ලංකාවේ බුද්ධිගලනය (Brain Drain) නැවැත්විය හැකිද ?

මේ ලිපියට පාදක වන්නේ ලංකාවේ බුද්ධිගලනය පිළිබඳ වූ මේ වාර්තාවයි.

ලංකාවේ බුද්ධිගලනය අද ඊයේ ඇති වූ ක්‍රියාදාමයක් නොවේ. 60 දශකයේ පමණ සිටම ලංකාවේ විසූ උගත් පිරිසෙන් සැළකිය යුතු ප්‍රමාණයක් සෑම වසරකම විදේශයන්හි රැකියා හෝ පදිංචිය කරා පිටත් වූවා. මෙය පවතින ආණ්ඩුවේ හෝ ශ්‍රී ලාංකික සමාජයේ වරදක් ද ? එසේත් නැතිනම් එසේ විදේශගත වන්නන්ගේ රටේ වරදක්ද යන්න විග්‍රහ කරනවාට වඩා එසේ බුද්ධි ගලනය සිදුවන්නේ ඇයි ද යන්නට හේතු සෙවීමක් වශයෙන් මෙම ලිපිය දැක්විය හැකියි.

බොහෝ දෙනා පිටරටට ඇදීයන හේතු බොහොමයකි.

  • හොඳ රැකියාවක් සොයාගැනීම

  • උගත්කමට සරිලන රැකියාවක් ලංකාවේ නැති නිසා

  • පවතින සමාජයීය තත්ත්‍වය පිළිබඳ කළකිරීම නිසා

  • අනෙක් අයට වඩා හොඳින් ජීවත් වීමට හෝ එසේ පෙන්වීමට

  • රට රැකියාවක් කරන නිසා වැඩි පිළිගැනීමක් ඇතිවෙනවා යැයි සිතන නිසා

  • ජීවිතය රැකගැනීමට

  • වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් එහිම නතර වීම නිසා

  • සුළු කලක් රැකියාවට ගොස් වෙනත් රැකියා අවස්ථා ලැබීම නිසා නතර වීම

  • පිටරට වැටුප් ලංකාවේ රුපියල් වලට පරිවර්තනය කිරීමේ දී වැඩි අගයක් ලැබෙන නිසා.

වැනි මෙකී නොකී හේතු කාරණා නිසා බොහෝ දෙනෙකු පිටරට ජීවත් වීමට ලංකාවෙන් පිටතට ඇදී යති. මෙසේ පිටත්ව යන සෑම දෙනාම පාහේ කියන්නේ පිටරටවල වරුණයි. සුළු කාළයකට හෝ පිටරටකට යන පුද්ගලයා ඒ ඒ රටවල විධික්‍රම වලට ක්‍ෂණයෙන් අනුගත වන නමුත්, නැවත ලංකාවට පැමිණි පසු, නැවත පරණ පුරුද්දෙන්ම ක්‍රියා කරගෙන යයි.

දැනට ලංකාවෙන් උපාධියක් ලැබ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වන සිසුන්ගෙන් 95% ක් පමණම ඒ ඒ රටවල නතර වීම ලංකාවේ බුද්ධිගලනය දැඩිව සිදුවන අංශයකි. එසේම පසුගිය කාළයේදී විශ්ව විද්‍යාලවල දේශකවරුන් පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගත වී එහිම පදිංචි වීම ද බුද්ධි ගලනයේ බැරෑරුම් අවස්ථාවකි. මොවුන් සඳහා රජය වියදම් කර, යම්කිසි බැඳුම්කරයකට යටත්ව විදේශගත වන අතර, ඔවුන් නොපැමිණිම රටට බලවත් පාඩුවකි.

එසේ බැඳුම්කරවලට යටත්ව විදේශගත වී නැවතුනු පුද්ගලයනට සමාවක් දී නැවත මවු රටට පැමිණෙන ලෙස උසස් අධ්‍යාපන ඇමති තුමා සහ ජනාධිපතිතුමා ඉල්ලීමක් කර තිබෙනු පුවත්පතක සඳහන් වී තිබුණා මතකය… ඔවුන් නැවත පැමිණෙයිද ? ඔවුන් නැවත ගෙන්වාගෙන රටට සේවයක් ගැනීමට නම් රජය විසින් ඉටු කළ යුතු කරුණු රාශියකි.

පළමුව ඔවුන්ගේ දැනුමට සරිලන රැකියා ස්ථාපිත කල යුතුය. පසුගිය වසරේ මාත් මගේ මිතුරන් කිහිප දෙනෙකුත් ලංකාවට නැවත පැමිණීමට සිතා විවිධ රැකියා කෙරෙහි අවධානය යොමු කළෙමු. අප සැවොම රසායන විද්‍යා ආචාර්ය උපාධි ලබා ඇත්තවුන් වන අතර කිසිදු කර්මාන්ත ශාලාවක හෝ සමාගමක එවැනි අධ්‍යාපන සුදුසුකමකට සරිලන රැකියාවක් නොවීය. තිබූ එකම තැන වන්නේ ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයයි (SLINTEC) එහිද වූ රැකියා නැනෝ තාක්‍ෂණය සම්බන්ධයෙන් දැනීමක් ඇත්තන් හට වන අතර බොහොමයක් රැකියා ව්‍යාපෘති මූලික කරගෙන ඇති කළ ඒවා විය.. ව්‍යපෘතිය අවසන් වීමෙන් පසු සමහර විට රැකියාවද අවසන් විය හැකිය. මුදිත, ඔබට හැකිනම් කරුණාකර මේ පිළිබඳ දැනුවත් කරන්න…

එසේම ඒ ආයතනවල සේවයට සරිලන වැටුපක් ඔවුනට ලැබිය යුතුය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප රුපියල් ලක්‍ෂ 2 ක් දක්වා වැඩිකරන කතාවක් පැතිර ගියද, එය කතාවටම පමණක් සීමා වී ඇත. මෙසේ දැනුමට සරිලන වැටුපක් ලැබේ නම් නැවත මව්රටට පැමිණීමට බොහෝ දෙනෙකු සූදානම් වනු ඇත. ආචාර්ය උපාධියක් යනු වසර 4 ක් 5ක් 6ක් හෝ සමහරවිට 7 ක් මවුරටින් බැහැරව, දෙමාපියන් ඥාතීන්ගෙන් ඈත්ව කටුකව දිවිගෙවා, දිවා රෑ නොබලා මහන්සි වී ලබා ගන්නා අධ්‍යාපනයේ අග්‍රඵලයයි. මෙසේ ලබාගන්නා අධ්‍යාපනයට ඉහළ වටිනාකමක් තිබිය යුතුය. එය හෑල්ලුවට පත් කිරීම එසේ මහන්සි වී උපාධිය ලබන්නාට කරන අගෞරවයකි. සමහරුන්ට නිකම්ම සිට ලැබෙන ආචාර්ය පට්ටමට වඩා මෙසේ කටු කා ලබා ගන්නා (earned doctorate) ආචාර්ය පට්ටම දෙදාහෙන් සම්පතකි.  මේ නිසාම සිය දැනුම නිකම්ම බෙදාහැරුමට බොහෝ දෙනා අකමැතිය. එය සාධාරණය. මෙය ආචාර්ය උපාධි ලබාගත්තවුන් ට පමණක් සිදුවන දෙයක් නොවේ, විවිධ වෘත්තීයමය උපාධි හෝ සුදුසුකම් සපුරා ඇති වෘත්තීයමය විද්වතුන්ටද අත් වී ඇති ඉරණමයි.

තෙවැන්න වන්නේ ලංකාවේ සියළුම දෑ දේශපාලනකරණය වීමයි. බොහෝ රටවල සේවය කරන්නවුන්ට මෙම දේශපාලනීකරණය පිළිබඳ අත්දැකීම් නැත. ඔවුන් උගත්කමට සරිලන ලෙස රැකියාව ලබා ගන්නවා විනා දේශපාලුවන් පසුපස ගොස් රැකියා ලබාගත්තවුන් නොවේ. එසේම ඔවුන් රැකියාව කරන්නේ තමන්ගේ උගත්කමට සරිලන තැනක එසේම උගත් වූ පුද්ගලයින් රැසක් සමඟය. මේ නිසා ඔවුන් පහසුවෙන් සිය කාරයය මනාව කරගෙන යති. නමුත් ලංකාවේ තත්ත්‍වය වෙනස් ය. සනීපාරක්‍ෂක කම්කරුවාගේ සිට ඉහළම තනතුර දක්වා සියළුම තනතුරු දැඩිව දේශපාලනීකරණය වී ඇත. කිසිදු වැඩක් දේශපාලනයෙන් තොරව කරගත හෝ කිරීමට නොහැක. මේ නිසාම දේශපාලනයට අකමැති බොහෝ දෙනා එවැනි අනවශ්‍ය හිසරදයන්ගෙන් ගැලවී සිටීමට තමන්ගේ පාඩුවේ විදේශයන්හි නිස්කාංසුවේ තමන්ගේ වැඩකටයුතු කරගෙන යති.

හොඳම උදාහරණය වන්නේ මගේ මිතුරකුගේ මිතුරෙක් ඕස්ට්‍රේලියාවේ වසර 20 ක් පමණ පදිංචිව සිට ලංකාවට සේවය කරන්නෙමැයි සිතා සියළු සැප සම්පත් අතහැර ලංකාවේ එක්තරා රජයේ ආයතනයක අධ්‍යක්‍ෂක කෙනෙකු වශයෙන් සේවයට පැමිණ ඇත. මේ මහතා පැමිණු මුල් දිනවලම සිදු වූ විවිධ අක්‍රමිකතාවයන් නිසා ඒවාට අදාල පුද්ගලයින් මාරුකර යැවීම වැනි කරුණු සිදු කර එම ආයතනය තරමක් නඟා සිටුවීමට පියවර ගෙන ඇත. මාස කිහිපයකට පසු එසේ මාරුකර යැවූ පුද්ගලයින් සිය දේශපාලන හයිය උපයෝගී කරගෙන නැවත එම ආයතනයේ එම තනතුරු වලටම පත් වී ඇති අතර ඔවුන්ගෙන් යොමු වූ තර්ජන හේතුවෙන් ම මේ මහතාට රැකියාව එපා වී නැවතත් ඕස්ට්‍රේලියාවටම ගොස් ඇත… මෙය මගේ මිතුරකුගේ මිතුරකුට සිදු වූ නිසාත් ඔහු මෙවන් කරුණක් උදෙසා බොරුවක් නොකියන නිසාත්, ලංකාවේ අනන්තවත් මෙවැනි සිද්ධි සිදුවන නිසාත්, මේ සිද්ධිය සත්‍ය වන්නට ඇති බව මම විශ්වාස කරමි. මෙවන් තත්ත්‍වයක් ඇති වන විට වැඩක් කිරීමට ආසාවෙන් සත්‍ය වශයෙන්ම මවුබිමට ආදරයෙන් පැමිණෙන කෙනෙක් පවා සුළු කළෙකින්ම කළකිරීමට පත්වනු නො වැලැක්විය හැකිය…

එසේම කිසිදු මොළයක් නැති මැරවර කමින් වංචාවෙන් දේශපාලනය කර පාර්ලිමේන්තුවට පත් වූ දේශපාලුවන්ට සුර සැප ලැබෙත්දී වසර ගණනාවක් මහන්සි වී උපාධි ලබාගත් විද්වතුන්ට කුඩම්මාගේ සැලකිළි ලැබෙන විට, ඔවුන් කළකිරීමකට පත්වීමද වලකා ලිය නොහැක. මා කතා කළ බොහෝ දෙනා පැවසුවේ යුද්ධය අවසාන වුවද, රටේ පවතින අවිචාර තත්ත්‍වය, මැරකම දූෂණය රජකිරීම යන කාරණා මත ඔවුන්ට විදේශයන්දි ජීවත් වීම සතට සැනසීමක් බවයි.. මේ නිසාම රජය ඔවුනට ආරාධනා කිරීමේදී ඔවුන්ගෙන් සේවය ගැනීමට අවශ්‍ය පසුබිම තනා ඇත්දැයි සොයා බැලීම ඉතා වැදගත් වේ. යටිතල පහසුකම් කිසිවක් නැතිව යම් තැනක සේවයට පැමිණි පසු, කිසියම් නියමිත ආකාරයකට සේවයට පුරුදු වූ කෙනෙකුට යම් යම් අක්‍රමිකතා දැකීමේදී සිදු වන්නේ එක්කෝ නිහඩව කළකිරීමෙන් බලා සටීම හෝ එයට විරුද්ධව කටයුතු කිරීමයි. දේශපාලනය කිරීම ලංකාවේ රැකියාවක් ගැනීමට හොඳම සුදුසුකම වෙත්දී සුදුස්සෝ කළකිරීමෙන් බලා සිටීමම, බුද්ධි ගලනයට මඟ පාදයි.

මෑතකදී මගේ ඥාතියකු පැවසූයේ ඔහු සේවය කරන සේවා ස්ථානයට අළුතෙන් ක්ලාක් තනතුරු සඳහා තරුණියන් බඳවාගෙන ඇති බවයි. එවුන් ගෙන් වැඩ ගැනීම ඉතා අපහසු අතර, ඒ තරුණියන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය කරන අවම සුදුසුකම්වත් නොමැති බවත්, ඔවුන් සියල්ල මන්ත්‍රී ලිස්ට් එකෙන් හෝ දේශපාලන හෙංචයියන් ගේ මාර්ගයෙන් පැමිණි අය බව ඔහු මා සමඟ පැවසීය… මෙයින් සිදු වන්නේ එම ආයතනයේ ඵලදායීතාවය අඩු වන අතරම සුදුස්සා රැකියාවක් නැතිව මහමඟ පිකටින් කිරීමේ තත්ත්‍වයට පත් කිරීමයි.

මෙතුවක් කල් රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ වලට විරුද්ධව කතාකළ මම දැන් මගේ ස්ථාවරය තරමක් වෙනස් මානයකට ගෙන යාමට පවා සිතාගත්තේ මෙවන් කරුණු කාරණා, ඉතා විශ්වාසවන්ත අයගෙන්ම දැනගන්නට ලැබුන නිසාය… මේ නිසාම උගත් කිසිවෙකු, නැවත මව්රටට ඒදැයි සිතීම උගහටය…

ඉතින් බලධාරීනි… ඔබ බලනවා නම් මේ ලිපි…. සිතන්න… දේශපාලනීකරණය නොවූ, පුද්ගලයන් මත නොරැඳෙන පද්ධති සහ ක්‍රම විධි මත රැඳෙන ක්‍රියා පටිපාටීන් ඇති රටවල සේවය කරන විද්වතුන් විහින් මඩ ගොහොරුවක වැටීමට නැවත ලංකාවට ඒද ? ප්‍රථමයෙන් ඒ විද්වතුනට නිදහසේ රැකියාව කරගෙන යාමට ඉඩ අවකාශ සලසා දිය හැකි නම්, බොහෝ දෙනා නැවත මව් රටට සේවයට එනු නොඅනුමානය..

ප්‍රාදේශීය සභා, නගර සභා, පලාත් සභා, සහ පාර්ලිමේන්තුව ලෙස විවිධ පලාත් පාලන ආයතන තිබුණද, ඒවායේ පාලනය ඇත්ත වශයෙන්ම රටකට අවශ්‍ය ද යන්න සොයා බැලිය යුතුය… මෙතෙක් පැමිණි ගමන වෙනස් කර, ඵලදායීතාවය කේන්‍ද්‍ර කරගත් සංවර්ධනයක් කරා යා යුතුය.. එසේ යාමේදී විදේශයන්හි විද්වතුන්ගේ දැනුම මහඟු සම්පතකි… ඔවුන්ට නිසි සැලකිල්ලක් දක්වා නිසි ලෙස සුදුසු තැන් ලබා දී, දේශපාලන අතපෙවීම් වලින් තොරව සිය කාර්යයන් කරගෙන යාමට අවකාශ සලසා දුනහොත්, පිටරටට ගලා ගොස් ඇති අපේ බුද්ධිය රටේ සංවර්ධනය සඳහා යොදාගත හැක… යක්කු පිනුම් ගහන තැන්වලලට පය ගැසීමට දෙවියන් අකමැතිවා සේම දේශපාලනීකරණය වූ අකාර්යක්‍ෂම සේවා ස්ථානවලට පැමිණීමය බුද්ධිමතුන් සූදානම් නැත. එසේ ඔවුන් ගෙන්වාගැනීමට නම් ඔවුනට සරිලන පරිසරය යන්තම් හෝ සකස් කර දිය යුතුය. යමෙකුගේ උපරිම කාර්යක්‍ෂමතාවය උදාකරගත හැක්කේ බාහිර කරදර වලින් නිදහස්ව ඒ ඒ කරන කාර්යය සඳහා සිත යෙදවීමෙන් පමණි.

නැතිනම්, අපි හැමදාම වලේය… ආසියාවේ ආශ්චර්යය වෙනුවට ශ්‍රී ලංකාව පත් වන්නේ ආසියාවේ අයිස් ගුහාව බවටයි…

කෙසේ වුවත් මෙය සිරි ලංකාවට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවේ. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ද දැකිය හැකි බරපතල ප්‍රශ්නයකි. සංවර්ධනය වූ රටවල පවා ප්‍රාදේශීය වශයෙන් බුද්ධි ගලනය දැකිය හැක. වඩා දියුණු, හොඳ රැකියා ඇති, යටිතල පහසුකම් ඇති ප්‍රදේශ කරා ඇති හැකි අය ඒකරාශී  වීම රටක වෘත්තීයමය සමතුලිතතාවය සහ ආර්ථික සමතුලිතතාවයට බලපෑම් ඇති කරයි…

5 thoughts on “ලංකාවේ බුද්ධිගලනය (Brain Drain) නැවැත්විය හැකිද ?

  1. ඉතාම වටිනා ලිපියක්…ආචාර්ය උපාධියක් ගන්න තියෙන අමාරුව දන්නේ එක කරන අයම විතරයි…උපාධියෙන් පස්සේ ලංකාවට යන්න දැඩි ආසවක් තිබුණත් ගිහින් කරන්නේ මොකක්ද කියන එක ගැටළුවක්… විශ්ව විද්‍යාල තුල තිබෙන දේශපාලන කල්ලි ගැසීම් හා අනිකුත් ගැටළු නිසා නව දැනුමක් ආදේශයකට ඉඩක් නැහැ..මම නම් හිතන් ඉන්නේ කවදා හෝ ලංකාවට යන්න.. විශ්ව විද්‍යාලයකට..නමුත් කාටවත් නැමෙන්නේ නැතිව වැඩ කරන්න පුළුවන් පෞරුෂයක් හදා ගෙන යාම අත්‍යවශ්‍යයි.. ස්වාධීනව වැඩ කරන්න හැකි පරිසරයක් තිබුනොත් අනිවාර්යෙන් මම යනවා… නමුත් වර්තමානයෙ එහෙම තත්වයක් ඇත්තෙම නැහැ..
    ඇත්තෙන්ම කියන්න තියෙන සියල්ල ලස්සනට ලියල තියෙනවා…

  2. Ow man lankawe awurudu 8k wada kala, mata honda rakiyawak tibuna, adika mudalak tax washayen gewwa, payee tax pamanak nova, 150% adika mudal pramanayak sama warakama wahanayak ganimedi, eth e siyaluma mudal gala giye ithama dushya wu deshapaluwange athata, nathuwa lankwe duppath minihatawath, rata diyunu kirimatawath nove, awasanaye mama teeranyak gatta ratin pitawenna, mokada mata tawat me kalakanni ballanta sura sapa denna mage mudal waya karanna uwamana natha, kedinaka ho anik ratawala men labaganna tax rate yahapatha wenuwen yodawana bawa danuna dinaka aith enna balaporottu wenawa, natuwa kepparak amathilata sura sapa widinna man tawa eka sathayakadu waya karanne natha

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )