කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ මෙන්න මෙහෙමයි…..

අපි හැමෝම කුඩා කාළයේ පටන් අසා ඇති ප්‍රසිද්ධ කියමනක් තමයි “කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ” කියන දේ. බොහෝ විට පුස්තකාලවල ඇතුළු වන දෙරටුවේම මෙය ලියා තිබෙනවා හැමටම පේන්න… මෙය නිකංම නිකං කියමනක් නෙවා බව නම් පොත් පත් කියවන බොහො දෙනා දන්නවා. කියවීමෙන් අප සම්පූර්ණ වන්නේ අප ලබා ගන්නා දැනුමෙන් පමණක්ම නොවන බව නවතම පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳ Science සඟරාවේ පළවුන ලිපියක සරළ සිංහල පරිවර්තනය තමයි අද මේ ලිපියේ නිමිත්ත.

මිනිසා කියවීමට සහ ලිවීමට පටන් අරගත්තේ අවුරුදු 5000 ක් වැනි කෙටි කාළයක් තුළදීයි. පරිණාමයට අනුව නම් මෙය ඉතාම කුඩා කාලඡේදයක්. එසේ වුවත් ස්නායු විද්‍යාඥයින්ට නම් මිනිසාගේ මෙම හැකියාව තවමත් ප්‍රහේලිකාවක්. මක් නිසාද යත් විවිධ හැඩතල රටා භාෂාවක් ලෙස හඳුනාගැනීම සහ එය හැසිරවීම ඇත්තෙන්ම විශ්මයජනක කාර්යයක් නිසා. මේ සියල්ල සිදු වන්නේ මොළයේ විවිධ පරිපථ සම්පූර්ණ වීමෙන්. නමුත් මේ පරිපථ මොනවාදැයි යන්න දැනගැනීම තවමත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් බෙල්ජියම්, පෘතුගාල සහ බ්‍රසීල විද්‍යාඥයන් සමඟ අත්වැල් බැඳගත්තා. එහිදී ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 63 දෙනෙකුගේ මොළය පරිලෝකනය (Scan) කළා. මෙම 63දෙනා විවිධ කාණ්ඩයන්ට අයිති වුනා. ඉන් 31 දෙනෙක් කුඩා කළ සිටම කියවීමට මනස පුරුදු පුහුණු කළ අය; තවත් 22 දෙනෙක් කියවීමට පුරුදු වෙලා ඇත්තේ වැඩිහිටි වූ පසුවයි. ඒ 63 දෙනා අතර කියවීමට නොහැකි  10 දෙනෙකු ද ඇත්ළත් කරගත්තේ මෙයට පාලක පරීක්‍ෂණයක් ලෙස එක් කිරීමටයි.

මේ පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව කුමන අවදියේ පුහුණු වුවත් කියවීමට හැකි අයගේ මොළයේ කිහිප තැනක්ම කියවීමට ඇති වචන දුටු විට දැඩි ප්‍රතිචාර ලබා දුන්නා.  මේ අනුව ඔවුන් පවසා සිටියේ මෙම ස්ථාන වලින් මොළයේ වම් පැත්තේ පිහිටි අවමූර්ධ (Occipital) සහ ශංඛක (Temporal) කණ්ඩිකාවන් කියවීම සඳහා වැදගත් වන බවයි. කියවීමට හැකි අයගේ වම් ශංඛක කණ්ඩිකාව කථනයේදීද ප්‍රතිචාර දැක්වුවත්, කියවීමට නොහැකි අයගේ එසේ ප්‍රතිචාර දක්වා නැහැ. මෙයින් හැඟෙන්නේ කථනයේදී උපයෝගී කරගැනීමට පරිණාමය වූ මොළයේ පරිපථ යමක් කියවීම සඳහා ද මොළය විසින් උපයෝගී කරගනු ලබන බවයි. එනම්, මොළය විසින් මුලින්ම දැකීමට සහ කථනයට උපයෝගී කරගත් ප්‍රදේශම කියවීමටත් යොදා ගැනීම ඇත්තවශයෙන්ම කාර්යක්‍ෂම බව ඒ විද්‍යාඥයින් පවසනවා. නමුත් මෙහි අවාසියකුත් තිබෙනවා. විද්‍යාඥයින් සොයාගත් කරුණු අනුව, කුඩා කළ සිට කියවීම පුහුණු කළ අය මුහුණු හඳුනාගැනීම සඳහා මොළය භාවිතා කර ඇති ප්‍රමාණය කියවීමට නොහැකි අය ගේ එම ප්‍රමාණයට වඩා කුඩායි. ඒ අනුව ඔවුන් අපූරු තර්කයක් ගෙනෙනවා,  එනම්, මොළය කියවීම වෙනුවෙන් යොදවන ප්‍රදේශය වෙනත් කටයුතු සඳහා යොදාගනිමින් තරඟකාරීත්‍වයක් ඇති කරන බවයි. මේ නිසා කියවීමට ඉගෙන ගැනීම නිසා  යමෙකුගේ මුහුණ නැවත වරක් හඳුනාගැනීමේ හැකියාව අඩුවන බව සිදුවන්නේ දැයි යන්නට ඔවුන් දැන් පර්යේෂණ කරමින් පවතිනවා.  නමුත් ඔවුන් අනුමාන කරන්නේ මෙහි විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

කෙසේ වුවත් මෙම සොයාගැනීම අනුව භාෂාවක් කියවීමට මෙළයේ වම්පස  අවමූර්ධ (Occipital) සහ ශංඛක (Temporal) කණ්ඩිකාවන් වැදගත් වන බවට තිබූ මතය තහවුරු වන බව ස්ටැන්ෆර්ඩ් සරසවියේ ස්නායු විද්‍යාඥයෙක් වන බ්‍රයන් වැන්ඩෙල් පවසා සිටිනවා. මෙතෙක් කල් බොහෝ පර්යේෂකයන් සිතා සිටි පරිදි මොළය වයසට යත්ම නම්‍යශීලී නොවනවා ය යන්න මෙයින් අවලංගු වනවා. වැඩිහිටියන් වුවත් කියවීමට ඉගෙන ගැනීමේදී මෙම කොටස් ප්‍රයෝජනයට ගැනීමෙන්  පෙනී යන්නේ ජීවිත කාළය පුරාවටම ඉගෙනීමේ අගය අපට වැදගත් වන බවයි.

තවද, මෙයින් සනිථ වන්නේ කුඩාකළ සිටම කියවීමට හුරු කිරීමෙන් මොළයේ ඒ ඒ අදාල ප්‍රදේශවල වර්ධනයයි. එසේම පිසල් යාමෙන් සිදු වන්නේත් මෙසේ කියවීමට ලිවීමට මනස හුරු පුරුදු කිරීමයි. ඉතිං නිකං ඉන්න වෙලාවට TV බල බලා ඉන්න දරුවන් පුරුදු කරන්නේ නැතිව පොතක් පතක් කියවන්න පුරුදු කළොත් නරක නෑ නේද ?

අඩෝව්….. ! උඹලා අපට බදු ගෙවලා උගන්නලා මෙහෙම අනාත කළා නං රස්සාවලුත් දීපල්ලා……..

අද මේ ලිපියේ නිමිත්ත වන්නේ අපේ උසස් අධ්‍යාපන ඇමති එස් බී කියපු කතාවක්… කියවන්න කැමති අය මෙතැනින් බලන්න…. මම මේ ලිපිය දිහා ගොඩ දවසක් ඇහැ ගහගෙන හිටියේ කරුණු ගණනාවක් නිසා… එකක් කමයි මේ ලිපියට පසුකථනයක් දෙන්න මට වෙලවක් නොමැති වීම. දෙවැන්න තමයි මේ ලිපියට ලංකාවේ ලිං මැඩියෝ මොනවද කියන්නේ සහ ලිඳෙන් එගොඩ වෙච්චි මැඩියෝ මොනවද කියන්නේ කියන එක දැනගන්න…. අනෙක තමයි අපේ දැන උගත් කවුරු හරි මහතෙක් එස් බී ට පිළිතුරක් දේවිද කියන එක… මෙයින් පළමු කාරණා දෙක සම්පූර්ණ වුවත්, තෙවැන්න නම් කවුරුවත් සම්පූර්ණ කළේ නැහැ..මොනවද මේ එස් බී කිව්වේ ?

එස් බී කිව්වේ උපාධිධාරීන්ට රැකියාවක් ලැබෙනතෙක් වේටර්කමක් කළත් කමක් නෑ කියලයි. මේක අහපු අපේ සමහර අයට නං හොඳටම රිදුනා. ඔවුන්ගේ ආත්මාභිමානය නැතිබැරිකම අභිබවා ගිහින්, “පස්ස බිම ඇණුනත් ගමන උඩින්“ ජාතියේ පොර ටෝක් දැම්මා… මට නං හිතෙන්නේ එස් බී කියපු කතාව හරියි කියලයි. අපේ තරුණ පරපුර (සහ නාකි පරපුර) බොහෝ සමාජයීය බැමි ආකල්ප ආදියෙන් සිත් පුරවගෙන ඉන්න කාණ්ඩයක්. ලංකාවේ බොහෝ දෙනා හිතන් ඉන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ හෝඩියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ උගන්වලා විශ්ව විද්‍යාලයෙන් පිටවන විටම රජයේ රැකියාවක් දිය යුතු දෙයක් කියලා. ඔවුන් ඉන්නේ තමන් කෙසේ විභාගය සමත් වුනත්, තමන්ගේ හැකියාවන් කෙසේ වුවත්, රජය තමන්ට රැකියාවක් දිය යුතුයි කියන මානසිකත්‍වයේ.

දියුණු රටවල ( දියුණු සහ නොදියුණු රටවල් වෙනුවට “ඇති“ සහ “නැති“  Legacy – Non Legacy ලෙස හැඳින්වීමට මා වඩාත් කැමතියි, මක් නිසාද යත් බොහෝ ඇති රටවල් අනෙක් අංශයන්ගෙන් දියුණු නැති නිසා) මේ තත්ත්‍වය වෙනස්. ඒවායේ තරුණ පරපුර කුමක් හෝ රැකියාවක් කර ජීවිතයට අත්දැකීම් සහ යමක් කමක් එක් කරගන්නවා. බොහෝ රටවල ග්‍රීස්ම ඍතුව පාසල් සහ විශ්ව විද්‍යාලවලට නිවාඩු ලබා දී ඇත්තේ ළමුන්ට විවේකය දීමට මෙන්ම, ඔවුනට විවිධ අත්දැකීම් ලැබීමට. සමහරු පිටරටවල සංචාරය කරනවා. තවත් සමහරු රැකියා කර ඉදිරි කාළයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගන්නවා. තවත් සමහරු වෙනත් වෙනත් පාඨමාලා හදාරා දැනුම සම්පූර්ණ කර ගන්නවා. මේ අයුරින් ඔවුන් ග්‍රීස්ම ඍතුව ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නවා.

මා ආචාර්ය උපාධියට වැඩ කරන සමයේ අප විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ රැකියා බලාපොරොත්තු වන්නන්ගේ සමුළු ගණනාවකට සහභාගී වුනා. ඒ එකක තේමාව වූයේ “ජීව දත්ත සටහනේ හිස්තැන්“ (Blank periods in the resumé) යන්නයි. එහිදී අවධාරණය කෙරුණු වැදගත්ම කරුණ නම් බොහෝ සේවා ස්ථාන සහ සම්මුඛ පරීක්‍ෂණ වලදී සළකා බලන එක් කරුණක් වන්නේ අදාල අපේක්‍ෂකයා එක දිගට රැකියාවක හෝ යම් වැදගත් දෙයක් නියැලී ඇත් ද යන්නයි. එහිදී ඔවුන් සළකා බලන්නේ මෙම අපේක්‍ෂකයා උත්සාහවන්තද ? ධෛර්යයවන්තද ? ආදී දේයී. එහිදී ඔවුන් නියැලෙන රැකියාව කුමක් ද යන්න අදාල වන්නේ නැහැ. එහිදී ඔවුන් පැවසූ ප්‍රධානම දේ තමයි, “ ආපනශාලාවක වේටර් තනතුරක් දැරීම වුවත් වෙනත් රැකියාවකට සුදුසුකමක් වන බව“ යි. මෙය මෙසේ වන්නේ කෙසේද ? ආපන ශාලාවක වේටර් කමක් යනු යමක් පිළිවෙලට, පරිස්සමට සහ වඩාත්ම වැදගත් දේ වන නිහතමානීව යමෙකුට සේවය කිරීම උගන්වන තැනක්. මෙහි දී ඉවසීම, ක්‍රමාණුකූල බව, ආචාරශීලිත්‍වය, ආදී බොහෝ හොඳ ගුණාංග ඉගැන්වෙනවා. මෙය පහත්වොට සැළකිය හැකි රැකියාවක් නොවෙයි.

ලංකාවේ තත්ත්‍වය වෙනස්. ලංකාවේ හෝටල දෙවර්ගයක් තිබෙනවා. කුඩා කෑම හල් බොහොමයක් හෝටල ලෙස හඳුන්වනවා. ඒවායේ වැඩ කරන වේටර්වරුන් ඇත්තටම මේ ගුණාංග පුරුදු පුහුණු කළ අය නොවෙයි. එසේම තරු ගණයේ හෝටල් මේ ගුණාංග ඇති වුවත්, ඒ සඳහා හෝටල් පාසලක ඉගෙන ගැනීම වැනී විශේෂ ප්‍රාගුණ්‍යික සුදුසුකම් අනිවාර්යයි. මේ නිසා  සාමාන්‍ය පෙළ පමණක් සමත්ව හෝටල් පාසලේ උගත් තරුණයාගේ සුදුසුකම් රැකියාවක් නැතිව පාරේ අවුරුදු ගණනක් පිකටින් කළ උපාධිධාරියාගේ සුදුසුකම් අභිබවා යනවා. එසේම බොහෝ උපාධිධාරීන් පාර අයිනේ ඇති තෝසේ හෝටල වල සේවය කරන්න කැමති නෑ ඔවුන්ගේ ඩිග්නිටි එකට (Dignity – ගරුත්‍වය) හානි වන නිසා. නමුත් ඔවුන් තම අසරණ දෙමාපියන් අමාරුවෙන් හම්බ කරන දේ ගිලදමා, ලිප්ටන් වටරවුමට එනවා පිකටින් කරන්න… ඒ ගැන සිතන්නට තරම් අධ්‍යාපනික වත්කමක් ඔවුනට නැහැ.

මේ රැකියා විරහිත තත්ත්‍වය ඇත්තේ කලා සහ වානිජ උපාධිධාරීන්ට පමණක් දැයි මා දන්නේ නැහැ. නමුත්, උවමනාවක් ඇත්නම් කුමක් හෝ රැකියාවක් සොයා ගැනීම අපහසු නැති බවයි මගේ නම් හැඟීම. සිදු නොවන්නේ උවමනාවක් ඇති වීමයි. බොහෝ උත්සාහවන්ත තරුණ තරුණියන් සිය සුදුසුකම් සපුරා ගන්නේ ස්වෝත්සාහයෙන්. පෞද්ගලික අංශයේ රැකියාවකට නම් දැන් ඉංග්‍රිසි කථන හැකියාව නැතිවම බැහැ. එසේමයි පරිඝණක දැනුම. මේ දෙඅංශයේ සුදුසුකම් නැතිව පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවකට යන්න බැහැ. මේ නිසාම තමයි සමහර තරුණ තරුණියන් රාත්‍රී කාළයේදී පවා මේ පෞද්ගලික පන්තිවලට ගොස් තම හැකියාවන් දියුණු කරගන්න තනන්නේ.  නමුත් අපේ සාමාන්‍ය විශ්වවිද්‍යාල සිසුවා මේ තත්ත්‍වයට මුහුණ දෙන්නේ වෙනස් ආකාරයකට, ඒ සිය රැකියා පරමාර්ථය රාජ්‍ය අංශය වෙත යොමු කිරීමෙන්. මෑතකදී කළ සමීක්‍ෂණයකට අනුව විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සියයට 60 ක් පමණ කැමැත්ත දක්වා ඇත්තේ රාජ්‍ය අංශයේ රැකියා වලට. රාජ්‍ය අංශයේ වැටුප් පෞද්ගලික අංශයේ වැටුප් වලට වඩා අඩු බව දැන දැනත් ඔවුන් එසේ තෝරාගන්නේ අඩුවෙන් වැඩ කර හෝ නිකම්ම සිට වැටුප් ලබා ගැනීමේ පරමාර්ථයෙන් වන්නට ඇති බවයි මගේ හැඟීම. දියුණු වන්නට තැත් කරන්නෙක් තම සේවයට වැඩි මුදලක් ලබා ගන්නට උත්සාහ කරන බව මා අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. එසේ වුවත් ඔවුන් මෙසේ පහසු මාර්ගය කරා ඇදෙන්නේ සිය දුර්වලතා වසා ගැනීමට සහ අලසකම නිසා බවයි මට සිතෙන්නේ. මා දන්නා පරිදි බොහෝ දුරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා විදේශගත වන තරුණ පිරිස එසේ කරන්නේ ස්වෝත්සාහයෙන්. ඔවුන් TOEFL, GRE, හෝ වෙනත් විභාගවලට මුහුණ දී සිය ඉලක්ක කරා ගමන් කරනවා. එසේම ඔවුන් පිටරටවලදී ගත කරන ජීවිත සියළු සැප සම්පත් සපිරි ජීවිත නොවෙයි. සමහර විට සිය නවාතැන වන්නේ කිහිප දෙනෙකු පොදුව ජීවත් වන නිවසක්. එසේම ඔවුන් නිවස පිරිසිදු කිරීම උයා පිහා ගැනීම වැනි කටයුතු තනිව හෝ කණ්ඩායමක් වශයෙන් සිදු කළ යුතුයි. ඒ ඒ රටේ නීති රීති වලට ගරු කරමින් තම අධ්‍යාපන කටයුතු කළ යුතුව වෙනවා.එපමණක් නොවෙයි අහස උසට වැඩ….  ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ කරනවා නම් සතියකට අවම වශයෙන් පැය 70 – 80 අතර පර්යේෂණාගාරයේ වැඩ කළ යුතුව තිබෙනවා. එසේ නැත්නම් යන්න වෙන්නේ ගෙදර තමයි. ඒ රටවල සිසුන් සඳහා වෘත්තීය සමිති නැහැ. මහාචාර්යවරයා යන්න කිවුවොත් වෙන තැනක් හොයාගෙන යන්න වෙනවා. එහෙමත් නැත්නම් ගෙදර යන්න වෙනවා. ශිෂ්‍යභාවය අහෝසි වුනාට පසු විශ්ව විද්‍යාලයේ පරිපාලක ගොඩනැගිල්ල වටලනවා බොරු.. එහෙම කළොත් ඉතින් කූඩුවේ තමයි.එසේමයි… ආචාර්ය උපාධි හදාරන සිසුන්ට තම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට, රසායනාගාරවලට අදාල යතුරු ලබා දී තිබෙනවා. සමහර විට රෑ එළිවනතුරු පරීක්‍ෂණ පැවැත්වෙන වෙලාවල් තිබෙනවා…මේවායේ අපට ඉල්ලීම් කරන්න බැහැ. සාධාරණව සාකච්ඡා කර යමක් ලබා ගන්නවා මිස තර්ජනය කරන්නට ගියොත් යන්න වෙන්නේ ගෙදර තමයි.

මේ වගේ කැපකිරීම් කරලා තමයි බොහෝ දෙනා සාර්ථකත්‍වයට පැමිණෙන්නේ… මේ ලිපිය කියවන බොහොමයක් දෙනා දන්නවා No Pain- No Gain කියන කියමන……

මම නම් හිතන්නේ අපේ තරුණ පරපුරට තමන්ගේ අනාගතය තමන්ම සකසාගත යුතු බව සිතන්න ඕන කාළය බොහෝ දුරට පහු වෙලා.. දැන්වත් අනුන් රැකියා සොයා දෙනතුරු නොසිට, තමන්ට හැකි ප්‍රමාණයෙන් යමක් කරන්න පටන් ගත්තොත් ස්වල්ප කාළයකින් ඒවායේ ප්‍රතිඵල තමන්ටම දැනේවි. මේ අතර බුද්ධිමත් තරුණ තරුණියන් නැතුවාම නොවෙයි. සමහරු, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවා රැකියාවක් ලැබෙනතුරු තම ගෙවත්ත වගාකර ඉන් ආදායම් ලැබූ බව පුවත්පත් වල පවා සඳහන්ව තිබුනා. එපමණක් නොවෙයි අයෙක් මෙසේ වගා කර සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ලද අත්දැකීම් යොදවා එය සාර්ථක ව්‍යාපාරයක් බවට හරවුගත් අයුරු ද පුවත්පතක පළ වී තිබුණා..

ඉතින් තමාගේ අනාගතය සරුසාර කරන්නට අනුන් රැකියාවක් ලබාදෙනතුරු නොසිට, කුමක් හෝ පටන් ගත්තොත් කුමක් හෝ කොණක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. වැරදිලාවත් වේටර් කෙනෙක් වෙලා කවුරු හරි වැදගත් කෙනෙකුට හොඳට සළකලා ඒ මාර්ගයෙන් රස්සාවක් හෝ එහෙමත් නැත්නම් පරස්තාවක් වුනත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. බුදු රජානන් වහන්සේගේ කාළයේ මී කුණකින් පටන් අරන් සිටු වරයෙක් බවට පත් වූ තරුණයාගේ කතාව ආදර්ශයට අරන් අද පටන් වත් දෙමාපියන්ට බරක් නැතිව යමක් කමක් කළොත් හොඳයි නේද ? පොඩ්ඩක් හොයලා බැලුවොත් ටියුෂන් පාරක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. බොහොමයක් මුදල් හදල් ඇති පවුල් පැයට රු 500කට වඩා ගෙවන්න කැමතියි…. ඒ වගේ දවසකට පැය කිහිපයක් උගැන්නුවොත් අවම වශයෙන් අන්තරේට පෝස්ටර් ගන්නවත් සල්ලි ටික යොදවන්න බැරියැයි මං අහන්නේ ?………………. අනේ මන්දා… මේ මට හිතෙන හැටි……

 

සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, ඩාන්සින් ස්ටාර්, මෙගා ස්ටාර්, රියැලිටි ස්ටාර්, සහ පෝන් ස්ටාර්

සිරි ලංකාවේ ඉස්ටාර් වර්ග බොහොමයකි. සිරසෙන් ඇරඹුන සුපර් ස්ටාර් උන්මාදය රටේ පවතින හැම නාලිකාවක්ම හරහා හඹා ගොස් දැන් රටේ ඉස්ටාර්ලා වැහි වැහැලාය. ඒ කෙතරම් ද කියතොත් අපේ රටේ දැන් රෑටත් දවල් වගේය… හරිම එළියය…. මෑතදී මේ ඉස්ටාර් ලා අතරින් ලොකුම ඉස්ටාර් හොයන්න ගිහින් හරිම ජංජාලයක් උනාය කියා ආරංචිය. හරිම මරු ය…. දේශපාලුවන් සිංදු කියති. බයිලා කාරයන් රට පාලනය කරති…. අනේ අපේ රටට ගිය කළ….. !

මේ හතු පිපෙන්නා වාගේ බිහි වූ ඉස්ටාර් ලා දැන් කොහේ දැයි හොයාගන්නවත් නැත… ඉඳලා හිටලා  එහෙන් මෙහෙන් කෙඳිරි ගානවා ඇසුනත් එයින එහාට වැඩි සද්දයක් ඇහෙන්නේ නැත… අපේ කන්වල දෝසයක් ද මන්දා…. අළුතෙන්ම මේ ඉස්ටාර් ගොන්නට එකතු වෙන්න යන ඉස්ටාර් ලා දෙවර්ගයක් ගැන මේ ළඟදී පුවත්පත් වල තිබුනා. එක වර්ගයක් නම් දැන් යුද්දෙන් පස්සේ කරන්න දෙයක් නැති රණවිරු ස්ටාර්ලාගේ සේවය අගයනු වස් ඔවුන්ගේ දක්‍ෂතා පෙරට ගෙන ඒමට කරන සත් ක්‍රියාවක් වන අතර අනෙක් ඉස්ටාර් වර්ගය අපේ කට්ටියගේ වලත්තකම් නිසා සිය රූපය සහ ආත්මය දැන හෝ නොදැන පාවාදුන් Porn Star වේ. මේ දෙවර්ගය අහසට පොළව මෙනි…

ලංකාවේ බොහොමයක් රණවිරු ස්ටාර් ලා ගමෙන් ආ කොල්ලන් ය.  ගාමන්ට් වල රස්සාවට යනවාට වඩා ආමි එකට යාම සුදුසු යැයි සිතීමත්, ඉන් ලැබෙන සමාජයීය තත්ත්‍වයත් විරුකියාවත් නිසා බොහෝ තරුණයන් ත්‍රිවිධ හමුදාවට බැඳීම සාමාන්‍ය දෙයක් විය. මහින්දගේ පුතු යෝෂිත හැරෙන්නට නමට වත් ත්‍රිවිධ හමුදාවට බැඳුන එක් හෝ දේශපාලු පුතෙකු සොයා ගැනීමට අසීරුය. යම් පමණකට හෝ උගත් තරුණයෝ ඉහළ නිළධාරී මට්ටම් වලට ත්‍රිවිධ හමුදාවට බැඳුනද, මේ එක් අයෙකු වත් ත්‍රස්තවාදීන් මරා මියෙම් යැයි සිතා බැඳුනෝ නොවෙති. එසේ වුවද, මූලික පුහුණුවෙන් සහ යුධ බිමේ අත්දැකීම් වලින් පසු ඔවුන්ගේ ලයෙහි අන් කිසිවකුට නොදෙවෙනි දේශානුරාගයක් ඇති වීම දැඩි ලෙස පැසසිය යුතු සහ අගය කළ යුතු ක්‍රියාවලියකි. ඒ නිසාම ඔවුහු අපගේ වීරයන් වේ. මේ වීරයන්ට ජාතිය ප්‍රණාමය පුද කරන අයුරු ද විවිධාකාර වේ. එසේ වුවද, දැන් දැන් ඔවුනට යම් යම් සේවාවන් හිදී ප්‍රමුඛස්ථානය ලැබීම, සහ ආබාධිත රණවිර්වනට යම් තරමකට හෝ ලැබෙන සැලකීම් පැසසිය යුතු කරුණු වේ. මේ නිසාම රණවිරු රියැලිටි ස්ටාර් වැඩසටහන පැසසිය යුතු කටයුත්තක් බව නොකිවමනාය. එසේම මේ තරඟයේ විනිශ්චයන් සළකා බැලීම අන් රියැලිටි ස්ටාර් වලා වඩා වෙනස් වීම ද පැසසිය යුතුය.

මේ ඉස්ටාර් ලා අතර දැන් අළුතෙන්ම අසන්නට ලැබෙන ඉස්ටාර්ලා වන්නේ Porn Star ලාය. මේ අයගේ කතාව ඉහත කී සියළුම ඉස්ටාර්ලාට වඩා වෙනස් වේ. බොහොමයක් දෙනා සිය ඉඳුරන් පිනවා ගන්නට ගොස් වැරදි පාරට වැටුන ඉස්ටාර්ලා වෙති. තවත් සමහරු සිය පෙම්වතා හෝ අනියම් පෙම්වතා හෝ අන් අයෙකුගේ රැවටීමට හසුව නොදැනීම  Porn Star  ලා වුන උදවිය වෙත්. මොවුන් දෙගොල්ලෝම ශ්‍රී ලාංකික සමාජයේ අසරණ වූ මිනිස් කොට්ඨාසයක් නියෝජනය කරන පැතිකඩකි. එසේ වුවද, ඔවුන් මේ තත්ත්‍වයට වැටීම පිළිබඳව ඔවුන් ද විශාල වගකීමක් දැරිය යුතුය.

වැඩිහිටියන් වන අප කරන කියන සෑම දෙයකම වගකීම අප සතුය, එසේ වුවද, ලංකාවේ සිදු නොවන්නේ ද මෙයයි. කිසිවකු- කිසිවක් පිළිබඳ වගකීමක් නොදරයි. රෝහලේ හෙදියකගේ හෝ වෛද්‍යවරයෙකුගේ අතපසු වීමකින් රෝගියෙකු මළොත්, ඒ පිළිබඳ සරළ පරීක්‍ෂණයක් කෙරේ ( හෝ නොකෙරේ) මියගිය රෝගියා හෝ පවුලේ අයට ඉතිරි වන්නේ වේදනිව පමණි. කිසිවකු වගකීමක් නොදරයි. පෞද්ගලික බස් වලට යටවී මියයන මගියාට  හෝ පවුලේ උදවියට කිසිදු සාධාරණයක් සිදු වේද ? එහි වගකීම දරන්නේ කවුරුන්ද ? මේ ලංකාවේ අය වගකීම් දරන අයුරුයි. එසේ වුවද, මේ සෑම දෙනාම තම තමන්ගේ යුතුකම් අරභයා නොපසුබටව පාරට බැස අරගල කිරීමට නිරන්තරව සූදානම් ය.

දැන් මේ අපේ සදාචාරාත්මක සංස්කෘතික පොලීසිය හදන්නේ මේ Porn Star ලාගේ ජායාරූප ප්‍රසිද්ධ කිරීමටයි. එසේ ප්‍රසිද්ධ කර ඔවුන් නීතියේ රැහැනට හසුකරගැනීමට උත්සාහයක් දරනවා විය හැකිය. මේ පිළිවෙත මුලින්ම සිතට ආ අයින්ස්ටයින්ගේ බුද්ධිය හා සමාන බුද්ධියක් ඇති ප්‍රාඥයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. දැන් කළ යුතු එකම දේ මෙයයි. රට යුද්ධයෙන් නිදහස් ය, මත් කුඩු වලට එරෙහිව කරන යුද්ධයත් ළඟදීම නිම වනු ඇත. පාන් පිටි ත්‍රස්තවාදයත් ළඟදීම අවසන් වනු ඇත. රට සහළෙන් ස්වයංපෝෂිත වී ජනයා සුඛිත මුදිත වනු ඇත. ජනතාව සිල්වත් ගුණවත් ජාතියක් කිරීම අරභයා  මෙසේ අවලං වැඩවලට සම්බන්ධ වූ සියළුම දෙනාගේ ඡායාරූප ප්‍රසිද්ධියේ පළ කර ඔවුන් වහා සිරගත කළ යුතුය. රටේ වංචාව දූෂණය සහ නාස්තිය නැති නිසා ඒ පිළබඳ කතා කළ යුතු නැත. මේ Porn Star ලා 100 දෙනා සිරගත කළ පසු රට ලෝකයේම හොඳම සිල්වත් රාජ්‍යය වනු ඇත. ඊට පසු මෙහි පැමිණෙන සංචාරකයන්ට සූදු කෙළින්නට වෙනම කලාපයක් ඇති කළ යුතුය…. සුද්දන්ගේ මුදල් සියල්ල සූරාගෙන ඒ මඟින් රට සරුසාර කළ හැක….. ඒ සූදු කෙළින සුද්දන්ට කාමයේ වරදවා (හෝ හරිහැටි) හැසිරීම තහනම් කළ යුතුය.. එසේ හැසිරෙන එවුන්ගේ අරක කපා ඉවත් කළ යුතුය…..

මේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්නට සිතුන අයින්ස්ටයින්ට නොපෙනෙන පැත්ත මෙයයි. මේ තරුණයා හෝ තරුණිය, කාගේ හෝ දරුවෙකි, සහෝදරයෙකි, සහෝදරියකි, සමහර විට මවකි, පියෙකි. ඉරිදා දිවයින පත්‍රෙය් සඳහන් වන අන්දමට ඔවුන් බොහෝ දෙනෙකු ගමේ කෙල්ලන්ය…. සමහර විට ඔවුන් රුපියල් 50,000 ක් ලබාගෙන පාන් සහ පොල් සම්බෝල වැනි සුඛොපභෝගී කෑම වේලක රස බැලීමට අදහස් කළා විය යුතුය. ඔවුන් දැන හෝ නොදැන කළ දේ වැරදිය. එසේ වුවද එක් වරක් හෝ කිහිප වරක් විනාශ වූ ඔවුන්ගේ ආත්මයම මෙසේ නැවත් වරක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම සමහර විට මේ අයගෙන් කිහිප දෙනෙකුගේ  ජීවිත හෝ ඔවුනට සම්බන්ධ අයගේ ජීවිත කිහිපයක අවසානය විය හැක.  සිරි ලංකාව කුඩා රටකි. මෙහි වෙසෙන සියළුම දෙනා කවරකුගේ හෝ සමීප හිතවතෙකි. මේ ඡායාරූප ප්‍රසිද්ධ කළ පසු ඔවුන් කාගේ කවුරුන්ද යන්න ප්‍රචලිත වීමට වැඩි වේලාවක් ගත නොවනු ඇත. මේ Porn Star  ලාට ලැජ්ජාව බය නොමැති වුවද, ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීනට ලැජ්ජා-බය ඇත. මෙයින් විනාශ වන්නේ සමාජයයි. ඔවුන් අත් අඩංගුවට ගැනීම වෙනම දෙයකි. නීතියක් ඇත්නම් නීති මඟින් කටයුතු කළ හැක…

එසේත් නැත්නම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් නවතම රියැලිටි වැඩසටහනක් ඇරඹිය හැක….. සිරස පෝන් ස්ටාර්, දෙරණ පෝන් ස්ටාර්, ස්වර්ණවාහිනී මෙගා පෝන් ස්ටාර්…. ආදී වශයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරයක් දී මෙය කළ හැක…… ඒ සඳහා ඉදිරිපත් වන්නට ද බොහෝ දෙනා එනු ඇත… ඔවුනට අවශ්‍ය තම ආත්මයම පාවා දී හෝ මොකක් හෝ ඉස්ටාර් කෙනෙකු වීමටය…… සිරි ලංකාවේ “සම-හරක්“ අය හිතන්නේ එහෙමය…..