සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය -මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය

සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය සම්මන්ත්‍රණය ලංකාවේ පැවැත්වුන බව දන්නේ බොහොම ස්වල්පයක් දෙනා පමණයි. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එය පැවැත්වුනත්, ප්‍රධාන මාධ්‍ය මගින් එය ප්‍රචාරය වුනේ ජනාධිපති – අගමැති – සහ විද්‍යා හා තාක්‍ෂණ ඇමතිවරු සහභාගි වුන නිසාම පමණක් බවයි මගේ හැඟීම. නමුත් COSTI  ආයතනය මගින් මෙම සමුළුව සජීව YouTube විකාශයක් ලෙස සහ පටිගත කරන ලද වීඩියෝ සියල්ල අන්තර්ජාලයට මුදා හැරීම නිසාම පසුව වුවත් උනන්දුවක් ඇති කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවනි.

මේ සඳහා මගේ දායකත්‍වය වුනේ මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය යන සංවාදයට කෙටි දේශනයක් සහ අදාල සාකච්ඡාවට සහභාගී වීමෙන්. එම කොටසේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම මෙන්න මෙතන

 

මේ සඳහා විද්‍යා සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ දැවැන්තයෙක් වන නාලක ගුණවර්ධනගේ සහ ආනන්ද ගලප්පත්ති යන දෙදෙනාගේ දායක්‍තවය කැපී පෙනුනා… බ්ලොග් දෙකක් පමණක් පවත්වාගෙන ගිය මටත් මේ සඳහා ආරාධනා ලැබුණෙ ඒවා ලියූ කාලයේ යමක් මගෙන් සමාජයට දායක වන්නට ඇතැයි සංවිධායකයින්ට හැඟී ගිය නිසා වෙන්න ඇති. නාලක – ආනන්ද ගලප්පත්ති – සම්රිටි වැනි අය අතරේ මම බොහොම සුළු චරිතයක්.

මගේ දේශනයේ මූලික අවශ්‍යතාවය වුනේ  සාමාන්‍ය සමාජයට හුරු පුරුදු නොමැති සංකල්ප භාවිතා කරගෙන විවිධ කණ්ඩායම් විසින් සිදු කරන වැරදි මතිමතාන්තර නිවැරදි කරන්නේ කෙසේද යන්න, විද්‍යා සන්නිවේදනයට මගේ දායකත්‍වය සහ අපට ඉදිරියේදී නිසි විද්‍යා සන්නිවේදනයක් අවශ්‍යනම්, එය ලබා දෙන්නේ කෙසේද යන කාරණායි.

ලෝකයේ බිලියන 7.3 ක් දෙනා අතරින් සියයට අසූවක් පමණ දෙනා කුමක් හෝ මිත්‍යා විශ්වාසයක එල්බ ගෙන සිටිනවා. එය සමහාවිට ආගම, දෙවියන්, ජෝතිශ්‍යය, වෛද්‍ය මතිමතාන්තර, ජීවන ශෛලීන්, සමහර හිතළු.. ආදිය වෙන්න පුළුවනි. තවමත් ලෝකය පැතලි බව විශ්වාස කරන කණ්ඩායමක් සිටින බව අමතක කරන්න එපා…

මෙන්න මේ මති මතාන්තරවල එල්බ ගෙන සිටින අය නිසි තාර්කික දැනුමක් ලබා දී නිසි මඟට ගෙන්වීමට, විවිධ කණ්ඩායම් මඟින් සිදු කරන වැරදි ප්‍රචාරණයන්ට පිළිතුරු ලබා දීමට, සහ නිවැරදි විද්‍යා දැනුමක් සමාජයට ලබා දීමට මා යෝජනා කළේ රූපවාහිනී නාලිකා වල කාලයෙන්ස තියකට පැය බාගයක් විද්‍යා සන්නිවේදකයින්ට ලබා දෙන ලෙසයි.

මෙය කෙතරම් දුරට සාර්ථක වේ දැයි මා දන්නෙ නැහැ… නමුත් මගෙන් වෙන්න අවශ්‍ය කාර්යභාරය එදින මම නිම කළ බව මට සතුටින් සිතන්න පුළුවනි. මම නැවත ලංකාවට පදිංචියට එන්න තීරණය කළාම නැසීගිය මගේ ගුරුතුමෙක් වන මහාචාර්ය JNO ප්‍රනාන්දු මහතා  කියූ එක දෙයක් මට තවමත් මතකයි “You are nobody in another country – But, you are somebody in Sri Lanka” ඔබ වෙනත් රටක සුවිශේෂ වූ පුද්ගලයෙක් නොවයි – සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි – නමුත් මේ රටේදී අවම වශයෙන් කිහිප දෙනකෙුට හෝ සුවිශේෂි වන්නට පුළුවනි…

නැවතත් මම ලියන්න ගත්තා…. මේ පුනරාගමනයේ සම්පූර්ණ ගෞරවය මහාචාර්ය අජිත් ද අල්විස් මහතාට හිමිවිය යුතුයි… මාව නැවතත් ලියන්න උනන්දු කළේ අජිත් සර්…

සතියකට එක ලිපියක් හෝ පළ කරන්න උත්සාහ කරනවා…

 

 

 

 

 

7 thoughts on “සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය -මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය

  1. මෑතකදී සිංහල බ්ලොග්කරණය ගැන අහන්න ලැබුණ හොදම ආරංචිය ඇල්කෙමියා අවදිවීමයි.

    කියවන්නම්…යමක් ඉගෙන ගන්නම්…එයින් ප්‍රයෝජන ගන්නම්…

    ලියහං අයියේ…

  2. රසායන වද්‍යාව උසස් පෙළ කාලේ මගෙත් මා දන්නා බොහෝ දෙනෙකුගෙත් අප්‍ර්‍රිතම විෂය වුණා. ඔබ ඒ ගැන ලිවීම වැදගත්.

    හැබැයි කෘෂි විද්‍යා උපදෙස් නම් එපා, හොඳේ?

    (වර්ඩ්ප්‍රෙස් බ්ලොග්වල කමෙන්ට් කිරීම තමයි ඊළඟට අමාරු වැඩේ! Hope it works this time)

    1. උත්සාහය සාර්ථකයි… රසායන විද්‍යාව රසවත් වීම හෝ නීරස වීමට ප්‍රධාන වශයෙන්ම ගුරුවරයාගේ පිළිවෙත බලපානවා… උසස් පෙළ පළමු වතාවෙ කරනවිට මට රසායන විද්‍යාව බොහොම අමාරුයි.. නමුත් දෙවන වතාවෙ ටියුෂන් ගියේ දෙව්රුවන් අල්විස් ගුරුතුමා වෙත.. ඒ තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය….
      කෘෂි විද්‍යා උපදෙස් නම් දෙන්නෙ නෑ.. නමුත් CKDU ගැන නම් දිගටම ලියනවා.

    1. නෛතික පදනම ස්ථාවරයි… දැන් කෙළින්ම ජනාධිපතිතුමා යටතෙයි මම දන්නා තරමින් COSTI එක තියෙන්නෙ.. ඒක නිසාම තමයි මේ තරමින් වත් වැඩ සිද්ධ වෙන්නෙ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න