අප කන හැටි ඩොකා දනී (ද ?) ඩොකා තියා මොකා වත් නොදනීද ?

ධනවත් සහ ඉහළ පැලැන්තියේ අයට පමණක් සීමාවුන දියවැඩියාව සහ අධික රුධිර පීඩනයට ගොදුරු වන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව දිවයින පත්‍රයේ මෙසේ පළවෙලා තිබෙනවා. ඒ කියන්නේ අපේ ජනතාව ධනවත් වෙලා කියන එකද, එහෙමත් නැත්නම් සෞඛ්‍යය අතින් පිරිහිලා කියන එකද යන ප්‍රශ්නය ඇසුවොත් හැමෝම දන්නවා අපි ධනවත් වෙලා නැහැ කියලා. එසේ නම් ඇයි මේ ශ්‍රී ලාංකිකයා සෞඛ්‍යය අතින් මෙසේ පිරිහෙන්න හේතුව ? එදා අපේ මුතුන්මිත්තෝ ගස් ගල් පෙරළලා, පොළව සමඟ සටන් වැදිලා මහා සමුද්‍රය පරදවන මහා වැව් අමුණු, විහාර දාගැබ් තැනීමට තරම් හයිය හත්තිය ඇති මිනිස්සු කොට්ඨාසයක් වුනත්, අද ශ්‍රී ලාංකිකයා මෙසේ සෞඛ්‍යය පිරිහුණු පුද්ගලයෙක් බවට පත් වී ඇත්තේ ඇයි ?

මම මීට පෙරත් මේ ගැන කිහිප තැනක මෙන්න මෙහෙම ලියලා තියෙනවා. මෙසේ වන්නට හේතු මොනවා ද ? යන්න තවදුරටත් විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

දියුණු වන පුද්ගලයින් හැටියට අප සමාජයත් සමඟ පෙරට යායුතුය, අන් අයට වඩා ඉදිරියෙන් සිටිය යුතුය යන මතයේ පිහිටා සිටයි අප සියළුමදෙනා ක්‍රියාකරන්නේ. මොන්ටිසෝරි යන පොඩි එකා හවසට එලකියුෂන් ක්ලාස් යවන අම්මලාගේ සිතේ තිබෙන්නේ  තමන්ට වඩා තමන්ගේ පොඩි එකා ඉංගිරිසියෙන් කතා කරාවි නේද ? යන අහිංසක  බලාපොරොත්තුවයි. පන්තියේ මුල් ස්ථාන පහ අතර තමන්ගේ දරුවා නොසිටියොත් ඉඳලා වැඩක් නැති නිසා පොඩි එකා තුන වසරේ සිටම අමතර පන්ති වලටද යැවිය යුතුය. පහේ ශිෂ්‍යත්‍වය හරියට කරගෙන ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගැනීම හෝ ජනප්‍රිය පාසලක සිටිය ද අනෙක් අයට උජාරුවට පෙන්වීමට පොඩි එකාව පහේ ශිෂ්‍යත්‍වයට නිදි වර්ජිතව පාඩම් කරවයි. ඉන්පසු සාමාන්‍ය ‍පෙළ සඳහා හය වසරේ සිටම පුරුදු කරවන දරුවාට අමතර ක්‍රීඩාවක් සමිති සමාජයක් හෝ වෙනයම් කිසිවක් තහනම් වන අතර උදෑසන සිට රාත්‍රීය දක්වාම ඉගැනීමේ යෙදිය යුතුය. සාමාන්‍ය පෙළ සමත් දරුවා උසස් පෙළ සමත්කරගෙන වෛද්‍ය විද්‍යාලයට, ඉංජිනේරු පීඨයට හෝ වෙනයම් උසස් පාඨමාලාවකට ඇතුළත් කර ගැනීම ඊළඟ කඩ ඉමයි. මේ සියල්ලෙන් සමත්ව දරුවා බුද්ධියෙන් අනූනව රැකියාවකට පියමැන හොඳ පඩියක් ගෙන සතුටින් ජීවත් වෙයි. දරුවා ඊලඟට කරන්නේ ද තම දෙමාපියන් තමන්ට කළ සහ තමන් වෙනුවෙන් කළ යුද්ධය තම දරුවන් වෙනුවෙන් ඊටත් වඩා හොඳින් ඉදිරියට ගෙන යාමය. මා දන්නා තරමට සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ ජීවන චක්‍රය මෙයයි, වෙනසක් ඇතොත් කරුණාකර නිවැරදි කිරීමට පසුබට වන්නට එපා.

මෙන්න මේ කාර්යබහුලවත්‍වය නිසාම, මේ අතිධාවනකාරීත්‍වය නිසාම ශ්‍රී ලාංකිකයා තමන් පිළිබඳව සැළකිලිමත් වීම අතපසු කර තිබෙනවා. ගැමියා සිය සරළ කෘෂිකාර්මික ජිවන රටාවේ නියැළුනත්, නාගරික හෝ අර්ධ නාගරිකයා දිවි ගෙවන්නේ නිරන්තර ධාවනයේ යෙදෙමින්. මේ නිසා ඔවුනට විවේකයක්, නිදහසක්, හෝ තමන්ට කියා වේලාවක් වෙන්කර ගැනීම අපහසුයි, ඒ වගේම එසේ කරගන්නට උවමනාවක් ඇත්තෙත් නැහැ. “පැයක් හෝ වැඩියෙන් ඕවර්ටයිම් පාරක් දාගත්තොත් තමන්ට නේද ?” යන ආකල්පයේ ඇති අය බොහෙමයි.

මේ නිසා නාගරික සහ අර්ධ නාගරිකයා සිය ආහාර රටාව තම ජීවන රටාවට සරිලන ලෙස වෙනස් කරගෙන තිබෙනවා. එනම් උදෑසන ආහාර වේල ලෙස පාන් වැනි අධි සුඛෝපභෝගී ආහාරයක් හෝ දුවනගිරි හෝටලයකින් ගන්නා බනිසක්, මාළුපාන් එකක් හෝ වෙනත් කොට කෑමක් (short eats) ද; ගෙදරින් බැඳගෙන එන බත් මුලක්, අහල පහළ දුවනගිරියකින් ගන්නා බත් මුලක් හෝ ආයතනයෙන් කොන්ත්‍රාත්තු පදනමට ලබා ගන්නා කෑම පැකට්ටුවක් හෝ සමහරවිට ආයතනයෙන්ම සැකසූ බත් වේලක් සිය දිවා ආහාරය ලෙස ගිලදමයි. නැවත සිය කාර්යාල මේසයට යන ඔහු/ඇය සිය වැඩකටයුතු නිසි පරිදි සිදු කළ (මේ මගේ සිහිනයක් පමණක් විය හැක) සවස තේ පානයෙන් අනතුරුව නැවත සිය වැඩ කටයුතු නිම කර නිවෙස කරා යයි. වාහන ඇත්තෝ වාහන වලද, නැත්තෝ බස්වල හෝ ත්‍රීරෝද රථ වලද නැගී සිය නිවෙස් කරා රෑ බෝ වී ලඟා වෙයි. ගෙදර එන අතරමඟ දී ගෙදර එක්කෙනා ගෙන් රෑට කන්න මොනවා හරි ගේන්න යැයි එන විධානයෙන් ළඟම ඇති පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් හෝ මඟ පිහිටුවා ඇති ආප්ප-පිට්ටු-ඉඳිආප්ප කඩෙන් අරන් යන රාත්‍රී කෑමවේල රූපවාහිනිය ඉදිරිපිට සිට ගිලදමන ඔවුහු නැවතත් හෙට දවසේ යුද්ධය සඳහා සූදානම් වෙති. මේ සාමාන්‍ය නාගරික/ අර්ධ නාගරික ශ්‍රී ලාංකිකයාගේ සතියේ දිනවල ජීවන රටාවයි.

මේ ජිවන රටාව මැද වෙනත් දෙයක් ගැන හිත යොමු කිරීමට වෙලාවක් නැහැ. මේ නිසාම බොහොමයක් ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍යාරක්‍ෂිත බවින් අඩු ආහාර රටාවකට පුරුදු වෙලා සිටිනවා. මෙහිදී ඔවුන් සමබල ආහාර වේලක් ගැන තකන්නේම නැහැ. එපමණක් නොවෙයි McDonalds, KFC, Pizza hut වැනි සුපිරි (ලංකාවට) රසහල් කරා ඇදී යන්නත් ඔවුන් පෙළඹෙනවා.  ඔබ නොදන්නවාට  උදාහරණයක් වශයෙන් ගත්තොත්, Coca Cola කෑන් එකක සීනි ග්‍රෑම් 27 – 36 දක්වා ප්‍රමාණයක් අඩංගු වනවා. මෙයින් සිදු වන්නේ ශරීරයේ කොලෙස්ටරෝල් සහ සීනි තත්ත්‍ව ඉහළ යාමයි. හරි හැටි ව්‍යායාමයක් නොමැති ශරීරයකට මෙසේ අහිතකර ආහාර වැටෙන විට එහි බරපතලකම දෙගුණ තෙගුණ වෙනවා.

බොහොමයක් පෞද්ගලික අංශයේ සමාගම් වල දැන් දැන් සේවකයන්ට ව්‍යායාම් කිරීමට සහ ක්‍රීඩා කිරීමට පහසුකම් සළසා තිබෙනවා. එසේ නැතිනම් අවම වශයෙන් ශරීර සුවතා ව්‍යායාම් පහසුකම් සපයන ස්ථාන වලට යාමට මුදල් ලබා දෙනවා. මේ තත්ත්‍වය නිසා පෞද්ගලික සමාගම් වල සේවකයන් තරමක හෝ සෞඛ්‍ය සම්පන්නව සිටිනවා. නමුත් රාජ්‍ය අංශයේ මෙම තත්ත්‍වය දක්නට නැහැ. මේ නිසාම සේවකයන් ද ඒ පිළිබඳ සැළකිල්ලක් දන්වන්නේ නැහැ.

එසේමයි, කෙතරම් වෙලාව තිබුණත් ඉඩ පහසුකම් තිබුණත් තමන්ටම  කියා යමක් සිටවාගෙන ආහාරයට ගන්න සමහරු මැළිකමක් දක්වනවා. මෙය කෙතරම් හොඳ දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ග්‍රාමීය ජනතාව මේ දෙඅංශයෙන්ම තරමක් ඉදිරියෙන් සිටිනවා. ඹවුන් අවම වශයෙන් ව්‍යායාම නොකළත් තරමක් හෝ දුර පයින් ගමන් කිරීමෙන්, වත්තේ පිටියේ මහන්සි වී වැඩ කිරීමෙන් තමන් නොදැනීම වුවත්, සිය ව්‍යායාම අවශ්‍යතාවය සපුරා ගන්නවා. එසේම යමක් කමක් වවාගෙන කෑමෙන් අවම වශයෙන් සෞඛ්‍යාරක්‍ෂිතව යමක් ආහාරයට ගන්නවා.

පාන් වෙනුවට බත් කෑම මෙයට පිළියමක් වෙන්නේ නැහැ. එසේම වෛද්‍යවරුන්ගේ යුතුකමක් තිබෙනවා ඔවුන් වෙතට පැමිණෙන රෝගීන්ට යම උපදෙසක් දෙන්න. නමුත් ඔවුන් බලන්නෙත් කෙසේ හෝ තවත් රෝගියෙක් පරීක්‍ෂා කර තමන්ගේ ගණන වැඩි කර ගැනීමට.  මෙන්න මේ නිසා සමාජයේ ප්‍රජා සෞඛ්‍යා අංශයෙන් විශාල හිඩැසක් ඇතිවී තිබෙනවා.මෙවිට සිදු වන්නේ අපේ ජනතාව සෞඛ්‍ය අතින් පිරිහීමයි. සෞඛ්‍ය අතින් පිරිහුණු සමාජයක කාර්යක්‍ෂමතාවය පහළ යනවා, එවිට රටේ සංවර්ධනය අඩු වෙනවා.

මේ විදියට ගියොත්, ආසියාවේ ආශ්වර්යය ආසියාවේ රෝහල බවට පත් වෙන කාළය වැඩි ඈතක නොවන්න පුළුවන්.

2 thoughts on “අප කන හැටි ඩොකා දනී (ද ?) ඩොකා තියා මොකා වත් නොදනීද ?

  1. මේකට මුල වෙලා තියෙන්නේ මුළු ලෝකෙම කාර්මීකරණය වුන 1 ත් එක්ක, වැඩි වන ජනගහනයයි, ස්වාභවික සම්පත් මද කමේ අතුරු ප්‍රතිපලයි නේද? තමන්ට අවශ්‍ය දේ ලබාගන්න මිනිස්සුන්ට පුදුම ගේමක් දෙන්න වෙලා තියෙනවා….ඇත්තටම හොද පොස්ට් 1 ක්. මේ දේවල් මෙහෙමයි කියල කිවුවම තෙරුන් ගන්න පුළුවන් කෙනා තේරුම් අරන් හැදේවි නේ…

    1. මට හිතෙන විදියට නම් අපට තියෙන සම්පත් හරිහැටි කළමණාකරණය වීමක් වෙන්නෙත් නැහැ. හැරියට කළමණාකරණය කරගත්තොත් දැනට අපිට මේ ඇති….

      ඔබේ බ්ලොග් එකත් හරිම ඵලදායකයි… මෙහෙම හිතන අය කවදා හරි එකතු වෙලා යමක් කරන්න පුළුවන් නම් කොයි තරමි අගේද ? දිගටම සම්බන්ධ වෙලා ඉන්න….

      ස්තුතියි ප්‍රතිචාරයට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )