් යනාදිය මොනවා  තිබුනත්,  යහපත් ආකල්ප සහ ගතිගුණ නැතිනම්, මේ සියල්ල විනාශ වන්නට ගත වන්නේ ඉතා සුළු කාළයක්. න්‍යෂ්ඨික බලාගාරයක් යනු සාමාන්‍ය විදුලි බලාගාරයක් නොවේ. එයට දැඩි කැපවීමක් ඇති ඉහළ දැනුමක් ඇති සහ න්‍යෂ්ඨික බලාගාරයක් පවත්වාගෙන යාම කෙරෙහි විශේෂ ප්‍රගුන්‍යයක් ඇති සේවක පිරිසක් අවශ්‍ය වෙනවා. දැනට ලංකාවේ ආයතන වල සේවකයන්ගේ ගති ප්‍රභාවය (Attitude)  දෙස බැලූ විට කිසිවකුගෙන් මෙම කැපවීම දැකිය නොහැකියි. අවම වශයෙන් උතුම් වෘත්තීන් ලෙස සැලකෙන වෛද්‍ය වෘත්තිය සහ ගුරු වෘත්තියත් දැඩි ගුණාත්මක සෝදාපාළුවකට ලක් වෙලා. පොඩි සිදුවීමකට පවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ වර්ජන කරා යන ගතියකට මේ උතුම් වෘත්තීන් පවා පත් වෙලා. මෙවන් තත්ත්‍වයක් න්‍යෂ්ඨික බලාගාරයක ඇති වීමට බැහැ. එසේ වුවහොත් එය අවසන් විය හැක්කේ දකුණු ආසියාවටම බලපාන ඛෙදවාචකයකින්.

ඒ වගේමයි රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයම වෙලාගෙන ඇති වෘත්තීය සමිති මාෆියාව. මේ නිසා ඇති විය හැකි සුළු කඩාකප්පල්කාරී ක්‍රියාවකින් මුළු ශ්‍රී ලංකාවේම අනාගතය තීරණය කරන්න න්‍යෂ්ඨික බලාගාරයකට හැකියි. අපේ බොහොමයක් වෘත්තීය සමිති නිතරම කල්පනා කරන්නේ තම අයිතිවාසිකම් දිනා ගැනීම පමණයි. තමන් කළ යුතු වූ යුතුකම් සිය සාමාජිකයන්ගෙන් එම සේවා ස්ථානවලට, රටට සිදු වනවාද කියා කිසිම වෘත්තීය සමිතියකින් එළිදැක්වෙනවා මා ජීවිතයේ කිසිම අවස්ථාවක දැක නැහැ. හොඳම උදාහරණය තමයි පෞද්ගලික බස් මාෆියාව. ඔවුන් තම ගාස්තු ඉහළ නැංවීමට සෑම විටම කටයුතු කළත්, බස් මගියාට හොඳ සේවයක්, ආරක්‍ෂාකාරී ගමනක් ලබාදෙන බවට කවදාවත් සහතික වන්නේ නැහැ. එයට අමතරව බේබදු රියදුරන් අශීලාචාර කොන්දොස්තරවරුන් පවා ආරක්‍ෂා කිරීමට ඔවුන් යුහුසුළුව කටයුතු කරනවා. වෛද්‍යවරුනුත් හෙදියනුත් (සමහර බෝදිසත්ව වෛද්‍යවරුනුත් හෙදියනුත් අප අතරේ නැතුවා නොවෙයි) කටයුතු කරන්නේ මාෆියාවක් ආකාරයටම තමයි. ඔවුන්ට යම් මදිපුංචිකමක් වූ විට පාරට බහින්න සූදානම් වුවත්, ඔවුන්ගේම එකෙකුගෙන් අතපසුවීමක් හෝ නොසැලකිළිමත් කම නිසා අමාරුවේ වැටුන රෝගියෙකුට හෝ මියගිය රෝගියෙකුගේ ඥාතීන්ට ඔවුන්ගෙන් ඒ සාධාරණය ඉටු වන්නේ නැහැ.

ඒ එක පැත්තක්. අනෙක් පැත්ත තමයි රාජ්‍ය අංශයේ අකාර්යක්‍ෂමතාවය. අපි මේ ගැන හැමදාම කතාකළත් එය එකතැන පල්වෙන, ගඳ ගහන නරා වලක් බවට පත් වෙලා. රාජ්‍ය අංශයේ ඉහලම සේවකයා වන ලලිත් වීරතුංග මහතාගේ සිහිනය වන යහපාලනය එතුමා අනුගමනය කළත්, අන් අයට ඒ ගතිගුණය කාවද්දන්න එතුමා පවා අසමත් වී තිබෙනවා. (මා ඒ මහතාට එසේ ආමන්ත්‍රණය කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලලිත් වීරතුංග මහතා මහත්මයෙක් බව මා පෞද්ගලිකව දන්නා නිසායි) මෙයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දේශපාලනඥයොන්ගේ හෙංචයියෝ හැමතැනටම රිංගාගෙන සහ රිංගවාගෙන සිටීම. මේ හෙංචය්යෝ වැඩි දෙනෙක් ඒ ඒ තනතුරු වලට සරිලන අධ්‍යාපන සුදුසුකම් සපුරාලූ අය නොවෙයි. මෑතකදී සිදු වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්න පත්‍ර අවුල ආදී බරපතල ප්‍රශ්න වලට මූලික වගකීම මේ දේශපාලන හෙංචයියෝ මත වැටෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය, ගමනාගමන මණ්ඩලය, රාජ්‍ය ඛණිජතෙල් නීතිගත සංස්ථාව වගේ රාජ්‍ය ආයතන වල ඇති සේවක අතිරික්තයත් මේ දේශපාලන හෙංචයියෝ නිසාම සිදු වන්නක්. මේ බත් බැලයොන්ට පඩි ගෙවන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය ලාංකීය ජනතාවගේ බදු මුදල් වලින් වීම ඊටත් වඩා මහා පාපයක්. ඉතින් න්‍යෂ්ඨික බලාගාරයක් පටන් ගත්තත් අපේ දේශපාලනඥයෝ කරන්නේ මේ ටිකම තමයි. කිසිම සුදුසුකමක් නැති තමන්ට කඹුරන බත් බැලයෝ ටිකක් එතනට ඇතුලත් කරාවි… ඊට පස්සේ ඉතිං ඉතිරි ටික ඒ අයම බලාගනීවි…..

ඒ වගේමයි අපේ රටේ තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවන වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්‍ෂණ කටයුතු (Occupational Health and Safety) පිළිබඳ කිසිවකුගේ අවධානයක් නොමැති කම. පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා වල මේ ආරක්‍ෂාව සම්බන්ධ දැඩි නීති රීති තිබුනත්, රාජ්‍ය අංශය මේ අතින් ඉතාම දුර්වලයි. උදාහරණයක් වන්නේ රජයේ රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ මීට වසර කිහිපයකට පෙර වූ ඛෙදවාචකයක්. එහි සේවය කළ අනුෂා නම් ගැබිණි මවක් අත්බෝම්බයක් විශලේෂණය කිරීමේ දී පුපුරාගොස් ඇයත් ඇය කුස තුළ වැඩෙමින් තිබූ මෙලොව එළිය දකින්නට ආසන්නව තුබූ කළලයත් එතැනම මිය යාම වැනි අවාසනාවන්ත සිද්ධීන්. එසේම රජයේ විකිරණශීලී තාක්‍ෂණවේදීන් (X-ray technicians) කිහිප දෙනෙකු පසුගිය කාළයේ පිළිකා රෝගයට ගොදුරු වීමත් මේ කාළකන්නි තත්ත්‍වයේම තවත් කොටසක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විකිරණශීලීත්‍වය වලක්වන ඇඳුම් ලබා දුන්නත්, ඔවුන් ඒවා ඇඳීම ප්‍රතික්‍ෂේප කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ කවුරු කෙසේ කීවත්, සේවක ආරක්‍ෂණය යන්න ශ්‍රී ලංකාවේ දී සේව්‍ය-සේවක දෙපාර්ශවය විසින්ම දැඩි ලෙස අවතකසේරුවට ලක් කර ඇති අංශයක්. මෙවන් වාතාවරණයක් මත න්‍යෂ්ඨික බලාගාරයකට මෙවන් ආකල්ප ඇති පුද්ගලයන් පත් වුවහොත් ඇති විය හැකි හානිය කෙතෙක් දැයි ඔබටම වැටහෙනවා ඇති.

ඊලඟ දේ තමයි කොළඹ නගරයේ සහ ප්‍රධාන නගරවල කසළ ප්‍රශ්නයට තවමත් හරිහැටි විසඳුමක් සොයාගෙන නැතිව න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කිරීම කරන්නේ කෙසේද යන ප්‍රශ්නය. නමුත් මේ සඳහා න්‍යෂ්ඨික ඉන්ධන සපයනවා යැයි කියූ රුසියාවෙන්ම විසඳුමක් ලබා දී තිබෙනවා. එනම්, ඔවුන් ඒ අපද්‍රව්‍ය නැවත භාරගන්නවා යැයි කියන කාරණය. මේ කරුණ අපි දෙගොල්ලොන්ටම වාසි සහගතයි. ඇමරිකාව වැනි සංවර්ධිත රටවල් පවා තවමත් න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රශ්නයට හරිහැටි විසඳුමක් සොයාගෙන නැති අතර අපට ඒ ගැන සිතිමට වත් බැරිවුවත් රුසියාව ස්වේච්ඡාවෙන්ම ඒ කටයුත්ත භාරගැනීම අපට ඉතා ලාභදායී වීම සහ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයෙන් නැවත න්‍යෂ්ඨික ඉන්ධන විශාල ප්‍රමාණයක් නැවත රුසියාවට නිපදවාගත හැකි වීම. මේ නිසා දීර්ඝකාලීන අපද්‍රව්‍ය ප්‍රශ්නය අපට ප්‍රශ්නයක් නැති වුවත් ප්‍රතිකාරකයෙන් ඉවත් කරන අපද්‍රව්‍ය අවම වශයෙන් වසර 5 ක් වත් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ  සිසිලනය වීමට ඉඩ හැරීම නම් අපගේ වගකීමක්. යුද්ධය නිම වූවත් මෙවන් දෑ කෙරෙහි බොහෝ දෙනා ඇස ගසා සිටින බැවින් ආරක්‍ෂා කර ගැනීම ඉතා සුදුසුයි. ඒ වගේම අපේ රටේ අනාගතයේ තනන ප්‍රතිකාරකයක ඉන්ධන වර්ගය තෝරියම් ලෙස සළකා බලා තිබීම නිසා මේ අවදානම ටිකක් අඩු වී තිබෙනවා.

වඩාත්ම වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙම යෝජිත බලාගාරය පිහිටුවන ස්ථානය කොතැනදැයි යන්නයි. බොහෝ සංවර්ධිත රටවල න්‍යෂ්ඨික ප්‍රතිකාරක ජනශුන්‍ය මෙන්ම නාගරික ප්‍රදේශ වලට ආසන්නව පිහිටවා ඇති වුවත්, ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එවැනි අවදානමක් ගත හැකිද යන ප්‍රශ්නය නිරන්තරයෙන් පැන නඟිනවා. හදිසියේ වත් පිපිරුමක් සිදු වුවහොත් ලංකාවේම ජනගහනය සුළු කාළයක් ඇතුලත ඉවත් කළ යුතු වෙනවා මෙන්ම අසල් රටවලට ද සුළඟ මඟින් එම අහිතකර දෑ පැතිරීමේ අවදානමද අප දැරිය යුතු වෙනවා. එසේ වුවත්, නව තාක්‍ෂණය සහ නවීන ක්‍රම එකතු කරගෙන ආරක්‍ෂාකාරී න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමේ හැකියාව කොයි කවුරුත් සතුව තිබෙනවා.

මෙම න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමේ මූල්‍ය වියදම ඩොලර් බිලියන 6 ත් 10 ත් අතර ගණනක්. අනාගත ශ්‍රී ලංකාව සංවර්ධන ඉලක්ක කරා වේගයෙන් ගොස් විදේශ ණය පුමාණය අඩු කරගෙන ජනතාවට බරක් නොදෙන අයුරින් ආධාර ලෙස හෝ ත්‍යාගයක් ලෙස මෙම න්‍යෂ්ඨික බලාගාරය ඉදිකරගත හැකි නම්, එය ඉතා අගනා කටයුත්තක්. එසේ නැතිව සම්පූර්ණයෙන්ම අපේ වියදමෙන් මෙම කටයුත්ත කෙරෙනවා නම්, මීට වඩා අඩු අවදානමක් ඇති විදුලිබල ජනන ක්‍රමයකට අප යනවා නම් හොඳ යැයි යන්න මගේ හැඟීමයි.

ඉතින් මේ පිළිබඳ පක්‍ෂ භේදයෙන් තොරව කල්පනා කිරීමත් ඉතා වැදගත්. එක් රජයක් ගත් ණය තවත් රජයක් ගෙවා නොදමන බවට වහසි බස් දෙඩීම වැනි මුග්ධ ක්‍රියා වලින් වැලකී රටක් වශයෙන් ඉදිරියට යා හැකි ලෙස දැන් අප සිතිය යුතු කාළය එළැඹිලා. න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම යනු දේශපාලන හෙංචයියෝ දමා නොගෙන, සුදුස්සාට සුදුසු තැන ලබා දී, නිවැරදි ශක්‍යතා අධ්‍යයන, අනතුරු පිළිබඳ නිවැරදි තක්සේරුවක් (Risk assessment)  ආදිය සිදු කර දීර්ඝ කාලීන සැළසුමක් ඇතිව කළ යුතු ඉතාමත් බැරෑරුම් කටයුත්තක්. එය හරිහැටි කර අපට ලාභදායී අන්දමට අදාල ගිවිසුම් මඟින් ඒ ඒ රටවලින් ආධාර ලබාගෙන රටට බරක් නොවී එය අපට ලැබෙනවා නම් ඉතා අගෙයි….

එය එසේ වේවායි අප සැවොම පතමු….. එසේ නොවුවහොත් පිටරටක ජීවත් විය හැකි ලෙස පුරවැසිභාවය දැන්ම ලබාගෙන තිබීම කාටත් සිතා බැලිය යුතු කටයුත්තක් වේවි….

මේ ලිපි පෙළ කියවා අදහස් දැක්වූ සැමදෙනාටම තුති……

මෙයට.

ඇල්කෙමියා….

8 thoughts on “න්‍යෂ්ඨික බලාගාරයක පැවැත්ම කෙරෙහි ශ්‍රී ලාංකික ආකල්ප බලපාන අයුරු.

  1. වැදගත් ලිපිපෙළක් !

    මේක කලින් ලිපියට දැමියයුතු අදහසක් වුවත්, ඇතිවී තිබෙන අපහසුතාවයමත මෙතන දමමි. –

    කලකට පෙර, මා අසා තිබෙනවා ගිනිසීරියා ශාකයේ දර මඟින් විදුලිය නිපදවීමේ අදහසක්. අනුරාධපුරයේ 1.5MW බලාගාරයක් ඉදිකරන බවටද ආරංචියක් තිබීය. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස, ගිනිසීරියා පත්‍රවල අඩංඟු අධික යුරියා ප්‍රමාණය නිසා, මෙහි පත්‍ර යුරියා ලෙස භාවිත කිරීමට ගොවීන් පෙළඹවීමෙන්, පොහොර සහනාධාරය සඳහා රජයට වැයවන විශාල මුදලක් ඉතිරිකරගත හැකියාවක් ද ඇතිලු.

  2. ගිනිසීරියා ශාකයේ යුරියා අඩංගු නොවේ. එම ශාකවල මුල්වල නයිට්‍රජන් තැන්පත්කරන බැක්ටීයාවක් සහජීවනයෙන් ජීවත්වේ. යුරියා පොහොරවල අඩංගු ප්‍රධානම මූලද්‍රව්‍ය නයිට්‍රජන්ය.

    නයිට්‍රජන් වාතයේ වැඩිපුරම තිබෙන වායුවයි නමුත් ශාකවලට ඒවා උරාගත හැකි තත්වයක නැහැ. මෙම බැක්ටීරියාව මගින් වායුමය නයිට්‍රජන් ශාකවලට මුල්වලින් උරාගතහැකි නයිට්‍රජන් බවට පත්කරනවා. එමනිසා මෙම ශාකවල ක‍ඳෙහි අනිකුත් ශාකවලට උරාගත හැකි නයිට්‍රජන් විශාල ලෙස තිබෙනවා, පොහොරක් හැටියට යොදා ගත හැක්කේ එනිසාය. එයට අමතරව මෙම ශාක සිටවූවිට පසෙහි නයිට්‍රජන් ප්‍රමාණයද වැඩිවෙනවා.

    ශක්ති ප්‍රභවයක් ලෙස මෙම ශාක යොදාගත හැකි බවද කියැවෙනවා. නමුත් කාබනික දව්‍යක් බැවින් සම්පූර්ණ දහනය නොවන බැවින් සහ අවසාන ප්‍රතිඵලය ලෙස කර්බන් ඩයොක්සයිඩ පරිසරයට එකතුවීමක් සිදුවෙනවා. අනික ශක්තිප්‍රභවයක් ලෙස එතරම් කාර්යක්ෂම නැහැ. අනිකුත් ශාකවලට සාපේක්ෂව ඉදිරියෙන් තිබිය හැකියි.

    තවදුරටත් කියවා බලන්න මෙතැනින්
    http://www.fao.org/ag/AGP/agpc/doc/PUBLICAT/Gutt-shel/x5556e07.htm

  3. ඉතාම වැදගත් ප්‍රයෝජනවත් ලිපියක්. ‍ලිපි 3ම එක හුස්මට කියවගෙන ගියා.

    බ්ලොග් එක නිතර අලුත් ලිපිවලින් අප්ඩේට් කරයි කියල බලාපොරොත්තු වෙනව.

  4. ඉතාම වැදගත් ලිපි පෙළක්. හරිම වටිනවා..මුණු පොතටත් දාන්න කියල මන් බැලුවේ…එතකොට මේ යුරේනියම් අපි ලබා ගන්නේ කොහෙන්ද? මොකද අපි ශක්තිය ලබාගන්න වැය කරන්න ඕනේ ශක්තිය ගැනත් හිතන්න ඕනේ නේ..අනිත් දේ තමයි, යුරේනියම් කොච්චර සුලබද කියන 1 ගැනත් මට අදහසක් නෑ…….

    1. මේ බලාගාරයට යොදාගන්න බලාපොරොත්තු වන්නේ යුරේනියම් නොව තෝරියම් බව ළඟදී ප්‍රකාශ කර තිබුණා. මො තෝරියම් මුලින් රුසියාවෙන් ලබා ගන්නත්, පසුව ලංකාවේ මන්නාරම හා ගාල්ල ප්‍රදේශයේ මුහුදේ ඇතැයි කියන නිධි වලින් ලබා ගන්නත් කටයුතු යොදනවා යැයි ප්‍රකාශ වී තිබුණා….

      මේවා ඉතින් හිනා යන වැඩ…. එච්චරයි මට කියන්න තියෙන්නේ….

      ස්තුතියි ප්‍රතිචාරයට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )