අඩෝව්….. ! උඹලා අපට බදු ගෙවලා උගන්නලා මෙහෙම අනාත කළා නං රස්සාවලුත් දීපල්ලා……..

අද මේ ලිපියේ නිමිත්ත වන්නේ අපේ උසස් අධ්‍යාපන ඇමති එස් බී කියපු කතාවක්… කියවන්න කැමති අය මෙතැනින් බලන්න…. මම මේ ලිපිය දිහා ගොඩ දවසක් ඇහැ ගහගෙන හිටියේ කරුණු ගණනාවක් නිසා… එකක් කමයි මේ ලිපියට පසුකථනයක් දෙන්න මට වෙලවක් නොමැති වීම. දෙවැන්න තමයි මේ ලිපියට ලංකාවේ ලිං මැඩියෝ මොනවද කියන්නේ සහ ලිඳෙන් එගොඩ වෙච්චි මැඩියෝ මොනවද කියන්නේ කියන එක දැනගන්න…. අනෙක තමයි අපේ දැන උගත් කවුරු හරි මහතෙක් එස් බී ට පිළිතුරක් දේවිද කියන එක… මෙයින් පළමු කාරණා දෙක සම්පූර්ණ වුවත්, තෙවැන්න නම් කවුරුවත් සම්පූර්ණ කළේ නැහැ..මොනවද මේ එස් බී කිව්වේ ?

එස් බී කිව්වේ උපාධිධාරීන්ට රැකියාවක් ලැබෙනතෙක් වේටර්කමක් කළත් කමක් නෑ කියලයි. මේක අහපු අපේ සමහර අයට නං හොඳටම රිදුනා. ඔවුන්ගේ ආත්මාභිමානය නැතිබැරිකම අභිබවා ගිහින්, “පස්ස බිම ඇණුනත් ගමන උඩින්“ ජාතියේ පොර ටෝක් දැම්මා… මට නං හිතෙන්නේ එස් බී කියපු කතාව හරියි කියලයි. අපේ තරුණ පරපුර (සහ නාකි පරපුර) බොහෝ සමාජයීය බැමි ආකල්ප ආදියෙන් සිත් පුරවගෙන ඉන්න කාණ්ඩයක්. ලංකාවේ බොහෝ දෙනා හිතන් ඉන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ හෝඩියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ උගන්වලා විශ්ව විද්‍යාලයෙන් පිටවන විටම රජයේ රැකියාවක් දිය යුතු දෙයක් කියලා. ඔවුන් ඉන්නේ තමන් කෙසේ විභාගය සමත් වුනත්, තමන්ගේ හැකියාවන් කෙසේ වුවත්, රජය තමන්ට රැකියාවක් දිය යුතුයි කියන මානසිකත්‍වයේ.

දියුණු රටවල ( දියුණු සහ නොදියුණු රටවල් වෙනුවට “ඇති“ සහ “නැති“  Legacy – Non Legacy ලෙස හැඳින්වීමට මා වඩාත් කැමතියි, මක් නිසාද යත් බොහෝ ඇති රටවල් අනෙක් අංශයන්ගෙන් දියුණු නැති නිසා) මේ තත්ත්‍වය වෙනස්. ඒවායේ තරුණ පරපුර කුමක් හෝ රැකියාවක් කර ජීවිතයට අත්දැකීම් සහ යමක් කමක් එක් කරගන්නවා. බොහෝ රටවල ග්‍රීස්ම ඍතුව පාසල් සහ විශ්ව විද්‍යාලවලට නිවාඩු ලබා දී ඇත්තේ ළමුන්ට විවේකය දීමට මෙන්ම, ඔවුනට විවිධ අත්දැකීම් ලැබීමට. සමහරු පිටරටවල සංචාරය කරනවා. තවත් සමහරු රැකියා කර ඉදිරි කාළයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගන්නවා. තවත් සමහරු වෙනත් වෙනත් පාඨමාලා හදාරා දැනුම සම්පූර්ණ කර ගන්නවා. මේ අයුරින් ඔවුන් ග්‍රීස්ම ඍතුව ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නවා.

මා ආචාර්ය උපාධියට වැඩ කරන සමයේ අප විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ රැකියා බලාපොරොත්තු වන්නන්ගේ සමුළු ගණනාවකට සහභාගී වුනා. ඒ එකක තේමාව වූයේ “ජීව දත්ත සටහනේ හිස්තැන්“ (Blank periods in the resumé) යන්නයි. එහිදී අවධාරණය කෙරුණු වැදගත්ම කරුණ නම් බොහෝ සේවා ස්ථාන සහ සම්මුඛ පරීක්‍ෂණ වලදී සළකා බලන එක් කරුණක් වන්නේ අදාල අපේක්‍ෂකයා එක දිගට රැකියාවක හෝ යම් වැදගත් දෙයක් නියැලී ඇත් ද යන්නයි. එහිදී ඔවුන් සළකා බලන්නේ මෙම අපේක්‍ෂකයා උත්සාහවන්තද ? ධෛර්යයවන්තද ? ආදී දේයී. එහිදී ඔවුන් නියැලෙන රැකියාව කුමක් ද යන්න අදාල වන්නේ නැහැ. එහිදී ඔවුන් පැවසූ ප්‍රධානම දේ තමයි, “ ආපනශාලාවක වේටර් තනතුරක් දැරීම වුවත් වෙනත් රැකියාවකට සුදුසුකමක් වන බව“ යි. මෙය මෙසේ වන්නේ කෙසේද ? ආපන ශාලාවක වේටර් කමක් යනු යමක් පිළිවෙලට, පරිස්සමට සහ වඩාත්ම වැදගත් දේ වන නිහතමානීව යමෙකුට සේවය කිරීම උගන්වන තැනක්. මෙහි දී ඉවසීම, ක්‍රමාණුකූල බව, ආචාරශීලිත්‍වය, ආදී බොහෝ හොඳ ගුණාංග ඉගැන්වෙනවා. මෙය පහත්වොට සැළකිය හැකි රැකියාවක් නොවෙයි.

ලංකාවේ තත්ත්‍වය වෙනස්. ලංකාවේ හෝටල දෙවර්ගයක් තිබෙනවා. කුඩා කෑම හල් බොහොමයක් හෝටල ලෙස හඳුන්වනවා. ඒවායේ වැඩ කරන වේටර්වරුන් ඇත්තටම මේ ගුණාංග පුරුදු පුහුණු කළ අය නොවෙයි. එසේම තරු ගණයේ හෝටල් මේ ගුණාංග ඇති වුවත්, ඒ සඳහා හෝටල් පාසලක ඉගෙන ගැනීම වැනී විශේෂ ප්‍රාගුණ්‍යික සුදුසුකම් අනිවාර්යයි. මේ නිසා  සාමාන්‍ය පෙළ පමණක් සමත්ව හෝටල් පාසලේ උගත් තරුණයාගේ සුදුසුකම් රැකියාවක් නැතිව පාරේ අවුරුදු ගණනක් පිකටින් කළ උපාධිධාරියාගේ සුදුසුකම් අභිබවා යනවා. එසේම බොහෝ උපාධිධාරීන් පාර අයිනේ ඇති තෝසේ හෝටල වල සේවය කරන්න කැමති නෑ ඔවුන්ගේ ඩිග්නිටි එකට (Dignity – ගරුත්‍වය) හානි වන නිසා. නමුත් ඔවුන් තම අසරණ දෙමාපියන් අමාරුවෙන් හම්බ කරන දේ ගිලදමා, ලිප්ටන් වටරවුමට එනවා පිකටින් කරන්න… ඒ ගැන සිතන්නට තරම් අධ්‍යාපනික වත්කමක් ඔවුනට නැහැ.

මේ රැකියා විරහිත තත්ත්‍වය ඇත්තේ කලා සහ වානිජ උපාධිධාරීන්ට පමණක් දැයි මා දන්නේ නැහැ. නමුත්, උවමනාවක් ඇත්නම් කුමක් හෝ රැකියාවක් සොයා ගැනීම අපහසු නැති බවයි මගේ නම් හැඟීම. සිදු නොවන්නේ උවමනාවක් ඇති වීමයි. බොහෝ උත්සාහවන්ත තරුණ තරුණියන් සිය සුදුසුකම් සපුරා ගන්නේ ස්වෝත්සාහයෙන්. පෞද්ගලික අංශයේ රැකියාවකට නම් දැන් ඉංග්‍රිසි කථන හැකියාව නැතිවම බැහැ. එසේමයි පරිඝණක දැනුම. මේ දෙඅංශයේ සුදුසුකම් නැතිව පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවකට යන්න බැහැ. මේ නිසාම තමයි සමහර තරුණ තරුණියන් රාත්‍රී කාළයේදී පවා මේ පෞද්ගලික පන්තිවලට ගොස් තම හැකියාවන් දියුණු කරගන්න තනන්නේ.  නමුත් අපේ සාමාන්‍ය විශ්වවිද්‍යාල සිසුවා මේ තත්ත්‍වයට මුහුණ දෙන්නේ වෙනස් ආකාරයකට, ඒ සිය රැකියා පරමාර්ථය රාජ්‍ය අංශය වෙත යොමු කිරීමෙන්. මෑතකදී කළ සමීක්‍ෂණයකට අනුව විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සියයට 60 ක් පමණ කැමැත්ත දක්වා ඇත්තේ රාජ්‍ය අංශයේ රැකියා වලට. රාජ්‍ය අංශයේ වැටුප් පෞද්ගලික අංශයේ වැටුප් වලට වඩා අඩු බව දැන දැනත් ඔවුන් එසේ තෝරාගන්නේ අඩුවෙන් වැඩ කර හෝ නිකම්ම සිට වැටුප් ලබා ගැනීමේ පරමාර්ථයෙන් වන්නට ඇති බවයි මගේ හැඟීම. දියුණු වන්නට තැත් කරන්නෙක් තම සේවයට වැඩි මුදලක් ලබා ගන්නට උත්සාහ කරන බව මා අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. එසේ වුවත් ඔවුන් මෙසේ පහසු මාර්ගය කරා ඇදෙන්නේ සිය දුර්වලතා වසා ගැනීමට සහ අලසකම නිසා බවයි මට සිතෙන්නේ. මා දන්නා පරිදි බොහෝ දුරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා විදේශගත වන තරුණ පිරිස එසේ කරන්නේ ස්වෝත්සාහයෙන්. ඔවුන් TOEFL, GRE, හෝ වෙනත් විභාගවලට මුහුණ දී සිය ඉලක්ක කරා ගමන් කරනවා. එසේම ඔවුන් පිටරටවලදී ගත කරන ජීවිත සියළු සැප සම්පත් සපිරි ජීවිත නොවෙයි. සමහර විට සිය නවාතැන වන්නේ කිහිප දෙනෙකු පොදුව ජීවත් වන නිවසක්. එසේම ඔවුන් නිවස පිරිසිදු කිරීම උයා පිහා ගැනීම වැනි කටයුතු තනිව හෝ කණ්ඩායමක් වශයෙන් සිදු කළ යුතුයි. ඒ ඒ රටේ නීති රීති වලට ගරු කරමින් තම අධ්‍යාපන කටයුතු කළ යුතුව වෙනවා.එපමණක් නොවෙයි අහස උසට වැඩ….  ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ කරනවා නම් සතියකට අවම වශයෙන් පැය 70 – 80 අතර පර්යේෂණාගාරයේ වැඩ කළ යුතුව තිබෙනවා. එසේ නැත්නම් යන්න වෙන්නේ ගෙදර තමයි. ඒ රටවල සිසුන් සඳහා වෘත්තීය සමිති නැහැ. මහාචාර්යවරයා යන්න කිවුවොත් වෙන තැනක් හොයාගෙන යන්න වෙනවා. එහෙමත් නැත්නම් ගෙදර යන්න වෙනවා. ශිෂ්‍යභාවය අහෝසි වුනාට පසු විශ්ව විද්‍යාලයේ පරිපාලක ගොඩනැගිල්ල වටලනවා බොරු.. එහෙම කළොත් ඉතින් කූඩුවේ තමයි.එසේමයි… ආචාර්ය උපාධි හදාරන සිසුන්ට තම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට, රසායනාගාරවලට අදාල යතුරු ලබා දී තිබෙනවා. සමහර විට රෑ එළිවනතුරු පරීක්‍ෂණ පැවැත්වෙන වෙලාවල් තිබෙනවා…මේවායේ අපට ඉල්ලීම් කරන්න බැහැ. සාධාරණව සාකච්ඡා කර යමක් ලබා ගන්නවා මිස තර්ජනය කරන්නට ගියොත් යන්න වෙන්නේ ගෙදර තමයි.

මේ වගේ කැපකිරීම් කරලා තමයි බොහෝ දෙනා සාර්ථකත්‍වයට පැමිණෙන්නේ… මේ ලිපිය කියවන බොහොමයක් දෙනා දන්නවා No Pain- No Gain කියන කියමන……

මම නම් හිතන්නේ අපේ තරුණ පරපුරට තමන්ගේ අනාගතය තමන්ම සකසාගත යුතු බව සිතන්න ඕන කාළය බොහෝ දුරට පහු වෙලා.. දැන්වත් අනුන් රැකියා සොයා දෙනතුරු නොසිට, තමන්ට හැකි ප්‍රමාණයෙන් යමක් කරන්න පටන් ගත්තොත් ස්වල්ප කාළයකින් ඒවායේ ප්‍රතිඵල තමන්ටම දැනේවි. මේ අතර බුද්ධිමත් තරුණ තරුණියන් නැතුවාම නොවෙයි. සමහරු, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවා රැකියාවක් ලැබෙනතුරු තම ගෙවත්ත වගාකර ඉන් ආදායම් ලැබූ බව පුවත්පත් වල පවා සඳහන්ව තිබුනා. එපමණක් නොවෙයි අයෙක් මෙසේ වගා කර සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ලද අත්දැකීම් යොදවා එය සාර්ථක ව්‍යාපාරයක් බවට හරවුගත් අයුරු ද පුවත්පතක පළ වී තිබුණා..

ඉතින් තමාගේ අනාගතය සරුසාර කරන්නට අනුන් රැකියාවක් ලබාදෙනතුරු නොසිට, කුමක් හෝ පටන් ගත්තොත් කුමක් හෝ කොණක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. වැරදිලාවත් වේටර් කෙනෙක් වෙලා කවුරු හරි වැදගත් කෙනෙකුට හොඳට සළකලා ඒ මාර්ගයෙන් රස්සාවක් හෝ එහෙමත් නැත්නම් පරස්තාවක් වුනත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. බුදු රජානන් වහන්සේගේ කාළයේ මී කුණකින් පටන් අරන් සිටු වරයෙක් බවට පත් වූ තරුණයාගේ කතාව ආදර්ශයට අරන් අද පටන් වත් දෙමාපියන්ට බරක් නැතිව යමක් කමක් කළොත් හොඳයි නේද ? පොඩ්ඩක් හොයලා බැලුවොත් ටියුෂන් පාරක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. බොහොමයක් මුදල් හදල් ඇති පවුල් පැයට රු 500කට වඩා ගෙවන්න කැමතියි…. ඒ වගේ දවසකට පැය කිහිපයක් උගැන්නුවොත් අවම වශයෙන් අන්තරේට පෝස්ටර් ගන්නවත් සල්ලි ටික යොදවන්න බැරියැයි මං අහන්නේ ?………………. අනේ මන්දා… මේ මට හිතෙන හැටි……

 

4 thoughts on “අඩෝව්….. ! උඹලා අපට බදු ගෙවලා උගන්නලා මෙහෙම අනාත කළා නං රස්සාවලුත් දීපල්ලා……..

  1. Problem is Piyal, every government at the end of the day ends up giving dead end jobs with no future for these people. I was in Sri Lanka last December and met one of my parallel from arts faculty. She was working at the insurance corporation but ended up getting a free government job. Yes even MR gave jobs to 41000 (in 2008 I think). They do this for votes. So those people who protest know to wait around few years until their numbers grow and make a bigger protest.

    On the other hand the government is not implementing policies to develop job prospects. The whole focus is on tourism. Are we going to change out education system to match tourism? Isn’t that what is meant buy market driven? I personally think that is a very bad idea. Will write about it one of these days.

    You and I both know just producing carbon nanotubes (no modifications) will have a huge market in the next few years. Where is the market driven effort for that? We already have enough science graduates but they are stuck at desk jobs passing files.

  2. I agree with you about few things. Main thing is many graduates expecting state sector jobs may be as you said no work but get paid.May be you ara correct most of arts and commerce bachelors have this problem there is no demand for them in private sector as the universities have not updated their degree programmes suitable for current job market. I do not agree with working as waiters or some other jobs like many uni students doing in western countries. By working as waiters,cleaners they can earn reasonable amount of money in those countries even as a part time job.But think what type of money waiters in Sri LAnka earn. As you said if they want there are many opprtunites but may be they expecting pay with no work. Many graduated in Sri LAnka think by baving a base degree they know everything and others who never been to uni are idiots and we are the most suitable people to supervise them.They are not ready to do hard work.We must change this attitude.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )