ආචාර්ය උපාධියක් ලබාගන්නේ කොහොමද ? මූලික අඩිතාලම………

අපේ රටේ ඕනෑ තරම් ආචාර්යවරු සිටිති. මහාචාර්යවරු ද සිටිති. මහාචාර්ය වරයෙකු වීමට ආචාර්ය කෙනෙකු වී කප් සුවහස්  කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳිය යුතු වේ. ආචාර්ය වරයෙකු වීමට ද එසේමය. ආචාර්ය කෙනෙකු නොවී මහාචාර්ය කෙනෙකු විය නොහැක. මහාචාර්ය පට්ටම රැඳී පවතින්නේ විශ්ව විද්‍යාලයකට සම්බන්ධ තාක් කල් පමණක් වුවද, ශ්‍රී ලංකාවේ මහාචාර්යවරු ගෙදර නිදාගන්න විටද පට්ටම ඔලුවේ ගසා‍‍ගෙන සිටිති. ලංකාවේ හැටි එහෙමය, හරිම අපූරුය……

‍පින්තූර අනුග්‍රහය Lankanewspapers.com

එසේ වුවද, මේ පට්ටම් ගසාගත් පසු බොහෝ දෑ කළ හැක, කරගත හැක, කර දිය හැක.

මේ ආචාර්ය මහාචාර්ය වරු සිව් වැදෑරුම් වේ.

1. පළමුව පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලබා, දෙවනුව වසර 3-4 (එංගලන්තය වැනි රටවල) හෝ වසර 5-7 ක් (අමෙරිකාව වැනි රටවල) දහදුක් විඳ “උපයා ගන්නා ආචාර්ය උපාධිය (Earned Doctorate)”. උදා. මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නවුන්….

2. තම ක්‍ෂෙත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙයක් කර, එම ‍ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමෙන් විශ්වවිද්‍යාලයක් මඟින් දෙනු ලබන සම්මානනීය ගෞරව ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය තිස්ස අබේසේකර වැන්නවුන්….

3. නොදී බැරිකමට හේතුවක් හොයාගෙන තම පැවැත්ම සඳහා රටේ නායකයන්ට දෙනු ලබන ආචාර්ය උපාධිය. ආචාර්ය මහින්ද රාජපක්‍ෂ, ආචාර්ය ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන්….

4. කොහේ හෝ අටවාගත් අධ්‍යාපන කඩයකින් මුදලට හෝ බයට ලබා දෙන ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය මර්වින් සිල්වා වැන්වුන්….

සෑම දෙනාටම ආචාර්ය උපාධියක් ලැබිය නොහැක. එය දුක් විඳිය යුතු, එහෙත් ඒ දුකෙහි අග්‍රඵලය ප්‍රණීතය. එය ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතු ක්‍රියාදාමයකි.  එමෙන්ම සෑම දෙනාටම තම ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමට ද නොහැක. එසේම අපට බයට හෝ මුදලට ආචාර්ය උපාධි දෙන කඩවල් ද නැත. එසේ නම් අප ආචාර්ය උපාධියක් ලබා ගන්නේ කෙසේ ද ?

මම වැඩිපුරම දන්නේ අමෙරිකානු විශ්ව විද්‍යාලවල බඳවා ගැනීමේ ක්‍රියා පිළිවෙතයි. ඒ නිසා මම මෙම ලිපියෙන් අදහස් දක්වන්නේ ඒ ගැන පමණයි.

මුලින්ම පිළිගත් විශ්ව විද්‍යාලයකින් අවුරුදු 4 ක (විශේෂ උපාධියක්) ලබා ගැණීම අත්‍යාවශ්‍ය කාරණයක්. අවුරුදු 4 ක උපාධියක් නැතිනම් අවුරුදු 3 ක සාමාන්‍ය උපාධියක් හොඳින් සමත් වී ශාස්ත්‍රපති (MSc.) උපාධියක් තිබීම අනිවාර්ය සුදුසුකමක්. මේ දෙකම නැත්නම් එයින් එහාට ඒ ගැන සිතලා වැඩක් නැහැ.

ඒ නිසා මම දෙන පළමු අවවාදය තමයි විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිටම හරියට වැඩ කරන්න කියන එක. පළමු වසර අවසානයේ විභාගයේ මට්ටමින් ඔබ විශේෂ උපාධිය කරනවා ද, සාමාන්‍ය උපාධිය කරනවාද යන්න තීරණය වෙනවා. අමෙරිකානු විශ්ව විද්‍යාලවල ක්‍රමය අනුව ලකුණු මට්ටම් සහ බඳවා ගැණීමේ අවම මට්ටම තීරණය කරනු ලබන්නේ GPA (Grade Point Average) අනුව. එය ගණන් හදනු ලබන්නේ යම් විෂයයක්  සතියකට උගන්වනු ලබන පැය ගණන සිසුවා ලබා ගන්නා අවසාන සාමාර්ථයෙන් වැඩිකිරීමෙන් (A – 4, B – 3, C – 2, D – 1, F – 0) ලබන අගය සතියේ ඉගෙන ගන්නා මුළු පැය ගණනින් බෙදීමෙන්

උදාහරණයක් වශයෙන් යම් සිසුවෙකු සතියකට

පැය 3ක්  ජීව විද්‍යාව, පැය 3ක් රසායන විද්‍යාව, පැය 1 ක් ඉංග්‍රීසි, සහ පැය 3ක් ගණිතය ඉගෙන ගෙන පිළිවෙලින්  A, B, C, F  සාමාර්ථ ගත්තේ නම්

(3 x 4) + (3 x 3) + (1 x 2) + (3 x 0) = 23

ඉගෙන ගත් මුළු පැය ගණන = 10

GPA = 23/10 = 2.3

කෙසේ වෙතත් මා දන්නා තරමින් ලංකාවේ විශ්ව විද්‍යාලවල (මොරටුව විශ්ව විද්‍යාලයේ හැර) මෙම ක්‍රමය නොමැති නිසා ඔබ අයදුම් කරන විදේශීය විශ්ව විද්‍යාල සමහරක් ඔවුන්ගේම ක්‍රමයකින් මෙය ගණනය කරන අතර සමහරක් එය ඔබ විසින් කර සහතික කර ගත යුතු බවට ඔබට දන්වා එවිය හැකියි.

කෙසේ වෙතත් අමෙරිකානු විශ්ව විද්‍යාලවලට ආචාර්ය උපාධි (Ph.D) හෝ ශාස්ත්‍රපති උපාධි (MSc) අපේක්‍ෂකයන් ඇතුලත් කර ගැණීමේ අවම GPA මට්ටම 3.0 බව සලකන්න.

එසේ GPA මට්ටම 3.0 වලට වඩා ඉහළ තත්ත්‍වයක තබා ගැණීම වැඩියෙන් A, B,සහ අඩු C සාමාර්ථ ප්‍රමාණයක් ලබාගැනීමෙන් සිදුකළ හැක. එනම් හොඳින් විභාග සමත් වීම කළ යුතුය.

සාමාන්‍ය තත්ත්‍වයේ අමෙරිකානු විශ්ව විද්‍යාලයක එක් දෙපාර්තමේන්තුවකට ආචාර්ය උපාධි අපේක්‍ෂකත්‍වය සඳහා ඉල්ලුම්පත් 500ත් 1000 ත් අතර ප්‍රමාණයක් ලැබේ. Harvard, MIT, Berkley, Yale, වැනි ඉහළ තත්ත්‍වයේ විශ්ව විද්‍යාලවල අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට ලංකාවේ පළමු පන්තියේ විශේෂ උපාධිධාරීන්ට පවා තරමක් අපහසු කාර්යයකි.

එහෙත් මෙම විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමේ තරඟය වැඩි නිසාම බොහෝ විශ්ව විද්‍යාලවල මෙම අවම මට්ටම ඉහළ දමා තිබෙනවා. එසේ නැතහොත් තෝරාගැණීමේදී ඔවුන් අවම මට්ටමේ ඇති ඉල්ලුම පත් ඉවත දමනවා.

ඒ පළමු කඩඉම…….

දෙවැන්න තමයි විදේශික සිසුන් සියළු දෙනාම ඉංග්‍රීසි සුදුසුකම් සපුරාලන TOEFL විභාගය සමත් වී සිටිය යුතුය. මෙහිදී ඔබ තරඟ කරන්නේ චීන සහ ඉන්දියානු සිසුන් සමඟ බව මතක තබාගෙන විභාගයට සූදානම් වෙන්න. ඔවුහු මෙම විභාග දෙක ඉතාමත් හොඳින් කරන කොට්ඨාස දෙකක්. ඔබ ලංකාවේ උපාධියෙන් පසු වහාම ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීමට සූදානම් වන්නේ නම් අවසාන වසරේ විභාගය නිම වූ වහාම TOEFL කිරීමට සූදානම් වීම ගුණදායකයි.

තෙවැන්න GRE (Graduate Recognition Examination) මෙය ආචාර්ය උපාධි අපේක්‍ෂක අයදුම්කරුවන් සියල්ලට අනිවාර්ය විභාගයක්. විවිධ විෂය ක්‍ෂෙත්‍ර අනුව මෙය GRE, GMAT, ආදී වශයෙන් වෙනස් වන අතර, බොහොමයක් දෙපාර්තමේන්තුවල වෙබ් පිටුවල අවශ්‍ය විභාග මොනවාදැයි සඳහන් කර තිබෙනවා. සමහර විශ්ව විද්‍යාල GRE General සහ GRE subject විභාග දෙකම සුදුසුකම් ලෙස ඉල්ලා සිටිනවා. GRE විභාගයේ වඩාත්ම වැදගත් කොටස් දෙක වනුයේ  Verbal සහ Maths කොටස් දෙකයි. ඒ දෙක සඳහා අවම වශයෙන් ලකුණු 1100ක් සහ Verbal සඳහා අවම වශයෙන් 400 ක් වත් තිබිය යුතුයි.

GRE සහ TOEFL විභාගවලට ඔබ ලියන අවස්ථාවේ ඔබේ ලකුණු විශ්ව විද්‍යාල 4 කට නොමිලේ යැවීමට අවස්ථාව තිබෙනවා. ඒ අවස්ථාව පැහැර හරින්න එපා. ඒ සඳහා කළ යුත්තේ ඔබ  GRE සහ TOEFL වලට ලියන අවස්ථාව වන විට ඔබ ඇතුලත් වීමට සිතා සිටින විශ්ව විද්‍යාල 4 කට අයදුම්පත් යවා තිබීමයි. බොහෝ විශ්ව විද්‍යාලවල අයදුම්පත් කැඳවීම අගෝස්තු මාසයේ ඇරඹෙනවා. ඒ බොහොමයක අවසාන ලයිස්තු දෙසැම්බර්/ජනවාරි වනවිට නිම කර අවසන්. ඒ නිසා ඉල්ලුම් කිරීමට හොඳම කාළය අගෝස්තු මාසයයි. ඒ මක් නිසාද යත් ඉල්ලුම්පත්‍රවල යම් අඩුපාඩුවක් ඇතොත් ජනවාරි වන විට ඒ සියල්ල සම්පූර්ණ කරගැණීමට කාළය ඇති නිසායි.

මේ ඉල්ලුම්පත්‍රවල ප්‍රධාන අංගයක් වන්නේ ඔබේ ගුරුවරුන්ගෙන් ලබාගන්නා ඔබ පිළිබඳ ලියැවුන ලිපි (Reference Letters) මේ ලිපි ඔබේ අයදුම්පතේ ඉතාම වැදගත් අංගයක්. කෙතරම් හොඳ අයදුම්පතක් වුනත් හොඳ reference letter එකක් නැත්නම් අනුමත නොවන්න පුළුවන්. ඒ නිසා තමන්ට හිතවත් හොඳ නමක් ඇති මහාචාර්ය වරුන්ගේ හිත දිනාගෙන ඉන්න එකත් මේ කටයුත්තේ තවත් වැදගත් අංගයක්. කොහොම වුනත්, ඔබ හොඳින් ඉගෙන ගතහොත් ඔවුන් ඔබට හිමි ‍ගෞරවය ඉබේ ම ලබා දෙනවා.

තවත් වැදගත් අංගයක් නම් ඔබ විසින් ලියනු ලබන ඔබේ අනාගත අරමුණු ඇතුලත් “Statement of Purpose”.  මෙය ඉතා පරිස්සමෙන් නිවැරදිව ලිවිය යුත්තක්. මේ සඳහා හොඳින් ඉංග්‍රිසි ව්‍යාකරණ දන්නා මෙම ලිපි පිළිබඳ පළපුරුද්දක් ඇති කෙනෙකුගේ උදවු ලබාගන්න.

මේ සියල්ල සම්පූර්ණ කරගෙන ඔබ විශ්ව විද්‍යාලයකට අයදුම් කළ පසු සමහර විශ්ව විද්‍යාල වලින් ඔබට පර්යේෂණ කටයුතු වලට උපදේශක මහාචාර්ය වරයෙකු සම්බන්ධ කරගන්න ලෙස හෝ සම්බන්ධ කර දෙනු ලබාවි. ඔහු/ඇය සමඟ ඔබ හොඳ සන්නිවේදනයක් තබි ගැණීම ඉතා වැදගත්. එමෙන්ම එය සම්පූර්ණයෙන්ම වැදගත් වෘත්තීය (Professional level) මට්ටමේ සංවාදයන් වීමෙන් ඔබ පිළිබඳ ඔවුන් තුළ හොඳ ආකල්පයක් ඇතිකිරීමට හැකියි.

ඔබ විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගතහොත් හෝ නැතහොත් ඔවුන් ඒබව දන්වා එවාවි. එවිට ඔබට I-20 නම් ලිපිය සමඟ බොහෝ ලේඛණ එවාවි. ඒවා හොඳින් කියවා නිසි පරිදි ක්‍රියාකර/අත්සන් කර නියමිත අයුරින් නැවත යවන්න. විශ්ව විද්‍යාල දෙක තුනකින් ඔබට බඳවා ගැනීම් ලිපි ලැබුනහොත් වඩා හොඳ විශ්ව විද්‍යාලය තෝරාගෙන අනෙත් ඒවාටත් ඔබගේ තීරණය  දන්වා යවන්න. එය ඔබේ විශ්වාසවන්ත බව විදහා පාන ලක්‍ෂණයක්.

ඉන් පසු ඔබ හමුවේ ඇත්තේ Visa ලබා ගැණීමේ අභියෝගයයි. එය අදාල මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් විස්තර ලබාගෙන සිදුකරගත හැකියි.

මේ දැක්වූවේ ඔබට ආචාර්ය උපාධියක් ලබා ගැණීම සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන අයුරුයි. විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ පසු ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම ඔබ සතු යුතුකමක්.

ඔබට මූලික උපාධියෙන් පසු කෙළින්ම ආචාර්ය උපාධියකට යාමට තරම් සුදුසුකම් නැත්නම්, මුලින් කුඩා විශ්ව විද්‍යාලයකින් ශාස්ත්‍රපති උපාධිය (MS)  හදාරා, පසුව ආචාර්ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ද ඇත. ඒ සඳහා ඔබට අවුරුදු 2- 3 ක් අතර කාළයක් වැය කිරීමට සිදුවන නමුත් ඔබ ඉන් ලබන අත්දැකීම් සම්භාරය ආචාර්ය උපාධියේදී ඉතා වැදගත් වනු ඇත.

ඔබට වැඩි විස්තර විශ්ව විද්‍යාලවල වෙබ් අඩවි වලින් සහ කොළඹ  Fullbright Commission ආයතනයෙන් සහ American Center එකෙන් ලබාගත හැකියි….

ප්‍රශ්න තිබේනම් අපි මෙතැනම කතාකරමු……

ඩෙංගු වලට සහ පිළිකාවලට පැපොල් කොළ යුෂ ප්‍රතිකාරයක්ද ? ‍| Juice of Papaya Leaves as a Cure for Dengue and Cancer ?

ඩෙංගු උණ රෝගය පැතිරීම මේ වාරයේ තරමක් අඩු වී ඇති බවත්, පොදු ජනතාව පෙරට වඩා වැඩියෙන් දැනුවත් වී, සහ තමන් ගැන පෙරට වඩා සැලකිළිමත් වෙමින් කටයුතු කර ඩෙංගු රෝගය පැතිරීම තරමකට පාලනය කර ඇති බව සැළවේ.

ඩෙංගු වලට ප්‍රතිකාරයක් නැද්ද ?

ඩෙංගු වලට විශේෂ ප්‍රතිකාරයක් නැහැ. ඒ වෛරස් රෝගයක් නිසා. නමුත් රෝගය මුලින්ම හරිහැටි හඳුනා ගැනීමෙන් පසුව කරනු ලබන සාත්තුව සහ නිසි විවේකය, උණ පාලනය යන දේ ප්‍රතිකාර ලෙස දැක්විය හැකියි. අසාධ්‍ය තත්ත්‍වයේ ‍රෝගීනට රුධිරය පාලවිනය (Blood transfusion)  සිදුකරනවා. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු රෝගීනට ඔක්සිජන් ප්‍රතිකාරය ලබා දෙනවා. ඩෙංගු – රක්තපාත උණ බවට පත් වී කම්පනයට පත් වන රෝගීන්ගෙන් 50 % ක් පමණ දෙනා යළි ගොඩ ඒමට තරම් වාසනාවන්ත වන‍්නේ නැහැ. ඉතින් රෝගය සෑදීම වැලැක්වීම තරම් සාර්ථක ප්‍රතිකාරයක් ඩෙංගු සඳහා තවත් නැහැ.

නමුත්, මෑතකදී මට ලැබුණ විද්‍යුත් ලිපියකින් ඩෙංගු සඳහා ගොඩ බෙහෙතක් හඳුන්වා දී තිබුණා. ඒ අන් කවරක් වත් නොවෙයි, අප හොඳින් දන්නා පැපොල් ගසේ කොළවල යුෂ රෝගියාට පානය කිරීමට දීමයි. මෙය මට තරමක් පුදුමයට කරුණක් වූ බැවින් මම ඒ ගැන තරමක් සොයා බැලුවා. මේ ඒ පිළිබඳ මගේ විමර්ශනයේ ප්‍රතිඵල. එය පිළිගැණීම හෝ ඉවත ලෑම ඔබ සතු අයිතියක්…

පැපොල් (Carica papaya) යනු ආසියාවේ ඕසට්‍රේලියවේ සහ ලතින් අමෙරිකානු රටවල වැවෙන ශාකයක්. මෙය ඉතා හොඳ පළතුරක් ලෙස කවුරුත් දන්නවා. එමෙන්ම අපේ ගෘහණියන් මස් මෙලෙක්වීම සඳහා අමු පැපොල් කැබැලි හොද්දට දමන්නේ පාරම්පරික දැනීමෙන් මිසක් එහි පැපේන් නම් එන්සයිමය ඇති බව දැනගෙන නොවෙයි.

අප කවුරුත් දන්නා පැපොල්

නමුත් නවතම පර්යේෂණ අනුව පැපොල් යුෂ වලට පිළිකා සුවකිරීමේ හැකියාවක් ඇතිබව සොයාගෙන තිබෙනවා. එය පර්යේෂණාත්මකව සොයාගැණීමට බොහෝ කලකට පෙර බොහෝ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමවල අංගයක් ලෙස යොදාගෙන තිබෙනවා. ඇබොරිජීන්වරුන්ගේ බෙහෙත් වට්ටෝරුවක් අනුව පැපොල් කොළ තම්බා බීමෙන් පිළිකාවක් සුව කරගත්  ස්ටැන් ෂෙල්ඩන් නම් 70 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පිළිබඳ එහි පුවත්පතක වාර්තාවක් පවා පළවී තිබුණා. අමෙරිකානු පර්යේෂක කණ්ඩායමක් පැපොල් ශාකයෙන් පිළිකා නාශක රසායන සංයෝගයක් වෙන්කරගත් බව මෑතදී වාර්තාවක් පළ වී තිබුණා. මෙම රසායනික සංයෝගය දැනට පිළිකා නාශකයක් ලෙස භාවිතා කරන “ඇඩ්‍රියමයිසින්” වලට වඩා මිලියන වතාවක් ප්‍රබල බව සැලකෙනවා.

මෙම පර්යේෂණවල ප්‍රතිඵල අමෙරිකානු ‍ආහාර සහ ‍ඖෂධ අධිකාරිය මගින් පර්යේෂණාත්මකව සනාථ කළ යුතුව තිබෙනවා. එහෙත් මෙම පර්යේෂණයෙහි යම් සත්‍යතාවක් ඇතිබව එය අත්හදා බැලූ බොහෝ පිළිකා රෝගීහු පවසා තිබෙනවා.

ඉතින් ඔබට ප්‍රශ්නයක් පැන නඟින්න පුළුවන් ඖෂධ සමාගම් මේ සංයෝගය වෙන් කරගෙන පිළිකානාශක ඖෂධ තනන්නේ නැත්තේ ඇයි කියලා. ඒ අයගෙන් මම අහන්න කැමතියි ඔබට කියන්න පුළුවන්ද කියලා මේ ඖෂධ සමාගම් විසින් යම් රෝගයක් නිට්ටාවට සුවකරන්න පුළුවන් එක බෙහෙතක් වෙළඳපලට හඳුන්වාදී තිබෙනවාද කියා.

රසායනඥයෙකු හැටියට මගේ මතය මෙහෙමයි,….

පැපොල් ශාකය ආදිකාලයේ සිට පැවත එන්නක්. දන්නා හැටියට පැපොල් කා මියගිය කෙනෙකු පිළිබඳ ඉතිහාසයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. දියේ ගිලෙන්න යන එකාට පිදුරු ගහක් දුන්නොත් ඒකෙත් එල්ලෙනවා. ඉතින් මැරෙන්න යන පිළිකා රෝගියෙකුට හෝ ඩෙංගු රෝගියෙකුට පැපොල් යුෂ දීලා ගොඩගන්න පුළුවන් නම් ඒක කළාට කමක් නැහැ. මොකද ඒ යුෂ සෑදීමේදි කිසිම අමතර ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැහැ. තනිකරම පැපොල් පත්‍ර තම්බලා ඉන් ලැබෙන ද්‍රාවණය බිවුවා කියලා මැරෙන්නේ නැහැ. එය ස්‍වභාවික දෙයක් නිසා.

මේ පැපොල් ප්‍රතිකාරය බොහොම අප්‍රිය බීමක් කියලා එය පාවිච්චි කරපු අය සඳහන් කරනවා. ලංකාවේ ආයුර්වේද කසාය බීපු අපට තවත් මොනවා අප්‍රිය වෙන්නද ?

ඉතින් පිළිකා වැනි භයානක රෝගයන්ට පවා විකල්ප ප්‍රතිකාරයක් වූ මෙය ඩෙංගු රෝගය වෙනුවෙන් අත්හදා බලපු හෝ බලන කෙනෙක් ඉන්නවා නම් කරුණාකර ප්‍රතිචාර දක්වන්න.

ඔබේ දැනගැනීම පිණිස පැපොල් යුෂ පිළියෙල කර ගන්නා අයුරු පහත සඳහන් කරනවා.

  • පැපොල් කොළ සහ නටු හොඳින් සෝදා පිරිසිදුකර ගන්න.

  • ඉතා කුඩා කැබලිවලට කපා ගන්න

  • සාස්පානක් පිරෙන්න කපාගත් පැපොල් කොළ සහ නටු දමා ජලය දමන්න ලීටර 2 – 3.

  • හොඳින් තම්බන්න (boil).

  • ඉන් පසු පැය දෙකක් මඳ උණුසුමේ (simmer) තම්බන්න.

  • දියරය පෙරාගෙන බෝතලයකට දමාගන්න (ලීටර 2ක් පමණ)

වරකට මි.ලී. 250 ක් බැගින් දවසට තුන්වරක් පානය කරන්න. බෝතලය හොඳින් සොලවා පාවිච්චියට ගන්න. ඉතිරිය ශීතකරණයක දමා පාවිච්චියට ගන්න. එක බෝතලයක් නරක් නොවී දින 5 ක් පමණ තබාගත හැක. නැවුම් කොළ භාවිතය වඩා යෝග්‍යයි. මෙම දියරය අප්‍රිය රසකින් සහ අමුතු සුවඳ/ගඳකින් යුක්තයි.

අත්දුටුවයි සත්තයි – හරිගියාම ගාස්තුව ගෙවන්න.

PS: If anyone needs the English translation of this article, please request.

ලංකාවේ 272,640 දෙනෙකුගෙන් 129,640 දෙනෙකුට වැරදුන තැන කුමක්ද ?

නෑ නෑ මේ කියන්නේ මනාප නැතුව ගෙදර ඉන්න වුන දේශපාලනඥයන් ප්‍රමාණය ගැන නොවෙයි.

පසුගිය දිනෙක අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණා. විභාගයට පෙනීසිටි සිසුන් 272,640 දෙනෙකුගෙන් 129,640 දෙනෙකු, එනම් 47 % ක් උසස් පෙළ සඳහා සුදුසුකම්  ලබා නැහැ. එය 2009 ප්‍රතිඵල වලට වඩා 3 % ක ඉහල යාමක්. එසේත් නැත්නම් සමත් ප්‍රතිශතය 2009 (56 %) සිට 2010 (53 %) දක්වා පහල වැටීමක්.

සියල්ල ඇතත්……..

ඉංග්‍රිසි විෂයය සමත් වූ ප්‍රතිශතය 28 % ක්. ගණිතය සමත් වූ ප්‍රතිශතය 51 % ක්. විද්‍යාව සමත් වූ ප්‍රතිශතය 45 % ක්. ඒ අතරම 2039 ක් සියළුම විෂයයන් වලට  A  සාමාර්ථ ද ලබා තිබේ. යම් විභාගයක සමත් ප්‍රතිශතය 50 % ක් යනු ඒ විභාගයේ කිසියම් හෝ තැනක වැරැද්දක් ඇති බවයි. ඒ වැරැද්ද විභාග දෙපාර්තමේන්තුවේද, විභාග අපේක්‍ෂක‍යන්ගේද, ගුරුවරුන්ගේද, එසේත් නැත්නම් මේ සියල්ලන්ටම සමව බෙදී යන වගකීමක් ද ? විභාහ කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා “පාසල්වල පන්ති මූලික කරගත් අධ්‍යාපන ක්‍රමය විවිධාංගීකරණය වූ සහ රටේ අවශ්‍යතාවලට ගැලපෙන ක්‍රමයක් නොවන බව” පවසා ඇති අතර ” රැකියා අරමුණු කරගත් විෂයයන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති වලට සහ විෂයමාලාවනට ඇතුලත් කරගතයුතු බව ” පවසා ඇත.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ඵලදායී සහ සංවර්ධිත අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම අවශ්‍ය බව පැවසේ. ඒ කෙසේ වෙතත් අපේ රටේ පසුගිය අවුරුද්දේ සිදුවූ සිදුවීම් කිහිපයක් අනුව අප රටේ අධ්‍යාපනඥයින් බොහොමයක් අවශ්‍ය සුදුසුකම් පවා සපුරා නොමැති දේශපාලන පත්වීම් මගින් පත් වූ හෙංචයියන් පිරිසක් බව ඔප්පු වී තිබේ. අපට ඵලදායී අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ මේ හෙංචයියන් ඉවත් කර සුදුසුකම් සපුරා ලූ දක්‍ෂ, නිර්මාණශීලී නිලධාරීන් සමූහයක් අවශ්‍ය තැන්වලට පත් කිරීමයි. එසේ නැතහොත් ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය අපේ රටේ ස්ථාපිත කළද එහි ඵලායීත්‍වයක් දැකිය නොහැකි වෙයි. නව අධ්‍යාපන ඇමතිතුමාට තම හැකියාව පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් කරගත හැකි අතර ඔහු (මා දේශපාලනඥන්ට විශේෂ ආමන්ත්‍රණ කිරීමට අකමැතිය) මෙම හෙංචයියන් දූරීභූත කර වැඩ කළ හැකි, වැඩ කර පුරුද්දක් හා වැඩක් කර පෙන්වූ නිලධාරීන් සමූහයක් පත් කර ගැනීම නොකළ හොත් තව දුරටත් අධ්‍යාපනය වල පල්ලට යනවා විනා ගොඩ ඒමක් නම් නැති.

ප්‍රමිතිකරණය

මගේ පියා, මාමාවරු, නැන්දනියන්, බොහෝතරුණ ඥාතීන් ගුරුවෘත්තියේ නියැළුණු හෝ තවමත් නියැලෙන අය වෙති. ඔවුහු උගැන්වූ ආකාරය ඉගැන්වීමට සූදානම් වූ අයුරු මම සියැසින් දුටුවෙමි. මගේ පියා සෑම රාත්‍රියකම, පසු දිනට අදාල පාඩම් ගුරු සටහන් පොතේ ලියනු සහ ඒ පාඩම් අවම වශයෙන් උඩින් පල්ලෙන් හෝ කියවන්නට වගබලාගත් අයුරුසහ නිතර පුවත්පත් සඟරා පරිශීලනය කර අවශ්‍ය තොරතුරු එක්රැස් කරගත් අයුරු මට තවමත් මතකය. එසේම, මගේ පුංචි අම්මා (ඇය දැන් කොළඔ ප්‍රසිද්ධ පාසලක උප විදුහල්පති තුමියයි) බොහෝකළක් එසේ කළද ඇය පරිපාලන පැත්තට බර වීමෙන් පසු එසේ දිනසටහන් ලියූ බවක් මතක නැත.  මගේ පියාගේ සිසුන් අවම වශයෙන් ඔහු ඉගැන්වූ විශයයෙන් හෝ ඉතා සාර්ථක සමත් ප්‍රතිශතයක් පවත්වාගෙන ගිය බවත් මට මතකය.

මේ ගුරුකමේ අන්ත දෙකකි.  මා උගත් පාසලේ ගුරුවරු පවා අමතර විෂය කරුණු පිළිබඳ හරිහැටි පරිශීලනය කර උගැන්වූ අයුරක් මට මතක නැත. වෙනස මෙයයි. ලෝකය අළුත් වෙයි. ඒ අයුරින්ම දැනුමද සීඝ්‍රයෙන් අළුත් වෙයි. ගුරුවරයා දැනුමෙන් සන්නද්ධ නොවුනහොත් ඔහු/ඇයගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයාද අළුතින් යමක් හිතන්නට නොනැමෙයි. ඉදින් අපේ අධ්‍යාපනයට යන කල කිම ?

ගුරුකම සේවයකි. ගුරුසේවය යැයි පවසන්නේ එබැවිනි. එසේනම් ශිෂ්‍යයා යනු ගුරුවරයාගේ සේවය ලබන්නායි (customer). පෞද්ගලික අංශයේ සේවා ස්ථානවල මූලික ආකල්පය තම සේවාදායකයාට සතුටුදායක ලෙස සේවාවක් ලබා දීමයි (customer satisfaction). ඔබම සිතා බලන්න, සතුටුදායක සේවයක් නොලැබෙන යම් සේවා ස්ථානයකට ඔබ නැවත වතාවක් ගොඩවීමට කැමත්තක් දක්වනවාද කියා ? පාසල් සිසුන්ට එම අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා, ගුරුවරයා හොඳ වුවත් නරක වුවත් ඔවුනට තම අදහස් ප්‍රකාෂකිරීමේ අවස්ථාව ගුරුවරයාගේ අසමසම ආධිපත්‍යය හමුවේ යටපත් වී තිබෙනවා. මෙය ඇත්තටම ඉතාම අවාසනාවන්ත තත්ත්‍වයක්. ගුරුවරයා යනු ‍වසරකට වැඩිපුරම නිවාඩු ඇති රාජ්‍ය සේවකයායි. එසේ නම් ඔවුනට එම නිවාඩු වලට සරිලන ඉලක්ක සැපයිය යුතුය. ඔවුන්ගේ නිවාඩු වලට සරිලන වැඩක් ඔවුන් වැඩ කරන කාලය තුළ දී ලබාගත යුතුය. ඵලදායීතාවය යනු එයයි.

ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල සෑම වාරයක් අවසානයේම ආචාර්යවරුන් සහ ගුරු සහායක සිසුන්ව ඔවුන් ඉගැන්වූ පන්ති/විෂයය ඉගෙනගත් සිසුන් විසින් ඇගැයීමකට ලක් කරනු ලබනවා. ඒ අනුව ඊලඟ වාරයට ලැබෙන පන්ති හෝ ඔවුන්ගේ උසස්වීම් තීරණය කරනු ලබනවා. මෙවන්  ක්‍රමයක් ගුරුසේවයට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයටම හඳුන්වාදිය හැකි නම් එය සේවා ලබන්නාගේ යහපතට වෙන්ම ඇල්මැරුණු රාජ්‍ය සේවයටද යහපතක් වනු නොඅනුමානයි. තවද ගුරුවරුන්ගේ දැනුම මනින කඩඉම් විභාග පැවැත්වීමෙන් සහ ඉන් උසස් අයුරින් සමත් වන්නන්ට දිරිදීමනා වැනි “ඇමක්” දීමෙන් ඔවුන් අවම වශයෙන් එදිනෙදා තොරතුරු සහ නවීන විෂය කරුණු පිළිබඳ මනා දැනීමක් වත් අවම වශයෙන් ඇතිකර ගැනීමට සමත් වනු ඇත. එමෙන්ම ගුරුවරුන්ගේ සාර්ථකත්‍වය විවිධ අංශ ඔස්සේ ඇගයීමකට ලක්කර, ඔවුන් සමත්කම් දක්වන සහ ලැදියාවක් දක්වන අංශ කෙරෙහි ඔවුන් යොමු කිරීමෙන් ගුරුසේවය හුදෙක් රැකියාවක් පමණක් නොව, උතුම් සේවයක් බවද ඔවුනට දැනෙන්නට සැලැස්වීමෙන් ඉහළ ඵලදායීතාවයක් ලබාගත හැක.

තවද, ගුරු සේවය ප්‍රමිතිගත කරණයට භාජනය කළ යුතුමය. පසුගිය වකවානු වල දේශපාලනඥයින්ගේ ලිපි වලට ගුරු පත්වීම් ලබාදුන් අවස්ථා කිහිපයක් මම සියැසින් දුටිමි. අවාසනාවකට ඒ කිහිප දෙනාම එකළ ගුරු වෘත්තියට සුදුසු දැනුමක් ඇති අය යැයි මට අවංකව පැවසිය හැකි තත්ත්‍වයක දැනුමක් ඇතිවුන් වූවෝ නොවූහ. මේ රටේ කිසිවෙකු තම රාජකාරියට වගකීමක් දරනනෝ නොවෙති. සිසුනගේ අසමත් වීම ගුරුවරුන්ගේ වගකීම පැහැර හැරීමක් ලෙස සැලකිය හැක. එහෙත් ගුරුවරයා සිසුන් පිට වරද පටවා අතසෝදා ගනී. මෙය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය. සිසුන්ගේ සමත්/අසමත් ප්‍රතිශතය ගුරුවරයාගේ සාර්ථකත්‍වයේ මිනුම් දණ්ඩක් වන අයුරින් චක්‍රලේඛ සකස් විය යුතුය.

ඒ….. ගුරුවරයා ප්‍රතිසංවිධානය කළ හැකි ක්‍රම කිහිපයක්. එමෙන්ම ශිෂ්‍යයාගේ ක්‍රියාකාරීත්‍වයද මෙහිදී සැලකිල්ලට ගත යුතුම කරුණක්. මන්ද යත් ඔවුහු මේ රටේ අනාගතයයි. අනාගතය බුද්ධිමත් විය යුතුමය. එසේ නැතහොත් අනාගතයට සිදුවන්නේ අනාගත්ත තත්ත්‍වයට පත් වීමටයි. මෙහිදී සිසුන් විසින් කළයුතු කාර්ය භාරය ගුරුවරුන්ගේ වගකීමට වඩා අතිමහත් වේ. මක් නිසාද යත් ඔවුන් ඔට්ටු අල්ලන්නේ තම තමන්ගේ අනාගතය සමඟ වීම නිසායි. පාසල් වැඩකටයුතු නිසි ලෙස ඉටු නොකිරීම, නිසි අවධානය යොමු නොකිරීම, අමතර කරුණු එක්රැස් නොකර ගුරුවරයා දෙන කරුණු පමණක් පාඩම් කිරීම ඉන් සමහරක්. එමෙන්ම සමාජයීය කරුණු, දරිද්‍රතාවය, දෙමාපියන්ගේ නොදැනුවත්කම ද මෙයට බලපායි.

තවද නූතන සිසුන් ශ්‍රවණ මූලික ඉගෙනීමට වඩා දෘශ්‍ය මූලික ඉගෙනීමට නැඹුරු වී ඇති සෙයක් පෙනේ. එයට ප්‍රධාන හේතුව ලෙස රූපවාහිනී මාධ්‍යයේ ප්‍රචලිත වීම දැක්විය හැක. දැනට ලංකාවේ ඇති රූපවාහිනී නාලිකා ගණන තව තවත් වැඩිවීම වැලැක්විය නොහැකි සේම ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමද වැලැක්විය නොහැක. 1984-86 වකවානුවේ රූපවාහිනී අධ්‍යාපන සේවය මගින් ප්‍රචාරණය කරන ලද දුරස්ථ අධ්‍යාපන සේවය, සිසුනට පාසල් නිවාඩුකාල වල නිවෙස්වල සිට තැපෑලෙන් ‍ගෙන්වාගත හැකි අභ්‍යාස පොත් මාර්ගයෙන් ඉගැන්වීම් කළා මට මතකය. ඒ සඳහා මා යොමු කළ මගේ මෑණියෝ ඇය එදා දුරදිග බලා කළ යහපත් ක්‍රියාවල ඵලයන් භුක්ති විඳින්නීය.

දෙමව්පියන්ගේ කාර්යභාරය දරුවන්ට ආදර්ශයක් දෙමින් ඔවුන් යහමඟ යැවීමයි. ඔව්හු රාජකාරිය නිමකර නිවසට පැමිණි පසු රූපවාහිනිය ඉදිරිපසට වී බලා සිටිනවා වෙනුවට, දරුවන්ගේ පාසල් වැඩකටයුතු පිළිබඳ සාකච්ජා කිරීමක් හෝ සොයා බැලීමක් කෙරෙනවා නම් ඔවුන්ද තරමක් හෝ උනන්දුවෙන් ක්‍රියාකර තම අධ්‍යාපන කටයුතු කෙරෙහි නැඹුරුවක් දක්වනු ඇත. තවද රූපවාහිනියේ බලපෑම නිසාදෝ වැඩිහිටි පරපුර (සහ බාල පරපුර)  පොත් / පුවත්පත් කියවීමෙන් ඈත්වී ඇති සෙයක් පෙනේ. කුඩා දරුවෝ ආදර්ශයට ගනු ලබන්නේ වැඩිහිටියන්ය. මෙසේ වැඩිහිටි පරපුර කියවීමෙන් ඈත්වෙද්දී බාල පරපුර අයාලේ යාම වැලැක්විය නොහැක.

විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපනඥයින්ට මෙහිලා ඉතා විශාල වගකීමක් පැවරී ඇත. වසර ගණනාවක් මෙසේ විභාග සමත් වන ප්‍රතිශතය 50 % ක මට්ටමක පැවතියද, එය සැලකිල්ලකට ගෙන ඇති බවක් නොපෙනේ. අවම වශයෙන් ඒ පිළිබඳ විද්වත් සංවාදයක්  අරඹා එයට විසඳුම් සෙවීමට පිළිවෙලක් යොදා ඇති බවක් අපට දැනගන්නට ලැබී නැත.

සිසුන්ට නොමිලේ පොත් ඇඳුම් සඳහා රෙදි රජය විසින් ලබා දෙනු ගබන බව ඇත්තය. එය පිණකි. එමඟින් කෙතරම් සිසුන් ප්‍රමාණයක් පාසැල් පැමිණීම සඳහා දිරිමත් වනවාද කියා ගණන් බැලිය නොහැක. ඒ නිසාම සහ රජයේ අප්‍රමාණ කැපවීම නිසාම අප රටේ සාක්‍ෂරතාවය අන් දකුණු ආසියානු රටවලට වඩා ඉහළ තත්ත්‍වයක පවතී. එසේ වීමුත් 50% ක් විභාග අසමත්වීමේ ඛෙදවාචකයට වහා පිළියම් යෙදිය යුතුය. මක් නිසාද යත් මෙසේ අසරණ වන තරුණ පරපුර තවත් “විප්ලවයක්” සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් නම්මවා ගැණීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත. ඔවුහු අවස්ථාවාදීය, ඔවුනට ජීවිතවල වටිනාකමක් නොමැත. ඔවුනට අවශ්‍ය දේශපාලනික පැවැත්ම පමණි. දේශපාලනඥයනට මුග්ධ ඡන්ද දායකයන් තරම් සම්පතක් තවත් නොමැත. ඔවුන් අවශ්‍ය පරිදි හැසිරවිය නිසාය.

රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බව සත්‍යයකි. නමුත් අ.පො.ස. සාමාන්‍ය පෙළ යනු සිසුන්ගේ මූලික දැනුම උරගාබලන විභාගයයි. එය රැකියා ඉලක්ක කර පැවැත්වීම යනු අපරටේ රැකියා වෙළඳපලට ඉතා නුපුහුණු ශ්‍රමිකයන් පිරිසක් එක් කිරීමයි. එසේ නැතිව සාමාන්‍ය පෙළ විශය මාලාව නව දැනුම සමඟ සංකලනය කර නවතම විෂය කරුණු ඇතුලත් කර, ගුරුවරුන් නිසි ලෙස මෙහෙයවා වැඩදායක සිසු පිරිසක් අ.පො.ස. උසස් පෙළ සඳහා යොමු කර, ඉන් අනතුරුව ඔවුන් විශේෂ විෂයමාලා අනුව වෙන් කිරීමෙන් වැඩදායක තරුණ පරපුරක් අනාගතයට දායාද කළ හැක..

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුව සඳහා අධ්‍යාපනඥයන් පමණක් නොව රටේ සියළුම ස්ථර වල සංයෝජනයක් යොදා ගැණිමෙන් සාමාන්‍ය ජනතාවගේ අදහස් ද සළකා බැලීමේ අවස්ථාවද උදා වේ. මන්ද යත් සමහර අධ්‍යාපනඥයන්ට වඩා ගමේ ගුරුතුමාට ළමුන්ගේ ප්‍රශ්ණ සහ අපහසුකම් හොඳින් තේරුම්ගත හැකි බැවිනි.

යුද්ධය අවසන්ය මැතිවරණ සියල්ලම පාහේ අවසන්ය. රජයට 2/3 ට ආසන්න බලයක් ලැබී ඇත. ප්‍රවීණ පෞද්ගලික පන්ති ගුරුවරයෙකු අධ්‍යාපන ඇමති ලෙස පත් වී ඇත. තවත් කුමට බලා ඉන්නද ? අධ්‍යාපනය ගොඩ දමනවා මිස..

ඔබේ අදහස් මට වටී. මා විවේචනය කරන්න. තව තවත් ලියන්න එය රුකුලක් වේවි……

Question for Chemists, or Students,…

Here is a question for the chemists……..

Decolourization of KMnO4 solution by Fe(II) is used to confirm the presence of Fe(II) cations but Fe(III) does not give a positive reaction. However, a mixture of Fe(III) and Cu(II) decolourizes KMnO4 solution, producing results that correlates the presence of Fe(II). Hence, produces a false result. Any idea? Please join the discussion.

Question was sent by one of my fans Kamani Ekanayake, a Chemistry teacher from Australia.

English වලින් සිංහලට මාරු වෙන්න Keyboard Shortcut එකක්…

අපි blog  එකක් type  කරනකොට සමහරවිට English වචන add  කරන්න සිදු වෙනවා. ඒ වෙලාවට හැම වෙලේම startbar  එකට ගිහින් SI  එකෙන් EN  වලට  click  කරන කොට වෙලාව නාස්ති වෙනවා වැඩියි. ඒ අපහසුතාව මඟහරවා ගන්න මට  keyboard short cut  එකක් හම්බ වුනා.

ඒ තමයි වම් පැත්තේ (alt+ shift) keys දෙක එකවර press කිරීමෙන් අවශ්‍ය විටෙක සිංහලෙන්  English  වලටත්  English  වලින් සිංහලටත් “ටක්” ගාලා මාරුවෙන්න පුළුවන්…. දකුණු පැත්තේ එය සිදු වෙන්නේ නැහැ.

ඔබත් try කරලා බලන්න.. මගේ system එක vista,. අනෙත් ඒවට compatible  ද කියලා මම දන්නේ නම් නැහැ….

මම මේක ඉංග්‍රිසියෙනුයි සිංහලෙනුයි දෙකෙන්ම ලිව්වේ එය කෙතරමි පහසුද කියලා ඔබට පෙන්වන්න…

අද අපි ජගත් මිහිකත දිනය සමරමු…. අනෙක් දිනවල කුමක් කරමුද…?

අද ජගත් මිහිකත දිනය යැයි සියළුම රූපවාහිනී නාලිකා වලින්, පුවත්පත් වලින්, අන්තර්ජාලයෙන්, සහ මුහුණු පොතේ (Facebook) සාමාජිකයන්ගේ කියමන් වලින් ප්‍රවාරය කෙරුනා.මෙම දින පිළිබඳ මගේ ඇත්තේ මහත් අප්‍රසාදයක්. ඒ මන්ද යත්, මේ දින වලින් පිළිබිඹු වන්නේ මිනිස් සමාජයේ ඇති හැඟීම් බංකොලොත්භාවයයි (Moral Bankruptcy).

අපි අපේ ලෝකය සුරකිමු................
අපි අපේ ලෝකය සුරකිමු................

අවුරුද්දේ දවස් 365ටත් වඩා වැඩි දින ගණනක් අපට ඇත. මවුවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, පෙම්වතුනගේ දිනය, මෝඩයන්ගේ දිනය, ඉන් මතක හිටින දින කීපයක්. තව දින කිහිපයකින් (25 දා) ලෝකය Search and Rescue Dogs Day සැමරීමට සූදානම් වේ. මෙම දින පැවැත්වීවෙන් ඒ පිළිබඳ මතක් කිරීමක් සිදු වන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැක. ඇත්ත….. එහෙත් ඔබට ඔබේ මව, පියා මතක් වන්නේ වසරකට එක් දිනක් පමණක් නම්…… අප කෙතරම් බංකොලොත්භාවයට පත්ව ඇත්දැයි කියතහොත් ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය එකම දිනයක සැමරීමට අපට සිදු වී තිබේ.

මෙයින් වැඩි හරියක් සුබපැතුම් පත් වෙළඳුන්ගේ සහ වෙනත් වෙළඳ උපක්‍රම.

අපට මේ සුවිශේෂ දින අවශ්‍යද ? අපට අප මේ මිහිපිට ජීවත්වන සෑම දිනයක්ම අර්ථාන්විතව ගෙවීමෙන් මේ ලොවට යහපතක් කළ නොහැකිද ? අවුරුද්දක් පුරා ලෝකය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව පරිසරයට අයහපත් දේ එක් කර, පරිසරය විනාශ වන දේ සිදු කර, එක් දිනක් පමණක් පරිසරය පිළිබඳ මහලොකුවට කතා කිරීමෙන් ඇති පළය කුමක්ද කියා ඔබම සිතා බලන්න…. Facebook එකේ “Happy Earthday” යැයි ලියා, පරිසරය වෙනුවෙන් ඔබ අද කළ එක් යහපත් දෙයක් මෙනෙහි කරන්න ඔබට හැකිද ?

අපි සියළුම දෙනා (මා ද ඇතුළුව) යම් යම් දේ පැවසීමට දක්‍ෂයෝ වෙමු. නමුත් ඒවා ක්‍රියාවේ යෙදවීමට ඇති බාධක මැඬලීමට හෝ ධෛර්යයෙන් එම බාධක මැඬගෙන ඉදිරියට යාමට අපි මැලිවෙමු. ඒ මිනිස් ස්වභාවය. අද දවසේ (මෙන්ම අනෙක් දිනවලද) අපේ යුතුකම විය යුත්තේ මෙම කම්මැලිකම ඉවතලා අපෙන් රටට, ලෝකයට විය යුතු යමක් වේ නම් එය ඉටු කිරීම නොවේද ?

ඉදින් අප පටන් ගනිමු…….අපට ජීවත්වීමට ඇත්තේ මේ ලෝකය පමණයි…………

කොතනින්ද ? ඔබේ කාමරයෙන්, ඔබේ පොත් මේසයෙන්, ඔබේ සිතින්….

අපට 3R  සංකල්පයෙන් පරිසරයට අපෙන් එකතුවන අනවශ්‍ය දේ අවම කිරීමෙන් පරිසරය සුරැකීමේ පළමු පියවර ඇරඹිය හැකියි.

  • Reduce – භාවිතය අඩුකරන්න – ජලය, විදුලිය, ඉන්ධන….. අත්‍යවශ්‍ය දේ පමණක්, අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කරන්න. එයින් ඔබ අවට පරිසරය සුරැකෙන අතර ඔබේ මුදල් පසුම්බියට ද සහනයක් ලැබේවි.

  • Reuse – නැවත පාවිච්චි කරන්න – නැවත පාවිච්චිය ඔබට අමුතුවෙන් කියාදිය යුත්තක් නොවෙයි. එය අපේ සමාජයෙන්, ආශ්‍රයෙන් අපට ඉබේම ලද්දක්. ඔබ කළ යුත්තේ එය තවත් පියවරක් ඉදිරියට රැගෙන යාමයි.

  • Recycle – ප්‍රතිචක්‍රීකරණය කරන්න – අද බොහෝ රටවල මෙය ඉතා ඉහලව ක්‍රියාවේ යෙදවුනත් ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ සංකල්පය තවමත් පවතින්නේ ඉතා ප්‍රාථමික මට්ටමක. මෙයට ප්‍රධාන හේතුව වන්නේ රජයෙන් හෝ මාධ්‍ය වලින් මේ සඳහා අවශ්‍ය ප්‍රචාරය හෝ ප්‍රතිලබා නොදීමයි. පෞද්ගලික අංශයෙන් (Brandix වැනි සමාගම්) මෙම වැඩපිළිවෙල ඉතා සාර්ථකව සිදු කළත් ප්‍රචාරණය අවම තත්‍වයේ පැවතීම නිසා පොදු ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් නොලැබීම අවාසනාවකට කරුණක්.

මීට වසර 20 කට පමණ පෙර ගම්වල වැඩිහිටි කාන්තාවන් කොහේ ගියත් කිහිල්ලේ ගහගෙන ගිය පන් මල්ල ඔබට මතකද ? එය ස්වභාවිකව වැ‍ඩෙන පන් ගසෙන් කළ, නැවත නැවතත් පාවිච්චි කළ හැකි, ඉවත දැමූ පසු පොළවට දිරාපත් වන අපූරු නිර්මාණයක්. එය අපේ සමාජය විසින් පරිසරය සුරැකීමේ ආදර්ශය ලොවටම කියා පෑ අවස්ථාවක්. අපේ අතීතය පොළවට, සතා සීපාවට ආදරය කළ ආදරණීය ආදර්ශවත් සාමකාමී අතීතයක්…. නව තාක්‍ෂණය එක්ක අත්වැල් බැඳගෙන මේ ලෝකය සතුටින්, ඉදිරියට ගෙනයන්න ඔබටත් එක් වන්න පුළුවන්…..

ඔබ මෙලොව ජීවත් වන බිලියන 6 කට අධික මිනිස් ප්‍රජාවෙන් එක් අයෙක් පමණයි. නමුත් අද ඔබෙන් ඇරඹෙන මේ යහපත් ක්‍රියාව මහා මේඝයක් සේ (Butterfly effect) ලොව සුවපත් කිරීමට හේතුවක් වේවි. ඉතින් ඔබ තවත් මේ ගැන කතා කරන්න කැමති නම් අපි සාකච්ජා කරමු…. අපේ ලෝකය සුරැකිය හැක්කේ අපටමයි….. ඔබ අද පරිසරය සුරැකීම වෙනුවෙන් තබන එක් පියවරක් මතු දිනෙක ඔබේ දරුවන් වෙනුවෙන් කරන මහා ආයෝජනයක් වේවි…..

සිතන්න….. ක්‍රියාවට නගන්න….. ලෝකය සුරකින්න….


මෙම ලිපිය සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉලෙක්ට්‍රෝණ වලින් ලියන ලද්දකි………

මදුරුවන්ට අපි බය නෑ…….. ඒත්… අපේ ඩෙංගු අපිටම ගහනවා….

මදුරුවන්ට අපි බය නෑ.. බය නං අපි එන්නෙත් නෑ ” මතකද එහෙම කිය කියා අපි බිග් මැච් බලපු කාලේ ?

ඒත් මේ ලිපිය ලියන්නේ බිග් මැච් ගැන නම් නොවෙයි. මම මේ ළඟදි පුවත්පතක දැක්කා ලංකාවේ ඩෙංගු මරණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහල ගොස් ඇති බව. ඒක කාටත් සුභදායී ආරංචියක්. ඉතින් මේ තත්ත්ව‍ය මෙසේ පාලනය කරගෙන තව දුරටත් මරණ සංඛ්‍යාව අවම කර‍ගෙන  යා හැකිනම් අනාගතය ඉතාම සුබදායකයි.

නමුත් අපට සිද්ධවන ඉතාම අවාසනාවන්ත දේ තමයි සෑම දෙයක්ම ඉතා ඉක්මනින් අමතක වී යාම. ඩෙංගු පිළිබඳ මතකයන් කෙමෙන් කෙමෙන් ඈත් වන විට, අප ඒ කෙරෙහි දක්වන සැලකිල්ලත් අඩු වෙනවා. ඉන් පසු නැවත අපටත් හොරා ඩෙංගු අපව බිලි ගන්නවා. අන්න එතනොට තමයි ඔබටත් බලධාරීන්ටත් ඇස් ඇරෙන්නේ. ඒත් ඒ වෙනකොට වටිනා ජීවිත කිහිපයක් අපෙන් සමුගෙන අවසන්. කළ යුත්තේ ඩෙංගු අපට ගහන්න පෙර අප ඒ සඳහා සූදානම් වීමයි.

ඉතින් අප සූදානම් විය යුත්තේ කෙසේද ? ඔබ දැනටමත් රූපවාහිනිය, පුවත්පත්, කටකතා මාර්ගයෙන් බොහෝ දෑ දැනගෙන ඇති. මේ ලිපිය, ඒ දැනුමට අමතරව ඔබගේ අකල්ප වලට ආමන්ත්‍රණය කරන්නක් වෙනුවෙන් ලියවුනක්…..

පසුබිම

ඩෙංගු උණ රෝගය ලොව පුරා බිලියන 2.5 කට වැළඳීමේ අවදානම ඇති ඉතා භයානක රෝගයක්. එසේම මිලියන 50 ක් ඩෙංගු රෝගීන් සෑම වසරකම ලොව පුරාම වාර්තා වෙනවා. මෙය ලොව පුරා උෂ්ණ දේශගුණ තත්‍වයක් ඇති රටවල් 50ක ව්‍යාප්ත වී තිබෙනවා. මෙම ‍රෝගය වැළඳෙන්නේ Aedis aegypti නම් වූ මදුරු විශේෂය රැගෙන යන ‍ඩෙංගු වෛරසය මාර්ගයෙන්. ‍ඩෙංගු මදුරුවා ඔබට දෂ්ට කරන්නේ දහවල් කාළයේ. ඒ අනුව ‍ඩෙංගු මදුරුවාගෙන් ආරක්‍ෂා විය යුත්තේ දහවල් කාලයේ බව ඔබ දන්නවා ඇති.

ඩෙංගු යන වචනය කෙසේ සැදුනක්ද යන්න පිළිබඳ විවිධ මත පවතී. එය ස්වාහිලි භාෂාවේ “Ka-dinga pepo” හෙවත් නපුරු ආත්මය යන්නෙන් බිඳී ආවක් ද, එසේත් නැත්නම් ස්පාඤ භාෂාවෙන් Dinga  යන වචනය එනම් පරිස්සම් වීම ස්වහිලි භාෂාවට පෙරැලී බිඳී යාමක්ද යන්න විය හැකි බවක් සඳහන් වේ. මෙම ඩෙංගු උණ පිළිබඳ මුලින්ම වාර්තා වන්නේ චීනයේ “ජින් පෙළපතේ” (ක්‍රි.පූ 265-420) වෛද්‍ය විශ්වකෝෂයක සඳහන් වන පියාඹන කෘමීන් සම්බන්ධ “ජලය විෂවීම” යන රෝග ලක්‍ෂණ සබැඳි වාර්තාවකිනි.  නමුත් පිළිගත හැකි පළමු වාර්තාව 1789 දී බෙන්ජමින් රෂ් විසින් වාර්තා කළ Breakbone Fever  නමින් කළ වර්තාවයි.

රෝග ලක්‍ෂණ

මෙම රෝගයේ ලක්‍ෂණ වන්නේ දැඩි හිස රිදුම, ඇඟ රිදීම සහ සන්ධි රුදාව, උණ සහ ශරීරයේ තැන් තැන්වල ලප මතු වීම. මෙම ලප අත්පා සහ පපුව/උදරය පෙදෙසේ මතුවීම බහුලව දැක ගත හැකියි. තව සමහර රෝගීන්ට ගැස්ට්‍රයිටිස් තත්‍වයන්, උදරයේ වේදනාව, වමනය සහ බඩයාම ද ඇතිවිය හැකියි. කෙසේ වෙතත් සමහර රෝගීන්ගේ රෝග ලක්‍ෂණ දැඩි ලෙස නොපෙන්වන නිසා එය සාමාන්‍ය උණ ‍සේ වැරදි ලෙස වටහාගෙන ප්‍රතිකාර කිරීමෙන් බරපතල තත්‍වයන් ඇතිවිය හැකියි. සාමාන්‍ය ඩෙංගු උණ දින 2 සිට දින 7 ක් දක්වා පැවතිය හැකියි. නමුත් එය ඩෙගු රක්තපාත උණ (Dengue Hemorrhagic Fever) බවට පත්වීම තරමක අන්තරායකාරී තත්‍වයක්.

ඩෙංගු වෛරසය

ඩෙංගු වෛරසය (කළු පැහැති තිත් සමුහයක් ලෙස)

ඩෙංගු උණ රෝගය ඇති කරන්නේ ඩෙංගු වෛරසය මගින්. එය මදුරුවන්ගෙන් පැති

රෙන වෛරසයක්. මෙය RNA වෛරසයක් වන අතර ප්‍රභේද 4කින් යුක්තයි. එහි ජිනෝමයේ භෂ්ම යුගල 11000 ක් ඇති අතර ඒවා සංවිධානාත්මක ප්‍රෝටීන (Structural Proteins) 3 ක් C, prM, E ; සහ සංවිධානාත්මක නොවන ප්‍රෝටීන (Nonstructural Proteins) 7 ක් NS1, NS2a, NS2b, NS3, NS4a, NS4b, NS5 නිර්මාණය කරයි.

රෝග නිවාරණය

ඩෙංගු මදුරුවාගේ වාසනාවට සහ අපේ අවාසනාවට මේ සඳහා තවමත් එන්නතක් සොයගෙන නැහැ. බොහෝ රටවල විවිධ පර්යේෂණ කණ්ඩායම් නොයෙක් අයුරින් පර්යේෂණ කළත් ඒ සැම එකක්ම තවමත් පවතින්නේ පර්යේෂණ තත්‍වයේ.

මදුරුවන් බෝවීම පාලනය  දැනට ඇති එක් සාර්ථක ප්‍රාථමිකව පාලන ක්‍රමයක් ලෙස සැලකෙනවා. එය දෙවැදෑරුම්. මදුරු කීටයා විනාශ කිරීම සහ මදුරුවා පාලනය. ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ අප ගෙවල්වල භාවිතා කරන භාජන වල නිසා අපට ඔවුන් පාලනය පහසුවෙන්ම කළහැකි දෙයක්. නමුත් අප නොකරන්නේත් ඒ පහසුවෙන් කළ හැකි දේ මයි. ඉතින් ඔබට ඔබේ ගේ අවට ඇති ජලය එකතු වන ස්ථාන නැති කළ හැකි නම්, ඔබ ඩෙංගු මර්ධනයේ පළමු පියවර තබා අවසන්. ඔබ නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට බැණ බැණ ඉන්නේ නැතිව, ඔබ අවට ඇති  කසළගොඩවල් පිරිසිදු කර, නැවත කසළ එකතු වීම වැලැක්වුවොත් ඔබට ඇති ඩෙංගු තර්ජනයෙන් 80% ක් අඩු වී අවසන්.

මදුරු කීට මර්ධනය අපට තනිවම කළ හැක්කක් නොවෙයි. ඒ සඳහා උසස් තාක්‍ෂණය අවශ්‍යයි. රජය මගින් ඒ සඳහා පියවර ගෙන ඇතැයි පැවසුවත්, අදාල BLT බැක්ටීරියාව ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතැයි ද දැනගන්නට ලැබෙනවා. එයත් එතරම් හොඳ තත්‍වයක් නොවෙයි. ජනතාව හිටපු සෞඛ්‍ය ඇමති තුමාව මනාප වැඩිම ප්‍රමාණයකින් නැවත පාර්ලිමේන්තුවට පත්කළේ ඔහු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට කළ සේවයට කළගුණ සැලකීමට නම්, ඔහුගේ කාර්යය විය යුත්තේ ජනතාව මෙම ඩෙංගු තර්ජනයෙන් මුදවා ගැනීමට ක්‍රියා කිරීමයි. එය අප නව සෞඛ්‍ය ඇමති යටතේ වත් සිදු වේ යැයි ප්‍රාර්ථනා කරමු. කෙසේ වෙතත්, අනුන් කරන තෙක් බලා නොසිට, තමන් අවට ඇති පරිසරය පිරිසිදු කර ගැනීමෙන් මෙම ඩෙංගු තර්ජනය බොහෝදුරට අඩුකරගන්න හැකිබව ඔබට නැවත නැවතත් අවධාරණය කළ යුතුමයි.

ක්‍වීන්ස්ලන්ත විශ්ව විද්‍යලයේ පර්යේෂණයකට අනුව වාහක මදුරුවන් Wolbachia නම් බැක්ටීරියා විශේෂය මදුරු කළලයන්ට එන්නත් කිරීමෙන් ඊළඟ මදුරු පරමිපරාවේ ජීවිත කාළය අඩකින් කෙටි කළ හැකි බව සොයාගෙන තිබෙනවා. ඔවුන් මෙම පර්යේෂණයේ මහා පරිමාණ මුදාහැරීම් කටයුතු තව වසර තුනකින් වියට්නාමයේදී සිදුකිරීමට ඔවුන් කටයුතු කරමින් පවතිනවා. ගැටළු ඇති නොවුනහොත් පස් වසරක් තුළ එය  සම්පූර්ණයෙන්ම ක්‍රියාවේ යෙදවීමට ඔවුන් බලාපොරොත්තු වෙන‍වා.

තවත් සැලකිය යුතු කරුණක් වන්නේ මෙම ඩෙංගු වෛරසය අයත් වන්නේ ද හෙපටයිටිස් සී (Hepatitis C) වෙස්ට් නයිල් සහ කහ උණ (සෙංගමාලය) වෛරස අයත් ෆ්ලැවිවිරිඩේ (Flaviviridae) පවු‍ලටයි. කහ උණ එන්නත වෙනස් කර ඩෙංගු වෛරසය සඳහා ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබඳවද දැනට පර්යේෂණ කරගෙන යනු ලබයි. 2006 දී ආර්ජන්ටිනා පර්යේෂක කණ්ඩායමක් වෛරසයේ අණුක ප්‍රතිජනන යාන්ත්‍රණය (Molecular Replication Mechanism) සොයාගත් අතර මෙමඟින් වෛරසයේ RNA Polymerase ක්‍රියාකාරීත්‍වය අවහිර කිරීමෙන් එය පුනර්ජනනය නැවතිය හැකියැයි මතයක් ද පවතී.

කෙසේ වෙතත් මෙබඳු රෝග පාලනයේ වැඩි වගකීම අප අපටම පවරාගෙන අවට පරිසරය පිරිසිදුව, පිළිවෙලට තබාගෙන ඩෙංගු වාහක මදුරුවන් බෝවීම අවම කරගතහොත් පසුතැවිලි වීමද අවම කරගත හැකියි…මෙය සමහර වි‍ට අපට පරිසරයට ආදරය කරන්නැයි පරිසරය විසින් නොකියා කියන පණිවුඩයක් විය හැකියි.

ඉතින්, අපි අපේ යුතුකම් ඉටු කරමු. අවට පරිසරය පිරිසිදුව, පිළිවෙලට තබා ගනිමු. ඩෙංගු මදුරු වාසස්ථාන අවම කර නිරෝගීව ජීවත් වෙමු.

I have a Moral Issue with C-H Bond Activation

Today’s group meeting literature discussion was an interesting one. One of my group members discussed about the synthesis, characterization and reactivity of (TMC)Cr(O2) : a Chromium(III) Superoxo complex. It’s a very important  and interesting compound, and it indeed activates pretty high energy C-H bonds of 1,4-cyclohexadiene (CHD: 78 kCal/mol), 9,10-dihydroanthacene (DHA: 77 kCal/mol) and Xanthene (75.5 kCal/mol)..

It’s all good, because the bond dissociation energies (BDE) of above mentioned compounds are in a good high range. OK,.. setting how awesome the Cr(III) superoxo complex and its C-H activation are, I was not content with the term “bond activation” due to one reason.

All of the above compounds are aromatically unsaturated compounds waiting to become aromatic, and whenever there is a chance and enough activation, it loses H and become aromatic. If any C-H bond activating “agent” is to be considered as a good C-H bond activating compound, is it suitable to utilize the instability of a compound to achieve that target ? It’s like poking into the eyes of a baby about to cry, he is looking for a reason to cry, and you trigger it.

This is the question I had, and indeed our awesomely outspoken group contributed with their ideas, and my boss also poked our (and his) brains well…

One conclusion we made was to extrapolate the rate constants of the reactions Vs the bond activation energy of different compounds (which give a straight line) and extrapolate it to figure out if a particular compound is capable of activating C-H bonds of CH4 or C6H6 etc. Which is reasonable, but again the reaction conditions (some are unstable at higher temps etc) prevent such a study to go to conclusion.

So,.. What do you think ? Do you think actual bond activation should be free of added factors ?

Can we find something that doesn’t trigger other processes ? and what would be the best benchmark for the lower and/upper limits of C-H bond activation.. ?

It might sound somewhat confusing, but I really would like to see your ideas in this regard to learn something….

Let’s talk…..

Ref : Jaeheung Cho et. al (JACS 2010, ASAP)

BDE

http://en.wikipedia.org/wiki/C-H_bond

පොඩ්ඩක් මහන්සිවෙලා දිගුකලක් සතුටින් ජීවත් වෙමු………….

“2020 වසර වෙන කොට ශ්‍රී ලාංකීය ජන ගහනයෙන් 50% ක් දියවැඩියා රෝගයට ගොදුරු වෙනවා” කියලා ලඟදි සමීක්ෂණයකදි සොයා ගෙන තිබෙනවා කියලා සමහරවිට ඔබ නොදන්නවා ඇති. එසේ නම් දැන් දැනගන්න. මෙය එතරම් යහපත් තත්ත්වයක් නොවෙයි. ඔබත් ඊට ගොදුරු වන්න පුළුවන්. රටක ජනගහනයෙන් 50% ක් රෝගී වෙනකොට රටේ නිශ්පාදන කාර්යක්ෂමතාවය 50% කින් අඩුවෙනවා. එපමණක් නොවෙයි, ඔවුනට ‍ප්‍රතිකාර සඳහා වැයවන මුදල් සම්භාරයත් සුළුපටු නැහැ. දැනටමත් නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවට එය ඉමහත් බරක්.

එපමණක් නොවෙයි, දියවැඩියාව කියන්නේ තවත් රෝග සමූහයක ආරම්භකයෙක්. හෘද රෝග, ශාරීරික සහ ලිංගික දුබලතා(බුදු අම්මෝ….ඒක වුනොත් නම් මේ ලෝකේ ඉඳලා වැඩක් නැහැ…. නේ ?) නිසරුබව (infertility) මේ අතරින් මුල් තැනක් ගන්නවා. මම දන්නා හැටියට නූතන ශ්‍රී ලාංකිකයා කියන්නේ සාපේක්ෂව කම්මැලි ජාතියක්. අතීතයේ අපේ මුතුන් මිත්තෝ කරපු කියපු දේවල් පට්ට ගගහා ඉන්නවා ඇරෙන්න අළුතෙන් කියලා කරපු දෙයක් තියෙනවා නම් ඒ බොහොම අල්පයක්. නාගරික හෝ අර්ධ නාගරික ජනතාවගේ ආහාර රටාව, ගති පැවතුම් ගැන කියලා වැඩක් නැහැ. ඒත් කියන එක වටිනවා ඔබට ඔබේ හැටි බලාගන්න.

මේ සටහන කියවන ඔබගැන ඔබම සිතා බලන්න. අවසන් වතාවට ඇඟ මහන්සි වෙලා හොඳට දහදිය දාන්න වැඩක් කළේ,  ක්‍රීඩාවක් කළේ කවදාද ? ඒ බව මතක නැත්නම් ඔබත් ඉන්නේ අර  කම්මැලි ශ්‍රී ලාංකික‍යන්ගේ ගොඩේ බව සිතාගන්න. එමෙන්ම ඔබටත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, මානසික ආතතිය වැනි High Class රෝගයක් වැළඳීමේ සම්භාවිතාව වැඩිබවත් මතක තබා ගන්න. මාසයකට එක දවසක් යාළුවොත් එක්ක ක්‍රීඩා කළා කියලා ඒ තත්ත්වය පහව යන්නේ නැහැ. එය ක්‍රමාණුකූලව සිදුකළයුත්තක්. අවම වශයෙන් සතියකට දින 3 ක් වත් දවසට පැය ගණනේ යම් ක්‍රීඩාවක් හෝ ක්‍රමාණුකූල ව්‍යායාම කිහිපයක් කළ යුතුයි.

ශ්‍රී ලාංකික‍යන්ගේ ඇති තවත් මිත්‍යාවක් තමයි ව්‍යායාම කරන්නේ එක්කෝ බර අඩු කරගන්න එහෙමත් නැත්නම් ඇඟ හදාගන්න කියලා. ඒ අනුව ශරීර සෞඛ්‍යය රැකගන්න ව්‍යායාම කරන උදවිය පවා Show-off කරන අය කියන stereotype එකට දාලා ඒ අය දෙස අවඥාවෙන් බලන්න බොහෝදෙනෙක් පුරුදුවෙලා ඉන්නවා. නමුත් ඒ අය දන්නේ නැහැ තමන් කොපමණ රෝගී ද කියලා. ව්‍යායාම කිරීම ශරීර සෞඛ්‍යය රැකගන්න පමණක් නොවෙයි මානසික සෞඛ්‍යය රැකගන්නත් උදවු වෙනවා. නූතන පර්යේෂණ අනුව විනාඩි 40 ක් මනාව ව්‍යායාම කළොත් කෙනෙකුගේ සිතිවිලි ‍යහපත් අතට හැරවීම (mood Changes) කරගන්න පුළුවන් බව සනාථ කර තිබෙනවා. එපමණක් නොවෙයි, ව්‍යායාම කිරීමේදී මොළයේ Serotonin නම් සංයෝගය වෑහෙන බවත් එය ආතතිය සහිත රෝගීනට දෙනු ලබන බෙහෙත් වල අඩංගු සංඝටකයක් බවත් සොයාගෙන තිබෙනවා.

ඒ ව්‍යායාම සම්බන්ධ සෞඛ්‍යමය පැත්ත….

සමාජයීය වශයෙන් බැලුවත් ඔබ නිතරම රෝගී වෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබ ඕනවට වඩා තරබාරු නම්, ඔබම සිතා බලන්න කෙතරම් අපහසුද කියා… අඩුගානේ ඔබ දිහා කොල්ලෙක්/කෙල්ලෙක් හැරිලාවත් බලයිද ? තඩි බඩක් එල්ලි එල්ලි ඇවිදගන්නත් බැරි කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක කව්ද අප්පේ යන්න කැමති ?

අනිත් සමාජයීය මිථ්‍යාව තමයි “බැන්දට පස්සේ කොහොම වුනත් කමක් නැහැ” නැත්නම් “බැන්දට පස්සේ මහත් වෙනවා” කියන දේ. ඔව්, බැන්දට පස්සේ ගෙදර උන්දෑ කන්න බොන්න ඔක්කොම හදලා දෙනවා, තව තව සැප ලැබෙනවා තමයි. එහෙම වුනා කියලා බඩජාරිකමට කාලා කාලා අවුරැදු 10 කින් විතර ඔන්න කොලෙස්ටරෝල් වැඩිවුනා කියයි, දියවැඩියාව කියයි තව තව අසූ මහා ලෙඩ ඔක්කොම එනවා. මම මේ කියන්නේ ගෙදර ඉන්න නෝනලාටත් එක්කයි. නෝනලා‍‍ගේ සෞඛ්‍ය ප්‍රශ්න මහත්වරුන්ට වඩා බරපතලයි. උන්දැලාගේ ඇඟේ මේදය තැන්පත් වෙන ප්‍රමාණය මහත්වරුන්ට වඩා වැඩියි. එපමණක් නොවෙයි, බර අඩුකරගන්න වුනත් සෑහෙන ‍ගේමක් දෙන්න වෙනවා. අවුරුදු 30 පනිනකොට උදරය ඉදිරියට නෙරා එන්න පටන් ගන්නවා. ළමයෙක් දෙන්නෙක් ලැබුනොත් මෙම තත්ත්වය දෙගුණ වෙනවා. ඒ වගේම අවාසනාවන්තම දේ තමයි ඒ අයට හරියට ව්‍යායාම කරන්න වෙලාවක්, තැනක් නැතිකම. ඉතින් මහත්වරුන්ගේ යුතුකම තමයි අවම වශයෙන් ඇය සමග කොහේ හෝ ඇවිදින්න වත් සතියකට වරක් එක්කගෙන යන එක. එමගින් ඇය සෞඛ්‍ය සම්පන්න වෙනවා පමණක් නොවෙයි, ඔබ දෙදෙනා අතර ඇති බැඳීමත් වැඩිවෙනවා.

ඇඟ මහන්සි වෙලා වැඩක් කරන අතරම නිවසේ වියදම් අඩුකරගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නිවසේ ගෙවත්තේ එලවළු පාත්තියක් වගාකිරීම. “අනේ අපිට කොහෙන්ද ඒකට වෙලාව,” කියලා සමහර කම්මැලියෝ අහන්න පුළුවන්. වෙලාව හදාගන්නේ මෙහෙමයි. හවසට වැඩ ඇරිලා ගෙදර ඇවිත් ඇඟපත හෝදගන්න කලියෙන් (එහෙම පුරුදු නම්) පොඩ්ඩක් වත්තේ වැඩ කරන්න. සතියක් එක දිගට එහෙම කළොත්, ඔබටම තේරේවි ඔබේ ගතට, සිතට දැනෙන වෙනස. (අත්දුටුවයි – සත්තයි . හරිගියාම ගාස්තුව ගෙවන්න) එපමණක් නොවෙයි කෘෂි රසායන නොදා ගෙවත්තේ හදන පිරිසිදු එලවළු ටිකක් කන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා.

ඉතින් මේ ගැන හිතලා බලන්න…. එය ඔබට, ඔබේ පවුලට කරන අනාගත ආයෝජනයක්…..

“ආරෝග්‍යා පරමා ලාභා ” කියලා බුදුන් වහන්සේ වදාලේ කට කහනවට නොවෙයි……



අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී – කුමාරතුංග මුනිදාසයන්

ලෝකය කුණු රොඩු වලින් පිරීයයි. ඔබ ලංකාවේ මුහුදු වෙරළක හෝ කොළඹ පාරක පයින් ගමන් කළා නම් තවත් අටුවා ටීකා නොමැතිව එහි තරම දැනගත හැකියි. මේ කුණු රොඩු බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හෝ නැවත භාවිතයට ගත හැකි දේවල්. ලංකාවේ හැමදේටම ප්‍රතිපත්ති ඇතත්, ප්‍රතිචක්‍රීකරණය සදහා ප්‍රතිපත්තියක් හෝ නීති පද්ධතියක් සම්මත කර ගැනීමට බලධාරීන්ට අමතක වී ඇති සැටියක් පෙනේ.

තායිවා‍නයේ Far Eastern Group සමාගම මීටර 130 ක් දිග, මීටර 26 ක් උස, තට්ටු තුනක ප්‍රදර්ශන ශාලාවක් තනා තිබෙනවා මුළුමනින්ම ඉවතලන බෝතල් භාවිතයෙන්. එයට බෝතල් මිලියන 1.5 ක් වැය වෙලා ඇති අතර සියළුම බෝතල් ලබා‍ගෙන ඇත්තේ කසල‍ගොඩ වලින්. මෙ‍ම බෝතල් ඉන් පසුව එකට සවිවන ආකාරයේ (interlock) ගඩොල් වැනි කුඩා ඒකක තනා මෙම ගොඩනැගිල්ල තනා තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය භූමිකම්පා හෝ කුණාටු වලට පවා ඔරොත්තු දෙන බවයි. මෙය ප්‍රතිචක්‍රීකරණය කරනලද බෝතල් වලින් තැනූ ලොව පළමු ගොඩනැගිල්ල ලෙස ඉතිහාසගත වෙනවා. EcoARK ලෙස නම්කර ඇති මෙම විවෘත දර්ශනාගාරය  ‍කෞතුකාගාරයකින් ද සමන්විතයි. එමෙන්ම මෙය වායු සමනය කර ඇත්තේ වැසි ජලය එකතු කර  එය ගලා යාමට සැලැස්වීමෙන්. පාරදෘශ්‍ය ප්ලාස්ටික් ඒකක ස්වාභාවික ආලෝකය ගොඩනැගිල්ල තුළට ලැබීමට සැලැස්වීමෙන් එයට අවශ්‍ය ආලෝකය සපයනවා. අපේ රටේ මෙවන් විශාල දේ කළ නොහැකි වුවත් අවම වශයෙන් තිබෙන කසළ ප්‍රමාණය හරි හැටි කළමණාකරණය කර සුදුසු අන්දමින් වෙන්කර සුදුසු දෑ වලට යොදා ගත හැකි නම් එය ඉතාමත් හිතකර දෙයක් වනවා නොඅනුමානයි.

කෙසේ වෙතත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පෙට්‍රෝලියම් නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක් ඇති කිරීම මෙම අපද්‍රව්‍ය ප්‍රශ්නයට ඉතා කාලෝචිත පිළියමක් බව මේ අවස්ථාවේ නොකියාම බැහැ. බ්ලුමැන්ඩල් කුණු කන්ද විදේශිය සමාගමක් අරගෙන විදුලි බලය නිපදවන්න යනවා කියලත් පහුගිය දවසක පත්තරේක තිබුණා මම දැක්කා. ‍මෙන්න මේ වගේ කාලෝචිත නව්‍ය දේ අපේ පුංචි රටේ යහපතට යොදා ගන්න අපේ බලධාරීන්ට නුවණ තව තවත් පෑදේවා ! කියාගෙන මගේ සටහන දැනට අවසන් කරනවා.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා, සියල්ල දන්වන්න…. එය මගේ ඉදිරි සටහන් හැඩගස්වා‍ගෙන හරවත්, ප්‍රයෝජනවත් යමක් ඔබට ලියන්න මට පිටිවහලක් වේවි.

‍මෙයට

ඇල්කෙමියා

මෙම සටහන Scientific American සගරාවේ පළ වූ ලිපියක් ඇසුරෙන් ලියවුනක්. මෙහි මුල් ලිපිය (Original) බලන්න පහත දැක්වෙන උපුටාගැනීම  ලින්ක් එ‍කෙන් යන්න.

http://www.scientificamerican.com/article.cfm?id=taipei-plastic-pavilion