සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, ඩාන්සින් ස්ටාර්, මෙගා ස්ටාර්, රියැලිටි ස්ටාර්, සහ පෝන් ස්ටාර්

සිරි ලංකාවේ ඉස්ටාර් වර්ග බොහොමයකි. සිරසෙන් ඇරඹුන සුපර් ස්ටාර් උන්මාදය රටේ පවතින හැම නාලිකාවක්ම හරහා හඹා ගොස් දැන් රටේ ඉස්ටාර්ලා වැහි වැහැලාය. ඒ කෙතරම් ද කියතොත් අපේ රටේ දැන් රෑටත් දවල් වගේය… හරිම එළියය…. මෑතදී මේ ඉස්ටාර් ලා අතරින් ලොකුම ඉස්ටාර් හොයන්න ගිහින් හරිම ජංජාලයක් උනාය කියා ආරංචිය. හරිම මරු ය…. දේශපාලුවන් සිංදු කියති. බයිලා කාරයන් රට පාලනය කරති…. අනේ අපේ රටට ගිය කළ….. !

මේ හතු පිපෙන්නා වාගේ බිහි වූ ඉස්ටාර් ලා දැන් කොහේ දැයි හොයාගන්නවත් නැත… ඉඳලා හිටලා  එහෙන් මෙහෙන් කෙඳිරි ගානවා ඇසුනත් එයින එහාට වැඩි සද්දයක් ඇහෙන්නේ නැත… අපේ කන්වල දෝසයක් ද මන්දා…. අළුතෙන්ම මේ ඉස්ටාර් ගොන්නට එකතු වෙන්න යන ඉස්ටාර් ලා දෙවර්ගයක් ගැන මේ ළඟදී පුවත්පත් වල තිබුනා. එක වර්ගයක් නම් දැන් යුද්දෙන් පස්සේ කරන්න දෙයක් නැති රණවිරු ස්ටාර්ලාගේ සේවය අගයනු වස් ඔවුන්ගේ දක්‍ෂතා පෙරට ගෙන ඒමට කරන සත් ක්‍රියාවක් වන අතර අනෙක් ඉස්ටාර් වර්ගය අපේ කට්ටියගේ වලත්තකම් නිසා සිය රූපය සහ ආත්මය දැන හෝ නොදැන පාවාදුන් Porn Star වේ. මේ දෙවර්ගය අහසට පොළව මෙනි…

ලංකාවේ බොහොමයක් රණවිරු ස්ටාර් ලා ගමෙන් ආ කොල්ලන් ය.  ගාමන්ට් වල රස්සාවට යනවාට වඩා ආමි එකට යාම සුදුසු යැයි සිතීමත්, ඉන් ලැබෙන සමාජයීය තත්ත්‍වයත් විරුකියාවත් නිසා බොහෝ තරුණයන් ත්‍රිවිධ හමුදාවට බැඳීම සාමාන්‍ය දෙයක් විය. මහින්දගේ පුතු යෝෂිත හැරෙන්නට නමට වත් ත්‍රිවිධ හමුදාවට බැඳුන එක් හෝ දේශපාලු පුතෙකු සොයා ගැනීමට අසීරුය. යම් පමණකට හෝ උගත් තරුණයෝ ඉහළ නිළධාරී මට්ටම් වලට ත්‍රිවිධ හමුදාවට බැඳුනද, මේ එක් අයෙකු වත් ත්‍රස්තවාදීන් මරා මියෙම් යැයි සිතා බැඳුනෝ නොවෙති. එසේ වුවද, මූලික පුහුණුවෙන් සහ යුධ බිමේ අත්දැකීම් වලින් පසු ඔවුන්ගේ ලයෙහි අන් කිසිවකුට නොදෙවෙනි දේශානුරාගයක් ඇති වීම දැඩි ලෙස පැසසිය යුතු සහ අගය කළ යුතු ක්‍රියාවලියකි. ඒ නිසාම ඔවුහු අපගේ වීරයන් වේ. මේ වීරයන්ට ජාතිය ප්‍රණාමය පුද කරන අයුරු ද විවිධාකාර වේ. එසේ වුවද, දැන් දැන් ඔවුනට යම් යම් සේවාවන් හිදී ප්‍රමුඛස්ථානය ලැබීම, සහ ආබාධිත රණවිර්වනට යම් තරමකට හෝ ලැබෙන සැලකීම් පැසසිය යුතු කරුණු වේ. මේ නිසාම රණවිරු රියැලිටි ස්ටාර් වැඩසටහන පැසසිය යුතු කටයුත්තක් බව නොකිවමනාය. එසේම මේ තරඟයේ විනිශ්චයන් සළකා බැලීම අන් රියැලිටි ස්ටාර් වලා වඩා වෙනස් වීම ද පැසසිය යුතුය.

මේ ඉස්ටාර් ලා අතර දැන් අළුතෙන්ම අසන්නට ලැබෙන ඉස්ටාර්ලා වන්නේ Porn Star ලාය. මේ අයගේ කතාව ඉහත කී සියළුම ඉස්ටාර්ලාට වඩා වෙනස් වේ. බොහොමයක් දෙනා සිය ඉඳුරන් පිනවා ගන්නට ගොස් වැරදි පාරට වැටුන ඉස්ටාර්ලා වෙති. තවත් සමහරු සිය පෙම්වතා හෝ අනියම් පෙම්වතා හෝ අන් අයෙකුගේ රැවටීමට හසුව නොදැනීම  Porn Star  ලා වුන උදවිය වෙත්. මොවුන් දෙගොල්ලෝම ශ්‍රී ලාංකික සමාජයේ අසරණ වූ මිනිස් කොට්ඨාසයක් නියෝජනය කරන පැතිකඩකි. එසේ වුවද, ඔවුන් මේ තත්ත්‍වයට වැටීම පිළිබඳව ඔවුන් ද විශාල වගකීමක් දැරිය යුතුය.

වැඩිහිටියන් වන අප කරන කියන සෑම දෙයකම වගකීම අප සතුය, එසේ වුවද, ලංකාවේ සිදු නොවන්නේ ද මෙයයි. කිසිවකු- කිසිවක් පිළිබඳ වගකීමක් නොදරයි. රෝහලේ හෙදියකගේ හෝ වෛද්‍යවරයෙකුගේ අතපසු වීමකින් රෝගියෙකු මළොත්, ඒ පිළිබඳ සරළ පරීක්‍ෂණයක් කෙරේ ( හෝ නොකෙරේ) මියගිය රෝගියා හෝ පවුලේ අයට ඉතිරි වන්නේ වේදනිව පමණි. කිසිවකු වගකීමක් නොදරයි. පෞද්ගලික බස් වලට යටවී මියයන මගියාට  හෝ පවුලේ උදවියට කිසිදු සාධාරණයක් සිදු වේද ? එහි වගකීම දරන්නේ කවුරුන්ද ? මේ ලංකාවේ අය වගකීම් දරන අයුරුයි. එසේ වුවද, මේ සෑම දෙනාම තම තමන්ගේ යුතුකම් අරභයා නොපසුබටව පාරට බැස අරගල කිරීමට නිරන්තරව සූදානම් ය.

දැන් මේ අපේ සදාචාරාත්මක සංස්කෘතික පොලීසිය හදන්නේ මේ Porn Star ලාගේ ජායාරූප ප්‍රසිද්ධ කිරීමටයි. එසේ ප්‍රසිද්ධ කර ඔවුන් නීතියේ රැහැනට හසුකරගැනීමට උත්සාහයක් දරනවා විය හැකිය. මේ පිළිවෙත මුලින්ම සිතට ආ අයින්ස්ටයින්ගේ බුද්ධිය හා සමාන බුද්ධියක් ඇති ප්‍රාඥයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. දැන් කළ යුතු එකම දේ මෙයයි. රට යුද්ධයෙන් නිදහස් ය, මත් කුඩු වලට එරෙහිව කරන යුද්ධයත් ළඟදීම නිම වනු ඇත. පාන් පිටි ත්‍රස්තවාදයත් ළඟදීම අවසන් වනු ඇත. රට සහළෙන් ස්වයංපෝෂිත වී ජනයා සුඛිත මුදිත වනු ඇත. ජනතාව සිල්වත් ගුණවත් ජාතියක් කිරීම අරභයා  මෙසේ අවලං වැඩවලට සම්බන්ධ වූ සියළුම දෙනාගේ ඡායාරූප ප්‍රසිද්ධියේ පළ කර ඔවුන් වහා සිරගත කළ යුතුය. රටේ වංචාව දූෂණය සහ නාස්තිය නැති නිසා ඒ පිළබඳ කතා කළ යුතු නැත. මේ Porn Star ලා 100 දෙනා සිරගත කළ පසු රට ලෝකයේම හොඳම සිල්වත් රාජ්‍යය වනු ඇත. ඊට පසු මෙහි පැමිණෙන සංචාරකයන්ට සූදු කෙළින්නට වෙනම කලාපයක් ඇති කළ යුතුය…. සුද්දන්ගේ මුදල් සියල්ල සූරාගෙන ඒ මඟින් රට සරුසාර කළ හැක….. ඒ සූදු කෙළින සුද්දන්ට කාමයේ වරදවා (හෝ හරිහැටි) හැසිරීම තහනම් කළ යුතුය.. එසේ හැසිරෙන එවුන්ගේ අරක කපා ඉවත් කළ යුතුය…..

මේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්නට සිතුන අයින්ස්ටයින්ට නොපෙනෙන පැත්ත මෙයයි. මේ තරුණයා හෝ තරුණිය, කාගේ හෝ දරුවෙකි, සහෝදරයෙකි, සහෝදරියකි, සමහර විට මවකි, පියෙකි. ඉරිදා දිවයින පත්‍රෙය් සඳහන් වන අන්දමට ඔවුන් බොහෝ දෙනෙකු ගමේ කෙල්ලන්ය…. සමහර විට ඔවුන් රුපියල් 50,000 ක් ලබාගෙන පාන් සහ පොල් සම්බෝල වැනි සුඛොපභෝගී කෑම වේලක රස බැලීමට අදහස් කළා විය යුතුය. ඔවුන් දැන හෝ නොදැන කළ දේ වැරදිය. එසේ වුවද එක් වරක් හෝ කිහිප වරක් විනාශ වූ ඔවුන්ගේ ආත්මයම මෙසේ නැවත් වරක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම සමහර විට මේ අයගෙන් කිහිප දෙනෙකුගේ  ජීවිත හෝ ඔවුනට සම්බන්ධ අයගේ ජීවිත කිහිපයක අවසානය විය හැක.  සිරි ලංකාව කුඩා රටකි. මෙහි වෙසෙන සියළුම දෙනා කවරකුගේ හෝ සමීප හිතවතෙකි. මේ ඡායාරූප ප්‍රසිද්ධ කළ පසු ඔවුන් කාගේ කවුරුන්ද යන්න ප්‍රචලිත වීමට වැඩි වේලාවක් ගත නොවනු ඇත. මේ Porn Star  ලාට ලැජ්ජාව බය නොමැති වුවද, ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීනට ලැජ්ජා-බය ඇත. මෙයින් විනාශ වන්නේ සමාජයයි. ඔවුන් අත් අඩංගුවට ගැනීම වෙනම දෙයකි. නීතියක් ඇත්නම් නීති මඟින් කටයුතු කළ හැක…

එසේත් නැත්නම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් නවතම රියැලිටි වැඩසටහනක් ඇරඹිය හැක….. සිරස පෝන් ස්ටාර්, දෙරණ පෝන් ස්ටාර්, ස්වර්ණවාහිනී මෙගා පෝන් ස්ටාර්…. ආදී වශයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරයක් දී මෙය කළ හැක…… ඒ සඳහා ඉදිරිපත් වන්නට ද බොහෝ දෙනා එනු ඇත… ඔවුනට අවශ්‍ය තම ආත්මයම පාවා දී හෝ මොකක් හෝ ඉස්ටාර් කෙනෙකු වීමටය…… සිරි ලංකාවේ “සම-හරක්“ අය හිතන්නේ එහෙමය…..

 

8 thoughts on “සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, ඩාන්සින් ස්ටාර්, මෙගා ස්ටාර්, රියැලිටි ස්ටාර්, සහ පෝන් ස්ටාර්

  1. “එසේ වුවද, මේ සෑම දෙනාම තම තමන්ගේ යුතුකම් අරභයා නොපසුබටව පාරට බැස අරගල කිරීමට නිරන්තරව සූදානම් ය”

    අදහස් කලේ තමන්ට ලැබියයුතුදේ අරභයා කියලද?

    අවුරුදු 66ක නාකි අවුරුදු 26ක විවාහක කාන්තාවන්ගෙන් කුක්කු බොන්න ඉල්ලනවානම් ඒගොල්ලො කොයි ස්ටාර්ලාද?

    1. ඔව් මුදිත,
      ඔබ හරි , මම අදහස් කළේ අයිතිවාසිකම් ගැන… තමන්ගේ අයිතිවාසිකම් ගැන පාරට බහින්න සූදානම් බවයි කියන්න ඕන වෙලා තිබුණේ….

      ස්තුතියි හරිගැස්සුවාට

      66 අය 26 අයගෙන් කුක්කු ඉල්ලන ස්ටාර් වලට කියන්නේ තිරිහන් ස්ටාර් කියලා….

    2. “අවුරුදු 66ක නාකි අවුරුදු 26ක විවාහක කාන්තාවන්ගෙන් කුක්කු බොන්න ඉල්ලනවානම්”
      මම හිතන්නේ පොන් ස්ටාර් .

      ඇමෙරිකාවේදී නම් මේවා සාමාන්‍ය දෙයක්

  2. ස්ටාර් පිස්සුව ඔලුවට ගහපු අය පෝන් ස්ටාර් තරඟයක් තිබ්බොත් ඒකත් හොඳයි කියයි. ඇත්තට ඔය පින්තූර පත්තර වල දාන්න තීරණය කළ අයට අපු කැවිලද මන්දා!

  3. ඇත්ත ඒ පින්තූර ප්‍රසිදධ කිරීම නම් නරකයි, පොඩ්ඩකට මගේ මේ ලිපිය කියවලා බලනවනාම් හොඳයි.

    http://prasanna86k.wordpress.com/2010/10/14/%e0%b6%85%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%ad-%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%8f%e0%b7%80/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )