නාථ දෙයියෝ ආසනික් හොයා ගත්තා වගේම වකුගඩු රෝගයත් සුව කරයි නේද ?

පුංචි කාලේ පොත් කියවන්න අපි බොහෝ දෙනෙක් ආසයි. ඒ පොත්වල තියෙන ජනප්‍රවාද මතක ඇති ඔබටත්. ගමරාල දෙව්ලෝ ගිය හැටි, නරියා ලබු කිරිබත් කෑ හැටි, ආදී වශයෙන් අපි ඉගෙනගත් ජනප්‍රවාද බොහෙමයි. අද අළුතින්ම ඒ ගොන්නට එකතු වී ඇත්තේ නාථ දෙයියෝ ආසනික් සොයාගත් කතාවයි. හැබැයි මේ කතාව කතන්දරගේ කතාව වගේ රසවත් එකක් වත්, අරුණිගේ කතා වගේ සාරවත් එකක් වත් නොවෙන්න පුළුවනි. මම මේ කියන්නේ අපේ රටේ සමහරක් විශ්ව විද්‍යාලවල පීඨාධිපති සහ ජනාධිපති උපදේශක යැයි කියාගන්නා මිනිසුන්ගේ කතා ගැන. මට නම් මේ ගැන අවසානයේ කියන්න තියෙන්නේ ලංකාවට නාථ දෙවි පිහිටයි කියලා තමයි.

මේ නලින් සිල්වා මහතා දිවයින පත්තරයට සැපයූ සාකච්ඡාවේ උපුටා ගැනීමක්.

රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්.”

ඒ වගේම මෙහෙමත් කියනවා

“ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා.”

නාථ දෙවියන් ඇසූ පිරූ ඇති දෙවියෙකු බව අප අමතක නොකළ යුතු කරුණක්.

නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක්‌ අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක්‌ වැනි දෙයක්‌ නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක්‌ තිබෙනවා.”

ඒ අනුව නාථ දෙවියන් ආසනික් පමණක් නොව සම්පූර්ණ ආවර්තිතා වගුවම ගැන බොහෝ දැනුමක් ඇති දෙවියෙකු විය යුතුයි.  ආසනික් මුලින්ම සොයා ගත්තේ ඩොමිනිකන් බිෂොප් වරයෙකු වූ (එයා කතෝලිකයෙක්, බටහිරයෙක්) ඇල්බර්ටස් මැග්නස් නම් පුද්ගලයා 1250 දී. නාථ දෙයියෝ මේ ලෝකෙ පහළ වුනේ මීට සැහෙන කළකට පෙර නේ…. එතකොට නාථ දෙයියො දැනගෙන ඉන්න ඕන මේ ආසනික් කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා….එහෙමත් නැත්නම් නාථ දෙයියෝ පොතපත කියවලා දැනගන්න ඕන ආසනික් කියලා දෙයක් තියෙනවාය, ඒක වකුගඩු රෝගයට හේතු සාධක වෙනවාය කියන දේ.

ඔබ පසුගියදාක ප්‍රකාශ කළා මේ ප්‍රශ්නය ජනතා අධිකරණයට බාර දීල කියල. නමුත් ආහාරවල සහ පළිබෝධ නාශකවල ආසනික්‌ තියෙනව කියන්නෙත් නැහැ කියන්නෙත් විද්‍යාඥයො. පර්යේෂණ අනුව විද්‍යාඥයන් ප්‍රකාශ කරන දෙයකට ජනතාව තීන්දුවක්‌ දෙන්නෙ කොහොමද?

උසාවියකදී නඩුවකට තීන්දුවක්‌ දෙන විනිසුරුවරයා විද්‍යාඥයෙක්‌ද? ඔහු සමහර විට පාලි හා බෞද්ධ අධ්‍යයනයක නිරත වූවෙක්‌ වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ චින්තනය ක්‍රිස්‌තියානි චින්තනයට වඩා හුඟක්‌ ඉහළයි. මිනී මැරුම් නඩුවක තීන්දුව දෙන්නෙ කවුද? සාමාන්‍ය මිනිසුන්ගෙන් යුතු ජූරි සභාවකින්. මේ මිනිහ මිනිහෙක්‌ මැරුවද නැද්ද කියල තීන්දු කරන්න අධිකරණ වෛද්‍ය විද්‍යාවේ හෝ වෙනත් විද්‍යාවක විශේෂඥයකු විය යුතු නැහැ. මේ වගේ දේවල්වලට තීන්දු දෙන්න ඕන ඒ ඒ ක්‍ෂේත්‍රවල විශේෂඥයො කියල හිතාගෙන ඉන්න එක මහා මිථ්‍යාවක්‌. මේවට තීන්දු දෙන්න හොඳම අය තමයි සාමාන්‍ය ජනතාව. දෙපැත්තම කරුණු ඉදිරිපත් කළාට පස්‌සෙ කවුද හරි කියල තීරණය කරන්න සාමාන්‍ය ජනතාවට පුළුවන්. දෙකෝටියකට වැඩි ජනගහනයක්‌ ඉන්න අපේ රටේ මේ ආසනික්‌ ගැන කෝටියක්‌වත් උනන්දු වෙනව ඇතිනේ. ඒ කෝටියම මේ ප්‍රශ්නයේ විනිශ්චයකරුවො. වඩා හරි එක්‌කෙනෙකුගෙ දෙන්නකුගෙ හරි එක ආයතනයක හරි නිගමනය ද නැත්නම් කෝටියකගෙ විනිශ්චයද?”

මේ කතාවට අනුව නලින් ද සිල්වා රෝගී වුනොත් දොස්තර (ආයුර්වේද හෝ බටහිර) කෙනෙකුගෙන් බෙහෙත් ගන්නවාට වඩා තමන් විසින්ම බෙහෙත් නියම කරගත යුතුයි.ඒ ඒ ක්‍ෂෙත්‍ර වල විශේෂඥයෝ අවශ්‍ය නැත්නම් කොහොමද දෙයියනේ මෙච්චර කාළයක් මේ මානව සංහතිය ඉදිරියට ගියේ ? එහෙනම් ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා දාලා එයාර් බස් දුවවන්න පුළුවන් නේ… ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ ? ඉස්කෝලවල ගුරුවරු දාලා කැම්පස් වල උගන්වන්න පුළුවන් නේ… ඇයි මේ මහාචාර්යවරු ඉන්නේ ?

මෙයට පෙර පර්යේෂක කණ්ඩායම් දෙකක් විසින් මේ පිළිබඳ කරන ලද පර්යේෂණ අනුව එක් කණ්ඩායමක් දරුණු ඇල්ගී වර්ගයකටත්, තවත් කණ්ඩායමක් ජලයේ ඇති කැඩ්මියම් වලටත් මේ වකුගඩු රෝගයේ බර පැටවූවා. එසේම 2007 වසරේ Chemtech 2007 රසායන විද්‍යා සම්මන්ත්‍රණයට  දේශනයක් ඉදිරිපත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන මහතා පැවසූයේ උතුරු සහ උතුරුමැද පලාත්වල අධික පොහොර භාවිතය නිසා ජලයේ සහ පසේ ඇති නයිට්‍රේට සාන්‍ද්‍රණය අධික බවයි. මේ නයිට්‍රේට කිසිදු අයුරකින් ජලයෙන් ඉවත් කරන්නට බැහැ. මක් නිසාද යත් සියළුම නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වන නිසා. එය අයන හුවමාරු කරන රෙසිනයකින් වත් ඉවත් කිරීමට අපහසුයි. කෙසේ හෝ මේ තත්ත්‍ව දෙක තුනම මේ අවාසනාවන්ත සිද්ධියට දායක වෙන්නට පුළුවනි. ඒ වගේමයි අපට අමතක කරන්නට බැහැ රජරට ප්‍රදේශය පුරාවට පැතිර ඇති ඇපටයිට් නිධිය. මේ නිධියේ අධික ෆොස්ෆේට් සහ ෆ්ලුවොරයිඩ් සාන්‍ද්‍රණයක් තියෙනවා. රජරට දරුවන්ගේ දත් දිරා යාම අධික වන්නේත් මේ ෆ්ලුවොරයිඩ් සාන්‍ද්‍රණයේ අධික බව නිසා. මට පෙනෙන හැටියට නම් මේ සියල්ලම මේ වකුගඩු රෝගයට සාධක වෙනවා.

ඊළඟ කාරණය ඔය අයගෙ රසායන විද්‍යාව කියන්නෙ සූප ශාස්‌ත්‍රයක්‌. මොනව හරි කෑමක්‌ හදන කොට එකතු කරන ප්‍රමාණ තියෙනවනෙ. දෙහි මිලි ග්‍රෑම් 3 යි පිටි කිලෝ ග්‍රෑම් 1 වගේ. ඒක රසායන විද්‍යාව නෙමෙයි. සූප ශාස්‌ත්‍රය. මේ අය රසායන විද්‍යාව කරන්නෙත් එහෙමයි. නයිටි්‍රක්‌ ඇසිඩ් මෙච්චරයි. අර භෂ්මය මෙච්චරයි. මේ උෂ්ණත්වයට රත් කරන්න ඕන. සුද්ද දීල තියෙන ඔය විධි ක්‍රමයට ආසනික්‌ අහුවෙන්නෙ නෑ. සමහර ද්‍රව්‍යවල අහුවෙන්නෙ තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන්. කැලණි විශ්වවිද්‍යාලෙ කණ්‌ඩායම කළේ ඔය සුද්දගෙ පොතේ තියෙන ක්‍රමය සංශෝධනය කිරීමක්‌”

රසායන විද්‍යාව පහත් කරලා සලකන නලින් සිල්වා තමන්වම ප්‍රතිවාචනය කරමින් (contradict) මෙහෙමත් කියනවා.

විද්‍යාත්මක ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළාට අපේ රටේ අධිපතිවාදී මතයක්‌ තියෙනව විද්‍යාත්මක ක්‍රමය හරියි කියල. රෝම ලන්දේසි නීතිය මම පිළි නොගත්තට යම් දිනයක උසාවියකදී මට කරුණු ප්‍රකාශ කරන්නට වුණොත් මට රෝම ලන්දේසි නීතිය පිළිගන්නට වෙනව. අන්න ඒ වගේ විද්‍යාත්මක විධි ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළත් මහජනයා වෙනුවෙන් සිදුකළ මේ කාරණයේදී අපි කටයුතු කළේ සම්මත රසායන විද්‍යාවට අනුවයි. සම්මත රසායන විද්‍යාවේ නීති රීතිවලින් මූලික නියමවලින් බැහැර වන්නේ නෑ. අපි එහෙම කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය අද අපේ රටේ අධිපතිවාදය බවට පත්වෙලා තියෙන හින්දයි. මේ විද්‍යාත්මක ක්‍රමය මම දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. අධිරාජ්‍යවාදීන් මේ ගැටයෙන් අද අපේ බෙල්ල හිරකරලයි තියෙන්නේ. මම මේ විශ්වවිද්‍යාලෙ විද්‍යාපීඨ පීඨාධිපති තමයි. මම මෙතෙන ඉන්නෙ මේ බොරුකාරයන්ගෙ විද්‍යාව උගන්වන්න නෙමෙයි. මේ විද්‍යාවට විරුද්ධව ළමයින්ට කරුණු කියන්න. මම පඩි ගන්නෙ මට නියම කරල තියෙන වැඩේට විරුද්ධ වැඩක්‌ කරලයි. ඒක සදාචාර නොවෙන්න පුළුවන්. නමුත් ඒක මගේ සදාචාරයට හරි. මගේ සදාචාරය තමයි රට. රටේ යහපත. මම බටහිර රසායන විද්‍යාව පිළිකෙව් කළත් මේ කාරණයේදී මම ක්‍රියාකරන්නෙ බටහිර රසායන විද්‍යාවට අනුවයි. මට මෙහි කිසි පටලැවිල්ලක්‌ නෑ.”

ඒත් වැඩේ පටලවාගෙන බටහිර පිළිගත් ක්‍රමය වෙනස් කරමින් ජලයේ ආසනික් ඇති බව පවසනවා. ඇත්තෙන්ම ජලයේ ආසනික් ඇති. ඒත් ඒ බව සනාථ කළ යුත්තේ නිසි පරිදි දීප ව්‍යාප්ත පර්යේෂණයක් ආධාරයෙන්. සමහර විට රටේ අනෙකුත් ප්‍රදේශ වලත් මේ වගේම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නිසා ආසනික් මට්ටම ඉහළ අගයක ඇති. නමුත් ඒ පෙදෙස් වල ජනයාට මේ වකුගඩු රෝග ඇතිද යන්නත් සොයා බැලිය යුතු වෙනවා. එසේ නැතිනම් රජරටට ආවේනික මේ වකුගඩු රෝගයේ මූල බීජය ආසනික්ද නැතිනම් වෙනකක්ද යන්න සෙවිය යුතු වෙනවා.

රජරට වකුගඩු රෝගය මේ ආසනික්‌ නිසා සෑදෙන බව අපට සියයට අනූනවයක්‌ම විශ්වාසයි. අද රට පුරා පැතිරෙන මී උණත් ඔය පළිබෝධනාශක නිසා ඇතිවන ලෙඩක්‌. එහෙම නැතිව මී මුත්‍රා නිසා නෙමෙයි. මී උණ පැතිරෙන්නෙ දැනට අවුරුදු 25 ක විතර කාලෙක ඉඳන්. මීට අවුරුදු 25 කට කලින් හිටපු මීයො මුත්‍රා කළේ නැද්ද? මේ පළිබෝධනාශක නිසා කුඹුරුවලට වස විස ඇවිත් තියෙනව. හේතුව ඒකයි. මේකට තිබෙන විසඳුම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ගොවිතැනට නැවත යැමයි. ඊළඟට මේ වෙනුවට කාබනික පොහොර, හරිත පොහොර, කොම්පෝස්‌ට්‌ පොහොර ආදී නම් වට්‌ටෝරුවක්‌ තියෙනවා. ඒව නරකයි කියනව නෙමෙයි. නමුත් විසඳුම නෙමෙයි. ඒවත් බටහිරෙන් එන යෝජනා. ඊටත් වඩා පහසු ක්‍රියාත්මක කිරීමට ලේසි ක්‍රම තියෙනවා. අපේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි එකතු වෙලා මේ කිට්‌ටුව කුඹුරක්‌ ඇස්‌වැද්දුව. අපි කෘමිනාශක පාවිච්චි කළේ නෑ. කැප්පෙටිය, නිදිකුම්බා වැනි කොළ වර්ග කිහිපයක්‌ පමණයි යෙදුවේ. අපි කන්න ගණනාවක්‌ එසේ වගා කළා.මේ වෙනස දවසින් දෙකෙන් කරන්න බෑ. ආණ්‌ඩුව මැදිහත් වුණොත් තව වසර පහක්‌ ඇතුළත කෘෂි රසායන නැති ගොවිතැන් ක්‍රමයක්‌ රටේ ඇති කරන්න පුළුවන්.

කෘෂි රසායන භාවිතය ඉහළ ගොස් ඇති නිසා අපට බොහෝ දේ නැති වුන බව සැබැයි. ඉස්සර වෙලේ උඩ්ඩො, දංඩි වගේ මාළු අල්ලපු අපි, නියරේ වලවල් හාරපු කකුළුවො අල්ලපු අපි දැන් වෙලකට බහින්න බයයි. ඉස්සර දුරුත්ත කාලෙ රංචු ගණන් සිරීපාදෙ යන සමනල්ලු බෙහෙතකටවත් හොයාගන්න බෑ දැන්. අඩුම ගානේ රෑට කළාමැදිරි එළියක් දකින්නෙත් බොහොම කළාතුරකින්. මේ අපට කෘෂි රසායන ද්‍රව්‍ය දායාද කළ දේවල්. නමුත්, අපට දැන් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම වලට යන්න අමාරුයි. ඒ වගේම කෘෂි රසායන භාවිතයත් පාලනය කරන්න අවශ්‍යයි. මේ නිසා අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් සියල්ල කළ යුතුයි.

බෙන්සීන් අණුවේ සම්ප්‍රයුක්තතාවය (resonance) සොයාගත් කෙකුලේ නම් විද්‍යාඥයා ඒ බව සොයා ගත්තේ සර්පයෙකු තමන්ගේම වලිගය ගිලිනු වැන්නක් සිහිනෙන් දුටු බව අනුසාරයෙන් බව පැවසෙනවා. අපට වුනත් කිසියම් කරුණක් දිගින් දිගටම සිතන විට ඒ පිළිබඳ නොයෙක් සිහින දකින්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් නිරන්තරයෙන් නාථ දෙවියන් හෝ වෙනයම් දෙවියෙක් පෙනී සිට මෙසේ පර්යේෂණ වලට අවශ්‍ය කරුණු සොයා දීම අසාමාන්‍ය දෙයක්. යම් දිනෙක මේ පර්යේෂණය නිබන්ධනයක් ලෙස ප්‍රසිද්ධ වූ විට සමහර විට කතෘ වරු වශයෙන් නාථ දෙවියන්ගේ නමත් ඇතුලත් වෙන්නට පුළුවනි. එසේ නැතහොත් අවසානයේ පිං පැමිණවීමක් වත් කළ යුතු වෙනවා. නමහරවිට දෙයියෝ කෝප වුනොත් ආයෙම පර්යේෂණ වලට සහාය නොදක්වන්නට පුළුවනි.

ඒ නිසා නිබන්ධනය අවසානයේ මෙසේ සඳහන් කරන්නැයි ආචාර්ය නලින් ද සිල්වා සහ මම කාබනික රසායනය උගත් ආචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. සිංහලෙන් ප්‍රසිද්ධ කළොත් නං,

“අපගේ පර්යේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් වෙත අපගේ අවධානය යොමු කළ නාථ දෙවියන් හට  කතෘවරු වන අප පිං පමුණුවමු.”

ඉංගිරිසියෙන් නම් ඉතිං සුපුරුදු පරිදි,

” The authors would like to acknowledge God Natha by presenting merit for guiding us to the correct path at a critical time on this research”

කළ යුත්තේ දෙයියන් ගැන කියමින් තමන්ගේ පර්යේෂණය නිවැරදි බව හෝ වෙනත් පර්යේෂකයින් විසින් එය වැරදි බව සනාථ කිරීම නොව, සියල්ලන් එකමුතු වී පුළුල් සංවිධානාත්මක පදනමක් සිට මේ සියළු සාධක සලකා බලා නිවැරදි පර්යේෂණයක් සිදු කර හේතු සොයා ගැනීමයි. ඒ වගේමයි මේ හේතුව නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට බෙහෙතක් හෝ ජලයේ ඇති මේ අයහපත් සංඝඨක ඉවත් කර පානයට සුදුසු ජලය ලබා දෙන හැටිත් දෙයියො කියලා දෙයි කියලා ඇල්කෙමියා බලාපොරොත්තු වෙනවා…

නැත්තං ඉතිං ලංකාවට නාථ දෙයියන්ගේම සරණයි.