සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය -මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය

සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය සම්මන්ත්‍රණය ලංකාවේ පැවැත්වුන බව දන්නේ බොහොම ස්වල්පයක් දෙනා පමණයි. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එය පැවැත්වුනත්, ප්‍රධාන මාධ්‍ය මගින් එය ප්‍රචාරය වුනේ ජනාධිපති – අගමැති – සහ විද්‍යා හා තාක්‍ෂණ ඇමතිවරු සහභාගි වුන නිසාම පමණක් බවයි මගේ හැඟීම. නමුත් COSTI  ආයතනය මගින් මෙම සමුළුව සජීව YouTube විකාශයක් ලෙස සහ පටිගත කරන ලද වීඩියෝ සියල්ල අන්තර්ජාලයට මුදා හැරීම නිසාම පසුව වුවත් උනන්දුවක් ඇති කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවනි.

මේ සඳහා මගේ දායකත්‍වය වුනේ මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය යන සංවාදයට කෙටි දේශනයක් සහ අදාල සාකච්ඡාවට සහභාගී වීමෙන්. එම කොටසේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම මෙන්න මෙතන

 

මේ සඳහා විද්‍යා සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ දැවැන්තයෙක් වන නාලක ගුණවර්ධනගේ සහ ආනන්ද ගලප්පත්ති යන දෙදෙනාගේ දායක්‍තවය කැපී පෙනුනා… බ්ලොග් දෙකක් පමණක් පවත්වාගෙන ගිය මටත් මේ සඳහා ආරාධනා ලැබුණෙ ඒවා ලියූ කාලයේ යමක් මගෙන් සමාජයට දායක වන්නට ඇතැයි සංවිධායකයින්ට හැඟී ගිය නිසා වෙන්න ඇති. නාලක – ආනන්ද ගලප්පත්ති – සම්රිටි වැනි අය අතරේ මම බොහොම සුළු චරිතයක්.

මගේ දේශනයේ මූලික අවශ්‍යතාවය වුනේ  සාමාන්‍ය සමාජයට හුරු පුරුදු නොමැති සංකල්ප භාවිතා කරගෙන විවිධ කණ්ඩායම් විසින් සිදු කරන වැරදි මතිමතාන්තර නිවැරදි කරන්නේ කෙසේද යන්න, විද්‍යා සන්නිවේදනයට මගේ දායකත්‍වය සහ අපට ඉදිරියේදී නිසි විද්‍යා සන්නිවේදනයක් අවශ්‍යනම්, එය ලබා දෙන්නේ කෙසේද යන කාරණායි.

ලෝකයේ බිලියන 7.3 ක් දෙනා අතරින් සියයට අසූවක් පමණ දෙනා කුමක් හෝ මිත්‍යා විශ්වාසයක එල්බ ගෙන සිටිනවා. එය සමහාවිට ආගම, දෙවියන්, ජෝතිශ්‍යය, වෛද්‍ය මතිමතාන්තර, ජීවන ශෛලීන්, සමහර හිතළු.. ආදිය වෙන්න පුළුවනි. තවමත් ලෝකය පැතලි බව විශ්වාස කරන කණ්ඩායමක් සිටින බව අමතක කරන්න එපා…

මෙන්න මේ මති මතාන්තරවල එල්බ ගෙන සිටින අය නිසි තාර්කික දැනුමක් ලබා දී නිසි මඟට ගෙන්වීමට, විවිධ කණ්ඩායම් මඟින් සිදු කරන වැරදි ප්‍රචාරණයන්ට පිළිතුරු ලබා දීමට, සහ නිවැරදි විද්‍යා දැනුමක් සමාජයට ලබා දීමට මා යෝජනා කළේ රූපවාහිනී නාලිකා වල කාලයෙන්ස තියකට පැය බාගයක් විද්‍යා සන්නිවේදකයින්ට ලබා දෙන ලෙසයි.

මෙය කෙතරම් දුරට සාර්ථක වේ දැයි මා දන්නෙ නැහැ… නමුත් මගෙන් වෙන්න අවශ්‍ය කාර්යභාරය එදින මම නිම කළ බව මට සතුටින් සිතන්න පුළුවනි. මම නැවත ලංකාවට පදිංචියට එන්න තීරණය කළාම නැසීගිය මගේ ගුරුතුමෙක් වන මහාචාර්ය JNO ප්‍රනාන්දු මහතා  කියූ එක දෙයක් මට තවමත් මතකයි “You are nobody in another country – But, you are somebody in Sri Lanka” ඔබ වෙනත් රටක සුවිශේෂ වූ පුද්ගලයෙක් නොවයි – සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි – නමුත් මේ රටේදී අවම වශයෙන් කිහිප දෙනකෙුට හෝ සුවිශේෂි වන්නට පුළුවනි…

නැවතත් මම ලියන්න ගත්තා…. මේ පුනරාගමනයේ සම්පූර්ණ ගෞරවය මහාචාර්ය අජිත් ද අල්විස් මහතාට හිමිවිය යුතුයි… මාව නැවතත් ලියන්න උනන්දු කළේ අජිත් සර්…

සතියකට එක ලිපියක් හෝ පළ කරන්න උත්සාහ කරනවා…

 

 

 

 

 

මාතෘකාව: තරුණ පරපුර; තහනම් වචනය ලිංගික සබඳතා….. ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත්  ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින්  යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම් පුවරු ගලවා ඉවත් කරනු ලැබේ. රූපවාහිනියේ මත්පැන් දුම්වැටි පානය කෙරෙන දර්ශන කොටු දමා බොඳ කරනු ලැබේ.  වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට ප්‍රදර්ශනය නොකෙරේ…… මේ ලංකාවේ කෙරෙන ලෝක විහිළුවලින් මතක් වෙන ටිකක් පමණි.

මෙන්න නොපෙනෙන පැත්ත.. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිනකට නීති විරෝධී ගබ්සා 500 කට අධික ප්‍රමාණයක් සිදු වේ, ඉන් හරි අඩකට වඩා අවුරුදු 20 ට අඩු තරුණියන් වේ. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලිංගික ක්‍රියාකාරකම් අරඹන සාමාන්‍ය වයස අවුරුදු 13-15 වේ. එනම් පාසල් යන වයසයි. දැන් ලංකාවේ ව්‍යාඝ්‍රා පෙති හෝ ඊට සමාන ‍ඖෂධ අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. අනුරාධපුර නගර ප්‍රදේශය තුළ පමණක් ගැබ් ගැණිම ක්‍ෂණිකව වලකන Morning after  පෙති අලෙවිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ඉතාම සුළු මුදලකට ‍අවුරුදු 20ට අඩු ගණිකාවක් සොයා ගැණීම ගමනක් යාමට ත්‍රී වීල් රථයක් සොයා ගැණීම හා තරමට පහසු කටයුත්තක් වී තිබේ……

මේ ලංකාවේ කළ යුතු,, එහෙත් කිසිවෙකුට නොපෙනෙන පැති කීපයක්. මා දන්නා හැටියට කිසිදු ටෙලි නාට්‍යයක් නැරඹීමට සුදුසු වයස අනුව වර්ග කර නොමැත. (‍එසේ කර ඇත්නම් කරුණාකර එය නිවැරදි කරන්න).. මේ නිසා කුඩා දරුවනට නැරඹීමට නුසුදුසු දර්ශන සහ දෙබස්  ඇතුලත් බොහෝමයක් ටෙලි නාට්‍ය ඉපදුනු අළුත කුඩා දරුවා පටන් ඇඳේ ඔත්පලව සිටින මහල්ලා දක්වා අය රස කර කර දිනපතා නරඹනු ලැබේ. කුඩා දරුවන්ගේ මනස පිරී යන්නේ මේ දර්ශන වලිනි. අනියම් සබඳතා, පවුල් අවුල්, හොරකම්, මැරකම්, ආදී නොයෙක් සමාජමය අපචාර ප්‍රසිද්ධයේ රූපවාහිනී චැනල වලින් නැරඹිය හැක. කුඩා දරුවන් දකින්නේ මේවායි… කිසිදු ස්ථානයක යමක් නිසි ආකාරව කෙරෙන අයුරක් පෙනෙන්නට නැත.  කෙරුනද ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රචාරයක් රටේ ජනමාධ්‍ය වලින් ලැබෙන්නේ ද නැත. ඒ වෙනුවට ජරා ගොඩවල් පෙන්වීම මුදල් හම්බකර ගැණීමට පහසුය.‍ හැමදෙනාම බලන්නේ සුපර් ස්ටාර් කෙනෙක් වී ලේසියෙන් සල්ලි හම්බ කරන්නට විනා තමන්ට සල්ලි ලැබෙන්නේ කෙසේද යන්න නොවේ. සියළුදෙනාගේම පාහේ  ආදර්ශ පාඨය ” බලල්ලු මරල සල්ලි හම්බ කෙරුවට, සල්ලි ඤාව් ඤාව් ගාන්නේ නෑ නේ” යන්නයි. සංවර ගීත සාහිත්‍යය කුණු බක්කියට ගොස් තේරුමක් නැති වචන සමූහයක් සහ බටහිරින් ඇහිඳගත් නාද රටා එක්කර තැනූ ගීත සාහිත්‍යයක් දැන් අපට උරුම වී තිබේ. එදා අප ඇසූ අමරදේව, වික්ටර්, සනත්, සුනිල්, නන්දා, කපුගේ, සෝමතිලක ජයමහ, නීලා, ටී එම්, මිල්ටන්, ක්ලැරන්ස්, ආදීන් වෙනුවට බාගෙට ඉංග්‍රීසි නම් ඇති එලොවටත් නැති මෙලොවටත් නැති පච්ච සිරාලා සංගීතය අරක්ගෙන ඇත. සංගීතය නව්‍ය විය යුතුය, නමුත් සංගීතයේ ශබ්ධ රසයට එහා යමක් තිබිය යුතුය…..

මේ තත්ත්‍වය අවබෝධ කර නොගෙන  ලංකාවේ සංස්කෘතිය නිසිමඟට ගෙන ඒමට දරන ප්‍රයත්නයන් හුදෙක් ඡන්ද ගුංඩු විනා, රටට ආදරයක් ඇතිව කින සැලසුම් නොවේ. ලංකාව සම්පූර්ණයෙන්ම ප්‍රමිතිකරණයකට ලක් කළ යුතුය.. කුඩා දරුවන් රියැලිටි වැඩසටහන් වලට යොමු කිරීම නතර කළ යුතුය. ඉන් සිදු වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අනාගතය අඳුරු කරගැනීම විනා මහා ගායකයෙකු බිහිවීම නොවේ.  කොටු දැමීම වැනි මෝඩ චූන් වැඩ නොකර, ටෙලි නාට්‍ය වලට නැරඹිය හැකි වයස් සීමා පැණවිය යුතුය.

ලිංගික අධ්‍යාපනය යනු ලංකාවේ තහනම් වචනයකි. මේ නිසාම දරුවන් විවිධ ක්‍රමවලින් ඒ දැනුම ලබා ගනී. එය බොහෝ දුරට අවිධිමත් භයානක සහ අසම්පූර්ණ දැනුමක් විනා අන් කිසිවක් නොවේ. නිවසේ ඒ සම්බන්ධ කතා කිරීම අත්‍යන්තයෙන්ම අපරාධයකි. මේ නිසා පියවරුන් තම පුතුන්ටත්, මෑණිවරුන් තම දියණියන්ටත් ඒ සම්බන්ධව වචනයක් හෝ කතා නොතිරීමට වග බලා ගනී.  පාසලේ ප්‍රජනනය පාඩම සිසුන්ට තනිව කියවාගෙන විභාගය ලියන්නැයි කියන තරමට ගුරුවරුන් ද “සංවර” වී තිබේ. මේ නිසාම  ඔවුහු ඒ දැනුම ලබා ගැණීම සිය මිතුරු මිතුරියන් පෙම්වතුන් හෝ රහසේ හුවමාරු වන පුවත්පත් සඟරා සහ අන්තර්ජාලය කෙරෙහි නැඹුරු වෙති. එහි කෙළවර අනාරක්‍ෂිත ලිංගික සබඳතාවයක් දක්වා ගොස් විවිධ සමාජ ‍රෝග, නීතිවිරෝධී ගබ්සා , නිවසින් පලා යාම සහ ඇතැම්විට මරණය දක්වා යා හැකිය.

මේ පුහු සමාජ බැමි තරමක් ලිහිල් කර, යම් වයස් සීමාවක සිට පාසල් සිසුන්ට ක්‍රමාණුකූලව ලිංගික අධ්‍යාපනය ලබා දීම කළහොත් ඔවුනට ඒ සම්බන්ධයෙන් ඇති කුතුහලය අඩු කර නිවැරදි දැනුමක් ලබා දී මෙසේ අයාලේ යන තරුණ ජීවිත ප්‍රමාණය තරමකට හෝ අඩු කරගත හැක.. විවිධ සමාජ බැමි දමා තරුණ හැඟීම් මර්ධනය කරනු වෙනුවට, ඒවා නිසි පරිදි පාලනය කළ හොත් මීට වඩා සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි බව මගේ විශ්වාසයයි. ලංකාව බෞද්ධ රටක් වූ පමණින්ම එහි වසන සියළු වැසියන් පංචශීලය සමාදන් වූ උපාසක උපාසිකාවන් කළ හැකි යැයි පාලන තන්ත්‍රය සිතනවා නම්, සිය ඇමති මණ්ඩලයෙන් එය ආරම්භ කිරීම කළ යුතුය…. දිගු කාලීන සැලැස්මක් ඇතිව තරුණ පරපුරේ ප්‍රශ්ණ දෙස බලනු වෙනුවට කොහේ හෝ රටකින් අහුලාගත් ප්‍රතිපත්ති අප රටට ඔබ්බන්නට යාමෙන් තරුණ පරපුර තවත් අසහනයට පත්වනු විනා රටට ඇතිවන සෙතක් නම් නැති………

පහේ ශිෂ්‍යත්වය අසමත්ව, ජනප්‍රිය පාසලක් නොලැබ, ජීවිත කාලකන්නි කරගත් සගයනි…. ලිප්ටන් වටරවුමට එක්වව්…. නුඹලාගේ මානව අයිතිවාසිකම් රැකගනිව්….. !

ඔන්න බන්දුල ගුණවර්ධනගෙ මොලේ අරන් ගලේ ගහලා අපුල්ලලා ඇලේ දාලා හෝදන්න වටින වැඩක් කරන්න යනවා….Daily Mirror පත්තරේ කියන විදියට පහේ ශිෂ්‍යත්වෙ ප්‍රශ්න ළමයින්ට අමාරුයි කියලා ඒක ලේසි කරන්න යනවාලු… අනේ හොඳයි.. මෙහෙම ගියොත්, බැට් කරන්න අමාරුයි කියලා පන්දු යවන්නන්ට හෙමින් පන්දු යවන්න කියලා නීතියක් ඒවි. හොරුන්ට හොරකම් කරන්න අමාරුයි කියලා පොලීසියට සඳුදා බදාදා සිකුරාදා දවස් වල නිවාඩු ගන්න කියාවි.

එක්වව්.....

මේ වගේ මෝඩ තීරණ ගන්න තකතිරු නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නවා කියන එක පුදුම වෙන්න කාරණයක් නොවෙයි. ඒ මොකද කියනව නම් වැඩිහරියක් ඔය ඉහල පුටුවල ඉන්නේ හරිහැටි අධ්‍යාපනයක් නොලබපු ප්‍රායෝගිකව හිතන්න බැරි දේශපාලනඥයන්ගේ හෙංචයියෝ නිසා. පුදුම හිතෙන කාරණය නම් ටියුෂන් මුදලාලි කෙනෙක් වෙච්චි බන්දුල ගුණවර්ධනත් මේ වගේ මැටි කතා කියන එකයි.

බන්දුල ගුණවර්ධනගේ තර්කය වන්නේ මේ තීරණය ගත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය අමාරු නිසා දරුවන්ට නිදහසේ ළමා කාළය ගෙවලා ඒ අතරෙම ජනප්‍රිය පාසලකට තේරීමත් පහසුවෙන් කරගෙන දරුවන්ගේ මානසික ආතතිය අඩුකරන්න කරන යෝජනාවක් කියලා වෙන්න ඇති.  අදහස හොඳයි, නමුත් තර්කය පැහැදිලි මදි. මගේ ප්‍රශ්නය වන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගය පහසු කළත්, අපේ අම්මලා තාත්තලා දරුවන්ව ඉදිරියට තල්ලු කරන එක නවත්වයිද කියලා. අද රටේ බරපතලම තරඟ වලින් එකක් වන්නේ තම දරුවාව ජනප්‍රිය පාසලකට දමා ගැනීමේ තරඟයයි, මේක දෙවැනි වන්නේ සිරස සුපර් ස්ටාර් තරඟයට පමණයි. දෙමව්පියෝ ජනප්‍රිය පාසල් අසල පදිංචි වෙන්නේ, ආදිශිෂ්‍ය සංගමයේ ලොකු ලොකු නිලතල වලට පොරකන්නේ ළමයා පිළිසිඳ ගන්නටත් පෙර. එහෙව් එකේ විභාගය පහසු කළා කියලා දෙමවුපියෝ තමන්ගේ දරුවාගේ විභාගය ලේසියට ගනී කියලා බන්දුල ගුණවර්ධන හිතනවා නම්, ඒ තරම් මෝඩ සිතිවිල්ලක් තවත් නැහැ. ඒ වගේම විභාගය පහසු කළා කියලා දරුවන්ගේ දැනුම මට්ටම පහල යන්නේ නැහැ, මේ නිසා ඔවුන් උපරිම ලකුණු සංඛ්‍යාව ගනීවි. ඒ අනුව ජනප්‍රිය පාසල් වලට ඇතුළු කිරීමේ කඩඉම් ලකුණු මට්ටම තවත් වැඩි කළ යුතු වෙනවා. මෙය නැවතත් නොනවතින චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන ඉතා අසාර්ථක ‍යෝජනාවක්.

දරුවන් තරඟ විභාග වලට යොමු කිරීම මෙයට දෙවැනි නොවේ

කළ යුත්තේ එය නොවෙයි, පාසල්වල සහ විෂය නිර්දේශ වල ගුණාත්මක භාවය වැඩි දියුණු කර ජනප්‍රිය පාසල් සඳහා වන තරඟය අවම කිරීමයි. දරුවන් යාන්ත්‍රික නොකර හිතන්නට පුරුදු කිරීමයි. පාසල්වල ගුරුවරුන්ට මනා පුහුණුවක් ලබා දී ඔවුන් නව ලෝකයට ගැලපෙන විෂය කරුණු, තාක්‍ෂණය, ඉගැන්වීම් ක්‍රම වලින් සන්නද්ධ කිරීමයි. එවිට දරුවන් මනා අධ්‍යාපනයක්, නියම විෂය කරුණු, නව දැනුම ආදියෙන් පරිපූර්ණ වනවා. දරුවන් සමබර මනස් ඇති පිරිසක් බවට පත් වනවා. විෂය බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී කරවීම වැඩි කළ යුතුයි. මක් නිසාද යත්, කණ්ඩායම් හැඟීම්, ජය-පරාජය සමව දරා ගැනීම ආදිය මෙමඟින් පුරුදු පුහුණු කරවන නිසා. එවිට වතුර බෝතලයට මිනී මරාගන්නා දරුවන් බිහිවීම වැළකෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ මා වෙසෙන ප්‍රාන්තයේ පාසල් නැවත ඇරඹෙන්නේ අගෝස්තු මස 31 දා. නමුත් ගුරුවරුන් පාසලට පැමිණිය යුත්තේ අගෝ: 18 දා සිට. ඔවුන් 18 -31 දක්වා නව විෂය කරුණු, අධ්‍යාපන / ඉගැන්වීම් රටා, නව විෂය මාලාව ආදී කාරණා වෙනුවෙන් පුහුණු කරවනු ලබනවා. ඔවුන් තම පන්තියේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික වර්ධනය සහ මානසික වර්ධනය වෙනුවෙන් වගකිව යුතුයි. බොහොමයක් ගුරුවරු අධ්‍යාපනය පැත්තෙන් අවම වශයෙන් හෝ ශාස්ත්‍රපති උපාධියක් (MEd) ලබපු උදවිය. විද්‍යාව, ගණිතය වැනි විෂයයන් ඉගැන්වීමට ඒ ඒ විෂයයන් සඳහා ශාස්ත්‍රපති උපාධියක් (MSc) තිබිය යුතු වෙනවා.

ලංකාවේ මේ කිසිම දෙයක් සිදු වෙන්නේ වත් කිසිම කෙනෙක් කිසිම දෙයක් පිළිබඳ වගකීමක් භාරගන්නේ වත් නැහැ. මේ නිසා හැම දෙනාම තම වගකීමෙන් මිදී තම කාර්යය හරිහැටි සිදු නොකර වේතනය පමණක් ලබා ගැනීම සහ එය කෙසේ හෝ වැඩිකර ගැනීමේ සටනක නිරත වෙනවා. සමහර විට සිසුවාගේ දැනුම මට්ටම ගුරුවරයා අභිබවා යනවා. එවිට ගුරුවරයා කෙරෙහි ළමයා තුළ ඇති විශ්වාසය, ගෞරවය නැතිවෙනවා. මෙය සංවර්ධනය අපේක්‍ෂා කරන රටකට ගැලපෙන රටාවක් නොවෙයි. එක‍්කෝ රජයෙන් සම්මතයන් පැනවීම හෝ අවම වශයෙන් අදාල විදුහලේ ගුරු-දෙගුරු හෝ ආදි ශිෂ්‍ය සංගම්වලින් ගුරුවරුන් හට යම් බලපෑමක් කිරීම හෝ කළ යුතුව තිබෙනවා. මෙසේ නොකෙරෙන නිසාම දරුවන් ටියුෂන් පංති කෙරෙහි විශ්වාසය තැබීම ඉහල ගොස් තිබෙනවා.

මේ තීරණය නිසා පහේ ශිෂ්‍යත්‍ව විභාගය අසමත්ව ජනප්‍රිය පාසලකට යාගන්න බැරුව ජීවිත කාලකන්නි කරගත් බොහෝ දෙනාට ලොකු අසාධාරණයක් වෙනවා. බන්දුල ගුණවර්ධන ඒ කාලේ අධ්‍යාපන ඇමති වෙලා හිටියා නම් කොච්චර හොඳද කියලා කීදෙනෙකුට හිතෙයිද ? මේ නිසා මම යෝජනා කරන්නේ හැම දේටම කරනවා වගේ අපි මේ දේටත් විරෝධතාවයක් පැවැත්විය යුතුයි කියලා.

විභාගය පහසු කළා කියලා දරුවන් තරඟ විභාග වලට සූදානම් කිරීමේ යුද්ධයේ අඩුවක් දකින්න බැහැ. ඒ වගේම දරුවන්ගේ මානසික ආතතිය අඩුකරන්න එය හේතුවක් වෙන්නෙත් නැහැ. හිසරදයට කොට්ට මාරු නොකර ප්‍රශ්නයේ මූල බීජය බලා එයට පිළියම් කරන්නට අපේ අධ්‍යාපනික බලධාරීන්ට මොළය කවදා පෑදෙයිද ?…

ගෑවුනොත් විස, කෑමට රස, ජෙලිෆිෂ් ගැන දැනගන්න…

තම්බපන්නිගේ අඩවියේ තිබුණ ජෙලිෆිෂ් විෂවීම දුටු මට, ඔබව ඒ පිළිබඳ දැනුවත් කරන්න සිතුනා.

ජෙලිෆිෂ් යනු කුමක්ද ?

ජෙලිෆිෂ් යනු ඉතා සුන්දර එහෙත් විෂ සහිත ජීවියෙකි

ජෙලිෆිෂ් යනු කිසිදු අස්ථියක් නොමැති (අපෘෂ්ඨවංශී), මුහුදේ පාවෙන, විවිධාකාර වර්ණ ගන්නා, පුදුමාකාර, එමෙන්ම විෂ සහිත සත්ත්‍ව විශේෂයක්. ඔවුන් මේ ලෝකයේ වැඩිම කලක් ජීවත් වූ සත්ත්‍ව කොටසක්; එනම් වසර මිලියන 650 කට වඩා පැරණි ඉතිහාසයක් ඔවුන් සතුයි. සිරුරෙන් 95% ක්ම ජලය ඇති ඔවුන් අයත් වන්නේ Cnidaria ගණයටයි. එහි තේරුම කහඹිලියා වැන්නට සමාන Stinging Nettle යන්නයි. එනම් ජෙලිෆිෂ් ස්පර්ෂ වුන ස්ථානයේ දැවිල්ලක් හටගෙන පලුදැමීමක් සිදු වන බවයි. ජෙලි ‍ෆිෂ් විශේෂ 2000 ක් පමණ ලොව පුරා විසිර පවතී: මෙඩුසා යනු වැඩිහිටි බවට පත් වූ ජෙලිෆිෂ් හඳුන්වන තවත් නාමයකි. මොවුන් ලෝකයේ සෑම මුහුදකම, සමුද්‍රයකම දැකිය හැකි වන අතර මිරිදියේ ද ජීවත්වේ. සමුද්‍ර විද්‍යාඥයින් ලෝකයේ සමුද්‍ර පද්ධතියේ තත්ත්‍වය මනින  මිම්මක් ලෙස ජෙලිෆිෂ් යොදාගනී. සමුද්‍ර පරිසර පද්ධතිය අන්තරායදායක තත්ත්‍වයකට පත් වී ඇති විට, ජෙලිෆිෂ් ප්‍රමාණය ඉහල යන බව මොවුන් අත්දැකීමෙන්ම දනිති. මිරිදිය වසන ජෙලිෆිෂ් විෂ සහිත නොවන අවර්ණ ජීවියෙකු වන අතර ප්‍රමාණයෙන් අඟලකට වඩා විශාල නොවේ. මෙම ජෙලිෆිෂ් සමූහයක් වශයෙන් ජීවත් වන සත්ත්‍ව කොට්ඨාසයකි. සමහර විට ඔවුන්ගේ මෙම හැසිරීම නැව් ගමනාගමනයට පවා බාධා ඇති කරයි. දැනට හමු වූ විශාලතම ජෙලිෆිෂ් මැසෙචුසෙට්ස් හිදී හමුවූ මීටර 2.3 ක විශ්කම්භයක් ඇති මීටර 36.5 ක් දිගු වූ අඬු සහිත සිංහ කේශර ජෙලිෆිෂ් (Lion’s Mane Jellyfish) නම් වූ විශේෂයයි.

ජෙලිෆිෂ් හරස්කඩ

ඔවුන් සතුව වෙන්වෙන්ව සැකසුනු ආහාර මාර්ග පද්ධතියක් වැනි ව්‍යුහයක් ඇතත් මොළයක් නොමැත. (ලංකාවෙ දේශපාලනඥයෙක් වගේ). ස්නායු පද්ධතිය සහ ස්නායු ආවේග ලබාගන්නා ස්නායු තන්තු වැනි ඒකක ආධාරයෙන් ඔවුහු ආලෝකය, උණුසුම, වැනි බාහිර සංවේදන කෙරෙහි ප්‍රතික්‍රියා දක්වති.  ඔවුන් ආහාර ජීර්ණය කරන්නේ ජීර්ණ කුහරය හා සම්බන්ධිත, සමක් වැනි පටකයක් මාර්ගයෙනි. ඔවුන් ශ්වසනය කරන්නේද සම මාර්ගයෙන් බැවින් ඔවුනට වර්ධනය වූ ශ්වසන පද්ධතියක අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් චලනය වනුයේ සිය ශරීරය සංකෝචනය සහ ප්‍රසාරණය කිරීමෙන් ලබා ගන්නා බලයෙනි. එසේම දිගු වූ අඬු වැනි අවයව වලින් ගමන පාලනය කෙරේ. එසේ නමුත් බොහෝවිට මුහුදේ රළ බලය ආධාරයෙන් ජලය මත පාවෙමින් සිටිති. ජෙලිෆිෂ්  ප්‍රධාන සමමිතික අක්‍ෂය කේන්‍ද්‍රකරගත් ඉතා උසස් සමමිතියක් ඇති සත්ත්‍වයෙකි. මේ නිසා සෑම දිශාවකින්ම පැමිණෙන උවදුරු වලට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මෙන්ම ආහාර සොයා ගැනීමේ පහසුවද සහිතය. සමුද්‍ර විද්‍යාඥයන් පවසන අන්දමට  හරිතාගාර ආචරණය හේතුවෙන් සහ ගෝලීය උණුසුම වැඩිවීම නිසා ‍ජෙලිෆිෂ් විශේෂවල වර්ධනය වැඩි වී තිබෙනවා. ඒ නිසාම ඔවුන් මුහුදුවෙරළ වෙත පැමිණීම වැඩිවෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් උණුසුම් කාළයේ ගොදුරු සොයා ගැනීමේ පහසුව ආදී හේතු නිසා වෙරළට ජෙලිෆිෂ් පැමිණීම වැඩිවන අතර මුහුදේ ඔක්සිජන් සාන්‍ද්‍රණය, ආහාර, දියවැල්, ආදියත් ජෙලිෆිෂ් සංක්‍රමණයට හේතු සාධක වෙනවා.  මේ නිසා මිනිසුන් ජෙලිෆිෂ් විශවීම් වලට භාජනය වීම ද  පසුගිය වසරවල දී වැඩි වී තිබෙනවා.

ජෙලිෆිෂ් මිනිසාට ප්‍රයෝජනවත් නොමැති සත්ත්‍ව විශේෂයක් නොවේ. ඔවුන්ගෙන් බොහෝ ප්‍රයෝජන තිබේ. විශේෂයෙන්ම විද්‍යාත්මක වශයෙන් ජෙලිෆිෂ් ඉතාම වැදගත් වේ. රාත්‍රියේදී දිලිසෙන ජෙලිෆිෂ්ගේ ජාන වලින් ජාන සළකුණක් (Gene Marker) සකසා තිබෙනවා. මෙයින් එම ජාන ක්‍රියාකාරීත්‍වය අධ්‍යයනයෙන් විවිධ පර්යේෂණ සිදු කළ හැකියි. උදාහරණයක් ලෙස එසේ කරන ලද පර්යේෂණයකට අනුව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් උක් වගාවෙන් සෞඛ්‍යාරක්‍ෂිත සීනි ප්‍රමාණය වැඩියෙන් ලබාගැනීමට උක් ශාකය ජානමය වශයෙන් වෙනස් කිරීමට සමත්ව තිබෙනවා. එසේම ඔවුන්ගේ ජාන සළකුණු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පාවිච්චියට ගතහැකි වීම තවත් වැදගත්කමක් ලෙස සළකනවා. 1961 වසරේ සිටම මෙසේ ජෙලිෆිෂ් ජීවතාක්‍ෂණිකව වැදගත් වී තිබෙනවා. විශේෂයෙන්ම මුහුදු පරිසර පද්ධතීන් අධ්‍යයනයට පරිසර විද්‍යාඥයින් මොවුන් යොදා ගන්නවා. ඒ අතරම ආහාර සඳහා ද මොවුන් වැදගත් වනවා. Cannon Ball නම් වූ ජෙලිෆිෂ් මිනිසුන්ට විෂ රහිත නිසා සහ ප්‍රමාණයෙන් විශාල නිසා අමෙරිකාවේ රසවත් මුහුදු ආහාරයක් ලෙස සැලකෙනවා.

ජෙලිෆිෂ් විෂවන්නේ කෙසේද ?

සියළුම ජෙලිෆිෂ් වර්ග සිය සතුරාට හෝ ගොදුරට පහර දෙන්නේ නෙමටෝසිස්ට් (Nematocysts) නම් වූ කුඩා විෂ සහිත සෛල ආධාරයෙන්. ජෙලිෆිෂ් අඬු, මිනිස් ශරීරයේ ස්පර්ශ වූ විට, මෙම විෂ සහිත ඒකක මිලියන ගණනක් සම සිදුරු කරගෙන සමට ඇතුළුවීමට පුළුවන්. මෙම ඒකක ජෙලිෆිෂ්ගේ අඬුවලින් නිකුත් වන්නේ ඒ අඬු තුළ වර්ග අඟලට රාත්තල් 2000 ක පමණ පීඩනයක් ඇතිවීමෙන්. එසේ නිකුත්වන සෛල වලින් ශරීරය පසාරු වූ පසු විෂ නිකුත් කෙරෙනවා. සමහර ජෙලිෆිෂ් විශේෂ මඳ විෂ හෝ විෂ රහිත වුනත්, සමහරු ඉතා විෂ සහිතයි. ඒ විෂ අධික වේදනාවක් ඇති කරන අතර, සමහර විට රෝගියා මිය යාමට පවා පුළුවන්. මෙසේ වන්නේ රෝගියා ආසාත්මිකතාවයකට පත් වී කම්පනයට පත්වීමෙන් (anaphylexis).  මෙසේ වූ විට රෝගියා වහාම ජලයෙන් ඉවතට ගෙන ප්‍රතිවිෂ ඖෂධ ලබා දිය යුතුයි. මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ජෙලිෆිෂ්ගේ ජෙලි වැනි ශරීරය ස්පර්ෂ වීමෙන් විෂ ශරීරගත නොවන බවත් ඔවුන්ගේ අඬු ස්පර්ශවීමෙන්  විෂ ශරීරගත වන බව යන කරුණයි.

ජෙලිෆිෂ්ගේ විෂ සෛල

ප්‍රතිකාර

ජෙලිෆිෂ් විෂවීමකදී කළ යුතු දෑ තුන් වැදෑරුම් වේ.

1. රෝගියා බේරාගැනීමට ජලයට බසින අය ජෙලිෆිෂ් ස්පර්ශ වීමෙන් වැළකීම……..

2. නෙමටෝසිස් සෛල අක්‍රිය කිරීම සහ

3. රෝගියාට ඇණී ඇති ජෙලිෆිෂ් අඬු ඉවත් කිරීම.

අත් බෙහෙත් ලෙස 3% – 10% විනාකිරි වලින් ස්පර්ශ වූ ස්ථාන සේදීමෙන් විෂ පැතිරීම අඩු කරගත හැකියි. විනාකිරි නැතිනම් ලුණු වතුර ද එකසේ කාර්යක්‍ෂමතාවයක් දක්වනවා. එසේම මුහුදු ජෙලිෆිෂ් ආක්‍රමණයක් සිදු වූ විට මිරිදියෙන් සේදුව හොත් විෂ පැතිරීම වැඩි විය හැකියි. මද්‍යසාර, ඇමෝනියා, හෝ මුත්‍ර ආදියද සමහර ජෙලිෆිෂ් විෂ පැතිරවීමට දායක විය හැකියි. මේ නිසා විෂ වූයේ කුමන වර්ගයේ ජෙලිෆිෂ් විශේෂයක් දැයි නොදැන මෙම ද්‍රව්‍ය වලින් සේදීම රෝගියා තවත් විපතේ හෙලීමක් විය හැකියි.

අඬු ඉවත් කිරීමෙන් ‍විෂ සහිත නෙමටෝසිස් සෛල ඉවත් කළ හැකියි.  මේ සඳහා පිහියක්, ක්‍රෙඩිට් කාඩ් පතක් වැනි ඝනකම ඇති තලයක් සහිත උපකරණයකින්  අනතුරට පත් ස්ථානය සූරා දැමිය හැකියි. සමහරු වැල්ලේ වැවෙන බිංතඹුරු පැලෑටියේ කොළ කොටා අනතුරට පත් ස්ථානයේ ගල්වනවා. මේ සියල්ලෙන්ම සිදු කෙරෙන්නේ විෂ පැතිරීම අඩු කිරීමත්, ජෙලිෆිෂ් අඬු සහ නෙමටෝසිස් සෛල  ඉවත් කිරීමත් යන කරුණුයි.

රෝගියා ආසාත්මිකතා ලක්‍ෂණ පෙන්වයි නම්, පිරිටන්, බෙනඩ්‍රිල් හෝ සර්ටෙක් වැනි ප්‍රතිහිස්ටැමීන් (antihistamine) ‍ඖෂධ ලබා දීමෙන් රෝගියා කම්පනයට පත් වීම වලකා ගත හැකියි. තවදුරටත් විෂ පාලනයට අනතුරට පත් ස්ථානය බේකිං සෝඩා පැලැස්තරයක් සේ තනා එම ස්ථානය ආවරණය කිරීමෙන් කළ හැකියි. මේ අතරම රෝගියා ‍රෝහලක් වෙත ගෙනයාමේ කර්තව්‍යය අමතක කරන්නත් එපා. මක් නිසාද යත්  කුමන ජෙලිෆිෂ් වර්ගයක ආක්‍රමණයක් සිදු වීදැයි ඔබ නොදන්නා නිසා. බොහෝ විට Ephinephrine වැනි තරමක් ක්‍රියාකාරී ආසාත්මිකතා දුරලන ඖෂධ ලබා දිය හැක්කේ රෝහලකදී පමණක් බැවින්  එසේ කිරීම කාගේත් ඇඟට ගුණයි.

අවසාන වශයෙන් කිවයුත්තේ ජෙලිෆිෂ් යනු පන්න පන්නා පහර දෙන සත්ත්‍වයෙක් නොවන බවත්, ඔවුන්ගේ අඬු මිනිස් ශරීරයේ ස්පර්ෂ වුනොත් පමණක් විෂ ශරීරගත විය හැකි බවත්ය. එසේම සෑම ජෙලිෆිෂ් වර්ගයක්ම විෂ සහිත නොවන බවත් මතක තබා ගන්න. සමහර ජෙලිෆිෂ් වර්ග වඳවී යන සත්ත්‍ව කොට්ඨාස ලෙස සලකනු ලබනවා. කෙසේ වුවත් ඔබ ජෙලිෆිෂ් වැනි නොදන්නා සත්ත්‍වයෙක් සමඟ ගැටීමට, ඇල්ලීමට යාම නුසුදුසුයි. මක් නිසාද යත් ඔවුන් විෂ සහිතද විෂ රහිතද යන්න අප කවුරුත් නොදන්නා නිසා.

ඉතින් වැරදිලාවත් ජෙලිෆිෂ් විෂ ශරීරගත වුනොත්, ඉහත දැක්වූ දේ පිළිපදින්න…. අත්දුටුවයි සත්තයි… පණ පිටින් හිටියොත් කොමෙන්ටුවක් දාන්න…. දන්න දන්න අත් බොහෙත් තියෙනවා නම් ඒ බවත් මෙතන ලියන්න… එක මිනිහෙක් හරි මරණයෙන් බේර ගන්න පුළුවන් නම්.. ඒක හැමෝටම හොඳයිනේ…….

මෙහෙම කිවුවයි කියලා මුහුදට බහින්නේ නැතිව ඉන්න එපා….

ආචාර්ය උපාධියක් ලබා ගන්නේ කොහොමද ? දෙවන කොටස………දැන් වැඩ පටන්ගන්න කාළය හරි…..

මම මීට මාසයකට පමණ පෙර ආචාර්ය උපාධියක් ලබාගන්න බලාපොරොත්තු වෙන අයට මූලික අඩිතාලම පිළිබඳ සරළ විග්‍රහයක් කළා. දැන් අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීෂ්ම කාළයයි. මේ වන විට විශ්ව විද්‍යාල සියල්ලම පාහේ සිය උපාධි ප්‍රදානෝත්සව හමාර කරලා ඊලඟ අධ්‍යාපන වර්ෂයට සැරසෙන කාළයයි. එමෙන්ම විශ්ව විද්‍යාලවල අවසාන වසරේ සිසුන් ද තම අනාගත උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ තවදුරටත් සැලසුම් කරන කාළයයි.

Sky is the Limit

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක අය-වැය සකසන්නේ මනා සැලසුමක් අනුවයි. ඊලඟ වසරට ඇතුලත් කරගන්නා සිසුන් සංඛ්‍යාව, ඔවුනට වැය කරන මුදල් ප්‍රමාණය, බඳවා ගන්නා නව ආචාර්ය වරුන් සංඛ්‍යාව වැනි සියල්ල හොඳින් සලකා බලා සකසන මෙම ලියවිලි අනුව කටයුතු කිරීමට සෑම අංශ ප්‍රධානියෙක් මෙන්ම සෑම සේවකයෙක්ම බැඳී සිටිනවා. ඒ නිසාම ඔවුන් කල් යල් බලා සැලසුම් ඉදිරිපත් කරනවා. මේ අනුව 2011 අගෝස්තු/සැප්තැම්බර් මසින් ඇරඹෙන නව පාසල් වසරට බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව දැනටමත් ගණනය කර අවසන්. විශේෂයෙන්ම ආචාර්ය උපාධි අපේක්‍ෂකයන් සඳහා වේතනයක් ඒ ඒ අධ්‍යයනාංශය මගින් ගෙවන නිසා ඔවුන් අපේක්‍ෂකයන් කීදෙනෙකු බඳවා ගන්නවා දැයි දැනටමත් තීරණය කර අවසන්. මේ අපේක්‍ෂකයන් අතරට යම් ප්‍රමාණයක් විදේශීය සිසුනුත් ඇතුලත්. ඔබ අයත් වන්නේ මේ විදේශීය සිසු කුලකයටයි.

මේ විදේශීය සිසු කුලකය ඉතා පුළුල් පරාසයකට විහිදෙනවා. ඉන්දීය සහ චීන සිසුන් මේ තරඟයේ ඉතාම ඉදිරියෙන් සිටිනවා. ඔවුන් ඉගෙනීමේදී ඉතා තරඟකාරී සිසුන් කොට්ඨාසයක්. ඉන්දීය සිසුන්ගේ ඉංග්‍රීසි දැනුමද ඉතාම ඉහල මට්ටමක තිබෙනවා. ඔබ තරඟ කරන්නේ මෙන්න මෙවන් සිසු කණ්ඩායමක් සමඟ. ඔබ විදේශීය විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිය සඳහා තේරීමට නම් මේ සිසුන් අතරේ ඔබ ඉදිරියෙන්ම සිටිය යුතු වෙනවා.

ආචාර්ය උපාධියක් හැදෑරීමේදී බොහෝ විෂයධාරාවන්හි සිසුන්හට වියදමට සරිලන වේතනයක් ලබා දෙනු ලබනවා. විද්‍යා විෂයයන්හි මෙය ඉතා ඉහළ මුදලක් වන අතර අනෙක් විෂයයන් සඳහා එම මුදල අඩු වුවත් වෙනත් ආකාරයෙන් සිසුන්ට ජීවත්වීමට සරිලන මුදලක් ලබා දීමට සෑම විශ්ව විද්‍යාලයක්ම බැඳී සිටිනවා. මේ වෙනුවෙන් සිසුන් එක්කෝ මේ හේතුව නිසා බොහෝ විදේශීය සිසුන් අමෙරිකානු උසස් අධ්‍යාපනය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා. එසේම අමෙරිකානු ආචාර්ය උපාධිය වසර 4-6 දක්වා කාළයක් ගතවන කටයුත්තක්. එක්සත් රාජධානියේ මේ සඳහා ගතවන කාළය මීට වඩා අඩු වුවත් ඉගෙන ගන්නා දේ වල සහ ක්‍රමයේ සුවිශාල වෙනස්කම් තිබෙනවා.

අමෙරිකානු විශ්ව විද්‍යාලවලට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවීම අරඹන්නේ ඊට පෙර වසරේ අගෝස්තු-සැප්තැම්බර් මාසවල සිටයි. එනම් 2011 දී බඳවා ගන්නා සිසුන් 2010 අගෝස්තුවල සිට අයැදුම් කළ යුතු වෙනවා. බොහොමයක් විශ්ව විද්‍යාල කටයුතු පරිගණක ගත කර ඇති නිසා ඒ ඒ අධ්‍යයනාංශ වල සහ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවි වලින් අදාල අයදුම්පත බාගත හැකි වනවා. එමෙන්ම ඒ සමඟම ඊට අදාල උපදෙස් මාලාව අඩංගු විස්තරයද බාගත කිරීමට අමතක කරන්න එපා. මක් නිසාද යත් අසම්පූර්ණ අයදුම්පතක් යැවීම යනු ඔබේ අයදුම්පත ප්‍රතික්‍ෂේප කිරීමට ඔබ ඔවුනට පළමු අවස්ථාව ලබාදීමයි.

ඔබ අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන විෂයධාරාව අනුව සහ විශ්ව විද්‍යාලයේ අවශ්‍යතා අනුව ඔබ කළයුතු කඩඉම් විභාග වෙනස් වනවා. මා දන්නා අයුරින් විද්‍යා විෂයයන් ගෙන් ආචාර්ය උපාධිය හැදෑරීමට ඔබ අනිවාර්යයෙන් TOEFL සහ GRE යන විභාග දෙක ඉහලින් සමත්විය යුතුයි. එක් එක් විශ්ව විද්‍යාලයේ මට්ටම අනුව එම විභාගවලින් ඔවුන් බලාපොරොත්තු වන ලකුණු වෙනස් වනවා, තවත් සමහර විශ්ව විද්‍යාල වලට GRE Subject Test  සහ  TSE යන විභාග පවා උවමනායි.  මේ විභාග ආවට ගියාට සමත් වන්න බැහැ. එක විභාගයකට සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් 120 ක් පමණ උවමනායි. එමෙන්ම මාස ගණනාවක පුහුණුවක් අවශ්‍යයි. මේ සඳහා පුහුණු පන්ති Royal Institute සහ American College of Higher Education යන ආයතනවල පැවැත්වෙනවා. ඒවාට සහභාගීවී හොඳින් සූදානම් වී විභාගවලට මුහුණ දීමෙන්, නැවත නැවතත් එම විභාගයන්ට ලිවීමේ අවශ්‍යතාවය නැතිව යනවා. TOEFL නම් වලංගු වන්නේ වසර දෙකකට පමණයි. GRE  එක වරක් කළ පසු එය ශාස්ත්‍රපති (MSc) සහ ආචාර්ය උපාධිය (Ph.D.) යන දෙකටම වලංගු වෙනවා.

මෙම විභාග වලට සූදානම් වන අවස්ථාව වන විට ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන පාඨමාලාව, විශ්ව විද්‍යාලය ආදිය පිළිබඳ හොඳ අවබෝධයක් ඉලක්කයක් ලබා සිටිය යුතුයි. එමෙන්ම එම විශ්ව විද්‍යාලවලට අයැදුම්පත් යවා හෝ යැවීමට සූදානම්කර හෝ තිබිය යුතුයි. ඒ මෙන්න මේ හේතුව නිසා. GRE සහ TOEFL විභාග අවසානයේ ඔබට කැමති විශ්වවිද්‍යාල 4 කට ඔබේ ලකුණු නොමිලේ යැවීමේ අවස්ථාව උදා වෙනවා. එසේ නොවුව හොත් ඔබ එම ලකුණු යවන සෑම අවස්ථාවකම  ඒ සඳහා මුදල් ගෙවිය යුතුව තිබෙනවා. ඒ නිසා මේ නොමිලේ ලැබෙන අවස්ථාව පැහැර හරින්න එපා.

මා පෙර ලිපියේ සඳහන් කළ පරිදි, ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා තරමක ඉහල ලකුණු මට්ටමක් සහිතව ඔබ මූලික උපාධිය සමත් විය යුතුයි. ප්‍රථම පන්තියේ හෝ දෙවන පන්තියේ ඉහල සාමාර්ථයක් සහිත නම් ඔබට වඩා පහසුයි. එසේ නොමැති නම් ඔබ ‍බොහෝ දුරට ශාස්ත්‍රපති උපාධියක් (MSc) කළ යුතුව තිබෙනවා.

ඒ සඳහා ඔබ සූදානම් විය යුත්තේ මෙහෙමයි. ඔබ දන්නා අඳුනන කෙනෙක් ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන විෂයධාරාවෙන් ආචාර්ය උපාධියක් කරනවා නම් ඔහු/ඇය ගෙන් තොරතුරු ලබා ගන්න. එසේ නැතිනම් Google භාවිතයෙන් ඔබ කැමති විෂයධාරාව පිළිබඳ මනා අධ්‍යයනයක යෙදෙන්න. එසේ කළ පසු ඔබට ඒ සඳහා හොඳ යැයි හැඟෙන විශ්ව විද්‍යාල කිහිපයක් සොයා ගැනීමට අපහසු වන්නේ නැහැ. ‍  අමෙරිකානු විශ්ව විද්‍යාල කාර්තු කිහිපයකට වෙන්කර තිබෙනවා. ඒ වර්ග කිරීම මෙතැනින් බලන්න. පළමු කාර්තුවේ ඇති විශ්ව විද්‍යාල වනුයේ Harvard, MIT, UCLA, Princeton, Yale, UC-Berkley, Stanford, වැනි ඉහල ගණයේ විශ්ව විද්‍යාලයි. මේවාට ඇතුළු වීමට ඉතා ඉහළ මට්ටමේ මූලික උපාධියක් සහ සියයට සියයක්  ආසන්නයේ GRE , TOEFL ලකුණු අවශ්‍යයි. ඉතින් ඔබ මේ තත්ත්‍වයේ සිසුවෙක්/සිසුවියක් නම් පළමු කාර්තුවේ විශ්ව විද්‍යාලවලට අයැදුම් කරන්න… බඳවා ගැනීමේ සම්භාවිතාවය නම් ඉතාම අඩුයි. බැරිවෙලාවත් ලැබුනොත් ඔබේ වාසනාව… හොඳින් වැඩ කරගෙන යන්න, ලැබුන අවස්ථාව පැහැර හරින්න එපා.

එසේ විශ්ව විද්‍යාල කිහිපයක් තෝරාගත් පසු ඒ ඒ අධ්‍යයනාංශයට අදාල වෙබ් අඩවියෙන් ඔබ ආචාර්ය උපාධිය හැදෑරීමට කැමති විෂය ක්‍ෂෙත්‍රයට අදාල මහාචාර්යවරුන්ගේ වෙබ් අඩවි හොඳින් හදාරන්න. ඔබ යමෙකු යටතේ පර්යේෂණ කිරීමට රුචි නම් ඒ බව ඔහුට/ඇයට දන්වා විද්‍යුත් තැපැල් මගින් සම්බන්ධ වන්න, ඔවුන්ට ඔබ කවුදැයි හඳුන්වා දී ඔබේ ජීව දත්ත සටහනක්, ඔබ කිරීමට බලාපොරොත්තු වන විෂයයන් ආදිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සමඟින් ඔවුන්ට ලියන්න. මෙසේ ලියන විට හැකි තරම්  නිවැරදිව, වෘත්තීය මට්ටමින් ලියන්න. පිළිතුරු පමාවුවත් කලබල වෙන්න එපා, බොහොමයක් දෙනා අධික වැඩ රාජකාරි ඇති උදවිය. සතියක් පමණ කල් දී නැවත ලියන්න. සමහර විට ඒ ඒ අංශයේ ලේකම් තනතුර දරන පුද්ගලයා හෝ Graduate Students Director සම්බන්ධ කරගත හැකියි. එවිට ඔබට ඇති සියළු ප්‍රශ්න, නොතේරෙන තැන් ආදිය එම පුද්ගලයාගෙන් දැනගත හැකියි. මේ සියල්ල නිරාකරණය කරගෙන අයදුම්පත නිවැරදිව හැකිතරම් අංග සම්පූර්ණව පුරවන්න. GRE TOEFL ලකුණු විභාගය කළ පසු කෙළින්ම ලැබෙන්න සලස්වන බව ඔවුනට දන්වන්න.

මෙම අයදුම්පත් පිරවීමේදී ඔබට පෞද්ගලික විස්තරයක් (Personal Statement) ලියන්න සිදු වනවා. මෙය ඔබේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව, ඔබගේ අනාගත බලාපොරොත්තු, ඔබේ සංවිධාන ශක්තිය ආදී නොයෙක් පරාමිතීන් උරගා බලන ලියවිල්ලක්. මෙය හොඳින් ලියන තරමට ඔබේ අයදුම්පත පිළිගැනීමේ සම්භාවිතාවය වැඩියි. මේ නිසා මෙය හොඳින් ලියා හොඳින් ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නා පුද්ගලයෙකු ලවා නිවැරදි කරගැනීම ඉතා යෝග්‍යයි.

එසේම ඔබට දන්නා හඳුනන පුද්ගලයන් තිදෙනෙක්ගෙන් ඔබ පිළිබඳ ලිපි තුනක් (Reference letters) අදාල විශ්ව විද්‍යාලවලට යැවීමට සිදු වෙනවා. මේ සඳහා ඔබ ඉගෙනගත් මහාචාර්යවරු තිදෙනෙක් ඔබට තෝරාගත යුතුයි. මේ තිදෙනා ඔබ හොඳින් දන්නා, එසේම ඔබ සමඟ මනා සම්බන්ධතාවයක් ඇති අය වීම ඉතා යෝග්‍යයි. එසේම ඔවුන් ඔබ වෙනුවෙන් ලිපියක්/ලිපි කිහිපයක් ලිවීමට තරම් ඔබට සමීප අය විය යුතුයි.

මෙසේ ඔබේ අයදුම්පත සම්පූර්ණ කළ පසු එය තැපෑලේ යැවිය හැකියි. එසේම, සමහර විශ්ව විද්‍යාලවල අයදුම්පතේ මූලික කොටස් වෙබ් අඩවියේම පුරවා (Online submission) ඉදිරිපත් කළ හැකියි. එසේ හැකි නම් එය වඩාත් පහසු මෙන්ම ඉක්මන් කර්තව්‍යයක් ද වෙනවා. එවිට ඔබ සම්පූර්ණ කළයුත් ලිපි ලේඛණ පිළිබඳ ඔවුන් දන්වා එවීමටත් යුහුසුළු වෙන අතරම ඔබේ අයදුම්පත ඇත්තේ කොතැනද යන්න බලාගැනීමටත් හැකියි. ‍මතක තබා ගතයුතු තවත් කාරණාවක් වන්නේ බොහෝ විශ්ව විද්‍යාල මෙම අයදුම්පත් සළකාබැලීමේ ක්‍රියාවලිය සඳහා ඩොලර් 35-75 අතර මුදලක් අය කරනු ලබනවා. ඒ නිසා ඔබ හොඳින් සලකා බලා ඔබට යාමට හැකි, ඔබට යාමට අවශ්‍ය විශ්ව විද්‍යාල කිහිපයක් සඳහා එකවර අයැදුම් කිරීම කළ යුතුයි. මක් නිසාද යත් ඔබ ඉල්ලුම් කරන පළමු විශ්ව විද්‍යාලයෙන්ම ඔබව බඳවා ගැනීම කරාවි යැයි සිතන්න අපහසු නිසා.

මෙ‍සේ අයදුම්පත සම්පූර්ණ කරන අතරතුර ඔබට පළමු මාස කිහිපයේ මූල්‍යමය පහසුකම් සපයාගැනීමට අවශ්‍ය මුදල් ඔබ සතුව ඇතැයි සනාථ කිරීමට Financial Statement එකක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. මේ සඳහා ඔබ මාස කිහිපයකට පෙර අවම වශයෙන් රු: ලක්‍ෂ 5 ක් ($ 5000) සමාන මුදලක් බැංකුවක තැන්පත් කර තබා බැංකුවෙන් සහතිකයක් ලබා ගෙන ඉදිරිපත් කළ යුතුයි.

මෙසේ සියල්ල සම්පූර්ණ කරන අතරතුර හොඳින් GRE සහ TOEFL සමත් වී ඒ ලකුණු අදාල විශ්ව විද්‍යාලවලට යැවීමට කටයුතු කරන්න. මේ අතරතුර අදාල විශ්ව විද්‍යාලවල ඔබ පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන මහාචාර්යවරු සමඟ දිගින් දිගටම සම්බන්ධය පවත්වාගන්න. මෙය එක අතකින් ඔබේ අයදුම්පත පිළිගැනීමේ සම්භාවිතාවය වැඩි කරන අතර සමහර මහාචාර්යවරු කෙළින්ම ඔබව බඳවා ගැනීමට කැමැත්ත පළ කර අධ්‍යයනාංශයට ඒ බව දන්වා ඔබේ බඳවා ගැනීම ඉක්මන් කරනවා. මේ සියළු කටයුතු අගෝස්තු-නොවැම්බර් වන විට නිමකළ හැකි නම් ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා. බොහෝ අධ්‍යයනාංශ ඊලඟ වසරට ආචාර්ය උපාධි අපේක්‍ෂකයන් බඳවාගැනීම සඳහා සාකච්ඡා කෙරෙන පළමු හමුවීම්  වටය පවත්වන්නේ නොවැම්බර් මාසයේදී, එසේම ඊලඟ වසරේ පෙබරවාරි වන විට සියල්ල සම්පූර්ණ කර අවසන්….

මෙසේ සියල්ල සම්පූර්ණ වූ පසු ඔබ බඳවා ගතහොත් ඔබට  I-20 නම් ලියවිල්ලක් එවනු ලබනවා. ඔබ එය අත්සන් කර යවන තෙක් ඔබේ ශිෂ්‍යභාවය වලංගු වන්නේ නැහැ. ඔබට I-20 කිහිපයක් විශ්ව විද්‍යාල කිහිපයකින් ලැබුන හොත් හෝ ඔබව විශ්ව විද්‍යාල කිහිපයකින් ඇතුලත් කරගැනීමටහැකි බව දන්වා එවුව හොත් ඉන් ඔබ වඩා යෝග්‍ය විශ්ව විද්‍යාලය තෝරාගෙන, අනෙක් විශ්ව විද්‍යාලවලට ඔබ නොඑන බව දන්වා යැවීමට තරම් කාරුණික විය යුතුයි. මක් නිසාද යත් ඔබේ අයදුම්පත එම විශ්ව විද්‍යාලයට ලැබුන දා සිට ඔබ වෙනුවෙන් බොහෝ දෙනෙකු මහන්සි වන නිසා. එසේම ඔබ සමඟ ගණුදෙනු කළ පුද්ගලයන්ට ඔබේ තීරණය දන්වා ඔවුනට ස්තුති කරන්නත් අමතක කරන්න එපා.

මෙසේ ඔබේ බඳවා ගැනීම සම්පූර්ණ වූ පසු ඔබට වීසා ලබා ගැනීමට අමෙරිකානු තානාපති කාර්යාලයට යා යුතුයි. ඒ පිළිබඳ සියළු තතු මෙතනින් ලබාගන්න

ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම මෙතැන් සිට ඔබට බාරයි. ඔබ යන්නේ වෙනත් රටකට, ඒ රටවල් අනුව හැඩගැසී ඔබේ අනන්‍යතාවය තබාගෙන ඉගෙනීම සාර්ථක කරගන්න…

Happy Graduates

ඔබට ජය..

නොතේරෙන යමක් තිබේ නම් අපි සාකච්ඡා කරමු……

පිස්සු හැදෙන සඳ…. උසස් පෙළ විෂය නිර්දේශය, විභාගය පාසල් සිසුන්ට අමාරුලු….එහෙම කියන්නේ උසස් පෙළ ගුරුවරයෙක්….

ඔන්න Daily Mirror පත්තරේ මරු Joke එකක් දාලා, ඕන නම් සබැඳුම ඔස්සේ ගිහින් බලන්න… ඒ ලිපියේ එක කොටසක මෙන්න මෙහෙම තියෙනවා.

” Economics Teacher Herath Banda said that there is a perception among students that his subject is a difficult one today.

Mr. Banda who works at Sumana Balika Vidyalaya, Ratnapura pointed out that the syllabus is also advanced for the students.”

බණ්ඩා මහත්තයා හිතන් ඉන්නේ සිරි ලංකාව තවම තියෙන්නේ එකදාස් නවසිය බර ගණන් වල කියලා. ලෝකය බොහෝ දුර ඉදිරියට ගිහින්. වෙනත් රටවල දෙකේ පන්තියෙ පොඩි එවුන් තමන්ගෙම අදහස් අනුව පින්තූර, වීඩියෝ ආදිය හදලා පන්තියේ ව්‍යාපෘති වලට ඉදිරිපත් කරන කාළයක් මේ. පහේ පන්තියේ පොඩි එවුන් නැනෝතාක්‍ෂණය ඉගෙන ගන්න කාළයක් මේ. මට හිතෙන විදියට පාසලේ ළමයින්ට නොවෙයි, බණ්ඩා මහතාටයි විෂය නිර්දේශයේ කරුණු තේරුම්ගන්න බැරි වෙලා තියෙන්නේ.මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි අද මගේ ලියමනේ නිමිත්ත.

ඇත්තටම අද අපේ උසස් පෙළ ළමයින්ට විෂයයන් අමාරුද ? දශක ගණනාවක් තිස්සේ උසස් පෙළට තිබුණ විෂයයන් 4  ‍මෑතකදී අඩු වුනා 3 කට. මේ නිසා ළමයින්ට පාඩම් කළ යුතු ප්‍රමාණයේ අඩුවීමක් වුනාද කියලා කියන්න මම නම් දන්නේ නැහැ. ඒත් එය මානසිකව විෂයයන් 3 කට අඩු වීම නම් සෑහෙන දුරට සහනයක් වෙන්න ඇති. ඒත් මටනම් බණ්ඩා මහතා එක්ක එකඟ වෙන්න බොහොම අමාරුයි…. ඒ හේතු කීපයක් මත…

විෂය නිර්දේශ හෝ විභාග පහසුයි කියලා කිසිම ශිෂ්‍යයෙක් කවමදාකවත් කියන්නේ නැහැ. ඒ වගේම විෂය නිර්දේශය පහසු වෙලා විභාගයත් පහසු වෙනකොට විශ්ව විද්‍යාල පිවිසුම්  කඩඉම් ලකුණු කීයක් වෙයිද ? එමෙන්ම, විභාග අපහසු නම් මෙපමණ ප්‍රමාණයක් සිසුන් විභාග සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් අහිමි වෙන කී දෙනෙක් ඉන්නවද ? විභාග අපහසු නම් සිසුන් විශාල සංඛ්‍යාවක් විභාගය අසමත් වෙලා විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු මට්ටම අඩු කරන්න වෙනවා නේද ?

මම නම් හිතන්නේ විභාග අමාරු නැති බවයි. එසේම මගේ මතය නම්, දැනට පවතින විෂය නිර්දේශ අළුත් කරුණු අනුව සංශෝධනය විය යුතුයි. අප සිටින්නේ 2010 වසරේ.. ලෝකය ඉදිරියට යනවා විනා පසුපසට යන්නේ නැහැ. ඒ නිසා අළුත් දේ ඉගෙනීම බොහොම වටිනවා. ඒ වගේමයි මූලික උපාධිය හදාරලා උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන සිසුන්ට  හෝ පෞද්ගලික අංශයේ රැකියා සඳහා යන අයට බණ්ඩා මහතා ඉගෙනගත් පරණ විෂය නිර්දේශයෙන් වැඩක් තියේද කියලා ඒ මහතාටම හිතන්න වෙනවා.

සිසුන්ට විභාග අමාරු නම් කොහොමද විශ්ව විද්‍යාල ප්‍රවේශයට මේ තරම් තරගයක් ? එසේ නම් ඇයි කඩඉම් ලකුණු සංඛ්‍යාව හැම වසරේම ඉහල යන්නේ ? විශ්ව විද්‍යාලවලට සිසුන් අඩු වුනා කියලා කවදාවත් අහලා තියෙනවාද ? බණ්ඩා මහතා ගැන මට ඇත්තටම දුකයි. ඒ මහතාගේ තර්කය බොහොම බොළඳ තර්කයක්.

විය යුත්තේ ගුරුවරයා දැනුවත් වීමයි. ගුරුවරු කරන්නේ හැමදාම තමන් උගන්වන දේ පන්තියට ඇවිත් repeat කරන එකයි. කිසිම අළුත් දැනුමක් ලබා ගන්න වෙහෙසෙන්නේ නැහැ. එමෙන්ම රජයෙන් ගුරුවරු දැනුවත් කරන පාඨමාලා කෙරෙනවත් අඩුයි. මෙන්න මේ නිසා ගුරුවරයාගේ දැනුම එකතැන පල් වෙනවා. ඒ නිසාම ශිෂ්‍යයාත් අළුතෙන් යමක් ඉගෙන ගන්නේ නැහැ. මේ තත්ත්‍වය ලංකාවේ පාසල් වලට පමණක් නොවෙයි, විශ්ව විද්‍යාලවලට පවා පොදුයි. මේ දෙගොල්ලොම ගමන් දන්නදේ දෙසාබානවා මිසක් ශිෂ්‍යයා පාඩමට සම්බන්ධ කරගැනීම කෙරෙනවා හරිම අඩුයි. එමෙන්ම ශිෂ්‍යයාත් නොතේරෙන තැන ගුරුවරයාගෙන් අහනවා අඩුයි. මොකද කියනවා නම් සමහර ගුරුවරු ඇඟට කඩන් පනින නිසාත් ගුරු-සිසු සම්බන්ධය ගැන ගුරුවරයා කෙරෙහි සිසුවා තුළ ඇති ආකල්පය බිස මුසු ආකල්පයක් නිසාත් යන කරුණු නිසා. මේ නිසා සිසුවා පෞද්ගලික පන්තියේ ගුරුවරයාට ඉතා සමීපයි. ඔහු විහිළුවෙන් හෝ වෙනයම් ක්‍රමයකින් (එහෙමත් නැත්නම් මුදල් ගෙවලා ඉගෙන ගන්න නිසා) සිසුවාගේ අවධානය කෙසේ හෝ පාඩමට යොමු කරවා ගන්නවා. ඒ වුනත් මෙහිදී ද සිසුවා පාඩම කෙරෙහි සක්‍රීය සහභාගීත්‍වයක් දරනවා හරි අඩුයි.

ලංකාවෙ ගුරුවරුන්ට නවතම ඉගැන්වීමේ ක්‍රම වලට නිරාවරණය වීමේ අවස්ථා හරි අඩුයි. මෙයට ප්‍රධාන හේතුව අධ්‍යාපන බලධාරීන්ගේ නොදැනුවත්කම. බොහොමයක් අධ්‍යාපන නිලධාරීන් දේශපාලන බලපුළුවන්කාරකම් වලින් ඒ තැන්වලට ආ උදවිය. ඒ අය නවතම අධ්‍යාපන ක්‍රම ගැන නොවෙයි අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා වත් හරියට නොදන්න අය. ඉතින් කොහොමද අධ්‍යාපනේ ගොඩගන්නේ ?

ප්‍රශ්න පදනම්කරගත් ඉගෙනීම, එහෙමත් නැත්තම් සිංහලෙන් කියන විදියට Problem Based Learning අද ලෝකයේ සාර්ථක අධ්‍යාපන රටාවක්. මෙය හැම විටම කරන්න බැරි වුනත් සිසුන් පාඩමට සක්‍රීයව සහභාගි කරවා ගැනීමට, ගුරුවරයාට සිසුන්ගේ දැනුම මට්ටම උරගා බැලීමට පාවිච්චි කළ හැකි කදිම ක්‍රමයක්. මා හිතන අන්දමට ලංකාවේ කොතැනකවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ හෝ අත්හදා බැලෙන්නේ නැහැ. මට හිතෙන විදියට ගුරුවරුන්ට පඩි සහිතව දෙන පාසල් නිවාඩුව ගෙවල්වල ළමයි බලාගන්නවට වඩා වැදගත් වැඩකට යොදා ගන්නවා නම් මෙහෙම ප්‍රශ්න ඇති වන්නේ නැහැ. ඒ වැදගත් වැඩය නම්, ගුරුවරු නව පාසල් වාරයට, නව වසරට නව දැනුමින් සන්නද්ධ කිරීම. එහෙම වෙනකොට ගුරුවරුන්ටත් නවතාවයක්, තමන් නැවතත් යමක් ඉගෙන ගන්නවා කියලා හැඟෙනවා.

Problem Based Learning Process

අනෙක් කාරණය තමයි ලංකාවටම බලපාන “වගකීම් නොගැනීමේ ‍රෝගය”… ලංකාවෙ ජනාධිපතිගෙ ඉඳලා කසළ ශෝධකයා දක්වා රාජ්‍ය සේවයේ නියැලෙන කිසිම කෙනෙක් තමන්ගේ ක්‍රියා වලට වගකීමක් දරන්නේ නැහැ. වෛද්‍යවරුන් ‍තම අත්වැරැද්දකින් රෝගියෙකු අනතුරට පත් වුනොත් හෝ මියගියොත් වැරැද්ද වෙනුවෙන් වගකීමක් දරන්න සූදානම් නැහැ. හෙදියෝ රෑට රන් දෙපැය බලනකොට සූත්‍රිකාගාරයේ වැසිකිළියේ ගර්භණී අම්මලා දරුවන් ප්‍රසූත කරනවා. ගිලන් රථයෙන් අමාරු රෝගියෙක් වෙනත් රෝහලකට රැගෙන යන විට, ඒ රථයේ රියැදුරා සහ හෙදියෝ තේ බොන්න කඩවල් ගානේ යනවා, ගිහින් එනකොට ලෙඩා මැරිලා…. මෙන්න මේ වගේ වැඩ ලංකාවෙ සිද්ධ වෙන්නේ….

මෙන්න මේ දේවල් නවත්වන්න, සියළුම රාජ්‍ය සේවකයන් තම සේවාව ලබා ගන්නා අය අතින් අඛණ්ඩ ඇගයීමකට ලක් විය යුතුයි. උදාහරණයක් හැටියට: හෙදියක් නම්, ඇය සත්කාර කරන රෝගියා සුව වී නිවස බලා යන අවස්ථාවේ පිරවීමට ඇගයීම් පෝරමයක් ලබා දිය යුතුයි. එම ඇගයීම්, එම හෙදියගේ ඊලඟ වැටුප් වර්ධකය හෝ උසස්වීම ලබාදීමේදී සැලකිල්ලට ගත යුතුයි. මෙසේම පාසල් සිසුන්ටද වාරය අවසානයේ ගුරුවරුන්ගේ ඉගැන්වීම ආශ්‍රිත ඇගැයීමක් පිරවීම සඳහා බා දිය යුතුයි. මෙවැනි ඇගයීම් අමෙරිකානු විශ්ව විද්‍යාලවල ගුරු සහායකයින් (Teaching Assistants) හට පවා සිදු කෙරෙනවා. මෙය මහා වියදම් යන කාරණයක් නොවෙයි. එසේ වියදම් ගියත්, ඉන් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා ලාභදායකයි.

ලංකාවෙ සිසුන්ට විභාග අමාරුයි කියලා ප්‍රශ්න වලින් ගැලවෙන්න නොවෙයි, ප්‍රශ්නයට පිළියම් හොයන එකයි වැදගත්, ටියුෂන් ගුරුවරයෙක් වෙලා හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාටත් මේ අධ්‍යාපන ක්‍රමය ගොඩ දාන්න බැරි නම්, සක්කරයගේ පුතා වයිමාට තමයි මේ අවනඩුව කියන්න වෙන්නේ……