H1N1 Influenza, එහෙමත් නැත්නම් සූකර උණ ගැන දැනගන්න….

H1N1 ඉන්ෆ්ලුවන්සා උණ වැළඳීම නිසා දැනට ලංකාවේ 22 දෙනෙකු මියගොස් ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙබ් අඩවිය මෑතදී සඳහන් කළා. බොහොමයක් දෙනා මේ සූකර උණ පිළිබඳ විවිධාකාර මත දරනවා. මේ ලිපිය ඒ පිළිබඳ මා දන්නා තරමට ඔබව දැනුවත් කිරීමේ උත්සාහයක්.

H1N1 ඉන්ෆ්ලුවන්සාව

මෙය සූකර උණ ලෙස ප්‍රසිද්ධ වූ ශ්වසන පද්ධතිය ආසාදනය ඇතිකරන රෝගයකි. 2009 දී හඳුනාගත් මෙම රෝගය මතුවන්නේ උත්තරාර්ධගෝලයේ සාමාන්‍ය උණ වසංගත කාළයේ අවසාන කොටසේදීය. මෙම වෛරසය පහසුවෙන් සහ ඉතා ඉක්මනින් පැතිරේ. මුලින්ම වාර්තා වීමෙන් පසු ලෝකයේ සෑම තැනකම පාහේ මෙම රෝගය ඉතා ඉක්මනින් වාර්තා වීමම මේ පිළිබඳ හොඳ සාක්‍ෂි පෙන්වයි.  මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝගය වසංගත රෝග ගණයට ඇතුලත් කරන ලදී.

සාමාන්‍යයෙන් ගත් කළ සූකර උණ යනුවෙන් හඳුන්වන්නේ ඌරන්ට ඇති වන ඉන්ෆ්ලුවන්සාවයි. ඉඳහිට ඌරන් මඟින් මෙම රෝගය මනුෂ්‍යයන්ට ආසාදනය වේ. මෙයට වඩාත්ම වැඩි වශයෙන් භාජනය වන්නේ ගොවිපොළවල සේවය කරන්නන් වේ. සමහරවිට අනෙක් අයටද මෙය ආසාදනය වන අතර ඒ ඉතා කලාතුරකිනි. ඌරුමස් අනුභවය නිසා මෙම රෝගය කිසිසේත්ම වැළඳෙන්නේ නැත.

රෝග ලක්‍ෂණ

  1. උණ
  2. කැස්ස
  3. උගුර රිදීම
  4. ඇඟ රිදීම
  5. සීතල දැනීම
  6. මහන්සිය
  7. බඩයාම / පාචන තත්ත්‍වයන්
  8. වමනය

සූකර උණ රෝග ලක්‍ෂණ පෙන්වන්නේ සාමාන්‍යයෙන් ආසාදනය වී දින 3 ත් 5 ත් අතර වන අතර රෝගය වැළඳීමෙන් අනතුරුව දින 8 ක් පමණ කාළයක් මෙම රෝගය ශරීරය තුළ පවතී.

ප්‍රතිකාර

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට සූකර උණ වැළඳුනහොත්, සහ සුළු රෝග ලක්‍ෂණ පමණක් පෙන්වුවහොත්, වෛද්‍ය පරීක්‍ෂාවකින් තොරවම සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවට ගන්නා ප්‍රතිකාර වලින් සුව කරගත හැක. මෙය වඩාත්ම භයානක වන්නේ ගැබිණි මව්වරුන්, හෘද රෝගීන්, ඇදුම වැනි රෝග ඇත්තවුන් ආදියටයි.දෙවන කාණ්ඩයට අයත් රෝගීන් වහා රෝහල්ගත කිරීම වඩා හොඳය.

එසේම මෙම තත්ත්‍වය සංකීර්ණ වුවහොත්, හෘද රෝග, ඇදුම, දියවැඩියාව වැනි රෝග උත්සන්න වීමේ හැකියාව වැඩිය. ඔවුනට නියුමෝනියාව, ශ්වසන අපහසුතා ඇති වීමේ අවදානම ද අධිකය.

මෙම රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ද සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවට නියම කරන ප්‍රතිකාර වන අතර මෙම වෛරසය සමහර ඖෂධ වලට ප්‍රතිරෝධයක් දක්වන බැවින් සමහරවිට සැර වැඩි ඖෂධ නියම කිරීමට පුළුවන. මෙයට අමතරව සාමාන්‍ය උණට ගන්නා වේදනා නාශක ඖෂධ හොඳටම ප්‍රමාණවත් වේ.

එසේ වුවද, අවදානම් කාණ්ඩයේ ඇති රෝගීන් ලෙස,

  1. රෝහල්ගත කරන ලද්දවුන්
  2. ශ්වසන අපහසුතා ඇති අය
  3. අවුරුදු 5 ට වඩා අඩු දරුවන්
  4. අවුරුදු 65 ට වඩා වැඩි පුද්ගලයන්
  5. ගර්භණී මව්වරුන්
  6. අවුරුදු 19 ට අඩු දිගුකාලීනව ඇස්පිරින් වැනි ඖෂධ ලබාගන්නා රෝගීන්
  7. ඇදුම, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, ආදී ඇති පුද්ගලයන්
  8. ඒඩ්ස් වැනි රෝග ආසාදනය නිසා ප්‍රතිශක්තීකරණය දුර්වල වූ පුද්ගලයන්

හැඳින්විය හැකි අතර මේ කාණඩයේ අය ඉක්මනින් ප්‍රතිකාර ගැනීම වඩාත් යහපත් වේ.

අමතර ප්‍රතිකාර

  • විජලනය වලක්වාලීම සඳහා ප්‍රමාණවත් ලෙස දියර වර්ග පානය
    • උණු ජලය, සූප් වර්ග, පළතුරු යුෂ ආදිය හොඳින් පානය කරන්න. පිට කරන මුත්‍රා අවර්ණ හෝ ලා කහ පැති වනතුරු දියර වර්ග පානය කිරීමෙන් විජලනය වලක්වාගත හැක
  • ප්‍රමාණවත් විවේකයක් ලබාගන්න
    • ඔබගේ ශරීරය සටන් කරනුයේ දරුණු ආක්‍රමණකයෙකු සමඟයි. ඒ නිසා ඔබේ ශරීරයට හැකි තරමි විවේකය අවශ්‍යයි. එසේම ඔබ රෝගය සුව වීමට කළින් රැකියාවට හෝ වෙනයම් ස්ථානයකට ගියහොත්, ඒ අයටද රෝගය ආසාදනය වීමේ ඉඩකඩ ඇත.
  • සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිළදී ගතහැකි පැරසිටමෝල් හෝ ඇසිටැමිනොෆින් අඩංගු පැනඩෝල්, ඇඩිවිල්, ටයිලනෝල් වැනි වේදනා නාශක භාවිතයෙන් උණ සහ ඇඟපත රුදාව අඩු කරගන්න.

මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ මෙම වේදනා නාශක වලින් කරනුයේ උණ සහ ඇඟපත රුදාව අඩු කිරීම විනා රෝගය සුව කිරීම නොවන බවයි. එසේම සමහර බෙහෙත් වර්ග නියමිත මාත්‍රාවට වඩා ගතහොත් ඒවායින් ද අතුරු ප්‍රතිඵල පැමිණය හැකි බැවින් ඖෂධ නිසි ලෙස භාවිතා කරන්න.

වැළැක්වීම

  • වයස මාස 6 ට වැඩි සෑම දෙනෙකුටම ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත හැකිය. ඔබ එයින් වැලකිය යුතුයැයි සිතෙනවා නම් එම එන්නත ලබා ගන්න.
  • රෝගී නම් නිවසේ සිටින්න. ඔබ සේවා ස්ථානයේ නැති වුනාට ඒ ආයතනය ස්ථාවරව පවත්වාගෙන යාමට වෙනත් අය සිටී. ඔබ රෝගය පැතිරවුව හොත්, ඒ ආයතනයේ ඵලදායීතාවයට ඔබේ අඩුවට වඩා හානියක් සිදුවේ. එසේම ඔබ සුවවීමේ කාළයද ඉන් දිගු වනවා විනා කෙටි වන්නේ නැත.
  • කිවිසුම යන හෝ කැස්ස එන සෑම අවස්ථාවකම ඔබේ දෑත් ජලය සහ සබන් භාවිතා කර හොඳින් සෝදන්න. එසේම මද්‍යසාර අඩංගු සනීපාරක්‍ෂක ද්‍රාවණයකින් ඔබ අවට පිරිසිදු කරන්න. සාමාන්‍යයෙන් මෙම වෛරසයට පැය දෙකක් පමණ කාළයක් යම් මතුපිටක නොනැසී පැවතීමේ හැකියාව පවතී.
  • සමාජ සම්බන්ධතා අවම කරන්න. සෙනඟ ගැවසෙන ස්ථාන වලින් හැකි තරම් ඈත්ව සිටින්න. ඔබ අන් අයට රෝගය සම්ප්‍රේෂණය කරනවා මෙන්ම ඔබේ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතිය අන් රෝග වලටද නිරාවරණය කිරීම එමඟින් වලක්වාගත හැකිය.
  • ඔබේ කැස්ස සහ කිවිසුම් හැකි තරම් පාලනය කරගන්න. ඔබේ මුඛය සහ නාසය ආවරණය කරගෙන කිවිසුම් සහ කැස්ස පිටකර හරින්න. ඔබේ කිවිසුමකින් පිටවන කෙළ බිඳිත්තක් පැයට සැතපුම් 120 ක වේගයෙන් ඔබේ මුවින් පිටවන බව ඔබ නොදන්නවා විය හැකියි.
  • ඔබ නිවසේ පවා, අනෙත් අය හා ගැවසීම අවම කරන්න. ඔබ වඩාත්ම ආදරය කරන ඔබ හා වඩාත්ම ගැවසෙන චරිත රෝගී වීම ඔබටත් ඔවුන්ටත් දුකකි.

මේ අයුරින් ඔබට මේ සූකරයා පාලනය කරගැනීමට පුළුවන් වනවා ඇති

මතක තබා ගන්න… රෝගී වීම දුකකි. එය ඔබටත් ඔබ අවට සිටින්නන්ටත් කරදරයකි. ඔබ අවදානම් සහිත කාණ්ඩයේ සිටී නම් මෙය වඩාත් පරිස්සම් විය යුතු අවස්ථාවකි. ඒ….මෙය සමහරවිට ඔබට වැළඳෙන අවසාන රෝගය විය හැකි නිසාවෙනි….

5 thoughts on “H1N1 Influenza, එහෙමත් නැත්නම් සූකර උණ ගැන දැනගන්න….

  1. මෙහෙත් ඔය වැක්සීන් එක නොමිලේ විදගෙන විදගෙන ගියා, ඒ එක්කම ඒක කල් පනින්න ඔන්නෙ මෙන්න කියල තිබුන හන්ද ලෝක සෞඛ්‍ය සංධානෙන් බෙදපුව කියල කතාවකුත් ගියා. මමත් ගියා. ඒත් ඒ වෙනකොට ඉවරයි කියල කිව්ව.

    මං දවස් ගානක්ම ඇවිල්ල හැරිල ගියා මුකුත් අළුතෙන් දාල තිබුනෙ නැති හන්ද. ඕං අද නං බොහොම සන්තෝසෙන් කියෙව්ව, ඇල්කෙමියා තමයි මගෙ මතකෙ හැටියට තුන්වෙනියට බුක් මාර්ක් කරගනිපු බ්ලොග් එක. ඔබතුමාගෙ සරළ වගේම සාරවත් පැහැදිලි කිරීම් තමයි ඒ බැඳීමට හේතුව.

    1. ලෝක සෞඛ්‍ය සංවිධානෙන් බෙදපු එන්නත් අපේ ලෝක හොරු ටික පුද්ගලික ෆාමසි වලට දීලා…
      මෙහෙමෙ එවුන්ට හෙන ගහන්න ඕනෑ..

      පහුගිය දවස් වල හොඳටම වැඩ අධිකව හිටියේ, ලිපි දාන්න තමයි හිටියේ වෙලාවක් නැති වුනා… ඔබතුමාගේ විමසිල්ලෙන් තමයි මම නැවතත් අවදි වුනේ… අවදි කළාට ස්තුතියි..

      අර ලොකු ලොකු පොරවල් කියනවා වගේ මමත් පාඨකයාට සාධාරණය ඉටු කරන්න උපරිම උත්සාහ කරනවා…

      ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )