අනේ ඉතිං, තමුන්නාන්සෙලා ඡන්දෙ දෙන්නේ මුං වගේ මී හරක්ට නේ….

ප්‍රාදේශීය සභා ඡන්දෙට භාර දීපු නාම යෝජනා පත්‍ර 450 ක් ප්‍රතික‍්ෂේප වෙලාලු… එක පක්‍ෂයක නොවෙයි, පිළිගත් පක්‍ෂ බොහොමයක.  ඒ මදිවට ඒකට විරුද්ධව අධිකරණෙටත් යන්නයි සූදානම. ජනතාවට සේවය කරන්න ජනහිතකාමී දේශපාලුවො පොරකනවා. ඒ කියන්නේ මේ සොච්චම් පඩියකට. තරමක් ඉගෙනගෙන රස්සාවක් කළා නම් දෙයියනේ කියලා දවස් 5 වැඩ කරලා අඹු දරුවො එක්ක නිවී සැනසිල්ලේ ජීවත් වෙන ජීවිතය පවා උගසට තබලා අපි වෙනුවෙන් සේවය කරන්න පොරකනවා. සමහරු ඡන්දෙට ඉස්සෙල්ලම පරලොව යනවා…. අනේ පවු අහිංසක මිනිස්සු….

ඇයි මේ ? කොමිස් හම්බ වෙන නිසාද ? පගා හම්බවෙන නිසාද ? නැතිනම් බලපුළුවන් කාර කම නිසාද ? අනේ නෑ… මහජනතාවට සේවය කරන පරම පවිත්‍ර චේතනාවෙන්… තමන්ගේ සල්ලි වියදම් කරලා රට වටේ පෝස්ටර් ගහලා. ගම පුරා කකුල් කඩුත්තුව හැදෙනකල් ඇවිදලා, ඔබේ නිවසටම ඇවිල්ලා මනාපය හිඟාකන මේ වැදගත් මහත්වරු සහ නෝනලා මෙච්චර දුක් විඳින්නේ මහජනතාවට සේවය කරන්න තියෙන කැමැත්තට…..

හැබැයි එක වැරැද්දක් තියෙනවා මෙතන. මේ කාළකන්නින්ගෙන් බහුතරයට හරියට ලියන්න කියන්න කතාකරන්න බැහැ. හරියට කොළයක් පුරවගන්න බැහැ. හරියට දීලා තියෙන උපදෙස් පිළිපැදලා අයදුම්පතක් පුරවගන්න බැහැ.  වචනයක් වැරදුනත් ඒක ප්‍රතික්ෂේප වන බව දැන දැනත් වරද්දනවා. ඇයි යකඩෝ දවස් කීයක් තියෙනවද මේවයේ හරි වැරදි බලලා ඉදිරිපත් කරන්න ?  තමුන්නාන්සේලා ඡන්දෙ දීලා තමුන්නාන්සෙලාට සේවය කරවගන්න ප්‍රාදේශීය සභාවට, නගර සභාවට යවන්න ඉන්නේ මෙන්න මේ වගේ ගොන් හරක් රැලක්… එතැනට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා හැමෝම දන්නවා. නැතිබැරි අය – ඇති හැකි අය වෙනවා. බයිසිකලේ ගිය තරුණයා – ප්‍රාදේශීය සභා මන්ත්‍රී වුනාට පස්සේ පොඩි කාර් එකක් ගන්නවා. පොඩි කාර් එකේ ගිය නාගරික මන්ත්‍රීතුමා දෙවන වතාවට පත් වුනාට පස්සේ ලොකු කාර් එකක් ගන්නවා. බලන්න දියුණු වෙන හැටි. මේ ආශ්චර්යය ආණ්ඩු පක්‍ෂයේය – විපක්‍ෂයේය කියලා භේදයක් නෑ… තමුන්ට බෙදා ගන්නකොට උන් ඔක්කෝම එකතුයි…

අද කාලේ දේශපාලනයට යන්නේ ඉගෙන ගත්තේ නැති, කරන්න හරිහමන් රැකියාවක් නැති, තමන්ගේ ගොඩ වැඩිකරගන්න තනන, පගා ගහන, මැරයො මිසක්, උගත්, නායකත්‍වයක් ඇති හිතන්න, කතාකරන්න, අළුතෙන් යමක් දකින්න, ක්‍රියාවට නඟන්න පුළුවන් පුද්ගලයො නොවෙයි. මේ නිසාම අපේ බදු මුදල්වලට නිසි අගැයීමක් නැති වෙනවා. මම හිතන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව සහ දේශපාලනඥයන් අතර අනුපාතයට අනුව සෑම මිනිසුන් 10 දෙනෙකු අතරින් දේශපාලනඥයන් දෙදෙනෙකු වත් ඇති. ඉතින් හැමදාම මේ රටාවට යන්නද කල්පනාව ? රටේ ජනතාවට කන්න අඳින්න නැතුව ඉන්නකොට මන්ත්‍රීවරුන්ට ලක්‍ෂ 60 බැගින් ලැබෙනවා වාහන ගන්න. මෙන්න අපේ නායකයෝ. රටේ හැම වගකිවයුතු ස්ථානයකටම පත් වෙලා ඉන්නේ එතැනට යන්නට සුදුසුකමක් නැති දේශපාලන හෙංචයියෝ.. එතැනට ගිහින් කරන්නේ තමන්ගේ පරම්පරාවට වැඩ සිද්ධකරගන්නවා මිසක රටට ගැලපෙන රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් වැඩක් නොවෙයි. ඇමති මණ්ඩලයේ හැට ගාණක් ඉන්නවා, ඒත් හැම දේටම ජනාධිපති තුමා මැදිහත් වෙන්න ඕනා.. හමුදාව මැදිහත් වෙලා අඩු මිලට එළවළු විකුණනවා..

ඒ නිසා තමුන්නාන්සේලාට මේ වතාවේ මේ ජරා ජීර්ණ වුන ක්‍රමය වෙනස් කරන්න එක දෙයක් කරන්න පුළුවන්… ඡන්දය නොදා සිටියොත් උන් ඒවා හොර ඡන්ද බවට පත් කරගෙන උන් උන් බෙදාගෙන එතැනට යනවා. ඒ නිසා ඡන්දය පාවිච්චි කරන්න…. ඒ කියන්නේ එතැනට යන්න… ගොස් ඡන්දය අවලංගු කරන්න… එවිට ලෝකයට පෙනේවි මේ ජරා වැඩවලට අපි කැමති නෑ කියලා… අපි මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා කියලා…. හැබැයි අර අපේ මෝඩ නායකයොන්ට මේවා පෙනේ ද දන්නෙ නෑ… හැබැයි දැනටමත් ඒවගේ ලක්‍ෂණ පහළ වෙලාලු. තැපැල් ඡන්දය අයදුම් කරපු ප්‍රමාණය සෑහෙන ගණනකින් අඩු වෙලා කියලි ආරංචි..

ඉතින් තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න… නිකං දේශපාලුවොන්ට කහින්න ගිහින් නිරපරාදේ ජීවිතේ නැති කරගන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න… ඡන්දෙ දවසෙ ගිහින් ඡන්දය කටුගාලා එන්න… කවුරු දිනුවත් ඔය එකෙක් වත් අපට ආදරේට ඔතැනට එන එවුන් නෙවෙයි කියන එක හොඳට හිතේ තියාගන්න….

3 thoughts on “අනේ ඉතිං, තමුන්නාන්සෙලා ඡන්දෙ දෙන්නේ මුං වගේ මී හරක්ට නේ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න