නාකි තිරිහන් කරන නිල් පාට පෙත්ත : ව්‍යාඝ්‍රා

අරුණිගේ ගිණි නිවන හමුදාවේ බෙල්ලෝ උත්සවයෙන් බොහෝ දෙනාගේ අවධානය පොඩ්ඩක් “අර පැත්තට“ හැරිච්ච නිසා, ඒ පැත්තට සම්බන්ධ ලිපියකින් ඔබට දැනුවත්කරන්න හිතුවා. සමාජයේ හැම වයස් මට්ටමකම අය බලන නිසා මේ ලිපිය ඉතින් බර අඩු කරලා තමයි දාන්න වෙන්නේ… ඒ විතරක්ම නෙවෙයි, දැන් දැන් ඇල්කෙමියාගේ රසායනාගාරය ටිකක් රසායන විද්‍යාවට සම්බන්ධ එහෙත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගන්න පහසු ලිපි දාන්න හිතුවා. ආයමත් කියනවා, ඔබේ ඉල්ලීම් තියෙනවා නම්, අනේ ලියලා එවන්න… දන්න විදියට කියලා දෙන්නම්.

ව්‍යාඝ්‍රාවල ඉතිහාසය.

ව්‍යාඝ්‍රා වෙළඳ නමින් මෙසේ හැඳින්වුනත්, එහි නියම නාමය සිල්ඩෙනෆිල් සිට්‍රේට් (Sildenafil Citrate). මෙය මුලින්ම ෆයිසර් (Pfizer) නම් ඖෂධ සමාගමේ රසායන විද්‍යාඥයන් විසින් තැනුවේ අධික රුධිර පීඩනය සහ උරස් සම්බාධය (Angina Pectoris) යන රෝගී තත්ත්‍ව සඳහා ඖෂධයක් ලෙසයි. මුල් සායනික පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු අනුව මේ ඖෂධය හෘද රෝගවලට පෙන්වා ඇත්තේ අඩු ප්‍රතිචාරයක්, නමුත් එය පුරුෂ ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා හොඳ ඔසුවක් බවට පෙනී ගියා. මේ නිසා ෆයිසර් සමාගම ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා ඖෂධයක් ලෙස 1996 වසරේදී ව්‍යාඝ්‍රා නමින් පේටන්ට්ගත කළා. මුලින් මෙය වෛද්‍ය නියමයෙන් පමණක් මිලදීගත හැකි ඖෂධයක් වුවත්, දැන් දැන් සුළු ප්‍රශ්නාවලියකින් අනතුරුව අන්තර්ජාලයෙන් මිලදී ගත හැකි දෙයක් බවට පත් වී තිබෙනවා.  දැන් දැන් මේ සඳහා විවිධ නම් වලින් යුත් තරඟකාරී ඖෂධ වෙළඳපොලේ ඇතත් 1999-2001 වසර කීපය ඇතුලත පමණක් ව්‍යාඝ්‍රා අලෙවිය ඩොලර් බිලියනය ඉක්මවා තිබෙනවා.

ව්‍යාඝ්‍රාවල රසායනය.

ව්‍යාඝ්‍රා රසායනිකව සිල්ඩෙනෆිල් සිට්‍රේට් (Sildenafil Citrate) නමින් හැඳින්වෙනවා. මෙය නිෂ්පාදනයෙහිලා ප්‍රධාන වශයෙන් පියවර 9 ක් වෙනවා. රසායනිකව මේ පියවර වනුයේ.

ව්‍යාඝ්‍රා සංයෝගයේ ත්‍රිමාණ රසායනික ව්‍යුහය
  1. 3-ප්‍රොපිල් පිරසෝල්-5- කාබොක්සිලික් මෙතිල් එස්ටරයට මෙතිල් කාණ්ඩ එකතු කිරීම (Methylation)
  2. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ජලවිච්ඡේදනය (Hydrolysis)
  3. නයිට්‍රික් අම්ලය මගින් නයිට්‍රීකරණය (Nitration)
  4. තයොනයිල් ක්ලෝරයිඩ් (SOCl2) සහ ආමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් කාබොක්සැමයිඩ් තැනීම (Carboxamide formation)
  5. නයිට්‍රො කාණ්ඩය ඇමීනෝ කාණ්ඩයක් බවට ඔක්සිහරණය (Reduction)
  6. 2-එතොක්සිබෙන්සොයිල් ක්ලෝරයිඩ් මගින් ඇසිල් කාණ්ඩයක් එක් කිරීම (Acylation)
  7. දිගු දාම සංයෝග චක්‍රීය සංයෝග බවට පරිවර්තනය (Cyclization)
  8. ක්ලෝරොසල්ෆොනයිල් ව්‍යුත්පන්න බවට සල්ෆොනීකරණය (Sulfonation)
  9. 1-මෙතිල් පිපෙරසීන් සමඟ ඝණ කිරීම (Condensation)

බැලූ බැල්මට සරළ ප්‍රතික්‍රියා දාමයක් ලෙස පෙනුනත්, මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මෙවැනි ප්‍රතික්‍රියා දාමයක් සිදුවන විට එම ඵලයන්හි ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක පවත්වාගත යුතු වෙනවා, නැතිනම් එය ආර්ථිකව අවාසිදායකයි. මේ නිසාම මෙවැනි විශාල පියවර සංඛ්‍යාවක් ඇති ප්‍රතික්‍රියා උපරිම ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට වසර ගණනාවක් ගත වෙනවා. එසේම ඒ නිෂ්පාදනය වෙළඳපොලට ගෙන ඒම දක්වා වැයවන මිනිස් පැය ප්‍රමාණය අති විශාලයි. මේ නිසායි ඖෂධ සමාගම් නව ඖෂධයක් වෙළඳපොලට නිකුත් කරනවිට විශාල මුදලක් අය කරන්නේ. ඔවුන් ඒ ගණන් බලන්නේ සිය නිෂ්පාදනය සිතිවිල්ලක සිට වෙළඳපොලට යනතාක් කල් සිදු වූ දේවලට වටිනාකමක් දීමෙන්. එසේම වසර ගණනක් යනවිට එකම නිෂ්පාදනයේ වුවත් මිල අඩු වන්නේ ඒ සමාගමට අවශ්‍ය ලාභය  උපදවා ගත් පසුවයි.

ව්‍යාඝ්‍රා නිපදවීම එසේ වුවත්, එහි ක්‍රියාකාරීත්‍වය ජෛව රසායනිකව සිදු වන්නක්. මෙහිදී සිදු වන්නේ පුරුෂ ලිංගයේ ඇති චක්‍රීය ගුවැනොසීන් මොනොපොස්ෆේට් (Cyclic  Guanosine Moniophosphateල cGMP) නම් රසායනිකය හායනය (Degradation) වැලැක්වීමයි. රුධිරයේ ඇති නයිට්‍රික් ඔක්සයිඩ් (NO) ගුවැනිලේට් සයික්ලේස් (Guanylate Cyclase) නම් වූ එන්සයිමයේ ග්‍රාහකයන්ට (receptors) බැඳීමෙන් cGMP ප්‍රමාණය ඉහල යයි. මෙය පුරුෂ ලිංගයට සැපයෙන රුධිරය ප්‍රමාණය ඉහළ දැමීමට හේතු වෙයි.  එවිට වැඩි කාලයක් දැඩි ලෙස එය ප්‍රාණවත්ව තබා ගැනීමට උපකාරී වෙයි. විවිධ රෝග තත්ත්‍ව නිසා හෝ අධික මත්පැන් පානය වැනි හේතු නිසා ඇතිවන ලිංගික ආබාධ ඇති අයට වෛද්‍ය උපදේශ මත මෙම ඖෂධය ලබා දුන්නත්, දැන් දැන් වෙළඳ පොලේ විවෘතව මිලදීගත හැකි මට්ටමට මෙය පැමිණ තිබේ.

ව්‍යාඝ්‍රා භාවිතය.

ව්‍යාඝ්‍රා විවිධ සෞඛ්‍ය තත්ත්‍ව සඳහා භාවිතා කරයි. දැන් ප්‍රධාන වශයෙන් ලිංගික අප්‍රාණිකත්‍වය නැති කිරීම පිණිස භාවිතා වුවත් මූලිකව පුප්ඵුසීය ධමනි ආශ්‍රිතව ඇතිවන අධික රුධිර පීඩනය නැති කිරීම පිණිස භාවිතා කරන ලද්දක්. එසේම කඳු නගින්නන් වැනි උස් ප්‍රදේශ හෝ උස් ස්ථානවලට ගමන් කිරීමේදී ඇතිවන පෙනහළුවල දියර එකතුවීමේ රෝග තත්ත්‍වයට ප්‍රතිකාරයක් ලෙස ද මෙය භාවිතා කර ඇත.

මෙය ලිංගික අප්‍රාණිකත්‍වය සඳහා භාවිතා කිරීමේදී මිලි ග්‍රෑම් 25 සිට 100 දක්වා ප්‍රමාණයක් ලිංගික එක්වීමටපෙර  විනාඩි 30 ත් පැය 4ත් අතර කාළයකදී  ලබාගැනීම සිදු කළ යුතුයි.

පුප්ඵුසීය ධමනි ආශ්‍රිතව ඇතිවන අධික රුධිර පීඩනය නැති කිරීම පිණිස භාවිතා කරන අවස්ථාවලදී මිලිග්‍රෑම් 20ක පෙත්තක් දිනකට තුන්වරක් ලබාගැනීම සිදු කළ යුතුයි.

අධික රුධිර පීඩනය ඇති අය වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙය ගැනීම නුසුදුසුයි. එසේම රුධිර පීඩනය පාලනයට නයිට්‍රේට් අඩංගු ඖෂධ ගන්නා අය විශේෂයෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. එසේම ලිංගික ප්‍රාණවත් බව පැය හතරකට වඩා වැඩිපුර පැවතිය හොත්, ලජ්ජාව පැත්තකින් තබා වෛද්‍ය උපදෙස් පැතීම යහපත් වන්නේ එය  දුරදිග ගියහොත් එසේ වන අවසාන අවස්ථාව එය වියහැකි නිසායි.

ඕනෑම ඖෂධයක හොඳ පැත්ත මෙන්ම නරක පැත්තක්ද ඇත… මේ නිසා ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැති බව සිත්හි තබා ගන්න…

ලංකාවේ ඇති පෙනෙල කොළ කැඳක් සති පතා බීමෙන් මෙම ඖෂධයෙන්ම ලැබෙන ගුණාගුණ ලැබිය හැකි බව පැරැන්නෝ පැවසූ බව පුරාතණයේ පොත්පත්වල සඳහන් වී ඇත…

ගිණි අවි නැති ගිණිකෙළි…. රසායන විද්‍යාවේ චමත්කාරය……..

ලොකු කුඩා අපි හැමෝම කැමතියි ගිණිකෙළි දකින්න.. සමහර මැති ඇමතිවරු සහ ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ නම් ගිණි අවිවලින් ගිණිකෙළි කරනවා. තවත් සමහර අහිංසකයෝ නිලාකූරු,  අහස්කූරු ආදියෙන්  ගිණිකෙළි කරනවා… මට මතකයි අවුරුදු කාලෙ අපේ නෑදෑයො රතිඤ්ඤා, නිලා කූරු, බමර චක්‍ර ආදිය ගෙනත් දෙනකොට අපට තියෙන ආසාව… ඒ වගේමයි සමහර විට නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථාවක ඇති ගිණිකෙළි සංදර්ශන ආදිය බලන්න පැය ගණන් කටු කාපු හැටි… ඒ ඔක්කෝම අපි කරන්නේ ගිණිකෙළි වලින් මැවෙන විවිධ වර්ණ රටා දකින්නට ඇති ආසාව නිසා… හොඳයි එහෙම නෙවෙයිද ?

මේ ගිණිකෙළිවල ප්‍රධාන අංග හතරක් තිබෙනවා. ශබ්ධය, ආලෝකය, දුම සහ පාවෙන ද්‍රව්‍ය ලෙසින්. මේවා විවිධ වර්ණ ලබා දෙන ලෙසට සකස් කර තිබෙන්නේ නරඹන්නන්ගේ අවධානය දිනාගනු පිණිසයි. ගිණිකෙළි මුලින්ම නිපදවනු ලැබුවේ ඈත පෙරදිග චීනයේදීයි. ඒ විවිධ භූත ආත්ම පළවාහැරීම සඳහායි. පෙරදිග චීනය වඩාත් ප්‍රසිද්ධ වන කාරණා හතරින් එක කාරණයක් වන්නේ වෙඩි බෙහෙත් නිපදවීම නිසා බව ඔබ සමහරවිට දන්නවා ඇති. අනෙක් කාරණා තුන වන්නේ කොම්පාසුව, කඩදාසි, සහ මුද්‍රණ කර්මාන්තයයි. චීනයේ වැදගත් අංග දෙකක් වන චීන අළුත් අවුරුද්ද සහ සැප්තැම්බර්/ඔක්තෝබර් මාසවල පැවැත්වෙන චන්ද්‍ර සැණකෙළිය (Moon Festival)  වෙනුවෙන් පැවැත්වෙන ගිණිකෙළි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න දසුනක්. ලෝකයේ විශාලතම ගිණිකෙළි නිපදවන්නා හා අපනයනය කරන්නා වන්නේ චීනයයි. මේ නිසා චීනයේ සැදු වන බොහෝ උත්සව වල ගිණිකෙළි සංදර්ශන අනිවාර්ය අංගයක්. උදාහරණයක් වශයෙන් මගේ රසායනාගාරයේ ඉන්න චීන කෙලිපැංචිගේ පාසලේ සියවස් සැණකෙළියට පැයක් පුරා ගිණිකෙළි තිබුණා ලු… අමෙරිකාවේ නිදහස් දවස සමරන්නත් ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. සාමාන්‍ය නගරයක නම් විනාඩි 15 ක් පමණ පැවැත්වෙන අතර නිව්යෝක් වැනි තැනක පැය බාගයක්, පැයක් වැනි කාළයක් මේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. මේවා බලන්නට සෙනඟ උදේ පටන්  පැමිණ තැන් වෙන්කරගෙන බලාගෙන ඉන්නවා.

ලේඛණවලට අනුව මුලින්ම ගිණිකෙළි පිළිබඳ සටහනක් ලැබෙන්නේ හත්වන සියවසේ චීනයේ භූත ආත්ම පළවා හැරීම සඳහා විශාල හඬක් නැගෙන පරිදි පිපිරවූ ගිණිකෙළි වේ. දාහතරවන සියවස වන තෙක්ම ගිණිකෙළි සංදර්ශන පැවැත්වූයේ රජපවුල සහ ධනවත් වංශාධිපතියන් සඳහා පමණි. මිං රජ පවුල මේ සම්ප්‍රදාය බිඳ දමා ගිණිකෙළි සෑම දෙනාටම උරුම වූ දෙයක් සහ ඕනෑම අවස්ථාවක පාවිච්චි කළ හැකි දෙයක් බවට පත් කරන ලදී…

ගිණිකෙළි සංදර්ශන වල ක්‍රමය වන්නේ බිම සිට උඩට යවන රොකට්ටුවක් වැනි දෙයකින් ඉහල අහසේ පිපිරීමක් සිදු කර ගිණිකෙළි දර්ශනය වන්නට සැලැස්වීමයි. මෙහිදී වඩාත්ම පොදු රොකට්ටු ක්‍රමය වන්නේ කඩදාසි හෝ කාඩ්බෝඩ් වැනි ඝණ ද්‍රව්‍යයකින් වටකළ පුපුරණ ද්‍රව්‍යවලින්  තැනූ ගිණිකෙළි වේ. පෙරකළ යුද්ධවලදී භාවිතා කළ රොකට්ටු භාවිතාව තවමත් බහුලවම භාවිතා කරන ක්‍රමයයි.

උඩ යන්න සූදානමින්

මේ සඳහා ගිණිකෙළි ඉහළට යැවීමට පිපිරුමක් ඇති කළ යුතුයි. දෙවනුව අදාල පිපිරුම් (තරු) අඩංගු කොටස නිසි පරිදි අහසේ අදාල උසේදී පිපිරීමට ගිණි නූල (Fuse) සැකසිය යුතුයි. පිපිරුම් අඩංගු තරු ඇතුලත් කොටස පිපිරී ගිණිකෙළි පිටතට පැමිණිය යුතුයි.

ඇතුල මෙහෙමයි

ගිණිකෙළිවල වර්ණයන් ලබා ගන්න විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. එසේම ගිණිකෙළි තුල මූලිකවම ඇත්තේ රසායනික ද්‍රව්‍යයි. මේ ද්‍රව්‍ය විවිධාකාරයෙන් කටයුතු කරනවා.

  • ගිණිකෙළි දහනය සඳහා ඉන්ධන
  • ගිණි දැල්වීමට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සඳහා ඔක්සිකාරකයක්
  • වර්ණ ගැන්වීම සඳහා රසායනිකයක්
  • ගිණිකෙළි පිපිරීමේදී හෝ අහසට යැවීමේදී නොකැඩීම සඳහා බැඳුම් ද්‍රව්‍යයක්.
  • ගිණිකෙළිවල වර්ණය පැහැදිලිව පෙන්වීමට ක්ලෝරීන් දායකයෙක්.

යන කාරණා සඳහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිතා කෙරෙනවා.

පහත දැක්වෙන්නේ විවිධ වර්ණ සහ ඒවා ලබාගැනීමට භාවිතා කරන විවිධ රසායන ද්‍රව්‍ය වේ. ඔබට පාසලේ විද්‍යාගාරයේදී සිදු කළ පහන්සිළු පරීක්‍ෂාව මතක නම්, ඒ ඒ වර්ණ ලබා ගැනීමට භාවිතා කළ විවිධ රසායන ද්‍රව්‍ය මතක් කරගන්නට පුළුවනි. මේ දැක්වෙන්නේ ඒ පැහැයන් ලබා ගැනීමට භාවිතා කරන රසායන ද්‍රව්‍ය වේ. මෙහිදී කාබනේට, ක්ලෝරයිඩ හෝ නයිට්‍රේට භාවිතා කරනුනේ ඒවායේ ඇති පහළ ද්‍රවාංක නිසායි.. එසේම ඒවායේ ඇති ඇනායන අවර්ණ වීම නිසා පහන්සිළු පරීක්‍ෂාවට බාධාවක් නොවීමත් හේතුවක්

රතු පැහැය – ස්ට්‍රොන්ටියම් – (තද රතු) ලිතියම් (ලා රතු) SrCO3 සහ Li2CO3

තැඹිලි පැහැය – කැල්සියම් – CaCl2

කහ පැහැය – සෝඩියම් – NaNO3

කොළ පැහැය – බේරියම් – BaCl2

නිල් පැහැය – කොපර් හේලයිඩ – CuCl2

ඉන්ඩිගෝ පැහැය – සීසියම් – CsNO3

දම් පැහැය – පොටෑසියම් – රුබීඩියම් (රතට හුරු දම්) – KNO3 , RbNO3

රන් පැහැය – අඟුරු – යකඩ පහන් දැලි

සුදු පැහැය – ටයිටේනියම්, ඇලුමිනම්, බෙරිලියම් හෝ මැග්නීසියම් පවුඩර්.


පහත දැක්වෙන්නේ විවිධ මූලද්‍රව්‍ය භාවිතාකර ගිණිකෙළි නිෂ්පාදනයේදී එක් එක් මූලද්‍රව්‍ය වලින් සිදුවන කාර්යය සහ වර්ණ පිළිබඳ සාරාංශයක්.

Al – ඇලුමිනම් – රිදී සහ සුදු පැහැය ලබා ගැනීමට භාවිතා වේ. එමෙන්ම දිලිසීම (sparkle) ඇති කිරීමට භාවිතා කරයි.

Ba – බේරියම් – කොළ පැහැය ඇති කරයි. එසේම වාශ්පශීලී ද්‍රව්‍ය ස්ථාවර කිරීමට ද භාවිතා වේ.

C – කාබන් – මෙය විශේෂයෙන්ම ඉන්ධනයක් ලෙස සහ ගිණිකෙළි අහස කරා රැගෙන යාමට  ප්‍රචාලනය කිරීමට භාවිතා වන කළු කුඩෙහි අඩංගු වනවා.

Ca – කැල්සියම් – කැල්සියම් ලවණ තැඹිලි පැහැ ගිණිකෙළි ඇති කරන අතර අනෙකුත් වර්ණවල තදබව ඇති කිරීමටද භාවිතා වේ.

Cl – ක්ලෝරීන් – ගිණිකෙළි ඔක්සිකරණයේදී වැදගත් වේ, පහළ ද්‍රවාංකයක් ලබාදෙන අතර බොහෝ ලෝහ ක්ලෝරීන් සමඟ සංයෝග තනන නිසා ක්ලෝරීන් සංයෝග ගිණිකෙළි වලදී වැඩියෙන් භාවිතා වේ. එසේම වර්ණ තීවෘ කර පෙන්වීමට භාවිතා කරයි.

Cs – සීසියම් – ඉන්ඩිගෝ වර්ණය නිපදවන අතර ඔක්සිකරණයේදී වැදගත් වේ.

Cu – කොපර් – නිල්වන් කොළ පැහැය ඇති කරයි. කොපර් හේලයිඩ නිල් පැහැති ඡායාවක් ඇති කිරීම සඳහා භාවිතා කරයි.

Fe – අයන් – දිලිසීම් (Sparks) ඇති කිරීම සඳහා භාවිතා කරයි. ලෝහයේ උෂ්ණත්‍වය අනුව දිලිසීම්වල වර්ණය වෙනස් වේ.

K – පොටෑසියම් – පොටෑසියම් නයිට්‍රේට් (KNO3), පොටෑසියම් ක්ලෝරේට් (KClO3), සහ පොටෑසියම් පර්ක්ලෝරේට් (KClO4) , දහනයේදී ඔක්සිජන් සැපයීම මගින් අනෙකුත් ද්‍රව්‍ය ඔක්සිකරණයට උදවු කරයි. එසේම රෝසපැහැති දම් පැහැයක් ඇති දිලිසීම් ඇති කිරීමට ද භාවිතා වේ.

Li – ලිතියම් – රතු පැහැය ඇති කිරීම සඳහා භාවිතා කරයි. විශේෂයෙන්ම Li2CO3.

Mg – මැග්නීසියම් – දැඩි දීප්තියක් ඇතිව දැවේ. සුදු හෝ රිදී පැහැති දිලිසුම් ඇති කිරීම සඳහා භාවිතා වන අතර සමස්තයක් ලෙස ගිණිකෙළිවල දීප්තිය වැඩි කිරීම සඳහා යොදාගැනේ.

Na – සෝඩියම් – දීප්තිමත් කහ පැහැය ලබා දේ.. නමුත් දීප්තිය වැඩි නිසාම අනෙක් වර්ණ යටපත් කරයි.

O – ඔක්සිජන් – ඔක්සිකරණයේදී යොදාගැනේ. බොහෝවිට නයිට්‍රේට, ක්ලෝරේට, සහ පර්ක්ලෝරේට වශයෙන් භාවිතා වේ. සමහරවිට එකම සංයෝගය වර්ණ ලබාදීමට සහ ඔක්සිකරණය යන කරුණු දෙකටම භාවිතා කරයි.

P – පොස්ෆරස් – මෙම මූලද්‍රව්‍යය ස්වයංක්‍රීයව වාතයේදී දහනය වේ. එසේම අඳුරු තත්ත්‍ව නිර්මාණය කිරීමට භාවිතා වේ. ස්වයං දහනය ඇති නිසා ගිණිකෙළිවල ඉන්ධනයක් ලෙස භාවිතා වේ.

Ra – රේඩියම් – තද කොළ පැහැය ලබා දෙයි. භාවිතයට අනතුරු දායකයි.

Rb – රුබීඩියම් – ගිණිකෙළිවලට යොදාගන්නා විවිධ සංයෝග මිශ්‍රණ ඔක්සිකරණයට යොදාගනී. රතට හුරු දම් පැහැය ලබා දේ.

S – සල්ෆර් – ගිණිකෙළි අහසට යැවීමට භාවිතා කරන ඉන්ධන වල සංඝඨකයකි.

Sb – ඇන්ටිමනි –  ගිණිකෙළි වල දීප්තිය/ කාන්තිය (glitter) ලබා දීමට භාවිතා කරයි.

Sr – ස්ට්‍රොන්ටියම් – විවිධ සංයෝග මිශ්‍රණ ස්ථායී කිරීමට යොදාගන්නා අතර රතු පැහැය ලබා දෙයි.

Ti -ටයිටේනියම්- රිදී පැහැය ලබා දේ

Zn – සින්ක් – ගිණිකෙළිවල දුම් ඇතිකිරීමට භාවිතා කරයි.

මේ විවිධ ගිණිකෙළි එකම විදියට පිපිරෙන්නේ නැහැ… ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කර විවිධාකාරයට පිපිරෙන්නට සලස්වනවා. පහත් දැක්වෙන්නේ ඒ ක්‍රම කිහිපයක්.

Peony

Peony –  තරු ආකාරයට ගෝලාකාරව පිපිරීම – මෙහිදී වැටෙන ආලෝකයේ දීප්තිමත් වල්ගයක් වැනි ඉතිරියක් ඇති වන්නේ නැහැ.

Chrysanthemum

Chrysanthemum – දිලිසුම් සමඟ  දීප්තිමත් වල්ගයක් ඇති කෙරෙන Peony ආකාරයේ පිපිරීමක්

Dahlia

Dahlia – Peony ආකාරයේ සැකසුමක් වුවත් විශාල තාරකා සුළු පුමාණයකින් සමන්විතයි.

Willow

Willow – Chrysanthemum වලට සමාන නමුත් දිගුකාලයක් පවතින දිගු වලිගවලින් සමන්විත පිපිරුමක්. පිපිරෙන්නේ අර්ධ ගෝලාකාරවයි (Dome)

Ground Bloom Flower

Ground Bloom Flower – බිම සිට විහිදෙන කුඩා ගිණිකෙළි. වර්ණය කිහිප වතාවක් වෙනස් කළ හැකියි.

Palm

Palm – තල් ගසක් වැනි ආකාරයට පිපිරෙන දිගු දිලිසීම් ඇති කෙරෙන පිපිරුම් ඇති කරයි.

Ring

Ring – වලල්ලක ආකාරයට පිපිරුමක්ඇති කරයි. සමහර අවස්ථා වල හදවත්, මුහුණු වැනි විශේෂ දසුන් ද ඇතිකළ හැක.

Diadem

Diadem – Chrysanthemum හෝ Peony ආකාරයේ පිපිරුමක් මධ්‍යයේ ඇති කරන අතර, පිපිරෙන තාරකා වැඩිදුර චලනයක් නොවේ.

Kamuro

Kamuro – පිරිමි ලමුන්ගේ හිසකෙස් යන ජපාන වදනේ ආකාරයට දැඩිව එකළඟින් ඇසිරුණ දිගු වල්ගයක් ඇති පිපිරුමක්.

Crossette

Crossette – කතිරයක් ආකාරයට දිගු වල්ගයක් සහිතව පිපිරෙන තරුවක්.

Spider

Spider – දැඩිව පිපිරෙන අඟුරු සහිත තරුවක්. මෙහි පිපිරීම වැඩි නිසා පිපිරෙන තරු රේඛීයව ගමන් කරයි. එය මකුළුවෙකු සේ දිස්වේ.

Horse Tail

Horsetail – අශ්වයෙකුගේ වල්ගයක් සේ පිපිරෙන ගිණිකෙළි. සමහර අවස්ථාවල මෙය දිය ඇල්ලක් සේ දිස් වේ.

Time Rain

Time Rain –  සෙමින් දිගු කාලයක් පවතින ගිණිකෙළි. මෙය වැස්සක් සේ දිස් වීමට සකසා ඇත.

Multi Break

Multi – Break Shells – පොකුරු ගිණිකෙළි. එකක් පිපිරී ඉන් තවත් කිහිපයක් පිපිරෙන ආකාරයට සකස් කර ඇත.

Fish

Fish –  මසුන් පිහිනන්නාක් මෙන් දිස්වෙන ගිණිකෙළි.

Salute

Salute – දැඩි ශබ්ධයක් සහිතව පිපිරෙන ටයිටේනියම් කුඩු යොදා තැනූ ගිණිකෙළි. මේවා සාමාන්‍යයෙන් ගිණිකෙළි සංදර්ශනය අවසානයේ විශාල වශයෙන් පුපුරවයි.

Bengal Fire

Bengal Fire –  ස්ථාවර දර්ශනීය නිල් පැහැති ආලෝකයක් සහිතව පිපිරේ.

Roman Candle

Roman Candle – අවානක් ආකාරයට සැකසෙන නරඹන්නන්ට ඉතා සමීපව පිපිරෙන ගිණිකෙළි වේ.

ගිණිකෙළි වලින් වර්ණයක් ලබා දෙනවා සේම එහි ඇතිකෙරෙන ශබ්ධයද ඒ හා සමානවම වැදගත් වේ. මේ ශබ්ධ ආකාර කිහිපයක්.

Bangs and Report  – මෙය වඩාත්ම පොදු ශබ්ධ ආකාරය වන අතර මෙහි ශබ්ධය තුවක්කුවක් පත්තු වන ශබ්ධය ගනී.

Crackle –  “චර චර“ ශබ්ධය ගෙන එන ආකාරයයි.

Hummers –  සිහින් මිමිණුමක් හෝ හ්ම් ශබ්ධය ගෙන එන ආකාරය.

Whistle –  ඉහළ තාරතාවයක් ඇති විසිල් කරනවා වැනි ශබ්ධයක් ගෙන දේ. බොහෝ විට මෙය අවසානයේ ඉහළ පිපිරුමක් සහිතව දැඩි ශබ්ධයක් සමග මිශ්‍රකර භාවිතා කරයි.

මේ ගිණිකෙළි අවසානයේ දැවී සහ නොදැවී ඉතිරි වන දේ වලින් පරිසරය දූෂණයක් ද සිදු වේ. මේ නිසා බොහෝ රටවල් ජලයේ දියවන සහ එක්රැස් වීමක් නොවන සංයෝග යොදාගැනීම කෙරෙහි නැඹුරු වී තිබේ. මේ රටවල ගිණිකෙළි සඳහා විවිධ පරාමිතීන් පවා හඳුන්වා දී තිබෙනවා. විවිධ ආරක්‍ෂක විධි විධාන, නරඹන්නන් සිටිය යුතු දිශාව, දුර, ගිණිකෙළි පැවැත්විය යුතු ස්ථාන ආදිය දැඩි පාලනයකට යටත්ව සිදු කෙරෙනවා.

කෙසේ වුවත් මේ ගිණිකෙළි වැරදුනොත් ලොකු ගිණිකෙළියක් වෙලා නවතින බවත් සිහි තබාගත යුතුයි.. මේ නිසාම මහා පරිමාණයේ ගිණිකෙළි සංදර්ශනයන් සඳහා වෘත්තීයමය ගිණිකෙළි ප්‍රදර්ශකයන් භාවිතා කළ යුතුමයි… රතිඤ්ඤා වැනි සරළ ගිණිකෙළි වැඩිහිටියන් විසින් භාවිතා කළත්, කුඩි ළමුන්ට ඒවා භාවිතාව තරමක් අවදානම්. මේ නිසාම හැම අවුරුද්දකම වාගේ කිහිප දෙනෙක් මුහුණ අතපය තුවාල කරගන්නබව නොකියාම බැහැ….

මින්පසු ගිණිකෙළි සංදර්ශන නරඹන විට මොන වගේ ක්‍රමයටද පිපිරෙන්නේ, මොන වගේ ශබ්ධයක් ද ඇති වන්නේ කියන එක හිතා බලන්නත් අමතක කරන්න එපා………

ගිණිකෙළි සහ ඉන් ආරක්‍ෂා වීම ගැන දිවයිනේ ඇති මේ ලිපියත් කියවලා බලන්න

ගිණිකෙළිවල පින්තූර මෙතැනින් බලන්න

ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්‍රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාමය…..

 

හයිඩ්‍රජන් සංවත්සරය

ගිය අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා ඇල්කෙමියටත් කරන්න දෙයක් නැතිකමට බ්ලොග් එකක් පටන් ගත්තා… නමක් හොයන්න අමාරු වුනේ නැත්තේ ඇල්කෙමියා ඉස්සර ඉඳලම “ඇල්කෙමියා“ කියන නම බොහෝ දේට භාවිතා කරමින් තිබුණ නිසා.. ඉතින් මුලින් මුලින් රසායන විද්‍යාව සම්බන්ධ දේ පමණක් ලියන්න හිතාගෙන හිටියත්, සමහර වෙලාවට අරමුණෙන් අපගමනය වුනේ පුංචි පුංචි දේශපාලන කතා ලියැවිච්චි නිසා.

වසරක් ගතවෙද්දි ඇල්කෙමියගේ රසායනාගාරයට ගොඩ වැදිච්ච ගණන 11000 ක්. ලිපි නම් ලියැවුනේ පනස් අටයි. ජුලි මාසේ ඉඳලා ඇත්තම රසායනාගාරයේ වැඩ පටන් ගත්ත නිසා ලිපි සංඛ්‍යාව පොඩ්ඩක් අඩු වුනා. ජනවාරි මාසයේ ඉඳන් ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්ත නිසා නිතිපතා ඇල්කෙමියාගේ රසායනාගාරයට ලියන්නට බැරි වුනා. ඒ වුනත් ඉඳලා හිටලා කවුරු හරි මතක් කළාම ඔන්න ලිපියක් ලියන්න ගන්නවා.

මේ අතරේ තමයි ඇල්කෙමියා පාඨක ප්‍රතිචාර අහලා ලිපියක් ඉදිරිපත් කලේ. ඒ අනුව සමහර අයගේ ඉල්ලීම වුනේ නැනෝ තාක්‍ෂණය ගැන ලිපියක් පළ කරන්න කියලා… දන්න හැටියට ලියලා දාපු ඒ ලිපියට ලැබුන ප්‍රතිචාර අනුව නැනෝ යන්ත්‍ර ගැනත් ලියැවුනා.. මේ වගේ ලිපි තවදුරටත් ඉදිරියට ඉඩ ලැබෙන විදියට ලියැවේවි.. නිතරම බලන්නේ කාට හරි දැනුමක් එකතු කරගන්න පුළුවන් යමක් ලියන්නයි.

දිනපොතත්, රසායනාගාරයත් යන දෙකම ලියැවෙන නිසාත්, ඇල්කෙමියාගේ ඇත්තම රසායනාගාරයේ වැඩ අධික බව නිසාත් සතිපතා නම් ලිපි ලියැවෙන එකක් නැහැ. නමුත් ඇල්කෙමිච්චිවත් ශේප් එකේ තියාගෙන උදේට උදේට ඇහැ ඇරිලා සතියක් විතර ලියන ලිපියක් ඉඳහිට පළ කරන්නම්. මේ ලිපි ලියන නිසාම මගේ අමතර දැනුමත් ටිකක් වැඩි වුනා කිව්වොත් නිවැරදියි….

ඉතින් පාට පාට පාඨක ඔබ සැම මේ ඇල්කෙමියාගෙ රසායනාගාරයට ගොඩ වැදිලා යම් දැනුමක් ලබා ගන්නවා නම් ඒක ඇල්කෙමියට සතුටක්. ඇල්කෙමියා මේ රසායනාගාරයේ ලිපි පළ කරන්නේ පොරක් වෙන්න හිතාගෙන නෙවෙයි. ඇල්කෙමියට කවදාවත් පොරක් වෙන්න ඕනෙත් නෑ… හැබැයි කවුරු හරි ඇල්කෙමියා පොරක් කියලා කියනවා නම් ඒ ගැන තර්ක කරන්න යන්නෙත් නෑ…. අනිත් හැමෝටම වගේ ඇල්කෙමියටත් තියෙනවා දේශපාලන දර්ශනයක්. ඒක ආණ්ඩුවට පක්‍ෂද විපක්‍ෂද කියලා නෑ.. ඇල්කෙමියාට හරියි කියලා හිතෙන දේට හරියි කියනවා. එල්ටීටී එක වුනත් හරි දෙයක් කරනවා නම් ඒක හරි කියලා කියන්න ඇල්කෙමියා පසුබට වෙන්නෙත් නෑ… ආණ්ඩුව කරන හරි දේ අගය කරන්න වගේම වැරදි දේ විවේචනය කරන්නත් ඇල්කෙමියාට කොන්දක් තියෙනවා. සමහරු ඇල්කෙමියාගේ රසායනාගාරය දේශපාලන බ්ලොගයක් කියලා වරදවා වටහාගෙන තිබෙනවා ලු. ඒත් ලංකාවේ සිදුවන දේ ගැන විවේචනය කිරීමේදී සමහරුන්ට මේ බ්ලොගය දේශපාලනිකව පෙනෙනවා ඇති. නමුත් මේ සටහන්වල අරමුණ වන්නේ දැනුම බෙදාහැරීම පමණමයි…

 

ඇල්කෙමියාගේ දැනුම center එක

ඉතින් සුපුරුදු පරිදි පුළු පුළුවන් වෙලාවට ඇල්කෙමියා මේ රසායනාගාරයට ගොඩ වැදිලා අළුත් යමක් ඔබට දේවි… ඇල්කෙමියා මේ රසායනාගාරය කරන්නේ හිට් ගණන බලාගෙනත් නෙවෙයි…. හැබැයි කවදාවත් මේක ඇල්කෙමිච්චි නං හැක් කරන්නේ නෑ කියන එකත් ඔය සමහර ඇත්තන්ට මතක් කරලා දෙන්න ඕන…..

එහෙනම් ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා… වැඩි වැඩියෙන් කියවන්න ලියන්න ලැබේවා…. !

නැවත වතාවක් කරන කතාවක්……… පරෙස්සම් වන්න…..ඊයම් විෂවීම භයානකයි…..

ලංකාවේ තිබෙන ගෙදර දොර තීන්ත වර්ගවල තිබෙන ඊයම් ප්‍රමාණය නීතියෙන් නියමිත ප්‍රමාණවලට වඩා 1526 ගුණයක් වැඩියි ලු. ලංකාවේ ඇති නීති රීති හා ඒවා පිළිපැදීම් ගැන අපට තියෙන අත්දැකීම් එක්ක මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. වඩාත්ම අවාසනාවන්ත කාරණය තමයි මේ ගැන කතා කරන්න ලංකාවේ කිසිකෙනෙක් ඉදිරිපත් නොවීම. විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා මහාචාර්ය වරුන් සිය ගණනක් හිටියත් ඔවුන් මෙවැනි ප්‍රතිපත්ති පිළිබඳ (policy issues) කතා නොකිරීම ලොකු ගැටළුවක්.

ඊයම් විශ වීම යනු භයානක තත්ත්‍වයක්… මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් මම 2011 මැයි 27 වෙනිදා ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ කර තිබෙනවා… කැමති අය ගිහින් බලන්න….

මෙන්න මෙහෙම මම කිවුවේ 2010 මැයි 27 වෙනිදා

රෝගීන්ට සිදු වන අකටයුතුකම් ගැන, වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිළිමත් කම නිසා සිදු වන ජීවිත හානි ආදිය පිළිබඳ කතා කරන්න කවුරුවත් ඉදිරිපත් නොවුනත්, වෛද්‍ය වරයෙකුට නිය පිටින් පහරක් වැදුනත් වර්ජනය කරන්න නම් සූදානම්. ඒ වගේමයි, ලංකාවේ වසරකට 10,000 ක් පමණ රිය අනතුරු වලින් මිය යනවා, නමුත් ඩෙංගු නිසා මිය යන්නේ 500 ක් පමණ… අපි ඩෙංගු සහ ඒ පිළිබඳ කතා කරනවා (ඒක හොඳයි, නමුත්) අපි බීමත්ව රිය පැදවීමෙන් හෝ නොසැලකිළිමත්ව රිය පැදවීම නිසා අකාලයේ මිය යන මිනිසුන් ගැන කතා කරන්නේ නැහැ….

අපි මෙයට වඩා සැලකිළිමත් විය යුතුයි. දැනුමැති අය ප්‍රසිද්ධියේ මේ ගැන කතා කර ජනතාව දැනුවත් කළ යුතුයි… මේ ගැන පත්තරේකට ලිවුවත් පත්තර කන්තෝරුවල අය අපි අඳුනන්නේ නැති නිසා ඒවා පත්තර වල පළවන්නේ නෑ… මීට පෙර මා කාලගුණ විපර්යාස සහ මිනිස් සම්බන්ධතාවය පිළිබඳ දිවයින පත්තරේට ලිව්වත්, අවම වශයෙන් ඔවුන් එම ලිපිය ලැබුණා දැයි වත් මට දැන්වුවේ නැහැ… මේ නිසාම මම පත්තර වලට ලිවීම නතර කරලා බ්ලොග් ලිවීමට පටන් ගත්තේ අවම වශයෙන් දහ දෙනෙකුවත් කියවාවි යැයි කියන හැඟීමෙන්…

අනාගතයේ එක දවසක්…… නැනෝ යන්ත්‍ර Nano Machines / Molecular Machines සහ නැනෝ රොබෝ වරු………….

පසුගිය ලිපියේ ප්‍රතිචාර වලින් බොහොමයක් වුනේ නැනෝ යන්ත්‍ර එහෙමත් නැතිනම් නැනෝ රොබෝවරුන්ගේ ක්‍රියාකාරිත්‍වය පැහැදිළි කරලා දෙන්න කියලයි. ඇත්තෙන්ම මේ නැනෝ යන්ත්‍ර කියන දේ තවමත් අත්හදා බැලීම් තත්ත්‍වයේ ඇති සංකල්ප පමණයි. ඒ වුනත් හැම සාර්ථක නිපැයුමක්ම මුලින් සංකල්පයක් වශයෙන් හටගෙන වැඩෙන නිසා වගේම, යම් යම් පර්යේෂණ වලින් මේ නැනෝ යන්ත්‍ර වල පැවතීම අනාගතයේදී ඇති විය හැකි බවට තහවුරු වීම නිසාම බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙතට යොමු වී තිබෙනවා.

නැනෝ යන්ත්‍රයක ත්‍රිමාණ සටහන

මේ නැනෝ යන්ත්‍ර යනු, එක්කෝ කුඩා මිසෙල්ලාවක් සේ සැකසුන පරමාණු කිහිපයක් වන්නට හෝ, යම් යම් අණුක සැකැස්මකින් සමන්විත සරළ සංයෝගයක් වුවත් වන්නට පුළුවන්. මේ නැනෝ යන්ත්‍ර විවිධ ක්‍ෂෙත්‍රයන් හි ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ මේ යන්ත්‍රවලට විශාල වැඩ කොටසක් කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් සෛල වලට ඖෂධ බෙදාහැරීම (Drug Delivery) වැනි කටයුතු වලදී මේ යන්ත්‍ර යොදාගැනීමට පුළුවනි.  සමහරවිට පිළිකා මර්ධනයේදී අදාල පිළිකා සෛල වලට එරෙහිව ඖෂධ සැපයීමේදී පිළිකා සෛල මෙන්ම නිරෝගී සෛල වලටද හානි පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක නැනෝයන්ත්‍රයකට ඈඳූ ඖෂධයක් පිළිකා සෛල වෙතට ඉලක්ක කර මුදාහැරීම කළ හැකියි. එම නැනෝ යන්ත්‍රය පිළිකා සෛල හඳුනාගෙන ඒ වෙතට ලඟා වු පසු ඖෂධ මුදා හැරීම කළ හැකියි.

 

මේ වගේ සංකල්පත් තිබෙනවා

මෙහිදී විශේෂයෙන් සැළකිළිමත් විය යුතු කරුණ වන්නේ මේ නැනෝ යන්ත්‍ර මිනිස් ශරීරයට අහිතකර නොවීමට වග බලා ගැනීමයි. මේ නිසාම නැනෝ යන්ත්‍ර නිපදවීමට පර්යේෂණ කරන විද්‍යාඥයන්ට විශාල බාධකවලට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. ඒ තමයි නැනෝ යන්ත්‍ර ඖෂධ මුදාහැරීමට සකස් කළ හැකි යාන්ත්‍රණය සොයාගැනීම. ඒ නැනෝ යන්ත්‍ර නියමිත පරිදි පිළිකා සෛල වලට පමණක් ප්‍රතිචාර දැක්වීමට සකස් කිරීම. නැනෝ යන්ත්‍ර ශරීරයට අහිතකර නොවන සේ ශරීරයෙන් බැහැර කිරීමට හැකි වනලෙස සකස් කිරීම… මේ ආදී වශයෙන් නොදන්නා පරාමිතීන් (Unknown Parameters) විශාල සංඛ්‍යාවකට පිළිතුරු සපයන්නට විද්‍යාඥයන්ට සිදු වී තිබෙනවා.

වෛද්‍ය ක්‍ෂෙත්‍රයේදී මෙන්ම ආරක්‍ෂක ඔත්තු සේවා වලටද මේ නැනෝ යන්ත්‍රවල උපයෝගීත්‍වය ප්‍රයෝජනවත් වෙනවා. අති සූක්‍ෂම ලෙස සැකසූ ඔත්තු බැලීමේ යන්ත්‍ර, කුඩා මයිකුෆෝන, කැමරා, ආදී දේ සැකසීමට කුඩා චිපයන්, කුඩා ඉලෙක්ට්‍රොණික උපාංග පිළයෙල කිරීම ආදියට නැනෝ තාක්‍ෂණය යොදාගන්නවා. Dan Brown ගේ පොතක් වන Deception Point හි විශේෂ ඇමරිකානු භට කණ්ඩායමක් උත්තරධ්‍රැවයේ ඔත්තු බැලීමක නිරත වෙන්නේ මෙන්න මේ නැනෝ යන්ත්‍රයක උපයෝගීත්‍වයෙන්. කුඩා මදුරුවෙකු වැනි යන්ත්‍රයක ආධාරයෙන් උත්තරධ්‍රැවයේ නාසා ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමෙහි ක්‍රියාකාරීත්‍වය නිරීක්‍ෂණය කරන ඔවුන්,  සුවිශේෂ සොයාගැනීමක් කරන විද්‍යාඥයා ඝාතනය කරන්නේ එම යන්ත්‍රයම උපයෝගී කරගෙනයි… මෙවන් දෑ සංකල්ප ලෙස පැවතියත්, නාවික හමුදා පර්යේෂණායතනය වැනි අති රහස්‍ය අමෙරිකානු පර්යේෂණායතනවල මෙවන් පර්යේෂණ දැනටමත් සිදුකෙරෙමින් පවතිනවා.

 

ඔත්තු බලන නැනෝ මැස්සෝ....

ඊට අමතරව නැනෝ තාක්‍ෂණය වැදගත් වන අනෙක් ක්‍ෂෙත්‍ර වන්නේ රසායන විද්‍යාවයි. Lab on Chip නම් සංකල්පය වන අති සූක්‍ෂම ලෙස සැකසූ විශ්ලේෂණයන් වලට යොදාගන්නා කුඩා උපකරණ මේවාට හොඳම උදාහරණයයි. මෙය වෛද්‍ය ක්‍ෂෙත්‍රයේදී ද උපයෝගී කරගත හැකියි. මෙමගින් අප භාවිතා කරන සාම්පලය මිලිග්‍රෑම් හෝ මයික්‍රෝග්‍රෑම් පුමාණයක් වැනි අතිශය සුළු ප්‍රමාණයකට සීමා වන අතරම නාස්තිය අවම වෙනවා. එසේම ප්‍රතිඵල ලබා දීමද ඉක්මනින්ම සිදු වෙනවා. එසේම සමහර හානිකර ද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය වැනි දෑ ද පහසුවෙන් ආරක්‍ෂා සහිතව විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබෙනවා.

නැනෝ තාක්‍ෂණයේ තවත් ප්‍රයෝජනවත් ක්‍ෂෙත්‍රයක් වන Micro Electro Mechanical Systems (MEMS) සහ Nano Electro Mechanical Systems (NEMS) මෙම නැනෝ යන්ත්‍රවලට දිය හැකි සරළම උදාහරණයයි. මේවා විවිධ ක්‍ෂෙත්‍ර වල භාවිතා වන අතර මෙම විෂයය තවමත් සීඝ්‍ර ලෙස වර්ධනය වන පර්යේෂණ ක්‍ෂෙත්‍රයක්. මෙහි වඩාත්ම වැදගත් කොටස් වන්නේ Sensor හෙවත් සංවේදකවල භාවිතයයි. අප සැවොම දන්නා iPhone වැනි Smart Phone තාක්‍ෂණය ඇති ස්පර්ෂ සංවේදනය අනුව ක්‍රියාකරන මුහුණත් ඇති පරිඝණක තිර, දුරකථවන වැනි උපකරණවල සංවේදන ලබාගැනීමට, ඒවා වැටීමකට ලක්වන විට උපකරණ ඉබේම ක්‍රියාවිරහිත වන ලෙස සැකසීම, Nintendo, Wii වැනි ක්‍රීඩා උපකරණවල පාලක (controllers) වල වේගය, චලනය වැනි සංවේදන පාලනයට යොදාගන්නේ මෙවැනි තාක්‍ෂණයන් ය.

 

මේකත් නැනෝ යන්ත්‍රයක සැලැස්මක්

ඉතින් මේ නැනෝ යන්ත්‍ර කියන ලේසියට හදන්නට බැහැ. මේවා තැනීමට බාධක එමටයි. මුලින්ම මේවායේ ප්‍රමාණය- පරමාණු කිහිපයකින් යන්ත්‍රයක හැකියාවක් ඇති දෙයක් තැනීමම බාධකයක්. එසේම ඒවාට පරමාණු ඇමිණීම පහසුවෙන් කළ හැක්කක් නොවෙයි, හරියට බොක්සිං අත්වැසුම් පැළඳගෙන ලෙගෝ වලින් යමක් තැනීම වැන්නක්…  මෙම මූලික බාධකය ජයගතහොත් අනාගතයේ නැනෝ යන්ත්‍ර සෑදීමේ කටයුත්ත ඉක්මන් වන බවයි විද්‍යාඥයින් පවසන්නේ. මෙයින් වඩාම අවධානයට ලක් වුන කරුණ නම් CH3  ඛණ්ඩයේ හයිඩ්‍රජන් පරමාණු ඉවත් කර කාබන් පරමාණු එකිනෙක ඈඳාගනිමින් යන්ත්‍රයක් තැනීමට සැලසුම් කිරීමයි. නමුත් මෙහි ප්‍රධානතම බාධකය වන්නේ  ඒ පරමාණු, අප ඉලක්ක කරන ස්ථානයට සවි නොවී වෙනත් ස්ථානවලට සවි වීම මගින් සිදු වන වෙනස්කම් පාලනයට තවමත් හැකියාවක් නොමැතිකමයි. අප දන්නා පරිදි කාබන් යනු ලෝකයේ වැඩිම සංයෝග සංඛ්‍යාවක් තැනීමට දායක වන මූලද්‍රව්‍යයයි. ඒ නිසාම මෙය සෑම පරමාණුවක් සමගම පාහේ සම්බන්ධ වීමට හැකියාවක් දරනවා. එසේම සමහර පරමාණු කාබන් පරමාණුව සමග තනන බන්ධන කැඩීමට අපහසුයි, මේ නිසා වැඩිපුර ශක්තියක් ඒ බන්ධන කැඩීමට යෙදවිය යුතු වෙනවා. නැනෝ යන්ත්‍ර තැනීමට කාබන් ඉතා යෝග්‍ය මූලද්‍රව්‍යයක් වුවත්, මෙවැනි බාධක නිසා එය තරමක් අපහසු වී තිබෙනවා.  එසේම රසායනික සංකලනයට (Chemical Synthesis) පරිඝණක මගින් සැකසූ ආකෘති, විවිධ ගණනය කිරීම් ආශ්‍රයෙන් ලබා ගන්නා ආසන්නතම අගයයන් ආදිය උපයෝගී කරගෙන මේ යන්ත්‍රවල සිහිනය කවදා හෝ සැබෑ කරගැනීමට ලොව පුරා විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙනවා.

එසේම මෙම නැනෝ යන්ත්‍රවල ඇති ප්‍රයෝජනවත් භාවය මෙන්ම එහි ඇති භයානක කමද මේවා තැනීමට බාධකයක් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ස්වයං ප්‍රතිවලිත වීමකට භාජනය වියහැකි (Self Replicate) නැනෝ යන්ත්‍රයක් තැනුවහොත්, එය සෑම විටම 2 ගුණාකාර වලින් ප්‍රතිවලිත වෙනවා. එවිට සෑම චක්‍රයක් අවසානයේදීම එය දෙගුණ වෙනවා. මෙවන් යන්ත්‍රයකට මිනිස් DNA හෝ යම් එන්සයිමයක කටයුතු වෙනස් කරන නැනෝ යන්ත්‍රයක් ඈඳා මුදාහැරියහොත් මිනිස් සංහතිය මෙලොවින් තුරන් වීමට වැඩි කාළයක් ගතවන්නේ නැහැ… මෙවැනි තාක්‍ෂණයක් ත්‍රස්තවාදීන් අතට පත් වුවහොත් සිදු විය හැකි විනාශය ගණනය කරන්නට බැහැ.

කෙසේ වෙතත් ලෝකය බිහි වූ දා සිටම නැනෝ යන්ත්‍රවල අණසකට යටත් වී හමාරයි. අප දන්නා හොඳම නැනෝ යන්ත්‍රය වන්නේ සෛලයයි. එයට අභියෝග කිරීමට කිසිවකට බැහැ. එය තමන් විසින්ම ප්‍රතිවලිත වන, තමන්ටම ආවේණික කටයුතු කරන, තමන් විසින්ම පාලනය වන ස්වාධින ව්‍යුහයක්… ලොවේ කිසිම බලවතෙකුට මෙහි ක්‍රියාකාරීත්‍වය 100% ක් පාලනය කරන්නට බැහැ. මේ නිසාම නැනෝ යන්ත්‍ර කෙරෙහි අවධානය දක්වන බොහෝ දෙනා සෛලවල ක්‍රියාකාරීත්‍වය ගැන සැළකිළිමත් වන්නේ ඉන් උගතහැකි බොහෝ පාඩම් ඇති නිසායි….

ඉතින් අපි සැවොම මේ නැනෝ යන්ත්‍රවල ක්‍රියාකාරීත්‍වයට නතු වූ රොබෝවරුන් සමුහයක්… ඇත්තෙන්ම අහන්නට තියෙන්නේ කවුද ලොක්කා – Who’s the Boss ? කියන ප්‍රශ්නයයි.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඉතින් මේ මම දන්න හැටියට නැනෝ යන්ත්‍ර/ නැනෝ රොබෝවරු ගැන සටහනක්… මෙයට යමක් එකතු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් කරුණාකර එකතු කරන්න…. මගේ කිසි අමනාපයක් නෑ,..